මිනිසුන් වර්තමානයේ යථාර්ථයට ප්‍රතිචාර දක්වන ආකාර දෙකක් දැකිය හැකි ය. එකක් නම්, යථාර්ථහරණය යි. [Lost of Reality]දෙවැන්න නම්, යථාර්ථය අධි ප්‍රබන්ධගත කිරීම යි. [Hyper-reality]වර්තමානයේ දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍ර ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ දී මේ බව හොඳින් වටහා ගත හැක. එමෙන් ම සමාජ මාධ්‍ය තුළ දක්නට ලැ‌බෙන සමාජ කේන්ද්‍රීය නො වන අතිශය පුද්ගල කේන්ද්‍රීය අදහස් පවා මෙම තත්ත්වය නිරූපණය කරයි. සත්‍යය පවතින්නේ ප්‍රබන්ධ ම ය මානයෙන් නම් මෙම ක්ෂේත්‍ර තුළ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කිරීමෙන් අපට එම සත්‍යය හඳුනා ගත නො හැකි ද? ඒ සඳහා දැනුමක් අපට තිබේ ද? වර්තමාන ඇකඩමික ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීමේ දී එවැනි දැනුමක් සහිත ක්‍රියාකාරීත්වයක් හඳුනා ගැනීම ඉතා අසීරු වී ඇත. තම තමන්ගේ රෝග ලක්ෂණ සමඟ විනෝද වන්නන් මිස ලැකාන් යෝජනා කරන රෝග ලක්ෂණ කළමනාකරණය කරගන්නන් මෙම ක්ෂේත්‍ර තුළ දක්නට නැත. තමන්ගෙ අවිඥානය චිත්‍රපටයක් ලෙසින් තමන් ඉදිරියේ ම රඟ දැක්වෙන ආකාරය සැවොම දකිමින් සිටිති.

RED – 1994- Do people really want liberty, equality, fraternity? Is it not some manner of speaking?

ආර්ථික මිනිසා හෙවත් තාර්කික මිනිසා – අවම දෘෂ්ටිවාදී, ආත්මරාගී, අහම කේන්ද්‍ර කර ගත්, පරිභෝජනය හා ධන සම්පත් කෙරෙහි ආශක්ත පුද්ගලයා – සමාජ ආර්ථික මෙන් ම ලිංගික ද වන බව මුලින් ම පෙන්වා දුන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ය. මෙම ආර්ථික මිනිසා යනු ධනවාදය විසින් නිර්මාණය කළ ප්‍රබන්ධමය සාමාන්‍ය මිනිසෙක් ලෙස ද නම් කළ හැක.[ග්ලිසරීන් කඳුළ] ලුබ්ධි ආර්ථිකය නමැති අදහස සහිතව වැඩ හා විනෝදය/සූරාකෑම හා විනෝදය අතර සම්බන්ධතාවය පෙන්වා දුන්නේ ෂාක් ලැකාන් ය. මෙහි දී ඔහු පෙන්වා දුන් ආත්මය යනු හුදු විනෝද වන්නෙකු නොව ක්‍රමය විසින් විනෝද කරවන්නෙකු යන අදහස වැදගත් ය. සියලු බල සබඳතා සෑම විටම ලුබ්ධි සබඳතා බවත් එය සමාජ ආර්ථිකය සඳහා බලපාන බවත් අප වටහා ගත යුත්තේ මේ නිසා ය. කෙනෙකු කුරුසියක් කර තබා ගෙන යෑමේ ශ්‍රමය යේසුස් වහන්සේ කුරුසිය තබා ගෙන යාමේ සමරූපයක් පමණි. යේසුස් වහන්සේ කුරුසිය තබා ගෙන යෑමේ ශ්‍රමය විසින් අදහන්නන්ගේ සමාජයක් බිහි වූ අතර එහි සමරූපය මඟින් විනෝදවන්නන්ගේ සමාජයක් බිහි විය. එමඟින් විනෝදයේ ධනවාදී මාදිලිය පෙන්වා දෙයි. එමෙන් ම පරාරෝපණයෙන් තොර සමාජයක අව්‍යාජ මිනිස් සබඳතා බිහි වන්නේ ය යන අදහස මනෝවිශ්ලේෂණය මඟින් වඩා නිවැරදි කරන්නේ භාෂාව පවතින තාක් කල් අපිට පරාරෝපණයෙන් අත්මිදිය නො හැකි බව ය. මනෝවිශ්ලේෂණයට අනුව පරාරෝපණයෙන් අත් මිදීමට නම් අහෝසි කළ යුත්තේ භාෂාව ය. නමුත් එවැන්නක් සිදු කළ හැකි ද?

මනෝවිශ්ලේෂණය හඳුන්වාදීමෙන් පසුව පුද්ගලයා හා සමාජය යනුවෙන් පැහැදිලි බෙදුම් කඩනය අහෝසි වේ. නමුත් ධනවාදය විශාදය, කාංසාව, උමතු බිය වැනි ගැටළු හඳුන්වා දෙමින් ඒවා පුද්ගලයා සම්බන්ධ ගැටළු බවට පත් කරයි. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව පුද්ගලික ගැටලු නො පවතියි. පෞද්ගලික ගැටළු/පෞද්ගලික අභිලාෂ අදාළ වන්නේ ධනවාදයට මිස මනෝවිශ්ලේෂණයට නො වේ. මනෝවිශ්ලේෂණය, ආත්මය (subject) නමැති නිෂේධනාත්මක ස්වරූපයට සම්බන්ධ වනවා මිස එය පුද්ගලයාට (individual) සම්බන්ධ නො වේ.

මනෝවිශ්ලේෂණය දීප්ති කුමාර ගුණරත්න, ඉරාජ් වීරරත්න, අනුර කුමාර දිසානායක, පුබුදු ජයගොඩ, සේපාල් අමරසිංහ, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ජෝ බයිඩ්න්, තුන්වෙනි චාල්ස් රජු පුද්ගලයින් – individuals -ලෙස නො සලකයි. සනත් නිශාන්ත අසුන් ගත් අයිටීඒන් පුටුවේ මහේෂ් හපුගොඩට අසුන් ගත හැක්කේ මේ නිසා ය. පුද්ගලයින් ලෙස නම් කර සිදු කරනු ලබන විග්‍රහ මනෝවිශ්ලේෂණයට අදාළ නො වේ. එබැවින් ධනවාදයේ ව්‍යුහාත්මක මළපුඞුව විශ්ලේෂණය කරන විට අප විග්‍රහ කළ යුත්තේ පුද්ගලයා නො ව ආත්මය යි.[subject] මේ බව නො දැන කරනු ලබන ධනවාදය පිළිබඳ විශ්ලේෂණ කිසිඳු ආකාරයකින් බරපතල හැදෑරීම් ලෙස ලෙස බාර ගත යුතු නැත. ධනවාදයට එරෙහි අරගලය යමෙක් සිදු කරන්නේ නම් එය පුද්ගල කේන්ද්‍රීය නො වී ආත්ම කේන්ද්‍රීය විය යුත්තේ එබැවිනි.

එමෙන් ම මනෝවිශ්ලේෂණය කිසිවිට සියලු රෝග ලක්ෂණ අහෝසි කරමින් තමන්ගේ අවිඥානය තමන්ට කැමති අයුරකින් හැසිරවිය හැකි යැයි පෙන්වා දෙනු නො ලබයි. මනෝවිශ්ලේෂණය අහමට -ego- අදාල ප්‍රකාශ නො සලකා හරිනු ලබන අතර ධනවාදයට වැදගත් වන්නේ අහම ය. අහම සමඟ ධනවාදය රෝග ලක්ෂණ සූරා කනු ලබන අතර එ මඟින් කිසි දා නො පැවති සාමයක්, නො පැවැති සාමාන්‍ය තත්ත්වයක් හෝ සුවදායී අනාගතයක් යෝජනා කරයි. මනෝවිශ්ලේෂණ සායනයේ දී විශ්ලේශකයා විශ්ලේෂිතයා ඉදිරියේ අවධානය යොමු කරන්නේ “කුමක් ද” යන ගැටළුවට නො ව “ඇයි” යන ගැටළුවට ය. “කුමක් ද” යන ප්‍රශ්නය සෑම විටම විශ්ලේෂිතයාගේ පිළිගැනීම පිළිබඳ ආශාව (desire for recognition – මුහුණුපොතේ දාර්ශනිකයින්ගේ අභිලාෂය), අනෙකාගේ දැක්මට යටත් වීම සමඟ සම්බන්ධ වේ. එනම්, තමන් තුළ අනෙකාගේ පිළිගැනීමට ලක් වන වස්තුවක් ඇතැයි විශ්වාස කිරීම ය. එයට ව්‍යාකරණාත්මක ආත්මය (grammatical subject) යැයි කිව හැකි ය. මම ගුරුවරයෙක්, ලිපිකරුවෙක්, වෛද්‍යවරයෙක්, රංගන ශිල්පියෙක්, යූටියුබ්කරුවෙක්, ලැකාන්ගේ නියෝජිතයා, ඩෙරීඩා නිවැරදිව කියවන්නෙක් වැනි ප්‍රකාශ, පිළිගැනීම පිළිබඳ ආශාවට (desire for recognition) සම්බන්ධ වන නමුත් ඒවා මනෝවිශ්ලේෂණය හිස් කථනයක් ලෙස සලකා බැහැර කර යි. මීට පටහැනි ව විශ්ලේෂකයා අසන “ඇයි” යන ගැටළුව සම්බන්ධ වන්නේ විශ්ලේශිතයාගේ ආශාව පිළිගැනීම (recognition of desire) වෙත ය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් විශ්ලේෂිතයාගේ ආශාව කුළු ගැන් වී ඇත්තේ කුමකින් ද යන්න මෙහි දී හඳුනා ගත හැකි ය. නිදසුනකට “ඇයි ඔබ දැන් මේ දේ කියන්නේ?”, “ඇයි ඔබ ඔහුට/ඇයට අකමැති?”, “ඇයි ඔබට වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය වුණේ?”, “ඇයි ඔබ ලැකාන් වෙනුවෙන් පෙනී සිටින්නේ?“, “ඇයි ඔබ නිවැරදි ඩෙරීඩාවෙකු පසුපස යන්නේ?“ වැනි ප්‍රශ්න ඇසීම මඟින් තම විඳවීමට බලපා ඇත්තේ කුමක් ද යන්න විශ්ලේෂිතයාට අභිමුඛ වේ. එමඟින් ප්‍රකාශනාත්මක ආත්මය (enunciating subject) හඳුනාගත හැකි ය. මනෝවිශ්ලේෂණ සායනයේ දී ආශාවේ කලාපයේ සිට විනෝදයේ කලාපයට විශ්ලේෂිතයා යොමු කළ විට මෙය සිදු වේ. සායනය මඟින් පෙන්වා දෙන්නේ කථනය මඟින් ගැට ගැසුණු දේ ලිහා දැමිය හැක්කේ ද කථනය මඟින් පමණි ය යන්න ය.

මනෝවිශ්ලේෂණ ආත්මය සහ පුද්ගලයා අතර වෙනස තවත් නිදසුනක් ඇසුරෙන් වටහා ගැනීමට උත්සාහ කරමු. එකෙකු ප්‍රාග්ධනය පුද්ගලීකරණයත්, අනෙකා ශ්‍රමය පුද්ගලීකරණය කරන බවත් පෙනෙන නිසා බැලූ බැල්මට බැංකුකරුවෙකු හා සාමාන්‍ය සේවකයෙකු අතර වෙනසක් පවතින බව අදහස් කළත් ධනවාදී ආත්ම ලෙස ඔවුන් සලකන විට දී ඔවුන් එකම සූරා කෑමට ලක් වේ. එ නිසා බැංකුකරුවා දුෂ්ට ලෙස හා සාමාන්‍ය සේවකයා විප්ලවීය හා යහපත් යනුවෙන් අදහස් නො වේ. ලැකාන් ධනවාදය යනු පරාරෝපණය සූරාකෑම හා ආශාව සූරාකෑම ලෙස නම් කරන්නේ එබැවිනි. මෙම පරාරෝපණය රහිතව කටයුතු කිරීම යනු ම ධනවාදී ෆැන්ටසියකි. ධනවාදය විසින් ම පෙන්වා දෙනු ලබන ධනවාදයට එරෙහි දේශපාලනය හඳුනා ගත හැක්කේ මනෝවිශ්ලේෂණය මඟින් පමණි. ධනවාදය විසින් ම පෙන්වා දෙනු ලබන උණුසුම් මිනිස් සබඳතා හා පරාරෝපණය රහිත එම දේශපාලනය විසින් සෑම විටම පරාරෝපණය හා සූරාකෑම අතර සබඳතාවය සඟවා දමයි. එබැවින් නූතන දේශපාලනය පදනම් විය යුත්තේ පරාරෝපණය කළමනාකරණය කිරීම හා රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම වෙත ය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ධනාත්මක බවක් වෙනුවට හවුල් නිශේධනාත්මක බවක් ඉන් යෝජනා කරයි. ඉරාජ්ට මෙන් ම කසුන් කල්හාරට ද සංවාද කළ හැකි සමබිමක් නිර්මාණය වන්නේ එ විට ය.

වචන හා රූප ඉතා බහුලව භාවිතා වන වර්තමාන යුගයේ යථමය මානය වෙනුවට පදගත අර්ථ බවට ඒවා ඌණනය වීම ද දැකිය හැකි ය. විශේෂයෙන් සමාජ මාධ්‍ය අවකාශය පුරා දක්නට ලැබෙන “අපට තේරෙනවා මේ ගේම් එක, අපිව රවට්ටන්න බෑ, අපි හැර අනෙක් බොහෝ දෙනා රැවටිලා ඉන්නේ, රැවටී සිටින ඔවුන් කෙසේ හෝ මුදවා ගත යුතුයි.” යන විපරීත අදහස අප ඛණ්ඩනය කළ යුතු ය; විශ්ලේෂණය කළ යුතු ය. එය ඔවුන් දකින්නේ වර්තමාන තත්ත්වය විසින් ඔවුන්ට පවරා ඇති වගකීමක් ලෙස ය. මෙහි දී ලැකාන් ආශ්‍රයෙන් අප වටහා ගත යුතු වන්නේ ‘තමන් නො රැවටී ඇතැයි සිතන්නා තරම් මෝඩයෙකු තවත් නො මැති’ බව ය (non dupes errent). ‍මෙවැන්නන්ට යථමය මානය මග හැරෙන නිසා ඔවුන් යථාර්ථයට වශී වී ඒ දෙස බලා සිටින්නන් විනා යථාර්ථය වෙනස් කරන්නන් නො වේ.

යථාර්ථහරණය අපි තේරුම් ගන්නේ කෙසේ ද? උදාහරණයකට පසුගිය දිනවල කතාබහට ලක් වූ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ඉදිරිපත් වන විට “බැංකු කඩා වැටී රට විනාශයි” නමැති අදහස සමාජය තුළ කතා බහට ලක් විය. නමුත් එවැන්නක් සැබැවින් ම සිදුවුයේ නැත. එම ප්‍රකාශයේ සැබැවින් ම සිදු වූයේ යථාර්ථය යථාර්ථහරණයට ලක් කිරීම ය. ඔවුන්ගේ අදහස මෙසේ සරල කළ හැකි ය – අනතුරුදායක යමක් සිදුවීමට පෙර එය වචන ඇසුරෙන් පවත්නා පරිසරයට අනුගත කිරීම; හීලෑ කිරීම. එ නම්, යථමය මානය ඉවත් කිරීම ය. මෙහි දී යථාර්ථහරණය සමඟ එය සැබැවින්ම සිදුවන්නේ ය යන සහතිකය ඔවුන් ලබා දෙන අතරම ඔවුන්ගේ ක්‍රියාව දෙස බැලීමේ දී එය සිදු නො වන ආකාරයෙන් කටයුතු කරනු දක්නට ලැබේ. තමන්ට යථාර්ථය වෙනස් කළ නො හැකිවීමේ බෙලහීන විලාපය ද එහි අඩංගු වේ .

නමුත් අප වටහා ගත් යුත්තේ බැංකු කඩාවැටීම යනු සිහි බුද්ධියෙන් සිටින්නෙකුගේ ෆැන්ටසියක් නො වන බව ය. එසේ නම් බැංකු කඩාවැටීම නමැති ෆැන්ටසිය සාක්ෂාත්වීම හෝ නො වීම වෙනුවට තමන් ක්‍රමයෙන් පිටත සිටින්නේ ය යන අදහස (අප රැවටිය නො හැක. අප මඩ නො ගෑවුණ නෙලුම් මල් ආදී ලෙස) ලබා දීමට උත්සාහ කරන යමක් බවට ද එය පත් වන්නේ ය. එ මඟින් සැබැවින්ම සිදුවන්නේ යථාර්ථහරණය නිසා එවැනි මාධ්‍ය සාකච්ඡා එක්තරා ආකාරයක රියැලිටි ප්‍රසංග ආකෘතියකට සමාන වේ.

එමෙන් ම අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම ද මෙහි දී වැදගත් වේ. අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම යනු එක් අතකින් කෙනෙකු යමක් පිළිගන්නා අතරම එය ප්‍රතික්ෂේප ද කිරීම යි. ෆ්‍රොයිඩියානු ප්‍රතික්ෂේප කිරීම එක් ආකාරයකින් ප්‍රතික්ෂේප කළ යමක් කිසියම් ආකාරයකින් පිළිගැනීම හා සම්බන්ධ වේ. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් එය දැනුම හා විශ්වාසය ලෙස බෙදී පවතියි. එය මෙසේ සඳහන් කළ හැකි ය – මම හොඳින්ම දන්නා නමුත් මම එය විශ්වාස නො කරමි. එනම්, තමන් දන්නා දෙය නො දන්නා ලෙස නිරූපණය කරමින් කටයුතු කිරීම යි. එය තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් මම එය හොඳින්ම දන්නා නිසා එය අමතක කර, කිසිවක් වෙනස් නො කර වෙන දා මෙන් පහසුවෙන් සිටිය හැකි ය. මෙහි දී සිදු වන්නේ අර්චනකය (fetish) හෙවත් තමන් සතු දැනුම තමන් වෙනුවෙන් විශ්වාස කිරීම ය. එහි දී තමන් නිදහස් වූ සිහිබුද්ධිය ඇති අයෙකු ලෙසත් තමන්ට එරෙහි මතවාදය දරන්නන් බුද්ධිහීන අයවලුන් ලෙසත් නම් කරනු දැකිය හැකි ය. නමුත් ක්‍රියාව තුළ දී තමන් සිහි බුද්ධියෙන් සිටින්නේ ය යන විශ්වාසය ඇති අයවලුන් ද බුද්ධිහීන අයවලූන් ලෙස ක්‍රියා කිරීම මෙහි විශේෂත්වය යි. මෙම අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම නිසා සැබෑ අර්බුදය අමතක කරවයි.

වර්තමානයේ දැනුම යනු බොහෝ විට අර්චනයක් නිසා දීර්ඝ ලිපි ලියමින් විනෝද වන ආකාරය ද දකින්නට ලැබේ. එම ලිපි මෙන් ම වමේ මාධ්‍ය සාකච්ඡාවල දැකිය හැකි පොදු ලක්ෂණ වන්නේ තමන් නො රැවටී සිටින්නේ ය යන්න ප්‍රකාශ කිරීම, දෘශ්‍යමානය යටින් පවතින සැඟවුණු දේ දැකීමේ හැකියාව, තමන්ට අභිමුඛ වන අනෙකා යනු රවටන සුළු හා විශ්වාස කළ නො හැකි අනෙකෙකු ලෙස නම් කිරීම මෙන් ම තමන් මේ සියලු දේ දන්නා බව අනෙකාට දන්වා සිටීම වැනි දේ ය. මෙම යුගයේ දී වඩා රැඩිකල් ලෙස ඔවුන් හඳුන්වන්නේ තමන් නො රැවටී සිටින පුද්ගලයෙකු බව සමාජ මාධ්‍ය තුළින් හෝ අනෙකාට සපථ කිරීම ය. මෙය පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් ගනිමු. ඇතැමුන් covid-19 යනු චීනයේ කුමන්ත්‍රණ වෛරසයක් ය යන අදහස ජන ගත කිරීම යනු තවදුරටත් ලෝක බල තුලනය හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගැටලුවක් බවට පත් නො වන අතර “අපි නම් ඇත්ත දන්නවා, අප රැවටී නැත.” යන අදහස පමණක් සමාජගත කිරීම පිළිබඳ උත්සාහයක් බවට පත් වේ.

I have one good characteristic: I’m a pessimist, so I always imagine the worst – always. To me, the future is a black hole.- Krzysztof Kieślowski

මෙම අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම් ධනවාදය තුළ ප්‍රධාන ධාරාවේ දෘෂ්ටිවාදය නිරූපණය කිරීම විනා විකල්පයක් ලෙස හඳුනා ගත නො හැකි ය. මන්ද යත් වර්තමානයේ ක්‍රමයට ආශක්ත සියලු දෙනා තමන් නො රැවටී ඇතැයි යන මුග්ධභාවය තුළ නිමග්නව සිටීම ය. එමඟින් ව්‍යාපාරිකයා ලාභය ද මුහුණුපොතේ දාර්ශනිකයා සමාජ ප්‍රාග්ධනය ද උපයා ගනිමින් සිටිති.

තව ද යථාර්ථය අධිප්‍රබන්ධ ගත කිරීමේ දී “අරූ හොරා, මූ හොරා” යැයි වංචා දූෂණ පිළිබඳ නිරන්තරයෙන් ප්‍රකාශ කළත් කිසිවෙකු පෙරළා නො විමසන්නේ එසේ නම් ඔබලා ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නො ගන්නේ ඇයි ද යන්න ය. යම් මූල්‍යමය පාඩුවක්, වංචාවක්, සොරකමක් සිදු වී ඇත්නම් සිහිබුද්ධියෙන් සිටින පුද්ගලයෙකු කරනු ලබන්නේ ඒවාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම ය. එහෙත් දිගින් දිගටම “හොරා, හොරා” යැයි ප්‍රකාශ කරන විට අප පෙර දී සාකච්ඡා කළ “අපි සියලු දේ දන්නවා, අපව රවට්ටන්න බෑ.” යන අදහස ද එහි අන්තර්ගත ය. එය ඔවුන්ගේ දැනුමට සම්බන්ධ වන අතර ඒ පිළිබඳ නෛතික ක්‍රියාමාර්ග ගැනීම ඔවුන්ගේ විශ්වාසය හා සම්බන්ධ වී පවතියි. එනම්, එය අමතක කර දමා කටයුතු කිරීම යි. නමුත් ”හොරා” යන්න රෝග ලක්ෂණාත්මක ලෙස විවිධ ආකාරයෙන් පුනරාවර්තනය වෙයි. මනෝවිශ්ලේෂණයට අනුව මෙසේ උච්චාරණය කරන ”හොරා” යන්න යථාර්ථයේ සිටින සොරෙකුට කිසි ලෙසකින් අදාළ නො වන අතර එය හැඟවුම්කාරකයක් පමණි. එය අද දින තඹුත්තේගම රැස්වීමක දී අපට ඇසෙන විට හෙට දින මොනරාගල රැස්වීමකදී ද ඇසෙන අතර අනිද්දා එය කිරුළපන රැස්වීමක දී ද අපට ඇසීමට නියමිත ය. මෙසේ පුනරාවර්තනය වන රෝග ලක්ෂණය මඟින් එය ප්‍රකාශ කරන්නා මෙන් ම අසන්නා ද විනෝදවීම හැර අන් යමක් සිදු නො වේ. මනෝවිශ්ලේෂණය ඇසුරින් අප ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සොරා ගෙන ඇත්තේ කුමක් ද යන්න නො ව ඇයි ඔබගේ සෑම කතාවකටම සොරෙකු අවශ්‍ය වන්නේ යන්න ය.

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ.

 

ඔබේ අදහස කියන්න...