කල්ප රාජපක්ෂ ‘මන්දිර කැලඹූ අරගලය’ පොත දොරට වැඩීමේ අවස්ථාවේ කල කතාව තුලින් ඔහුව කියවන්න බලමු. අපි ඒ පොත ගැන කිසිවක් කතා නොකර කල්ප රාජපක්ෂ ගේ කතාව විසංයෝජනය කිරීමෙන් එම පොතත් කල්ප රාජපක්ෂ කවුද යන්නත්, පෙරටුගාමී සමාජ වාදී පෙරමුණේ දේශපාලනය කුමක්ද යන්නත් පශ්චාත් මාක්ස්වාදීව විශ්ලේෂණය කර ගන්න බලමු .


පශ්චාත් මාක්ස්වාදය යනු නූතනත්වයත් සමග සාම්ප්‍රදායික ධනවාදී කතිකාව වෙනස් වීම නිසා ඇතිවූ නව සමාජ සංකීර්ණතා තුලින් මතුවූ අලුත් පසමිතුරුතා මත ගොඩනැගුනු න්‍යායික එලඹුමකි. මෙහි මූලික අදහස් සහ සංකල්ප ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ටෝ ලැක්ලෝ සහ ශන්තාල් මූෆ් විසිනි.(Hegemony and socialist strategy /populism ) මෙය හුදු සාම්ප්‍රදායික මාක්ස්වාදය ට වඩා දියුනු න්‍යායික දර්ශනයකට වඩා මාක්ස්වාදයේ ඇතිවූ වෙනසකි.එය මාක්ස්වාදයට වඩා සාරාත්මක දෙයක් නොව, මාක්ස්වාදයට වෙනස් යමකි, එහි ඇත්තේ වෙනසක් සහ පරතරයක් මිස මාක්ස්වාදයට එහා ගිය සාරාත්මක යමක් නොවේ (සෝශියර්ගේ සාධාරණ වාග් විද්‍යාවේ අර්ථයෙන්).
ව්‍යුහවාදය සහ පශ්චාත් ව්‍යුහවාදය බිහිවීමට පෙර බිහිවූ මාක්ස්වාදය ඇතුලු බොහෝ දර්ශනයන් පදනම් වූයේ අනුභූතිවාදී දැනුමක් මතය. ඔවුන්ට අනුව අත්දැකීම ප්‍රාථමික වන අතර එම අත්දැකීම යථාර්ථවාදී සත්‍යක් ලෙස පිලිගෙන කටයුතු කරයි.
නමුත් ව්‍යුහවාදය සහ පශ්චාත් ව්‍යුහවාදය මත පදනම් වූ විට අනුභූතික දැනුම සහ මිනිස් අත්දැකීම යන්න ද්විතීයික බවත් ප්‍රාථමික වන්නේ භාෂාව සහ ඒ මත ගොඩනැගෙන සමාජ ව්‍යුහය බවත් පෙනේ.


එබැවින් අනුභූතිවාදය මත ගොඩනැගුනු සාම්ප්‍රදායික මාක්ස්වාදය, නුතන පශ්චාත් ධනවාදී සමාජය විශ්ලේෂණය කරගැනීමේදී තවදුරටත් වලංගු නොවේ.
අප අත්දකින අනුභූතික සමාජ යථාර්ථය යනු මෙම භාෂාමය මැදිහත්වීම මත ගොඩ නැගෙන්නක් බැවින් සමාජ සංවර්ධනය යනු කිසියම් සමාජ නීතියකට අනුව සිදුවන ඉතිහාස නියතිවාදයක් සහ ආර්ථික නියතිවාදයක්ය යන සාම්ප්‍රදායික මාක්ස්වාදී නියාමයන් දෙකම අහෝසි වී යයි.


ඒ වෙනුවට සමාජ සංවර්ධනය සිදුවනුයේ පසමිතුරුතා තුලින් මතුවන ගැටුම හේතුවෙනි. මෙහිදී අනාගත සමාජය පූර්වයෙන් නිශ්චය කල නොහැකි අතර එහි සමාජ දිශානතිය තීරනය වනුයේ පොදු සමාජ අවිංඥානයට (symbolic unconscious ) අනුවය.
මෙම න්‍යායික පදනම මත කල්ප රාජපක්ෂ ගේ කතාව විසංයෝජනය කිරීමට බලුමු.
ඔහුට අනුව අරගලය යනු පීඩිත මිනිසුන් විසින් නිශ්චිත සමාජ නීතීයකට අනුව කරන ලද සාරාත්මක සදාචාරවාදී දෙයකි, එමෙන්ම මෙම සියල්ල සිදුවන ලිබරල් ධනවාදී සමාජයද එවැනිම සාරාත්මක යමකි.
නමුත් පශ්චාත් ව්‍යුහවාදයට අනුව අරගලය යනු කිසිසේත්ම එවැනි උදාර අරමුනකින්, සමාජ සංවර්ධනයේ නීතියකට අනුව සිදුවූ සාරාත්මක දෙයක් නොවේ. පවතින සමාජ පසමිතුරුතා තුල පැවති සමාජ ආර්ථික අර්බුදය නැමති ‘යථ’ මය කාරනයේ හැගවුම්කාරකයක් පමණි . එය කිසිදු සාරාත්මක යමක් නියෝජනය කිරීමක් හෝ උතුම් අභිලාෂයක් ඇතිව කරගෙන ගිය යමක් නොවේ. එයට කිසිදු සාරාත්මක අර්ථයක් නැත. එයට අර්ථය ලබාදෙන්නේ බාහිරිනි. කල්ප රාජපක්ෂ තමන්ගේ පෞද්ගලික සාරාත්මක අර්ථයක් අරගලයට ලබාදේ. එය සෞන්දර්යාත්මක, ආවේගශීලී සහ හැගීම්බර අර්ථයකි. එම අතිශය පෞද්ගලික අර්ථය(පෞද්ගලික ෆැන්ටසිය) සාමූහික පොදු කතිකාවක් බවට පත් කර තමන් පැටලුනු මුලාව සමාජ ගත කරයි.


එමෙන්ම ඒ මත ගොඩනගන සියල්ල හිස්, යථාර්ථයට ඉතා ඈත හුදු කෙප්පයන්ගේ එකතුවක් වේ.


ඔහුට අනුව ධනවාදය ස්වාභාවික මරණය කරා පැමිණ ඇත. එසේ පවසන්නේ කවුද? එය තීරනය කර ඇත්තේ කෙසේද ? කවුරුන් හෝ කල්ප රාජපක්ෂ ට දුරකතනයෙන් දැනුම් දුන්නාද? මින් තේරුම් ගත යුත්තේ කල්ප රාජපක්ෂ වැනි ප්‍රපංචවේදීන් අනුභූතික යථාර්ථයට මුලා වී ඇති ප්‍රමාණයේ තරමය.


ඊට අමතරව ඔහු විශේශයෙන් සදහන් කරන කාරනයක් වන්නේ ජනතාව අරගල සදහා තවදුරටත් යොදාගත හැකි බවත් මෙම අරගලය තුලින් පශ්චාත් නූතන වාදය පරාජය ට පත්වූ බවත් ය. ජනතාව අරගල හදහා යොදාගත නොහැකිය කියන කාරනයක් පශ්චාත් මාක්ස්වාදය තුල නොකියවෙන අතර අපි පවසන්නේ ජනතා කැමැත්ත යන කාරනය ප්‍රමුක වන බවත් ජනතාව නැමති සාරාත්මක අනන්‍යතාවයක් නොපවතින බවත් ජනතාව මෙහෙය වනුයේ සවිංඥානක දැනුමකින් සහ අරමුණකින් නොව අවිංඥානක මැදිහත්වීමකින් බව පමණි. එය අරගලය තුලිනුත් අනිකුත් ඓතිහාසික සමාජ පරිවර්තනයන් තුලිනුත් පැහැදිලි වෙමින් ඇත.

*පශ්චාත් නූතන වාදය පරාජය වුනාද?

ඔහු පශ්චාත් නූතන වාදය පරාජයට පත්වූ බව පවසන නමුත් ඔහු අදහස් කරන පශ්චාත් නූතන වාදය යනු කුමක්දැයි හෝ පරාජය වූයේ කෙසේද යන්න ගැනද කිසිවක් නොකියා සිටියි.
මෙය කුමන න්‍යායකට අනුව කුමන ශාස්ත්‍රාලිකයෙකුගේ ප්‍රමිතියකට අනුව කරනු ලබන්නේදැයි අපට නම් තේරෙන්නේ නැත. කෙසේ නමුත් අප ”සමබිම” පක්ශය නියෝජනය කරන පශ්චාත් මාක්ස්වාදීන් ලෙස අරගලය සම්බන්ධයෙන් කරනු ලැබූ සියලු පුරෝකතනයන් නිවැරැදි බව අරගල වකවානුව තුල කරනු ලැබූ වීඩියෝ අධ්‍යනය කිරීමෙන් ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකිවනු ඇත.
පරාජය වී ඇත්තේ පශ්චාත් මාක්ස්වාදී අප කරනු ලැබූ පුරෝකතනයන් නොව කල්ප රාජපක්ෂ වැනි ඊනියා මාක්ස්වාදීන් ලෙස පෙනී සිටින මනෝරාජිකයන්ගේ සරල මතික ෆැන්ටසි බව නම් ඉතා පැහැදිලිය.


*සැබෑවටම අරගලය දයලෙක්තිකව සහ පශ්චාත් මාක්ස්වාදීව තේරුම් ගන්නේ කෙසේද ?


අරගලය යනු සමාජ ආර්ථික පසමිතුරුතා තුල හෙජමොනිකව අධිනිශ්චය වූ පසමිතුරුතාවයකි. අරගලය යනු එය නියෝජනය කරන ලද හැගවුම් කාරකයක් මිස නිශ්චිත සාරාත්මක යමක් නොවේ. මාක්ස්වාදී අපෝහකවාදයට අනුව විග්‍රහ කරගතහොත් පවතින ගැටුම් සහිත ධනවාදී සමාජය ‘වාදය’ වන අතර හෙජමොනිකව අධිනිශ්චය වූ අරගලය ‘ප්‍රතිවාදය’ ලෙස හදුනාගත හැකිය.


මෙම වාදය සහ ප්‍රතිවාදය අතර ගැටුමේ දිශානතිය තීරනය වනුයේ සමාජ අවිංඥානයට අනුව මිස ආර්ථික නියතිවාදයකින් හෝ සමාජ සංවර්ධනය පිලිබද නීතියකට අනුව නොවේ. සමාජ අවිංඥානය සංකේත යථාර්ථය තුල නොපෙනෙන අතර එය වටහා ගත හැකි වනුයේ පසු ආවර්තිතවය. ගැටුමේ ප්‍රතිපලය වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසු එනම් ‘සහවාදය ‘ තුලින් පසු ආවර්තිතව බැලූ විට සමාජ අවිංඥානය යනු රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්කර ගැනීමය. එසේ නැතිව අරගලයේ අරමුණු ඉටු නොවුනේ වෘත්තීය සමිති ශක්තිමත් නොවීම,කම්කරු ව්‍යාපාර නොතිබීම,අරගලය පාවාදීම ආදී ලෙස සාහිත්‍යමය සහ හැගීම්බර අදහස් ඉදිරිපත් කිරීම ලාමක අදේශපාලනික කාරනාය, කිසිසේත්ම පශ්චාත් මාක්ස්වාදී නැත.


* කල්ප රාජපක්ෂ පැටලුනු ලොකුම අගතිය.


සමාජය දැනුවත් කිරීමෙන් විප්ලවය කලහැකි යැයි කල්ප රාජපක්ෂ විශ්වාස කිරීම .


අපි සියලු දෙනා ජීවත් වන්නේ පසු ධනවාදී යුගයක වුවත් කල්ප රාජපක්ෂ අදහස් වලින් තාම ජීවත් වන්නේ පූර්ව – ධනවාදී යුගයකය. ඔහු සිතන්නේ ලංකාවේ මිනිසුන් හිතන්නේ එම පූර්ව ධනවාදී යුගයේ මිනිසුන් ජීවත් වන විදිහට කියාය. වැඩවසම් සමාජ ක්‍රමය තුල ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගසන ලද්දේ පීඩිත පන්තියේ ම මිනිසුන් විසිනි. උන් වහන්සේ කියන ලද්දේ ඔවුන් කරමින් සිටින්නේ කුමක්දැයි ඔවුන් දන්නේ නෑ, එනම් ඒ අය දන්නේ නෑ මේ ඇණ ගසන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ට කියා, නමුත් ‘ඔවුන් එය කරමින් ඉන්නවා ‘ කියාය. ධනවාදී සමාජ ක්‍රමය තුල මාක්ස්ට එනකොට මාක්ස් කිව්වේ කම්කරුවන් දන්නේ නෑ ඔවුන් සූරාකෑමට ලක්වෙන බව. ඒ නිසා ඔවුන් දැනුවත් කරන්න එතකොට ඔවුන් ඒ බව දැනගන්නවා කියලා කිව්වේ. ඒ කියන්නේ නොදැනුම තමයි සීමාකාරී සාධකය වුනේ. එවැනි සමාජයක දැනුම දීමේන් බාහිර බාධකය ජයගන්න පුලුවන් .


නමුත් පසු ධනවාදී සමාජයක බාධකය වන්නේ නොදැනුම නෙමෙයි,හැම කෙනෙක්ම සිදුවන්නේ කුමක්ද කියලා හොදටම දන්නවා, නමුත් එයම කරමින් ඉන්නවා(cynical society ). පශ්චාත්- නූතන වාදී සමාජයක් කියන්නේ නරුමවාදී සමාජයක්, එවැනි සමාජයක් මෙහෙය වෙන්නේ ‘විනෝදය’ කියන සාධකයෙන් මිස හුදු දැනුමෙන් නෙමෙයි. ඒ හින්දා කල්ප රාජපක්ෂ, මේ පොතේ තියෙන දේවල් හැම අස්සක මුල්ලකටම ගිහිල්ලා සෑම දෙනෙක්ම දැනුවත් කරලා හැකි ඉක්මනින් විප්ලවය කරන්න කියලා කරන ඉල්ලීම ගැන බැලුවම කල්ප රාජපක්ෂත්, ඔහුගේ න්‍යායික අනුදැනුම ලබන පෙරටුගාමීන්ගේත්, ඔහු ඔජ වඩන මෙම පොතේ තත්ත්වයත් ගැන සිතා ගැනීම සියලු දෙනාට බාර කරමි.

Chandana Ranasinghe.

ඔබේ අදහස කියන්න...