පසුගිය දිනෙක බොරැල්ලේ පුංචි නාට්ය ශාලාවේ රංගනය කෙරුණ අසංක සායක්කාරගේ ” සංගදාසගේ පුංචි කළිසම ” 20 වැනි සියවස අහවර වී ඇති බවට කළ සංඥාවකි. මෙම නාට්ය උපදේශනාත්මක ගණයට අයත් එකකි. නමුත් මෙම උපදේශනය මින් පෙර දැක නැති ආකාරයක් අනුගමනය කරයි. එය කාන්තාවක් මෙන් උපදෙස් දෙයි. පොදු මිනිසා 20 වැනි සියවසේදී කලාවෙන් ජීවිතයට ප්‍රයෝජනවත් වන විදිහේ උපදේශයක් බලාපොරොත්තු වෙයි. ජීවිතය විවේකයෙන් පිරී නැත. ජීවිතය සාර්ථක කර ගැනීමට උපදේශයක් කලාවෙන් ලැබේ නම් එය වටින්නේය.පොදු මිනිසාගේ මේ බලාපොරොත්තුව යුක්තිසහගතය. නාට්යකින් කෙරෙන්නේ යමක් සිදු වූ බව කීම නොව සිදු වූ සැටි දැක්වීමය. මාටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ හෝ ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගමෙහි’ කිසියම් ගම්බද ප්‍රදේශයක් වෙනස් වූ හැටි දැක්වේ. එබදු ගම්බද පෙදෙස් වෙනස් වූ බව නම් අපි කවුරුත් දනිමු. එහෙත් වෙනස් වූ සැටි දැකීමට අපට අවස්ථාවක් නොලැබේ. මෙය කලාකරුවාගේ වැඩකි. කිසිවක් සිදු වූ සැටි දක්වන කලාකාරයා, ඒ සිදු වූ දෙයට සහභාගි වූ පුද්ගලයන්ගේ කෙරුම් කියුම් වල මාර්ගයන් එය පසක් කර ගැනීමට සළස්වනු විනා, තමා ඉදිරියට පැමිණ කරුණු පහදා දෙන්නට තැත් නොකරයි.සැබවින් සිදු වූවක් හෝ වේවා සැබවින් සිදු නොවූ දෙයක් හෝ වේවා, නිතර නිතර සිදුවන්නක් හෝ වේවා කලාතුරකින් සිදුවන්නක් හෝ වේවා සිදු වූවක් සේ වර්ණනා කිරීම කලාකරුවාගේ හපන්කමකි.සායක්කාරගේ නාට්යයේ තේමාව සෘජුය. එහි වක්කෝත්ති නැත. එහි වයංගාර්ථයන් නැත. එය නරඹන රසිකාවියට ලැබෙන්නේ වින්දනයට වඩා තත්තවඥාණයකි. දැන් අපට 21 වැනි සියවසේ මූලික පාරභෞතික ගැටළුවක් හමු වෙයි.
යමක් කලා කෘතියක් වන්නේ කෙසේද ?
නාට්යයේ කතා වස්තුව සරළය.රජයේ රෝහලකට සංගදාස නැමැති දරුවන් නොමැති , නිස්සාර විවාහ ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු පැමිණෙයි. රෝහලේ සිටින හෙදියක් පුංචි කුප්පියක් ඔහු අතට දී එය ‘අරවා’ ඉන් පුරවාගෙන එන්න යැයි උපදෙස් දෙයි. සංගදාස හෙදියගෙන් අසන්නේ පූජනීය කටයුත්තක් මෙහෙම වැසිකිළියක් තුළ කරන්නේ කෙසේද කියාය. නාට්ය සංස්කරණයට අනුව ඉහත සිද්ධිය හරහා ඊළගට කැපී යන්නේ සාධාරණ ඉල්ලීම් මුල් කරගත් වැඩ වර්ජනයකි. සංගදාසගේ කටයුත්ත ඉටු වීමට යෑමේදී ඔහුට විවිධ බාහිර බාධා හමු වෙයි. නාට්ය ගලා යන්නේ මෙම හාස්යජනක ජවනිකා මැදි කරගෙනය.
මෙවැනි තේමාවක් පොදු මහජන අවකාශයකට රැගෙන ඒම අශ්ලීලය. නමුත් උභතෝකෝටිකය වන්නේ එවැනි අශ්ලීලත්වයක් කිසිවෙකු නොකියවීමයි. සමාජ ගැලළුවක් එකවර පුද්ගලයෙකුගේ ගැටළුවක් බවට පරිවර්ථනය වෙයි. පැරණි යථාර්ථවාදී නාට්ය කලාව තුළ පැවති සාමූහික ප්‍රශ්න වෙනුවට මෙතැන ඇත්තේ පොදු ස්ථානයක්, වඩාත් නිවැරදිව කිවහොත් රෝගීන් පරික්ෂා කරන ස්ථානයක් පුද්ගලික ෆැන්ටසි ස්නාගාරයක් බවට පත් වීමයි.මේ හේතුව නිසා සහානුභූතිය වෙනුවට ආදේශ වන්නේ වාර්තාවකි. වාර්තාවකින් හෙළි වන්නේ බාහිර තතු පමණි. නමුත් කලා කෘතියකින් අපේක්ෂා කරන්නේ බාහිර තතු සමග අභ්යන්තර තතු හා චිත්ත චෛතිසිකයන් ද අනාවරණය වන බවකි.රස වින්දනයද ඥානයකි.
කෘතියේ චිත්ත-චෛතිසික ස්වභාවය හෙළිදරවු කිරීමට ලංකාවේ කලා විචාර තාක්ෂණය පොහොසත් නැත. මෙම කෘතිය යම්කිසි න්‍යායක් සපථ කරයි. ( වරදවා තේරුම් නොගන්න-මෙම කෘතියේ අභ්යන්තර චෛතිසික ස්වභාවය තේරුම් ගැනීමට බාහිරින් ඊට න්‍යාය රැගෙන යා යුතු නැත.) එබැවින් මෙම නාට්ය අර්ථකථනය කිරීමට න්‍යායක් පාවිච්චි කළ යුතු නැත. ඒ වෙනුවට මෙම නාට්ය “න්‍යාය අර්ථකථනය” කිරීමට යොදාගත හැක. එනම් කලා කෘති තුළින්ම අපට න්‍යාය ක්‍රියාත්මක වන ආකාරය වටහා ගත හැකිය. න්‍යායික ක්‍රියාකාරීත්වය යනු දෘෂ්ටිවාදය විචාරය කිරීමයි. එනම් සමාජය ක්‍රියාකාරී වන අදෘෂමාන බලවේග ඥාණයෙන් සිතියම් කිරීම දෘෂ්ටිවාදී විචාරයෙන් සිදුකළ හැක. ඊළගට අපට දෘෂ්ටිවාදී විචාරයෙන් කළ හැක්කේ කුමක්ද ? එමගින් සිදු කරන්නේ ධනවාදී ආර්ථිකය තුළ ඇති සැබෑ ප්‍රශ්න උපරි-වයුහයට සංක්‍රමණය කරන ආකාරයන් අවබෝධ කර ගැනීමය. සාරාංශගතව කිවහොත් එවිට අපට පන්ති අරගලය සිදුවන අකෘතිය වටහා ගත හැකිය.
නාට්්‍ය දෘෂ්ටිවාදී ෆැන්ටසියක් ලෙස ක්‍රියාත්මක වන ආකාරය විභාග කළහොත් එය හෙදියගේ ෆැන්ටසියකි. හෙදියට ඇයගේ ආශාව සැබෑවකි. එයට මුහුණ දීමට හැකියාවක් ඇයට නැත. සංඝදාස යනු හෙදියට ඇගේ ආශාව ඉෂ්ට කරගැනීමට නොදෙන ස්වයං බාධාවයි. සංඝදාස දිගින් දිගටම පැමිණිළි කරන්නේ බාහිර නිර්මිතයක් රහිතව, බාහිර පරිසරය යහපත් නැති විට ස්වයං-මෛථුන්ය කළ නොහැකි බවයි. පිරිමියෙකුගේ සුරතාන්ත මොහොත ප්‍රමාද කිරීම පුරුෂ ෆැන්ටසියක් නොව ස්ත්‍රී ෆැන්ටසියකි. දරුවෙක් නැති වීම ‘සැබෑවක්’ වන්නේ පුරුෂයෙකුට නොව ස්ත්‍රියකටය. එම ‘සැබෑව’ වැළැක්වීමට සංකේතනයට ඇහැරීමද ස්ත්‍රී ක්‍රියාවකි.හෙදියට තම ආශාවට සම්මුඛ වීමට මෝඩ ගැමි පුරුෂයෙකු අවශ්ය වීම ෆැන්ටසියට භක්තිමත්වීමේ ලක්ෂණයකි. නමුත් බාහිර බාධාවන් මගින් සංකේතවත් වන්නේ හෙදියගේ ෆැන්ටසිය ඉරාගෙන මතු වෙන සැබෑවයි. හිස්ටෙරික ස්ත්‍රියකට ඊළගට ඇතුල්විය හැකි අවකාශය විපරිතභාවයයි. මයිකල් හැනකිගේ ‘ පියානෝ ගුරුතුමිය ‘ චිත්‍රපටයේ අපට හමු වන්නේ ෆැන්ටසියේ සාක්ෂරතාවය නොදන්නා ස්ත්‍රියකි. ඇය කරන්නේ එය බාහිරින් ඉගෙන ගැනීමට උත්සහ කිරීමයි. වරක් ඇය ලිංගික සම්බන්දතා පැවැත්වීම යන්න වටහා ගැනීම සදහා ගොම්මනේ සිනමා ශාලාවකට ඇතුල් වී ඊට කලින් එතනට පැමිණි පිරිමියෙකු ස්වයං-මෛථුන්යයේ යෙදී කුණු බක්කියට දැමූ ශුක්‍රානු පිස දැමූ අත් පිස්නයක් අතින් ගෙන නාසයට ලංකර එහි පුසුබ ආග්‍රහණය කරයි. මෙමගින් සංකේතවත් වන්නේ ෆැන්ටසියකින් තොරව ලිංගික සම්බන්ධතා පවත්වන ආකාරයයි. ෆැන්ටසියකින් තොරව ලිංගික සම්බන්ධතා පැවැත්විය හැක්කේ ශාක වලට සහ සතුන්ටය. මිනිසුන්ට ස්වභාවික නොවන “නොදරු ලිංගිකත්වයක්” ( The Infantile Sexuality – මෙය ප්‍රොයිඩ් සොයා ගත්තකි ) ඇත. ඒ නිසා වැඩිහිටි ශීලාචාර, ඊඩිපස් ලිංගික සබදතා ලෝකයකදී මිනිසෙකුට තමන්ගේ නොදරු ලිංගිකත්වය ආණ්ඩු මට්ටු කිරීමට සිදුවෙයි.
ඉහත ආඛ්‍යානය [ Narrative] නිවැරදි නම් සායක්කාරගේ නාට්යයේ කතානායිකාව හරහා සංගදාසලා විපරිතකරණයට ලක්වෙයි. කලක් ගතවන විට මෙම සංගදාසලා පරිණත විපරිතයන් ලෙස සමාජ ලෝකයට ප්‍රවිෂ්ඨ වෙයි. හිස්ටෙරික ස්ත්‍රිය නිසා හෝ පියාව සතපහකට ගණන් නොගන්නා පුරුෂ අම්මලා නිසා ඉතාම ටික කලකින් සංගදාසලා ( මෙවැනි අය දැන් හැමතැනම බෝවී ඇත ) සංකේත නීතියෙන් සමුගනියි. ඉන්පසු ඔවුන් විවිධ සංදර්ශන වේදිකාගත කරන්නේ බාහිරින් යළිත් සංකේත නීතිය ස්ථාපිත කර ගැනීමටය. සායක්කාරගේ නාට්යයේ යටජංගිය ඉරාගෙන මතුවන සත්යක් වන්නේ මෙම මංසන්ධියයි. කප්පාදු නොවූ මවකගේ විනෝදය කුමක්දැයි යන්නට පිළිතුරක් සංකේත ලෝකයේ නැත. බාළිකා පාසල් අසළට ගොස් සරම උස්සන විපරිතයා බාහිරින් බලාපොරොත්තු වන්නේ තමන්ට සීමාවක් පණවන්න කියා මිසක් සතුටක් නොවේ. කලකෘති හරහා මෑතක සිට ප්‍රකාශයට පත්වන මෙම විපරිත වයුහය එක පැත්තකින් ස්වයං-උල්ලංඝනයකි. උදාසීනව ඔබ ආසනයේ වැතිර සිටින විට අප වෙනුවෙන් සංගදාස හෙදියගේ ආශාව අපව විපරිත වන මට්ටමට රැගෙන යයි. අනෙක් අතට නාට්ය අහවර වී එළියට බට විට මේ සියල්ල සිදු වූයේ රෝහලක ප්‍රසිද්ධියේ නේදැයි අපට හැගෙයි. නමුත් එහි සුවිශේෂය වන්නේ මහා අනෙකා අප විසින් සිදු කළ එම උල්ලංඝනය නොදන්නා නිසාය.
නාටයයේ දේශපාලන මානය ඉතාම ලුබ්ධිමය ආකාරයකට සකස් වී ඇත. ඒ සදහා සංකීර්ණ අර්ථකථනයක් අවශ්යය.
යම්කිසි ජනසමාජයක් ප්‍රාග්ධනය නිසා ඇති කරන අතිරික්තය නිසා අසමබර වෙයි. එහි සංගතභාවය බිද වැටෙයි. එබැවින් ඕනෑම ඒකධිපති වයුහයක් ඇති සමාජයකදී සිදු වන්නේ අධික ලෙස ආකූල-වයාකූල වූ සමාජයක් එක් පසෙක පැවතියදී අනෙක් පසින් සර්වතෝබද්‍ර මාස්ටර්වරයකුගේ ආගමනය සිදුවීමයි. මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවට එන විට ලංකාවේ සමාජය පැවතියේ යුද්ධය සහ තවත් කාරණා නිසා අරාජකවය. ඔහු මෙම අරාජක සමාජය සරාජක හෝ විධිමත් සංගත සමාජයක් කිරීමට දුන්නේ එක සංඥාවකි. එය නම් මේ මහා අවීචි නරකාදිය නැති කිරීමට අප කළ යුත්තේ LTTEය සහ දෙමළා දේශපාලන අරගලයෙන් අතුගා දැමිය යුතුය යන්නය. මාස්ටර්ගේ මැජික් පොල්ල වන්නේ එයයි. එබැවින් මාස්ටර්කෙනෙක් සමාජයේ පවතින පන්ති පසමිතුරුභාවය විස්ථාපනය කරනවා වර්ගවාදයක් හෝ වෙනත් බාහිර බාධාවක් වෙතට. එමගින් මිනිසුන් තාවකාළිකව සුවපත් වෙනවා. මේ කතිකාව මගින් සමාජය අපවිත්‍ර කරන්නේ කවුරුන්ද යන්න හදුනා ගැනෙන අතර එය පිරිසිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබද ඉගියක්ද ලබා දෙයි. මෙම බාහිර අපවිත්‍රකාරකයට එරෙහිව මිනිසුන් අතර සහයෝගීතාවයක් බිහිවිය යුතුයි. එමගින් අවයාජ දර්ශනයක් සහිත සංගත සමාජයක් බිහි වෙයි.මේ නිසා මහින්ද චින්තනය යනුද අවයාජ දර්ශනයකි. මෙවැනි දර්ශනයක් ක්‍රියාත්මක වන විට ඔබ සිටිය යුත්තේ පුටුවකය. නිශ්ක්‍රීයවය. එවිට සිදුවන සියල්ල සහ ඔබ අතර පරතරයක් ඇත. ඔබගේ සහභාගීත්වයෙන් තොරව බොහෝ දේ සිදුවන අතර ඊට ඔබගේ වගකීමක් නොමැත. ඔබ ඊට සහභාගි නොවූවත් සිදුවන දේවල් නැරඹීම නිසා ඔබටද උල්ලංඝනීය විනෝදයක් හමු වෙයි. ඔබට ප්‍රසිද්ධ ස්ථානයකදී ස්ත්‍රියක් හවුල් කරගෙන ස්වයං-මෛථුන්යයේ යෙදිය නොහැක. නමුත් නාට්ය ශාලාවක කළුවරේ වාඩිවීමෙන් එම අත්දැකීම ඔබට බාහිර අනතුරකින් තොරව ලැබිය හැකිය. ඔබගේ ආශාව සහ විනෝදය වෙළදපොල හේතුවෙන් මියගොස් ඇති නිසා එම ආශාව සහ විනෝදය යළි උත්පාද කරගැනීමට නාට්යක් නැරඹීමට යෑම මහින්ද රාජපක්ෂ මෙන් හත්පොළේ ගා ගැනීමක් නොවේ.
ධනවාදී පරිභෝජනවාදය සහ පාරිභෝගික අර්චනය හරහා මේ වන විට සංකේත නීතිය, සංකේත පියා, පරමාදර්ශ, ආයතනික පර්යාය, ඊඩිපස් පවුල යන මේ සියල්ල බිද වැටී ඇත. මෙම තත්තවාරෝපිතය තුළ මිනිස් ආශාව බිහි කිරීමට අදාළ සංකේත නීතිය අකර්මන්ය වී ඇත. මේ නිසා මුළු මහත් සමාජය තුළම ‘විනෝදය’ සංවිධානය කළ සාම්ප්‍රදායක බලරටා බිද වැටී ඇත. සමාජය යනු මේ මොහොතේ ආර්ථික අර්බුදය විසින් වෙළා ගන්නක් පමණක් නොවේ. එය ලුබ්ධි අර්බුදයකින් ද පෙළෙයි. මෙම ලුබ්ධි අර්බුදයට විසදුම් දෙකක් ඉතිහාසය තුළ මිනිස් ආත්මය සොයාගෙන ඇත. එකක් හිස්ටෙරික ප්‍රතිචාරයයි. අනෙක විපරිත ප්‍රතිචාරයයි. විපරිතභාවය (Perversion) උත්සහ කරන්නේ නීතිය නැවත ස්ථාපනය කොට විනෝදය වටා නැවත සමාජය සංවිධානය කරවන්නටය.
ඉහත හේතු-ඵල සම්බන්ධය නිසා වර්තමාන කලාකෘති යනු අවයාජ කුඩා සමාජයන් පොරොන්දු වන කළුවර කාමරයන්ය. බොහෝ දෙනා අවුල් වී ගිය සමාජයක හුදෙකලා සාමාජිකයන් ලෙස National Geography , Animal Planet වැනි නාළිකා වල වැඩසටහන් නැරඹීමට මහත් සේ ආශා කරන්නේ මන්ද ? මිනිසුන්ට වඩා අව්යාජ සමාජයන් සතුන්ට ඇතැයි කියා මිනිස්සු විශ්වාස කරන නිසාය. ඕනෑම මිනිසෙකුට මේ යුගයේ සිදු වී ඇත්තේ -තමන් විපරිතයෙකු උවත් නැතත්- බහුදිශානත විපරිතභාව්යන්ට අනන්ය වී ඒවා සමග සංසර්ගයේ යෙදී කුමන හෝ අඥාත අනෙකෙකු ලවා තමන්ගේ අවිඥාණික නීතිය සොයා ගැනීමය. හෙදියගේ අවිඥාණික නීතිය වූයේ සංගදාසය. මෙම නීතිය අපට මීට කලින් සමාජ අවකාශය තුළින් නොලැබුන දෙයකි. ඒ සදහා ඕනෑම තැනැක් දැන් විවෘතය. OPD බංකුවක්, නිදහස් චතුරස්‍රය, පාසල් කාමරයක් …………….. විපරිතභාවය යනු අවසර නොගන්නා ප්‍රවේශයකි. එය ඔබ තුළට ඇතුල් වන්නේ අවසරයකින් තොරවය. ඇතුල් වූවාට පසු ඒ තුළ ඇති චාරිත්‍ර- වාරිත්‍ර සහභාගි වනවාට වඩා වෙන දෙයක් කරන්නට නැත. ඩෙවිඩ් ලින්ච්ගේ චිත්‍රපට තුළ මතුපිට සාමකාමී අවකාශයක් සහ එහි යටි පැත්ත ලෙස කෲර, හිංසනීය ලෝකයක් අපට හමු වෙයි. සායක්කාරගේ නාට්යයේ සිටින්නේ වැදගත්කම හදිස්සියේ විනාශ කරගත් මිනිසුන්ය. අප කියා අපට අනන්ය වීමට බල කෙරෙන්නේ අනෙකාටය. අපව සොයාගත යුත්තේ අනෙකාගේ අශ්ලීල ආශාවන් සහ විනෝදයන් තුළය. එය පරාරෝපිත බව සැබෑය. නමුත් සමකාලීම කුඩාම අව්යාජ සමාජ පරමාණුව එයයි. එවන් කුඩා සමාජ පරමාණුවක් අතිශයින් සෞන්දර්ය අත්දැකීමකි.”දේශපාලනය සෞන්දර්ය කිරීම” ෆැසිස්ට් අත්දැකීමක් යැයි වෝල්ටර් බෙන්ජමින් කියන්නේ මේ නිසාය. සමකාලීන සමාජයට ගැළවුම සදහා ඇති එක විකල්පයක් වන්නේ සර්වත්‍රික විපරිතකරණයයි.
දීප්ති කුමාර ගුණරත්න
– කලාකෘතියේ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීමට අවසර ඇත –
ඔය අන්තිමට කියන්නේ හැමෝම විපරිත උනාම හරි කියලද?
හත්පොලේ ගාගත්තේ මහින්ද රාජපක්ෂද ?
සත්හඩේ වැඩට ගිය දීප්ති කුමාර ගුනරතනද ?
Comments are closed.