ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නයපොත දොරට වැඩීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කරන ලද දේශනයේ සම්පූර්ණ පිටපත

1

නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්‍රස්තුත දෙකකින්.
එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද?
මම කියන්න යන දේ හිත් අමනාපවීම් වලට, මතභේදයන්ට හේතු වෙන්න පුළුවන්.ඒක ගැටළුවක් නොවේය කියන එක අවධාරණය කරන්න ඕනේ. මන්ද ඒ හිත් අමනාපකම් නොතිබ්බා නම් මේ කතාවෙන් වැඩක් නෑ කියලා හිතෙන නිසා. මම ඉස්සෙල්ලා විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා එක අදහසක් කියන්නම්. මේක ඩෙරීඩාගේ අදහසක්. ඉංග්‍රීසියෙන් ඩෙරීඩා කියන්නේ එයාගේ අවසාන සම්මුඛ සාකච්ඡාවේදී

“What I call the university of tomorrow should be free to know, criticize, ask questions, doubt without any conditions attached, without being limited by any politics or religious power.”

මම සිංහලට පරිවර්තනය කලේ මෙහෙමයි.

මම අනාගත විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වන්නේ මෙයයි. අනාගත විශ්ව විද්‍යාලය යනු සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලුත් දේ දැනගැනීමට හා විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රශ්න කිරීමට හා සැක කිරීමට වරම හිමිවන දේශපාලනික හෝ ආගමික බලය විසින් කිසිසේත් සීමා නොකෙරෙන පරමාදර්ශී තැනකි.

දැන් ඒ විශ්වාසය උඩ දෙවෙනි ප්‍රස්තුතය.
නිර්මාල්ගේ පොතේ කෙටුම්පතක් මට ලැබුණා.මම කියෙව්වා. ඇත්ත වශයෙන්ම ඒවා කියවලා මම උපකල්පනය කරනවා එයාට එදිරිවාදීව සිටින කිසිම කෙනෙක් ඒවායින් සෑහීමට පත්වෙන්නේ නැහැ කියලා. ඒ ලිපි කියවලා ඒ විෂය ගැන නොදන්න කෙනෙක් හිටියා නම් ඒ තර්ක වලින් සෑහීමට පත්වෙන්න තිබුණා. එදිරිවාදීන්, විරුද්ධ කණ්ඩායම් ඒවායින් සෑහීමට පත්වෙන්නේ නැහැ. අන්න ඒ ප්‍රශ්නය තමයි මම අද කෙටියෙන් විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ.



එම ගැටලුව ගිල්බට් රයල්ගේ ‘ප්‍රභේදමය දෝෂය’ (category mistake) සංකල්පය ආශ්‍රයෙන් විග්‍රහ කළ හැකියි. වචනයක අර්ථය එහි ව්‍යාකරණය අනුව හෝ වෙනත් හේතුවක් නිසා පටලවා ගැනීම ප්‍රභේදමය දෝෂයයි. උදාහරණයක් ලෙස “මම පුටුවට ආසයි’, ‘මම නිර්මාල්ට ආසයි’ යන ප්‍රකාශ දෙකේ ව්‍යාකරණ සමානයි. ඒ අනුව ‘පුටුව’ හා ‘නිර්මාල්’ සමාන යැයි සලකා ‘මේ පුටුවේ නම මොකක්ද’ යැයි විමසුව හොත් එයින් පෙනෙන්නේ ව්‍යකරණවල තිබෙන සමානතාව හා ආසන්නතාව නිසා අප භාෂාවෙන් වශී වීමක්.මෙලෙස භාෂාවෙන් වශී වූ මොහොත විට්ගන්ස්ටයින් හැඳින්වූයේ “භාෂාව නිවාඩු යන” අවස්ථාවක් ලෙසයි. එවැනි මොහොතක් යනු කිසිදු වගකීමකින් තොරව කැමැති දෙයක් ගැන, කැමති දෙයක් කිව හැකි අවස්ථාවක්.
මම දකින ආකාරයට, නලින්ද සිල්වා ඇතුළු ජාතික චින්තක ධාරාව වගේ අය ඉදිරිපත් කරන අදහස් තර්ක හැටියට පෙනුණත් ඒවා තර්ක නොවේ.වෙනත් කරුණු හෝ සාක්ෂි ඉදිරිපත් කිරීම මඟින් තර්ක බිඳ හෙලිය හැකියි. නමුත් මෙම අදහස් බිඳ හෙළිය හැකි දේවල් නොවේ. ඒවා වෙනත් ආකාරයන්ගෙන් නැවත නැවතත් ඉදිරිපත් වෙනවා.ඇත්ත වශයෙන්,ඊට හේතුව ඒවා විශ්වාසයන් (beliefs).තර්කයක් බිඳ හෙළිය හැකි වුවත් විශ්වාසයක් බිඳිය නොහැකියි.
සත්‍යයක් තහවුරු කිරීමට සාක්ෂි අවශ්‍යයි. සත්‍යය වෙනුවෙන් හෝ ඊට විරුද්ධව හෝ ඉදිරිපත් වන සාක්ෂි අනුව තෙවෙනි පාර්ශ්වය ඒ ගැන තීරණයක් ගත යුතුයි. අර්ථකථන හා කියවීම් එහිදී ද අවශ්‍යය කෙරෙන නමුත් බොහෝ දුරට තීරණය ගනු ලැබෙන්නේ ඉදිරිපත් වන සාක්ෂි, තර්ක හා වෙනත් කරුණු අනුවයි.

එහෙත් විශ්වාසයක් ගැන සලකා බැලීමේදී මෙම ක්‍රියාවලිය වෙනස් බව අප තේරුම්ගත යුතුයි. විශ්වාසයක් අපගේ කතිකා ක්‍රමය තුළ හැසිරෙන්නේ ඇදහීමක් වශයෙන්. අප විසින් සාක්ෂි හා තර්ක භාවිතා කෙරෙන නමුත් මෙම සාක්ෂි අපගේ විශ්වාසයට මූලික හේතුව නොවේ.සමහර විටෙක විශ්වාසයක් තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරනු ලැබිය හැකි වුවත් එය රඳා පවතින්නේ සාක්ෂිය මත නොවේ. තර්කයක් සාක්ෂි මත පදනම් වුවත් විශ්වාසයක් පදනම් වන්නේ වෙනත් තැනකයි.ඉදිරිපත් කරනු ලබන සාක්ෂි ප්‍රමාණවත් නොවේ නම් ඊට සෑහෙන වෙනත් සාක්ෂියක් සෙවීම එහිදී සිදුවෙනවා. අප වග වන්නේ සාක්ෂියට නොව විශ්වාසට යි.විශ්වාසය මෙම අවස්ථාවේදී හැසිරෙන්නේ මතවාදී තලයේයි.කෙනෙකුගේ විශ්වාසයට විරුද්ධ වී‍මේදී තර්ක, විතර්ක ප්‍රමාණවත් හෝ සාධනීය නැහැ.ඊට හේතුව විශ්වාසයන් අපහට ග්‍රහණය වන්නේ තාර්කික ක්‍රියාවලියකින් නොවන නිසායි. මෙය තේරුම් ගැනීමෙන්, ඵලදායි නොවන වාද කිරීමෙන් ඇතිවන අන්‍යෝන්‍ය හිත් වේදනා වළක්වා ගත හැකියි.නොදන්නා පිරිසක් තුළ මෙම තර්ක කියවීමෙන්, කතිකාව තේරුම් ගෙන, කිසියම් මානසික වෙනසක් ඇති කළ හැකි නිසා වාද කිරීමේ කාර්ය වැදගත්. එහෙත් මතවාදයක් විශ්වාසයක් හැටියට පිළිගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් ඒත්තු ගැන්වීම අදාළ නොවෙයි.

සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීන් දූෂණ, වංචා, මැර ක්‍රියා සිදු කරන නිසා ඒවායේ දුර්විපාක වැඩමුළුවක් මඟින් එම මන්ත්‍රීන්ට හෙළි කිරීමෙන් ඔවුන් ඉන් වැළකි සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකිද? ඔවුන් එම කාර්යේ නිරත වන්නේ ඒ පිළිබඳ අනවබෝධයෙන්ද? එය ක්‍රියාත්මක වන්නේ වෙනත් තලයකයි.
විශ්වාසයන් තර්ක මත පදනම් නොවන බව වටහා ගැනීමට පහසු නිදසුනක් ඉදිරිපත් කළ හැකියි. නලීන්ගේ “අපේ ප්‍රවාද – 3” හි එන එක්තරා කතාවක් නිර්මාල් සිය “දෙමළාගේ ප්‍රශ්නය” කෘතියේ උපුටා දක්වා ඇත.“මුළු ලෝකයටම ශිෂ්ටාචාරය හා සංස්කෘතිය හඳුන්වා දුන්නේ හෙළයන් යැයි කීමට ඇතමෙක්ට අවශ්‍ය වෙයි. සමහරවිට ඒ එසේ විය හැකිය.” (අපේ ප්‍රවාද – 11 පිටුව) නලීන්ගේ තර්කය වන්නේ මෙය විය හැකි වුවත් එය සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත යන්නයි. මෙම සාක්ෂි ඉදිරියේ දී සෙවිය යුතු බව ඔහු කියනවා. මෙය තර්කයක් මත පදනම් නොවූ අදහසක් බව පැහැදිලියි. එවැනි උදාහරණ මෙම සන්දර්භයේ පමණක් නොව දෙමළ ජාතිකවාදී සන්දර්භයෙන්ද ඉදිරිපත් කළ හැකියි. ගස්, ගල්, මුල් ඇතිවීමට පෙර දෙමළ භාෂාව ලොව ජනිත වු බව එවැනි එක් පාඨයකින් කියැවෙනවා.

මෙහිදී විට්ගන්ස්ට්යින් සඳහන් කළ එක් කරුණක් දැක්විය යුතුය. ඔහු මෙසේ කියයි.

“I can mistrust my senses but not my beliefs.”
පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන දත්ත මට අවිශ්වාස කළ හැකිය. එහෙත් මගේ විශ්වාසයන් මට අවිශ්වාස කළ නොහැකිය.

ඔහු කියන දෙය වෙනත් ලෙසකින් මෙසේ දක්වනවා.මට පුලුවන්ද මේ වගේ වාක්‍යයක් කියන්න? “අසවල් දේ මම වැරැදි ලෙස විශ්වාස කරමි.” මෙවැන්නක් කිව නොහැකියි. ඊට හේතුව යමක් වැරැදි නම් එය විශ්වාස කළ නොහැකියි. යමක් විශ්වාස කරන්නේ නම් එය නිවැරැදි බවට පූර්ව නිගමනයක සිටිය යුතුයි.විට්ගන්ස්ටයින් ඉතාම ලස්සනට මේක ඉදිරිපත් කරනව

“My aim is to teach to pass from a piece of disguised nonsense to something that is patent nonsense.”

මගේ අරමුණ වන්නේ සැඟවුණ විකාරයන්ගේ සිට එළිපිට පෙනෙන විකාරයන් දක්වා ඔබේ අවබෝධය යොමු කිරීමය.



විට්ගන්ස්ට්යින්ගේ මෙම අදහසට අනුව තර්කයක් ලෙස ඉදිරිපත් වන විශ්වාසයක් සැඟවුණු විකාරයක්,සැඟවුණු බොරුවක්. එය හෙළිදරව් කිරීමේ කාර්යයක නිරත වුවහොත් එනම් එහි ඇත්තේ මෙන්න මෙයයි පෙන්නුවොත් අපි එවිට විශ්වාසයට මිලක් කරනවා. තර්කයක් හැටියට ඉදිරිපත් කළොත් අපිට දිගින් දිගටම තර්ක ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා මගේ අද කාර්යය වන්නේ සැඟවුණු විකාර,සැඟවුණු ගැටලු ප්‍රස්තුත හතරක් යටතේ සම්පිණ්ඩනය කොට දැක්වීමයි. මේ ප්‍රස්තුත හතර තමයි විශ්වාස හතර මේවා තාර්කික ආකාරයෙන් එනවා.ඇත්ත වශයෙන් නිර්මාල්ගේ පොතේ ඉතාම ලස්සනට මේ තර්ක හතරෙම ප්‍රතිඵල පේනවා. මම කීමට උත්සාහ කරන්නේ මේවා විශ්වාස හැටියට තේරුම් ගතහොත් එනම් ප්‍රභේදමය දෝෂයට අප හසු නොවුනා නම් අපිට පුළුවන් විශ්වාස හැටියට ඒවාට ක්‍රියා මාර්ග ගන්න, ඒවාට මැදිහත් වන්න. අපි ඒවා තර්ක කිරීමෙන් බීඳින්න හැදුවා නම් ප්‍රති තර්ක එනවා, තවත් තර්ක හා නොයෙක් දේ එනවා. මොකද ඒවා තර්ක නොවේ.තාර්කික ස්වරූපයෙන් ඉදිරිපත් වන එම විශ්වාස හතර වැදගත්කමේ අනුපිළිවෙළ අනුව මෙසේයි.

  1. ත්‍රිවිධ හමුදාව කවරදාකවත් (සුළුතර ජනතාවට) (බරපතළ) වරදක් සිදු කර නැත.(මම මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කල විට ආචාර්ය මහාචාර්යවරු සමහර කරුණු වලට විතරක් විරුද්ධ වුණා. සමස්ථයක් හැටියට පිළිගත්තා බරපතළ වැරදි කරලා නෑ කිව්වා.පොඩි පොඩි ඒවා වෙනවා කරන්න දෙයක් නෑ කිව්වා.) සිදු කරන්නේද නැත.
    මෙය අපගේ තර්කන රාමුවට (දෙමළාගේ ප්‍රශ්නයට) අදාළ වන්නේ මෙසේයි. ලාංකීය ත්‍රිවිධ හමුදාව විශිෂ්ටයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ට හිමි වරප්‍රසාද ප්‍රශ්න කළ නොහැකියි. මේ ගැන ප්‍රශ්න කිරීමට පෙළඹෙන්නේ දේශද්‍රෝහීන් පමණි.ප්‍රශ්න කරන කෙනා දේශද්‍රෝහියෙක් නම් උත්තරේ වෙන්නේ මේකයි: “තමුසේ සිංහලයෙක්ද?”, “දේශද්‍රෝහියෙක්ද?”, “කතා කරන්නේ සල්ලි පිටරටින් අරගෙන ද?”, “එන්ජීඕ කාරයෙක්ද? ”. ෆූටා සංවිධානයේ අය පළමු ශ්‍රේණියට තමන්ගේ දරුවන් දමා ගැනීමට විශාල, උණුසුම් අරගලයක ඉන්නේ. හැබැයි හැම පංතියකටම ශිෂ්‍යයෝ පස් දෙනෙක් හමුදාවෙන් වෙන් කිරීම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ, ඇයි? ඒ හමුදාව විශිෂ්ටයි. කරපු සේවය විශිෂ්ටයි.
    පසුගිය දශක හතරේ මූලික වශයෙන් අසාධාරණයක් වුනාට මේක වැදගත්. එහිදී මූලික අයිතිවාසිකම් අතුරුදහන් කිරීම්, මර්දන, දූෂණ වැනි දේවල් සාකච්ඡාවට ගැනෙන්නේ නෑ. සමස්තයක් ලෙස වෙනම ස්වෛරීභාවයක් ඉල්ලා සිටින ජාතිකවාදී ධාරාවට සාමාන්‍ය ජනතාව එකතු වන්නේ ඒ හරහා. මූලික අයිතිවාසිකම් හෝ කිසිසේත්ම නීතියෙන් සාධාරණීයක් ඉටු නොවන අවස්ථාවක් නිසා.ඉතිං මෙන්න මේක මුල්ම ප්‍රස්තුතය.

පළමු ප්‍රස්තුතයට වැඩි ප්‍රමුඛතාවක් දෙනු ලැබුවේ දෙවැනි විශ්වාසය පිළිනොගන්නා අය පවා පළමු කරුණු පිළිගන්නා නිසයි.එසේ නැත්නම් ඔවුන් පළමු කාරණයේදී නිශ්ශබ්දව සිටින නිසයි.

  1. මෙය (සිංහල) (බෞද්ධ) රටකි.

එනම්, මේ රටේ ජීවත් වන ජන කොටස් අතරින් සිංහලයන් සුවිශේෂ ජන කොටසකි. ඔවුහු ඓතිහාසිකව, දේශපාලනිකව, සංස්කෘතිකව ප්‍රමුඛ වෙති.(නිර්මාල් ලියනවා, සටන් කරනවා, යාපන ඉතිහාසය ගැන ලියනවා. මේකට යටත්ව ඒවා වැරදියි.මොනවිදිහේ තර්කයක් ඉදිරිපත් කලත් මේ විශ්වාසය යටතේ ඒ තර්කය වැරදියි නැත්නම් ඉදිරිපත් කරන විදිහ වැරදියි එක්කෝ ඒකෙ පර්යේෂණය වැරදියි කියන මතයේ ඉන්නේ.) ඔවුන්ගේ සුජාතභාවය ප්‍රශ්නකළ නොහැකිය. එලෙසම, සිංහලවීමේ පූර්ණ වරප්‍රසාදය ලබන්නට සිංහල පුරවැසියා, බෞද්ධ විය යුතුය. ඒ ගැන ප්‍රශ්න කරන්නාගේ සිංහලබව සැක සහිතය. මෙය “සිංහලයන්ට යන්නට වෙනත් රටක් නොමැත” යන්නේ සිට “ධර්ම ද්වීප” සංකල්පය දක්වා විහිදේ. එහෙත් එහි මූලික අදහස ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි යන්නයි.

ඊලඟට තුන්වන ප්‍රස්තුතය. මේක මම යොදන්නේ මෙය විශ්වාස නොකරන්නාට මෙම සංකල්පය විකාරයක්. එහෙත් විශ්වාස කරන්නාට සම්පූර්ණ ඇත්තක්.

  1. යටත් විජිත සමයේත්, පශ්චාත් යටත් විජිත සමයේත් වර්තමානයේත් මේ රටේ වඩාත් අසාධාරණයට හා පීඩනයට ලක්වූයේ සිංහල බෞද්ධ බහුතරයයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් කිහිපදෙනෙක්ගෙන් ඇහුවා මේක පිළිගන්නවා. මේකට විරුද්ධව තර්ක කරලා වැඩක් නෑ.මේක විශ්වාසයක් නේ. තර්කයක් නම් සංඛ්‍යයා දත්ත, මානව හිමිකම් වාර්තා ඉදිරිපත් කරන්න පුලුවන්. විශ්වාසයක් නම් ඒවා වලංගු නෑ. මින් ගම්‍ය වන්නේ මෑත ඓතිහාසික (හා වර්තමාන) අසාධාරණ තත්ත්වයන් නිවැරැදි කිරීමේ සුජාත හා කාලීන ක්‍රියාවලියක යෙදෙන්නන්ට විරුද්ධවීම වැරැද්දක්.යටත් විජිත ඉතිහාසයේ පටන් සිදුවෙච්ච අසාධාරණයන් නිවැරදි කිරීමේදී පොඩි පොඩි ප්‍රශ්න ඇතිවිය හැකියි.ඒත් මේ කාර්යය ඉතා වැදගත්, කාලීනයි.සිංහලයන් ගුටි බැට කෑමට හා අසාධාරණයට ලක්වූණා ඇති.මේක විශ්වාසයක් තර්ක ඉදිරිපත් කලාට වැඩක් නෑ. මම උදාහරණයක් දෙන්නම්,විද්‍යා නමැති දැරිය දූෂණයට ලක්වූ අවස්ථාවේ උතුරේ ජනතාව පුළුල් උද්ඝෝෂණයක් දියත් කරන ලැබුව.මේ අය මට කියනවා මෙහේ එහෙම දෙයක් වුනාම කවුරුත් කතා කරන්නේ නැහැ.ඊට එරෙහිව විරෝධතා ඇති නෑ. මේක තවත් සාක්ෂියක් සිංහලයන්ට අසාධාරණයක් සිදුවන බවට.හොයනවා නැති සාක්ෂි මවනවා.ඒක තාර්කික නැහැ

  1. මේ රටේ වෙසෙන සුළුතර ජන කොටස් අමතක නොකළ යුත්තක් වන්නේ ඔවුනට මෙහි පදිංචි වීමට හැකිවී ඇත්තේ සිංහල බහුතරයේ උතුම් බව නිසාය. සුළුතර ජන කොටස්වල හැසිරීම මේ අවබෝධයට අනුව හැඩගස්වා ගත යුතුය.
    මේක නිර්මාල්ගේ කතිකාවට ඉතා වැදගත්. ඒ නිසා ‍මෙමඟින් සමානාත්මතාව, සාධාරණය, අයිතිවාසිකම් මත පදනම් වූ කතිකාවන් ප්‍රතික්ෂේප වෙනවා. සුළුතර අභිලාෂ හා අපේක්ෂාවන් ගැන ඉතාම වැදගත් ලිපි කිහිපයක් තියනවා. නිරන්තරයෙන් ප්‍රතිපක්ෂය කියන්නේ සිංහල බහුතරය කැමති නැත්නම් එම අභිලාෂයන් වැදගත් නෑ. මේ විශ්වාසය මත තමයි අර තීරණය ගැනෙන්නේ. මොකක්ද? සියලු ‘සුළුතර’ අභිලාෂ හා අපේක්ෂාවෙන් පවා වලංගු හෝ සුජාත වන්නේ සිංහල බහුතරය ඒවා පිළිගත් විට පමණි කියන එක. ඒ නිසා දෙමළ ජාතික වාදය මේ වනතෙක්, සිංහල ජනයා පිළිගෙන නොමැති නිසා ඒක වලංගු නෑ ප්‍රතික්ෂේප විය යුතුයි. ඊට ‍හේතුව මෙහිදී සාකච්ඡා කරන්නේ සමානාත්මතාව පිළිබඳ නොවීම. සුළුතර සියල්ල සිටින්නේ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවගේ මහඟුභාවය,කැමැත්ත මත.

මම නැවත නැවත මේ හතර අවධාරණය කරන්නේ දැනට පවතින සන්දර්භයේ ගැටලුව වන්නේ දෙමළ ප්‍රශ්නය තිබියදී විශේෂයෙන් මුස්ලිම් ජනතාව කෙරෙහි දිගින් දිගටම පවතින විරෝධයයි. මුස්ලිම් විරෝධි කණ්ඩායම් 60කට වැඩි සංඛ්‍යාවක් ෆේස්බුක් සමාජ ජාලය තුළ මම නිරීක්ෂණය කර තියනවා. ඒවාට ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් කැමැත්ත(like) දක්වා තියනවා.නැගෙනහිර ප්‍රදේශයේ වැඩ කරන අපි දන්නවා මේ විරෝධය, මේ වෛරය අර විදිහේ පදනමක් ගන්න බව. ඒවා තාර්කිකව වෙනස් කරන්න පුළුවන් අදහස් නොවෙයි.එවා අර පරණ විශ්වාසයයන්. මෙහි ඇති ඛේදවාචකය වන්නේ 1990දී මුස්ලිම් ජනතාවට එරෙහිව එල්.ටී.ටී.ඊ.ය ඉදිරිපත් කළ කතන්දරම තමයි 2015 දී සිංහල හා දෙමළ ජනවර්ග දෙකම ‘මුස්ලිම් විරෝධි’ කතිකාවේදී ගොඩ නගන්නේ.
මම අවධාරණය කරන්නේ මේකයි.ෆේස්බුක්වල මුස්ලිම් විරෝධී රූප කාටුන් බැලුවාම ඉතාම භයානකයි. ඒ නිසා මම මතක් කරන්නේ මේවා විශ්වාස හැටියට අපි සැලකුවේ නැත්නම් අප නිරතුරුව නැවත නැවතත් ප්‍රභේදමය දෝෂයට ලක් කරනවා. ඒ කියන්නේ අපි හිතුවා නම් මේවා තාර්කිකව විසඳන්න පුළුවන්, වෙනස් කරන්න පුලුවන් මතවාදයක් කියලා අපි ඒ වැරදීමෙන් වෙන්නේ විශ්වාසයන්ට කිසිදු පලුදුවීමක් නොවීමයි. ඒ නිසා, මීට ප්‍රතිචාර දැක්වීමේදි ඒවා විශ්වාස බව සලකා ඒ විශ්වාසයට එල්ල කරන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත යුතුයි. ඒක අභ්‍යන්තරයෙන් කරන්න ඕනෑ.බාහිරින් කරන්න උත්සාහ කරන විට විශ්වාසයන් මත එල්බ සිටින්නන් දැඩි ලෙස, ශක්තිමත් ලෙස සිය අනන්‍යතාව ඒක හරහා යොමු කරනවා. මුස්ලිම් අනන්‍යතා දේශපාලනය දෙස බැලූවිට සමස්ත විරෝධය මත ඔවුන්ගේ ඒකරාශීවීමක්, දැඩි වීමක්, සැඟවීමක් සිදුවෙනවා පෙන්නුම් කරනවා.

නිර්මාල්ගේ කාර්යය වැදගත් වන්නේ ඒක තුළින් අර වැනි දැඩි මත නැති, ඒ ස්ථාවරයේ නැති අයගේ අවබෝධයක් ඇති වෙනවා.බහුතරයක් ඉන්නේ ඇදහීමක, විශ්වාසයක නිසා ඒක තාර්කිකව බිඳ හෙලන්න බෑ. ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ග ගැන බොහෝ ඉක්මනට ප්‍රවේශමෙන් කල්පනා කරන්න ඕනෑ.මන්ද මේ මුස්ලිම් විරෝධී ධාරාව යමක් නොකලොත් ඉදිරි වසර දෙක ඇතුලත නැඟෙනහිර පළා‍තේ බරපතළ ව්‍යසනයක් ඇති කරන ලක්ෂණ මම දකිනවා.එය කිසියම් තාර්කික ආකාරයකින් ඉදිරිපත් කිරීමට අප උත්සාහ කළමත් එය කිසි විදිහකින් පලුදු වෙන්නේ (dent) නෑ.ඒකට ඇතුලත් වෙන්නේ නෑ. එකම දේ නැවත නැවත එනවා.’මම කියපු එක තේරුන්නේ නෑ.එහෙම නෙවේ මම කියන්නේ’ වගේ.’නොයෙක් උපක්‍රම යොදනවා කිසිම කිසිම තර්කයකින්, සාක්ෂියකින්, බිඳින්න බැරි එක නොකියා.බොහොම පැහැදිළිව නිර්මාල් ඉදිරිපත් කරනව, අරකම ආයෙ එනවා.ෆේස්බුක් සංවාදකයන් සමඟ කළ සංවාදයේ දි මම ගණන් කලා ‘මම කියන දෙය ඔබට නොතේරීම ගැන කනගාටුයි’යනුවෙන් නිර්මාල්ට විසිපස් වරක් පමණ පැවසීමට සිදු වෙනවා. එහි ඇත්තේ තේරුම් නොගැනීම පිළිබඳ ගැටලුවක් නොවේ. ‘විශ්වාසය’ හා ‘තර්කනය’ යන තල දෙක පිළිබඳ ගැටලුවක්.



මුයින් බසෙයිසෝ (Muin Bseiso) නමැති නිර්භීත පලස්තීන කවියා ලියූ පද්‍යයකින් මෙම සටහන අවසන් කිරීම යෝග්‍යයි.ඔහු සිය ජීවිත කාලයෙන් වැඩි කාලයක් ජීවත් වුනේ සිපිරි ගෙයක.පලස්තීන විමුක්ති සංවිධානය හා ඊශ්‍රායලය යන දෙපිරිසම ඔහුට විරුද්ධයි. ඊශ්‍රායල කාර් බෝම්බයකින් ඔහු මිය ගියා. තමන්ට ලැබුණු සිගරට් කොළවල තුත්තිරි වලින් මේ කවි ලිව්වේ.ඒ නිසා ඔහුගේ කවි පෙරාගත් වචන වැනි ඉතාම සාරාංශගත නිර්මාණ.එයාගෙ කවිය අපට ඉතාම හොඳ ආදර්ශයක්, ඒ වගේම අනතුරු ඇඟවීමක්.

My country that was home
Has become an argument
Don’t blame the rifle
When it died without leaving a will
On a cloud I wrote
‘Down with censorship’
And they confiscated the sky. 

මගේම නිවහන වැනි වූ මෙරට
දැන් වාදයක් බවට පත්වෙලා
අවසන් කැමැති පතක් නොලියා
ඌ මැරුණා කියා
තුවක්කුවට දොස් නඟන්න එපා
වාරණය නැති කරපියව්
මා වළාකුලක ලියූ නමුත්
ඔවුන් අහසම සන්තක කළා

අපේ අභියෝගය එයයි. වාරණයට එරෙහිව අපි අහසේ ලියනු ලැබුවහොත් ඔවුන් එයද සන්තක කළ හැකියි. මෙය තර්කයක් පිළිබඳ හෝ හරි වැරැදි පිළිබඳ කතිකාවක් හෝ නොවේ. මෙය ප්‍රජාවක් මුළුමනින්ම ගිල ගන්නා කතිකාවක්.මේක විශ්වාස ධාරාවක්. ඒ විශ්වාසය කියන පිළිකාවට තමයි අපි ඉලක්ක කරන්න ඔනෑ.

උපුටා දක්වන්නේ නම් kathika.wordpress.com වෙබ් අඩවියෙන් ගත් බව සඳහන් කරන්න.

………………………………………………………..

මේ ගැන පිළිබඳ ගැන අපේ අදහස –

සියලු විශ්වාසයන් බිඳ වැටුන මොහොතක, සියලු පරමාදර්ශ ලාභය නම් සීතල වතුරේ දියවී යන සමයක, විශ්වාසයකට (belief) භක්තිවන්ත වීම අදේශපාලනයක් හෝ ලබ්ධියක් වන්නේ කෙසේද? මිනිස් විශ්වාසය නැවත තහවුරු කිරීමට අනාගත අරගලයට ඇත්තේ ආගමික අභිනයක් නම් එවිට අප කුමක් කරමුද? ධනවාදය විකසිත වන්නේ ආගමක ස්වරුපයෙන් නම් ධනවාදයට එරෙහි අනාගත අරගලයේ ආගමික රූපකය ගැන මහාචාර්ය අර්ජුණ පරාක්‍රම පවසන්නේ කුමක්ද? දිනෙන් දින ධනවාදය හා වෙළඳපොළ කුළු ගන්වන අශ්ලීල මිනිස් පැවැත්ම වෙනුවට අධ්‍යාත්මය වැදගත් නොවේද? අද දවසේ ධනවාදයට එරෙහි අරගලය ආගමික මුහුණුවරක් ගෙන ඇත්තේ එමනිසා නොවේද? එවිට විට්ගන්ස්ටයින් කුමක් කියනු ඇත්ද …?

He does not seem to understand the latest ideological developments in the world. Sad.

අර්ජුන පරාක්රම මතු කරන කාරණය වන්නේ අදහස් පහසුවෙන් වෙනස් කල හැකි වුවත් විශ්වාසයක් කෙසේද වෙනස් කරන්නේ කියන කාරණය.ජාතිවාදය කියන එක විශ්වාසයක් නමි එය වෙනස් කිරිම සදහා යොදාගන්නා මෙවලමි කුමක් විය යුතුද?
මොවුන්ගේ විශ්ලේෂණය පදනමි වන්නේ මනසට පරිබාහිර යථාර්තය වෙනස් කිරිම කියන දේ මත.සත්‍ය වන්නේ මෙ යථාර්තය නිර්මාණය කරන්නේ කවර හෝ subject එකක් විසින් බව අමතක කිරිම. වාස්තකවිකත්වය තීරණය කරන්නේ කවර හෝ ආත්මමූලිකත්වයකින්.
වර්තමාන ධනවාදය ක්රියාත්මක වෙන්නේත් ආගමික ස්වරෑපයෙන් තමයි.ධනවාදය ආගමක් විදිහට විශ්වාස කරන කවර හෝ පුද්ගලයින් අපි වෙනස් කරන්නේ කොහොමද?එය ප්බුද්ධවාදි ව්‍යාපෘතියක් විය යුතුයි. දීප්තිගේ ව්‍යාපෘතිය ඒකයි.

උදාහරණයක් හැටියට අයිත්මාතව් ගේ ‘ගුරු ගීතයේ’ දුයිෂෙන් කියන මුලික දෙය නම් ‘අර ඉන්නේ ලෙනින්’ කියන පරමාදර්ශී ස්වාමි හැඟවුම. එතකොට ඒක විශ්වීය පරමාදර්ශයක් විශ්වාස කිරීමක්. එම විශ්වාසය අහිමි වුනොත් අර පරමාදර්ශය හඹා යාම අපහසුයි කියලයි මම හිතන්නේ. යම් විදියකින් අල්තිනායි ‘මොන පිස්සුද ලෙනින් විශ්වාස කරන්නේ මොකටද? මම මම ගැනම විශ්වාස කරලා මගේම ගමනක් යන්න ඕනි’ කියල අරාජක විදියට හිතුව නම් මොකක් වෙයිද කියලයි මම අහන්නේ…මෙතන ප්‍රශ්නය අදහස් (ideas) වෙනස් කිරීම වත් විශ්වාසය (belief) වෙනස් කිරීමවත් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. තියෙන්නේ ධනවාදය විසින් අහිමි කරන පරමාදර්ශ සහ බලාපොරොත්තු විසින්ම සහ එහි ආතතිය විසින්ම ජාතිවාදය සඳහා මග පාදනවා කියන එක, අන්තවාදයේ මුල තියෙන්නේ අන්තවාදය තුළ නෙවෙයි ඊට බාහිරව පවතින ක්ෂිතිමය ධනවාදය තුල කියන එක. ජිජැක් නිවැරදි වන්නේ එතැනදී.
ක්‍රිස්තියානි ධර්මය විශ්වාස කළ තෙරේසා මව්තුමිය අපි ගැටළුවක් කර ගන්න ඕනිද? දෙවියන් විශ්වාස කල ශාන්ත වැලන්ටයින් අපි ප්‍රශනයක් කර ගන්න ඕනිද? ඔවුන්ගේ විශ්වාසය විසින් කොපමණ වටිනාකම් මිනිස් ශිෂ්ටාචාරයට ලැබිල තියෙනවද? මම හිතන්නේ පරාක්‍රම ගේ සංශයවාදී අදහස් වල අරාජකත්වයක් තියෙනවා කියල… මොනවත් විශ්වාස නොකරන ඔහු අපට දායාද කරන්න යන්නේ කුමක්ද?

මොකුත් විශ්වාස නොකළ පශ්චාත් x සාමාජිකයින් අපට ශේෂ කලේ මොකක්ද ? අන්තිමට ඔවුන් අරාජකවාදීන් වුනේ ඇයි කියල ඔබට දැන් පැහැදිලි ඇති නේද ?

මම පරමාදර්ශ විශ්වාස කරන කෙනෙක් . සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. මගේ විශ්වාස වැරදි වෙන්න පුළුවන්. ඒත් මම අරාජක කාලකන්ණියෙක් වගේ මැරෙන්න සුදානම් නැහැ. සියල්ල සැක කරන්න මම සුදානම් නැහැ ….මම මේ තැන දක්වා ආවෙත් විශ්වාසය පදනම් කරගෙන. ඉතුරු ටික ඉන්නෙත් එහෙම. වැරදි වුනත් හරි වුනත්.

ඔවි.මම ඔබ කියන අදහසට එකගයි.අපි විශ්වාස කරන පරමාදර්ශ අපි ඉදිරියේම කලිසමි ගලවා ගන්නවනමි ඒක අපේ ව්‍යපෘතියේ ප‍්‍රශ්නයක් මහේෂ්.පශ්චාත් එක්ස් සාමාජිකයන් අපිට දුන්න පරමාදර්ෂය ඒකයි.
යමි විශ්වාසයක් විසින් සමාජය චලනය කරන්නේ කොයි දිශාවටද යන්න වැදගත් කරුණක්.අප භක්තිමත් වෙන විශ්වාසය සමාජය ප‍්‍රගතිශීලි දිශාවකට චලනය වන විට ජාතිවාදි ව්‍යාපෘතිය විසින් නැවත ලාංකීය සමාජය ගොඩගැනීමට නොහැකි තරමි අරාජිකත්වයට යෑම වැලැක්විය නොහැකි නේද?
ජාතිවාදය විශ්වාස කරන මිනිස්සු සහ කොමියුනිස්ටි ක‍්‍රමයක් ගැන විශ්වාස කරන මිනිස්සු කියන කොටස් දෙකම අවසාන අර්ථයෙන් රදාපවතින්නේ විශ්වාසය කියන කරුණ මතයි. 
අපි ජාතිවාදී ව්‍යාපෘතිය පරාජය කල යුතුයි.අන්තිමට අපේ අරගලයත් දියාරැ වෙන්න නියමිතයි ජාතිවාදය ජයග්රහණය කරනු ලැබුවහොත්.එල් ටි ටි ඊ එකට වුනු වැඩෙම අපිටත් වෙන්න පුලුවන්.මොකක්ද ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන්?දැනටත් දීප්ති සහ සහෝදරයා විසින් ඒ සදහා විශාල කාර්යක් කරලා තියෙනවා. ඒත් මිනිස්සුන්ගේ විඤ්ඤාණිය බල රටා වැඩ කරන විදිහ හරි වෙනස්.
ඒක තමයි මමත් මේ කල්පනා කරන්නේ සහෝ. එන්න පුළුවන් එත් අපි මොකද කරන්නේ ?
දේශපාලන සඳහා එකම ආකෘතිය තියෙන්නේ විශ්වාසය ඇතුලේ නේද ? වැරදි වුනත් හරි වුනත් ඒ වෙලාවේ අරුන් දීප්ති විශ්වාස කලා නම් අපිට තව සැහෙන ගමනක් යන්න තිබුන 
එක මොහොතක් එනවා සමහර දේවල් තර්කයට පැහැදිලි කරලා දෙන්න බැරි . උදාහරණයක් හැටියට ගන්න මෛත්‍රීපාල මහත්තයා. ඔහුට තිබුණේ ජාතිකවාදී ශ්‍රී ලංකා පදනමක්, ඒ ඔස්සේ මිනිස්සු තාර්කිකව කල්පනා කරා නම් ඔහුව පත් කරන්නේ නැහැ. එහෙනම් යහපාලන කතාවත් ඉවරයි. නමුත් මිනිස්සු ඔහුව විශවාස කලා වෙනස් වෙයි කියල. සමහර විට වැරදි වෙන්නත් පුළුවන්… 

ප්‍රභා ඇතැම් විට අන්තිම මොහොතේ ගත්තේ වැරදි තීරණයක් වෙන්න පුළුවන්. නමුත් ඒ එක්ක අනිත් අය මැරෙන්න සුදානමින් හිටිය . විශ්වාසය කියන්නේ එහෙම උතුම් දෙයක්. නිකම් හිතන්න පොහොට්ටුව වටේ ඉන්න එවුන් මහින්දව දෙවි කෙනෙක් ගානට විශ්වාස කරනවා මට තියෙන දැනුමේ හැටියට. ඔන්න බලන්න එකම තමයි පොහොට්ටුවේ ශක්තිය වෙන්නේ. සමහර ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීවරු පණ දෙන්න යන්නේ… පොඩ්ඩක් බලාන ඉන්න මොකද වෙන්නේ කියල. විශ්වාශයේ  හැටි පෙනෙයි නුදුරු දිනකදී . හැබැයි වැරදියි… 

සහෝදරය එක්ක එකගයි ….ජ. වි. පෙ. පැවතුණේ විජේවීර ගේ රූපකය අනිත් අය විශ්වාස කල නිසා (වැරදි ඇති), විමුක්ති කොටි පැවතුනේ ප්‍රභා ව අනිත් අය විසින් විශ්වාස කල නිසා (වැරදි ඇති), X එක වැටුනේ අනිත් අය දීප්ති සැක කල නිසා. විශ්වාස නොකර අරගල කරන්නේ කොහොමද මට තේරෙන්නේ නැහැ. අර්ජුනව විශ්වාස කරන්නේ කවුද? 

මම හිතන්නේ විශ්වාසය (belief) කියන තත්වයට තියෙනවා දයලෙක්තික පැවැත්මක්. ඒ කියන්නේ ඒක අදහස (idea) කියන එකේ ප්‍රතිපක්ෂය නියෝජනය කරනවට වඩා එයටම වූ දයලෙක්තික බවක් තියෙනවා මේ විදියට. අපි බොහෝවිට මේ ධනේශ්වර යුගයේ අනෙකා හරහා විශ්වාස කරනවා. අපිට හිනාවෙන්න බැරිනම් හරි, කම්මැලි නම් හරි, අපි වෙනුවෙන් රුපවාහිනිය හිනාවෙනවා දකින්න අපි ආසයි (canned laughter). අපිට අඬන්න ඕනි වෙලා තිබුනත් අපි වෙනුවෙන් රුපවාහිනිය හිනාවෙන එක කියන්නේ අපේ ආත්මීය ක්‍රියාව එයා වෙනත් දෙයක් බවට පත්කරනවා කියන එක. අපි නත්තල් සීය විශ්වාස කරන්නේ නැති වුණාට එම ඇදහීමට එකතු වෙනවා. ළමය කියනව පවුනේ අම්මලා තාත්තලා ඒ අය විශ්වාස කරන නිසා අපිත් එහෙම ඉන්නවා කියල. දෙමව්පියෝ කියනවා පවුනේ ළමයි ඒ ගොල්ල විශ්වාස කරන නිසා අපිත් එහෙම ඉන්නවා කියල. කවුරුත් බලාගෙන යනකොට විශ්වාස කරන්නේ නැති වුනාට වැඩේ නැගල යනවා . හරියට යාඥා චක්‍රය වගේ(prayer wheel). යාඥා චක්‍රය ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඒ අතරතුරේ ඔබට පුළුවන් නිල් චිත්‍රපටයක ජවනිකාවක් ගැන සිත යොමු කරන්න. ක්‍රියාවෙන් ඔබ ආත්මීයව දුරස්. ඒ මේ යුගයේ විශ්වාසය වැඩ කරන එක විදියක්. ඒකට තමයි දෘෂ්ටිවාදය කියන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔක්කොමල ඇදහිල්ලට සහභාගී වෙලා (ritualistic participation). කවුරුත් දැනගෙන හිටිය ඉරාකයේ සමුල ඝාතක අවි නැහැ කියල නමුත් හැමෝම සහභාගී වුණා. ඒකට තමයි දෘෂ්ටිවාදය කියන්නේ. අපි හිතනවා අපි නිදහස් කියල නමුත් අපි හැමෝම වහල්ලු. වැඩෙත් යනවා නියමෙට අපිත් දුරස්. බටහිර බුද්ධාගමේ කාර්යය මෙයට සමානයි කියලයි ජිජැක් කියන්නේ.

දයලෙක්තිකව විශ්වාසයේ අනෙක් ආකෘතිය තමයි සියල්ල අවිස්වාස කරන මෙවැනි යුගයක යම් පරමාදර්ශයක් විශ්වාස කරන අය ඉන්න ඕනි කියන එක. නැත්නම් මුකුත් කරන්න බැහැ. විතණ්ඩවාදී අරාජක බවක් මේ වනවිට අපි හැමෝම වටේ ගොඩ නැගෙමින් තියෙන්නේ ඒ නිසා. හැමෝම පණ්ඩිතයෝ හැබැයි මුකුත් කරගන්න බැහැ. ධනවාදය විකසිත වෙන්නේ ආගමක් විදියට නිසා එයට එරෙහි වෙන්න වෙන්නෙත් ආගමික විදියට කියන එකයි මේකේ අර්ථය. ඒ කියන්නේ මුල් කාලින බ්‍රිතන්‍ය අනුභූතික චින්තයට පරස්පරව මේ යුගයේ ‘විශ්වාසය’ කියන්නේ දයලේක්තික ප්‍රත්‍යාවර්තනයක් (dialectic reversal). රැඩිකල් විදියට යමක් ගැන විශ්වාස නොකලොත් අපිට වෙන්නේ මේ ක්‍රමය සමග ගිවිසුම ගත වෙන්නයි (compromise) කියල ජිජැක් On Belief පොතේ කියන්නේ ඒකයි….කමක් නෑ අපි තව සාකච්චා කරමු.

රෝගී ක්ෂිතිය (pathological trauma) යනුවෙන් ජිජැක් හදුන්වන්නේ අන්තර්ජාලයේ ඉන්න විතණ්ඩවාදී පණ්ඩිතයින් ව. විචාරය කරගෙන කරගෙන යනවා හැබැයි මුකුත් වෙන්නේ නැහැ. ඔක්කොම සැකයි උන්ට. දැන් බලන්න මුහුණු පොතේ කොච්චර බනිනවද ජනාධිපතිට. හැබැයි උන්ට කියන්න පුලුවන්ද මොකක්ද හරියටම කල යුත්තේ කියල. උන් බනින එක ප්‍රයෝජනයට අරගෙන ජාතිවාදී අන්තවාදය නම් ගොඩ එන බව පේනවා. ඕනිනම් අපිට පුළුවන් මේ ආණ්ඩුව පතුරු යන්න විවේචනය කරන්න අපේ නිර්ණායක දමල. නමුත් එහෙම කරලා වැඩක් නෑ කියල අපි දන්නවා. අපි විතණ්ඩ වාදීන් නෙවෙන හින්ද.

ඇත්තටම මෙි නිර්මාල් කරමින් ඉන්නේ කුමක්ද?ඔහු රඔුටන් කාලේට රඔුටන් විකුණනවා.අඔ කාලෙට අඔ විකුණනවා.දොඩමි කාලේට දොඩමි විකුණනවා වගේ දෙයක් කරමින් ඉන්නේ.මෙි තත්ත්වය ගැන ඩබිලිවි ජයසිරි සිරිසේන සහ තෙපානිස් කියන කෙටිකතාවෙි ලියල තියෙනවා.
මෙි විකාර සහගත තත්ත්වයට අපි කියන්නේ ජනප‍්‍රියවාදී අවස්ථාවාදීත්වය.කාලෙන් කාලෙට එන ජනප‍්‍රියවාදී මාතෘකා උපයෝගී කරගෙන පොත් ලියනවා.ඒ  පොත් එක එකා ලවිවා විචාර කරව ගන්න පිස්සු තත්ත්වයත් තමයි පේන්න තියෙන්නේ.මෙතනදි අර්ජුන කරන්නේ නිර්මාල් උස්සන් එන පොත ගැන පොර ටෝක් එකක් දෙනවා.අපි අර්ජුනට කියන්නේ ඔයා දෘෂ්ඨිවාදය විචාරය සමිබන්ධයෙන් අවුටි ඩෙිටි.ඔයා දන්න දෘෂ්ඨිවාදී විචාරයක් නැ.අර්ජුන කරමින් ඉන්නේ ජාතිවාදය සමිබන්ධයෙන් නව අරාජිකවාදයක් නිර්මාණය කරමින් ඉන්න එක.
නිර්මාල් ගැන දැනගන්න පුලුවන් සන්නස්ගලගේ එෆ් බී වෝල් එකට ගිහින් බලන්න.ගෝඨයිමිබර කෝලම නරඔලා ඒ වෙනුවෙන් ප‍්‍රගතිශීලි කොමෙන්ටි දීපු කෙනෙක් තවත් විකාරයක් වෙනුවෙන් පෙනී ඉන්නේ කොහොමද?

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here