සිරියානු ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම පටන් ගත්තේ අද ඊයේ නොවේ. එය 1967 දක්වා දිවෙන්නකි.වසර 1948 අරාබි ඊශ්‍රායෙල් යුදයෙන් ඊශ්‍රායලය බොහෝ පලස්තීන පෙදෙස් අලලා ගත්තේය. වසර 1967 දී ඊජිප්තුව , ජෝර්දානය හා සිරියාව ඊශ්‍රායාලය සමග කල තුන්වන අරාබි ඊශ්‍රායල යුද්ධය සය දින යුද්ධය නමින් හැඳින්වෙයි. සිරියාව යුද්ධයට ඇද ගත්තේ ඊජිප්තු නායක ගමෙල් අබ්දුල් නසර්ය.
එහිදී ගෝලාන් (Golan heights ) නමැති පෙදෙසෙන් තුනෙන් දෙකක්ම ඊශ්‍රායාලය නතු වුනේ අරාබි රටවල් යුදයෙන් පැරදීම නිසාය. පරණ ඉස්ලාමික ලෙවන්ට් (මෑත කාලයේ අයි එස් අයි එස් ත්‍රස්තයන් අල්ලා ගත් පෙදෙස් ) රාජ්‍යයට අයත්ව තිබු ගෝලාන් කඳුකරයේ නැගෙනහිර කුඩා කොටසක් පමණක් සිරියාවට ඉතිරි විය. අන්තරජාතික නීතියට අනුව මුළු ගෝලන් පෙදෙසම අයිති සිරියාවටය. නමුත් එය ආක්‍රමණය කර අල්ලාගත් ඊශ්‍රායලය එය නැවත දීමට අකමැති විය. විශේෂයෙන් සම්මත කරගත් යුදෙව් පනතක් මගින් එම පෙදෙසේ පාලනය මෙන්ම අලුත් ජනාවාස අනවසරයෙන් ඉදි කිරීමටද ඊශ්‍රායාලය පටන් ගත්තේ, එයට එරෙහිව සම්මත කරගත් එක්සත් ජාතින් ගේ සංවිධානයේ යෝජනාවටද විරුද්ධවය.
මෙයට හේතුව සියෝන්වාදීන් ගේ තර්කයකි. සියෝන්වාදීන් යනු සියලු යුදෙව්වන් තම මව් රටට (පලස්තීනයට) ගෙන යාමට හා යුදෙව් ජාතිය ආරක්ෂා කර ගැනීමට 1897 දී තියෝදෝර් හර්සල් විසින් පිහිටවූ දේශපාලන සංවිධානයට සහයෝගය දෙන්නන්ය. ඔවුන් ගේ අදහස වුයේ නියම ඊශ්‍රායලය වටේ බෆර් සෝන් හෙවත් රට ආරක්ෂා කරන ගොඩබිම් වළල්ලක් තිබිය යුතු බවයි. එවිට ආක්‍රමණයක දී ඔවුන්ට තම රටට පසු බැසීමට හැකි වනු ඇත. බලයෙන් ඉදි කරන ජනාවාස වලින් සතුරාගේ පහර දීම බලහීන කරනු ඇත. ඊශ්‍රායලය පැත්තෙන් මෙයට වරදක් කිව නොහැකි වුවත් අන්තර්ජාතික නීතියට අනුව එය වැරදිය.
අරාබිකරයේ බාත් සමාජවාදී ව්‍යාපාරය නමින් දේශපලන ව්‍යාපාරයක් සිරියාවේ 1952 පමණ ස්ථාපිත විය. අරාබි බාත් පක්ෂයේ සිරියානු ශාඛාව, කුමන්ත්‍රණයකින් සිරියාවේ බලය වසර 1963 දී අල්ලා ගන්න ලදී. එහි දෙවන කුමන්ත්‍රණයේ නායකයා වූ ජදීඩ් බලයෙන් පහ කර හෆෙස් අල් අසාද් (වර්තමාන ජනාධිපති ගේ පියා ) 1970 දී බලය පැහැර ගත්තේය. වසර 2000 දී මිය යන තුරුම සිරියාවේ පාලකයා වුයේ ඔහුය.
ඔහු විසින් බාත් පක්ෂයේ යුද ලෙනින්වාදය නමින් හැඳින්වූ ක්‍රමය මුළුමනින්ම වෙනස් කර ස්ටාලින් මෙන් එක පක්ෂයක් පමණක් ඇතිකර තමන් ජනාධිපති ලෙස නම් කළේය. ඔහුගේ සහ කියුබාවේ කස්ත්‍රෝ ගේ පාලන ක්‍රම අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් විය. ඔහු සිරියාවේ පෞද්ගලික දේපල ක්‍රමය පවත්වා ගත්තේය. කුඩා ව්‍යාපාර රජයට පවරා ගත්තේද නැත. සිරියානු ගැහැණුන්ට ඉගෙනීම ලබා දුන් අතර ඉස්ලාමික ෂරියා නීතිය ඉවත් කර දික්කසාද වීමේ අයිතියද ලබා දුන්නේය. මේ නිසා ඉස්ලාමික සංවිධාන වල වෛරයට පත්‍ර වුනු අතර 1980 ගණන් වන විට පාලනයට එරෙහිව ඉස්ලාමික කැරලි පැන නැගුණි. ඔවුන්ට එරෙහිව දැඩිව කටයුතු කල බැවින් බටහිර රටවලින් මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට ලක් වුනි. වසර 1982 දී හමා නගරයේ මුස්ලිම් සහෝදරත්වය දියත් කල කැරැල්ලේ සියලු දෙනා මරා මැඩ පැවැත්වූ නිසා “හමා ඝාතකයා” වූ අතර බටහිරින් එන විවේචන මැද ඔහු සෝවියට් දේශයට හේත්තු වුනි.
සෝවියට් හිතවාදී පිලිවෙතක් ඔහු හැත්තෑ ගණන් වල සිට ගෙන ගියේ ඊශ්‍රායලය ට තිබු ඇමෙරිකානු සහයෝගය නිසා බවද නොරහසකි. එසේම ඊශ්‍රායලය විසින් ගෝලාන් කඳුකරය යටත් කර ගෙන සිටීම ඔහුට ඉවසුම් නොදුන් කරුණක් විය. මේ නිසා හිස්බුල්ලා වැනි ලෙබනන ත්‍රස්ත සංවිධාන හා යසර් අරපත් ගේ පලස්තීන විමුක්ති සංවිධානයටද හමාස් සංවිධානයටද මුදලින් මෙන්ම අවි ආයුධ වලින් ආධාර කිරීම නොකඩවා කළේය. මේ නිසා අසාඩ් ගේ පාලනය ඊශ්‍රායල පාලනය කල සියෝන්වාදීන්ට දැඩි හිසරදයක් විය. මේ හේතුවෙන් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ඉරාකයේ, ඊජිප්තුවේ මෙන්ම සිරියාවේ පාලනයට විරුද්ධව කැරලි ගසන ඉස්ලාමික සහෝදරත්වයේ ත්‍රස්ත සංවිධාන වලට මුදලින් ආධාර කළේය.
මේ කාලයේ ඉරාකයේ බලය ඉරාක බාත් සමාජවාදී පක්ෂයට හිමිව තිබුණි. වසර 1979 සිට ඉරාකයේ නායකයා වුයේ තවත් ඒකාධිපතියකු වූ සදාම් හුසේන්ය.
මා සෝවියට් දේශයේ උගත් කාලයේ සිරියන් කුර්දිස්ථාන් ජාතිකයකු ද එම පාඨමාලා වේම සිටියේය. ඔහු පැවසූ පරිදි තුර්කිය, ඉරාකය, ඉරානය හා සිරියාව බෙදාගෙන සිටි කුර්දිස්ථානයේ කුර්දි වරුන්ට හොඳින් සැළකු එකම නායකයා අසාද් ය. සදාම් හුසේන් මෙන්ම තුර්කියද කුර්දි වරුන් සිරගත කල අතර දරුණු ලෙස මර්දනයද කළේය. සදාම් ගේ පාලනය වඩාත් මර්දනකාරී එකක් වූයේ ඔහු බොහෝ රාජ්‍ය විරෝධීන් සිර ගත කල නිසාය.
මේ රටවල් දෙකේ තවත් ලක්ෂණයක් වුයේ නිදහස් අධ්‍යාපනය හා රජයෙන් පවත්වා ගෙන ගිය සෞඛ්‍ය සේවයයි. පෞද්ගලික වෙළඳාම ට ඉඩ දී තිබුනද මේ හේතූන් නිසා ඒවා අර්ධ සමාජවාදී රටවල් ලෙස බටහිර රටවල් සැලකූහ. මේ නිසා සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතියට තිබු විරෝධයෙන් කොටසක් සිරියාවට ද හිමිව තිබුණි.
කෙසේ වුවද අසාද් ගේ පුතා මෙන්ම රජයේ ඉහල අයගේ දරුවන් ඉගෙන ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හා එංගලන්තයේය. බෂාර් අල් අසාද් ලන්ඩනයේ බටහිර අක්ෂි විශේෂඥ පාසලේ අක්ෂි විශේෂන්ඥයකු වීමට උගත්තේය.
ජනාධිපති වීමට නියමිතව සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරා රථ වාහන අනතුරක දී මිය ගියෙන් බෂාර් ලන්ඩනය හැර සිරියානු හමුදාවට බැඳීමට ගියේය. බෂාර් ගේ බිරිඳ අස්මා අල් අසාද් සිරියානු දෙමව්පියන්ට දාව බ්‍රිතාන්‍යයේ ඉපදුනු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇයට ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් (king’s college) පරිගණක විද්‍යාවට උපාධියක් තිබෙන අතර ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් MBA උපාධියක් ද තිබේ. ඔවුන් දෙදෙනා විවාහ වුයේ වසර 2000 දීය.
එංගලන්තයේ උගත් අසාද් පුතා හා ඔහුගේ බිරිඳට බටහිර මාධ්‍ය මෙන්ම බටහිර දේශපාලන නායකත්වයේද කැමැත්ත හිමිව තිබුණි. පියාගේ මරණයෙන් පසු අසාද් ගේ දෙවෙනි පුතා ජනාධිපති කමට පත් විය. සවුදි අරාබියේ මෙන් නොව කාන්තාවන්ට රථ වාහන පැදවීම මෙන්ම වෙනත් අයිතිවාසිකම් හිමිව තිබුණි. ක්‍රිස්තියානි හා බහායි ආගම ඇදහීමට බාධාවක් තිබුනේ ද නැත.
බෂර් අසාද් විසින් මා මුල් ලිපියේ සඳහන් කළ පෞද්ගලික බැංකු ක්‍රමය හඳුන්වා දුන් අතර අස්මා ඉන්දියාවේ ක්‍රියාත්මක වුනු මයික්‍රෝ ක්‍රෙඩිට් ක්‍රමය සිරියාවේ ග්‍රාමීය පෙදෙස් වලට හඳුන්වා දුන්නාය. වසර 2011 වනතුරු මේ රටේ ඒකාධිපති පවුල් පාලනයට බටහිරින් එතරම් බාධාවක් වුනේ නැති වුවත් ඊශ්‍රායලයේ හා ඇමෙරිකානු ඔත්තු සේවා වල මුදල් නොකඩවා ඉස්ලාමික සහෝදරත්වයට ලැබී තිබුණි.
අරාබි වසන්තය එළඹියේ මේ අතරය.
_ මතු සම්බන්ධයි.
Ajith Dharmakeerthi.
Hondai
Comments are closed.