රටක් සංවර්ධනයට, ජනතාවගේ ප්‍රශ්න විසඳීමට, පාසැල් හා කැම්පස් ළමුන්ගේ ආරක්ෂාව සැලසීම යනාදියෙන් සුබ අනාගතයක් නිර්මාණයට ආණ්ඩුවක් සමත් යැයි ලොව බහුතර ජනතාවක් විශ්වාස කරති.
සුබ අනාගතයක් සඳහා “දියර කිරි” වෙළඳපොලේ බහුලව පැවතීම අවශ්‍ය යැයි කියන අයට දිරවන්නේ නැත්තේ අනෙක් අයට වෙළඳපොලෙන් කැමැත්තෙන් මුදල් ගෙවා මිල දී ගැනීමට පිටිකිරි බහුලව තිබීමයි. තමන් පතන සුබ අනාගතය යනු සමාජ සාධාරණත්වයේ නාමයෙන් අනුන් පතන්න බවට පත්කිරීම මේ අයගේ අපේක්ෂාවයි!!!!!
තම මතයේ අනගි බව පෙන්වා වෙනකෙක් කැමති කරවා ගන්නා උත්සාහය දුෂ්කර වූවකි. තමන් අනගි යැයි දකින දැයක් වෙනකෙක් ලවා මුදල් ගෙවා මිල දී ගන්නට පොළඹවීම ඊටත් වඩා දුෂ්කර වූවකි. කුඩා දරුවෙක් ලවා ඔහු අකමැති යැයි හිතන දෙයක් ඔහුව රවටන්නේ නැතිව නමුත් ඔහුගේ කැමැත්ත ඇතිව කරවා ගන්නට උත්සාහ කළවුන් මේ මිනිස් ස්වභාවය මනාව දනිති. රැවටීම සහ මිනිස් කැමැත්තන්ට එරෙහිව නීති පැනවීම මතවාදයක් වෙනස් කරන්නට හැකි පහසු ක්‍රම වෙති. තමන් කරන්නේ සාධාරණත්වයක් යැයි ඔවුන් අනුන්ව රවටනවා පමණක් තමන්ව ද රවටා ගනිති.
‘සුබ අනාගතයක්’ පතන බහුතරය ඒ සඳහා අවශ්‍ය දැනුම තමන් විසින් සොයන්නේ නැත. අනුන් තීරණ කරන ලද ක්‍රමවේදයට අනුව ඉගෙන ගෙන, ඒ අය දෙන සහතිකයක් තිබ්බාම ඔවුනට ප්රමාණවත්ය. තම නම අගට අකුරු එකතුවීම වැඩිවෙද්දී තම දැනුමත් වැඩි වී ඇතැයි ඔවුන් විශ්වාස කරති. රස්සාවක නියැළෙන්නට හැකි සහතිකයක් ලබාගන්නට ආණ්ඩුව විසින් යම් ක්‍රමයක් හදා දෙන්නේ නම් එහි නියැළී යාන්ත්‍රික රූකඩයක් බවට පත්වී අතට ලැබෙන සල්ලි ආණ්ඩුව නියම කරන පරිභෝජනයට වියදම් කිරීම නිවැරදි යැයි ඔව්හු විශ්වාස කරති.
අනුන් හදා දුන් සැලසුමක ඉත්තෙක් ලෙසින් ඉපිද ජීවත් වී මිය යන ක්‍රමයට බහුතරය එකතුවීමෙන් රටේ අගහිඟකම් වැඩිවෙද්දී සුබ අනාගතයක් ගේනවා යැයි ආණ්ඩුව දුන් පොරොන්දු එයට ඉටුකරගත නොහැකි බව දකිද්දී පවා බහුතරය ඉල්ලන්නේ වෙන ක්‍රමයක් නොව වෙන ආණ්ඩුවකි.
බහුතර වෙනත් රටවල මෙන්ම ලාංකිකයන් ද, වසර 66 ක් පුරා රටේ මාරුවෙන් මාරුවට බලයට පත් වූ ධනේශ්වර පාලක කණ්ඩායම් වෙතින් පාලනය වූහ. ධනවාදය හඳුනා නොගත්, මහා පරිමාණ ආණ්ඩු සැලසුම් ගැන ජනතාව දක්වන ලද විශ්වාසය ‘බත් දුන් පියා’ වෙතින් ආරම්භ විය. බලයට පැමිණි සියළු ධනේශ්වර ආණ්ඩු කළේ ඒකීය පුද්ගලයා බැහැරකට දමමින් සිංහල පනත, පංච මහා බලවේගය, විධායක ජනාධිපති වශයෙන් මුළු මහත් ජනතාව වෙනුවෙන් සුබ අනාගතයක් ගෙනෙන්නට හැකියාව තමන් සතු යැයි තරයේ කීමයි. ජනතාව එදත් එම මුලාව විශ්වාස කළහ. අදත් එම මුලාවම විශ්වාස කරති.
ඒත් ධනේශ්වරය යනු කුමක් ද?
ධනේශ්වරය යන සිංහල ලේබලය ප්‍රංශ බසේ වචනයක් වන බුර්ජුවාසියයි. බුර්ජුවාසී යැයි ලේබලයක් ගසද්දී කාල් මාක්ස් කාර්මික විප්ලවයේ දී පටන් ගෙන තිබුණු ධනවාදයෙන් වැඩවසම් රදළ පංතියේ බුර්ජුවාසිය වඳ වී යන හැටි පිළිනොගත්තේය.
එදා පටන් තවමත් මාක්ස්වාදීන් තම අනුගාමිකයන්ව ධනේශ්වර ලේබලයෙන් නොමග යවති. ඒ වැඩවසම් රදළයන් සේ උප්පත්තියෙන් මූලධනය හිමිකරගත්තවුන් සහ ධනවාදයෙන් මූලධනය වෙහෙසෙන් උපයාගත්තවුන් යනු එකම කොටසක් සේ හැඳින්වීමෙනි.
ශ්‍රමිකයන්ව සූරාකමින් ජීවත්වෙන්නේ ධනවාදයෙන් මූලධනය උපයා ගන්නට හැකිවූවන් යැයි අසත්‍ය ලේබලය වටහා ගන්නට තරම් ධනවාදය කුමක්දැයි දැනුම නැතිකම කුමන රටක වුවත් රටවැසියන් සියල්ලන්ගේම අභාග්‍යයකි.
මන්ද ඕනෑම රටක ශ්‍රමිකයන් සූරාකමින් ජීවත්වෙන්නේ එරටේ ආණ්ඩුව බැවිනි.
ධනේශ්වරය යන පංතිය අද හැදෙන්නේ වැඩවසම් යුගයේ මෙන් පාරම්පරික රදළයන් වෙතින් නොවේ. ආණ්ඩුවේ බලය තමනට උවමනා ලෙස පරිහරණයට ඉඩ ලත් වරප්‍රදාස භාවිතා කරන ඕනෑම අයෙකු අද ධනේශ්වර පංතියට අයිති වෙති. අනුන්ට හොඳ සහ නරක දේවල් මොනවාදැයි තීරණය කරන නීති ගෙනෙන ඒ ධනේශ්වර පංතිය සහ කැමත්තෙන් මිල දී ගන්නා අයට කැමත්තෙන් විකුණන දේවල් වලින් මූලධනයක් එකතු කරගන්නට සමත්වෙන්නා අතර වෙනස හඳුනා නොගන්නා තාක් කාලයක් රටේ ජනතාව තමනට ලබාදෙන ‘සුබ අනාගතයක්’ වෙනුවෙන් ආණ්ඩුව මාරු කරන්නට ඉල්ලා සිටිනු ඇත.
කැමත්තෙන් මිල දී ගන්නා අයට කැමත්තෙන් විකුණන දේවල් වලින් මූලධනයක් එකතු කරගන්නට සමත්වෙන්නාව අගය කරන්නට පටන් ගත් දා සිට ඒ පුද්ගලයා මේ අගාධයට යන පාරෙන් අයින් වෙයි.
ඔබගේ අනාගතය සුබ වෙන්නේ කෙසේදැයි දන්නේ ඔබ පමණි. ඔබ සුබ යැයි සිතන පතන දේවල් මම සුබ යැයි සිතන පතන දේවල් නොවේ. ඒ නිසා ඔබේ අනාගතය සුබ කරගන්නට හැකියාව ඇත්තේ ලොව එකම එක අයෙකුට පමණි. ඔබට පමණි!!!
arunishapiro | පෙබරවාරි 16, 2014 දින 6:18 පෙ.ව. ට