මම ලියන ශෛලිය පිළිබඳව ඔබ දැඩි අවධානයක් යොමු කරන කියවන්නියක් නම්, ඔබ දැනටමත් දන්නා පරිදි මා අතින් එකම උදාහරණය යළි යළිත් විශ්ලේෂණය වෙයි. උදාහරණයක් වශයෙන්, ‘හංස විලක්’ චිත්‍රපටය ගැන මා කරන විශ්ලේෂණ වල දී ඔබට යළි යළිත් එය මුණ ගැසෙයි. නැතහොත් ‘2004’ අපගේ සංවිධානයේ ප්‍රථම බෙදුම්වාදී ලක්ෂය මගේ ලිවීම්වල දී යළි යළිත් ඔබට මුණ ගැසෙයි. මින් අදහස් වන්නේ, එක දෙයක් ගැන බොහෝ දෙයක් කියන්නට ඇති බව ද? සරලමතිකයන්ට අනුව, මෙම එකතැන පල්වීම කිසියම් ඇදහිල්ලකින් ගැලවීමකට බැරිකමකි. නරුමයන්ට අනුව මෙලෙස එකතැන පල් වන්නේ, ‘පැරණි දෙය’ සහ ‘පැරණි මිතුරන්’ අමතක කළ නොහැකි නිසා ය. සමහර විපරිතයන්ට අනුව මම ‘ප්‍රභා මනුරත්න’ ගැන නැවත නැවත ලියන්නේ ද ඇගේ හම සුදු නිසා සහ ඇය ගැන ෆැන්ටසිකරණය කිරීම නැවැත්වීමට මට නොහැකි නිසා ය. අනුර කුමාර දිසානායක හෝ කුමාර් මහත්තයා හෝ විමල් වීරවංශ මේ කපේ දි තමන් සමඟ සමීපව දේශපාලනය කළ ස්ත්‍රීන් ගැන මේ සංසාරයේ දී නොලියනු ඇත. එය ඔවුන්ට අකැපය. ස්ත්‍රීන් ගැන විශ්ලේෂණයක් නැති පිරිමින්ට සමකාලීන ස්ත්‍රිය රුචිය. සමහරවිට, ප්‍රභා ජවිපෙට කඩේ යන්නේ ඒ නිසා විය හැකි ය.
‘එකම දෙය’ යළි යළිත් පුනරාවර්තනය – Repetition- වීම පෙරදිග මිනිසාට අපුලක් වීමට ඉඩක් නැත. ‘සංසාරය’ යන සංකල්පය මඟින් විග්‍රහ වන්නේ ද (ජාතක කතා ද ඇතුළත්ව) පුනරාවර්තනය ගැන ය. හේගල් සහ ජිජැක් ද බොහෝවිට එකම උදාහරණය යළි යළිත් විශ්ලේෂණය කරයි. අපගේ නිවසේ කැඩපතක් ඇත්නම්, අපි දෛනිකව එය ඉදිරියට ගොස් අපගේ මුහුණේ පරාවර්තනය යළි යළිත් කියවන්නෙමු. හේගල්ට අනුව, චින්තනය ද ආපසු හැරී තමන් දෙසම බලන මිනිස් ක්‍රියාවලියකි. එසේ කරන විට පමණක් අප කරන්නේ එකම දෙයක් බව අවබෝධ වෙයි.
‘විඥාණවාදීන්’ බොහෝවිට විවිධ උදාහරණ පසුපස පන්නයි. එක උදාහරණයකින් පැහැදිය නොහැකි ඉතුරු වූ ශේෂය පැහැදිලි කිරීමට ඔවුහු අලුත් උදාහරණ පසුපස පන්නයි. නමුත් මූලික වශයෙන් ‘භෞතිකවාදියාගේ’ ප්‍රවේශය වෙනස් ය. ඇය සෑමවිටම යමක් විශ්ලේෂණය කරන විට, එකම උදාහරණයට යළි යළිත් අවතීර්ණ වෙයි. භෞතිකවාදියාට අනුව උදාහරණයක් තුළ අතිරික්තයක්- Excess- ඇත. භෞතිකවාදියෙකු එක උදාහරණයක් ගෙන එය යළි යළිත් විශ්ලේෂණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ඔබ ‘පරමාණුකවාදය’ ගැන අසා ඇත්නම් ඉන් අදහස් කරන්නේ, ‘පරමාණුව’ යනු, පදාර්ථය බෙදාගෙන බෙදාගෙන ගිය විට හමුවන බෙදිය නොහැකි ‘ඉතුරු වන ශේෂයට යි’. Atom යනු, ග්‍රීක භාෂාවට අනුව බෙදිය නොහැකිව ඉතුරු වූ ‘ආකෘතිය’ (Form) යන අදහසයි. ‘පදාර්ථය – රහිත – ආකෘතිය’ යනු, භෞතිකවාදයේ පළමු පියවරයි.
දේශපාලන-ආර්ථික විද්‍යාව පිළිබඳ පුරෝගාමියෙකු වූ එස්. බී. ද සිල්වා පිළිබඳ මගේ විශ්ලේෂණය සහ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වන සමන් පුෂ්පකුමාර අතර වෙනස පරමාණුකවාදය පාදක කොටගෙන පැහැදිය හැකිය. සමන්ට අනුව , එස්. බී යනු මාස්ටර් හැඟවුම්කාරකයකි. එනම්, යම් අන්තර්ගතයක් සහිත පදාර්ථයකි. මගේ විශ්ලේෂණයට අනුව එස්. බී යනු, පදාර්ථයක් (අන්තර්ගතයක්) රහිත ආකෘතියකි. සමන්ට අනුව එස්. බී ලංකාව ‘හිස් බව’ කිය යි. මා කියන්නේ, මේ ‘හිස් බව’ නඩත්තු කරන විනෝදයක් ද එස්. බී. ට ගැට ගැසී ඇති බවයි. මගේ විශ්ලේෂණයට අනුව ‘මාස්ටර් හැඟවුම්කාරකයකට’ මිනිසෙකු යා වන්නේ, එමඟින් සපයන අර්ථය නිසා නොව එමඟින් සපයන වේදනාව නිසා ය යන සාධකය යි.
එකම උදාහරණය යළි යළිත් බෙදීම මඟින් අපට තහවුරු වන්නේ, උදාහරණය සතුව පොහොසත් ‘අන්තර්ගතයක්’ තිබෙන බව නොව එහි තේරුමක් නැති ‘ආකෘතිය’ වෙන් කර ගැනීමයි. තේරුමක් නැති ආකෘතියක් යනු, දෘෂ්ටිවාදයේ රහස අනාවරණය වන තැනයි. ‘න්‍යාය’ මඟින් කරන කාර්යය වන්නේ, මේ හිස් ආකෘතිය පෙන්වා දීමයි.
80 දශකයේ මුල දී ‘හංස විලක්’ චිත්‍රපටය සිංහල සමාජ කතිකාවට අවතීර්ණ වන විට, එවකට පැවති ‘මහා අනෙකාට’ අනුව ‘අවිඥාණය’ ව්‍යුහගත වූයේ, විවාහයෙන් පිටත විකල්ප සම්බන්ධයක් හරහා වැඩි සතුටක් – more creative life- ජනනය වන බවයි. විවාහ යනු, අඩු සතුටක් සහිත -less creative life – ව්‍යුහයකි.
ගුණසිරි සිල්වා නම් 80 දශකයේ ප්‍රකට වාමාංශික සිනමා විචාරකයාට අනුව ‘හංස විලක්’ යනු, හුදු ආකෘති හරඹයක් පමණි. ඔහුට අනුව ධනේශ්වර ආර්ථික ක්‍රමයේ පරාරෝපිත ආත්මයන් විපරිත ආශාවන් පසුපස හඹායාම නාස්තිකවාදී ය. ‘හංස විලක්’ යනු, එම නාස්තිකවාදය තහවුරු කිරීමට තනන ලද චිත්‍රපටයකි. ඒ අර්ථයෙන්, ‘අහස් ගව්වට’ වෙනස්ව ‘හංස විලක්’ පලායෑම්වාදයකි. නමුත් චිත්‍රපටයේ ආකෘතිය ගුණසිරි හිතන තරම් සරල නැත. විවාහයෙන් පිටත විකල්ප සම්බන්ධයක ඒ යුගයේ ම පැටලී සිටි ගුණසිරි සිල්වා ‘හංස විලක්’ තුළ අපුලක් දැකීම සිංහල වාමාංශයේ රහසිගත අශ්ලීළ විනෝදය යළි තහවුරු කිරීමකි.
‘හංස විලක්’ චිත්‍රපටයේ ආකෘතිය පළමුවර කියවීමේ දී අපට වැටහෙන්නේ, එය විවාහයේ නිස්සාරත්වය ලෙසිනි. එය 80 දශකයේ ‘මහා අනෙකා’ සාදන ලද මහා ආඛ්‍යානයකි. මේ ආඛ්‍යානය ඒ කාලයේදී ම ”ෂන්තාල් මුෆ් සහ අර්නෙස්ටෝ ලැක්ලෝ” කියවූ දයාපාල තිරාණගමට පවා අදාළ ය. ඔහු පවා එකල ෆැන්ටසිකරණය කරන ලද්දේ, විවාහයට එපිටින් ඇති විකල්ප සම්බන්ධය මිහිරි හෝ ‘වඩා ජීවිතයක්’ (More life) උදා කරන බවයි. 1999 වසරේ දී නිර්මාල් රංජිත් දේවසිරි ද මා සමඟ එකඟ වෙමින් කීවේ, විවාහය – His Marriage – ඉතාම නිස්සාර තැනක් බවයි. එහි දී ඔහු විකල්ප සම්බන්ධයක් වෙනුවට මාව ද සම්බන්ධ කර ගනිමින් කීවේ, ‘දික්කසාදය’ විකල්පය බවයි. දික්කසාදයට පසුව Full Time Politics කළ හැකි බව එකල ඔහු ඇදහුවේ ය. දික්කසාදය සහිත ජීවිතය ඒ අනුව හිස් බවට මදක් පහළින් වූ ජීවිතයකි.[Less than Nothing]
නමුත් 21 වැනි සියවසේ දෙවන දශකයට එන විට, ‘හංස විලක්’ චිත්‍රපටයේ ආකෘතිය වෙනත් විදිහකට මට අවබෝධ විය. චිත්‍රපටයේ අවසානයේ ඉතා ව්‍යාකූල එකකි. කල්පනාවෙන් නරඹන විට එහි ‘ආකෘතිය’ අප හිතනවාට වඩා රැඩිකල් බව වැටහේ. ඊට අනුව, ප්‍රධාන චරිතය වූ නිශ්ශංක විකල්ප සම්බන්ධය නිසා හෙම්බත් වී යළි විවාහයට යොමු වන බවක් පෙන්වයි. මිරැන්ඩා ද මෙම අදහස අනුමත කරයි. ඒ අනුව, විවාහයෙන් ‘විකල්ප සම්බන්ධයට’ එන පරාරෝපිත මිනිසා යළිත් විකල්පයෙන් විවාහය වෙතට පන්නා දමයි. ඒ අනුව ‘විකල්පය’ යනු ද අන්තර්ගතයක් රහිත හුදු ආකෘතියකි. නමුත් මෙම ආකෘතිය ”විවාහයට අන්තර්ගතයක් ඇතැයි” සිතුවහොත් පමණක් විද්‍යාමාණ වන යථාර්ථයකි. දයාපාල සහ නිර්මාල් 21 වැනි සියවසේ දෙවැනි දශකයට එන විට, යහපත් ස්වාමිපුරුෂයන් බවට රූපාන්තරණය වෙයි. ඔවුහු පසු ආවර්තනයට යොමු වෙයි.
නමුත් පරමාණුකවාදී අදහසකින් ‘හංස විලක්’ නැරඹූ විට අපට පෙනෙන්නේ කුමක් ද? නැතහොත් ‘හංස විලක්’ නිර්මාණය කිසිවක් ඉතුරු නොවී හිස් බව දක්වාම බෙදුවහොත් එන අවබෝධය කුමක්ද? මෙම නව අවබෝධයට අනුව ‘හංස විලක්’ යනු, විවාහයටත්, විකල්ප සබඳතාවලටත් කිසිදු අර්ථවත් අන්තර්ගතයක් (අර්ථයක්) නැති බව පෙන්වා දෙන කලා කෘතියකි.[void] විවාහයත්, ඊට විකල්ප අනුරාගික විකල්ප සම්බන්ධයත් යන දෙකම ධනේශ්වර සමාජ-ආර්ථික කොන්දේසි නිසා හටගත් අනාරක්ෂිත වෙස්මුහුණු දෙකක් පමණි. ඒ වෙස්මුහුණු දෙකම යට ඇත්තේ, ‘හිස් බව’ පමණි. නමුත් පසුආවර්තිත තර්කනය අපට කියා දෙන්නේ, හිස් බව නසන පළමු හැඟවුම්කාරකය වූ ‘විවාහය’ [1] දෙවන හැඟවුම්කාරකය [2] විකල්ප සම්බන්ධයට වඩා අර්ථාන්විත හැඟවුමක් බවයි. නමුත් විවාහය සහ විකල්පය අතර ශුද්ධ වෙනස ”ආකෘතිය” පමණක් නිසා එකකට වඩා අනෙක උසස් බව සිතීම දෘෂ්ටියකි. සිතිය යුත්තේ, 1,2 කියා ලෙස නොව 1 සහ 1.1 කියා ය. [විකල්පය යනුද විවාහයේම පැල්මකි]
විවාහයෙන් විකල්පයට හෝ දික්කසාදයට ගිය දයාපාල සහ නිර්මාල් සමකාලීන ධනවාදී මහා අනෙකා තුළ ඉතාම යහපත්, කරුණාවන්ත, ගැටුම් සමනය කර ගන්නා ආකෘතියේ සැමියන් වී ඇත. ‘හංස විලක්’ ආකෘතිය අපට කියන්නේ, විකල්පය තුළ පමණක් නොව විවාහය තුළ ද ‘රැවටීම’ හැර නූතන ධනවාදය තුළ වෙනත් කිසිදු අන්තර්ගතයක් නැති බවයි. නිර්මාල්ගේ ‘පුරාවෘත්තය’ ඔන්චිල්ලාවේ අනෙක් අන්තයට ගොස් ඇත. ඔහුට අනුව විකල්පය තුළ අසාර වූ මේ බිමේ ”සාරයක්” කොතැනක හෝ සැඟව ඇත.
පරමාණුව කඩාගෙන කඩාගෙන ගිය විට අන්තිමට බෙදිය නොහැකි ‘යමක්’ ඉතුරු වෙයි. මේ ඉතුරු වූ ‘හිස් බව’ නම් දැනුමේ සිට බලන විට, විවාහය සේම විකල්පයත් මුලාවන් ය. නමුත් සමකාලීන ධනවාදය තුළ පුද්ගලයා නරුමවාදී ය. ශීලාචාර පවුලක් නඩත්තු කිරීමට අවශ්‍ය අශීලාචාර අතිරික්ත ධනයක් පවුල තුළට කාන්දු වන නිසා නිර්මාල්ගේ සහ දයාපාලගේ දරුවන් තම පියවරුන්ට ශාන්තුවරයන්ට සේ සලකන බව දෘෂ්‍යමාණ ය. නමුත් මේ අතිරික්තය නැති මැදපෙරදිග ගිය පියවරුන්ගේ ආත්ම ගෞරවය පවා මේ පවතින සමාජ-ආර්ථිකය නිසා අහිමි වී ඇත.
දෘෂ්ටිවාදී විශ්ලේෂණයේ දී ‘අප ගැන අපට ඇති දැනුමක්’ (අවිඥාණය) නිෂේධනය කරනු පෙනේ. නැගෙනහිර ජැටිය ගැන කතා කරනවාට වඩා වරාය අධිකාරියේ ලක්ෂ ගණන් වැටුප් ගන්නා ශාන්කුවරයන් වූ පියවරුන්ගේ අවිඥාණය ගැන කතා කිරීම 21 වැනි සියවසේ දී ඉතාම අභියෝගකාරී ය.
Deepthi
++++++++++++++++++++++++++++++++++++++++++++
Click below.
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.
========+++++++++++++++++++++++++++