දැන් අප තේරුම් ගත යුත්තේ කොමියුනිස්ට්වාදය යනු සමාජ පසමිතුරුතාවයට දක්වන අලුත් සම්බන්ධයක් බවයි. පසමිතුරුතාවය යනුම සද්භාවවේදී සත්‍යයක් නම් (පැවැත්මේම කොටසක් නම්), එය නොයෙකුත් දෘෂ්ඨිවාදාත්මක ෆැන්ටසි මඟින් වසා දමන, එම පසමිතුරුතා ජය ගැනීම හෝ ඔහේ පවත්වාගෙන යාම අතහැර පසමිතුරුතා වලට දක්වන සමාජ සම්බන්ධයම වෙනත් තලයකට ඔසවා තැබීම කළ හැකි රැඩිකල්ම කාර්යයයි. පෙර සඳහන් කළ පරිදි , මෙම ක්‍රියාවලිය හැඳින්විය හැකි, දැනට තිබෙන හොඳම සංකල්පය වන්නේ “ආදරයයි”.
උදාහරණයක් ලෙස අප ලංකාවේ දෙමළ ප්රශ්නය ගමු. වතුකර දෙමළ වැසියන්ට හෝ මෑතක් වනතුරු මුස්ලිම් ප්‍රජාවට වෙනස්ව, උතුරේ දෙමළ ගැටළුව වනාහි ලාංකීය සමාජයේ ගැඹුරු පසමිතූරතාවයකි. පෙර කී වතුකර දෙමළ වැසියන් හා මුස්ලිම්වරුන් බොහෝ විට මධ්‍යම ආණ්ඩුව සමඟ කේවල් කරන ලද්දේ එකම ආණ්ඩුවේ සම්පත් හා ආණ්ඩුකරණයේ කොටසක් තමන් සමඟද බේදා ගැනීමටයි. එම සමාජයන්හි ජාතීන් හා කණ්ඩායම් නියෝජනය කරමින් නැඟුනු දේශපාලන පක්ෂ (උදා: මුස්ලිම් කොන්ග්රසය) වලට අවශ්‍ය වූයේ එයයි. මීට ප්රතිවිරුද්ධව උතුරේ දෙමළ වැසියන්ට අවශ්‍ය වූයේ වෙනත් තලයක, ඔවුන්ගේම ආණ්ඩුවකි. මෙය ලංකාවේ ආණ්ඩුවේ සාර්වත්රික අනන්‍යතාවය එසේ වීමට ඉඩ නොදෙන, එය (ලංකා ආණ්ඩුව නම් සංගත අනන්‍යතාවය) විය නොහැකියාවක් කරන ඉල්ලීමකි. ඒ,සංගත අනන්‍ය ආණ්ඩුවකින් එම අනන්‍යතාවය බිඳීමට ඉල්ලන සැබෑ පසමිතුරුතාවකි. මෙය සතුරු- මිතුරු ප්‍රශ්නයක් ද නොවේ. දෙමළ වැසියන්ට සිංහල දකුණ සතුරෙකු ලෙස සැලකීමට ද වුවමනාවක් නොවන්නේ අවසානයේ සතුරු-මිතුරු භාවය වනාහි එකම තලය දෙකට බෙදා ගැනීමට පොර බඳින වෙනසකි. ඔවුන්ගේ ඉල්ලීම/සටන සතුරු/මිතුරු අක්ෂයම වෙනස් කොට වෙනස් අක්ෂයකින්, ඔවුන්ට රිසි වෙනස්ම සතුරෙකු පවා ස්ථාපනය කිරීමට නිදහස ඉල්ලන සටනකි. තම සතුරා පවා වෙනස් තලයක සිට නිර්මණය කිරීමට ඉල්ලන පසමිතුරුතාවයකි. තවත් ආකාරයකින් මෙය පැහැදිලි කිරීමට අප ශාසනය හා නිර්වානය අතර දයලෙක්තික සම්බන්ධය පාදක කර ගනිමු. ශාසනයේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට නිර්වානය යනු ශාසනයේ අව්‍යවහිත -එකෙණෙහිම- නිශේදනයයි (Immediate Negation). එය මරණය යනු ජීවිතයේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට එහි අව්‍යවහිත නිශේදනය වැනිය. නිර්වානයේ සිට ශාසනය වෙත නැවත චලනයක් නොමැත. නමුත් නිර්වානය නිර්වචනයෙන්ම ළඟදී ළඟා කරගත නොහැකි කල්පාන්තරයක් ගත වන සෑම විටම අනාගතයට යොමු වූ ස්ථානයකි. එම නිසා ශාසනය වනා හි කිට්ටු අනන්තයකි. මෙම දයලෙක්තිකයෙන් බලන විට දෙමළා යනු සිංහල බෞද්ධ ශාසනයට විරුද්ධ ව තවත් විකල්ප ශාසනයක් ඉල්ලූ කණ්ඩායමක් ආකාරයට අර්ථ දැක්වීම පසමිතුරුතාවය “වෙනසකට” ලඝු කිරීමකි. නමුත් අප තේරුම් ගත යුත්තේ මනෝවිශ්ලේෂණයේද රැඩිකල් සංකල්පය වන “නිර්-මැරුණු” (Un-Dead) – මැරුණු (Dead) හෝ නො-මැරුණු (Non-Dead) යුගලයට ප්රතිරූපව – එනම් අනන්තය පරිමිත කාලයට පැමිණීම වැනි (මගේ එදිනෙදා ජීවිතය තුළ අකාලික රැඩිකල් කලා කෘතියක් මා තුළින් නිමවීම වැනි අනන්තමය සම්මුඛවීමක් වැනි) ආකෘතියක් දෙමළ පසමිතුරු අරගලය තුළ තිබූ බවයි. එනම් ඔවුන් අරගල කළේ තවත් ශාසනයක් යාපනය තුළ පිහිටුවීමට නොව , මෙම ශාසනය තුළදීම නිවන් දැකීමට (ඊළාම් රාජ්‍ය මේ ලෝකය / ජීවිතය තුළදීම පිහිටුවීම) වැනි රැඩිකල් ඛණ්ඩනයකි. ඔවුන් වෙනස් කිරීමට තැත් කළේ ශානසය නොව,අනන්තයට කල් දමා ඇති නිර්වානයයි. දැන් මෙය සැදැහැ සිතැති සියළු බෞද්ධයන්ගේ විනෝදය (අත් හැරීමෙන් ලබන විනෝදය – Enjoyment Of Renunciation) රැඩිකල් ලෙස අභ්‍යන්තරයෙන්ම විවේචනය කිරීමකි. එයට දෙමලුන් ෙගවූ වන්දිය අප සියලු දෙනා දනිමු (ඕනෑවට කලින් නිවන් දැකීමට පැතීමේ පාපය). නිර්වානය අනන්තයෙන් පරිමිත කාලයට ගෙන ඒම මගින් “ශාසනය” යනුවෙන් තහවුරු වූ අනන්‍යතාවය පළුදු වී එය අසම්පූර්ණ කරවයි. ඉන් පසු ශාසනය එහි අලිඛිත අශ්ලීල ෆැන්ටාස්මැතික රීති මඟින් නිර්වානය අනන්තය වෙත ප්‍රතිස්ථාපනය කරවීය (දෙමළුන් 60,000ක් මරා දමමින්).
මෙවන් පසමිතුරුතා අශ්ලීල ආකාරයෙන් නොවිසඳා, ආදරය මඟින් ප්‍රතිජීවනය කිරීමට පැමිණෙන පක්ෂ සාමාජිකයා කවුද? අප කතා කරමින් සිටින්නේ ‘X’ දේශපාලනය පැරණි වාමංශයෙන් කැඩුණු පසු තම අතීත අගතීන්ගෙන් ද විපරිණාමය වූ ආකාරයයි. අප ඇසුවේ දෘෂ්ඨිවාදය විවේචනය කිරීමෙන් පසු සමාජ පසමිතුරුතා වලට “ඇත්තට” (වාස්තවිකව) කුමක් කරන්නේ ද යන්නයි. පසමිතුරුතාවය වෙත “ආදරය” දැක්වීමට නියමිත නියමුවන්ගේ පදනම, එනම් පක්ෂ සාමාජිකත්වය යන්න මෙහිදී පැහැදිලි කර ගනිමු. නැවතත් අප සන්දර්භය සඳහන් කරමු. ‘X’ යනු කාන්ටියානු ඛණ්ඩනයක් වාමාංශික ව්‍යාපාරය තුළ ඇති කළ නවතාවයයි. එහි වාමාංශිකත්වයේ පළමු පියවර දෘෂ්ඨිවාදය (අප දැනටමත් දන්නා දැනුම විනෝදය) විචාරය කිරීමයි. ‘X’ දේශපාලනය තමන්ගේම පැරණිභාවයෙන් කිහිප විටක් මිදී ඇත. ඒ හිස්ටීරියාවෙන් (2004න්) යථාර්ථය අසම්පූර්ණ බව (2015-2019) පසක් කර ගැනීමයි. යථාර්ථය අසම්පූර්ණ වන්නේ නොයෙකුත් පසමිතුරුතා නිසාවෙනි. ඒවා මැකිය නොහැක. සූප්පු කිරීමටද නොහැක. කළ හැක්කේ එය පැවැත්මේම කොටසක් ලෙස බාරගෙන ඒ මතින් නව තලයකට මාරු වීමයි. එය ආදරයයි. ගුවන් යානය තුළ දී ගුවන් සේවිකාවන් අපට සෑම විටම පවසන පරිදි ”කිට්ටුම පිටවීම් දොරටුව අපට පසු පසින් තිබිය හැකි” නිසා අප සොයන නව තලය දැන් සිටින ස්ථානයට යටින් තිබිය හැක (“Less” than nothing, not more than nothing).
රැඩිකල් වාමාංශික පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම යනු කුමක්ද? අධ්‍යතන මාක්ස්වාදයට අනුව මෙය නම් “වැඩකරන ජනතාව” (Working Class) නම් විඥාන ස්ථාවරයේ සිට “නිර්ධන පන්තිය” (Proletariat) නම් විඥානයෙන් එතෙර වී තමන් වැඩ කරන ජනයා බවට පමණක් නොව එසේ වැඩ කරන්නේ පුද්ගලික දේපළ අහිමි වීම නිසා බවට හඳුනා ගැනීමයි. මෙම චලිතය මඟින් වාස්තවික නිර්ණය (Objective determination) වන “වැඩ කරන පන්තිය” නම් අන්තික අනන්‍යතාවය නිශේදන කරයි. තමන්ට දෙන ලද “වැඩකරන” අනන්‍යතාවය ප්‍රතික්ෂේප කිරීමයි. මේ නිසා “නිර්ධන පන්තිය” යනු තවත් පන්ති අනන්‍යතාවය නොව නිදහස සංකේතවත් කරන කොමියුනිස්ට්වාදයට දිශානත වූ විඥාන ස්ථාවරයකි. අතීත වාමාංශික ව්‍යාපාර වලදී නම් මෙසේ නිර්ධනීකරණය වන්නේ විප්ලවවාදී පක්ෂයක සාමාජිකත්වය ලබා තම පන්ති විඥානය දෘෂ්ඨිවාදයෙන් ගලවා ගැනීමෙනි. තවත් ආකාරයකින් කිවහොත්, මෙම “වැඩකරන පන්ති” විඥානයේ සිට “නිර්ධන පන්ති” විඥානයට මාරු වීම යනු වාස්තවික නිර්ණයේ (Objective determination) සිට ආත්මීය නිර්ණයට (subjective determination) මාරු වීමයි. එනම් තම පන්ති අනන්‍යතාවය දෘෂ්ඨිවාදයෙන් පිට ආත්මීයව උකහා ගැනීමයි. මාක්ස්ට අනුව මෙම චලනයෙන් තොරව වැඩ කරන පන්තිය සෘජුව විප්ලවවාදී කළ නොහැක.
ඉහත මාක්ස්වාදී විවරණයට මනෝවිශ්ලේෂණයෙන් කළ යුතු ඉතා වැදගත් විචාරයක් ඇත. ඉහත සඳහන් කළ පරිදි “වැඩකරන පන්තියේ” සාමාජිකයෙක් එයම අතහැර “නිර්ධන” නම් සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රථම තමන් “වැඩකරන පන්තිය” නම් පන්තියක සාමාජිකයෙන් බව දැන සිටියේද? එසේ දැන සිටියේ නම් මාක්ස්ටද එය ප්‍රතික්ෂේප කොට නිර්ධනීකරණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? සමාජය සෘජුව “නිර්ධනීකරණය” නම් විඥාන ස්ථාවරයේ නොමැති නිසා, විප්ලවවාදී පක්ෂයක කාර්යභාරය ස්ථාපිත වේ. කරුණු එසේ නම් අප තේරුම් ගත යුත්තේ “වැඩ කරන පන්තිය” යනුවෙන් සංගත අනන්‍යතාවයක් සහිත සමාජ පන්තියක් නොමැති බවයි. එනම් “නිර්ධන පන්තිය” වීමට පෙර පැවති සමාජ තීරුව (වැඩ කරන, මහන්සි වන, පෞද්ගලික දේපළ රහිත ජනයා) “වැඩ කරන පන්තිය” යනුවෙන් සංගත සමාජ පන්තියක සාමාජිකයන් නොවේ. ඔවුන් අසංගත පොදු මහජනයාය. එසේ නම් ප්‍රශ්නයක් ඇත. එවිට නිර්ධන පන්තියේ සමාජිකයෙක් (නිර්ධන විඥානය සහිත කෙනෙක්) නිශේදනය කරන, ප්‍රතික්ෂේප කරන පන්තිය කුමක්ද? එය වැඩ කරන පන්තිය නොවේද? මෙයට පිළිතුර ඇත්තේ දීප්ති සහෝදරයා ගෙන ආ මනෝවිශ්ලේෂණය තුළයි. එනම් කෙනෙක් තමන් නිර්ධනයෙක් යන්න පසක් කරගත් විට, එසේ නිර්ධනීකරණය වූයේ කොහේ සිටද යන්න ද එක විට ජනිත වීමයි. මතුවීම හා අහිමි වීම එකවර සිදු වීමයි. (coincidence of emergence and loss). එනම් අපට අහිමි වූ යැයි හැඟෙන වස්තුව/ තත්වය අහිමි වූවාට පසුව මතුවන තත්වයත් සමඟම ඇතිවීමයි. තවත් ආකාරයකින් කිවහොත් නිර්ධන විඥානය නම් නව ආතාමීය ස්ථාවරය මඟින් තමා නව ආත්මීයත්වය (නිර්ධනයෙක් බවට වන සත්‍ය) මතු වූයේ වැඩකරන පන්තිය නම් සංගත අනන්‍යතාවයකින් බව පසුආවර්තිතව අනුජානනය කිරීමයි – පිහිටුවීමය (retroactively positing the presuppositions). එවිට වැඩ කරන පන්තිය නම් පූර්ව- උපකල්පන පදනම ජනිත වන්නේ “නිර්ධන” සත්‍ය අවබෝධ වූවාට පසු පසු -ආවර්තිතවයි. නැතහොත් නිර්ධන ආත්මීයත්වයට පෙර ඇති “වැඩ කරන” අනන්‍යතාවයක් නොමැත. මෙම මනෝවිශ්ලේෂණයේ ඇති සංකල්පය නම් “කුඩා වස්තුවයි” (Objet a)- Objet a නම් අහිමි වූ වස්තුව. මෙසේ නිර්ධන විඥානය ජනිත වීමට ප්‍රථම වැඩ කරන පන්ති විඥානය නම් ප්රපංචයක් විග්රහ කිරීම ඉහත පසු-ආවර්තිත අනුජානනය තේරුම් නොගැනීමකි. “වැඩකරන පන්තිය” නම් ආස්ථානයට සංගතභාවය ලැබෙන්නේ එය නිර්ධන ආත්මීය ස්ථාවරයෙන් පසු ආවර්තිතව, නිර්ධන ස්ථාවරයට එළඹීමට ඇති පූර්ව- උපකල්පනයක් බවට සලකන විටදීය. මෙම පසු-ආවර්තිත අනුජානනයට පෙර එය ඇතැයි සිතීමට නම් චින්තන ක්‍රියාවලියට පෙර එය ඇතැයි සිතීමට නම් චින්තන ක්‍රියාවලියට දීප්තිගෙන් උගත් අප කියන්නේ ෆැන්ටසිය කියාය. ෆැන්ටසියේ එක් කාර්යභාරයක් වන්නේ යම් ආත්මීය ආස්ථානයක් වෙත එළඹීමට පෙර තිබූ තත්වය එම ආත්මීය ස්ථාවරය තිබුනේ යැයි සිතා, එය ඇති වූ ගමන් මඟ විස්තර කිරීමයි (narrativizing how the lost object got lost) එයට ආඛ්‍යානයක් සැපයීමයි. උදාහරණයක් ලෙස ගතහොත් දුටුගැමුණු රජතුමාගේ කාලයේ තිබූ මානව හිමිකම් (එළාරට මිණී වලක් සැපයීම) ගැන කතා කරන විට අපට මඟ හැරෙන්නේ එවකට තත්වය එසේ ආඛ්‍යානගත කිරීමට අවශ්‍ය මානව හිමිකම් නම් ආකෘතිය ලංකාවට පැමිණියේ 20 වන ශතවර්ශයේ බවයි. නැතිනම් දෙවියන් ලෝකය මැවීමට පෙර තිබූ තත්වය ගැන කතා කිරීම යනු ආත්මීයත්වය පැමිණීමෙන් පසු කරන පසු-ආවර්තනයක් බව තේරුම් නොගැනීමයි. මෙම මුළු ක්‍රියාවලියටම එනම් ආත්මයට පෙර පැවති තත්වය, ආත්මය තිබුනාක් මෙන් “ෆැන්ටසියයි”. මෙම විවරණය අනුව අපට පැවසිය හැක්කේ නිර්ධන විඥානය ලද කම්කරුවා අත්හරිනු ලබන්නේ කිසි දාක තමන් සාමාජිකත්වය නොලද පන්තියක සාමාජිකත්වයයි. ඒ “වැඩ කරන පන්තිය” යනු නිර්ධන පාන්තික විඥානයේ පසු-ආවර්තිත පූර්ව කොන්දේසිය නිසාවෙනි. මේ හේතුව නිසා අප තේරුම් ගත යුත්තේ නිර්ධන පාන්තික විඥානය යනුම නිශේදනයක් යන්නයි. එය එසේ වන්නේ එම ආත්මීය ස්ථාවරය දරණ සියලු දෙනා ධනවාදය නම් යථට දක්වන නිශේදනාත්මක සම්බන්ධය නිසාය. තවත් ලෙසකින් සඳහන් කළහොත් නිර්ධන පාන්තික විඥානය යනු තවත් එක් “අනන්‍යතාවයක්” නොව, ධනවාදය විසින් දෙනු ලබන අනන්‍යතාවය (වෛද්‍යවරයා, Maruti Suzuki රථයක් හිමි කාර්මික නිලධාරියා, වසරකට වරක් පවුල සමඟ විදෙස් සවාරි යන වෙළඳ නිලධාරියා) ප්‍රතික්ෂේප කරමින් අත්පත් කරගන්නා නිශේදනාත්මක ස්ථාවරයකි. මෙය නව අවනන්යතාවයක් ලබා දෙනු වෙනුවට පෙර පැවති සංගත අනන්‍යතාවය අසම්පූර්ණ කරවයි. පොදුභාවය සිදුරු කරවයි.
නිර්ධන පාන්තික විඥානය (Proletarian Subjectivity) යන්න අන් කිසිවක් නොව පෙර පැවති අවිඥානක අසංගත සේවක විඥානය නිශේදනය කිරීම පමණක් බව විනෝද ආර්ථිකය (Libidinal Economy) ඇසුරෙන්ද තේරුම් ගැනීම වැදගත් වේ. එනම් මෙම නිර්ධන පාන්තික ආත්මීය ස්ථාවරය යනු තවත් එක් සාරාත්මක අනන්‍යතාවයක් නොවේ. දෙන ලද අනන්‍යතාවය ප්‍රතික්ෂේප කිරීමයි. මෙම හේතුව නිසාම එය නෛසර්ගයෙන්ම හිස්ටරික ස්ථාවරයක් ගනියි (මෙම ආදේශයත් සමඟ “ස්ත්‍රිය” නම් හැඟවුම පැමිණේ. මෙය පසුව විග්රහ කරමු. කෙසේ හෝ මේ කාලයේ හිස්ටරික ස්ථාවර විපරිතයන්ට එරෙහිව ඉතා රැඩිකල් ආස්ථානයක් බව ජිජැක් සඳහන් කරයි). විනෝද ආර්ථිකය ඇසුරෙන් සඳහන් කළ යුත්තේ (පෙර සාකච්ඡා කළ හේගල්ගේ ස්වාමි-සේවක සම්බන්ධය ආශ්රයෙන් ද) නිර්ධන විඥානය අත්පත් කර ගැනීමට ප්‍රථම කම්කරුවා තම නිශ්පාදන, අලෙවි හෝ සම්ප්‍රේක්ෂණ ක්‍රියාවලිය හා එහි ඇති (අතිරික්ත) විනෝදය සමඟ තදාත්මික වී ඇත. ඒ තම සේවකත්වය , නැතහොත් ක්‍රමයට ඇති අවිඥානක ලැදියාව හරහා විනොද වීමෙන් ය. මෙම විනෝදය යනු තම කර්කශ ශ්‍රමය මඟින්ම ලබන විනෝදයයි. වෙනත් ලෙසකින් කිවහොත්, කෙනෙකු කරනු ලබන රැකියාව අලෙවිය නම් (Bread Talk හි හෝ Crab Ministry දී- waiter) එම රැකියාවේ පීඩිත, වෙනකෙකු පොහොසත් කිරීමට දඟලන කර්කශ ශ්‍රමය එම ශ්රමයටම ලැබෙන තුටු පඬුරු Credit Card, කොළඹ ප්‍රදේශයේ රැකියාව කිරීම, දුම්රියේ ගමන් කරද්දී එහි යන ගැහැණුන් හා පිරිමින් තමන් දෙස බලන නිසා,පෙර කළුවට සිටි අය දැන් පැහැපත් නිසා, සතියකට වරක් Spa යා හැකි නිසා, අමතක කර, එම කර්කශ ශ්‍රමයම විනෝදයකට (ආතල් එකකට) පෙරළා ගනී. අප මෙයට ශ්‍රමයෙහි විනෝදය යැයි කියමු (Enjoyment of Labour).
නිර්ධන පන්ති විඥානය අත්පත් කර ගැනීමට ප්‍රථම මෙලෙස ශ්‍රමය සමඟ ඔබ්බන ලද විනෝදයට තදාත්මක වී සිටි කම්කරුවා,නිර්ධන පන්ති විඥානය නම් නිශේදාත්මක ආත්මීය ස්ථාවර ළඟා කර ගැනීම මඟින් ඉහත තදාත්මක විනෝදය ද ප්‍රතික්ෂේප කරයි (Renunciation of Enjoyment). එසේ එම විනෝදය ප්‍රතික්ෂේප කොට සමාජවාදය නම් ආශා ඉණි මගේ නැඟ විනෝදය කරා එළඹීමයි. දැන් අප වැදගත් ප්‍රශ්නයක් අසමු. මෙසේ නිර්ධන පාන්තික විඥානය ඇති කර ගැනීම- “කම්කරුවා” නම් අනන්‍යතාවය/ සමාජභාවය නිශේද කිරීම- පමණක් පක්ෂ සාමාජිකත්වයට ප්‍රමාණවත්ද? එනම් නිකමට කම්කරුවෙකු වීම ප්‍රතික්ෂේප කළ පමණින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වීමට ප්‍රමාණවත්ද? පිළිතුර : ‘’විනෝදය ප්‍රතික්ෂේප කිරීම’’ ප්රතිකේෂේප කිරීමෙන් විනෝද වීම බවට මාරු විය හැක (form Renunciation of Enjoyment to Enjoyment of Renunciation). උදා:ජෝසප් ස්ටාලින් සහෝදරයා , වික්‍රමබාහු සහෝදරයා සහ අපේ අලුත් පරපුරේ හා අ.වි.ශි.ම බොහෝ විප්ලවවාදීන් ඉහත කාණ්ඩයේ අයය. එනම් වැඩ කරන පන්ති විඥානය ප්‍රතික්ෂේප කිරීම නැමැති විනෝදය ප්‍රතික්ෂේප කිරීම මඟින්, එය දිගින් දිගට කිරීම නිසා එම ප්‍රතික්ෂේප කිරීමම (පාරේ තිබෙන උද්ඝෝෂණ හරහාම) හරහා විනෝද වීමයි. මෙය FaceBook එකටද එලෙසම අදාළය. කෙනෙකුට ඉතා රැඩිකල් වීම මඟින් ද විනෝද විය හැක. එම නිසා දේශපාලනයේදී “විනෝදය” යනු මේ කාලයේ දී මුඛ්යම සාධකය වේ.
මෙම විග්‍රහය පාදක කොට ගෙන, එහි හරය පහත පරිදි සාරාංශ ගත කළ හැක :
(1) “වැඩ කරන පන්තිය” යනුවෙන් ප්රපංචයක් නොමැත. ඇත්තේ විකේන්ද්‍රීය කම්කරු මහජනයාය. ඔවුන් තම ශ්රමයෙන්ම විනෝද වේ.
(2) “නිර්ධන විඥානය” (පසුව නිර්ධන පන්තිය) යනු කම්කරුවා තමාව වාස්තවික ලෙස ක්‍රමය ගැට ගසා ඇති ආකෘතිය ආත්මීයව නිශේද කිරීමයි. මෙය ප්‍රථම නිශේදනයයි.
(3) කෙනෙකුට නිර්ධනයෙකු වූ පමණින් විප්ලවවාදී විය නොහැක. ඒ නිර්ධනීකරණ ආකෘතිය මඟින්ම විනෝද වීම නිසාය (ප්‍රතික්ෂේප කිරීමෙන් විනෝද වීම).
(4) නිර්ධනයෙකු වීම විප්ලවවාදී පක්ෂයක (අප පක්ෂයේ) ක්‍රියාකාරිකයෙකු වීමට සුදුසු කමක් නොවේ. ඔබ විනෝද වන බව අප දනිමු. ආවර්තිතා වගුව මෙන් රැකියාව බලා පන්තිය නිර්ණය කිරීමේ ආඥානය අපට නැත.
(5) නිශේදනයේ නිශේදනය (Negation of Negation): මෙය නිර්ධන විඥානයෙන් නැවත පෙර සිටි විකේන්ද්‍රීය කම්කරු මහජන තත්වයට පත් වීම නොවේ. ඊට වෙනස්ව “නිර්ධන විඥානය” නම් නිශේදනය – කෙනෙකු තමන්ගේ පිටතින් වන වාස්තවිකත්වයකින් පාලනය වීමට විරුද්ධව කරන අරගලය – “සමාජය” යන්නම ප්රතිනිෂ්පාදනය කරන ගැඹුරු පසමිතුරුතාවයක් බවත්, එය පැවැත්මේ සද්භාවවාදී සත්‍යයක් බවත් තේරුම් ගැනීමයි. එනම් “සමාජය” යනු බූෂුවා පන්තිය, මහජනයා හා නිර්ධනයා යන පුද්ගල කාණ්ඩවල එකතුවක් නොවේ. ඊට විරුද්ධව “නිර්ධනයා” යනු අන් අය (බූෂුවා හා මහජනයා) “සමාජය” යනුවෙන් සුසංයෝගී පොදු සංගතභාවයක් නිර්මාණය කිරීමට කරන උත්සාහය (ෆැන්ටසිය) අසම්පූර්ණ කරවන ස්ථාවරයයි. එම නිසා මහජනයාට හා ධනපතියන්ට නිර්ධන විඥානය පෙනෙනුයේ තම සුසංයෝගය වින කරන සතුරෙකු ලෙසයි. මේ අර්ථයෙන් නිර්ධන විඥානය යනු “සමාජය” යන්න ගැටුම් සහිත එකම කවුලුවයි. ඒ ආකාරයෙන්ම නිර්ධන පන්තිය යනු ඉතිහාසයේ නියාමනයන්ට අනුව මීට වඩා ධනාත්මක, සම්පූර්ණ, යහපත් සමාජ පන්තියක් නිර්මාණය කිරීමට තිබෙන පන්තියක් නොවේ. මාක්ස් දුටු සත්‍ය වූයේ සියලු පන්ති අවසාන කිරීමටද, සියලු පන්ති අතරින් එක් පන්තියක ආත්මීය ස්ථාවරය දැරිය යුතු බවයි. ඒ ආකාරයෙන්ම, ඇත්තේ එක් සවිඥානික පන්තියක් පමණයි. ඒ නිර්ධන පන්තියයි. ධනපතියන් තමනුත් එක් සමාජ පන්තියක් (බලය හොබවන) යන්න දන්නේ හෝ පිළිගන්නේ නැත. ඔවුන් කියන්නේ අප සෑම දෙනාම එක් කොට්ඨාසයක් බවයි. ඔවුන් පන්තියක් බවට පත් කරන්නේ නිශේදනාත්මක ආකාරයෙන් නිර්ධනයින් තමන් පන්තියක් වීමට එරෙහිව කරනස අරගලය හරහාය. මේ අර්ථයෙන් නිර්ධන පන්තිය යන්න අන් කිසිවක් නොව සුසංවාදී යථාර්ථයක් (කම්කරුවා කම්කරු යුතුකම කිරීම, ගුරුවරයා ඒ යුතුකම කිරීම, Spa Masseuse ඒ යුතුකම කිරීම,NGO හිමිකරුවා ඒ යුතුකම කිරීම) මැදට එල්ල කරන පරතරයකි. නිශේදනයකි. (කම්කරුවා කම්කරුවෙකු වීම ප්‍රතික්ෂේප කිරීම, Uber Driver එසේ වීම ප්‍රතික්ෂේප කිරීම , පෙදරේරුවා එසේ වීම ප්‍රතික්ෂේප කිරීම). යමක් ප්‍රතික්ෂේප කිරීමෙන්, තිබූ සම්පූර්ණ සුසංවාදීත්වය අසම්පූර්ණ බවට පත්වේ. එවිට එක සංගත ගැටුම් රහිත යථාර්ථයක් ගැන කතා කිරීම දෘෂ්ඨිවාදයකි.
දැන් අවසාන වශයෙන් හිස්ටීරියාවේ සිට යථාර්ථයේ අසම්පූර්ණත්වය දක්වා:
“ස්ත්‍රියක් ලබන විනෝදය යනු පිරිමි හේතුවේ කේවල ඵලයද?මෙතනදී හේතු-ඵල සම්බන්ධය ගැන සරල රේඛීය කියවීම නිවැරදිද? පිරිමියෙකුට තම හේතු-ඵල සබඳතා විශ්වයේ දී වඩාත්ම ගුප්ත කොටස වන්නේ එක්තරා නිමේෂයකට පසු ස්ත්‍රිය තම ලෝකයෙන් අතුරුදන් වීමයි…………………………………..
නමුත් ‘ඇය’ හදිසියේම ඔහුටත් නොකියා නෛෂ්ක්රමණය කරයි. මෙතැනදී ඇය නෛෂ්ක්රමණය කරන්නේ සංසාරයෙන් පිටතට නොව ඒ තුළටමය. මෙතැනදී පිරිමින් පිළිගැනීමට සූදානම් විය යුත්තේ යථාර්ථයේ අසම්පූර්ණභාවය යනු ස්ත්‍රිය බවයි. ස්ත්‍රීන් ඉදිරිපිට පිරිමින්ගේ නිව්ටෝනියානු තුන්වන නියමය අභාවයට යයි”
(උපුටනය: මුඩුබිමක ආදරය කියවීම: යථාර්ථයට වශී නොවී 3මාන, Feb 23,2016, දීප්ති කුමාර ගුණරත්න)
“යථාර්ථයේ අසම්පූර්ණභාවය යනු ස්ත්‍රියයි.” ප්‍රථම වතාවට නිර්ධන විඥානය හා ස්ත්‍රී ආත්මය අතර සාමාන්‍ය හා එකත්වය දීප්ති සහෝදරයා විසින් සංකල්ප ගත කර ඇත. ඒ අනුව දැන් අප පක්ෂය දන්නේ හිස්ටීරියාවේ (ස්ත්‍රිය) සිට යථාර්ථයේ අසම්පූර්ණභාවය වෙත පැමිණීම නොව, හිස්ටීරියාව (ස්ත්‍රී ආත්මය, ස්ත්‍රීත්වය නම් බලය කෙරෙහි වන ස්ථාවරය) යනුම යථාර්ථයේ අසම්පූර්ණභාවය බවයි. එනම් යථාර්ථය යන්න අසම්පූර්ණ කරවන ආත්මය වනාහි ස්ත්‍රීත්වය/ නිර්ධන විඥානය යන්නයි. ස්ත්‍රීත්වය යනු පිරිමි බව ප්‍රතික්ෂේප කිරීමක් නොවන්නා සේම, නිර්ධන විඥානය යනු වැඩ කරන පන්තිය ප්‍රතික්ෂේප කිරීම පමණක් නෙවේ. වාස්තවිකත්වයේ (යථාර්ථයේ) පැල්ම/ අසම්පුර්ණ බව හොබවන (කියා දෙන නොවේ- earing the Truth) සත්‍යයයි. එය ආත්මයයි. මෙම පසමිතුරුතාවය පිළිගෙන එය වෙනත් තලයකට එසවීම යනු “ආදරයයි”.
ඩිල්ෂාන් ප්‍රනාන්දු.