දීප්ති අනූව දශකයේ අග පමණ දී දේශපාලනයට පිවිසෙන විට ලාංකික දේශපාලනය තුළ හෙජමොනික අවකාශ තුනක් සලකුණු කළ හැකි විය. එකක් නම් එ.ජා.ප. – ශ්‍රි ලංකා තට්ටු මාරු බුර්ෂුවා දේශපාලනය වන අතර අනෙක නම් එම හෙජමොනික අවකාශය සමඟ සන්ධානගත වෙමින් තම පැවැත්ම ස්ථාපිත කරගත් පැරණි වමයි. මෙම අවකාශ දෙකට එරෙහිව සන්නද්ධ අතිධාවනකාරී දේශපාලන විකල්ප අවකාශය ජ.වි.පෙ ලිබිඩෝ දේශපාලනය විසින් පුරවා දමනු ලැබ තිබුණි. උතුරේ දේශපාලනය විකල්ප ධාරාවේ සිටි මතධාරීන් මර්දනය කරමින් කොටි සංවිධානය ආගමනය වූ ලෙසටම ජ.වි.පෙ. විසින්ද එ.ජා.ප. සහ ශ‍්‍රී.ල.නි.ප. මතු නොව විජය කුමාරණතුංගලා පවා ඝාතනය කරමින් කුප්පි ලාම්පු නිවමින් නව හෙජමොනික බවක් අත්පත් කරගනිමින් පැවතුණි. 88 – 89 සිද්ධියේ ‘සත්‍යය’ විසින් නැවත පශ්චාත් – යටත්විජිත රාජ්‍යය හෙජමොනිය තමා වෙත අත්පත් කරගත් අතර (2010 දී සිදු වූයේ ද මෙයමය) දීප්ති දේශපාලනය කිරීමට ප‍්‍රවිශ්ඨ වන විට කිසිදු වාමවාදී විකල්ප අවකාශයක් තිබුණේ නැත. ජ.වි.පෙ.ට එරෙහිව අවි ගත් Pra, කහ බළල්ලු, කොළ කොටි යනාදී පාර-මිලිටරි විකල්පයන් නිර්මාණශීලී විකල්ප අවකාශයක් පිළිබඳව සිතා තිබුණේවත් නැත.

මෙම සියලූ හෙජමොනික අවකාශයන් වෙනුවට නිර්-හෙජමොනික අනියත අවකාශයක් මුල්වරට හඳුන්වා දෙන්නේ අනියත සංඥාවක් ලෙස X සලකුණ දීප්ති විසින් තෝරා ගැනීමෙනි. පැරණි සම්ප‍්‍රදායික මකුළු දැල් – දූවිලි – අපිළිවෙළ පිරී ගිය වමේ අවකාශය චිත‍්‍රපට – සංගීතය, පොත්පත් හරහා නව දාර්ශනික අවකාශයක් වෙත නව කොමියුනිස්ට් රූපකයක් තුුළම, පශ්චාත් ජේ.ආර්. පසු-ධනවාදය තූළම දීප්ති විසින් මුල්වරට ලාංකික පොළොව තුළ නිෂ්පාදනය කරන ලදි. කුප්පු ලාම්පු එළියෙන් පාඩම් කළ එවකට දූ පුතුන්ට රාත‍්‍රී 6න් පසු ලාම්පු නිවීමට ජ.වි.පෙ. අණකර තිබුණ අතර එම පරම්පරාවට දීප්ති නැවත බටහිර දාර්ශනික කෘති ප‍්‍රදානය කර තිබුණි. ගඩොල් පෝරණු තරම් සල්ලි මිටි ගැන කියමින් අනුර කුමාර අද දවසේ ද තරුණයන් නොමග යවන විට අපේ පරම්පරාවේ දුයිෂෙන් අදටත් තරුණ පරම්පරාවට කියන්නේ පොත් කියවන ලෙසය. ජ.වි.පෙ. පිටුපස යන අපේ පරම්පරාවේ විශ්වවිද්‍යාල ඇදුරන් මේ ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. ඇත්ත වශයෙන් ඔවුන් ඉදිරියට ගෙන යා යුත්තේ දීප්තිගේ උරුමයය. ඔවුන් එය දනී. නමුත් නොදන්නවා ලෙස සිටී. ඔවුන්ගේ සිහිනය ඔවුන්ටමත් ක්ෂිතියකි.

මෙම විකල්පීය අවකාශය පිළිබඳ අදහස මිෂෙල් ෆුකෝගේ වන අතර එය එදිනෙදා ජීවන පැවැත්ම සමඟ සම්බන්ධ කරන්නේ තවත් මාක්ස්වාදී ප‍්‍රංශ දාර්ශනිකයෙක් වූ හෙන්රි ලෙෆබ්‍රෙව් විසිනි. අධිපති නාගරික අවකාශයේ විගලිතභාවයෙන් මිදීම සඳහා නව නාගරික විකල්පීය අවකාශයක් ඔහු යෝජනා කරන අතර එය මාක්ස්වාදී ස්ටාලිනියානු අවකාශයෙන් පවා ඔහු ගලවා ගනී. ලංකාවේ දීප්ති විසින් කරන ලද්දේද හරියටම මෙය වන අතර ඔහු ඇතැම් විට විකල්පීය ගෘහ නිර්මාණය කරා සිත යොමු කරන්නේද මේ කාලයේදීමය. දීප්තිගේ දෙවන පරම්පරාව නැවත පැරණි ආකෘති කරා අපගමනය වෙද්දී තවදුරටත් ඔහු රැඩිකල් නව කොමියුනිස්ට් රූපකයක් ගැන සිතීමට තම දෛවය කැපකර සිටී. එතැනදී තවමත් ඔහු මනෝරාජික සිතන්නෙක් වන අතර අනුරට හෝ කුමාර මහත්තයාට කිසි දිනෙක ඔහු තේරුම් නොයන්නේ ඔවුන් විකල්පීය තුන්වන අවකාශයන් (Third Place) ගැන සිහිනෙන්වත් නොසිතන බැවිනි. ඔවුන් අන් කවරෙකුටත් වඩා මේ ක‍්‍රමයේ සිරකරුවන් බව ඔවුන් විසින්ම ඔප්පු කරනු ලැබ ඇත.

දීප්තිගේ දේශපාලනයට මිනිසුන් ආකර්ෂණය වූයේ ඔහු විසින් සොයාගත් මෙම අනියත නිර්-බුර්ෂුවා නාගරික මානව-භූගෝලය විනයගත කිරීමේ ආකෘතියක් ලෙස තෝරාගත් බැවිනි. (කියවන්න ඬේවිඞ් හාවී සහ එඞ්වඞ් සෝජාගේ නාගරික භූගෝලීය බව තුළ ඇති ගෘහ නිර්මාණය පිළිබඳ අවකාශය සම්බන්ධ ලිපි). මෙය දකුණු ආසියාව තුළ කිසිවෙක් අත්හදා බලා තිබූ දෙයක් නොවන අතර සද්භාවී අර්ථයෙන් ඔහුගේ සමකාලීනයන්ට මෙන්ම දෙවන පෙළට ද මෙය කෙසේවත් තේරුම් ගත නොහැකි විය. මෙය දීප්ති සහ ඔවුන් අතර ඇති ප‍්‍රධාන පරස්පරතාවකි. සෝජා මෙසේ කියයි, ”මනස සහ ශරීරය, පරිකල්පනය සහ යථාර්ථය, සවිඥානය සහ අවිඥානය, විනය සහ පාර – විනය, දැනුම සහ පරිකල්පනය කළ නොහැක්ක, විෂයමූලික බව සහ වාස්තවිකත්වය, වෙනස සහ පුනර්වාචය එදිනෙදා ජීවිතය සහ නො-අවසන් ඉතිහාසය යන සියල්ල හමුවන ස්ථානය මෙම නව-අවකාශයයි” මිනිස් පැවැත්මේ අවකාශය මේ හරහා වෙනස් වනු ඇත. නාගරිකත්වයේ අසමතුලිත බව නැවත තුලිත කිරීමේ හැකියාවක් මේ තුළ ගැබ්ව ඇත. මේ සඳහා ෆුකෝ යෝජනා කරන වචනය විෂමස්ථානික යයි (Heterotopia). එය එක්තරා අයුරකින් ස්ථානයක් නොමැති ස්ථානයකි (Placeless Place). X අකුරෙන් කියවෙන්නේ එයයි. මෙය ලබ්ධියක් පිළිබඳව වූ විකාරයක් නොවේ.

ගැටලූව වූයේ මෙම X ස්ථානයට පැමිණි කිසිවෙකුට එම වියුක්තනය සහ ද්‍රව්‍යාත්මක බවෙහි සම්බන්ධය ගළපා ගැනීමට නොහැකි වීමයි. ඔවුන්ට එය පැරනොයික – ආතතිමය අවකාශයක් විය. එවකට X නිවසේ තිබූ කාලෝස් සැන්ටානාගේ හෝ ලින්කින් පාක් ගේ ඡායාරූපයක් සමඟ ඔවුන්ට වියුක්තව බද්ධ විය නොහැකි විය. එය ඔවුන්ට පැරණි වමේ ‘ලංකාදීප’ පත්තරයක් දූවිලි බැඳුණ මේසයක තබා තිබෙනු දැකීම තරම්වත් වියුක්ත සම්බන්ධයක් ඇතිකර තිබුණේ නැත. නමුත් කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ තිබූ ‘දවස’ පත්තරය ඔවුන්ගේ පැවැත්මට ඊට වඩා හොඳින් බද්ධ විය. ඉදින් ජිජැක්ගේ පොත් ගැන කියනුම කවරද? X දේශපාලනය කිරීමට තරම් ඔවුන් ජ.වි.පෙ.න් හෝ පැරණි වමෙන් ප‍්‍රමාණවත් ලෙස විගලිත නොවී සිටීම මෙහි රෝග ලක්ෂණයේ නිධානයයි. X පිරිමියාගේ මෙම රෝග නිධානය X ස්ත‍්‍රියට වැටහුණේම නැත. විෂමස්ථානිකය යන්න ඔවුන් අර්ථවත් කර ගත්තේ ‘මධුසමය’ (ෆුකෝගේ වචනය) ‘සඳහා වෙන්කර ඇති’ අවකාශයක් ලෙසිනි. රොහාන් පෙරේරා මහතා මෙම අවකාශය හෝටන් තැන්නට රැගෙන ගිය අතර ඔහුට මෙම නව – දැනුම් – සංස්කෘතික අවකාශය දැනුණේ වහාම පලා යා යුතු අනේකත්වයක් ලෙසිනි. නමුත් ඒ වන විට දීප්ති පැරණි වමේ සමස්තතා අවකාශයට එරෙහි නව අවකාශයක් නිර්මාණය කරමින් පැවතුණි.

X යනු නව මානව – භූගෝලීය අවකාශයකි. එය කැඩපතකි. එදිනෙදා ජීවිතයේ නොදියුණු බව (ලෙෆබ්‍රෙව්ගේ වචනය) අතික‍්‍රමණය කිරීම සඳහා වූ රැඩිකල් අවකාශයකි. එදිනෙදා ජීවිතය ප‍්‍රති-විජිතකරණය කිරීමේ (හබමාස්ගේ වචනය) මූලාරම්භක පියවරකි. ලෙෆ්බ්‍රෙව් සඳහන් කරන අන්දමට ස්වභාවික ජීවිතයේ රිද්මය, මනෝලිංගික ජීවිතයේ රිද්මය සහ සමාජ දේශපාලන රිද්මයන් පරිවර්තනීය ලෙසත් පරස්පර ලෙසත් නව අවකාශයක ප‍්‍රති-ස්ථාපනය වීමේ නව පසු-ධනවාදී සාමූහිකයකි. නව කොමියුනිස්ට් එකමුතුවක් පිළිබඳ නැවුම් අත්හදා බැලිමකි. අද ‘කොමියුනිස්ට්’ ක‍්‍රමයක් ගැන කතා කරන්නවුන් කිසිදා නොසිතුව මනෝරාජික පුරෝගාමීත්වයකි. පැරණි ප‍්‍රා සාමාජිකයෙකුට මෙන්ම පැරණි ජ.වි.පෙ. සාමාජිකයෙකුට එකවරම දිරවාගත නොහැකි දෙයකි. ඔවුන්ගේ එදිනෙදා බව (Everydayness) අදටත් නිර්මාණය කරන්නේ අනුර කුමාරලා සහ ටිල්වින් සිල්වාය. අප සැමගේම එකතැන පල්වීම සඳහා මානසික අඩුම කුඩුම දෙන්නේ ඔවුන්ය. අපගේ ජීවිත එක දශමයකින් හෝ රැුඩිකල්කරණය කිරීමට ඔවුන්ට නොහැකිය. ලෙෆබ්‍රෙව්ගේ වචනයෙන්ම කියන්නේ නම් අනුර කුමාර අද කියන ‘ගඩොල් පෝරණු සල්ලි මිටි’ කතා විසින්ම අපගේ වියුක්ත සහ ද්‍රව්‍යමය පැවැත්ම ඒ ලෙසම නැවත ධනවාදය විසින් තහවුරු කරයි. ධනවාදය ඒ ඔස්සේම පණ ගැට ගසාගන්නා (Survive) අතර ඒ ඔස්සේම තම ප‍්‍රති-නිෂ්පාදනය තහවුරු කර ගනී. ඒ සඳහා එදාටත් වඩා අද උදව් කරන්නේ තත්‍යසමාන අවකාශයයි. දීප්තිගේ විකල්ප අවකාශයෙන් පිටවන බොහෝ දෙනෙක් ඇතුළත් වන්නේ මෙම තත්‍යසමාන අවකාශය වෙතටය. ඉන්පසුව ඔවුන් යථාර්ථයෙන් ඉල්ලා සිටින්නේ තමාව ‘පිළිගන්නා’ ලෙසය. ලිෆ්බ්‍රෙව්ගේ වචනයෙන් කිවහොත් ඔවුන් ධනවාදයේ විගලිත බව වඩ වඩාත් සත්‍යයක් ලෙස විඳවයි. තමාව පාලනය කිරීමට ඉඩදී තාක්ෂණයේ නව සමස්තතාවාදයේ වහලුන් බවට පත්වෙමින් ඇත. එය විකල්පයක් නොවේ. බොහෝ අය අමතක කරන දෙය නම් කොමියුනිස්ට් සමාජය යනුම විකල්පීය යුතෝපියාවක් යන්නය. එය රැඩිකල් ප‍්‍රති-ව්‍යුහගත කිරීමකි. ජීවන ලෝකය ප‍්‍රති-විජිතකරණය කිරීමකි. නමුත් මුහුණුපොත යනු එවන් විකල්පීය අවකාශයක් වන්නේ කෙසේද? හෙට උදෑසන නැගිටින විටත් පැරණි ලෝකය එසේම පවතින බව අප හැමෝටමත් වඩා දන්නේ මුහුණුපොත් සැරිසරන්නන්ය.

මම නව නාගරික විකල්පීය අවකාශය විසින් විශ්වවිද්‍යාල අවකාශය අභියෝගයට ලක් කරන ලදි. ලෙෆ්බ්‍රෙව් සහ සෝජා මෙන්ම හාවීද නව විශ්වවිද්‍යාල ගෘහ නිර්මාණ ආකෘති නිර්මාණය කළ අතර දීප්ති විසින් එම අවකාශයට බාහිරෙන් සමාජ-දේශපාලන-සංස්කෘතික වියුක්ත සහ ද්‍රව්‍යමය තෝතැන්නක් නිර්මාණය කරන ලදි. නමුත් ඔහු එය පශ්චාත් නූතන අවකාශයක් වීමට ඉඩ නොදුන් අතර එයට රැුඩිකල් වහුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය එන්නත් කිරීම ඔස්සේ පැවති දේශපාලන – සංස්කෘතික සීමා (boundaries) ප‍්‍රශ්න කරන ලදී. නැවත සීමා නිර්ණය කරන ලදි. හොමි කේ. බබා උපුටා දක්වන්නේ නම්, පැවති ඉතිහාසය සහ ව්‍යුහය නව දේශපාලන ආරම්භයක් වෙතට ප‍්‍රති-දිශානතගත කරන ලදි. එවිට බිහිවනු ඇත්තේ පූර්වයෙන් පැවති දෙනෙතකට හඳුනාගත නොහැකි දෙයකි. පැවති අර්ථයන්ගේ නව සංශ්ලේෂණයක් වන අතර එය එම අර්ථයන්ගේ ප‍්‍රති-නියෝජනයක් වනු ඇත්තේය. (හොමි කේ. බබා සමඟ සම්මුඛ සාකච්ඡාව (1998).

ඒ අර්ථයෙන් මීට විසි වසරකට පමණ පෙර දීප්ති විසින් අපට සම්මුඛ කර ඇත්තේ අතිශයින්ම නූතන අර්ථයන්ගේ ප‍්‍රති නියෝජනයකි. එය නොතේරුණ  අය කළ යුත්තේ ‘පරක්කු දැනුම’ ඔස්සේ එය තේරුම් ගැනීම විනා තැන තැන ආඩපාලි කියමින් ඇවිදීම නොවේ. මන්ද සෝජාට අනුව තුන්වැනි අවකාශයක් යනුම අනේකත්වයක් මුණගැසීමක්.

Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මම දීප්තිට කැමතිත් ඒ නිසා. හුඟක් අය දිප්තිව පහත කරලා කතා කරන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්නම් කුහකකමට නැතනම් තමන් ගැනම තියෙන අධික මාන්නය නිසා

Comments are closed.