ගෝලීය මට්ටමින් ධනවාදය පැතිරෙන විසි එක්වැනි සියවස මුලදී ඕනෑම දෙයකට කේන්ද්‍රයක් සෙවීමට අපව පොළඹවන අපගේ මනස අපට කියන්නේ ධනවාදයේ මෙතෙක් පැවැති කේන්ද්‍රය වූ බටහිර ‍ප්‍රජාතන්ත්‍රවාදය විකේන්ද්‍ර වීමට පටන්  ගැන ඇති බවයි. අධිරාජ්‍යවාදී යුගයේදී ‘බලහත්කාරය’ යන පදය, එනම් Force හෝ Domination යන පද සමග ධනවාදය තුළ විය.

නමුත් ගෝලීයකරණය ක්‍රියාවලිය තුළ මේ පද යල්පැන ගොස් ඇත. කොටින්ම ‘බලය’ ( Power ) යන පදය පවා අහෝසි වී ගොස් එතැනට ‘වසඟය’  (Seduction ) ආදේශ වී ඇත. ‘බලය’ මෙන් නොව ‘වසඟය’ විසින් අප සිතියම තුළ සිටින ස්ථානය හඟවන්නේ නැත. කිසිවකුට අද පොළවේ සිට ගන්නට තැනක් නැත. පොළොව යන්න සමපේක්ෂණ ඛණ්ඩාංකයකි. පොළොව යන්නට පැවති අවසන් ඛණ්ඩාංකය වූයේ ස්ත්‍රීත්වයයි. දැන් එය ද වේශ නිරූපන ක්‍රියාවලියකි.

                     90 දශකය ආරම්භයේ දී ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවතුන් අතර සිටියදීම ‘බලය’ පිළිබඳ සංවාදයක් ‘විභවි’ සංස්කෘතික කේන්ද්‍රය ආශ්‍රිතව බිහිවිය. සංවාදය මාතෘකාව මෙසේ විය. ‘බලය’ යනු එහි නියෝජිතයන් අනන්‍ය වන ප්‍රපංචයක්ද ?  නැතහොත් ‘බලය’ සහ එහි නියෝජිතයින් අතර යම් පරාරෝපිත පරතරයක් තිබේද? මහජන චිත්ත සාමය වෙනුවෙන් ප්‍රකාශ කරන්නේ නම් ‘බලය’ යනු අනන්‍යතාවයක්ද? නැතහොත් අනෙකා වෙනුවෙන් ඉදිවන නරුමවාදී පරතරයක් ද? – Cynical distance.

                      ඉහත සංවාදය සංයුක්ත කිරීම සඳහා ඒ යුගයේ විකල්ප බුද්ධිමතෙකු වූ රංජිත් පෙරේරා සිත්ගන්නා සුලු සාහිත්‍ය උදාහරණයක් අප වෙත රැගෙන ආවේය. රංජිත් පෙරේරා යනු සදාතනික ගුප්ත සංඥාවකි. කලු කුහරයක් අපට නො පෙනෙන්නේ එය දැකබලා ගැනීමට යවන ආලෝක තරංගය පවා එය ගිල දමන නිසා ය.මෙම තත්වය භෞතික විද්‍යාවෙන් අප ලැකානියානු මනෝවිශ්ලේෂණය වෙතට මාරු කරන්නේ නම් රංජිත් පෙරේරා යනු ඉබ්බන්, බෙල්ලන්, ගොලුබෙල්ලන් වැනි කවච ජීවියෙකි. ‘හැඟවුම්කාරකය’ කවච ජීවියාගේ බාහිර කටුව මත වැදී  පරාවර්තනය වනවා මිස ඒ තුළ ඇති පක්ෂ්මීය චලනයක් ඇති ජීවමය මාංශලය (ජීවිතයට වඩා ජීවිතය) ගැන කිසිවක් අපට හඟවන්නෙ නැත. මේ අර්ථයෙන් ගතහොත් ශ්‍රී ලංකාවේ වාමාංශිකයන්ට ‘බලය’ පිළිබඳ හැඟවුම්කාරකයක් නොමැත. සරලව කිවහොත් සැබැවින් ක්‍රියාකරන බලය පිළිබඳ සංඥාවක් ( Sign- සංඥාව යනු මනසේ අර්ථ නිපදවන කුඩාම ඒකකයයි ) වාමාංශිකයන්ට නොමැත. ඔවුන් එක්සත් නොවීමේ අභ්‍යන්තර තර්කනය යට ඇත්තේ බලය පිළිබඳ මෙම නොදැනුමයි. නමුත් මෙම නොදැනුම අවිද්‍යාව නොවේ.

            රංජිත් පෙරේරා සතු විශේෂ ‍ප්‍රාගුණ්‍ය වන්නේ ඔහු විග්‍රහ කරන ඕනෑම ප්‍රපංචයක් ගුප්තකරණය කිරීමේ විභවය යි. වරක් ඔහු සංඥාර්ථවේදය ( Semiotics )  සබන් බුබුලක් දක්වා ගුප්තකරණය කළේය. ඉන් අනතුරුව ඔහු ‍ඊ.එම්.ෆොස්ටර්ගේ තරමක් ප්‍රසිද්ධ නවකතාවක් වන ‘Passage to India’ නම් වියමන හරහා එහි උප ප්‍රධාන චරිතයක් වූ දොස්තර අසීස්ගේ විඥාණය පශ්චාත්-යටත් විජිත සාරය සමඟ තුල්‍ය කළේය. සුදු ජාතිකයා ප්‍රබන්ධකරණය හරහා ඉන්දියාව ‘ස්ත්‍රීත්වය’ සමඟ තුල්‍ය කරන විට රංජිත් පෙරේරා සිදුකළේ සුදු ජාතිකයන් ඉන්දියාවට පැමිණීමට පෙර පැවති ‘සාරාත්මකය’ සමඟ සෝප් ඔපෙරාමය පශ්චාත්  යටත්විජිත මනස තුල්‍ය කිරීමයි. අධිරාජ්‍යවාදය නම් සංකල්ප අප විසින් අතහරින පළමු මොහොතේම අප නතර වන්නේ සංස්කෘතික හෙජමොනිය නම් දෘෂ්ටිවාදය තුළ ය.

                       අම්බර්තෝ ඊකෝ යනු සංඥාර්ථවේදය හරහා සාහිත්‍ය ගුප්ත කරන ලද ලේඛකයෙකි. ඔහුගේ ‘Name of the Rose’ යනු  ලෝකයේ ඉතා ජනප්‍රිය වූ මධ්‍යතන යුගයේ ශාස්ත්‍රාලීය සම්ප්‍රදායේ අඳුරු පැත්ත අවධාරණය කරන ලද නවකතාවකි. එහි පරිච්ඡේද කිහිපයක් එකල සිංහලට පරිවර්තනය කරමින් රංජිත් පෙරේරා විසින් එම කෘතියේ ‘බලය’ පිළිබඳ සංවාදය දෙවන වරට අභිරහස්කරණය කළේය. ‘බලය’ යනු රංජිත් පෙරේරාට අනුව එය පරිහරණය කරන්නන්ගේම වහර තුළ ගවේෂණය කළ යුත්තකි. මෙම නවකතාව පිළිබඳ එකල ‘විභවිය’ තුළ පැවැති සංවාද භාෂාවට අනුව නවකතාවේ කේන්ද්‍රීය චරිතය වන ප්‍රධාන පූජකයා ( චිත්‍රපටයේ මෙම චරිතය ෂෝන් කොනරි රඟදක්වයි.) ප්‍රබුද්ධයෙකි. දළ වශයෙන් වසර 25 කට පසුව ‘අනිද්දා’ පුවත්පතට රංජිත් පෙරේරා  ලියන ලිපි වලදීත් බලය පිළිබඳ ඔහු ගේ ආකල්පය වෙනස් වී නැත. ඔහුට අනුව නවකතාවේ ප්‍රධාන පූජකයා මෙන් නූතන බලය සමඟ රනිල් වික්‍රමසිංහගේ අවබෝධය සමපාත වන අතර ෙමෙත්‍රීපාල සිරිසේනගේ අවබෝධය විහිළු සහගත ය. ඇත්තටම නූතන බලය ක්‍රියාත්මක වන්නේ ඒ සමග අනන්‍ය වන්නන් සමගද? මතුපිටින් පෙනෙන ආකාරයට දිලිත් ජයවීර ගෝඨාභය රාජපක්ෂ සමඟ අනන්‍ය වී ඇත්ද? නැතහොත් අතීතයේ අප පක්ෂ ක්‍රියාකාරීත්වය තුළ සිටි සුදර්ශන ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ සමඟ භක්තියෙන් අනන්‍ය වී ඇත්ද? ‘Full Metal Jacket’ චිත්‍රපටය තුළ මිනීමරන සොල්දාදුවා –Matthew Modine– බවට පොළා පනින ලද්දේ මිලිටරි දෘෂ්ටිවාදය සමඟ විකට පරතරයක් තබාගත් සොල්දාදුවා ය. X  කණ්ඩායම සමග විකට පරතරයක් තබාගත් කල්‍යානන්ද , නිර්මාල් , අහිංසක වැනි පැරණි වාමාංශයේ සාමාජිකයන් X කණ්ඩායම විනාශ කිරීමේදී ඉතා කාර්යක්ෂම විය.

Excess of x Group

                      ‘බලය’ ( Power ) යනු සාම්ප්‍රදායික මධ්‍යතන යුගයේ රජවරුන්ගේ, වංශාධිපතියන්ගේ, ඉඩම් හිමියන්ගේ බලය නොවේ.  නූතන බලය පිළිබඳ න්‍යායික අදහස නිෂ්පාදනය කරනු ලැබුවේ මිචෙල් ෆූකෝ විසිනි. පැරණි ආධිපත්‍ය යන අදහසින් නූතන බලය පිළිබඳ අදහස රැඩිකල් ලෙස වෙනස්ය. පුරාණ බලය පිළිබඳ අදහස දෙවියන්ගෙන් සහ පෙලපත්නාමයෙන් එන්නකි. ප්‍රංශ විප්ලවයට පසුව රජාගේ හිස ගසා දැමූ නිසා බලය ස්ථානගත වූ ස්ථානය ( Place )  හිස් විය. එතැනට සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට විප්ලවයට පසුව ආදේශ වීමට හැකි විය. නූතන බලය යනු මෙලෙස ආදේශ විය හැකි බලයක් මිස ස්වභාවික හෝ දිව්‍යමය බලයක් නොවේ. අපට යළිත් බලයේ සාරය – රජතුමාගේ හිස – වෙත යළි ගමන් කළ නොහැකි ය. නව තත්ත්වයට අනුව නූතන බලය තාවකාලික වන අතර අවිනිශ්චිතය. ඒ අනුව යමක සත්‍යය ඇත්තේ ඒ දේ තුළ නොව ඉන් පිටතය. සිංහල වාමාංශිකයන්  යමක සත්‍යය ඒ තුළ සෙවීම ඒ අනුව දෘෂ්ටිවාදයකි. කිසිවක සත්‍යය ඒ තුළ ගිලී සැඟවී නැත. එය ඇත්තේ ඉන් පිටත සංකේත ප්‍රබන්ධය තුළ ය.

                  සමකාලීන සමාජය ( ඉන් අදහස් වන්නේ සර්වාධිකාරය සහ පාර්ලිමේන්තු ‍ප්‍රජාතන්ත්‍රවාදයන් ඇතුළත්ව ) තුළ බලය ක්‍රියාත්මක වන තැන සහ එය ක්‍රියාවේ යොදන නියෝජිතයා අතර  විකට නරුමවාදී පරතරයක් පවතී. එය බලය ක්‍රියාත්මක වීමේ විධික්‍රමයන්ගේම කොටසකි. ඒ අනුව බලය ආශ්‍රිත නරුමවාදී හාස්‍යයත්වය යනු බලයේම ස්වයං විචාරයකි. නැතහොත් එය බලය නම් කාසියේ ආත්මීය පැත්තකි. දිලිත් ජයවීර විසින් රනිල් වික්‍රමසිංහගේ හිස් වූ වයින් බඳුනට නැවත වයින් වක් කිරීමට උත්සුක වීම ආත්මීය කාරණයකි. එය ඔහුට අවිඥානකය. මතුපිට ජාතිකවාදය තුළ ඔහු රනිල් පිළිකුල් කළත් කොල්ලුපිටිය හාමුට ඔහු රහසින් ආශා කරයි. ජාතිකවාදයේ නරුම පරතරය එයයි.

                       රංජිත් පෙරේරා මෙන් පාලක දෘෂ්ටිවාදය ( අපගේ ජීවිත පාලනය කරන සත්‍ය අදහස් )  අප බැරෑරුම් ලෙස වචනාර්ථයෙන් ගත යුතු නැත. මන්ද රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ ( මෙයට ටිල්වින් සමග කුමාර් ද වෙනත් තලයකට ඇතුල් කළ හැකිය. ) අනුන්ව පාලනය කිරීමට යොදා ගන්නා අදහස් සමඟ විකට පරතරයක් තබා ගන්නා නිසාය. ‘යහපාලනය’ නම් පාලක දෘෂ්ටිවාදය සමඟ සැබැවින්ම තදාත්මික වූයේ ෙමෙත්‍රීපාල සිරිසේන ය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වාධිකාරය යන පාලන තන්ත්‍ර දෙකම බියෙන් තැති ගන්නේ ‘පාලක දෘෂ්ටිවාදය’ තදින් භාර ගන්නා අය සමඟය. අනුන්ව පාලනය කිරීමට යොදාගන්නා අදහස් මඟින් තමන්වම පාලනය නොවේ යන්න  නූතන බලයේ සූත්‍රයයි. ඇමරිකන් දාර්ශනික ස්ත්‍රීයක් වූ ‘අයින් රෑන්ඩ්’ ඇමෙරිකානු ධනවාදී පාලක අදහස් සමඟ සදාතනික වූ ස්ත්‍රීයකි. ඇයගේ මෙම අධි අනන්‍යතාවය නිසා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත ප්‍රකාශයට පත් විය.

               අම්බර්ටෝ ඊකෝගේ නවකතාවේ ප්‍රධාන චරිතය වන පූජකවරයා පල්ලියේ ආධිපත්‍ය ( හරියට ලංකාවේ අගරදගුරු තුමා මෙන් ) සමඟ තදින් අනන්‍ය වූවෙකි. එබැවින් එවැනි අයගේ ඉරණම ඛේදවාචකයකි. නූතන බලය ක්‍රියාත්මක වන දේවස්ථාන ඉදිරියේ මෙවැනි පුද්ගලයන් යල්පැන ගිය වුන් අතර ඔවුන් මළගිය ප්‍රාණින් ය. විකිලීක්ස් යුගයකදී බලය කාර්යක්ශම වීමට ආත්මය සහ බලය අතර යම් පරතරයක් පැවතිය යුතුය. බලය තහවුරු වීමට ඉන් වේදනාවක් ජනිත විය යුතුය.

Deepthi kumara Gunarathne

ඔබේ අදහස කියන්න...