සමකාලීන පශ්චාත්-නූතන ධනවාදී පරිභෝජන සංස්කෘතිය නිසා ‘ආදරය’ අපගේ යුගයේ දී යථාර්ථයක් නිපදවනවා වෙනුවට වේදනාත්මක සතුටක් දක්වා විකරණය වී ඇත. කාටත් වැටහෙන භාෂාවෙන් කිවහොත්, නූතන ”ස්ත්‍රී-පුරුෂ” ආදර සබඳතා ‘ස්වාමි-සේවක’ (Master- Slave) ආත්මීය සබඳතා බවට පත්වී ඇති අතර ලිංගික තලයක දී ඒවා ‘ස්වපීඩා-පරපීඩා’ (S/M) ශාරීරික සබඳතා බවට ඌනනය වී ඇත. මේ තත්ත්වය දැන් දාර්ශනික ස්ථාවරයකි. මෙවර අපගේ සෙනසුරාදා [26] පවත්වන න්‍යායික සාකච්ඡාවේ දී අධ්‍යයනය කරන්නේ, පුද්ගලික නිරීක්ෂණය ඉක්මවා ගිය ස්ත්‍රී-පුරුෂ සබඳතාවල නව ආකෘතිය යි. එහි සාකච්ඡා කරන තේමාවේ අඩංගු මූලික වපසරිය අපි අපගේ වෙබ් අඩවිය දීර්ඝ කාලයක් ඇසුරු කරන පාඨිකාවන්ගේ ද අවබෝධය වෙනුවෙන් මෙහි පළ කරන්නෙමු.

                        ‘ආදරය පිළිබඳ න්‍යායක්’ (Theory of Love) මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යාත්මක ස්වරූපයකින් දක්නට ලැබෙන්නේ, ප්ලේටෝගේ සිම්පෝසියම් තුළ ය. ඒ තුළ ඇති තර්කනයට අනුව පිරිමියා සහ ස්ත්‍රිය යනු, කලින් සමස්තයක් (Whole) ලෙස පැවැති නොදන්නා හේතුවක් නිසා දැනට වෙන්ව සිටින්නන් ය. ‘අර්ථය’ සන්දර්භයට සාපේක්ෂ නම්, ඒ අනුව සෑම ස්ත්‍රියක් ම සහ පුරුෂයෙක් ම තමන්ගේ ඉතිරි අර්ධය අහිමිව ඉපදුන මිනිසුන් ය. ආදරයේ දී මේ දෙදෙනා සොයන්නේ, තමන්ට අහිමි වූ ඉතුරු අර්ධය යි. ඒ අනුව පුරුෂයෙකු සහ ස්ත්‍රියක් හමු වනවා යනු, ගණිතමය භාෂාවෙන් මෙසේ ය: ½ + ½ = 1. ආදරය පිලිබඳ ප්ලේටෝගේ සූත්‍රය මෙය යි. ලංකාවේ ද ප්‍රේමය, විවාහය, ලිංගික සබඳතා තුළ දී අපගේ විඥාණය සොයන්නේ, අහිමි වූ ඉතුරු අර්ධය යි. එය හිමි වූ අය තමන් සුසංවාදී හෝ ජීවිතය තසර කරගත් අය ලෙස තමන්වම හඳුන්වති. ගීතය, කවිය, කෙටිකතා, නවකතාවල අපට බොහෝ විට දක්නට ලැබෙන සූත්‍රය ද ප්ලේටෝගේ සූත්‍රය යි. අප අනෙකාගෙන් යදින්නේ, ඉතුරු අර්ධය යි.

                     නමුත් ධනවාදයේ යම් නිශ්චිත මොහොතකට පසුව එනම්, 60 දශකයට පසුව ‘සංස්කෘතිය’ හුවමාරු වටිනාකම් ලෝකයට පැමිණි පසුව එතෙක් පැවති ‘පරාරෝපණය’ සහ සංස්කෘතිය අතර සම්බන්ධය තුළ ඛණ්ඩනයක් සිදු විය. ඒ වෙනුවට, ‘පරාරෝපණය’[alienation-the feeling that you have no connection with the people around you or that you are not part of a group] සහ විනෝදය අතර අලුත් දයලෙක්තිකයක් බිහි විය.

                    ‘ලැකාන්’ නම් මනෝ විශ්ලේෂකයා කල්පනාවෙන් ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට සවන් දීමෙන් අනතුරුව ආදරය පිළිබඳව නව න්‍යායක් ඉදිරිපත් කළේ ය. ප්ලේටෝගේ ‘ආදරෙයේ යතාර්ථය’ වෙනුවට  ලැකාන් විසින් ඉදිරිපත් කළ නව න්‍යාය වූයේ, ‘ආදරයේ වේදනාව’[Pain of Love] යන න්‍යාය යි. ලැකාන්ගේ නව  න්‍යායට අනුව, ඔහු ආදරය පිලිබඳ ප්ලේටෝගේ ‘පලු දෙක එකතු වන’ සුසංවාදය දෘෂ්ටිවාදයක් ලෙස සලකා බැහැර කර නව-න්‍යායක් හඳුන්වා දෙන ලදී.

                       ලැකාන්ගේ ආදර න්‍යායට අනුව, ස්ත්‍රියකට සහ පුරුෂයෙකුට තම විරුද්ධ ලිංගිකයා හමුවන මොහොතේ දී ඉන්නේ සමස්තයක් [Whole] ලෙස ය. වෙනත් විදිහකට කිවහොත්, කිසියම් පරිපූර්ණත්වයක ය. නමුත් තම විරුද්ධ ලිංගිකයා හමු වූ මොහොතේ සිට ඔහුට හෝ ඇයට සිදුවන්නේ, තමන්ගේ පරිපූර්ණත්වය අහිමි කරගන්නට ය. මෙය ගණිතමය ආකාරයකට කිවහොත්, 1-  ½ + (-½ ). මෙහි සෘණ භාගය යනු, තම ලිංගික අනෙකා විසින් අපගේ සමස්තය තුළ ඇති කරන අසමතුලිතභාවය යි. ඔබට තීරණාත්මක විරුද්ධ ලිංගිකයෙක් හමු වූ වහාම ඔබගේ සමස්තයෙන් පළුවක් ගැල වී යයි. මෙය ඔබගේ පැත්තෙන් ස්වයං-හිංසනයකි. ඒ නිසා, ලැකාන්ට අනුව ආදරයේ ප්‍රථම පියවර හිංසනීය එකකි.

                 ඊළඟට ලැකාන් කියන්නේ, සත්ව ලිංගිකයන්ට එරෙහි මිනිස් ලිංගිකය එහි අසමත්භාවය පුරවන්නට ‘ආදරය’ නම් ප්‍රපංචය වැළඳ ගන්නා බවයි. සතුන් අතර ඇත්තේ, ශරීර අතර බැඳීමක් පමණක් වන අතර එය මිනිසුන්ට ඒමේ දී ආධ්‍යාත්මික වෙයි. මිනිස් ලිංගිකය යනු, යාන්ත්‍රික, හිස්, ඒකාකාරී, අමු ක්‍රියාකාරිත්වයක් පමණි. එය අවසානයේ, දහඩිය දැමීමක් සහ හති ඇරීමක් පමණි. මේ නිසා, මිනිසා මේ අසහනයෙන් ගැලවෙන්නට තෙවැනි සංඝටකයක් තනාගෙන ඇත. මිනිසා සත්ව ලෝකයෙන් ගැලවී ‘උමතුභාවය’- Madness – හරහා සොබාදහමෙන් ගැලවෙන්නේ, මෙම තෙවන අඩවිය හරහා ය.

                       ලැකාන්ට අනුව ‘මිනිස් ලිංගික සබඳතා’ අවසන් වශයෙන් හති ඇරීමක් පමණක් වන නිසා ඉන් ඇතිවන ලැජ්ජාවෙන් ඉවත් වීමට ගොඩනඟන ‘ෆැන්ටසිය’ සංස්කෘතික සහ සමාජ ක්‍රියාකාරීත්වය යි. උදා:- අප ඉතාම වසඟකාරී ලෙස බැඳෙන ලිංගික අනෙකෙකුට අප සෘජුව ‘වැඩේ කරන්නට’ කතා නොකරන අතර අප ඒ සඳහා කතා කරන්නේ, ගං තෙර මාළු බෑමට හෝ සයුරු තෙරක සරුංගල් අරින්නට ය. මිනිසාගේ ශිෂ්ටත්වය යනු, සෘජු ලෙස නැතිව වක්‍රව රමණයට කතා කිරීමයි.

              හිස්ටෙරිකයෙකු කරන්නේ, ලිංගික සබඳතාවලට කිසිදු එළඹීමකින් තොරව දිගටම මාළු බෑම හෝ සරුංගල් ඇරීම ය. මනෝවිශ්ලේෂණයට අනුව ‘විපරිතයා’ (Pervert) යනු, මෙම ලිංගික සම්බන්ධය සහ එහි අමු බව වනසන සමාජීය අන්තර්ගතය අතර සම්බන්ධය වරදවා වටහා ගන්නා ය. ඔහු කරන්නේ, ‘ලිංගික’  දෙය (සංසර්ගය) සහමුලින් වාෂ්ප කර එහි යාන්ත්‍රික ආතතිය නසන සංස්කෘතික චාරිත්‍ර-වාරිත්‍ර ලිංගිකත්වය ලෙස වරදවා වටහා ගැනීමයි. උදාහරණයක් ලෙස, ‘තන්ත්‍රයානය’ ලිංගික අවසානය කල් දැමීමට දරණ සංස්කෘතික උත්සාහයකි. නමුත් විපරිතයා තන්ත්‍රයානය වැරදියට කියවා එහි වැරදි කොන අල්ලා ගනියි. ඔහුට අනුව ‘තන්ත්‍රයානය’ යනු, ලිංගික සතුට යනු, රමණයේ යෙදීම නොව එහි ‘කල් දැමීම’ අර්චනයක් දක්වා දිගු කිරීමයි. මින් අදහස් වන්නේ, විපරිතයා ලිංගික සතුට නොදන්නා බවයි.

                  ඒ අනුව, විපරිතයා ලිංගික සබඳතාවල අතිරික්ත සංඝටක නැතහොත් සංස්කෘතික චර්යාවන් ලිංගිකකරණය කරන්නන් ය. සාමාන්‍ය නියුරෝසිකයා තම ලිංගික සබඳතාවල දී සංස්කෘතිය සලකන්නේ, නිශේධනයක අර්ථයෙනි. ඔහු/ඇය ලිංගික සබඳතාවලට පසුව සිගරැට්ටුවක් දල්වා ගන්නේ, නිශේධනාත්මක අවශ්‍යතාවයකට ය. නමුත් විපරතයා තම සිගරැට්ටුවෙන් තම සහකාරියගේ කලවය පුච්චා නිශේධනය ද නිශේධ කරයි. ඔහු ලිංගිකය[sex] සහ ලිංගිකත්වය [sexuality] පටලවාගෙන ලිංගිකත්වය පිළිබඳ නවකතා ලියයි. නමුත් මිනිස් ලිංගික සතුට ඇත්තේ, ලිංගික එක්වීම තුළ ය. එහි ආතතියෙන් පළා යාමට දරණ වෑයම් යනු, නිශේධනයන් ය. ඒ අර්ථයෙන්, විපරිතයා මේ ප්‍රතික්ෂේප කරන්නේ මිනිස් ආත්මමූලිකත්වය යි. 

Love with poison

                     නමුත් අප ජීවත්වන යුගයේ දී විපරිතයාට ඉෂ්ට කරන්නට සමාජ කාර්යයක් ඇත. එය, අනෙකාට හිරිහැර කර විනෝදය (Sadism) ලබා දීම හෝ තමාටම හිරිහැර කර ලබන ස්වපීඩාවයි. අප මේ සති අන්තයේ සාකච්ඡා කරන්නේ, පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ ‘Phantom Thread’ (2017- අවතාර සම්බන්ධය) නම් චිත්‍රපටය යි. මෙහි කතා නායකයා රෝග ලක්ෂණාත්මක ආත්මරාගියෙකි.[Pathological narcissism is when both grandiose and vulnerable narcissism is concurrent, which is linked to poor self-esteem, lack of empathy, feelings of shame, interpersonal distress, aggression] ඔහුව සුවපත් කිරීමට එන පෙම්වතිය විසින් වස හතුවලින් කෑම පිළියෙල කර දෙමින් ඔහුව සෙමින් සෙමින් ඝාතනය කරයි. ඔහු මේ හතු කන්නේ දැන දැනම ය. මේ තත්වය ”ලැකානියානු ආදරය” යි. තමාව විනාශ කිරීමට අනෙකාට ඉඩදීම යනු, තමන්ගේ පරිපූර්ණ බව කෑලි කෑලිවලට බිඳී යාමට ඉඩ දීමයි. එය, ඔහු සහ ඇය අතර අසම්පාතය යි. ඇය සාදිස්මය හරහා විනෝද වන අතර ඔහු ස්වපීඩාව මගින් විනෝද වෙයි.

DKG

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

                

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.