දෙන්නටම හා කියන්න!

ශෙන්තිප්පේ යනු, සොක්‍රටීස්ගේ බිරිඳයි. සොක්‍රටීස් දර්ශනික වාද විවාදවල යෙදෙන විට ඇය ඔහුගේ ඔළුවට ඉඳුල් වතුර වක් කරයි. තවත් විටෙක, සරුප වචනයෙන් බැන වැදෙයි. එකල, ග්‍රීසියේ ආලය පදනම් වූයේ කොල්ලන්ට නිසා මේ දාර්ශනික විවාද වලට සහභාගි වූ පිරිමින්ට ශෙන්තිප්පේව පෙනුනේ, මෝඩකමට විකාර කරන්නියක් ලෙසිනි. එකල, ලිංගික ආලය යොමු වී තිබුණේ පිරිමි ශරීරයට ය. විෂම-ලිංගික සබඳතා එකල විභාග කරනු ලැබුවේ ප්‍රතිනිෂ්පාදනයට සහ සෞඛ්‍යයට අදාළව ය. මෙම ඓතිහාසික සන්දර්භය නිසා ග්‍රීකයන් කිසිදා ලිංගිකය (sex) සමඟ ආදරය (love- රොමැන්තික හෝ ශෲංගාර) පටලවා ගත්තේ නැත. පුද්ගලයෙක් තව කෙනෙකුට ආදරේ කරන විට, ලිංගික කටයුතු යනු සතපහකට ගණන් නොගන්නා දේවල්ය. මේ සංකල්ප දෙක ගමන් කරන්නේ තල දෙකක ය. ආදරය කියන්නේ තව කෙනෙකුට දෙන දෙයකි. තමන්ගේ හැම ‘තමන්ගේ කමක්ම’ තමන්ටම බය හිතෙන තරම් මකා ගන්න අඩවියකි. මේ නිසා, ‘ආදරය’ කරන අය ඒ සඳහා ප්‍රචාරයක් කරන්නේ නැත. නමුත් sex කියන්නේ අනෙකාව බය කරන, අනෙකාගේ අඩුපාඩු හොයන, අයිතිකාරකම ප්‍රකාශ කරන, අවසන් වශයෙන් ආදරෙන් තොරව කළොත් හිංසනීය විය හැකි දෙයකි.

                    ලංකාවේ පැවති ‘ආදරය’ පිළිබඳ විවිධ සංකල්ප 77 වර්ෂයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ වියැකෙන්න පටන් ගන්නා ලදී. අද ලංකාවේ ‘ආදරය’ ගැන කතා කරන්නේ එක්කෝ ගමෙන් කොළඹට ඇවිත් තමන්ගෙ ඓතිහාසික මුල් කපලා එතැනට නාගරික අඩංගුවක් එකතු කරන්න හදන ග්‍රාමීය පහළ මැද පන්තික පිරිමි ය. ඒ අය, පන්ති කාමරයක ළමයි නැතිව ඩෙස් බංකු වලට ආදරය උගන්වයි. මේක 60 දශකයේ ලංකාවේ තිබූ මැද පාන්තික රොමෑන්තික ආලය නොවේ. බෙල්ලට පොලිස් ගැට දාන, ස්ත්‍රියකගේ අත අල්ලාගෙන ආදරය කරන එක පොන්නකමක් ලෙස දකින විපරිත ලිංගික කාලයකි. පසුගිය දිනෙක, ගල්කටස් සිතන්නාගේ ගැටලුවේ දී හෙළිදරව් වූයේ, පාදඩ ”පිරිමි සහ පාදඩ ගැහැණුන්” දෙකොට්ඨාසයටම පොදු දේ වුණේ sex බව ය. මොකද sex කියන්නේ, අනෙකාගේ විනෝදයට (Enjoyment- මට නො ලැබූ ඔහු/ ඇය වඩාත් ලැබූ දෙය කුමක්ද කියන එක) මාර්ගෝපදේශ කියන දැනුමක් පමණි.

                 දැන් අපි ජීවත් වන්නේ, හැමෝටම තමන්ගේ අදහස් කියන්න පුළුවන් සමාජයක කියලා අපි හිතනවා. නමුත් මේ තත්ත්වය අදාළ වෙන්නේ, භෞතිකව සහ ආධ්‍යාත්මිකව නිර්ධනීකරණය වූ සමාජ පන්තිවලට පමණි. Sex අධිනිශ්චය වෙන්නේ, පහළ සමාජ තට්ටුවලට මිස මැද පන්තියට නොවේ. නමුත් පහළ සමාජ තට්ටුවලට ‘මැද පාන්තික ස්ත්‍රි ශරීරයක්’ කියන්නේ තමන්ගේ ජීවිත කාලය තුළ මිලට ගන්න බැරි අර්චනකාමී වස්තුවකි. Facebook එකට වැඩිපුර එන්නේ, චැට් කරන්නේ, කමෙන්ට් දාන්නේ පහළ සමාජ ස්ථර වලින් එන අය යි. ඉහළ පන්තියට තමන්ගේ හැඟීම් පහළ පන්තිය සමඟ බෙදා ගන්නට අවශ්‍ය නැත. ඒ අයගේ ගැටලුව sex නොව ආදරය යි. මොකද ආදරය රඳා පවතින්නේ, ‘භාෂාව’ මත මිස ලිංග-භේදය මත නොවන නිසා ය.

                     නූතන ධනවාදී සමාජ සබඳතා තුළ සාම්ප්‍රදායිකව එකට ගැට ගැසී තිබුණු ලිංගිකත්වයේ අඩවි තුන එනම්, දරුවන් ලැබීම, ලිංගික වින්දනය, ආදරය එකිනෙකින් ලිහෙමින් එක් එක් අඩවිය ස්වාධීන වෙන්න පටන්ගෙන තිබේ. දරුවන් ලැබීම වෛද්‍ය විද්‍යාවට සහ තාක්ෂණයට ඇතුළු වෙමින් පවතී. තව ටික කලකින්, දරුවන් හැදීමට ස්ත්‍රී ගර්භාෂය අවශ්‍ය නොවෙන්නට පුළුවනි. අනාගතයේ දී, මේ දරුවන් ලැබීමට ලිංගික සංසර්ගය අවශ්‍ය වන්නේ නැත. ඊළඟට, sex කියන එක තව ජීවමාන සහකරුවෙක් හෝ සහකාරියක් අවශ්‍ය නොවන තත්‍යසමාන (Virtual) ලෝකයක හමුවන සින්තටික් අපුද්ගලයෙකු වීමට නියමිතය. Sex Robot යනු, මෙහි එක අන්තයකි. එසේ නම්, මෙවන් තත්වාරෝපිතයක් තුළ ආදරයට වන්නේ කුමක්ද? සමකාලීනත්වය තුළ මිනිස් සබඳතා උණුසුම් නැති නිසා ‘උණුසුම’ උදෙසා සමාජ ඉල්ලීමක් එයි. හිස් භාජනයකට ‘හැඟීම් පිරවීම’ අපගේ යුගයේ දී ආදරය යි.

                       Vertigo චිත්‍රපටයේ ස්කොටී නම් පිරිමියාගේ ෆැන්ටසිය ව්‍යුහගත වන ආකාරය විභාග කිරීමෙන් සමකාලීන ආලයට සිදුවී ඇති දයලෙක්තික පීඩනය වටහාගත හැකි ය. ස්කොටීට අවශ්‍ය වන්නේ, මැද පාන්තික වැදගත් තැන්පත් ස්ත්‍රී පරමාදර්ශයකි. නමුත් එවැනි දෙයකට හුවමාරු ලෝකය තුළ පැවැත්මක් නැත. ඒ නිසා, ස්කොටී කරන්නේ පහළ පන්තියෙන් එනම්, ගමෙන් නගරයට ආ චපල, මුදල් සඳහා ඕනෑම දෙයක් කරන ජූඩී නම් ස්ත්‍රියව තම ප්‍රතිරූප සාධනයට යොදා ගැනීමයි. මෙය දයලෙක්තික විරුද්ධාභාසයකි. කාන්ට් කියන න්‍යාය විරෝධයකි. මන්ද, ස්කොටී විසින් ෆැන්ටසිකරණය කරන යහපත් ස්ත්‍රියට ජීවය දෙන්නේ චපල, සටකපට ස්ත්‍රියක් වන නිසා ය. මැඩලීන් නම් යහපත් ස්ත්‍රියව අපට චිත්‍රපටය තුළ දී ජූඩිගෙන් වෙන් කර ගැනීමට ඉතාම දුෂ්කර ය. දෙදෙනාව පැටලෙයි.

                  ඉහත හේතුව නිසා, මැඩලීන් නම් පවිත්‍ර ස්ත්‍රිය වෙතට වූ ස්කොටීගේ ප්‍රේමය ව්‍යාජ එකකි. ස්කොටීගේ ආදරය සත්‍ය වීමට නම් ඔහු තමන්ගේ ප්‍රතිරූප වන්දනාවේ පැති දෙකම පිළිගත යුතුය. එනම්, ජූඩි නම් දෛනික ජීවිතයේ සටකපට ස්ත්‍රිය සහ මැඩලීන් නම් උත්කර්ෂවත් සංස්කෘතික ස්ත්‍රිය යි. ඉන් අදහස් වන්නේ, පරස්පරතාවයන්ගේ එකමුතුව ලෝක ස්වභාවය බව ය. මෙතැන දී, නිර්මාල් අවංක ය. ඔහු වංගීස නම් අපවාදයට ලක් වූ ”ගල්කටස්වාදියා” සහ ”සමාජ සේවය කරන වංගීස” නම් යහපත් මිනිසා යන පරස්පරයේ එකමුතුව මිනිස් ස්වභාවය ලෙස පිළිගනියි. තම සංකේත දරුවාව පාවා නොදී තම සමාජ ප්‍රතිරූපය අතහැර දමයි. එය, ආදරය පෙන්වන ලකුණකි. ‘ප්‍රභා මනුරත්න’ මෙතැනදීත් තමන්ට හුරු සායම බේරාගෙන වංගීසව පාවා දී තම සටකපට විද්‍යාව නැවතත් ප්‍රදර්ශනය කරයි. වංගීස වැනි චරිත නිර්මාණය කිරීමට පාදක වූයේ, තමන් වැනි චරිත යන සමාජ වගකීම පැහැර හැර එය පොලීසියට බාර දෙයි. නිර්මාල් මා කළ දෙය පාවා දී ඒ සඳහා සෙවූ විකල්පයට දැන් හෙනහුරා කඩා පැණ ඇත.

                  පහළ පන්තිවල පිරිමින්ගේ මූලික මනෝඅගතිය වන්නේ, තමන් ආදරය කරන ස්ත්‍රියට ලිංගිකව ආශා කිරීම ව්‍යාජත්වයක් ලෙසින් සැළකීමයි. නුවන්ශ්‍රීණී වැනි කාන්තාවන් බැට දෙන්නේ පහළ පන්තික පිරිමියාගේ දෙගිඩියාවට ය. අනෙක් පසින්, පහළ පාන්තික පිරිමියා ‘ලිංගික හැඟීම’ ඉතාමත් සියුම්  දෙයක් ලෙස අවිඥාණකව සලකයි. ඒ නිසාම, ආදරය කරන්නට වදාළන වචන ගොන්න sexවල දී මේ පිරිමින්ගේ අතින් ගිලිහෙයි. ඇයට සැප දීම මූලික කොටගෙන ආදරේ කිරීම ද්විතියික කර ගනියි. එවිට, සර්පයාට වී ඇති විපත සිදු වෙයි. තම ‘සමාජ තත්වය’ පාවිච්චි කර බඩු ගැසීම නම් 21 වැනි සියවසේ ගොදුරුවාදයට ඔහු ලක් වෙයි.

                   රුසියානු විප්ලවයට පෙර ‘ලෙනින් සහ ඉනේසා ආමන්ඩ්’ නම් ලෙනින්ගේ අප්‍රකට පෙම්වතිය අතර මැද – පාන්තික ‘නිදහස් ආලය’ (Freedom of Love) අරභයා ඇති වූ දේශපාලන විවාදය මෙතැනට අදාළ ය. ස්කොටීගේ ආලයට පදනම් වූයේ, සටකපට සහ අව්‍යාජ අන්තර්ගතයන් එකට තබා සිඳගත් ආදර ප්‍රතිරූපයකි. එමෙන්ම, ලෙනින්ට ද කෲප්ස්කයා සේම ඉනේසා ද අවශ්‍ය විය. මන්ද, ඉනේසාට බීතෝවන්ගේ සිම්පනි පියානෝවෙන් හොඳින් වාදනය කළ හැකි අතර ඇය භාෂා පහක් දැන සිටීම නිසා ය. ‘ඉනේසා’ ව්‍යාපාරයේ අනෙක් ස්ත්‍රීන්ට වඩා ‘ලෙනින්ගේ විනෝදය’ සංවිධානයේ විනෝදය ලෙස සැලකූ කෙනෙකි. ‘නිදහස් ආලය’ පිළිබඳ විවාදයේ දී, ලෙනින් ගත් න්‍යායික ප්‍රවේශය ඇය කරුණක් ලෙස අනුමත කළා ය.

‘බාහිර ආධිපත්‍යය’ ගැන පැමිණිලි කරන්නන් යනු ම නායකත්වයේ න්‍යායික පිහිටුම නොව, ඔහු විඳිතැයි තමන් අපේක්ෂා කරන විනෝදය තමන්ට තමන් විසින්ම අහිමි කරගත් අය යි. මනෝවිශ්ලේෂණය අපට යම් මූලික පාඩමක් උගන්වන්නේ නම්, ඒ වනාහි බාහිර ආධිපත්‍යය යනු තමන්ගේම ආත්මීයත්වයේ මර උගුල බාහිරට දමා එතැනින් විසඳුමක් සොයන්නන් ය. මතුපිටින් මේ අය ආධිපත්‍යයට විරුද්ධ වූවත්, ඒ අය පතන්නේම ඉතා ප්‍රබල මාස්ටර්වරයෙකි. පුරුෂ හිස්ටෙරිකයෙකුගේ මූලික ආත්මීය ස්ථාවරය වන්නේ, බාහිර සතුරන්ගේ ප්‍රහාරවල ගොදුරක් බවට තමන් පත් වී ඇතැයි කරන පැමිණිල්ලයි.

               සමාජ යුතෝපියාවන් අවසන් වූ යුගයක ‘ලිංගික නිදහස’ පිළිබඳව පෙරට එන සටන් පාඨ හිස් ය. අප අද විඳින්නේ, අපගේ ‘හර පද්ධතිය’ යම් සංක්‍රාන්තියක් ලබන බව මිස ‘නිදහස’ පිළිබඳ නව අර්ථකතනයක් නොවේ. ‘ගොදුරුවාදය’ යනු, ඇමරිකානු දේශපාලන නිරවද්‍යභාවයේ දේශීය ප්‍රකාශ වීමක් පමණි. ලෙනින්ට අනුව ඉනේසාගේ ‘ආලය පිළිබඳ නිදහස’ තීරණය වන්නේ, ඉනේසාගේ ආත්මමූලික ප්‍රාර්ථනාවන්ගෙන් නොව සැබෑ සමාජ සබඳතාවල වාස්තවිකත්වය, පන්ති සබඳතා සන්දර්භය තුළ ය. එබැවින්, ‘නිදහස් ආලය’ පිළිබඳ සදාචාර ප්‍රකාශනය වනාහි නිර්ධනයන්ගේ (Facebook තුළ සිටින ආත්මීය නිර්ධනයන්) ඉල්ලීමක් නොව මැද පාන්තික බුර්ෂුවා පිරිමින්ගෙන් එම පන්තියේ ස්ත්‍රීන් ඉල්ලන නිදහසකි. පසුගිය සතියේ ප්‍රංශ අධිකරණයෙන් නිදහස් වූ වසර 25 ක් තුළ තම පවුල තුළ මවගේ පෙම්වතා ලෙසත්, පසුව තම සැමියා ලෙසත් දූෂණය වූ ප්‍රංශ ගැහැණිය වූ ‘වැලරි බාකෝ’ මීට හොඳ ඓතිහාසික සාක්ෂියකි. ඇය වයස 12 සිට දූෂණය වූ අතර වැඩිහිටි වියේ දී ඇගේ සැමියා විසින් ම ඇයව ට්‍රක් රථ රියදුරන්ට විකුණන ලදී. පසුව, ඇය විසින්ම ඔහුගේ පිස්තෝලය පාවිච්චි කර ඝාතනය කරන ලද්දේ සැමියා ඇයගෙන් වැඩිමහල් දියණියව විකුණන්නට ඉල්ලූ නිසා ය. මේ ගැන ඔවුන් පැමිණිලි කළාට ප්‍රංශ පොලීසිය හෝ ප්‍රංශ ජනරජය කිසිදු පියවරක් ගත්තේ නැත. සිමොන් දි බුවා සිට ලුසී ඉරිගරේ දක්වා ස්ත්‍රීවාදීන් ප්‍රංශයේ සිටිනමුත් ‘නිදහස’ ඇත්තේ යම් පන්තියකට පමණි.

                   ඉනේසාට අනුව ආදරය නොකරන සැමියා සහ බිරිඳ සිප ගැනීම අසභ්‍ය ය. ලෙනින් කියන්නේ සැබෑ නිර්ධනයන්ට සිප ගැනීමේ සදාචාරයක් උරුම නොවන බවයි. වැලරි බාකෝගේ උදාහරණයෙන් හෙළි වන්නේ, ඇය තම සැමියාගේ බීමත්කම සහ විපරිතභාවය නිසා ට්‍රක් රථ රියදුරන් සමඟ නිදා ගන්නවා නොව, ඇය මෙම ක්‍රියාව නොකළහොත් ඇයටත් පවුලේ දරුවන්ටත් කන්නට දෙයක් නැති වන බවයි. ඔවුන්ට ‘ලිංගිකත්වය’ යනු, අර්ථකතන විශ්වයක් නොව ආර්ථික අසමානත්වය, අසාධාරණය නිසා මුණගැසෙන පද්ධතිගත සහ ව්‍යුහාත්මක හිංසනයකි.

              ලෙනින්ට අනුව ‘නිදහස් ආලය’ නම් සංකල්පය තුළම ඇත්තේ දයලෙක්තික අසංගතභාවයකි. සමාජවාදය පවතින යුගයේ නැගෙනහිර යුරෝපයේ පදිංචි පොදු ජනයාගේ පොදු පැමිණිල්ලක් වූයේ, ‘ආගමික නිදහස’ නැත යන්න ය. නමුත් රාජ්‍යයකට කෙනෙකුගේ පුද්ගලික ඇදහිල්ලකට තහංචි දැමීමට නො හැකි ය. ඒ අනුව, ඔවුන් මේ බාහිරින් පවතිනවා යැයි කියන මර්දනය ඔවුන්ගේ අභ්‍යන්තර අසහනයකින් මතු වී එන්නකි. එපරිදිම, මැද පාන්තික ස්ත්‍රීන්ගෙන් එන පිරිමි විරෝධය යට ඇත්ත වශයෙන්ම ඇත්තේ විනෝද වන්න! යන සුපිරි අහමේ නීතියට යට වූ ස්ත්‍රීන්ගේ පැමිණිල්ලකි. වැරදිකාර හදවතකින් ජීවත්වන පිරිමින්ට අවශ්‍ය නම්, චූදිතයාගේ භූමිකාවට අනන්‍ය වීමට හැකි ය. ‘නිදහස් ආලය’ වැනි සටන් පාඨ නිර්ධන සමාජයට ගෙන ගිය විට සිදු වන්නේ, ඔවුන්ට ඒවා පිටසක්වල අදහස් ලෙස පෙනී යාමයි, එමගින්, අරගලය දියාරු වෙයි.

                  එබැවින්, රොමැන්තික සිප ගැන්මක් සහ ආදරය නොකරන විවාහයක් තුළ පවතින ‘සිප ගැනීම’ නොන්ඩිගසන සුළු සංසන්දනයකි. නිර්ධන ආලය තුළ මේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය හට නොගන්නේ ඒ තුළ ආදරයෙන් පටන් ගන්නා සිප ගැනීමක් sex වලින් පසුව ආලේපනය වීමයි. Passion/ Love යනු, ආදේශක පද නොවේ. රාගය කිසිසේත් ආදරයට සම්බන්ධ ආදේශකයක් නොවේ. ඒවා, විපරිත මාර්ගෝපදේශයන් ය. ‘ආදරය’ කරන විට, බාහිර බලපෑමකින් තොරව ආවේග පාලනය වෙයි. ‘ආදර කොක්ටෙල්’ නැති අතර ‘රාගය’ ආදරය වැඩි කරන අතුරුපසක් ද නොවේ. ‘ආදරය’ නම් ප්‍රාතිහාර්යය පහළ වූ විට, මහා අනෙකා නොපවතින අතර ලිංගික ආලය සන්ධවනියක් මෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි. එබැවින්, ශෙන්තිප්පේ සහ ඉනේසා යනු, ස්ත්‍රී ස්වභාවයන් දෙකක් නොව යථාර්ථයේ අසම්පූර්ණ බව ප්‍රකාශ වීමකි. එක් අයෙකු අනෙකාගේ දිගුවයි. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය.

      

ඔබේ අදහස කියන්න...