ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් ඉතිහාසයේ දරුණුත ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක ආර්ථික ගැලපුම් වැඩසටහන අනුව මේ වන විට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වී සිටියි. රටට ගැලපෙන නව ප්‍රතිපත්ති හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට උත්සාහ කළ අවස්ථාවල දී ඊට එරෙහිව හඬ නැගූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධ වාමාංශිකයන්ගේ ක්‍රියා මඟින් ම රට අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට රැගෙන ගොස් ඇත. අරගලය නමින් හැඳින් වූ 2022 වසරේ ගාලු මුවදොර වාඩි ලා සිටීමේ ක්‍රියාව ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් මුහුණ දෙන මෙම ආර්ථික අර්බුදයට එරෙහිව මහජනතාවගේ විරෝධය ජනප්‍රිය ආකාරයෙන් ප්‍රකාශයට පත්වීමකි. සුඛපරමාවාදී ආකාරයට කානිවල්කරණය වූ ගාලු මුවදොර වාඩි ලා සිටීමේ ක්‍රියාවේ ද ප්‍රකාශනයක් වූ වර්තමානයේ ඡන්ද ක්‍රියාවලියේ තීරණාත්මක වී ඇති “හොරකම නවතනු“ නමැති ප්‍රකාශය රටේ ජනතාවගෙන් දේශපාලනඥයින් හොරකම් කරන ලදැයි තමන් සිතන්නා වූ විනෝදය නැවත ලබා ගැනීම සඳහා අරමුණු කර ගත් එකකි. වර්තමානයේ බොහෝ විරෝධතා කානිවල්කරණය වීම ආකෘති ම ය වශයෙන් දැකිය හැකි මෙන් ම මධ්‍යගත නායකත්වයක් සහ සංවිධාන ව්‍යුහයක් නො මැතිවීම නිසා ඇති වන තත්ත්වයක් ලෙස ද සැලකිය හැකි ය. තව ද මාධ්‍ය අවකාශය සමඟ බැඳුණු බද්ධදෘෂ්ටිය (gaze) ද මෙයට බලපා ඇත.

මෙම ‘ගාලු මුවදොර වාඩිලා සිටීමේ ක්‍රියාව’ එවක පැවැති ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟුණු විරෝධයක් බවට පත් වුව ද මෙයට සහභාගී වූ බොහෝ දෙනකුට නො වැටහී ගිය කරුණක් වූයේ මෙම අර්බුදයට මූලික වූයේ රාජ්‍යයේ අසමත්භාවය යන්න ය. වසර ගණනක් පුරා ආර්ථික, පරිපාලන හා අධ්‍යාපන ආදී අංශ රැසක සිදු නො වූ ප්‍රතිසංස්කරණ මතින් දරුණු ආර්ථික අර්බුදයක් ඇති වූ බව ජනප්‍රිය තලයේ ප්‍රකාශකයන්ට මෙන් ම ජනතාව යනුවෙන් අදහස් වන බහුතරයකට අමතකව ගිය ආකාරය දක්නට ලැබිණි. මෙහි දී අප අමතක නො කළ යුතු කරුණක් වන්නේ ආණ්ඩුව හා රාජ්‍යය අතර බෙදුම් කඩනයේ දී ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගකිවයුත්තා එවක පැවති ආණ්ඩුව බවට සිදු කරනු ලබන අර්ධ සත්‍යය ම ය හඳුනා ගැනීම යි. ගාලු මුවදොර වාඩිලා සිටීමේ ක්‍රියාවේ ප්‍රකාශකයින් ඇතුළු ජනප්‍රිය තලයේ ප්‍රකාශකයන්ගේ අදහසක් වූයේ පැවැති ආණ්ඩුව බලයෙන් පහ කළ පසු ‘කුටුම්භ ආර්ථිකය’ යථා තත්ත්වයට පත් විය හැකි බව ය.

එහෙත් වසර ගණනක් පුරා සිදු නො වූ ‘රාජ්‍ය ප්‍රතිසංස්කරණ’ පිළිබඳ අදහස ජනප්‍රිය තලයේ මාතෘකාවක් බවට පත් නො වී ය. එසේ වූයේ ඇයි? මිනිසුන් තමන්ගේ පුද්ගලික ලෝක තුළට වී තමන්ව ක්‍රියා විරහිත කර ගෙන ඇත. එය සමාජයෙන් විසන්ධි වීමකි. ආණ්ඩුව යනු පාලකයන්ගේ හිතුමනාපය අනුව අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියාත්මක වන යමක් ලෙසත් එමඟින් ජනතාවගේ අභිලාෂවලට ආමන්ත්‍රණය නො කරන්නේ ය යන අදහස මෙම ගැටළුව විශ්ලේෂණය කිරීමේ දී වැදගත් ය. එහි දී තමා හා අනෙකා යන මෙම බෙදුම් කඩනයේ දී මනෝවිශ්ලේෂණ සංකල්පයක් වන කුඩා අනෙකා (a) ලෙස ආණ්ඩුව ඉස්මතු කිරීම හඳුනා ගත හැකි ය. එමඟින් තමන් ද ඡන්දය ප්‍රකාශ කරමින් පත් කර ගත් ආණ්ඩුව තමන්ට එරෙහි තරගකාරී තත්ත්වයකට පත් වේ. නමුත් නිදහස ලබා වසර 76ක් ගත වුව ද ‘රාජ්‍යය’-state- නමැති සංකල්පය ශ්‍රී ලාංකිකයන්ට තවමත් දුරාවබෝධ වන්නේ ද යන ගැටලුව අප මතු කළ යුතු ය. එසේ නම් දේශපාලන වේදිකා තුළ නිතර ඇසෙන ජනතාව නම් වූ පිරිසකගේ දේශපාලන සවිඥානකභාවය පිළිබඳ ගැටළුව ද ඒ සමඟ මතු වේ. එහි දී අමතක නො කළ යුතු තවත් වැදගත් කරුණක් වේ. එනම්, රාජ්‍යය නමැති සංකල්පය සෘජුව ‘ජනතාව’ සමඟ බැඳී පවතින බව ය; රාජ්‍යය සම්බන්ධ ජනතා වගකීම කිසිවිට අත් හළ නො හැකි බව ය. එම වගකීම අභිමුඛ වන විට රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නො වීමට තමා ද වග කිව යුතු ය යන ක්ෂතිමය අත්දැකීමට ජනතාව යනුවෙන් හැඳින්වෙන පිරිසට මුහුණ දීමට සිදු වේ. නරුමවාදී ලෙස ඒ බව මග හැර යාමේ උපක්‍රමය වූයේ තමා හා ආණ්ඩුව ලෙස ජනප්‍රිය තලයේ දේශපාලනයේ සිදු කළ බෙදුම් කඩනය යි. එමඟින් මෙම ආර්ථික අර්බුදයට තමා ද වගකිව යුතු බවට වන අදහස පහසුවෙන් මඟ හැර යා හැකි පසුබිමක් ගොඩ නැගේ.

නරුමවාදය සාමාන්‍යයෙන් නිර්වචනය කිරීමේ දී “මම එය හොඳින් දනිමි. එසේ නමුත්, මම එය විශ්වාස නො කරමි.” යනුවෙන් දැක්විය හැකි ය. එහි දී දැනුම හා විශ්වාසය යනුවෙන් බෙදුම් කඩනයක් ඇති වන අතර මනෝවිශ්ලේෂණයේ දී එය ප්‍රතික්ෂේප කිරීම (disavowal) නමින් හැඳින් වේ. අර්චනකයෙක් “එසේ නමුත්” යනුවෙන් ප්‍රකාශ නො කරන අතර “එසේ නමුත්” යන්න ඔහුගේ අර්චනය යි. එහි දී ඔහු විශ්වාසය අර්චනයට පවරයි. නමුත් වර්තමානයේ දී මෙම තත්ත්වය යම් වෙනස්වීමකට ලක් වී ඇත. උදාහරණයකට වර්තමානයේ දී තමන් රැවටී නැතැයි හෝ තමාව කිසිවකින් රැවටීමකට ලක් කිරීමට නො හැකි යැයි කට මැත දොඩවන කී දෙනෙකු ඔබට හමු වී ඇති ද? [ඒ නයින් ඔවුහු පරම උපදේශකයන් බවට පත් වී ඇත.] ඇසට පෙනෙන යථාර්ථය පසු පස ඇසට නො පෙනෙන සැඟවී ඇති දේ කියා දෙන ප්‍රාඥයින් කී දෙනෙක් ඔබට හමු වී ඇති ද? “අපිව ලේසියෙන් රවට්ටන්න බෑ, මේවා ගේම්, මේවා ඡන්ද ගන්න කරන වැඩ, අපි අහුවෙයි ඕවට” යනුවෙන් ප්‍රකාශ කරමින් තමන් දන්නා බව අනෙකාට ඇඟවීමට දරන උත්සාහය මේ තුළ වේ. මෙම යුගයේ දී එවැනි පුද්ගලයෝ ක්ෂතිමය යථාර්ථයට වඩා රැවටීම නමැති අදහස පිළිබඳ අවධානය යොමු කරති. මේ අනුව අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යුහය “මම හොදින් දනිමි, එසේ නමුත් එහි විරුද්ධ දේ මම විශ්වාස කරමි ” යන්න “මම හොඳින් දනිමි. ඒ නිසා මට එය අමතක කර සිටිය හැක.”, “මා හට කියා දීමට එන්න එපා, ඔබට වඩා හොඳට මම එය දන්නවා, දැන් මට එය අමතක කර සිටිය හැක.” බවට පත් වී ඇත. එහි දී සිදු වන්නේ ක්ෂතිමය යථාර්ථය අමතක කර දැමීම සඳහා දැනුම අර්චන වස්තුවක් ලෙස ක්‍රියා කිරීම යි. “අපි ඒ ගැන හොඳින් දන්නවා, අපි කාගෙත් වහලුන්, මෝඩයන් නො වේ. ඒ නිසා අප දන්නා බව අනෙක් අයට දැනවීම අපේ අරමුණයි.” ඔවුන්ගේ උදාන වාක්‍යය එය නො වන්නේ ද? එමෙන් ම මා සියලු දෘෂ්ටිවාදී මායාවන් අත් හැර ඇත. දැන් මා සැබෑ මම වී ඇති නිසා මට ලෝකය තුළ සිදු වන සියලු දේ සැක හැර නිශ්චිතව දැන ගන්නට හැකියාව ලැබී ඇතැයි පවසන විට අප විමසිය යුතු වන්නේ මෙය තරම් දෘෂ්ටිවාදී මායාවක් තවත් තිබේ ද? යන්න ය. ඔවුන් එය නිදහසක් ලෙස සැලකීම හාස්‍යයක් වන අතර එය සැබැවින් ම ‘නො නිදහස’ නිදහසක් ලෙස ප්‍රකාශමාන කිරීමක් ය. මෙම සියලු දෙනා සැබැවින් ම විශ්වාස කරන්නවුන් නො ව විශ්වාස කරන බව අඟවන, මාලිමා භාෂාව හෙවත් ද්විමය භාෂාව (binary language) පමණක් කතා කිරීමට දන්නා ඒ අනුව සතුරා/මිතුරා නිර්වචනය කරන අයවලුන් ය. නමුත් අප අමතක නො කළ යුත්තේ රුසියාවේ ජෝෂෆ් ස්ටාලින්ට පමණක් නො ව මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මෙරට ජනාධිපතිවරුන්ට අතිවිශේෂ බලයක් ලබා දුන්නේ මෙබඳු පුද්ගලයන් බව ය.

රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයට එවක සිටි ජනාධිපතිවරයා හා ආණ්ඩුව වගකිව යුතු බවට සිදු කරන ප්‍රකාශය විමසීමේ දී ඒ තුළ පවතින ආත්මීය මැදිහත්වීම තවත් ආකාරයකට විග්‍රහ කළ හැක. එම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගුණු විරෝධය හා ගාලුමුවදොර වාඩිලා සිටීමේ ක්‍රියාවට සම්බන්ධ වූවන් අතර 2019 වසරේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම උදෙසා ඡන්දය ප්‍රකාශ කළ හා ඔහුගේ ජයග්‍රහණයෙන් පසු නගර පුරා චිත්‍ර ඇඳි තරුණ තරුණියෝ ද රාශියක් වූහ. වැඩිම මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ මෙරට ජනාධිපති ධූර අපේක්ෂකයා වූයේ ද ඔහු ය. එහි දී ඔහුට ඡන්දය ලබා දුන් ප්‍රජාවේ එක් මූලික තේමා පාඨයක් වූයේ රට සිංගප්පූරුවක් බවට පත් කිරීම ය. නො එසේ නම් සිංගප්පූරුව මේ වන විට අත් කර ගෙන තිබෙන භෞතික දියුණුවට ළඟා වීම ය. නමුත් අවසානයේ සිදු වූයේ රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීම ය. මෙම තත්ත්වය මනෝවිශ්ලේෂණ සංකල්පයක් වන ආශාව ඇසුරින් අප වටහා ගන්නේ කෙසේ ද? මනෝවිශ්ලේෂණයට අනුව අපගේ අවිඥානක ආශාව අපට හඳුනාගැනීමට ලැබෙන්නේ පසුආවර්තිතව ය . අපගේ අපේක්ෂාව අපගේ අවිඥානක ආශාව අභිබවා නො යයි. අපගේ ආශාව ඉදිරියේ අපගේ අපේක්ෂාව බිඳ වැටේ. කෙනෙකු විවිධ කරුණු පැහැදිලි කරමින් ආශාවට සම්බන්ධ අසාර්ථකභාවය තහවුරු කිරීමට උත්සාහ කළ ද එමඟින් අපගේ එම ආශාව වැළැක්විය නො හැක. ඒ ආකාරයට බාහිර ලෝකය සමඟ පවතින අන්තර් සම්බන්ධතා අදාළ නො වීම මඟින් ආශාවේ පවතින අවිඥානක ස්වරූපය පිළිබිඹු වේ. රට සිංගප්පූරුවක් බවට පත් කිරීම එම ප්‍රකාශකයන්ගේ සවිඥානක තලයේ අපේක්‍ෂාව වුව ද පසුව ඇති වූ ආර්ථික අර්බුදය අනුව පෙනී යන්නේ එම ප්‍රජාවේ අවිඥානක ආශාව, ඔවුන්ගේ අපේක්ෂාව වන රට ඉදිරියට ගෙනයාම අභිබවා ඔවුන්ගේ භාෂාවෙන් ම සඳහන් කරන්නේ නම් රට පසුපසට ඇද දමා ඇති බව ය. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කළ කලාකරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු සාමාන්‍ය මිනිසුන් අතරින් කොටසක් ඔහු පලවා හැරීමට උත්සාහ කළේ තම ක්‍රියාව හෙවත් ඔහු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ”තමා – දැරිය – යුතු – වගකීම” තමන් වෙත පවරා නො ගනිමින් එම වගකීම හිටපු ජනාධිපතිවරයා වෙත ම පවරමිනි. එනම්, ඔහු මත වරද පටවා තමා ඉන් නිදහස් වීම ය. නමුත් ලැකාන් සඳහන් කරන්නේ තමාගේ විනෝදයට සම්බන්ධ වගකීම තමන් බාර ගත යුතු බව ය.

වර්තමානය වන විට ”ජාතික ජන බලවේගය” වටා ගොඩනැගී ඇති රැල්ල ද මේ හා සමාන ය. ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් කිසිදු තාර්කික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර නො මැති පක්ෂයක් වටා “රට සිංගප්පූරුවක් බවට පත් කිරීම” නමැති උපචාර ම ය (metonymic) ප්‍රකාශ හා සමානව “හොරු ඇල්ලීම හා වංචා දූෂණය නැති කිරීම” වැනි අලංකාරික වටා නැවත ප්‍රජාව එක් රොක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ගොඩනැගුණු රැල්ලේ පුනරාවර්තනයක් ලෙස ය. මෙවැනි ජනප්‍රිය රැළිවලට උර දෙන ප්‍රජාවේ ආශාව පිළිබඳ අපි සාකච්ඡා කළෙමු. එම රැළිවල මුඛ්‍ය තේමා පාඨයක් වන්නේ ගැටලු නැති හෙට දවසක් යන්න ය. අප වටහා ගත යුත්තේ ආශාව යනු එක්තරා ආකාරයකින් විනෝදයේ සීමාවට එරෙහි පලිහක් බව ය. විනෝදය මූලික කර ගත් ලාංකේය ධනවාදී ආත්මය නැවත ආශා කරන ආත්මයක් බවට පත්වීමේ ක්‍රියාවලිය මෙම ඡන්ද ඉලක්ක කර ගත් ජනප්‍රිය රැල්ල ලෙස ද හඳුනා ගත හැකි ය. එහි දී තමාගේ විනෝදයේ සීමාව බාහිර කිසිවෙකු විසින් සලකුණු කරනු වෙනුවට තම විනෝද වන ආත්මය තුළින් ම අභ්‍යන්තර තර්කනයක් ලෙස කිසිදු වැඩපිළිවෙලක් නො මැති නායකයෙකු/පක්ෂයක් වටා එක් රොක් වෙමින් (ආශා කිරීම සඳහා බලපාන අඩුව අදාළ කර ගනිමින්) තමන් නැවත ආශා කරන ආත්මයක් ලෙස පිහිටුවා ගැනීම සිදු වේ. වර්ෂ 2018 සිට ”ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ” වටා එක් රොක් වූ හා වර්තමානයේ ‘ජාතික ජන බලවේගය’ වටා එක් රොක් වන විනෝදකාමීන් තමන්ගේ විනෝදය සීමා කර නැවත ආශා කරන ආත්මයක් බවට පත් වන්නේ මෙවැනි ක්‍රියාවලියකිනි. විනෝදකාමීන්ගේ ආත්මීය වුවමනාවක් වෙනුවෙන් මුළු රටක් වන්දි ගෙවන තත්ත්වයකට පත් වන්නේ මේ ආකාරයට ය. අප ආශා කරන්නේ කැළඹීමට හා කරදරයට පත්වීමට ය. මෙරට ඡන්දදායකයාගේ ප්‍රකාශ කෙසේ වෙතත් ඡන්දදායකයාගේ ක්‍රියාව වසර 76ක් පුරා පෙන්වා දී ඇත්තේ එය යි.

අපගේ ආශාව කෘත්‍රිම ය. එය අනෙකා මත පරායත්ත ය. දේශපාලනය තුළට මාධ්‍ය, සමාජ මාධ්‍ය , ප්‍රචාරණය, මහජන සම්බන්ධතා, අලෙවිකරණය, සන්නාමකරණය, දඟ වෙද්දු (spin doctors) හා ඇල්ගොරිදම වැනි දේ පැමිණීමත් සමඟ ම දේශපාලනඥයා තම දෘෂ්ටිවාදය ගොඩ නගන්නේ ඡන්දදායකයාගේ ආශාව තෘප්ත කරවන පොරොන්දුවක ආකාරයට ය. මොවුන් කෙනෙකු දකින සිහිනයකට පටහැනිව ගොඩනගන්නේ සවිඥානක ගොඩ නැංවීමකි. නමුත් මෙහි ආකෘතිය තුළ පවතින්නේ සිහින කාර්යයකි. ඔවුන් ගොඩ නගන මෙම ආඛ්‍යාන ෆැන්ටසි ව්‍යුහයක් ගන්නේ ආශාව තෘප්ත කළ හැකි ආකාරයක් පිළිබිඹු කරමිනි. එබැවින් අප අවිඥානක ආශාව හඳුනාගැනීම සඳහා විමසිය යුත්තේ ජනප්‍රිය රැල්ලේ දේශපාලනඥයා පවසන දෑ (අන්තර්ගතය) නො ව ඔවුන් ගොඩනගන ආඛ්‍යාන ආකෘතිය යි. ඒ අනුව මනෝවිශ්ලේෂණ සායනය විශ්ලේෂිතයාගේ ආශාව කියවීම සඳහා මාර්ගයක් ලෙස ද මනෝවිශ්ලේෂණ චිත්‍රපට න්‍යාය මඟින් චිත්‍රපට ප්‍රේක්ෂිකාවගේ ආශාව කියවීමේ මාර්ගයක් ලෙස යොදා ගන්නා වකවානුවක ඡන්දදායකයාගේ ආශාව කියවීමේ මාර්ගයක් ලෙස මනෝවිශ්ලේෂණ න්‍යාය දේශපාලනය විචාරය කිරීම සඳහා ද යොදා ගත හැක.

අප වටහා ගත යුතු වන්නේ අහිමි වූ යහපත් රට නමැති කරුණ මඟින් රැල්ලේ සිටින පුද්ගලයන් ආශා කරන ආත්ම බවට පත් වන බව ය. ඔවුන් ආශා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ හා අනුර කුමාර දිසානායක වැනි ජනප්‍රිය රැල්ලේ නායකයින් හරහා වක්‍රව මිස සෘජුව නො වේ. මෙම අහිමි වූ යහපත් රට නමැති අහිමි වූ වස්තුව ළඟා කර ගනිමින් ආශාව සාක්ෂ්‍යාත් කරගැනීමට ආත්මය උත්සාහය දැරිය හැකි ය. නමුත් එය සිදුවීම වෙනුවට නිතර නිතර එය ළඟා කර ගැනීමට අපොහොසත් වීම මඟින් ආත්මයේ ආශාව තාවකාලිකව තෘප්ත කර ගත හැකි ය. මන්ද යත් එය ළඟා කර ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවක් ම අවසන් වන්නේ බිඳ වැටීමකිනි. එම රැල්ලේ සිටින පුද්ගලයන් ප්‍රශ්න නො මැතිව ජීවත්වීම, යහපත් හෙට දවස පිළිබඳ බලාපොරොත්තු ඇති පුද්ගලයන් වන නිසා ජනප්‍රිය රැල්ලේ දේශපාලනඥයන් “හෙට යහපත් රටක් “ ලෙස සිදු කරනු ලබන ප්‍රකාශ එම පුද්ගලයන්ගේ ආශාවේ වස්තුව බවට පත් වේ. යහපත් රට යන්න වංචා දූෂණ නැති කළ පමණින් හා දේශපාලනඥයන් සිර ගත කළ පමණින් අප සිතන තරම් ඉතා පහසුවෙන් ළඟා කර ගත හැකි යමක් නො වේ. ඒ සඳහා බොහෝ කැපකිරීම් සිදු කළ යුතුව ඇත. නමුත් අප මෙහි දී ආශා කිරීමේ ක්‍රියාවෙන් විනෝද වේ. අපට අපගේ ආශාවෙන් විනෝද වීමට නො හැකි විට එය තහනම් යමක් බවට පත් වේ. සෑම ආශාවක් ම එම අර්ථයෙන් අතිරික්තයක් බවට පත් වන අතර එම අතිරික්තය අවරෝධනය වේ. අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස වැනි දේශපාලන නායකයින් ගොඩනඟන යහපත් රට නමැති සිහින ලෝකය මෙම අවරෝධනය ඉවත්කර අපගේ ආශාවට ඉඩ දෙයි. නමුත් රනිල් වික්‍රමසිංහ ඔවුන්ට වඩා වෙනස් වන්නේ ඔහු යහපත් රට පිළිබඳ නිශ්චිත සහතිකයක් ලබා නො දීම නිසා ය. ඔහුගේ ප්‍රකාශ මඟින් සෑමවිට ම ගම්‍යවන්නේ කැපකිරීම් මඟින් ඉදිරියටත් යම් දුෂ්කර ගමනක් යා යුතුව තිබෙන බව ය. රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආදායම්-වියදම්, ගෙවුම් ශේෂය, ඩොලරයේ මිල, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා මෙරට ආර්ථිකයට බලපාන භූ දේශපාලනික සාධක යන කරුණු සඳහන් කරන විට සිහින යථාර්ථය තුළ යහපත් රටක් සපථ කරන දේශපාලන නායකයින් විසින් යහපත් රට බිහි කිරීමේ දී අභිමුඛ වන අනිවාර්ය බාධාවක් ලෙස ඔහුව හඳුන්වා දෙනු ලැබෙයි.

අපට අවශ්‍ය යහපත් රටක් නම් එයට එරෙහි බාධාව ද තිබිය යුතු ය. එනම්, අපගේ ආශාවන් සාක්ෂ්‍යාත් වීම වළක්වන අභ්‍යන්තර තර්කනය මඟින් එයට එරෙහිව බාහිර බාධාවක් හඳුනා ගනියි. අප වටහා ගත යුත්තේ ආශාවන් සඳහා එවැනි බාධක අවශ්‍ය වන බව යි. එදිනෙදා යථාර්ථයේ ආශාවන් සාක්ෂ්‍යාත් කරවන බාධාවන් නො සිතූ ලෙස මුණගැසෙන නමුත් සිහින කාර්යයක දී ආශාව මඟින් ම බාධාවන් ගොඩ නඟයි. ඒ අනුව මෙම ජනප්‍රිය රැල්ලේ දේශපාලනඥයන් යහපත් හෙට දවස පිළිබඳ බලාපොරොත්තුව දල්වන අතර ම එහි සීමාව ද බවට පත් වන බව අවබෝධ කර ගැනීම වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ හා අනුර කුමාර දිසානායක වැනි දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ප්‍රායෝගික නො වන බව පෙන්වා දුන්න ද එම රැල්ලේ සිටින පුද්ගලයා ඒ පිළිබඳ තැකීමක් සිදු නො කරයි. එනම්, ජනප්‍රිය රැළිවලට අදාළ දේශපාලනඥයන්ගේ ආකර්ශනීය ප්‍රකාශ සැබැවින් ම එම රැල්ලට දුවන පුද්ගලයන්ගේ ආශාවේ වස්තුව (යහපත් රට) පිළිබඳ පොරොන්දුවක් දුන්න ද එම දේශපාලනඥයන්ගේ ප්‍රායෝගික නො වන ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ නමැති බාධාව මඟින් රැල්ලට දුවන පුද්ගලයන්ගේ ආශාව තෘප්ත නො කර නැවත අඩුවක් ඇති කර ඔවුන් ආශා කරන ආත්ම බවට පත් කරයි. දේශපාලනඥයන් කේන්ද්‍ර කර ගත් ජනප්‍රිය ආකාරයේ රැළි අප වටහා ගත යුත්තේ මෙවැනි පසුබිමක සිට ය. ඡන්ද පවතින අවස්ථාවල දී ඊට සම්බන්ධ ජනප්‍රිය රැළි අනුව යමින් යළි යළිත් එම යහපත් රට උදා කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම නමැති පුනරාවර්තනීය ක්‍රියා සඳහා ඔවුන් පෙළඹේ. මෙමඟින් අපට උගන්වන පාඩම නම් සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වය, තෘප්තියට වඩා අතෘප්තිය මෙමඟින් අපට පොරොන්දු වන බව ය. මෙම අහිමි වූ වස්තුව ළඟා කර ගත් විට එය තමන් ආශා කළ වස්තුව බවට පත් නො වී වෙනත් වස්තුවක් බවට පත් වීම ද සිදු වේ. ලාංකේය දේශපාලනය තුළ නැවත නැවත සිදු වන ජනප්‍රිය ආකාරයේ රැළි රටක් ආපස්සට ඇද දමන්නේ ඒ ආකාරයට ය. සැබැවින් ම වස්තුව ළඟා කර ගෙන ආශාව සාක්ෂ්‍යාත් කරගැනීම වෙනුවට අපි ආශාව සාක්ෂ්‍යාත් නො කර අපගේ ආශාව අනවරතව පවත්වාගෙන යයි. ඔබ ජනප්‍රිය රැළි පසුපස යන්නෙක් නම් ඔබ සිටින්නේ සිහි බුද්ධියෙන් නො ව වේදනාවෙන් සතුටක් ලබමින් ය.

ආත්මයේ ආශාව කුමක්දැයි ආත්මය ද නො දන්නා බැවින් පෙර ද සඳහන් කළ පරිදි එම ආශාව හඳුනාගැනීමට ලැබෙන්නේ පසුආවර්තිතව ය. එසේත් නැත්නම් ආත්මයේ ක්‍රියාවක ඵලයක් ලෙස ය. සැබැවින් නූතන දේශපාලනඥයාගේ කාර්යයභාරය විය යුත්තේ ජනතාවගේ ආශාවට අනුගත වීමෙන් විපරීත රංගනයක යෙදීම නො ව ජනතාවගේ මෙම විනාශදායක, කඩාකප්පල්කාරී ආශාව හඳුනාගෙන කටයුතු කිරීම ය. වසර 76ක සාපය යනුවෙන් ඉතා සිල්ලර ලෙස හඳුන්වන වචන දාමය යනු දේශපාලනඥයා ජනතාවගේ ආශාවට අනුව ඡන්ද ඩැහැ ගැනීම උදෙසා ජනප්‍රිය රැළි සාදා විපරීත රංගනයක යෙදීම පිළිබඳ යෙදෙන දෘෂ්ටිවාදී ප්‍රකාශයකි. ලාංකේය දේශපාලනඥයා වසර ගණනක් පුරා සංකේතීය විසඳුම් පෙන්වා දෙනු වෙනුවට ඡන්ද ක්‍රියාවලිය තුළ පරිකල්පිත විනෝදයක් වටා ඡන්දදායකයා සංවිධානය කරනු ලැබී ය. වර්තමානය වන විට බලයේ සිටින දේශපාලනඥයන් තමාට අභිමත ලෙස ක්‍රියා නො කරන විට එම දේශපාලනඥයන්ට පහර දී හෝ පලවා හැරීමට තරම් ලාංකේය ඡන්දදායකයා ද විපරීත වී ඇත. එහි දී තමා ද මූලික වී රට ගොඩනැගීම යන්න ඔවුන්ට ද්විතියික කරුණක් බවට පත් වේ. ඒ අනුව දේශපාලනය විපරීතභාවය – perversion- සහිත අවකාශයක සිට නියුරෝසික – neurotic – අවකාශයකට ගෙන ඒම වර්තමාන දේශපාලනඥයා ඉදිරියේ පවතින අභියෝගයකි.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මෙරට පැවැත්වෙන්නේ මෙවැනි විපරීත දෘෂ්ටිවාදී පසුබිමක ය. මෙම ජනාධිපතිවරණය රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක මැතිවරණයක් ලෙස සලකන විට එම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති දෘෂ්ටිවාද අප වටහා ගන්නේ කෙසේ ද? ඒ සඳහා බොහෝ දෙනා මන්ත්‍රයක් ලෙස ප්‍රකාශ කරන “System Change” නමැති අදහස මුලින් විමසා බලමු. මෙම System Change නමැති අදහස විකල්පය පිළිබඳ යෝජනාවක් නො ව වත්මන් අධිපති කතිකාවේ ම ඵලයක්, නිර්මාණයක් බව වටහා ගැනීම වැදගත් ය. System Change යන්න අප වටහා ගත යුත්තේ එය යම් ආකාරයක සිතීමේ ක්‍රියාවලියක් මත ගොඩනැගුණු ෆැන්ටසියක් ලෙස ය. මනෝවිශ්ලේෂණයට අනුව විමසීමේ දී යමෙකු System Change යනුවෙන් ප්‍රකාශ කරන විට එහි System යනු එය ප්‍රකාශ කරනු ලබන ආත්මයට පමණක් අදාළ යමක් බවට පත් වේ. ලැකාන් සඳහන් කරන්නේ අපි භාෂාව කතා කරනවා නො ව භාෂාව මඟින් අප කතා කෙරෙන බව ය. ඒ අනුව මෙම System යන්න හැඟවුම්කාරකය මඟින් උත්පාද කළ යමකි. අප ගොඩ නඟන ලෝකය බිහි කරනු ලබන්නේ මෙවැනි හැඟවුම්කාරක මඟිනි. මෙම සංදර්භය තුළ System යන්න අපව රවටයි. මන්ද යත් ඕනෑම හැඟවුම්කාරකයට එය ම හැඟවුම් කිරීමක් වෙනුවට විවිධ හැඟවුම් පැවතීමයි. ආත්මය පැත්තෙන් සලකා බලන විට System Change යනුවෙන් වහරන මෙවැනි කාංසාමය තත්ත්වයක් යනු හැඟවුම්කාරකය මඟින් ඇති කරනු ලබන කැපුමට එරෙහි ආරක්ෂක ගොඩ නැගුමක් වේ. එනම්, එය අර්ථයට එරෙහිව ගොඩනැගුණු යමකි. එවිට කාංසාව යනු අස්ථිර බවට ඔබ්බෙන් වූ යමක් ලෙස ආත්මයට අභිමුඛ වේ. සංකේතනය තුළ සිටිමින් ම නැවත පරිපූර්ණත්වය පිළිබඳ අදහසක් ආත්මයට එමඟින් ජනිත කරයි. ඒ අතර ම අප වටහා ගත යුතු වන්නේ වෙනස යන්න ජනප්‍රිය ධාරාවේ බොහෝ දේශපාලනඥයින් යෝජනා කරන්නේ දෘෂ්ටිවාදී තලයේ දී බව ය. නමුත් වෙනස සිදු විය යුත්තේ අධෝ ව්‍යුහය හා ආත්මීය ව්‍යුහය තුළ ය. දෘෂ්ටිවාදී තලයේ වෙනස ප්‍රබන්ධය හා සම්බන්ධ වන බැවින් සැබැවින් ම ඒ තුළ පවතින්නේ වෙනස වෙනුවට අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම හෙවත් නො වෙනස යි. බොහෝ දෙනෙකු ආකර්ෂණය වන්නේ මෙම නො වෙනස වෙතට ය. නමුත් සැබෑ වෙනස හෙවත් අධෝ ව්‍යුහයේ හා ආත්මීය ව්‍යුහයේ සිදු වන වෙනස සම්බන්ධ වන්නේ යථ ම ය මානයට ය. එය අප තිගස්සවන සුළු ය. එය සරල සුගම නො වන බැවින් බොහෝ දෙනෙක් එයට දක්වන්නේ විකර්ශනයකි.

ධනවාදී විනෝද ආකෘතිය පිළිබඳ තවත් ප්‍රකාශයක් මීළඟට විමසා බලමු. එනම්, ආර්ථිකය ගොඩනගන නිශ්චිත වැඩපිළිවෙලක් නො මැති වුව ද ජාජබ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු ය නමැති ප්‍රකාශය ය. මෙහි මූලික අදහස වන්නේ මෙරට ප්‍රධාන පක්ෂ දෙක ලෙස සැලකුණ එජාප හා ශ්‍රීලනිපය මූලික කර ගත් පක්ෂ හා සන්ධාන වෙත කිහිප වරක් ම බලය ලබා දුන්න ද ජවිපෙට හෝ ජවිපෙ සම්බන්ධ ජාජබ වැනි සන්ධානයකට එක් වරක්වත් බලය ලබා දිය යුතු ය යන්න ය.

එය එක්තරා ආකාරයකට කිස්ලොව්ස්කියානු විකල්ප යථාර්ථය සිහි ගන්වයි. එනම්, “Blind Chance” (1987) හා “Double Life of Veronique” (1991) වැනි චිත්‍රපටවල මෙන් තම ක්‍රියා ව්‍යවර්ථ වුවහොත් වෙනත් ආකාරයේ ක්‍රියාවක් මඟින් තම අභිලාෂය ඉටු කර ගත හැකි ය යන විශ්වාසය යි. මෙය අද වන විට පරිගණක තාක්ෂණයට අදාළ කෘත්‍රිම බුද්ධිය හා පරිගණක තාක්ෂණයේ නව යෙදවුම් ආධාරයෙන් ගොඩනගන විකල්ප යථාර්ථයට ද සමාන ය. පරිගණක ක්‍රීඩාවක දී මෙන් ඔබට වර තුනක් ලැබී ඇත. පළමු වරය අපතේ ගිය විට දෙවන වරය ද දෙවන වරය අපතේ ගිය විට තෙවන වරය ද ඔබට ලබා ගත හැකි ය. මේ ආකාරයට නැවත, නැවත ඔබට ක්‍රීඩා කළ හැකි ය. ධනවාදය විසින් ඇති කරනු ලබන අතිරික්තය නැවත ආත්මයට සම්බන්ධ වන බැවින් නැවත, නැවත ජීවිතය ගොඩ නැගීමේ වරය ධනවාදය විසින් අපට පෙන්වා දී ඇත. එමඟින් ඉදිරියේ දී යහපත් අනාගතයක් උදා කර ගත හැකි ය යන විශ්වාසය ද ලබා දෙයි. ඒ සඳහා විවිධ තෝරා ගැනීම් රාශියක් ධනවාදය විසින් අප වෙත ලබා දී ඇත. නමුත් අප විමසිය යුතු ගැටළුව වන්නේ මෙම විකල්පයන්ගෙන් එකක් හෝ අපට දෘශ්‍යමාන වන පරිදි අප පතන යහපත් අනාගතය හෝ විමුක්තිය කරා අපව රැගෙන යන්නේ ද යන්න ය. එක් වරයක් අපව විනාශය වෙත ගෙන ගිය ද දෙවන වරය මඟින් නැවත මුල සිට ආරම්භ කිරීමේ හැකියාව ඇතත් එය ද ඔබව ගෙන යන්නේ විනාශකාරී අන්තයකට නම් තමන්ට ලැබී ඇති තුන්වැනි වරය කිසි ලෙසකින් හෝ අපතේ නො යවා ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතු ව ඇත යන්න දෘෂ්ටිවාදයකි. මනෝවිශ්ලේෂණයට අනුව මෙම ක්‍රියාවලිය තුළ සිදුවන්නේ ද පුනරාවර්තනයකි. මෙම පුනරාවර්තනය මඟින් අපට පෙන්වා දෙන්නේ අජීවී (inorganic) තත්ත්වයට යෑමට පවතින ආශාව යි. ඒ අනුව යට කී ප්‍රකාශය ප්‍රහර්ෂ මූලධර්මය ඉක්මවා යන විනෝදය මූලික කර ගත් ක්‍රියාවක් මිස සිහි බුද්ධියෙන් සිදු කරනු ලබන ප්‍රකාශයක් නො වේ. එබැවින් රටක් යනු එක් අවස්ථාවක් නිසා ඛේදවාචකයක් බවට පත් වූ පසු තවත් අවස්ථාවක් ලබාගෙන කරනු ලබන අනවරත පුනරාවර්තන අත්හදා බැලීමේ මූලාශ්‍රයක් හෝ වීඩියෝ ක්‍රීඩාවක් ද යන්න අප පෙරළා විමසා බැලිය යුතු ය. තවත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම් රට යනු තවදුරටත් විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍යවල ජාතිකවාදී අර්ථයෙන් (සමරූපයක් ලෙස) හඳුන්වන පරම පූජනීය යමක් නො ව විනෝද ආකෘතියක් ප්‍රකාශමාන කරවන යමක් බවට පත් වී ඇති බව අපට මින් හඳුනා ගත හැකි ය. කිසිදු අරමුණකින් තොරව සිදු කරනු ලබන විනාශදායක ජනප්‍රියවාදී ප්‍රකාශන ද ඕනෑ තරම් දැකිය හැකි ය. “ඔව් මට තේරෙනවා අනුර වැඩක් නෑ වගේ, ඒත් මට දැන් මේ තියෙන දේ එපා වෙලා තියෙන්නේ.“ මෙවැනි ප්‍රතිචාරාත්මක ක්‍රියා දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීමේ පුද්ගලවාදී ස්වරූපයක සිට එක්සත් රාජධානියේ Brexit වැනි බරපතල ප්‍රතිඵල ඇති කරන සමාජ දේශපාලනික ක්‍රියාවක් දක්වා ද දිගු විය හැකි ය. තමා සමඟ ම ලෝකයත් විනාශ වීම යනුවෙන් මෙය සරල ආකාරයෙන් පැහැදිලි කළ හැක. මෙසේ විනාශය ප්‍රාර්ථනා කරන්නවුන් සිටින වකවානුවක හා කෘත්‍රිම බුද්ධිය මඟින් ලෝකය වෙනස් වීමකට ලක් වෙමින් පවතින විට අපට වැඩි වැඩියෙන් මනෝවිශ්ලේෂකයින්, මානව විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් අවශ්‍ය වී ඇත්තේ සිදු වෙමින් පවතින නව තත්ත්ව නිර්වචනය කිරීමට ය. නමුත් ඒ වෙනුවට බිහි වී ඇත්තේ තිස්ස ජනනායක වැනි යූටියුබ් තෙල් බෙහෙත් වෙළෙන්දන් ය.

ජනප්‍රියවාදී රැල්ලේ සිටින පුද්ගලයින් ගොඩ නඟන 76 වසරක සාපය යන ජනප්‍රිය ප්‍රකාශය බැලූ බැල්මට ඔවුන් මධ්‍යස්ථ ආස්ථානයක සිට ලාංකේය දේශපාලන ඉතිහාසය විවේචනය කරන බවක් පෙන්නුම් කරයි. එමඟින් ඔවුහු මහා අනෙකාගේ නාමය වෙනුවෙන් පරිකල්පනීය හා අහම කේන්ද්‍රීය සුපිරි බවක් තමා පිළිබඳව ගොඩනගන අතර එමඟින් අනෙකාගේ යහපත වෙනුවෙන් කැපවෙන බවක් පෙන්වයි. නමුත් ඔවුන් ගොඩනගන මෙම 76 වසරක සාපය නමැති යථාර්ථය තම ආත්මීය මැදිහත්වීමක් නො මැති යමක් ලෙස පිළිඹිබු කරමින් ගොඩනැගීමට ප්‍රවේශම් වන බව අප අවබෝධ කර ගත යුතු ය. එබැවින් මෙම පරිකල්පනීය ස්වයං බැහැර කිරීම මඟින් ඔවුහු බැලූ බැල්මට යහපත ගොඩනඟන බව පෙනුණත් ඔවුන් ගොඩනගන්නේ නපුර බව පැහැදිලි විය යුතු ය. අප වටහා ගත යුතු වන්නේ නපුර යනු සාපය යනුවෙන් ඔවුන් වටහා ගන්නා බද්ධ දෘෂ්ටියට ම (gaze) අයත් දෙයක් මිස වෙනත් යමක් නො වන බව ය. දේශපාලන සමස්තය විවේචනය කිරීම සඳහා බද්ධ දෘෂ්ටිය ගොඩනගන නපුර මඟින් ආත්මය ඉවත් කිරීම ම නපුර බව අප අවබෝධ කර ගත යුතුව ඇත. මෙහි දී මනෝවිශ්ලේෂණය ඇසුරෙන් සඳහන් කළ යුතු වන්නේ තමන්ගේ ප්‍රකාශනය තුළට තම ප්‍රකාශිතය ද ඇතුළත් කළ යුතු බව ය. එවිට නපුර යනු තමාගේ මැදිහත්වීමක් ලෙස අවබෝධ කර ගත හැකි ය.

තමන් විශ්වාස නො කරන දේ මිනිසුන් නරුමවාදී ලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර ගැනීම ද මෙම වකවානුවේ දක්නට ලැබෙන තවත් එක් ප්‍රවණතාවයකි. එයට එක් හේතුවක් විය හැකි වන්නේ තමන්ගේ කණ්ඩායම තුළ පිළිගැනීමක් හා අනන්‍යතාවයක් එමඟින් ලබා ගැනීම යි. දෙවැන්න විරුද්ධ කණ්ඩායමේ මිනිසුන් කේන්ති ගැස්වීම මඟින් තමන් පිළිගැනීමක් ලබා ගැනීම යි. එමෙන් ම තමන් විනෝදයෙන් සිටින්නෙක් නො ව තමන් ගැඹුරු ලෙස සිතන්නෙක් බව ඔවුහු තමන්ට ම මෙමඟින් ඒත්තු ගන්වා ගනියි. මෙය ද සෘජුව සම්බන්ධ වන්නේ බද්ධ දෘෂ්ටියට (gaze) ය. නිදසුනකට කොන්කනා සෙන් ෂර්මා අධ්‍යක්ෂණය කළ “The Mirror” (2023) රූපවාහිනී කෙටි චිත්‍රපටයේ ඉෂිතා (Tillotama Shome) හා සීමා (Amruta Subash) අතර සම්බන්ධය යනු දෙදෙනාගේ බද්ධ දෘෂ්ටිය (gaze) වෙනුවෙන් කටයුතු කරන යමක් විනා නිවසේ වැඩ කටයුතු සඳහා සිදු කරනු ලබන යමක් නො වන බව පසක් වේ. ඉෂිතා නමැති කාන්තාව, සීමා නමැති මෙහෙකාරිය නිවසට කැඳවන්නේ තම නිවසේ වැඩ කටයුතු සඳහා වුව ද ඔවුන් නිවසේ දී කටයුතු කරනු ලබන්නේ එකිනෙකාගේ බද්ධ දෘෂ්ටිය වෙනුවෙනි. එහි දී බද්ධ දෘෂ්ටිය අධිනිශ්චය වී නිවසේ වැඩ කටයුතු ද්විතියික වේ. වර්තමානයේ සමකාලීන ජීවිතය යනු මෙය නො වේ ද? එහි දී සැබෑ ලෙස බද්ධ දෘෂ්ටිය වෙනුවෙන් කටයුතු කරුණු විනා තමන්ට අයත් මූලික වැඩ කටයුතු ද්විතියික ලෙස සලකයි. මෙරට දේශපාලනඥයා සහ ඡන්දදායකයා අතර සම්බන්ධය ගොඩනැගී ඇත්තේ ද මේ ආකාරයට නො වන්නේ ද? දේශපාලනඥයා රට ගොඩනැගීම වෙනුවට බලය ලබා ගැනීම වෙනුවෙන් ඡන්දදායකයාගේ බද්ධ දෘෂ්ටියට අනුකූලව කටයුතු කරනු ලබන අතර ඡන්දදායකයා ද රට ගොඩනැගීම නමැති අදහස පසෙකලා තම ආත්මීය කාරණා වෙනුවෙන් දේශපාලනඥයාගේ බද්ධ දෘෂ්ටියට අනුව කටයුතු කරයි.

අනුර කුමාර දිසානායක සන්නාම සහිත ඇඳුම් අඳිමින් “මා දෙස බලන්න” යැයි කියන විට මහේෂ් හපුගොඩ ඒ පිළිබඳ වීඩියෝ විග්‍රහ ඉදිරිපත් කරමින් “මා දෙස බලන්න” යැයි කියයි. දෘෂ්ටිවාදය යනු තමාගේ සුවිශේෂ අභිලාෂයන් වෙනුවෙන් සාර්වත්‍රික බව දෘශ්‍යමාන කිරීමක් ලෙස සැලකිය හැකි ය. දෘෂ්ටිවාදී විචාරයේ අරමුණ විය යුතු වන්නේ බැලූ බැල්මට පෙනෙන සාර්වත්‍රිකබව තුළ පවතින සුවිශේෂය හඳුනා ගැනීම ය. ඔවුන් කරමින් සිටින දේ සහ ඔවුන්ගේ ව්‍යාජ සිහිනුවණ හා අවදි වීම අතර පරතරයක් පවතියි. එමෙන් ම සමාජ මාධ්‍ය අධිනිශ්චය වී ඇති අද වන විට දෘෂ්ටිය පරිභෝජනය කිරීම (consumption of vision) මූලික කරුණක් බවට පත් වී ඇත.

බොහෝ දෙනා තමන් යහපත් පුරවැසියන් ලෙස සිතන මෙම යුගයේ බොහෝ දක්ෂිණාංශික දේශපාලනඥයින් සිතන්නේ තමන් ගලවා ගන්නෙකු බවයි. වාමාංශිකයින් සිතන්නේ ජනතාවගේ යහපත උදෙසා තමන් ඉතිහාසය විසින් තෝරා ගෙන ඇති බව යි. මේ සියලු දෙනාගේ පොදු ලක්‍ෂණය නම් තමන් සිටින්නේ අවදියෙන් බව තරගකාරී ලෙස පෙන්නුම් කිරීමට දරන උත්සාහය යි.

දේශපාලනඥයින් සඳහා පමණක් නො ව යූටියුබ් අවකාශය තුළ චමුදිත සමරවික්‍රම, නිර්මාල් දේවසිරි, අශෝක අභයගුණවර්ධන හා තිස්ස ජනනායක වැනි අය දක්වා මෙය අදාළ වේ. මෙහි දී අප වටහා ගත යුතු කරුණ වන්නේ ඔවුන් සියලු දෙනා ම යථාර්ථය ප්‍රතික්ෂේප කර එය ප්‍රතිඅර්ථ ගන්වන භාෂා හරඹයක යෙදී සිටින බව ය. ඔවුන්ගේ මූලික ඉලක්කය අනවරත ප්‍රචාරකවාදී කටයුතුවල නිරත වීම ය. මෙම අවදියෙන් සිටීම නමැති දෘෂ්ටිවාදයේ දී තමන් යමක් විශ්වාස කරනවාට වඩා විශ්වාස කරන බව ඇඟවීම වැදගත් ය. ඔවුන් විවේචනය කරන්නන් ඔවුන්ට එරෙහිවන්නන් ලෙස නම් වේ. එනම්, මෙහි දී සියලු අදහස් සහසම්බන්ධ ප්‍රතිපක්ෂ බවට ඌනනය කෙරේ. පරිගණක කේතයන්ගේ පදනම වන 1 හා 0 නම් ද්විමයභාවයට මෙය සමාන ය. එහි දී ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ අන් කිසිවක් නො ව සංකේතීය කප්පාදුව යි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් පීතෘ නාමකරණය යි. මව සමඟ සම්බන්ධය හෙවත් මිථ්‍යාමතික පරිපූර්ණත්වය පරිකල්පනය කරන ජනප්‍රිය රැල්ල සමඟ සම්බන්ධ වී සමාජ මාධ්‍ය තුළ “නිවන් සැප ලැබේවා” ආදී ලෙස ප්‍රතිචාර දක්වන බොහෝ අයට ඔවුන්ගේ සැබෑ ජීවිතය තුළ පියා සමඟ ගැටලුකාරී සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඇති බව ද දක්නට පුළුවන. මෙම අවදිවන්නන්ට සිහිපත් කළ යුතු වන්නේ ඔවුන් ගණන් කිරීමට දන්නේ දෙක දක්වා වුව ද මනෝවිශ්ලේෂණය තුන්වන මානයක් යෝජනා කරන බව ය. එනම්, අවිඥානය හෙවත් භාෂාවේ පවතින යථමය මානය යි. අප ඔවුන්ට අවධාරණය කළ යුතු වන්නේ කතා කිරීම සෑම විට ම කියවීම හා ලිවීම පූර්වකල්පනය කරන බව යි. එනම්, කතාවට පදනම් වන්නේ කියවීම හා ලිවීම බව යි. එහෙත් පොත් පරිශීලනය හා ඒ ආශ්‍රයෙන් ගොඩනැගෙන ලිවීම අවම වී ඇති වකවානුවක කතා කිරීම යනු හුදු සිතට නැගෙන සිතිවිලි බවට පත්වීම වැළැක්විය නො හැක. එය ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය අවකාශ දක්වා වසංගතයක් මෙන් පැතිර පවතියි.

වර්තමාන අධිපති කතිකාව සිතට නැගෙන සිතුවිලි අභිබවා ගොස් නැති බව ඉහතින් පෙන්වා දුන්නෙමු. එය සෑම විට ම පක්ෂ හා විපක්ෂ යන සහසම්බන්ධ ප්‍රතිපක්ෂ බවට ඌනනය වී ඇත. නිදසුනකට ආණ්ඩුව ධනවතුන් හා තමන්ගේ හිතවතුන් සඳහා පමණක් කැප වී ඇතැයි පෙන්වීම තුළින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පෙන්වා දෙයි. නමුත් ආණ්ඩුව එසේ පෙනෙන්නට එකී පුද්ගලයින් ඒ සඳහා තමන් සිදු කළ ආත්මීය ආයෝජනය ඒ තුළ සැඟවී තිබේ. එය මතු නො වීම නිසා අධිපති කතිකාව පැතලි එකක් බවට පත් කර ඇත. අප අවබෝධ කර ගත යුත්තේ සමාජය තුළට මා ඇතුළත් කරවන්නේ මා තුළ සිටින මම නො ව මා තුළ සිටින ආගන්තුක අනේකත්වය බව ය. එමෙන් ම රටක ඡන්ද ක්‍රියාවලියට දායක වන කට මැත දොඩවන මම වෙනුවට මගේ අවිඥානය මා මෙහෙයවන බව ය. එනම්, මා මගෙන් ම විගාමික හා විකේන්ද්‍රීය වී ඇති බව පිළිගැනීමයි. මනෝවිශ්ලේෂණ ආප්තයක් අපට මෙසේ වෙනස් කර ලිවිය හැකි ය. එනම්, අප ජීවත්වනවා නො ව අප ජීවත් කෙරෙන බව ය. මන්ද යත් අපගේ බොහෝ අත්දැකීම් සඳහා සවිඥානක තීරණ පාදක වන බව පෙනුණත් ඒවාට සැබැවින් ම බලපාන්නේ අපගේ අවිඥානය යි. අපට ම ආගන්තුක අප තුළ පවතින දැනුමකින් අපව ජීවත් කෙරෙයි. මේ සඳහා මූලිකව ම බලපාන්නේ භාෂාව යි. අවිඥානය සමන්විත වන්නේ මෙම භාෂාවෙනි. භාෂාව යනු එක්තරා ආකාරයකට විෂ පෙවූ ත්‍යාගයකි. එය අපව පාලනයට නතු කර ඇත. හැඟවුම්කරණය සම්බන්ධ පරාරෝපණය හඳුනා ගැනීමට ලැබෙන්නේ එමඟිනි. එබැවින් අපගේ අත්දැකීම් මඟින් අප කටයුතු කරන බව අප සිතුවත් සැබැවින් මේ සඳහා බලපාන්නේ අපට ම ආගන්තුක අප තුළ පවතින දැනුම යි. මෙහි දී එක් ගැටලුවක් වන්නේ ලාංකිකයින් බොහෝ විට දැනුම සහ අදහස් වෙනුවට අත්දැකීම් විශ්වාස කිරීම යි. නව දැනුම සහ අදහස්, අත්දැකීම් මෙන් පුනරාවර්තනය නො වන බැවින් ඒවා තුළ පුද්ගලයන්ගේ සහභාගීත්වය මඟින් තහවුරු කළ උත්සාහයන් සාර්ථකවීම් හා අසාර්ථකවීම් දක්නට නො ලැබෙන බැවින් බොහෝ ලාංකිකයින්ට අත්දැකීම් මූලික වේ. එබැවින් නව දැනුම සහ අදහස් පිළිබඳ ලාංකිකයන්ට ඇත්තේ අවිශ්වාසනීය ආකල්පයකි.

විචාර බුද්ධිය නමැති සංකල්පය ද සාමාන්‍ය අදහසක්, සිතුවිල්ලක් බවට සාමාන්‍යකරණය කර වර්තමාන අධිපති දෘෂ්ටිවාදයට අන්තඃකරණය වී ඇත. විමුක්තිකාමී ක්‍රියාවක දැකිය හැකි එක් පොදු ලක්‍ෂණයක් වන සමාජ පිළිවෙලට පවතින විරෝධය හා සමාජ පිළිවෙළ සමඟ ආත්මය පවත්වා ගන්නා දුර මෙම දෘෂ්ටිවාදී භාවිතාව නිසා සමාජ පිළිවෙලට එරෙහි යමක් ලෙස නො ව සමාජ පිළිවෙළ ප්‍රතිනිෂ්පාදනය කරන ක්‍රියාවක් බවට ම පත් වී ඇත. බැලූ බැල්මට මෙවැනි ප්‍රකාශකයින් පවත්නා සමාජය පිළිබඳ විවේචකයින් ලෙස දක්නට ලැබුණ ද ඔවුන් තරම් පවත්නා පිළිවෙල ප්‍රතිනිෂ්පාදනය කරන්නන් නො මැත. අප නිරීක්ෂණය කළ යුත්තේ ඔවුන්ගේ අන්තර්ගතය නො ව ඔවුන්ගේ ජීවන ආකෘතිය ය. දේශපාලනඥයන් ද ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සිට එකිනෙකාට ප්‍රතිචාර දක්වන්නන් පිරිසක් පමණක් බවට පත් ව ඇත. එහි දී දේශපාලන හා ආර්ථික ගැටලු පාරිභෝගික, විනෝදජනක හා විස්මය ගෙන දෙන ගැටළු බවට පත් වන අතර ඒවාට ලැබෙන විසඳුම් සාම්ප්‍රදායික, අතීතකාමී, ආපස්සට යොමු වුණු, හැඟීම්වලට පමණක් ආමන්ත්‍රණය කරන පිළිතුරු බවට පත් ව ඇත. මෙමඟින් පොදු ජනයා මුග්ධභාවයට කැඳවා පවත්නා යථාර්ථයේ සැබෑ කරුණුවලින් ඉවතට යොමු කරවයි. කල් ඉකුත් වූ දෘෂ්ටිවාද වර්තමාන ගෝලීය දේශපාලන යථාර්ථය හා නො ගැලපේ. දේශපාලනඥයන් සියලු දෙනා ප්‍රකාශ කරන්නේ තමන් ජනතාව පීඩනයෙන් මුදවා ඔවුන්ගේ යහපත් හෙට දවසට මඟ පෙන්වන බව යි. ඔවුන් එය ප්‍රකාශ කරනු ලබන්නේ භාෂා ම ය මෑනවීම් (manipulations), යථාර්ථය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථ ගැන්වීම් හා අනවරත ප්‍රචාරක ව්‍යාපෘති මඟිනි. මෙවැනි දෑ තුළින් කිසිඳු සමාජ වෙනසක් සිදු නො වේ. ඔවුන්ට පෙරළා ජනතාව පහරදීමට මෙය ද හේතුවක් වන්නේ ය. හුදු දෘෂ්ටිවාදී හරඹ මඟින් රටක් ගොඩනැගිය නො හැකි බව මෙරට දේශපාලනඥයින් අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය මඟින් අවබෝධ කර ගත යුතුව ඇත.

අද වන විට තමන්ගේ අඥානභාවය හා නොදැනුවත්භාවය තවදුරටත් විද්‍යාමාන වීම දේශපාලනඥයන් ගැටලුවක් ලෙස නො සලකන බව පෙනී යන කරුණකි. බලයේ සිටින සාමාන්‍ය ආකාරයේ මිනිසුන් හා බලයට පැමිණීමට බලා සිටින සාමාන්‍ය ආකාරයේ මිනිසුන් තමන්ගේ මෙම නො දැනුවත්භාවය තමන්ගේ ආකර්ශනීයභාවය ලෙස සැලකීම සාමාන්‍යකරණය වී ඇති අතර එය තමන් ජනතාව නමින් හඳුන්වන පිරිසට වඩාත් ළංවීමට හැකි ප්‍රවේශයක් ලෙස සලකයි. තමන් මෙන් කිසිදු පදනමක් නො මැති කතා කියන දේශපාලනඥයෙක් තමන්ට ළඟ බව ජනතාවගේ ප්‍රතිචාර අනුව ද පෙනී යයි. තම භාෂාව කතා කරන දේශපාලනඥයින් ජනතාව අපේක්‍ෂා කරයි. මෙම තත්ත්වයට අවර ගණයේ මාධ්‍ය භාෂා භාවිතය ද බලපා ඇත. මෙහි දී සිදු වන්නේ කුමක් ද? ප්‍රථමයෙන් ඔවුන් යම් සිදුවීමක කරුණු ම ය සත්‍යය ඉවත් කරන අතර එමඟින් සත්‍යය කෙරෙහි වන ජනතාවගේ විශ්වාසය ඉවත් කරයි. ඒ වෙනුවට තම අභිමත සිතිවිලි වලින් එම හිදැස පුරවා දමයි. මෙය බොහෝ විට සර්වාධිකාරීවාදයකට සමාන ය. දර්ශනය ආදිය සාකච්ඡා කරන පුද්ගලයින් ද මෙවැනි දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ගේ දාර්ශනික දුගීභාවය ප්‍රකට කරවන්නකි. අපට තවදුරටත් නිවැරදිව යමක් පැහැදිලිව කතා කිරීමට නො හැකි වී ඇති බව මෙන් ම ගැලපෙන වචන ද හීන වී ඇතැයි මින් පැහැදිලි වේ. නිවැරදිව කතා කිරීමට ඉගෙන ගැනීම තීරණය වන්නේ නිවැරදිව කියැවීම හා ලිවීම මඟින් බව මීට පෙර දී ද පෙන්වා දුන්නෙමු. අප වටහා ගත යුත්තේ නිවැරදිව කතා කිරීමට ඉගෙන ගැනීම යනු සටන් කිරීමට ඇති පරමායුධය බව ය.

ධනවාදය විසින් අපට උල්පන්දම් දෙන ධනවත් වීමේ ආශාව හා හෙට යහපත් දිනක් වැනි දෘෂ්ටිවාද සාක්ෂ්‍යාත් නො වීමේ ගැටලුවට අපට ලැබෙන ෆැන්ටසි ම ය පිළිතුර වන්නේ අපට වඩා විනෝද වන අනෙකා ය යන්න ය. වර්තමාන ආර්ථික අර්බුදය නිසා ගොඩනැගුණු තර්කයක් වන්නේ ද මම දුක් විඳින විට දේශපාලනඥයින් සැප විඳින බව ය. අනෙකාගේ ආශාවේ ගැටලුවට පිළිතුරක් ලෙස අප දකින්නේ අපගේ ම විනෝදය ය. අනෙකාගේ ආශාව ගුප්ත ලෙස පෙනීම අවසන් වන්නේ එම ආශාව මගේ ම විනෝදය ලෙස දැකීමට පටන් ගන්නා විට ය. එම පුද්ගලයාට මා ආශක්‍ත වන්නේ හා විකර්ශනය වන්නේ මෙම විනෝදය නිසා ය. මෙහි දී මුහුණ දෙන මූලික ගැටලුව වන්නේ මා දකින මෙම විනෝදය මගේ ද ඔහුගේ ද යන ගැටලුවට පැහැදිලි පිළිතුරක් නො මැති වීම යි. තමන් ආකර්ෂණය වූ අයෙක් එක් වරම භයානක අයෙක් ලෙස දැකීමට හේතුවක් වන්නේ ඔහු විඳින්නේ යැයි මා සිතන මෙම විනෝදය ය. එනම්, තමන් නො විඳින යමක් එම පුද්ගලයා විඳින්නේ ය යන්න යි. මාගේ වියදමින් ඔහු විඳින්නේ යැයි අනුමාන කරන විනෝදය දෙස මා තවදුරටත් බලා සිටිය යුත්තේ ද? නො එසේ නම් එම විනෝදය තර්ජනයට ලක් කරන්නේ ද යන ගැටලුව එමඟින් මතු වේ. ඒ අනුව භ්‍රමක තෙරපුම (drive) මඟින් ලැබෙන විනෝදය හෙවත් මා තුළ පවතින මාගේ අනේකත්වය මා යැයි මම සිතා සිටින කෙනා අභිබවයි. අප වටහා ගත යුත්තේ කෙනෙකුගේ බාහිර සබඳතා තීරණය කරනු ලබන අභ්‍යන්තර තර්කනය මෙය වන බව ය.

Kill him.

මනෝවිශ්ලේෂණයට අනුව විශ්ලේෂිතයා ගොඩනඟන යථාර්ථය, සැබෑ යථාර්ථයට වඩා වැදගත් ය. විශ්ලේෂිතයා ගොඩනඟන ෆැන්ටසි මඟින් අදාළ ක්ෂතිමය අත්දැකීම ඔහු ගොඩනගන යථාර්ථයට සම්බන්ධ වී පවතියි. අප වටහා ගත යුත්තේ විශ්ලේෂිතයාගේ යථාර්ථය තීරණය වන්නේ මෙම ෆැන්ටසි ආධාරක මඟින් බව ය. මෙම ආර්ථික අර්බුදය නමැති ක්ෂතිමය අත්දැකීම “පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම හොරු” යන ෆැන්ටසි ප්‍රබන්ධය මඟින් ආත්මය ස්වීයකරණය කර ගනියි. ඔබ සඳහන් කරන පරිදි දේශපාලනඥයින්ගේ ආශාව හොරකම් කිරීම නම් මනෝවිශ්ලේෂණය අසන්නේ ඔබේ ආශාව කුමක් ද යන්න ය. මෙම හොරකම් කිරීම සම්බන්ධයෙන් ඔබේ ආශාව කුළුගන්වන හේතුව හෙවත් ඔබේ අවුල කුමක් ද යන්න ය. මෙම අඩුව සඳහා අනුර කුමාර දිසානායක වැනි අයෙක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ය.

මෙතෙක් පැවති ඡන්ද ක්‍රියාවලිය අප ආශාවේ මානයෙන් සාකච්ඡා කළ ද එය භ්‍රමක තෙරපුමේ මානයෙන් වටහා ගන්නේ කෙසේ ද? ඒ අනුව ගත් විට යහපත් රටක් යනු ඔවුන්ගේ ආශාවේ වස්තු හේතුව යි. ආශාවේ වස්තු හේතුව යනු භ්‍රමක තෙරපුමේ ද වස්තුව යි. එය භ්‍රමක තෙරපුමේ මානයෙන් ගත් විට වස්තුවකට වඩා විවරයකි. භ්‍රමක තෙරපුමට අදාල විවරය වැසීම නැවත විවර වීම මඟින් විනෝදය ලැබේ. ඒ අනුව යහපත් රටක් යන අදහස වටා භ්‍රමනය මිස එය අත්පත් කර ගැනීමක් මෙමඟින් අදහස් නො වේ. මන්ද යත්, භ්‍රමක තෙරපුමේ අරමුණ වස්තුව වුවත් එහි අභිප්‍රාය වන්නේ වස්තුව අත්පත් කර නො ගනිමින් එය වටා භ්‍රමණය මඟින් ලබන විනෝදය යි. මෙය පුනරාවර්තනය වේ. එය ප්‍රහර්ෂ මූලධර්මය ඉක්මවා ගිය වේදනාකාරී අත්දැකීමකි. ඔවුන් සිදු කරනු ලබන්නේ යහපත් රටක් නැමැති වස්තුව වටා භ්‍රමණය වෙමින් වේදනාකාරි අත්දැකීමක් ලබමින් සතුටු වීම ය. මෙහි දී යහපත් රටක් නමැති අදහස අපට තිබී නැතිව ගිය යමක් ලෙස ඔවුහු හඳුනා ගනිති. 2015 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමේ දී අපට තිබී දෙමළුන් විසින් අහිමි කළ යහපත් රට ද, 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණීමේ දී අපට තිබී රාජපක්ෂවරුන් විසින් අහිමි කළ යහපත් රට ද, 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමේ දී අපට තිබී මුස්ලිම්වරුන් විසින් අහිමි කළ යහපත් රට ද අද වන විට මාලිමා කතිකාව තුළ අපට තිබී රාජපක්ෂවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 විසින් අහිමි කළ යහපත් රට ද දෘෂ්ටිවාදී තලයට පැමිණ ඇත. මෙය විශ්ලේෂණය කිරීමේ දී මෙම කතිකාව තුළ බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ තෙල් හා බඩු මිල අඩු රටක් මිස යහපත් හෝ දියුණු රටක් නො වන බව පෙනී යයි. භාණ්ඩ මිල අඩු වූ විට හා බදු අවම කළ විට පරිභෝජනය ඉහළ යනු විනා යහපත් රටක් ගොඩ නැගෙන්නේ නැත. එනම්, එහි දී පාරිභෝගිකයින් පිරිසක් බිහිවිම හැර යහපත් පුරවැසියන් බිහිවීම වැනි යමක් සිදු නො වේ.

වර්තමානයේ මැතිවරණ සම්බන්ධයෙන් මිනිසුන්ගේ තීරණ සඳහා බලපා ඇති සාධක කවරේදැයි හඳුනා ගැනීම වැදගත් ය. මේ සඳහා බලපා ඇති එක් කරුණක් වන්නේ වර්තමානය හා අනාගතය සම්බන්ධ බිය හා සාංකාව යි. මෙම බිය හා සාංකාව භාෂාව මඟින් කරනු ලබන මෑනවීම් මඟින් ද සිදු කරනු ලබන ආකාරය අපි මීට ඉහත දී සාකච්ඡා කළෙමු. නිදසුනකට සාර්ව ආර්ථික ස්ථායීතාවය සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රකාශ මෑනවීම් මඟින් ක්ෂුද්‍ර ආර්ථිකය තුළ පවතින මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට අදාළ ගැටලු ආදියට සම්බන්ධ කරමින් එම ස්ථායිතාව යනු ව්‍යාජ ආකාරයට ගොඩනගන ලද ඒවා බව පෙන්වා දෙයි. මෙම බිය හා සාංකාවට පිළිතුරක් ලෙස යෝජනා වන්නේ ආරක්ෂණවාදය, ස්ථායීභාවය හා නීතිය හා පිළිවෙල සහතික කිරීම යි. සමාජය හෝ වෙළඳපොළ යනු භයානක අපිළිවෙළ සහිත යමක් ලෙස මෙහි දී වටහා ගනියි. එබැවින් එයට පිළිතුර ලෙස අපේක්ෂා කරන්නේ බලය මඟින් පිළිවෙල සහතික කිරීම ය. එහි දී ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් හෝ ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය නො වැදගත් ලෙස සලකයි. “මරලා හරි කුඩු ප්‍රශ්න විසඳන්න“ වැනි ප්‍රකාශ අපට අසන්නට ලැබේ. එහි දී අසීමිත බලයක් සහිත ප්‍රතාපවත් නායකයෙක් අපේක්‍ෂා කරයි. දෙවෙනි කරුණ නම් පලි ගැනීම හා වෛරය යි. එහි දී විනාශකාරී හා කඩාකප්පල්කාරී විභවයක් දකින්නට ලැබේ. එමෙන් ම දෘශ්‍යමානයට යටින් සිටින පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන් විනාශ කළ යුතු යැයි කියයි. මෙය විනාශදායක වෛරී ජනප්‍රියවාදයක ලක්ෂණය නො වන්නේ ද? ගාලු මුවදොර වාඩි ලා සිටීමේ ක්‍රියාවලිය තුළ දී ද මේ බව පැහැදිලිව දක්නට ලැබිණි. එහි දී බුද්ධිමය වටිනාකම් නො සලකන අතර එවැනි මත දරන්නන්ට පහර දී අවමන් කිරීම සිදු වේ. තව ද දැනුම හා කරුණු යන සාධක කෙරෙහි උදාසීනභාවයක් පෙන්වීම සිදු වන අතර තම මතයට එරෙහි වන්නන් ද්‍රෝහීන් ලෙස සලකයි. ඔවුන් ලබා ගන්නා අයුතු ප්‍රතිලාභ තමන්ට යොමු කළ යුතු බවත් එමඟින් රට ජාතිය ගොඩ නැගිය හැකි බවත් ඔවුන්ගේ විශ්වාසය බව පෙනේ. තුන් වන කරුණ නම් අවුල විසඳීම සඳහා පිළිබඳ පවතින ප්‍රාර්ථනා සහගතභාවය යි. මේ සඳහා සමාජ හා දේශපාලනික ඉච්ඡාභංගත්වය බලපායි. බදු අය කිරීම අවම කර පඩි වැඩි කිරීම, රැකියා සුරක්ෂිතභාවය සහිත ආරක්ෂණවාදය මෙහි දී තීරණාත්මක සාධක ලෙස දැකිය හැකි ය. යහපත් අනාගතය මත වැඩි වශයෙන් පරායත්ත වන්නේ මොවුන් ය. පාවෙන ඡන්ද ලෙස මෙතෙක් හැඳින්වූයේ මෙම කාණ්ඩයේ පිරිස යි. තව ද තමන්ගේ විනෝදය කැප නො කරමින් තමන් අක්‍රිය ලෙස හිඳිමින් තමන් වෙනුවෙන් ක්‍රියාකාරී වන දේශපාලනඥයන් ඔවුහු ප්‍රර්ථනා කරති. ඔවුන් අප වෙනුවෙන් යහපත් රටක් ගොඩනගනු ඇතැයි යන්න ඔවුන්ගේ අදහස යි. ඉහත සාධක තුන ම සාර්වත්‍රිකභාවය ප්‍රතික්ෂේප කරන අතර තමන්ට අදාළ සුවිශේෂ විසඳුම් මත පමණක් පදනම් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා වටිනාකම්, පොදු යහපත, බුද්ධිමතුන්ට එරෙහි වාචික හා ශාරීරික ප්‍රහාර යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා සමානාත්මතා විරෝධී දේශපාලන සමාජයක ලක්ෂණ ඉස්මතු වීම ය. තමන්ගේ පුද්ගලික ආර්ථික අභිලාෂ වෙනුවෙන් දේශපාලනය හීන කිරීම මෙමඟින් සිදු වේ. එමෙන් ම සෑම මිනිස් ක්‍රියාකාරකමක් ම වෙළඳපොළ හේතුවක් මත ගනු ලබන ක්‍රියාවක් බවට පත්ව ඇත. “රට හැදීම” යනු මාධ්‍ය මඟින් නිපදවා අලෙවි කරන තවත් එක් භාණ්ඩයක් බවට පත්ව ඇත. මේ මොහොතේ මට වැඩි ලාභයක් ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතරින් කිනම් අයෙකුට ඡන්දය ප්‍රකාශ කළොත් ද? යන්න දේශපාලන පාරිභෝගිකයාගේ ගැටලුව බවට පත් වී ඇත. මෙය රටේ ආර්ථිකයට අදාළ කරුණක් නො ව මනෝවිශ්ලේෂණයට අනුව අතිරික්ත විනෝදයට (ලුබ්ධි ආර්ථිකයට) අදාළ කරුණකි. වටිනාකම හා විනෝදය මත සෑම දෙයක් ම පරායත්‍ත වන විට ආහාර ගැනීමේ සිට අධ්‍යාපනය ලැබීම දක්වා සියලු දේ සමපේක්ෂණ ආයෝජන බවට පත් වී ඇත. සමාජ සාධාරණත්වය වෙනුවට චම්පික රණවකගේ සිට බොහෝ දෙනා කතා කරනු ලබන්නේ වෙළඳපළ සාධාරණත්වය ය. එහි දී ආරක්ෂණවාදයේ සිට සර්වාධිකාරීවාදය පිළිබඳ අදහස් පළ වේ. අප වටහා ගත යුත්තේ නවලිබරල්වාදය සමාජ ආර්ථික ඉච්ඡාභංගත්වය, අස්ථිරභාවය ඇති කරන විට එයට පිළිතුරක් ලෙස ජාතිකවාදී, ආරක්ෂණවාදී, සර්වාධිකාරී පාලනය පිළිබඳ බලාපොරොත්තු ද එමඟින් ඇති කරවන බව ය. එමෙන් ම මෙම කතිකාවේ දී දේශපාලන හා සමාජ සාධාරණත්වය වෙළඳපොළ සාධාරණත්වය බවට ඌනනය කර ඇති අතර ඒ වෙනුවට රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය පිළිතුරක් ලෙස යෝජනා කෙරී ඇත.

ජාජබ නමින් ජනප්‍රියවාදී දේශපාලනයට අවතීර්ණ වී සිටින ජවිපෙ පසුගිය මැතිවරණවල දී හා ඔවුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී පෙනී යන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර අවිඥානක තර්කනය යොමු වන්නේ ඔවුන්ගේ හැකියාව කෙරෙහි නො ව නො හැකියාව කෙරෙහි බව ය. මෙහි දී බලාපොරොත්තු සහගතභාවය වෙනුවට ආන්තික, අසමත්භාවය දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රකාශන තුළ බලාපොරොත්තු සහගතභාවයක් තිබුණ ද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ පවතින්නේ අසමත්භාවයකි. මෙම අවිඥානක තර්කනය මෙම මැතිවරණ ක්‍රියාවලියේ දී ඔවුන් හඳුනා ගෙන නැතිනම් බලය ලබා ගැනීම සඳහා නො ව බලය මග හැරීම සඳහා මෙවර ද ඔවුන්ගේ ක්‍රියා යොමු වනු ඇත. තමන්ගේ දේශපාලන මතය හා දේශපාලන භාවිතාව තුළ තමන්ගේ මනස තීරණාත්මක ය යන කරුණ බැහැර කිරීම ඔවුන්ගේ මුලාවයි. සවිඥානක බලය ලබා ගැනීමේ අපේක්ෂාව අභිබවා බලය මගහැරීමේ අවිඥානක ක්‍රියාව ඔවුන්ගේ භාවිතය තුළ මෙතෙක් ප්‍රමුඛ වී ඇත්තේ එම නිසා ය. මෙම අවිඥානක තර්කනය ඔවුන්ගේ අභ්‍යන්තර බෙදීමක් ලෙස වුව ද මතු විය හැක. ඇතැම් විට ප්‍රසිද්ධියේ පිළිගැනීමට අකමැති, අවරෝධනය කළ තමන්ගේ අතීත ක්‍රියාකාරකම් පුනරාවර්තනීය ලෙස මතු වෙමින් ආත්මීය වශයෙන් ඔවුන්ට දඬුවම් කරනවා විය හැකි ය. එසේත් නැතිනම් ගෝලීය ලිබරල් ධනවාදය අභිමුව එම පක්ෂයේ නායකයන්ගේ පංතිම ය මානයේ ප්‍රකශනය මෙය විය හැකි ය. කිසි දා නො පැවැති වස්තුවක් ලබා ගැනීමට යාමේ දී මතු වන මතිභ්‍රම ඔවුන්ගේ සංවිධාන ආකෘතිය බවට පත් වී ඇතිවා විය හැක. එනම්, ඔවුන්ගේ විනෝද මාදිලිය එය විය හැක. එබැවින් අතීත වරදකාරීත්වය හා ධනවාදී ආශාව අතර උභතෝකෝටිකය විසඳා ගැනීම මත ජාජබයේ අනාගතය තීරණය වනු ඇත.

වර්තමාන තත්ත්වය සඳහා බලපාන ධනවාදී කතිකාවේ ආචරණය, භ්‍රමක තෙරපුම (drive) සහ ආත්මමූලිකත්වයේ මානය මීළඟ ලිපියෙන් විමසා බලමු.

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ.

 

ඔබේ අදහස කියන්න...