There is a whole movement that is still creating a big revolution- the movement called structuralism..තවමත් විශාල විප්ලවයක් නිර්මානය කරන ව්යාපාරය = ව්යුහවාදය .

80 දශකය අග භාගය වන විට ව්‍යුහවාදය ලංකාවට හදුන්වාදීමත් සමග බොහෝ බුද්ධිමතුන් සහ වාමාංශිකයන් එම දැනුම සමග අනන්‍ය විය. ඒ අනුව දශක 3 ක් පුරා විවිධ පුද්ගලයන් ව්‍යුහවාදය පංති වලට සහභාගී වීම, ව්‍යුහවාදය ඉගැන්වීම, ව්‍යුහවාදය පිළිබද ලිපි සහ  නිබන්ධන ලිවීම, සහ  ඒ පිළිබද සාකච්ජා සහ දේශනා පැවැත්වීම අත්දකින්නට  ලැබිණ.එසේ පසුකල යුගය දෙස කල්පනාවෙන් යුතුව ආපසු හැරී බැලීමේදී පෙනී යන දෙයක් තිබේ. එනම් ව්‍යුහවාදය පිළිබද කවුරු මොනවා කීවත් කිසිවෙක් ව්‍යුහවාදය නොදන්නා බවයි. අප මෙම ප්‍රකාශය කරනු ලබන්නේ පදනමක් සහිතවය. ව්‍යුහවාදය ගැන කතා කරන බොහෝ දෙනා මුලික ගැටළු 3ක් පිළිබද අවිඥානිකය. ඔවුන් මෙම සරළ ප්‍රශ්න වරනගන්නේ නැත. එම ප්‍රශ්න තමන්ට එල්ල කල විට මගහැරීමට යාමට උත්සහ කරයි. ව්‍යුහවාදය පිළිබද මෙතෙක් කල් අප නොඇසූ මෙම ප්‍රශ්න මොනවාදැයි සලකා බලමු.

  1. ව්‍යුහය යනු කුමක්ද ?
  2. ව්‍යුහවාදය යනු කුමක්ද ?
  3. සොෂියර් ගේ ව්‍යුහවාදයේ මුලික හරය කුමක්ද ?

ගණිතය විෂය අධ්‍යනයේදී කලනය අපට හමුවෙයි. උ. පෙළ සංයුක්ත ගණිතය සදහා A සාමාර්ථයක් ලබා ගන්නා ශිෂ්‍යයෙකු කලනය අශිත්‍ර ගණිත ගැටළු විසදීමට දක්ෂයෙකු වෙයි. නමුත් ඔහු/ඇය  කලනය නම් සංකල්පය කුමදැයි නොදනී. කලනය යනු අඛණ්ඩව වෙනස් වන යමක් පිළිබද අධ්‍යයනය කිරීමේ විධිමත් ගණිතමය ක්‍රමවේදයයි. ලංකාවේ විෂය නිර්දේශය මගින් මෙවැනි සංකල්පීය අවබෝධයක් ශිෂ්‍යාට ලබා දීම සිදු නොකරයි. මේ නිසා උසස් අධ්‍යාපනය මගින් බිහි වන්නේ බුද්ධිමතුන් නොව එකිනෙකා පරයමින් හම්බකිරීමට පොරකන කුහකයන් පිරිසකි. මෙම තර්කනය ව්‍යුහවාදයටද අදාලය. සර ගණනාවක් ව්‍යුහවාදය අධ්‍යනය කරන සංවිධාන සාමාජිකයෙකු තම ගුරුවරයාගෙන් ව්‍යුහය යනු කුමක්ද යන මුලික ප්‍රශ්නය නොඅසයි.

ව්‍යුහය යනු කිසියම් සමස්තයක ඒකක අතර පවතින අන්තර් සම්බන්ධයි. උදාහරණයකට කිසියම් ජන සමාජයක් ගොඩනැගී ඇති කුඩාම ඒකකය වන්නේ පවුලයි. මෙම පවුල් අතර අන්තර් සම්බන්ධය ව්‍යුහයකි. මෙවැනි පවුල් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක අන්තර් සම්බන්ධය මගින් ගොඩනැගෙන සමස්ථය යනු ලාංකික සමාජයයි. මෙම සමාජයට ඇත්තේ ඒකක වලට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංගය. කෙනෙකුට  පවුලක් සලකා බලා  එහි ගුණාංග මගින් සමස්ත සමාජයේ ලක්ෂණ පුරෝකථනය කල නොහැක. පවුලක් ජීවත් වන කුටුම්භය පිරිසිදුය. ලස්සනය. නමුත් මෙම පවුල් අතර අන්තර් සම්බන්ධය මගින් ගොඩනැගෙන නගරය අපිරිසිදුය. අවලස්සනය. කුණුකදු වලින් පිරී ඇත. පවුලට අතිශයිම ආදරය කරන පුද්ගලයන් කුණු කදු වල දුගද දැනෙන විට නහය වසා ගනී. එක පැත්තකින් මේ එකම කාසියක දෙපැත්තයි.

ව්‍යුහවාදයට අදාළ මීලග ගැටලුව වන්නේ ව්‍යුහවාදය  යනු කුමක්ද යන්නයි. ව්‍යුහවදියා යනු කවුද යන ගැටලුවද මීට සම්බන්ධය. ව්‍යුහවාදය යනු සමස්තයක ඒකක අතර අනතර් සම්බන්ධයේ පොදුභාවයන් පිළිබද අධ්‍යයනය කිරීමේ විධිමත් ක්‍රමයයි. ඒ අනුව ව්‍යුහවදියෙකු යනු සමස්තයක ඒකක අතර ඇති සංකීර්ණ අන්තර් සම්බන්ධතාවල පොදුභාවය ගවේෂණය කරන්නෙකු වේ.  මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට කාර්යබහුල නගරයක් සිහිපත් කරන්න. ලංකාවේ නම් මෙවැනි නගරයක ප්‍රධාන මංසන්ධි වල විශාල වාහන තදබදයක් පවතී. වාහන පොදියක් කුඩා අවකාශයක සිර වී ඇත. පදික වේදිකා නැත. තිබුනත් මිනිසුන් තමන්ට කැමති තැන් වලින් ගමන් කරයි. පාර මැද හිටගෙන කතා කරයි. වීදි දෙපස විවිධාකාරයේ කඩ සාප්පුය. ඒවායේ වෙළද දැන්වීම් පුවරු හතර අතේය. ව්‍යුහවදියෙකු ලෙස මෙම සංකීර්ණ අන්තර් සම්බන්ධය දෙස කල්පනාවෙන් යුතුව නිරීක්ෂණය කිරීමෙන්   ගවේෂණය කල හැකි පොදුභාවය වන්නේ ව්‍යුහයේ ඇති අවිධිමත් බවයි. දැන් අප වීදියක  ඇති බොහෝ ලාංකියන් යන එන හෝටලයකට ගොඩ වැදෙමු. හෝටලට ඇතුළු වන විටම කුඩා කුටියක කුඩු කර ඇති මුර බල්ලෙකු මෙන් අයකැමිවරයෙක් සිටී.  බොහෝ විට මේ හෝටලයේ හිමිකරුවාය. හෝටලයේ ඉදිරිපස තරමක් පිළිවෙලය. අලංකාරවත්ය. නමුත් එහි ඇතුලට යන විට පෙනෙන්නේ කුමක්ද. දුවිලි තට්ටු බැදුණු කළු පැහැ ගැන්වුණු බිත්ති, අපිරිසිදු පොලොව, මැස්සන්, කැරපොත්තන් , කුස්සියේ තැන් තැන් වල විසිරිනු භාජන, අහාර සහ  එළවලු, අපිරිසිදු සේවකයන්, කුණු ගොඩවල් සහ පිළිණු අහාර වලින් හමන දුගද, ඉතා අපිරිසිදු වැසිකිලිය, පිළිකන්නෙන් හමා එන මුත්‍රා ගද . මේ ලාංකිකයන්ගේ පොදු අවන්හලක ලක්ෂණයි. ව්‍යුහවාදීන්   ලෙස මෙම නිරීක්ෂණයෙන්  අපට ගම්‍ය වන්නේ කුමක්ද?හෝටලයක් යනු පුද්ගලයකු හම්බකරගන්නා තැනක් මිස පාරිභෝගිකයන්ට අහාර පාන සහ විවේකය ලබා දෙන සේවා ස්ථානයක් නොවේ. මේවාට යන එන පාරිභෝගිකයන් යනු සිහි බුද්ධියක් ඇති මිනිසුන් නොව අමු මෝඩයන් පිරිසකි.

පොදුභාවය පිළිබද සාකච්ජා කිරීමේදී අපට තවත් වැදගත් කරුණක් මතුකළ හැක. එනම් ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් යනු ‘අවම සමුහිකත්වයකට තිබෙන එකගතාවය’ දර්ශකයක් ලෙස ගත් විට ඉතාම අඩු රටවල් වේ. යුරෝපයේ නම් ඕනෑම අවන්හලක මෙනු පත සහ අදාළ මිල ඇතුළු වන දොරටුව අසල ප්‍රදර්ශනය කර තිබේ. අවන්හලක් ඉතා පිරිසිදු වන අතර සනීපාරක්ෂාව, සහ අහාර වල පිරිසිදු බව ඉතා ඉහලය. පාරේ වාහන නතර වී ඇති විට ඒවා අතර එක සමාන පරතරයක් ඇත. එමෙන්ම ඒවා එක දිගට පෙළ ගැසී ඇති අතර අස්සවල් වලින් ත්‍රී වීල් බයික් දාන්නේ නැත. තැන් තැන් වල එකිනෙකා තමන්ට අවශ්‍ය ආකාරයට නිවාස ඉදි කරන්නේ නැත. සියලු නිවාස, මාර්ග, කඩ සාප්පු පොදු සැලැස්මකට අනුව ගොඩ නගා ඇත.

දැන් අප තෙවැනි ගැටලුව වෙත යොමු වෙමු. ව්‍යුහවාදයට සෝෂියර් ගේ භාෂා විද්‍යා අධ්‍යයන කෘතිය මගින් ඉදිරිපත් කරන මුලික හරය ඉතාමත් සරලය. ‘පුද්ගලයා භාෂා ලෝකයට ඇතුළු වීම මගින් මුලික ව්‍යුහයකට ඇතුළු වේ. මින් මතු ඔහුගේ සියලුම අදහස් තුල  භාෂාව  නම් පොදුභාවය දැකිය හැක. භාෂාව යනු සාර්වත්‍රිකකයකි. එය වෙනස් කම් වල එකතුවකින් ගොඩනැගුන පද්ධතියකි’. සොෂියර්ගේ ඉගැන්වීම් වල මුලික හරය එයයි. නමුත් ලංකාවේදී මෙම දැනුම විශාල අපගමනයන්ට ලක් වී ඇති බවට බොහෝ සාක්ෂි ඇත.

නලීන් සුවාරිස් ‘ඩී සෝෂියර් ගේ සම්භාව්‍ය භාෂා ශාස්ත්‍රය පිළිබද විවේචනය’ යන මැයෙන් ප්‍රවාද සගරාවකට ලියන ලද ලිපියක් සලකා බලමු. ඇත්තටම මෙය සොෂියර් පිළිබද විවේචනයක් නොව නලීන් සුවාරිස්ගේම  නොදැනුවත් භාවය පිළිබද විවේචනයකි. ලිපියේ තැනක ඔහු මෙසේ කියනවා. ‘ඩී සොෂියර් තේරුම් කර ගත්තා ශබ්දයක අර්ථය ඇති වන්නේ ඒ ශබ්දය තුලින් නෙවෙයි ශබ්ද අතර වෙනස ඇසෙන නිසා කියලා’. ඇත්තටම මේ වාක්‍ය  පවා වැරදියි. අපට ඇසෙන්නේ ශබ්ද මිස ශබ්ද අතර වෙනස නොවේ. මී ලගට ඔහු සොෂියර්ගේ මුලික අදහස් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමින් කියන දේ උපුටා දක්වමු.  ‘ ඩී සොශියර්ගේ සංඥා මුලධර්මයට ඉතිහාසයක් තියෙනවා ඔහු මෙයින් කතෝලික දේව ධර්මයේ ඇරිස්ටෝටල් මගින් ඇති කරපු සංස්කරණය න්‍යායට ලෞකික මුවාවෙන් නව ජීවයක් දුන්නා’. සොෂියර්ගේ කෘතිය කියවා ඇති කෙනෙකු දන්නා පරිදි  ඔහු කිසිම තැනක කතෝලික දේව ධර්මය හෝ ඇරිස්ටෝටල් ගැන සදහන් නොකරයි. නලීන් සුවාරිස් තමා ඉගෙනගත් කතෝලික දේව  ධර්මය සමග සෝෂියර්, ඩෙරීඩා මෙන්ම ලැකාන් ද මෙම ලිපිය තුල කලවම් කර ‘මික්ස් කොත්තුවක්’ ගසා ඇති බව ලිපිය තව දුරටත් කියවීමේදී පැහැදිලි වෙයි. මේ ව්‍යුහවාදය පිළිබද විශ්ව විද්‍යාල බුද්ධිමතුන්ගේ දැනුමේ  තත්වයයි.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම තම ආචාර්ය උපාධි තිසීසය වන  The post- Structuralist Analysis of the Language  මගින් සම්මත ඉංග්‍රීසි භාෂාව සහ එහි නව ප්‍රභේදයන් පිළිබද විශ්ලේෂණය කරයි.  භෂාව = ප්‍රබුද්ධ භෂාව + නව ප්‍රභේද -වැරදි ඉංග්‍රීසි . මෙම තිසිසය සදහා උපදෙස් ලබා දෙනු ලබන්නේ ගයත්‍රී ස්පිවැක් විසිනි. එනම් ඩෙරීඩාගේ Of  Grammatology කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කල ඉන්දියානු මහාචාර්ය වරියයි.  භෂා අතර එක් භාෂාවක් අනෙක් භාෂාවකට වඩා වැදගත් හෝ නිවැරදි වන බව සැලකීම සොෂියර්ට අනුව මුලිකම වැරැද්දකි. භාෂාව ජන සමුහයක් සතු දෙයකි. එය වෙනස් කිරීමට , භාවිතාවට පහසු වචන යොදා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. සාර්වත්‍රිකයක් ලෙස භාෂාව සලකන විට උසස් භාෂා , පහත් භාෂා නොපවතී. ඇත්තේ වෙනස්කම් වල එකතුවක් පමණි. එසේ නම් අර්ජුන පරාක්‍රමගේ අචාර්ය උපාධි තිසීසයේ මාතෘකාව පවා වැරදිය. ඔහුගේ අධ්‍යයනය post-structuralist නොව pre-Structurelist වේ. එය දෘෂ්ටිවාදයක් මිස න්‍යායයක් නොවේ.

ව්‍යුහවාදය අධ්‍යයනය සමග දශක ගණනාවක් පොර බැද අද අප නිවැරදි අවබෝධයට ළගා වී ඇත. වැරදීම් සිදුකල සියලු දෙනා අපට විශාල පාඩමක් කියා දුන්නේය. ඇතැම් විට ඔවුන් අපගේ ගමනට ඔවුන් ආලෝකයක් සැපයුවා වැනිය. දැන් අප මේ දැනුම සමාජ ගත කිරීමට සුදානම්ය.

Anushka

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. //ඔවුන් ආලෝකයක් සැපයුවා වැනිය. දැන් අප මේ දැනුම සමාජ ගත කිරීමට සුදානම්ය.//දැන් මේ කරමින් යන්නේ එය නොවේද?

  2. අනුෂ්ක/අනුෂ්කා,
    ලිපියට ගොඩක් ස්තුතියි. ඔබ ඉදිරිපත් කර ඇති උදාහරණ වලින් ඔබ ඉදිරිපත් කරන මුලික ප්‍රශ්ණ තුන හොඳින් පැහැදිලි වෙනවා. ඒ වුනත් තව ඉදිරියට සමාජ හෝ දේශපාලනික උදාහරණ කිහිපයක් මගින් පැහැදිලි කිරීමක් කරොත් අපගේ දැනුම තහවුරු කරගන්නට ඒක ගොඩක් උපකාර වේවි.

    හැබැයි මට ඔබ කියන යුරෝපයේ හෝ බටහිර හෝටල් වල පිරිසිදු කම , පාරවල් වල නිතිය පිළිපැදීම, සහ අනෙකුත් දේවල ඇති ‘පිළිවෙල’ ගැන එකඟ වෙන්න ටිඅක අමාරුයි මොකද මන් දන්නා තරමින් මෙහෙ වගේ ඒ දේවල් කොහෙත් තියනවා.

    ඔබ ආචාර්ය නලින් සුවාරිස් පමණක් නොව මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ පවා දැනුම අභියෝගයට ලක්කිරීම සහ එසේ කිරීම සඳහා ඔබගේ දැනුම ගැන ඔබට ඇති ආත්ම විශ්වාශය ඉතා ප්‍රශන්ශනීයයි. මම දීප්ති තුලත් දැකපු ඉතා ආකර්ශනීය ගුණයක් තමයි “බුද්ධිමතුන්’ වශයෙන් අප සමාජය විසින් ඔටුනු පැලඳු ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ දැනුම ගැන අභියෝග කරන්නට දීප්තිට ඇති හැකියාව සහ නිර්භීත කම.

    නැවතත් ස්තුතියි.

Comments are closed.