අද පළ වන්නේ මහේෂ් හපුගොඩ සමග පවත්වන ‘ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනයක්’ සාකච්ඡා මාලාවේ දහවන කොටස යි.

හෙගලියානු දර්ශනය සහ හෙගලියානු අභාෂය  ජිජැක්ට බලපෑ අන්දම අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. ජිජැක්ට සහ ජිජැක්ගේ දර්ශනයට මාක්ස් බලපෑවේ කෙසේ ද?

මාක්ස් ජිජැක්ට බලපාන්නේ inspiration (ආශ්වාදයක්) විදියට. පළමු කාරණාව බලපෑවේ දාර්ශනිකව නම් මාක්ස් නමැති කාරණාව ඔහුට බලපාන්නේ උත්ප්‍රේරණයක් විදියට.  තවත් විදියකට කියනවා නම් ආශක්ත වීමක් විදියට; දේශපාලන ආශක්තවීමක් විදියට කිව්වොත් වඩාත් නිවැරැදියි.

අපේ චින්තනයේ සීමාව සැලසුම් කරන්නේ කවුද? එය සීමා කරන්නේ ධනවාදය. ධනවාදය විසින් අපට නිමකර දී තිබෙන්නේ මෙවැනි රාමුවක්. එනම්, අපේ අදහස්වල සීමාව, අපේ චින්තනයේ සීමාව සැලසුම් කර තිබෙන්නේ ධනවාදය. මෙහි ඊළඟ අර්ථය වන්නේ මීට වඩා අපට සිතිය නොහැකි ය යන්න. එහි වඩාත් ගැඹුරු අදහස වෙන්නෙ ‘මෙම සීමාවෙන් ඔබ්බට මිනිස් සමාජයේ පරිනාමය සහ චින්තනයේ පරිනාමය අවසන්ය’ යන්නයි. ෆුකොයාමා පැවසුවෙත් මේ කාරණයම යි. එනම්, ‘ඔබගේ චින්තනය අවසන්. ඔබට තව දුරටත් සිතීමට කිසිවක් නැත. අපි ඔබගේ පරිපූර්ණ සමාජය නිමවා ඇත.’ එහෙනම් අපි අහවල් දේට ද තවත් හිතන්නෙ…? 

‘මේ පාරිභෝගික භාණ්ඩ සමග ඔබ විනෝද වන්න. ඔබට අවශ්‍යය සෑම දෙයක් ම මේ වන විට වෙළෙඳපළෙහි තිබෙනවා. ඔබට අවශ්‍යය ලිංගිකත්වය ද? එය වෙළෙඳපොළේ තිබෙනවා. ඔබට අවශ්‍යය සියලු ආහාරපානාදි ය වෙළෙඳෙපොළේ තිබෙනවා. ඔබට අවශ්‍යය දැනුම ද? එයත් වෙළෙඳපොළේ තිබෙනවා. එපමණක් නොවෙයි, ඔබට අවශ්‍යය ශාස්ත්‍රීය දැනුම ද? එයද වෙළෙඳපොළේ තිබෙනවා. එසේ නම් ඔබට අවශ්‍යය කරන දේවලින් වෙළෙඳපොළේ නැත්තේ මොනවාද? සෑම දෙයක් ම තිබෙනවා. එහෙම නම් ඔබ දුක් වෙන්නේ ඇයි? අපි ඔබට අවශ්‍යය සියල්ල සපයා දී තිබෙනවා. ඔබගේ පරිපූර්ණ ලෝකය, ඔබගේ ෆැන්ටසිය අපි නිෂ්පාදනය කර දී තිබෙනවා. ඔබ එය මිලදි ගන්න. මිලදි ගෙන, පරිභෝජනය කර නිහඬව සිටින්න.’ ධනවාදයේ නියාමනය වෙන්නේ මෙය යි.  

අපි හැමෝගෙම අවසානම ඉලක්කය වෙන්නෙ ආශාවනෙ. ඔබෙත් මගෙත් ආශාවට අවශ්‍යය සියල්ල ම ධනවාදය විසින් නිෂ්පාදනය කර දී තිබෙනවා නම්: ඔබ, මම සහ අපි තවත් ඉල්ලා සිටින්නේ මොනවා ද…? 

‘අපේ අදහස්වල සීමාව, අපේ ෆැන්ටසියේ සීමාව, අපි ෆැන්ටසිය හඹාගෙන යන සීමාව ධනවාදව විසින් නිර්ණය කර තිබෙනවා. මේ සියල්ල එසේ නිර්මාණය කර තිබෙන විට අපේ චින්තනයේ සීමාව ද එතැනම නීර්ණය කර තිබෙනවා.’ යන කාරණය අපි පවසන්නේ මෙන්න මේ නිසයි. මාක්ස් පැමිණෙන්නේ මෙන්න මෙතැනට. අපිට මාක්ස් වැදගත් වෙන්නේ මෙන්න මේ නිමේෂයේ දී; ජිජැක්ට මාක්ස් වැදගත් වෙන්නෙත් මෙ නිමේෂයේ දී. මේ අන් කිසිවක් නොවේ. එනම් දෘෂ්ටිවාදය යි.

‘භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම තුළින් ඔබගේ ෆැන්ටසිය පරිපූර්ණත්වයට පත්කිරීම තුළින් ධනවාදය ඔබට පරිපූර්ණ සමාජය නිෂ්පාදනය කර තිබෙනවාය’ යන ස්ථානය මාක්ස් හඳුනා ගන්නේ දෘෂ්ටිවාදයක් විදියටයි. මාක්ස් ජිජැක්ට බලපාන්නේ මෙන්න මේ මොහොතේදි. එනම්, සමාජයේ විකල්පයක් සොයාගැනීම ධනවාදය විසින් නවතා දමා ඇති මොහොතක, සමාජ විකල්පයක් සඳහා අවශ්‍යය කතිකාව තව දුරටත් විකාශනය වීමේ හෝ කිරීමේ භෞතික අවශ්‍යතාවක් නෑ. යනුවෙන් මාක්ස්වාදය දිගින් දිගටම පවසන මොහොතකයි අපිට මාක්ස් හරහා ජිජැක් මුණ ගැසෙන්නේ.

සමාජය නැවත සංවිධානය කරනවා නම් අප කළ යුත්තේ කුමක් ද?

එසේ නම් ධනවාදය නැවත වටහා ගත යුතුයි. අපිට සිතීමට බොහෝ දේ තිබෙන බව අපේ පළමු සාකච්ඡාවේ දී මම ප්‍රකාශ කළේ ඒ නිසයි. මොකද වර්තමානයේ අපි ජීවත් වෙන්නේ දෘෂ්ටිවාදි මොහොතක. ඒ නිසා අපි නැවත නැවතත් සිතිය යුතුයි. දැන් අපි මාක්ස් ‍පිළිබඳ ජිජැක් ගෙනෙන අවසන් අදහස වෙත යොමු වෙමු.

සමාජ යාන්ත්‍රණයක් තේරුම් ගැනීමට අවශ්‍යය දාර්ශනික ක්‍රමයක් ලෙස මාක්ස්වාදය ඉතා විශාල ප්‍රමාණයේ කාර්යයක් කරන බව ජිජැක් පිළිගන්නවා. ඒ අතර ම ඔහු මෙබඳු අදහසකුත් ඉදිරිපත් කරනවා. එනම්, සමාජ යාන්ත්‍රණයක් තේරුම් ගැනීමට එය උපකාරි වුණත් පුද්ගලයන්ගේ ක්‍රියාත්මක භාවය තේරුම් ගැනීමට කළ යුත්තේ කුමක් ද? මාක්ස්ගේ මූලික අදහස වන්නේ ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර සම්බන්ධය යි. එහෙම නම් සමාජ යාන්ත්‍රණය තේරුම් ගැනීම සඳහා මාක්ස් ගේ තර්කය තේරුම් ගැනීම සඳහා ඔහුගේ තර්කය අතිශයින් ප්‍රමාණවත්. ලාබය උපයන්නේ කෙකෙස්ද? ප්‍රාග්ධනය ගොඩනැගෙන්නේ කොහොමද? ප්‍රාග්ධනය ගෝලය වටා සංසරණය වෙන්නේ කොහොමද? මේ කාරණා වටහා ගැනීමේ දී මාක්ස් යා හැකි උපරිම දුර ගොස් තිබෙනවා. නමුත් ජිජැක් මෙබඳු යමක් හඳුනා ගන්නවා. සමාජ ක්‍රමයක් ලෙස මෙය විශාල වශයෙන් තේරුම්ගත හැකි වුව ද මිනිස්සු ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට මේ ක්‍රමය ප්‍රමාණවත්ද යන කාරණය. මෙතනදි ජිජැක් ගේන අදහස වෙන්නේ ‘නැහැ  අපි එතැනින් තව ටිකක් ඉදිරියට යමු’ යන්න ය.

මාක්ස් ගිය දුරට වඩා තව අඩියක් යා යුතුයි කියා ඔහු යෝජනා කරන්නේ කොතනදිද?

මේ සමාජ යාන්ත්‍රණය තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නැත යනුවෙන් හඳුනා ගන්නා ස්ථානයේ දී. මෙය තවත් විදියකට ප්‍රකාශ කරනවානම්, සමාජ යාන්ත්‍රණයක් [social aspect] පිළිබඳ දර්ශනයක් ලෙස මාක්ස්වාදයේ එසේ ම පවතිද්දී පුද්ගල ක්‍රියාත්මක භාවය, සමස්ත ක්‍රමයට පුද්ගලයන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? පුද්ගල නිර්වින්දන භාවය, පුද්ගල අක්‍රීය භාවය, පුද්ගලයාගේ දෘෂ්ටිමය මංමුළා වීම, මිථ්‍යාව යනාදි කාරණා සමග ඔහු යෝජනා කරන්නේ අපි මනෝ විශ්ලේෂණය වෙත යා යුතු බවයි.

මේ පියවර කිහිපය ඔබට වැටහෙනවා ඇතැයි මම විශ්වාස කරනවා. එනම් මාක්ස් ගිය දුර ප්‍රමාණයෙන් මඳක් ඔබ්බට ජිජැක් ගමන් කරන්නේ කා දෙසට ද? කුමක් සඳහා ද යන කාරණය. තව දුරටත් විග්‍රහ කරනවා නම් ජිජැක් ලකාන් දෙසට ගමන් කරන්නේ ඇයි ද යන කාරණය. මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීමක් හෝ එය වටහා ගැනීමට අපහසු දර්ශනයක් යැයි පැවසීමක් මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. මාක්වාදි දර්ශනයට පිරිනැමිය යුතු උපරිම ගෞරවය එයට පිරිනමන අතර ම සමාජය ඊට වඩා පරිනාමය වෙමින් පවතින නිසා ම, ධනවාදය තුළ පුද්ගල පරිනාමය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතින නිසා ම ඉතාමත් ප්‍රවේශමෙන් මාක්ස්වාදය ඉදිරියට රැගෙන යා යුතු කොටස අපි හඳුනා ගතයුතුව තිබෙනවා. මාක්ස්වාදය ප්‍රතික්ෂේප විමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මෙයින් අදහස් නොකරන බව යළි යළිත් පවසන්නේ එ’නිසයි.  

මෙහි දී අපි කුඩා අදහසක් දෙස අවධානය යොමු කරමු. ඒ, ඇලන් බදියු නමැති මාක්ස්වාදි දාර්ශනිකයා මේ සම්බන්ධයෙන් ලිය අදහස. ලංකාවේ කිසිවකු මෙය ඉදිරියට රැගෙන ආවෙ නැහැ කියල මම විශ්වාස කරනවා. (‘The Communist Hypothesis’ (2010) by Alan Badiou ) නමැති කෘතියේ ඔහු එක වාක්‍යයක් කියනවා.  ‘විසිවන සියවසේ අත්දැකීමක් ලෙස, අත්හදා බැලීමක් ලෙස ඒ සියවසේ මානව ඉතිහාසය තුළ, මානව වංශය තුළ එසේත් නොමැති නම් අපේ පරිනාමය තුළ අපි කළ අත් හදා බැලීමක් ලෙස  මාක්ස්වාදයේ නෂ්ටාවශේෂ දෙස බැලූ විට එම අත්දැකීම එක්තරා ආකාරයක දුක්ඛදායක අත් දැකීමකි; අපොහොසත් වීමකි; අසමත් වීමකි. නමුත් මේ අපොහොසත් විම නිසා ම, යම් අත් හදා බැලීමක් අපොහොසත් වූ පමණින් ම මාක්ස්වාදය එසේත් නොමැති නම් කමියුනිස්ට්වාදය සංකල්ප පද්ධතියක් ලෙස තව දුරටත් වලංගු නැතැයි පැවසීම වලංගුද?’

නායකයා කවුද යන්න වැදගත් වෙන්නත් මෙම ආස්ථානයේ දී. ලබන සතියේ දි ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරමු.

නිවැරදි කිරීමයි 

 පසුගිය සතියෙ පළ වූ ලිපියේ ‘‘ඔටෝ එනිංගල්’’ සහ‘Section character’ යන්න ’’ ඔටෝ වෙනින්ගර්  (Otto Weininger) Sex and Character (1906) යනුවෙන් නිවැරැදි විය යුතුය. 

 

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 05 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 06 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 07 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 08 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 09 මෙතනින් කියවන්න

 

 

ඔබේ අදහස කියන්න...