විසිඑක් වන සියවසේ මුල් දශකයේ ලංකාවේ නාගරික දේශපාලන කතිකාව තුල විකසිත වෙමින් තිබු නව දේශපාලන සම්ප්‍රදායට මේ වන විට ඉතා විශාල පිරිසක් ආකර්ෂණය වී තිබෙනු දක්නට ලැබේ. මෙම නව දේශපාලන චින්තනය බිහිවීමේ  පුරෝගාමී හැරවුම් ලක්ෂය වන්නේ X කණ්ඩායමේ බිහිවීමයි. එදා නුහුරු දෙයක්  වූ ‘හිස්ටීරියාව, ෆැන්ටසිය’ වැනි වචන අද බොහෝ දෙනා නිකම් පාරේ යන ගමන් පවා කතා කරනු අසන්නට ලැබේ. එදා කිසිවෙකුත් අසා නොතිබූ සොෂියර්,හේගල්, කාන්ට්, ලැකාන්, ඩෙරීඩා,ජිජැක් ආදී දාර්ශනිකයන් අද බොහෝ දෙනාගේ මුතුන්මිත්තන් බවට පත් වී ඇත. ග්‍රාම්ස්චි මෙලොවින් සමුගත් දිනය ග්‍රම්ස්චිගේ  ඥාතීන්ටත් වඩා ඉහලින් ලාංකිකයන් විසින් සමරනු ලබයි. පැරණි වමේ මාක්ස්වාදී දර්ශනය මෙන් X දේශපාලනය විසින් බිහි කරන දර්ශනය මගින් ලාංකිකයා අඳූරෙන් ආලෝකයට රැගෙන යනු ඇතැයි යන පොදු බලාපොරොත්තුව  මේ දක්වා නොවෙනස්ව පවතී. ඒ අනුව X ව්‍යාපෘතිය යනු නුතනත්වය තුල ප්‍රබුද්ධත්වය (Enlightenment) සදහා වූ ප්‍රථම ලාංකික  ව්‍යාපෘතියයි.

1784 දී කාන්ට් විසින් රචිත ‘What is Enlightenment?’ නමැති වියමන  පිළිබද ෆුකෝ සහ ලැකාන් විසින් දක්වන අදහස් අතර කිසියම් සමරුපීතාවයක් ඇත. නුතනත්වයේ මුලධාර්මික ගතිලක්ෂණ හදුනාගැනීමේදී එම වියමනෙන් සාකච්ජා කරනු ලබන අදහස් තීරණාත්මක බව ෆුකෝ සදහන් කරයි. එමෙන්ම මනෝවිශ්ලේෂණය බිහිවීමේදී කාන්ට්ගේ බලපෑම ඉතා වැදගත් වූ බව ලැකාන් සදහන් කරයි. ඕනෑම අතාර්කිකභාවයකට එරෙහිව විද්‍යාව (බලය) විශ්වීයත්වයට නැගීමට එරෙහිව ෆුකෝ සිටගත්තේය (උදා: රෝගීන්, මානසික රෝගීන්, සිරකරුවන් ආදී අතාර්කික, අවිද්‍යාත්මක, අපගමනයට ලක්වූ පිරිස්). හුදු අහබු දේවල් ලෙස සලකා බැහැර කරනු ලැබූ සිහින, දිව පැටලීම්, රෝග ලක්ෂණ පිළිබද මනෝවිශ්ලේෂණය කතාකරයි.

බටහිර ප්‍රබුද්ධත්වය පිළිබද ඉතිහාසය ග්‍රීසිය දක්වා ගමන් කරයි. ඉන් එහා ඉතිහාසය යනු ශිෂ්ඨාචාරගත නොවූ මිනිසා ජීවත් වූ යුගයයි. රෝම අධිරාජ්‍ය බිහි වීමෙන් පසු ග්‍රීක ශිෂ්ටාචාරය කඩා වැටෙන අතර ඉන්පසු බිහිවන මධ්‍යතන යුගය යනු සියලු චින්තනයන් පල්ලියේ ආධිපත්‍යට යටත්ව පැවති යුගයයි. ඉන්පසු නුතනත්වයත් සමග බිහිවන නව ප්‍රබුද්ධත්ව  ව්‍යාපෘතිය නැවත ග්‍රීක දාර්ශනිකයන්ගේ  අභාෂය ලබයි. ධනවාදය බිහිවීමත් සමග ඊට එරෙහිව අරගල කිරීම සදහා බටහිර යුරෝපය තුල බිහිවන ප්‍රබුද්ධත්ව  ව්‍යාපෘතිය වන්නේ මාක්ස්වාදයයි. කාල් මාක්ස් මෙම ව්‍යාපෘතිය මගින්  බලාපොරොත්තු වන්නේ බටහිර මිනිසා අදුරෙන් ආලෝකය කරා රැගෙන යාමටය. ලෝක වාමාංශික ව්‍යාපාරය  පදනම් වන්නේ මාක්ස්ගේ දර්ශනය මතයි. මෙම ප්‍රබුද්ධත්ව  ව්‍යාපෘතිය බිහිවන පොළොව යුරෝපය වුවද අරගල ජයගනු ලැබුවේ රුසියාව , චීනය වැනි  පරිවාරයේ රට වලය. එය යුරෝපය තුල සාර්ථක නොවිණ. මෙම මාක්ස්වාදී ව්‍යාපෘතියම නොවෙනස්ව ලංකාවට ආනයනය වේ. එය ලංකාව තුල සලකනු ලබන්නේද ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියක් ලෙසය. එනම් දුක් විදින පීඩිත පන්තියේ ජනයා අදුරෙන් ආලෝකය කරා රැගෙන යන ව්‍යාපෘතියක් ලෙසය.

1935 සිට විසිවන සියවස අග දක්වා ලංකාවට ආනයනය වූ මාක්ස්වාදය නම් BMW මෝටර් රථය පිළිබද local engineers ලා වුයේ ඇන් . එම් ගේ සිට විජේවීර දක්වා වූ පරපුරේ අයයි. 2018 වර්ෂයේ නිෂ්පාදිත BMW මෝටර් රථයක් ලංකාවට පැමිණි විට එම වාහනය පිළිබද කෙනෙකුට ඉගෙනගත හැක්කේ User manual එක කියවීම හරහා පමණි. BMW ඉංජිනේරුවන් ලංකාවේ නැත. Auto wiper සහිත එම වාහනය ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයක ගමන් කිරීමේදී  පැත්තෙන් වැස්ස වැටෙන විට  wiper ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක නොවේ නම් එම දෝෂය ලංකාවේ ඉංජිනේරුවන්ට නිවැරදි කල නොහැක. ඔවුන්ට කල හැක්කේ ඒ පිලිබදව මව් සමාගමට දැන්වීම මගින් ඔවුන්ගේ සහය ඇතිව දෝෂය නිවැරදි කිරීම හෝ Auto wiper අංගය  ඉවත් කර wiper manual ක්‍රියාත්මක කර ගන්නා ලෙස පාරිභෝගිකයාට දැන්වීම පමණි. මේ උදාහරණය මෙන් 1935 වන විට ලංකාවට පැමිණ තිබු යුරෝපයේ නිෂ්පාදිත මාක්ස්වාදී ව්‍යාපෘතිය පිළිබද කිසිදු ඉංජිනේරු දැනුමක් ඇන් . එම් ට හෝ  විජේවීරට තිබුනේ නැත. ඔවුන් තමන්ට තිබු කාර්මික  දැනුමෙන් සහ අත්දැකීමෙන් (technician knowledge) මෙම වාහනයේ නොගැලපෙන කොටස් ඉවත් කොට local කොටස් එකතු කොට ලංකාව තුල එම ව්‍යාපෘතිය අත්හදා බැලීමට උත්සහ කරන ලදී.

යුරෝපය තුල මාක්ස්වාදය බිහි කිරීමේදී මාක්ස් පුද්ගලයාගේ අදුරේ ජීවිතයට ඇති වැදගත්කම අත්හිටුවන ලදී. අවිඥානය , අශ්ශීල ජීවිතය, ෆැන්ටසි ආදිය සලකාබැලීමේ වැදගත් කමක් නැති බව ඔහු කල්පනා කළේය. ඒ වෙනුවට ශ්‍රමය, සුරාකෑම, වැටුප්, කම්කරුවා, කම්හල ආදිය වැදගත් බව සලකා මාක්ස් තම දර්ශනය ගොඩනගන ලදී.  මෙම ගොඩනැගීම තුල තිබු දෝෂය (error) කුමක්ද යන්න ප්‍රධාන අරගල දෙකක් කර දහස් ගණන් තරුණ ජීවිත පුජා කල ජ.වී.පෙ න්‍යායචාර්යවරුන්ට පවා සිතාගැනීමට නොහැකි විය. යුරෝපය තුල මාක්ස්වාදය නිර්මානයේදී සිදුවන දෝෂය කුමක්දැයි  ලංකාවට මුලින්ම හදුන්වාදෙනු ලබන්නේ දීප්ති විසිනි.  මාක්ස් විසින් අත්හිටවූ පුද්ගලයාගේ රාත්‍රී ජීවිතය අපට වැදගත් වන්නේ ඒ අනුවය. මාක්ස්ට මෙම කොටස දෘෂ්ටිවාදයක් වුවද අපට එය පුද්ගලයාගේ ජීවිතය පිළිබද විද්‍යාවකි. ජ.වී.පෙ , කුමාර් ආදීන් විසින් සගවනු ලබන දෙය වන්නේ ජීවිතයේ මෙම අදුරු කොටසයි. මෙම අදුරු කොටස කුමක්දැයි සෙවීම හරහා පැරණි වමේ ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ අසාර්ථකභාවය ප්‍රශ්න කිරීම මුලින්ම සිදු කරන්නේ අප විසිනි.

පැරණි වමේ ප්‍රබුද්ධත්වය විසින් ඉවත් කරනු ලබන අඳූරෙන් ගැලවීමක් නොමැත. දීප්තිගේ පියාගේ අවමගුල් උත්සවයේදී පාංශකුලය දුන්නේ ඇයි යන ප්‍රශ්නය ඇතැමකු අසනු ලැබීය. එය අපට ගැටළුවක් නොවන්නේ සම්ප්‍රදායික වාමාංශිකයන් විසින් බැහැර කරනු ලබන අතාර්කික යැයි කියනු ලබන ප්‍රදේශය පිලිබදව ඉතා හොද අවබෝධයක් අපට ඇති නිසාය. අප දේශපාලනය රැඩිකල් වන්නේ මෙම අන්ත දෙක පිලිබදවම ඇති සබුද්ධිකත්වය නිසාය.

නැවතත් අපගේ  න්‍යායික උදාහරණය වෙත ප්‍රවිෂ්ට වුවහොත් නුතනත්වයට අදාළ වන ආත්මීය ස්වරුපය කුමන අකාරයක් ගනීද යන ගැටලුව වැදගත් සලකා බැලීම වේ. ප්‍රබුද්ධත්වයෙදී කෙනෙකුට යමකට පක්ෂපාතී වීම හෝ ඊට විරුද්ධ වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවේ.යමක් විවේචනය කරන කෙනෙකුට පවා  ප්‍රබුද්ධත්වය යනු එක්කෝ පිළිගතයුතු දෙයක් බව හෝ ප්‍රශ්නකල යුතු දෙයක් ලෙස සැලකිය යුතුය. ෆුකෝ ට අනුව කාන්ට් යනු ප්‍රබුද්ධත්වයේ උරුමකරුවෙකි. ඕනෑම දැනුමකට අදාළ විශ්වීය කොන්දේසි මොනවාද යන්න පිළිබද කාන්ට් අධ්‍යයනය කළේය.

මේ මොහොතේ අපව විවේචනය කරනු ලබන බොහෝ දෙනා යනු  අදුරෙන් ආලෝකය වෙත පුද්ගලයා රැගෙන යන අපගේ ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය ප්‍රශ්න කරනු ලබන පිරිසක් නොවේ. ඔවුන්ගෙන් කොටසක් අයත් වන්නේ ග්‍රීක ශිෂ්ටාචාරයට පෙර ජීවත් වූ අශිෂ්ඨ මිනිසුන් අතරටය.  තවත් කොටසක් අප විසින් සලකුණු කරනු ලබන විතැන් වීම පිළිබද අවබෝධයකින් තොරව පැරණි ආකල්ප මත පදනම්ව අපව විවේචනය කරනු ලබයි. මේ හේතුව නිසා අපගේ ව්‍යාපෘතියේ නිශේධනාත්මක කොටස ලෙස අපට හමුවන සතුරන් යනු අභියෝගාත්මක පිරිසක් නොවේ. මුල් කොටසට විරුද්ධව භාවිතා කල හැකි අවිය වන්නේ භාෂාමය ප්‍රචණ්ඩත්වය වන අතර දෙවන කොටසට අප පහර දෙනු ලබන්නේ ඔවුන්ගේ විනෝදය හෙළිකිරීම මගිනි. තමන් ගැටගැසී ඇති විනෝද සාධකය කුමක්ද යන්න වටහා ගැනීම අප යෝජනා කරනු ලබන පෙරටුගාමී දේශපාලනයේ ආරම්භක ලක්ෂයයි.

ෆුකෝ විසින් හදුන්වාදෙනු ලබන රාජ්‍ය උපකරණ (State apparatus) යනු පොදු (public) ආයතන බව සාමාන්‍ය මතයයි. කාන්ට අනුව  ඒවා අයත් වන්නේ පෞද්ගලික (private) කොටසටය.  හමුදා නිලධාරියෙකු අණ දෙනු ලබන්නේ සුළු පිරිසකටය. රාජ්‍ය සේවකයා සේවය කරනු ලබන්නේ රාජ්‍ය වෙනුවෙන් පමණි. ඒවා වලංගු වන්නේ සීමිත පිරිසකටය. නිදහස් මිනිසෙකු ලෙස කෙනෙකුට සාර්වත්‍රික ප්‍රජාවකට ඇමතිය හැකි විය යුතුය. හේතුව (reason) සාර්වත්‍රික වන්නේ එය බලයට යටත් නොවන විට පමණි. හමුදා නිලධාරියෙකු ලෙස පුද්ගලයෙකුට හේතුවක් නැති අණක් පිළිපැදීමට සිදුවේ. නමුත් එම නිලධාරියාටම පුද්ගලයෙකු ලෙස සමස්ත හමුදා ව්‍යුහයක්ම ප්‍රශ්න කල හැක. හේතුව යොදා ගැනීම පොදු දෙයක් නම් එයට මහජන කැමැත්ත හිමි වන අතර එය ප්‍රායෝගිකත්වයට පැමිණේ.

දේශපාලනයේදීද ඉහත පොදු සහ පෞද්ගලික විභේදනය ඉතා වැදගත් වේ. ජ.වී.පෙ ඇතුළු පැරණි වම තවමත් පහර දෙමින් සිටින්නේ ඉහත රාජ්‍ය උපකරණ වල පවතී යැයි උපකල්පනය කරන අධිපත්‍යටය. එමෙන්ම ඔවුන් මෙම ආයතන වල සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී. ඒ අනුව ඔවුන්ගේ දේශපාලනය පෞද්ගලික වේ. සාර්වත්‍රික දේශපාලනය මුලින්ම ලංකාවට හදුන්වාදෙනු ලැබුවේ අප විසින්ය. ගෝලීය ධනවාදය තුල අධ්‍යාපනයේ නව මුහුණුවර කුමක්ද යන්න අප විසින් රටට හදුන්වා දී තිබෙන මොහොතක පවා පුබුදුලා තවමත් සයිටම් එක පස්සේ දුවයි. තව  පැත්තකින් පුබුදුලගේ සටන වෛද්‍යවරුන්ගේ ව්‍යාපාර රැක දීමකි. පුබුදුලා උදවු කරමින් සිටින්නේ බල ව්‍යාපෘතියකට මිස නිදහස සදහා වූ අරගලයකට නොවේ. මෙවැනි දේශපාලනයකට කිසිදා මහජන කැමැත්ත හිමිවන්නේ නැත.

කාන්ට් විශ්වවිද්‍යාල උසස් පීඨ සහ පහල පීඨ ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරයි. උසස් පීඨ වල නීතිය , වෛද්‍ය විද්‍යාව ආදිය අධ්‍යයනය කරයි. ඒවා උසස් වන්නේ එමගින් බිහිවන වෘත්තිකයන් බලයට වඩාත් ලං වන නිසාය. මෙම පීඨ මගින් දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ වලට අවශ්‍ය සේවකයන් සපයයි. පහල පීඨ වල දර්ශනය (philosophy) අධ්‍යයනය කරනු ලබයි.  එයට බලයේ බලපෑමක් නැත.කාන්ට්ට අනුව රජයක මුල්පුටු වල අසුන් ගන්නේ උසස් පීඨ වල අය වන අතර පහල පීඨ වල අය (faculty of philosophy) විරුද්ධ පැත්තේ එනම් වමේ අසුන් ගනී. ඒ අනුව වම යනු විරුද්ධ පැත්ත ලෙස කලින්ම තීන්දු වී ඇති අතර එය දුර්වල පාර්ශවය වන බව කාන්ට් කියයි. රජය සහ විරුද්ධ පැත්ත යනුවෙන් දෙකක් අවශ්‍ය වන්නේ මේ දෙකම මුලධාර්මික සහ ඉවත් කල නොහැකි දෙයක් වන නිසාය.

කාන්ට්ට අනුව නීතිය යනු පෞද්ගලික දෙයකි. එය සාර්වත්‍රික දෙයක් නොවේ. දර්ශනයේ බලය යනු බලය ප්‍රතික්ෂේප කිරීමයි. දර්ශනයේ ඇති බල රහිත බව යනු එහි බලගතුම අවියයි. දර්ශනයේ පරාජය කල නොහැකි බව වන්නේ ද එයයි. අණ දෙන, වළක්වන, තර්ජනය කරන නීතිය දර්ශනය ඉදිරියේ බල රහිත දෙයක් බවට පත් වේ.

නුතනත්වය තුල සිදුකල වැදගත්ම සොයා ගැනීම වන්නේ ආත්මීයත්වයට (subjectivity) එරෙහිව object a සොයා ගැනීමයි. ආත්මීයත්වය යනු හිස් ආත්මය පිරෙන දෙයයි. ඒ පිලිබදව ෆුකෝ සාකච්ජා කළේය. ලැකාන්ට අනුව ස්වාධීන ආත්මයක් ගොඩනැගීම විය නොහැකි දෙයකි. ඊට ආත්මයම අභ්‍යන්තරික බාධකයක් වේ. බලය පිළිබද ෆුකෝඩියන් අදහසින් මිදී පුද්ගල විනෝදය පිළිබද අධ්‍යයනය සදහා අප යොමු වන්නේ මෙම පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙසය.

මේ දක්වා අප විසින් වර්ධනය කල  න්‍යායික  දැනුම දැන් එක්තරා සංධිස්ථානයකට පැමිණ ඇත. ඉදිරියේදී රටේ ජනයාට ඉතා සීඝ්‍රයෙන් මෙම අදහස් ගලා යනු ඇත. ඒ අතරම මෙම අදහස් වලට අරක්ගත් භූතයන්, පෙරේතයන් සහ අවතාරද එහෙ මෙහේ සැරිසරනු ඇත.

Anushka and Deepthi

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මේ මොහොතේ අපව විවේචනය කරනු ලබන බොහෝ දෙනා යනු අදුරෙන් ආලෝකය වෙත පුද්ගලයා රැගෙන යන අපගේ ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය ප්‍රශ්න කරනු ලබන පිරිසක් නොවේ. ඔවුන්ගෙන් කොටසක් අයත් වන්නේ ග්‍රීක ශිෂ්ටාචාරයට පෙර ජීවත් වූ අශිෂ්ඨ මිනිසුන් අතරටය. තවත් කොටසක් අප විසින් සලකුණු කරනු ලබන විතැන් වීම පිළිබද අවබෝධයකින් තොරව පැරණි ආකල්ප මත පදනම්ව අපව විවේචනය කරනු ලබයි. මේ හේතුව නිසා අපගේ ව්‍යාපෘතියේ නිශේධනාත්මක කොටස ලෙස අපට හමුවන සතුරන් යනු අභියෝගාත්මක පිරිසක් නොවේ.

    මෙම කොටස් 2 අයව තවදුරටත් පැහැදිලි කරනවද?

  2. //1935 වන විට ලංකාවට පැමිණ තිබු යුරෝපයේ නිෂ්පාදිත මාක්ස්වාදී ව්‍යාපෘතිය පිළිබද කිසිදු ඉංජිනේරු දැනුමක් ඇන් . එම් ට හෝ විජේවීරට තිබුනේ නැත. ඔවුන් තමන්ට තිබු කාර්මික දැනුමෙන් සහ අත්දැකීමෙන් (technician knowledge) මෙම වාහනයේ නොගැලපෙන කොටස් ඉවත් කොට local කොටස් එකතු කොට ලංකාව තුල එම ව්‍යාපෘතිය අත්හදා බැලීමට උත්සහ කරන ලදී.// ලෝකල් කෑලි එකතු කරනන් ගිහිල්ල වාහනේ අතරමග හිර වුනා. දැන් එකෙ කාලි කෑලි කට්ටිය ගලවගෙන ගිහින් වෙන පැති වල යන වාහන වල හයි කරගෙන.

Comments are closed.