‘X’ දේශපාලනය පැරණි වමෙන් මෙන්ම තමන්ගේම පැරණිභාවයෙන්ද වෙන්වීම: හිස්ටීරියාවේ සිට සථාර්ථයේ අසම්පූර්ණභාවය දක්වා  Part 1

මෙතෙක්  වූ ‘X’ පිළිබඳ සාකච්ඡාව සාරාංශ ගත කළහොත් එය මෙසේය: ‘X’ යනු විප්ලවයෙන් පසු සමාජය ගැන පේන නොකියන එම නිසාම සමස්ථතාවාදී නොවන, බාහිර ආචාරවිද්‍යාවකින් චලනය නොවන එම නිසාම පූර්ව ඉරණම්කරණය වූ, ධනවාදයට ව්‍යතිරේඛ නොසාදන එය ඇතුළතින් අසම්පූර්ණ කරවන ස්ත්‍රීත්වයකි. එමෙන්ම එය පැරණි බවෙන් නිශ්චිතව වෙන් වූ එම සැබෑ නවතාවය නිසාම පැරණි වම තුළ වූ නියම අසංගතභාවය වන බාහිර ධනවාදය [පිටත සිට යැයි වැරදි ලෙස හැඟෙන] විචාරය කරන අභ්‍යන්තර ආස්ථානය විචාරය නොකිරීම [දෘෂ්ඨිවාදය විචාරය නොකිරීම] සලකුණු කොට එය ඛණ්ඩනය කොට ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. ‘X’ දේශපාලන ඛණ්ඩනයෙන් පසු දෘෂ්ඨිවාදය විචාරය නම් භාවිතාව මඟහැර දේශපාලන කිරීම ‘එක්දින-ක්‍රිකට්-තරඟ’ ටෙස්ට් ක්‍රිකට් මෙන් ක්‍රීඩා කිරීම වැනි ආඥානත්වයක් හා පරිසර විනාශය සිදු වන බව කෙනෙක් දැනුමක් ලෙස දැන සිටියත් උදේට කුරුල්ලන්ගේ හඬ ඇසෙන විට කෙසේ වෙතත් පරිසරය දැන්මම විනාශ නොවනු ඇත වැනි අවිඥානික ප්‍රතික්ෂේප කිරීමක් (Disavowal) බඳු  ප්‍රොඩාකාරී ආස්ථානයකි: නව පරපුරේ වාමාංශික ක්‍රියාධරයින්, අලුතෙන් වම ගැන සිතන පතන අප සමඟ එකතු වීමට කැමති සහෝදරියන් සහ සහෝදරයින් ඉහත අවලංගු වූ වම ගැන (රැඩිකල්ම යැයි සිතෙන කණ්ඩායම් ගැන පවා) තම චින්තනය (අත පය, දහඩිය, සෙම , උණ වැනි ශාරීරික ප්‍රශ්න නොවේ) මෙහෙයවා එහි පැරණිභාවය හා අවලංගුභාවය ඔවුන්ටම කියා දිය යුතුයි. කොමියුනිස්ට් සමාජය තුළද IPhone භාවිතා කරන බව, Food City තිබෙන බව සමූපකාර නොතිබෙන බව, ඉහත සඳහන් කළ පුහු වමට තේරුම් කර දිය යුතුයි.

දැන් උක්ත මාතෘකාව වෙත වැදගත් ප්‍රශ්නයක් අසමු : අප දැන් දන්නා පරිදි බාහිර ධනවාදය විචාරය කරන අභ්‍යන්තර ආත්මයද තිබෙන්නේ එම ධනවාදය තුළම නිසා වාමාංශික දේශපාලනය පටන් ගත යුත්තේ ඉහත බාහිරත්වය එසේ සංකේතනය කරන ආත්මීය ප්‍රාගානුභූත (දැනටමත් මා දන්නා දේවල් -ෆැන්ටසිය- අවිඥානක ව්‍යුහය) විචාරය කිරීමෙනි. එනම් දෘෂ්ඨිවාදය විචාරය කිරීමෙනි. දැන් ප්‍රශ්නය නම් වාමාංශික දේශපාලනය පටන් ගන්නේ දෘෂ්ඨිවාදය විචාරයෙන් නම් එය ඉවර කරන්නේද එම විචාරයෙන්ම ද? අභ්‍යන්තර විනෝදය විචාරය කොට බාහිරත්වය (ධනවාදය) වෙනස් කරන්නේ කෙසේද? මගේ මනස විතරක් වෙනස් කොට ධනවාදී සමාජ සබඳතා වෙනස් කරන්නේ කෙසේද? ‘X’ යනු නිකන් ෆැන්ටසි හා විනෝදය වැනි ලිංගික මාතෘකා පමණක් “කතා කර කර” සිටින ආතල් Club (Fight Club මෙන්) එකක් නොවේද? මේවා කියවන විප්ලවවාදියෙකු මෙසේ කියනු ඇත : “හරි හරි, අපි ෆැන්ටසි විචාරය කරමුකෝ. එය පිළිගන්නවා. දැන් ඇත්තටම ධනවාදය පෙරලෙන්නෙම නැද්ද? ෆැන්ටසි විතරද X එකේ තියෙන්නෙ? සිසෙක් විතරද ඉන්නෙ? වාස්තවික මාක්ස් එංගල්ස් නැද්ද?” දැන් ආතල් ප්‍රශ්න න්‍යායාත්මකව විසඳා ගනිමු.

“The core philosophical question is not ” how can we break through the veil of Illusions and reach true reality?” but exactly the opposite one:” why do Illusions arise within reality?” (Quoted from ” Making use of religion? No, Thanks!” by Slavoj Zizek). (අලුතෙන් වම ගැන සිතන අය වෙත: ඉංග්‍රීසියෙන් කියවීම හා දුප්පත්කම අතර සහසම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන්නේ 90 ව දශකයේ ‘මාතොට’ සඟරාවෙනි. අපි මෙම අභියෝගය බාර ගත යුතු වෙමු. බොහෝ විට ඇත්තේ අවිඥානික බාධාය!)

ඉහත රෑපසටහන් ත්‍රිත්වය මඟින් පෙර අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සපයයි. සැකෙවින් කිවහොත් A සිට B වෙත වූ ආස්ථාන මාරුව අප දනිමු. පෙර ප්‍රශ්න වලට පිළිතුර නම් B සිට C මාරුවයි. දර්ශන ඉතිහාසයේ මෙය නම් කාන්ට්ගේ (Kant) සිට හේගල් (Hegel) වෙතට වූ පරිවර්තනයයි: නලින් ද සිල්වාට අනුව ද (ඔහු සැබෑවට නොදැනුවත් ව වූවක්) බටහිර චින්තනයේ සැබෑ කූටය, උසස්ම තැන හේගල් ගේ චින්තනයයි. නලින් නොදන්නේ හේගල් යනු කාන්ට්ට වඩා උසස් යැයි කීමට වඩා ශුන්‍යතාවයටත් වඩා අවප්‍රමාණයකි.(Less than Nothing). අඩුවටත් වඩා තවත් අඩුව යනු ආදරය යන්න ප්‍රකාශ වන තවත් ආකෘතියකි. දැන් අපගේ කාර්යය මෙම බැලූ බැල්මට පෙනෙන ව්‍යාකූලත්වය ලිහා ගැනීමයි.

දෘෂ්ඨිවාදී විචාරයට අමතරව ඇත්තටම ධනවාදය වෙනස් කරන්නේ නැද්ද? . ප්‍රථමයෙන් අප තේරුම් ගත යුත්තේ ඉහත A සිට B වෙත වන පරිවර්තනය වාමාංශික දේශපාලනයේ අභිබවා ගිය නොහැකි අනිවාර්ය ඛණ්ඩනයක් බවයි. එනම් ඉහත බාහිර වාස්තවිකත්වය (ධනවාදය) එසේ මගේ මනස තුළ සංකේතනය වීමට මා දැනටමත් දැන සිටින අවිඥානක ව්‍යුහය විචාරය නොකොට ;’ඇති’ වාමාංශික දේශපාලනයක් නොමැත. එම නිසා ඉහත ‘X’ ඛණ්ඩනය ඉහත B සිට C වෙත වන විපර්යාසය සිදු විය හැකිභාවයේ කොන්දේසියකි. එනම් A සිට B වෙත වෙනස් නොවී සෘජුව A සිට C දක්වා ඇත්තේ අප පෙරදී විවේචනය කළ පන්නයේ සරල රේඛීය, සාධ්‍යතනවාදී චලනයක් නොවේද? තමන් වඩා විප්ලවවාදී නම් A සිට සෘජුව යා හැකිව තිබිය යුතු නොවේද? පිළිතුර : නැත. හේතුව වන්නේ C නම් ආස්ථානය යනු සංක්‍රමනය වීමට තිබෙන තවත් “ස්ථානයක්” නොවීමයි. C ආස්ථානය යනු B ස්ථානයේ ඇති “සත්‍ය” වෙනත් දෘෂ්ඨිකෝණයකින්/ පර්යාලෝකයකින් (shift of perspective) අවබෝධ තර ගැනීමයි. C යනු B හි සත්‍ය තේරුම් ගන්නා වඩා රැඩිකල් ආස්ථානයකි. හේගල්ගේ භාෂාවෙන් කිවහොත්  B යනු නිශේධනය (negation) නම්, C යනු නිශේධනයේ නිෂේධනයයි (negation of negation). නිෂේධනයේ නිෂේධනය යනු පළමු නිෂේධනය අව්‍යවහිතව නිෂේධනය කිරීම (immediate negation) නොවේ. නිෂේධනයේ නිෂේධනය පෙර නිෂේධනයේ පරාජයම ජයක් ලෙස ගැනීමයි (“Rose in the Cross”-Hegel). අප හේගල්ගේම ඉතා ප්‍රසිද්ධ විශ්ලේෂනයක් ගෙන මෙය සැකැවින් පැහැදිලි කර ගනිමු. ස්වාමි- වහල් සම්බන්ධයේදී (Master -Slave dialectic) ප්‍රථමයෙන් වහල් විඤාණයෙන් තම ස්වාමි විඤාණයේ බන්ධනයෙන් අවපවහිත නිදහස් වීමට (immediate negation) පසුව (වහල්භාවයේ මිදී පලා යාමට පසුව) නැවතත් ස්වාමියාට හසුවී මරණයට පත්වීමට ද ඉඩ ඇත. වහල්භාවයෙන් මිදීමට පසුව තම ජීවිතය වහල්භාවයටද වඩා අපහසු හා ඛේදජනක වීමටද ඉඩ ඇත. එනම් වහල්භාවයෙන් මිදීම නම් නිෂේධනයට පසු (A සිට B වෙත වන ‘X’ ඛණ්ඩණයෙන් පසු) තත්වය පෙරට වඩා අප්‍රියජනක “පරාජයක්” විය හැක. මෙය ප්‍රථම නිශේධනයයි (immediate negation). නිෂේධනයේ නිෂේධනයේදී වන්නේ පරාජය වූ වහලා නැවත මිරැන්ඩා සමඟ වන තම නිදහස් ප්‍රේමය අසාර්ථක වූ විට නැවතත් වසන්ති චතුරානි (පෙර බිරිඳ) වෙත යාම නොවේ. වහලා (නිස්සංක) පරාජය වූ විට අවබෝධ කර ගත යුත්තේ මෙම පරාජයම තම ජයග්‍රහණය බවයි. එනම් තමන් බන්ධනයේ වහල්භාවයෙන් නිදහස් වීම යනු තම ස්වමියාගෙන් නිදහස් වීම පමණක් නොව තම වහල් චින්තනයෙන් නිදහස් වී ඇති කරගත් සැබෑ රැඩිකල් නිදහසක් බවයි. වහලා දැන ගත යුත්තේ තමන් තම ස්වාමියාගෙන් නිදහස් වීමට ගත් තීරණය යනුම (පැරණි වාමාංශිකත්වයෙන් ඛණ්ඩණය වීමට ‘X’ දේශපාලනය ගත් තීරණය / තම ආදරය වන මිරැන්ඩා වෙත ඇද වැටීමට නිස්සංක ගත් තීරණය ) තම ස්වයං-ප්‍රඥාපතීය රැඩිකල් නිදහස (self-referential radical freedom) භාවිතා කිරීමකි. වහලා දැනගත යුත්තේ තම සැබෑ නිදහස නම් බන්ධනයෙන් පසුව අපේක්ෂා කරන ජයග්‍රහණය නොව තීරණය බවයි. එවිට නිශේධනයේ නිෂේධනය යනු ප්‍රථම නිෂේධනය වෙත පසු ආවර්ථිතව බලා පරාජය ජයග්‍රහණයක් ලෙස දැකීමකි. සැබෑ නිදහස යනු ස්වාමියාගෙන් නිදහස් වීම පමණක් නොව, එවැනි කිසිම ස්වාමීත්වයකින් තොරව තමන්ගේ ආත්මය නිර්මාණය කිරීමකි. ජයග්‍රහණයක අභිප්‍රේරණයක් නොමැතිව ද (විප්ලවයෙන් පසු සමාජය ටක්කෙටම නොදැනද) තම නිදහස බලාත්මක කරන ආත්මීය ආස්ථානයකි. වෙනත් ආකාරයකින් කිවහොත් නිෂේධනයේ නිෂේධනය යනු බාහිර බාධාව (ස්වාමියා) ජයගැනීමේ බාධකය වූයේ තම අභ්‍යන්තර බාධාව බව (ආත්මීය) තේරුම් ගැනීමයි. මෙම හේතු නිසා ඉහත රෑප සටහනෙහි A සිට B වෙත විස්ථාපනය නොවී A සිට සෘජුව C වෙත යාම විහිලුවකි. ඒ B සිට C  වෙත යාම B හි නිශේධනය (සත්‍ය) වෙත ස්වයං- පරාවර්ථනයකි. ‘X’ හි අභ්‍යන්තරයෙහි හිස්ටීරියාව් සිට ”යථාර්ථයේ අසම්පූර්ණත්වය” වෙත මාර්ගය එයයි. දැන් එය පහදා ගමු.

පෙර දක්වන ජිජැක්ගේ උදෘතයට අදාළව අප ඉහත සටහන් කළ B සිට C වෙත වන ‘X’ විස්ථාපනය කාන්ට් ගෙන් හේගල් වෙත වන විස්ථාපනයෙන් තේරුම් ගැනීමට උත්සහ කරමු. පෙර සාකච්ඡාවට අදාළව ගත් විට කාන්ට් ගේ ඛණ්ඩනය යනු යථාර්ථය (වාස්තවිකත්වය – Object) එසේ මගේ මනස තුළ සංකේතනය වීමට මගේ මනස කෙසේ සකස් වී තිබේ දැයි (A priori – transcendental Apperception) යනුවෙන් නඟන ලද ප්‍රශ්නයයි. එනම් බාහිර වාස්තවිකත්වයේ මූලය සෙවීම මීට පසු මුලාවකි. ඒ මගේ මනස මෙම වාස්තවිකත්වයේ දෘෂ්‍යමානවීමට (Appearance) පෙර පූර්ව කොන්දේසියක් නිසාවෙනි. යථාර්ථය එසේ දෘෂ්‍යමාන වීමට/ සංකේතනය වීමට මගේ මනස ඒ සඳහා සුදුසු ලෙස ව්‍යුහගත වී තිබිය යුතු නිසාවෙනි. මනෝවිශ්ලේෂණයෙන් දෘෂ්ඨිකෝණයෙන් ගත් විට මෙලෙස මනස ව්‍යුහගත වන්නේ ආශාවේ දයලෙක්තිකයට අනුව වීම නිසා එහි එන සියලු සංකල්ප (ෆැන්ටසිය, හා විනෝදය ද ඇතුළත්ව) මෙයට අදාළ වේ. මේ නම් මනෝවිශ්ලේෂණය දේශපාලනයට අදාළ වන ස්ථානයයි. දැන් අපගේ ප්‍රශ්නය වන්නේ මනසේ දෘෂ්ඨිකෝණයෙන් අපට නැවතත් බාහිර වාර්තවිකත්වය (ධනවාදය) ගැන ප්‍රශ්න කළ නොහැකිද? මනස (ආත්මය) විචාරයෙන් ඔබ්බට වාස්තවිකත්වය (දේශපාලන ආර්ථිකය) විචාරය කරන්නේ කෙසේද? දේශපාලන ආර්ථිකයේ ෆැන්ටසි අන්තර්ගතයෙන් ඔබ්බෙහි එහි එහිම වූ ස්වරූපය (in-itself of Political Economy) ප්‍රශ්න කළ නොහැකිද? ඉහත ජිජැක්ගේ උදෘතයට අදාළව ගත් කළ ගැටළුව අප කණපිට හැර විය යුතුයි.

එනම් මායාකාරී රැවටිලිසහගත දෘෂ්‍යමානයන්ගෙන් (ෆැන්ටසිය විසින් ව්‍යුහගත කරන ලද) ඔබ්බට ගොස් සැබෑ ධනවාදය (යථාර්ථය/ වාස්තවිකත්වය) සොයා ගැනීම නොව, එවැනි යථාර්ථයක/ වාස්තවිකත්වයක දෘෂ්ඨිකෝණයෙන් බලන කළ මෙවැනි මායාකාරී රැවටිලි (Illusions) ඇති විය හැක්කේ කෙසේද යන්න ඇසීමයි. මෙම ප්‍රශ්නය මගේ මනසේ සිට නැවතත් බාහිර යථාර්ථය වෙත දිශානත වූ ප්‍රශ්නයකි. හේගල්ගේ දාර්ශනික මැදිහත් වීම මෙයයි. එනම් කාන්ට්ට වෙනස්ව (කාන්ට්ගේ ඛණ්ඩණයෙහිම ස්වයං-පරාවර්තිත සත්‍ය- Shift of perspective.) හේගල් අසන ලද ප්‍රශ්නය නම් යථාර්ථය (වාර්තවිකත්වය) වැනි පැතලි සත්තාවකින් (Flat reality) මායා/ රැවටිලි/ දෘෂ්‍යමාන/ වසඟ/ෆැන්ටසි/ සිහින ඇති වන්නේ කෙසේද යන්නයි. ධනවාදයට අදාළව ගතහොත්, පැරණි වම කියන පරිදි කර්කශ නිෂ්පාදන යථාර්ථයකින් (හූරා කෑම) ඒ වෙත නොයෙකුත් ආශා මාදිළි (“ළමයි” , Sunflower ප්‍රසංග ,”Employee of the month”, Iphone selfies, etc.) බිහි වන්නේ කෙසේද යන්නයි. වෙනත් ආකාරයකින් ගත් විට ධනවාදයට Matrix චිත්‍රපටයෙහි පද්ධතියට මෙන් අපගේ ලුබ්ධි ශක්තිය (Libidinal Energy) අවශ්‍ය වන්නේ ඇයි ද යන්නයි. එයට ඉන් තොරව පැවතිය නොහැකිද?.

මේ ආකාරයෙන් ගත්විට අපට හේගල්ගේ දාර්ශනික ප්‍රශ්නය මෙසේ සඳහන් කළ හැක: මගේ මනස තුළ යථාර්ථය නැවත දෘෂ්‍යමානයක (Appearance) ස්වරූපයකින් ද්විගුණ වීමට (redouble) යථාර්ථය කෙසේ ව්‍යුහගත වී තිබිය යුතුද? පෙනෙන පරිදි මෙම හෙගේලියානු ප්‍රශ්නය නැවතත් බාහිර යථාර්ථය වෙත දිශානත වී ඇති ගැටළුවකි. මෙයට දිය හැක්කේ එක් සංගත පිළිතුරක් පමණයි. එනම් එය යථාර්ථය අසම්පූර්ණ/ අසංගත/ අසංස්ථිත නිර්මිතයක් යන්නයි. අප යථාර්ථය යනුවෙන් හඳුන්වන දෙයෙහි (මනෝවිශ්ලේෂණ අර්ථයෙන් “සංකේත ලෝකය”) අභ්‍යන්තරයම අසංගතභාවයකි. කාන්ට් මෙයට දුන් පිළිතුර වූයේ මෙසේ යථාර්ථයෙහි එහිම වූ ස්වරූපය (in-itself of Reality/ Noumena – නිශ්ප්‍රපංචය) දෘෂ්‍යමානයක් (Appearance- for itself of Reality) බිහි කරන්නේ, නැතිනම් අපට දෙයක එහිම වූ ස්වරූපයට ළඟා විය නොහැක්කේ අපගේ මනසේ පරිමිතභාවය හා හේතුවේ සීමිතභාවය නිසාවෙන් බවයි. හේගල්ට අනුව මෙය හිතුවක්කාරී නිගමනයකි. ඩෙකාට්ට ද (Descartes) මෙවැනි හිතුවක්කාරීභාවයකට ගොස් සියල්ල සැක සහිත වූවත්, සිතන ආත්මය සැක කළ නොහැකි බව පවසා (Cogito), අහේතුකව එවැනි ” සිතන” කෙනෙක්/ දෙයක් (Res Congitans) ඇතැයි නිගමනය කිරීමට විය. හේගල්ට අනුව වඩා භෞතිකවාදීව “හේතුව” සීමාවීමට හේතුව අපගේ මනසට ඔබ්බෙන් දේවල් වල එහිම ස්වරූපය (Noumena) ඇති නිසා නොව, එසේ හේතුවේ සීමාව හා ෆැන්ටසියේ (මායා වල) ආරම්භය යනු යථාර්ථයම (වාස්තවිකත්වයම) අසම්පූර්ණ වීමයි (Incomplete reality). දාර්ශනික භාෂාවෙන් සඳහන් කළහොත් කාන්ට් විසින් ඥානවිභාගාත්මක සීමාවක් (දැනුමෙහි සීමාවක් – Epistemological) ලෙස ගත් දෙය හේගල් විසින් වඩාත් රැඩිකල්කරණය කොට එය සද්භාවයේදී සිමාවක් (පැවැත්මේම සීමාවක්- Ontological) ලෙස සලකුණු කළේය.ඒ අනුව යථාර්ථය යනුම පසමිතුරුතාවයකි, (Antagonistic). මායාවන් (ෆැන්ටමිය) යනු එම යථාර්ථයෙහි ඇති පසමිතුරුභාවී පැවැත්ම නම් ක්ෂතිය සමනය කිරීමට ගොතන ලද ආරක්ෂණ ක්‍රමවේදයකි (defense mechanism). ඒ අනුව සංකේතනය (යථාර්ථය – Signification) යනු පසමිතුරුතාව නම් යථ (Real- මඟ හැරිය නොහැකි විය නොහැකිභාවය – සත්‍යය) මඟ හැරීමට ගන්නා ලද දුෂ්කර උත්සාහයකි. මගේ ලෝකය යනු මා අභ්‍යන්තර පසමිතුරුතාවය (Anstoss according to Fichte Objet a according to Lacan) සමනය කිරීමට හා ගනු ලබන අන්වර්ත ආකර්ෂණ ක්‍රමවේදයයි.

නැවතත් ධනවාදය වෙත. රෑප සටහනෙහි ඇති ආකාරයට C නම් තත්වයේ දී (දෘෂ්‍යමානයෙන් එපිට පරමත්වයේදී – Absolute is nothing but appearance to itself – පරමත්වය සාරයක් නොවේ. පරමත්වයද දෘෂ්‍යමාන වේ. උදා: මා ඇද වැටෙන පරම පෙම්වතියද අන් ස්ත්‍රීන් අතර තවත් ස්ත්‍රියක් පමණයි. පරමත්වය ඇත්තේ එසේ සංකේතනය වන මගේ මනසෙහිය, එම නිසා එය ආත්මීය සත්‍යයකි.) අප තේරුම් ගත යුත්තේ ධනවාදය යනුම අසම්පූර්ණ යථාර්ථයක් බවයි (තිත් ඉරි මඟින් නිරූපණය වන පරිදි). එනම් ධනවාදයෙහි පැවැත්මට මගේ ෆැන්ටසිය අත්‍යවශ්‍ය වන්නේ මගේ මනසේ පරිමිතභාවය නිසා නොව (කාන්ට්ගේ නිගමනය මෙන්), ධනවාදය නම් වාස්තවික යථාර්ථයෙහිම ඇති අසංගතභාවය හා අසම්පූර්ණභාවය නිසාවෙනි. ඒ අනුව ධනවාදය” යන්නම සමාජ පසමිතුරුතා සම්පූර්ණ ලෙස සමනය කිරීමට (සියලු මිනිස් අවශ්‍යතා සපුරාලීමට) බොරු පොරොන්දු දුන් ෆැන්ටසි ආකෘතියකි. ධනවාදය යනුම සමාජ පසමිතුරුතා (Social antagonisms) කෙරෙහි ඇති ක්ෂතිමයභාවයෙන් මිදීමට ශිෂ්ඨාචාරය ගොතන ලද ආකර්ෂණ ක්‍රමවේදයකි. මේ හේතුව නිසා පසමිතුරුතාවය යථකි (Real). මඟ හැරිය නොහැකියි. මේ අර්ථයෙන් පන්ති අරගලය යනු ඉහත ධනවාදී ආකර්ෂණ ක්‍රමවේදය නිරාවරණය කොට සමාජ පසමිතුරුතාවන් වෙත දක්වන වෙනස් සමාජ සම්බන්ධයකි. පෙරටුගාමීන් හා අනෙක් කල්ලි සිතන්නාක් මෙන් කොමියුනිස්ට් සමාජය යනු කිසිදු පසමිතුරුතාවයක් නැති සුඛිත මුදිත සංගතභාවයක් නොවේ. එය පසමිතුරුතාවය කෙරෙහි දක්වන වෙනස් සම්බන්ධයකි. අප (පක්ෂය) මෙයට “ආදරය” යැයි නම් තබා ඇත. එවිට පක්ෂ සාමාජිකයා යනු ප්‍රේමවන්තයෙක්ද?.

ඩිල්ෂාන් ප්‍රනාන්දු.

You are so beautiful
To me
You are so beautiful
To me
Can’t you see
You’re everything I hoped for
You’re everything I need
You are so beautiful
To me

Such joy and happiness
You bring
Such joy and happiness
You bring
Like a dream
A guiding light that shines in the night
Heavens gift to me

You are so beautiful
To me.

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here