අප පෙර අවස්ථාවේදී පිළිතුරු දීමට උත්සාහ කළේ ‘X’ දේශපාලනය යනු සැබෑ නවතාවයක්ද එසේ නැතහොත් පැරණි වාමාංශිකත්වයේම නව දෘෂ්‍යමානයක්ද යන්නටයි. එහිදී අපි පැරණිභාවය (Old) හා නවතාවය (New) අතර ඇති දයලෙක්තික සම්බන්ධය විදාරණය කළෙමු. පක්ෂයේ පැත්තෙන් ‘X’ යන දේශපාලනිකත්වය ‘සැබෑ නවතාවයක් ද’ යන්න විග්‍රහකිරීමට පෙර අපගේ දේශපාලනය සහ අන් අය එය අර්ථකතනය කරන ආකාරය විදාරණය කර සිටීම -අප අතර වන පරතරය – හා ඔවුන්ගේ දෘෂ්ඨිවාදය තේරුම් ගැනීමට ඉවහල් වේ. මෙය වෙනස් වන (කියවීමේදී වුවද) චිත්තනමය කාර්යයකි. (Thinking Hurts!)

ඔබ දන්නා පරිදි පක්ෂයෙන් පිට සිටින බොහෝ දෙනෙක්ට ‘X’ දේශපාලනය යනු ඉතා වියුක්ත, පොළොවේ යථාර්තය නොතේරෙන බටහිර Verso පොත් වල උදෘථ ඔහේ ගෙනවිත් අතහරින අවුරුද්දකට වරක් වැනි මාත්‍රාවකට අනුව නොයෙකුත් නව න්‍යායවේදීන්ගේ හා දාර්ශනිකයින්ගේ නම් මුදා හරින (ඒ පසුපස දිවීමට ඇමක් මෙන්); කෙටියෙන් කිවහොත් නොතේරෙන සුත්‍ර න්‍යාය පමණක් වමාරන ප්‍රපංචයකි. එම අර්ථකතනයට අනුව අප කරන්නේ මෙවැනි ඉතා භයානක රකුසෙකු මෙන් අප සැමගේ ජීවිත බිලි ගැනීමට සිටින ධනවාදය නම් යක්ෂයා මෙල්ල කිරීමට “සංයුක්ත” භාවිතාවක් නොකර, බොළඳ පුංචි පැටවුන්ගේ කෝම්පිට්ටු සෙල්ලමකි. කෙටියෙන්… අපගේ පැවැත්ම වියුක්ත බොළඳත්වයකි. ඔවුන් සංයුක්ත රැඩිකල්වාදීන්ය. තවත් සැකෙවින් කිවහොත් අප කරන්නේ න්‍යායකි(theory), ඔවුන් කරන්නේ භාවිතාවකි (practice).

දැන් අපට ‘X’ හි දේශපාලනය කුමක්ද හා එය වාමාංශික දේශපාලනයේ සැබෑ ඛණ්ඩනයක්ද යන්න සලකුණු කිරීමට ඉහත අප කෙරෙහි ඇති බාහිර අර්ථකතන සැලකිල්ලට ගමු. ඔවුන්ට අනුව අප පැරණිභාවයේ පසුගාමී අපගමනයකි. මෙම සාකච්ඡාව සඳහා අපට පාදක වන දර්ශන ඉතිහාසයේ ඛණ්ඩනයක් ඇත. එනම් එම්මැනුවෙල් කාන්ට් (Emmanuel Kant) නම් ජර්මානු දාර්ශනිකයාගේ මැදිහත් වීම මඟින් සිදුවූ දාර්ශනික කැළඹිල්ලයි. මගේ උත්සාහය වන්නේ ‘X’ දේශපාලනය, පැරණි වාමාංශිකත්වයෙන් සැබෑ ලෙස සිදුවූ ඛණ්ඩනයක් යැයි වන අපගේ තිසීසය ඉහත සඳහන් කළ කාන්ට්ගේ දාර්ශනික ඛණ්ඩනය ඔස්සේ තේරුම් ගැනීමටයි. දාර්ශනික ඉතිහාසයේ කාන්ට්ගේ සැබෑ මැදිහත්වීම හා ඛණ්ඩනය කුමක්ද? මෙය දීර්ඝ සාකච්ඡාවක් විය යුතුව තිබුණත් අපගේ අවශ්‍යතාවය සඳහා එය ඉතා පැහැදිලිව හා සැකැවින් තේරුම් ගනිමු.

දර්ශනයේ තිබෙන ප්‍රධානම සංකල්ප යුගලය වන්නේ ආත්මීයත්වය (Subject) හා වාස්තවිකත්වයයි (Object). ඒ අනුව ඉහත සංකල්ප යුගලය මඟින් උද්ගමනය කළ හැකි අනෙක් සංකල්ප වන්නේ අභ්‍යන්තර (internal) හා බාහිර (External), ආකෘතිය (Form)  හා අන්තර්ගතය (Content) සහ දෘෂ්‍යමානය (Appearance) හා සාරය (Essence) වැනි සංකල්පය. එනම් මූලික වශයෙන් දාර්ශනික චින්තනයේ ආරම්භයේම, සිතන තැනැත්තා (ආත්මය/අභ්‍යන්තරය) හා එපිට පවතින යථාර්ථය (වාස්තවිකත්වය/ බාහිරත්වය) යන ද්විතය සම්මුඛ වේ. එවිට මුල සිටම දර්ශන ඉතිහාසයේ ප්‍රධානම ගැටළුව වූයේ අපගේ අභ්‍යන්තරයෙන් පිට පවතින මෙම යථාර්ථය නම් වාස්තවිකත්වයේ සැබෑ ව්‍යුහය කෙසේ වේද යන්න දැන ගැනීමයි. එනම් අවට යථාර්ථයේ සත්‍යම පදනම හෝ මූලය කුමක්ද යන්න නිවැරදිව සොයා ගැනීමයි. තවත් ඉදිරියට ගමන් කළහොත් මූලික දාර්ශනික ප්‍රශ්නය වූයේ අපට පෙනෙන දෙයින් ඔබ්බට ගොස් යථාර්ථයේ (වාස්තවිකත්වයේ) මූලය හෝ පදනම කුමක්ද යන්න සොයා ගැනීමයි. ප්ලේටෝගේ සිට හියුම් (Hume), ස්පිනෝසා (Spinoza) වැන්නන් දක්වාම විවිධ විචලනයන් සහිතව සොයා ගැනීමට තැත් කළේ ඉහත සඳහන් කළ යථාර්තයේ මූලික පදනමයි. විවිධ ග්‍රීක දාර්ශනිකයින් (තේල්ස්ගේ සිට) මෙම පදනම ගින්දරේ සිට දෙවියන් දක්වා පිහිටුවීමට උත්සහ කළ බවට ඔබ අසා තිබෙනු ඇත. මේ ආකාරයෙන් ගත් විට කාන්ට්ට පෙර වූ දාර්ශනික ඉතිහාසය යනු බාහිර වාස්තවිකත්වයෙහි මූල අනුව සෙවූ උත්සාහයයි.

ඉහත රූපසටහන් 1ට අනුව කාන්ට්ට පෙර දර්ශනය යනු මගෙන් (අභ්‍යන්තරයෙන්) පිට තිබෙන වස්තුව (Object) නිවැරදි ආකාරයෙන් හඳුනා ගැනීමයි. එවිට කාන්ට්ගේ ඛණ්ඩනය කුමක්ද? අපි වැදගත් ප්‍රශ්නයක් අසමු: මෙසේ බාහිර වාස්තවිකත්වය යන්ෙනහි පදනම සෙවීමට අප පටන් ගත්තේ ශූන්‍යතාවයකින්ද? බාහිර වස්තුව ගැන අර්ථ දීමට ප්‍රථමයෙන් , එම ප්‍රශ්නය ඇසීමට පෙරම මම (ආත්මය/ අභ්‍යන්තරය) දැනටමත් දන්නා දැනුමක් නොමැතිද? බාහිර වාස්තවිකත්වය යථාර්තයක් ලෙස මට දිස් වීමට මා තුළ දැනටමත් ඇති (a priori) අනුභූතී-උත්තර (අවිඥානික ව්‍යුහය – transcendental) දැනුමක් නැති ද? මා තුළ දැනටමත් යථාර්තය ගැන ෆැන්ටසියක් නැතිද?. මා “වාස්තවිකත්වය” හෝ “පදනම” යැයි කියන නිසාම ඒ සඳහා මා දැනටමත් දන්නා නිර්වචනයක් නැතිද? වාස්තවිකත්වයේ පදනම /මූලය සොයන මට එම වාස්තවිකත්වය යන්න ගැන දැනටමත් යම් අනුභූතී- උත්තර නිශ්චයක් (judgement) නැතිද? එසේ නොමැති නම් මට වාස්තවිකත්වය ගැන ප්‍රශ්නය පවා ඇසීමට නොහැකි වේ. මන්ද යත් බාහිර වාස්තවිකත්වය ගැන ගැටළුව පැන නඟින්නේම එය මගේ අභ්‍යන්තරය කෙරෙහි බලපෑමක් ඇති කරන නිසාවෙනි.

මේ අනුව කාන්ට්ගේ මැදිහත්වීම ඉතා නිශ්චිත ක්‍රියාවකි: එනම් ඉහත සාකච්ඡා කළ පරිදි බාහිර යථාර්තය (වාස්තවිකත්වය) ගැන අපක්ෂපාත/මධ්‍යස්ථ/සර්වසම ප්‍රශ්නයක් නැඟිය නොහැක. ඒ ප්‍රශ්න නඟන්නාද එම බාහිර යථාර්තයේම කොටසක් බැවිනි. කෙනෙකුට ‘කුමාර චාපා බණ්ඩාර’ මෙන් යථාර්තයෙන් පිටට ගොස් නැවතත් යථාර්තය කෙරෙහි ස්වයං-පරාවර්තනයක් (self-reflection) කළ නොහැක. ඒ මමද යථාර්තයේම කොටසක් බැවිනි. එම බාහිර යථාර්තයෙන් පිටත පැවැත්මක් ඇතැයි වන විශ්වාස උග්‍ර විඥානවාදයකි. එවිට කාන්ට් කියන පිරිදි අපට බාහිරත්වය ගැන ප්‍රශ්න ඇසීමට අපද එම බාහිරත්වයෙන් අධිනිර්ණය (over determine) වූ, එම සංකේත ලෝකයෙන්ම ලද දැනුමෙන් එබ්බවූ අනුභූතී-උත්තර ප්‍රාගනුභූත (transcendental- a priori) දැනුමක් දැනටමත් ඇත. ඇත්ත වශයෙන් ෆැන්ටසිය යනු කාන්ටියානු අර්ථයෙන් ගත් කළ අනුභූතී-උත්තර ප්‍රාගනුභූතයකි. උදාහරණයක් ලෙස අපට සෑම විටම ඇතිවන ප්‍රශ්නයක් වන්නේ චීනයේ හෝ නැගෙනහිර ආසියානු රටවල් වල නයි හා කෘමීන් ආහාරයට ගන්නේ කෙසේද කියායි. මෙයට මනෝවිශ්ලේෂී උත්තරය නම් කෘමීන් ආහාරයක් යනුවෙන් ආශාවක් ජනිත වීමට ෆැන්ටසි ආකෘතියක් නොමැති වීමයි. තවද අප නොඅසන්නේ අප ලංකාවේදී කුකුලන් හෝ හාල් මැස්සන් ආහාරයට ගැනීමට ආශාවන්නේ ඇයිද යැයි කියාය. චීනුන්ගේ දෘෂ්ඨිකෝණයෙන් හාල් මැස්සන් ආහාරයට ගැනීම ප්‍රශ්නයකි. එවිට අප තේරුම් ගත යුත්තේ මගේ ආශාවටද යමක් කෙරෙහි එසේ ආශා වීමට මගෙන් බාහිරින් අධිනිර්ණය වන මා තුළ ඇති අනුභූතී උත්තර ෆැන්ටසියක් ඇත. මෙම ප්‍රාගනුභූත (දැනටමත් මගේ මනසේ ඇති ප්‍රවර්ග-ෆැන්ටසි-a priori- අවිඥානය) වලින් තොරව බාහිර වාස්තවිකත්වයක් ගැන කතා කිරීම කාන්ට්ට අනුව විඥානවාදී පාර භෞතිකවාදයකි, අසත්‍යයකි. මේ අනුව කාන්ට්ගේ ප්‍රධාන දාර්ශනික මැදිහත් වීම නම් බාහිර වාස්තවිකත්වය නිවැරදිව නිර්ණය කිරීම නොව, එසේ බාහිර වාස්තවිකත්වයක් මා වෙත දෘෂ්‍යමාන (Appearance) වීමට මම (ආත්මය) කෙසේ ව්‍යුහ වී තිබිය යුතුද යන්නයි. එනම් වාස්තවික යථාර්තය (Object) එසේ වීමට, එසේ දෘෂ්‍යමාන වීමට වියහැකිභාවයේ කොන්දේසි (conditions of possibility) මොනවාද යන්නයි. මගේ මනස තුළ යමක් එසේ දිස්වීමට මගේ මනස කෙසේ සකස් වී ඇත් ද යන්නයි. මා දැනටමත් දැනගත යුතු දේ  මොනවාද යන්නයි. උදාහරණයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ඇති අවුල් ස්වභාවයට (Object) නිවැරදි පිළිතුරක් ද යැයි අප අසන විට ගෝඨාභයගේ පරණ කෙරුම් හා ලංකාවේ දැනට ඇති අවුල් ස්වභාවය විස්තර කර තේරුමක් නොමැත. කාන්ට්ට අනුව අප ප්‍රශ්නය පටන් ගත යුත්තේ අවුල යන්න මගේ මනසේ සකස් වී ඇත්තේ කෙසේද යන්නෙහි. මා අවුල යැයි සලකන්නේ කුමන ආකාරයේ දෙයින්ද? මගේ චින්තනයෙහිම අවුල ගැබ් වී නොමැතිද? ඉතාම නිරවුල් යැයි හැඟෙන ලංකාවේම වාමාංශය මට අනුව අවුලක්ද? ලංකාවේ අවුලට ආදරය නොමැතිව මගේ බිරිඳ සමඟ නිදිවැදීම නම් අවුල ඇතුළත් වේ ද? එය ඇත්තේ පිට ද? ගෝඨාභයගේ වියත් මඟ අවුල් මඟක් යන්න මට පසක් නොවේද? දැන් මා දන්නේ ‘අවුලක්’ අවුලක් ලෙස දිස් වීමට මගේ මනස විසින් ආයෝජනය කොට ඇති ”අවිඥානක ෆැන්ටසියක්” ඇත යන්නයි. යථාර්තයේ මෙම ආධාරකය විචාරය නොකොට එහි පදනම හෝ මූලය සෙවීම කාන්ට්ගෙන් පසු පුස්සකි.

දැන් අප දන්නේ ඉහත රෑපසටහන් 2 ටද අනුව කාන්ට්ගෙන් පසු, යථාර්තය ප්‍රශ්න කරන මනසද/ ඇස් දෙකද ඇත්තේ එම වාස්තවිකත්වය තුළම බවයි. කිසි ලෙසකත් අපට ඉන් පිටට ගොස්, ස්වාධීන දැක්මකට (neutral gaze) අනුව වාස්තවිකත්වය/ යථාර්තය දිස් වන අයුරු කතා කළ නොහැක. ප්‍රශ්න කරන මාත් සිටින්නේ ප්‍රශ්නය සන්ධර්භ වන අවකාශය ඇතුළතමයි. එහෙත් සිදුවන්නේ අප භාෂාව හසුරුවන විට මගේ මෙම අභ්‍යන්තර ස්ථානගතවීම මට අවිඥානක වීමයි. මට සිතෙන්නේ මගේ රැඩිකල් ප්‍රශ්නය තිබෙන්නේ ඉන් පිට යන්නයි. කාන්ට්ගේ රැඩිකල් ඛණ්ඩණය එයයි. කාන්ට්ට පසු තවදුරටත් බාහිර යථාර්තයක් නැත. ආත්මීය නොවන ඊනියා වාස්තවික විග්‍රහ ගෙන ඒම දරුණු විඥානවාදයකි (මනස්ගාතයකි). ප්‍රශ්නය පටන් ගත යුත්තේ එම ප්‍රශ්නය අසන ආත්මීය අස්ථානය විචාරය කිරීමෙනි. එයට හේතුව වැරදි පිළිතුරු පමණක් නොව වැරදි ප්‍රශ්න ද තිබිය හැකි නිසාවෙනි. දෘෂ්ඨිවාදයෙහි එක් දෘෂ්‍යමානයක් වන්නේ මේ වැරදි ප්‍රශ්නයි.

දැන් නැවතත් ‘X’ හි ඛණ්ඩණය වෙත: මෙයට අදාළ සංකල්ප වන්නේ ධනවාදය (වාස්තවිකත්වය-Object) හා එය විචාරය කරන වාමාංශික ආස්ථානයයි (ආත්මය-Subject). කාන්ට්ගේ ඛණ්ඩණයෙන් පසු අප දන්නේ ධනවාදයේ බාහිර වාස්තවිකත්වය විචාරය කිරීමට  අප පටන්ගත යුත්තේ ප්‍රශ්නය අසන වාමාංශික අාස්ථානය විචාරය කිරීමෙනි. එනම් කෙනෙකු ධනවාදය යැයි කෑ මොර දෙන විට ඇය එමඟින් අදහස් කරන්නේ කුමක්ද යන්න විචාරය කිරීමෙනි. දැන් අප දන්නේ සියලු දෙනා, සියලු ආස්ථාන තිබෙන්නේ ධනවාදය තුළම යන්නයි. ඉන් පිට කවුරුත් නැත්ද? සිටියි: ඒ පැරණි වාමාංශිකත්වයයි. සම සමාජ පක්ෂයෙහි සිට පෙරටුගාමීන් දක්වා සියල්ලෝ සිතන්නේ තමන් ධනවාදයේ පිට සිට එය විචාරය කරන ආස්ථාන බවයි. ඔවුන් ධනවාදය ගැන ඊනියා සංයුක්ත වාස්තවික විචාර ගෙනෙන්නේ මේ නිසා වෙනි. කාන්ට්ට පසුව අප දැන ගත යුත්තේ වාස්තවිකත්වය (ධනවාදය) විචාරය කරන ආත්මීය අස්ථානය විචාරය නොකිරීම පාරභෞතිකභාවයක් යන්නයි. සැබෑ වියුක්තභාවය එයයි. ප්‍රශ්න කරන ආත්මය ප්‍රථමයෙන් විශ්ලේෂණය කිරීම යථාර්තය සැබෑ ලෙස සංයුක්තව විග්‍රහ කිරීමකි. අප උදාහරණයක් ගනිමු. මාක්ස්වාදී සංකල්පයක් වන පරාරෝපණයට (Alienation) අනුව කම්කරුවා සිව් ආකාරයකින් තම නිශ්පාදන ක්‍රියාවලිය සමඟ පරාරෝපණය වේ. තමන්ගේ ම ශ්‍රමය තමන්ට අහිමි වී වෙනකෙතු සතුවේ. දෙය දරුණු පරාරෝපණයකි. දැන් MAS හෝ Brandix වැනි කම්හලක වැඩ කරන කම්කරු ස්ත්‍රියක පාදක කර ඉහත සංකල්පය අදාළ කර ගත හොත් අපට වැටහිය යුත්තේ එම ස්ත්‍රියට “ළමයි” යනුවෙන් අමතා, ඔවුන්ට සතියකට සැරයක් Sunflower මාදිළියේ සංගීත ප්‍රසංග ලබා දී, නොයෙකුත් “Employee of the month” වැනි ලුබ්ධි පගා දී ප්‍රති-පරාරෝපණය කරවයි.

වෙන අකාරයකින් කිවහොත් ප්‍රෝඩාව (Object deception) වන්නේ කම්කරු ශ්‍රමයෙන් තොරව ප්‍රාග්ධනයේ සර්පිලාකාර සංසරණය (circulation of capital) සිදු වන බවයි. ජිජැක්ට අනුව, මාක්ස් ද මෙන්, ධනවාදයේ ෆැන්ටසි අඩංගුව මෙයයි. ප්‍රාග්ධනය විසින් මිනිස් අවශ්‍යතා සැපිරීම නැමැති ආත්මීය සංජානනයෙන් හා සුරා කෑම නම් වාස්තවික සත්‍යයෙන් ග්‍රහණය නොකර ෆැන්ටසි අර්ධය ඉහත සඳහන් කළ කම්කරු ශ්‍රමය අකර්මන්‍ය ක්‍රියාවක් (passive act) යැයි සැලකීමයි. මනෝවිශ්ලේෂණ අර්ථයකින් සමසමාජයේ සිට පෙරටුගාමී සමාජවාදීන්, PODEMOS හා Syriza දක්වා ග්‍රහණය නොකළ සත්‍ය වන්නේ ඉහත MAS හා Brandix’ හි “ළමයින්ගේ” විනෝදයයි (Enjoyment). එම විනොදයට අවකාශ සැපිරෙන ස්ථානය යනු කම්කරුවාගේ විඥානයයි. එම කම්කරු ආත්මීය ආස්ථානය ඇත්තේ දැන් අප දන්නා පරිදි ධනවාදයෙන් පිට ද?.

දැන් අපට ‘X’ දේශපාලනය යනු සැබෑ  පරම ඛණ්ඩණයක්ද යන්න න්‍යායිකව තේරුම් ගැනීමට අවකාශ ඇත.ඉහත රූපසටහන 3ට අනුව පැරණි වාමාංශිකත්වය යනු ධනවාදය තමන්ගෙන් පිට වෙනත් කෙනෙකු තුළ ඇති, නැතහොත් බාහිර තිබෙන කිසියම් වස්තුවක් ලෙස දකින ක්‍රියාවකි. එයට අනුව කම්කරුවා අකර්මන්‍යව තම ශ්‍රමය විගලිත කරයි. ඔවුන් පොඩි “ළමයින්” ය. ධනවාදය නම් බල ආස්ථානය ඇත්තේ මා තුළ නොව වෙන කොහෙදය. ‘X’ දේශපාලනය සැබෑ කාන්ටියානු ඛණ්ඩණයක් වන්නේ එය ධනවාදයෙන් පිට ආත්මීය ආස්ථානයක් ගෙන එය විචාරය නොකිරීමයි. ‘X’ දේශපාලනයට අනුව ධනවාදය විචාරය කිරීම පටන් ගන්නේ අප දැනටමත් දන්නා දැනුමෙනි. ඒ අප ධනවාදය තුළම සිටින බැවිනි. විප්ලවවාදීනුත් සිටින්නේ ධනවාදය තුළය. තමන් සිටින්නේ ධනවාදය තුළ නොව ඉන් පිට ව්‍යතිරේකයක යැයි කියන්නේ පෙර දී සාකච්ඡා කළ පරිදි බොරු “පිරිමින්ය”. ඔවුන් තමන් වාමාංශිකයින් යැයි තමන්ටම කියා ගනී. අප සියලු දෙනා ධනවාදය තුළ සිටින බැවින් අප දැනටමත් දන්නා විඥාන ව්‍යුහයන් (ෆැන්ටසි) විචාරය කිරීම යනු “දෘෂ්ඨිවාදය විචාරය කිරීමයි” . දැන් මෙය බොළඳ ක්‍රියාවක් යන්න කියන සියලු දෙනා කාන්ට්ට පෙර සිටි අක්වයිනාස් (Aquinas) වැනි අධිකතර විඥානවාදී බොරු ගිරිල්ලන්ය. ආයුධ ගෙන වෙඩි තැබීමට දැන් අප දන්නා පරිදි බාහිර ධනවාදය අභ්‍යන්තර විනෝදයෙන් තොරව නොමැති නිසා කළ යුත්තේ අඩුම තරමේ Fight Club චිත්‍රපටයේ මෙන් තමන්ට වෙඩි තබා ගැනීමය. තමන්ට ප්‍රථමයෙන් ”ගසා – ගැනීම” කළ හැකි හොඳම දෘෂ්ඨිවාදී විචාරයයි. රැවුල කපා, මේස් සෝදා, දිනපතා හොඳට නා, කා බී සිටීමද වැදගත් විචාරයකි. මෙම නූගත් තත්වයෙන් ලංකාවේ වාමාංශය පිටතට පැමිණිය යුතුයි. පක්ෂ රැස්වීම තුළදී I phone එක එළියට ගත්තාට කමක් නැත. ධනවාදය ඇත්තේ I phone OR Peugeot 406 එක එළියට ගන්නා කෙනාට වඩා එය හංගන විප්ලවවාදියා තුළයි.

දැන් ‘X’ සැබෑ වාමාංශික ඛණ්ඩනයක්ද? පිළිතුර : කාන්ට් දර්ශනය තුළ ඛණ්ඩනයක් වන්නේ යම් සේද, ‘X’ දේශපාලනයද එසේමය. සැකෙවින් එහි ඛණ්ඩණයක් වන්නේ කුමක්ද? පිළිතුර : ධනවාදය යනු බාහිර ඇති වාස්තවිකත්වයද පමණක් නොව එයට ෆැන්ටසි ආධාරකය සපයන හා එමඟින් විනෝද වන කම්කරුවාගේද ගැටළුවකි. එවිට ‘X’ ට පසුව වාමාංශික විචාරය/ දේශපාලනය පටන් ගත යුත්තේ බාහිර රකුසාගෙන් නොව අභ්‍යන්තර අවිඥානය විචාරය කිරීමෙනි. මෙහි මාක්ස්වාදී භාවිතාව නම් “දෘෂ්ඨිවාදය (අවිඥානය විනෝදය) විචාරය කිරීමයි” (critique of Ideology). මෙම  ‘X’ නැමැති ඛණ්ඩණයෙන් පසු තවමත් බාහිර වාස්තවිකත්වය (ධනවාදය) ගැන ඊනියා සංයුක්ත භාවිතාවන් යනු බෙකට්ට (Beckett) පසු තවමත් විශාල අඛ්‍යාත සහිත නවකතා ලිවීම වැනිය. විනෝද වන කම්කරුවන් පාරට බස්සවා බොරු උද්ඝෝෂණ කිරීම යනු Iphone එක සාක්කුවේ දමා ගෙන කරන බොරු ධනපති ප්‍රෝඩාය. මේ ආකාරයෙන් ‘X’ නම් නවතාවයෙන් (New) පසුව පෙර පැවති පැරණිභාවය අහෝසි වී, එම පැරණිභාවය තුළම අසංගතභාවයක් සලකුණු කර ඇත. පැරණිභාවයේ දෘෂ්ඨිකෝණයේ (ජවිපෙ පෙරටුගාමී හෝ සමසමාජ දෘෂ්ඨිකෝණයෙන්) ‘X’ යනු අපගමනයකි (deviation). ඒ ඔවුන් පැරණි නිසාවෙනි. කරුණු එසේ නම් ‘X’ නම් නවතාවයට එම පැරණිභාවය තුළින්ම ඉඩ ලැබුණේ කෙසේ ද? පිළිතුර : පැරණිභාවය ධනවාදය කෙරෙහි වන අරගලයේ ඇති යම් අසම්පූර්ණත්වයක් නිසාවෙනි. ඒ අසම්පූර්ණත්වය නම් ධනවාදය යන බාහිර යථට (Real) ආධාර සපයන අභ්‍යන්තර ආත්මීය විනෝදය (විනෝදයට ඛණ්ඩාංක සපයන්නේද ෆැන්ටසිය තුළිනි) අදාළ කර නොගැනීමයි. මෙම අසම්පූර්ණත්වය සනිටුහන් කිරීමෙන් පසුව ද එය තවදුරටත් කරගෙන යාම Tom and Jerry හා දෙවියන් මෙන් තමන් අහෝසි වූ ප්‍රපංචයක් තේරුම් නොගැනීමකි. එය නරුමවාදයකි (cynicism).

දැන් වැදගත් ප්‍රශ්නයක් අසමු: ඔබ මේ කියන දෘෂ්ඨිවාදී විචාරය නිකන් න්‍යාය කිරීමක් පමණක් නොවේද? පිළිතුර: පැරණි වාමාංශික භාවිතාවේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට දෘෂ්ඨිවාදය විචාරය කිරීම යනු න්‍යායකි. ඔවුන්ට අනුව භාවිතාව උද්ඝෝෂණ කිරීම හෝ ආයුධ ගැනීමයි. අප දන්නා පරිදි දැන් අරගලය පටන් ගත යුතු “භාවිතාව” වන්නේ දෘෂ්ඨිවාදය විචාරය කිරීමෙනි. එනම් න්‍යාය යනු දෘෂ්ඨිවාදය විචාරය කිරීම නම් භාවිතාව පැරණි හා අහෝසි වූ වාමාංශිකත්වයට දෘෂ්‍යමාන වන ආකෘතියයි (Theory is the form of appearance of the practice of the critique of Ideology to the Old left). ඒ ඔවුන් පැරණිභාවයේ (Old) නිසාවෙනි. ‘X’ දේශපාලනය විසින් දෘෂ්ඨිවාදය විචාරය කිරීම නම් නව වාමාංශිකත්වය සාර්වත්‍රික කර අවසානය. එම නිසා එය භාවිතාවයකි. මෙහිදී න්‍යායම භාවිතාවක් යන්න සඳහන් කිරීම ප්‍රමාණාත්මක නොවේ. සැබෑ ප්‍රතිවිරෝධය ඇත්තේ න්‍යාය හා භාවිතාව අතර නොව සත්‍ය භාවිතාව අතරයි. එම නිසා අහෝසි වූ අය න්‍යාය යැයි කියන්නේ අපගේ නවතාවය වන භාවිතාවටය. ඔවුන් අප දෘෂ්ඨිවාදය විචාරය කිරීම භාවිතාවක් ලෙස (නව වාමාංශිකත්වය) ලෙස ගත් දාට ඔවුන් ‘X’ සාමාජිකයින් වී අවසානය.

“The problem is not to think the Real outside of transcendental correlation, independently of the subject; the problem is to think the Real inside the subject, the hard core of the Real in the very heart of the subject, its ex-timate center.”

 – Slavoj Zizek, Less Than Nothing.

ඩිල්ෂාන් ප්‍රනාන්දු.

PARTY COMMENT-

On the other hand Meillassoux argues against Zizek, seeing in his philosophy a version of the good old days of subjective idealism. But Zizek asks: Is this the case? Is he truly a subjectalist? On the surface Meillassoux is correct in his estimation so far as it goes, Zizek tells us; yet, what Meillassoux calls “sickened” or “failed” correlationism, “far from being a half-hearted break-out from the correlationist constraint, is the key component of any true escape: it is not enough to oppose to transcendental correlation a vision of reality-in-itself— transcendental correlation itself has to be grounded in reality-in-itself; i.e., its possibility has to be accounted for in the terms of this reality.”

Zizek’s critique of Meillassoux is not against his anti-transcendentalist gesture – transposing the contingency of our notion of reality into the Thing itself – but with his inability to resolve the dilemma of subjectivity itself. It is not so much what we can say about reality-in-itself, but how our subjective standpoint and subjectivity itself fit into reality(Kindle Locations 14519-14520). The question for Zizek becomes “How do phenomena themselves arise within the flat stupidity of reality which just is; how does reality redouble itself and start to appear to itself?”:

For this, we need a theory of the subject which involves neither transcendental subjectivity nor a reduction of the subject to a part of objective reality; such a theory also enables us to formulate in a new way what Meillassoux calls the problem of correlationism.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දීප්ති දැන් දේශපාලන පංති පවත්වන්නැද්ද?අලුතෙන් සම්බන්ධ වෙන්න බැරිද ?

Comments are closed.