‘X’ දැන් අප දන්නා පරිදි අලුත් දේශපාලන සංකල්පයකි. ආඥාතභාවය නිසාම සමස්ථතාවාදී නොවන, පූර්ව-ඉරණම්කරණය නිසාම තොරක් නැතිව දැනුම (නිදහස/ඉරණම) සොයා යන ධනවාදයට බොරු ව්‍යතිරේඛයන් නොසොයන එහි අභ්‍යන්තරයෙන්ම එය විනාශ කරවන වාමාංශිකත්වයකි ‘X’. එහෙත් අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඇත්තටම මෙය වාමාංශික දේශපාලනයට නවතාවයක් ද යන්නයි. මෙම ප්‍රශ්නයේ වැදගත් කම වන්නේ එක් පසෙකින් අනෙක් දේශපාලන පක්ෂ විසින් මෙය අභිබවීමට දත කන නිසා හා අනෙක් පසෙන් ‘X’ හි “කතිකාව” පමණක් (දේශපාලනය නොවේ) තම දේශපාලනයට තමන්ගේ මෙන් අනුකරණය කර ඇති නිසාය.

දයලෙක්තිකය යනු මාක්ස්වාදී චින්තනයේ පදනමයි. යමක (සංකල්පයක, ‘දෙයක්ම’ නොවේ) හරයේම ඇති පරස්පරභාවය දයලෙක්තිකය යන්න අප කට පාඩමින් දනිමු. එහෙත් එහි විලෝමය දයලේක්තිකය යන්නම බව අප දැන ගත යුතු වේ. එනම් බැලූ බැල්මට පෙනෙන පරස්පරයක්, එකට නොපෑහෙන සංකල්ප හෝ දේවල් දෙකක්, දයලෙක්තික චින්තනයට අදාළව බලන විට පරස්පරයක් නොව අනන්‍යභාවයක් (Identical) යන්න වටහා ගත හැකි වේ. උදාහරණයක් ලෙස මීට දශක කිහිපයකට පෙර තමන් රැකියාව කරන ආයතනයේ කළමණාකරු තමන්ව සත පහකට ගණන් නොගෙන තමන්ට සෘජු නියෝග දෙනු ලැබුවේ නම් අද පශ්චාත් නූතන කළමණාකරුවන් විසින් අපගේ කරට අත දමා එකට සිගැරට් බී “මචං අද අර Assignment එක ඉවර කරපං” යැයි කියා රෑට Bar එකේ බීමටද ඉඩ ඇත. දැන් මෙය ආයතනික බලයේ දෘෂ්ඨිකෝණයෙන් දැඩි පරස්පරයකි.  ආයතනය ඇත්ත වශයෙන් බලය ක්‍රියාත්මක නොවන අවකාශයක් ආකාරයෙන් අපට දිස් වේ. එහෙත් අප මාක්ස්වාදීන් නම් අපට වැටහිය යුත්තේ ඉහත පරස්පරය දෘෂ්‍යමානයක් පමණක් බවත්, එහි හරයේ එම අර්ධ දෙක අනන්‍ය බවත්ය. එනම් පැරණි බලය (Content) ක්‍රියාත්මක වීමේ ආකෘතිය (Form) දැන් වෙනස් වී ඇති බවය.

දයලෙක්තිකයෙහි මෙම සංකල්ප රාමුව අපට උපයෝගී වන්නේ රචනයේ උක්ත ගැටළුව වන ‘X’ අදහස ඇත්තෙන්ම නවතාවයක්ද යන්නට පිළිතුරු සැපයීම සඳහාය. දයලෙක්තිකව අවලෝකනය සඳහා ඉහත ප්‍රශ්නය හා සැබැඳි සංකල්ප ද්විත්වය නම් පැරණිභාවය / පරණ (Old) හා නවතාවය / නව (New) වේ. ප්‍රශ්නය පැහැදිලිව මෙසේයි! ‘X’ නම් වාමාංශිකත්වය යනු පැරණි වාමාංශිකත්වයේම නව දෘෂ්‍යමානයක් ද (එය දිස්වන නව ආකෘතියක්ද) එසේත් නැතහොත් එය සැබැවින්ම පැරණිභාවය ඇත්තටම පැරණිභාවයක් යන්න සනිටුහන් කරමින් (සම සමාජ පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණෙන් වුවද කටයුතු කරන සාමාජිකයෙකු තමන් කරමින් සිටින්නේ අහෝසි වූ පැරණි දේශපාලනයක් බව නොදන්නා නිසා ප්‍රථමයෙන්ම පැරණි බව පැරණි ලෙස මතු විය යුතු නිසා) ඉස්මතු වූ නවතාවයක් ද යන්නයි. එසේත් නැතහොත් අප නැඟිය යුතු ප්‍රශ්නය වන්නේ ‘X’ යනු වාමාංශික දේශපාලනයේ සත්‍යවශයෙන්ම ඇති වූ රැඩිකල් ඛණ්ඩනයක් ද යන්නයි. තවමත් අපට ‘X’ වාදීන් විය හැකිද?(Can we Still be Hegelian today ?- Zizek)

පැරණිභාවය (Old) සහ නවතාවය (New) යන්න මෙහිදී දයලෙක්තිකව විදාරණය කර ගත යුතු වේ. අප පැරණිභාවය හා නවතාවය යන්න දයලෙක්තිකව තේරුම් ගැනීමට ප්‍රථම, එම වෙනස දයලෙක්තික නොවන ආකාරයෙන් සලකා බලමු. අපගේ පොදු සාමාන්‍ය දැනීම අනුව නවතාවය (New) යනු පැරණිභාවයට (Old) පසු පැමිණෙන අනුක්‍රමික ක්‍රියාවලියකි. එයට අනුව සෑම පැරණිභාවයටම පසුව නවතාවය අනිවාර්යයෙන් මීලඟට පැමිණිය යුතුව ඇත. ඊනියා හෙගේලියානු (අසත්‍ය) ප්‍රවේශයකට අනුව සෑම පැරණිභාවයක්ම (thesis) එහි හොඳ ලක්ෂණ හා නරක ලක්ෂණ හා ප්‍රතිවිරෝධතා (anti-thesis) සමඟ සමතික්‍රමණය වී (reconcile) නවතාවයක් (Synthesis) බිහි වේ. මෙම ඊනියා බැරෑරුම් චින්තනයට අනුව සියල්ල නිම වී අලුත් දේ බිහි වේ. එනම් සෑම ඉතිහාස ක්‍රියාවලියකටම (මෙය රටේ ඉතිහාසය පමණක් නොව පුද්ගලික ජීවිතයේ ඉතිහාසය හෝ යම් ආයතනයක ඉතිහාසයක වුවද) ක්‍රමික සංක්‍රාන්තියක් ඇත. ඉතිහාසය එයට පරිභාහිරින් නියාමනයක කරන උත්තර නියාමයක් (Big Other) ඇත. මෙම පැරණිභාවය (Old) හා නවතාවය (New) අතර සම්බන්ධය යනු අන් කිසිවක් නොව සාධ්‍යතනවාදයයි- සරල රේඛීය චින්තනය- (Teleological). සාධ්‍යතාවාදයේ ඇති විඥානවාදී බව අප පෙර දී සාකච්ඡා කරන ලදී.

ඉහත සාධ්‍යතාවාදීව (Teleological) පැරණිභාවය (Old) හා නවතාවය (New) විග්‍රහ කිරීමේදී ඉස්මතුවන ප්‍රධානතම ප්‍රශ්නය නම් පැරණිභාවයේ දෘෂ්ඨිකෝණයෙන් නවතාවයට ඉඩ ලැබුණේ කෙසේ ද යන්නයි. එනම් අප සිතන පරිදි පැරණිභාවය සංගතභාවයක් (Cohesive / Complete) නම්, සම්පූර්ණත්වයක් නම් එම සංගතභාවය තුළින්ම නවතාවය නම් බීජයට අවකාශය සැපයෙන්නේ කෙසේද යන්නයි. තවත් විදාරණය කරන විට අපට ගැටළුව ඇත්තේ නවතාවයට පෙර පැවති පැරණිභාවයේ එහිම වූ ස්වභාවය  (in-itself of the Old) ගැන දැනගැනීම නොව එම පැරණිභාවයේ දෘෂ්ඨිකෝණයෙන් දෘෂ්‍යමාන වන (Old as appearing for the New) අතර වන පරතරය තේරුම් ගැනීමයි. උදාහරණයක් ලෙස අප ආදරය වෙත ඇද වැටෙන අවස්ථාවක් පාදක කරගනිමු ! මට මගේ ආදරවන්තිය හමු වීමට පෙර වූ පැරණිභාවයක් (Old)ඇත. මගේ ආදරවන්තිය නම් එම දිව්‍යමය සම්මුඛ වීමට (Encounter) පසුව මා පත්ව ඇති නවතාවයක් (New) ඇත. මෙම යථෙහි (Real- මෙම සංකල්පය අප පසුව නිශ්චිතව විග්‍රහ කිරීමට තබා ගනිමු.)  සම්මුඛ වීමට පසු මගේ ජීවිතය යනු පෙර තිබූ පැවැත්මම නොවේ. එය නවතාවයකි (New), එසේ නොවේ නම් එය සැබෑ ආදර සම්මුඛ වීමක් නොවේ  (Fall/ Real in Love – loose Control) දැන් මෙම තත්වය පහදා දීමට අප සාධ්‍යතාවාදීව මගේ ආදරයට සම්මුඛ වීම ඊට පෙර පැවති ආදරය රහිත රස්තියාදු ජීවිතයේ ක්‍රමික වර්ධනයක් හා අපේක්ෂා කරන ලද සංක්‍රමණයක් ලෙස දැක්වුවහොත් මෙය එම නිශ්චිත හා ආපතික (contingent) ආදර සම්මුඛ වීම අවප්‍රමාණය කිරීමක් බව තේරුම් ගත යුතුය.

යථානුගත (Real) සම්මුඛ වීම් යනු අනාගතය පමණක් නොව අතීතයද වෙනස් ආකාරයට දෘෂ්‍යමාන වීමට සලස්වන සිදුවීම්ය. එනම් එම නවතාවයට (New) පසුව පෙර පැවති පැරණිභාවයම එහි තිබූ එහිම වූ ස්වභාවයට වඩා වෙනස් ආකාරයට දිස් වීමට පටන් ගනී. එනම් නියම ආදර සම්මුඛ වීමකට පසුව අප දෙදෙනාගේ අනාගතය පමණක් නොව මේ වන තෙක් මගේ ජීවිතයද , මෙම අහඹු/ආපතික සම්මුඛ වීම වන තුරු පැමිණි සිදු වීම් හා ඉතිහාසය වෙනස් ආකාරයකට දිස් වීමට පටන් ගනී. එය කිසිසේත් විඥානවාදී ප්‍රෝඩාවක් නොවන්නේ මෙය නවතාවයේ ඇති පරම (Absolute) ස්වභාවය නිසාවෙනි. එනම් නවතාවය (New) යන්නෙහි පරම හා වියනොහැකිභාවය (Impossible) එහෙත් විය හැකි හා සිදු වූ (Impossible happens, not impossible to happen) තත්වය හේතුකොට ගෙන උත්තර නියාමයක් නොමැති මගේ පෙර ජීවිතයේ සිදු වීම්, මෙම පරම සම්මුඛ වීම කෙරෙහි දිශානතව තිබූ බවට මට දෘෂ්‍යමාන වේ. එනම් යම් අහඹු / ආපතික සම්මුඛවීමක් මගේ ජීවිතයේ ඉරණම බවට මා පෙරලා ගනී (contingency as necessity) මෙම නවතාවයේ (ආදර සම්මුඛ වීමේ) දෘෂ්ඨිකෝණයෙන් මගේම පැරණි ජීවිතය යනු (Old for the New) මා එම පැරණි ජීවිතයම ගත කරන විට මා අත්දුටු (Old in-itself) ජීවිතයම නොවේ. නවතාවයේ පරමත්වය විසින් පැරණිභාවයේම යම් පරතරයක්/කැපුමක්/අසංගතභාවයක්/අසම්පූර්ණත්වයක් රැඩිකල් ලෙස ලකුණු කරයි. එසේ පැරණිභාවයේ (Old) අසංගතභාවයක් ලකුණු නොකරන නවතාවයන් යනු සැබෑ නවතාවයක් නොවේ. මේ අර්ථයෙන් මගේ නිර්ණයට අනුව 1948 හි නිදහස නම් ඛණ්ඩනය සැබෑ නවතාවයක් නොවන්නේ 1977 හි JR ගේ වෙළඳපොළකරණය විසින් පැරණිභාවය (හවුල් ආණ්ඩු පෝලිම් ක්‍රමය හා එකතැන පල්වන සමූපකාර දෘෂ්ඨිවාදය හා ලංකාවේ වූ රදළ පැළැන්තිය) මෙම ඛණ්ඩනයේ දෘෂ්ඨිකෝණයෙන් යල් පැන ගිය ක්‍රමයක් යන්න සපථ වූ ආකාරයට යටත්විජිතවාදය අහෝසි නොවූ නිසාවෙනි (සැබෑ ලෙස යටත්විජිත රදළ පැලැන්තිය අභියෝගයට ලක් වූයේ වෙළඳපොළ නිසාවෙනි).

දැන් අප දන්නේ දයලෙක්තිකව විග්‍රහ කරන විට සැබෑ නවතාවයක් (New) යනු අනාගතය හා වර්තමානය වෙනස් කරන්නක් පමණක් නොවේ. ඊට අමතරව අපගේ පැරණිභාවයද (Old) වෙනස් ආකාරයට දෘෂ්‍යමාන වීමට සලස්වන රැඩිකල් කැපුමකි. සැබෑ නවතාවය යනු මේ ආකාරයට පැරණිභාවයම දෙකට වෙන් කරන ; එනම් පැරණිභාවයෙහි එහිම වූ ස්වරූපය (Old in-itself- අප පෙර සිදු වීම් ඒ මොහොතේ දිස් වූ ආකාරය) හා එම පැරණිභාවය නවතාවය යන අලුත් ආකෘතියෙන් දෘෂ්‍යමාන වන ආකාරය ලෙසයි (Old for the New). දැන් ගැටළුව වන්නේ ඉහත සාකච්ඡා කළ ආකාරයට ඉතිහාසය සාධ්‍යතනවාදී නම් (Teleological), ක්‍රමික නම්, එකකට පසුව තව එකක් අනුක්‍රමිකව අපේක්ෂා කරන පරිදි යම් උත්තර නියාමයකට අනුව සිදු වේ නම් (උදා: වැඩවසම් ක්‍රමයට පසුව ධනවාදය, ඊට පසුව එහි උසස් තත්වය(Synthesis) වන සමාජවාදය ) ; සංගත නම්, සම්පූර්ණ නම් අප දැන් දන්නා ආකාරයට නවතාවයේ එළඹිමෙන් පසුව පැරණිභාවය දෙකට ඛණ්ඩනය වන්නේ කෙසේද යන්නයි? සරලව කිවහොත්, නවතාවයේ සැබෑ පරමත්වය විසින් මෙසේ සංගත පැරණිභාවයක් දෙකට වෙන් කොට (එහිම වූ ස්වරූපය හා නවතාවය වෙත දිස් වන ආකාරය ලෙස) පරතරයක් සලකුණු කරන්නේ කෙසේද? පිළිතුර : පෙර පැවති පැරණිභාවය අසංගත හා අසම්පූර්ණ නිසාය.

රැඩිකල් ලෙස නවතාවයේ සැබෑ විශිෂ්ඨත්වය නම් ඉහත පෙර පැවති පැරණිභාවයේ එහිම ස්වරූපයෙහි (උදා: රාජපක්ෂ රෙජිමයෙහි එහිම වූ තත්වයෙහි) අසම්පූර්ණත්වය හා අසංගතභාවය යම් දෘෂ්ඨිවාදයක් (ජාතිවාදය – සම්පූර්ණ කිරීම) විසින් රඳා පවත්වා ගත් තත්වය කඩා බිඳ දමා නව නවතාවයක් බිහි කිරීමයි. එනම් පෙර පැවති පැරණිභාවයේ අසංගතභාවය සලකුණු කිරීමට (වහලා තමා වහලෙකු යැයි දැන ගැනීම/ දෘෂ්ඨිවාදය විචාරය කිරීම/traversing and fantasy ), එහි සංගතභාවයෙහි මැදට පැන දෙකට වෙන් කිරීමම, ඇති වූ නවතාවයේ පරමත්වයයි. මෙම මැදිහත් වීමෙන් පසු පැරණිභාවය (Old) තවදුරටත් පෙර පැවති ස්වභාවයම නොවේ. එබැවින් නවතාවය වෙනස් කරන්නේ වර්තමානය හා අනාගතය පමණක් නොව අතීතයේ තිබූ විය නොහැකියාව (Impossibility) හා අසම්පූර්ණත්වයයි (Incompleteness).

වැදගත් ප්‍රශ්නයක් අසමු : මේ ආකාරයෙන් නවතාවය විසින් පැරණිභාවයෙහි වූ ඇත්තටම සිදු වූ සිදුවීම් වෙනස් කරන්නේ කෙසේද? පිළිතුර: දීප්ති සහෝදරයා නිතර කියන පරිදි (ලැකාන් හා ජිජැක්ට අමතරව) යථාර්තය (Reality) (Content) යන්නෙහි සම්පූර්ණභාවය හෝ සාර්වත්‍රිකභාවය රැඳී ඇත්තේ එය ඒ ආකාරයෙන් වියමන්ගත විය යුතු බවට වන ආකෘතියෙනි. යථාර්තය යථාර්තය ලෙසට (Reality as Reality) අපට සංජානනය වන්නේ එහි ආධාරක ආකෘතිය වන ෆැන්ටසිය නිසාය. එබැවින් සෑම යථාර්තයකටම (උදා: යහපාලන ආණ්ඩුව නම් යථාර්තය අපට සංජානනය වන්නේ එය කෙරෙහි අප දක්වන ආත්මීය ෆැන්ටසිය තුළින් පමණයි. ෆැන්ටසියෙන් තොර යථාර්තයක් නොමැත – Truth is structured like a fiction). එම නිසා නවතාවයේ පරමත්වය (Absolute New) විසින් කරන්නේ යම් ෆැන්ටසි දැක්මකට ගොතන ලද පැරණි යථාර්තය/ සම්පූර්ණත්වය නවතාවයේ ආකෘතිය විසින් විසංයෝජනය කොට, අහෝසි කොට එය වෙනත් මානයකයට / ෆැන්ටසියකට (ෆැන්ටසියක් නොමැතිව යථාර්තයක් නොමැති) අනුව යළිත් සංවිධානය කිරීමයි. එබැවින් ඇත්ත සිද්ධීන් ඇත්ත වන්නේ ෆැන්ටසි අර්ධයක් සමඟ නිසා, නවතාවය විසින් එම සිද්ධීන් මෙම නවතාවය වෙත ප්‍රතිසංවිධානය කරනු ලබයි. එය එම නිසා අතීතානුයෝගී (Retrospective) ක්‍රියාවකි. සැබෑ ලෙසම නව කතුවරුන් අලුත් දෙයක් ඉදිරිපත් කරමින් අතීතානුයෝගීව තම පුරෝගාමීන් බිහි කරයි, මේ වෙනකන් වූ සාහිත්‍ය ඉතිහාසය වෙනස් කරයි. උදාහරණයක් ලෙස සැමුවෙල් බෙකට් (Samuel Beckett) සාහිත්‍ය ඉතිහාසයේ ඛණ්ඩනයක් වන්නේ ඔහු තම කෘති මඟින් තම පුරෝගාමී ලේඛකයන් කරමින් සිටි දේ අතීතානුයෝගීව ප්‍රතිසංවිධානය කරන නිසාවෙනි. Unnamable නම් ඔහුගේ නවකතාව සාහිත්‍ය ඉතිහාසයේ අවමවාදය (මෙය minimalism යන්නට නිවැරදි නිරුක්ති වචනය නොවේ) සනිටුහන් කරමින් ඔහුට පෙර සිටි ජේම්ස් ජොයිස් (James Joyce) වැන්නන්ගේ සාහිත්‍ය පවා නව අර්ථකතනයකට පාදක කරයි. බෙකට් ට පසුව තවදුරටත් මහා ආඛ්‍යාත සහිත නවකතා පුස්සක් බවට පත් වේ. මගේ ආදරවන්තිය මට සම්මුඛ වූයේ මා රැකියාව කරන ස්ථානයේ නම්, මෙම සම්මුඛ වීමට පසුව මා එම රැකියා ස්ථානයට පැමිණියේම ඇය හමුවීමට නම් ඉරණම නිසාවෙන්ම බව පසක් වේ. දැන් අප දන්නේ මෙය භෞතික සත්‍යයක් බවයි.

නවතාවය (New) යනු මෙම දයලෙක්තික අර්ථයෙන් අතීතානුයෝගීව තම වියහැකිභාවයේ කොන්දේසි ප්‍රතිජානනය කරනු ලබයි (retroactively positing the conditions of possibility). පැරණිභාවයේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට (ආදර සම්මුඛ වීමට පෙර -before falling in  love) සැබෑ නවතාවයක් (fall in love- සම්මුඛ වීම) සිදු විය නොහැක. එම පැරණි දෘෂ්ඨිකෝණයෙන් බලන විට සෑම නවතාවයක්ම දිස් වන්නේ අපගමනයක් (deviation) ලෙසයි. එයට හේතුව නවතාවය තවමත් තම ආකෘතිය සාර්වත්‍රික කර නොමැති නිසාවෙනි (Not Yet declared “I Love You”). එම නිසා මෙවැනි රැඩිකල් නවතාවයක් සාධ්‍යතාවාදී ක්‍රමික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස තේරුම් ගත නොහැක. විය නොහැකියාව සිදු වේ (Impossible happens). එසේ නම් ‘X’ නම් දේශපාලන සංකල්පය, ‘X’ කණ්ඩායම හා දීප්ති යනු එවැනි රැඩිකල් ලෙස වියනොහැකියාවේ සම්මුඛ වීමක් වැනි සැබැවින්ම නවතාවයක්ද?.

ඩිල්ෂාන් ප්‍රනාන්දු

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Apart from a good theoretical analysis of the ‘genesis’ and ‘evolution’ of the X group, Dilshan’s series of 3 articles so far shows his ability to explain some key theoretical concepts very clearly and in detail. I truly appreciate the effort. I think it will be a timely project if the Party gets him to do a booklet (a kind of a glossary) of theoretical concepts and terms with such detailed explanations with contemporary examples.

Comments are closed.