ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » News » ‘කතන්දරේ’ නම් වූ කතාන්දරයක් අහිමි කතන්දරය…

‘කතන්දරේ’ නම් වූ කතාන්දරයක් අහිමි කතන්දරය… 

Dberman-

 

කයිසර් නම් රැප් ගායකයා ගායනා කරන (ඉරාජ් විසින් නිෂ්පාදනය කළ) ‘කතන්දරේ’ නම් මියුසික් වීඩියෝ ව කොතරම් ජනප්‍රිය වුනත් ඇත්තටම ගීතය දිහා බලනකොට පෙනෙන දෙයක් තමයි ඒ තුළ කිසිම බරපතල දෙයක් දකින්න නැති කම. කතන්දරේ කියුවට ඇත්තටම කියන්න කතන්දරයක් නැති කම තමයි එහි රෝග ලක්ෂණය.  නමුත් එම නැතිකම ම තමයි එහි අන්තර්ගත අඩංගුව බවට පත්වන්නේ. අද සමාජය ඇත්තටම බයයි කිසිවක් අන්තර්ගත වී ඇත්නම්. මිනිස්සු බයෙන් ඉන්නේ තමන් ඉන්න හිස්බව අනාවරණය වෙයි කියල. ඒ අය තම ජිවිත පරිත්‍යාග යෙන් කැපවෙලා ඉන්නවා ඒ හිස් බව අනාවරණය කරන ඕනෙම කෙනෙක් මරාගෙන මැරෙන්න. හරියටම ජිජැක් කියනවා වගේ අර එක වතාවක් කොරියානු ගායකයෙක් විසින් ගායනා කළ ගැන්ග්නම් (Gangaman Style) ගීතය තුළ කිසිවක් අන්තර්ගත වී නැතිකම ට සමානයි. එක එතරම් ජනප්‍රිය වීමට එකම හේතුව නම් ඒ තුළ යම් විකාරරූපී රංගනයක් හැරුන කොට අන් කිසිවක් නැතිවීම. ඉරාජ් ගේ ගීතය තුළ උනත් අර අඩ නිරුවත් කාන්තා රුපය හැරුනම ගන්න කියල වෙන කිසිම් දෙයක් නෑ. ගොඩක් ඉල්ලා සිටින මේ යුගයේ ඇත්තටම ඉල්ලා සිටින්නේ ම අපිට කිසිවක් දෙන්න එපා කියන එක. හරියට උසස් අධ්‍යාපනය වගේ. ගොඩක් දේවල් ඉල්ලා සිටියට සමාජය ඇත්තටම විනිවිදින සුළු දැනුමක් කවුරුවත් ඉල්ලා සිටින්නේ නැහැ. ආචාර්යවරුන් ගේ කාර්ය භාරය උනත් මණින නිර්ණායක වල සමාජය වෙනස් කරන දැනුමක් සමාජගත කරන ළිපි ලේඛන ඇත්තට ම බරපතළ ලෙස මනිනු ලබන්නේ නැහැ. බලන්නේ පිටරට ශාස්ත්‍රීය සඟරා වල පළවූ දෙයක්ද යන්න පමණයි. විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ට වුනත් ඒ ගැන වැටහීමක් වත් ගණන් තැබීමක් වත් නැහැ. ඉතින් කොහොමද අධ්‍යාපනය දියුණු වෙන්නේ. විශේෂයෙන් සිංහලෙන් නම් ලියවිලා තියෙන්නේ එවැනි ලේඛනයක් ගණන් ගන්නෙම නෑ. ඒ විදියට ගත්තහම විද්‍යා ධාරවල මහාචාර්යවරු අධිනිශ්චය වූ මෙවැනි යුගයක වික්‍රමසිංහ ගේ නවකතාවක් වුනත් විමර්ශන වාර්තාවක් (review report) නැතුව ප්‍රතිපාදන කොමිෂම ගණන් ගන්න එකක් නැහැ. ඒ විදියට බලනකොට අපිට වඩ වඩාත් ‘කතන්දරේ’ වැනි කතන්දරයක් නැති කතන්දර උවමනා වෙලා තියෙන යුගයක් මේක.  නිකොටින් නැති සිගරට් වගේම තමයි සාරය අහිමි අන්තර්ගතය. සාන්දෘෂ්ටික බව නොමැති අමුතුම ‘ගැන්ග්නම් සාන්දෘෂ්ටික’ යුගයක් මේක. 

ගීතයේ තියෙන අරාජක හිස්බව වසාගන්න කයිසර් සහ ඉරාජ් හුගක් දේවල කරලා තියෙනවා හරියටම ගැන්ග්නම් ගීතයේ වගේ. ගැන්ග්නම් එකේදී කරන්නේ අමුතු නැටුමක් විසින් එම ‘හිඩැස’ පුරවන එක. මෙතනදී ඉරාජ් කරන්නේ ලිංගික සංඥා ටිකක් අර්ථය වෙනුවට ගෙනෙන එක. හරියටම ‘මනුසතා’ ගීතයේ දී වගේ. එතැනදී ඔහු කරන්නේ ජනප්‍රිය ජාතිකත්ව සහ ආගමික සංඥා කෙරෙහි විශ්වාසය තබන එක මහින්ද රාජපක්ෂ කළා වගේ (රාජපක්ෂ කියන්නේ ‘හිස් බවේ උත්කෘෂ්ට වස්තුව’ = the sublime object of emptiness). නමුත් අද දවසේ තාරුණ්‍යය ය කියන්නේ පශ්චාත්- මහින්ද ප්‍රපංචයකට. ඒ කියන්නේ මොනව වුනත් දැනෙන්නේ නැති මිනිස්සු කොටසක් ඉන්න, පශ්චාත්- ගෝලීය ධනවාදයේ තාරුණ්‍යයක් අත්දකින රටකට. හැම දෙයක් එක්කම ඒ ගොල්ලෝ සාන්දෘෂ්ටික දුරස්ථ බවක් නඩත්තු කරනවා. කිසි දෙයක් එක්ක සමීප වෙන්න බයයි. දේශපාලනය එක්ක නම් අධික දුරක් නඩත්තු කරනවා. නමුත් තත්‍යසමාන අවකාශයේ [facebook] ගොඩක් ක්‍රියාකාරී සහ අති සමිප බවක් තියාගන්නවා.  ඒ එක්කම තමන්ගේ වැඩේ නියමෙට කරගන්නවා ආත්ම මුලික අර්ථයකින්.  උදාහරණ වශයෙන් සමාජ හිනිමගේ ඉහලට නගින්න පුදුම ගේමක් දෙනවා මේ ගොල්ල බාහිර මිනිස් යථාර්තය සමඟ දුරස්ථ බව තියාගෙන (දෙමව්පියෝ උනත් කියන්නේ තමන්ගේ වැඩේ හොඳට කරගන්න කියල තමාගේ වටේ මොනවා උනත්). වෛද්‍යවරු, නීතිඥයෝ, ඉංජිනේරුවෝ වෙලා සුළු ධනේශ්වර පන්තියේ ඉඳල මැද පංතියට නගින්න මාර ගේමක් දෙනවා මේ අය විශ්ව විද්‍යාල වලට මොන විදියෙන් හරි රිංගලා. එහෙම නැත්නම් සුපර් ස්ටාර් කෙනෙක් වෙලා හරි ජනප්‍රිය වෙන්න එහෙම වෙලා සල්ලි ටිකක් හම්බ කරගන්න දෙන ගේම දැක්කම පුදුම හිතෙනවා (උඩට නගින එක නරක දෙයක් කියල නෙවේ මේ කියන්නේ. ඒකෙදි තියෙන අව-මානුෂික තත්වය තමයි අපි දකින්න ඕනි). ආශාව තුළට ඇද වැටෙන්න ඕනි ඒත් එක්කම ඒක සාර්වත්‍රික බව සමඟ සංසේචනය (intimated) වෙන්නත් ඕනි. නැත්නම් සියල්ල ආත්ම මුලිකත්වය කියන පතුලක් නොපෙනෙන සීතල වතුරේ ගිලිලා නොපෙනී යනවා (ටයිටැනික් එකේ ජැක්ගේ ශරීරය රෝස් ගේ ස්ව-කේන්ද්‍රීය ආත්මය තුලට ගිලිලා නොපෙනී ගියා වගේ). කයිසර් ගේ අනියම් ප්‍රේම රූපකය ඇතුලේ පෙනෙන්නේ ඒ වගේ ආත්ම මුලිකත්වයක්.  හැබැයි පිරිමියා ‘හොල්ලන්න’ නම් ඒ වගේ මාතෘ මුලික නොවන ප්‍රචණ්ඩ ගැහැනියක් ඉන්නත් ඕනි.   

එක පැත්තකින් ‘රැවටුවේ නෑ’ කියනව සහ අනෙක් පැත්තෙන් ‘රෑ වැටුන වලේ දවලුත් වැටුණ’ කියල චුරු චුරු ගාන තාරුණ්‍යයක් තමා ගීතය තුළ නිරුපණය වෙන්නේ. ටයිටැනික් එකේ එතකොට බොන් ජෝවී ගේ Bed of Roses  එකේ මේ වගේ විකාර නැහැ. ‘තුවාල සහිතව මේ පැරණි පියානෝව ළඟ වාඩිවී මම ඒ සිතාගත නොහැකි මොහොත ගැන මෙනෙහි කරමි’ කියල තමයි ජෝවී පටන් ගන්නේ.  ‘ඇය මා අතහැර ගියද, මා යකඩ ඇන සහිත සයනයක දිගාවී සිටියද මම ඇය රෝස මල් යහනාවක දිගාකළ යුතුය’ කියල තමයි ගීතය අවසන් කරන්නේ. ඒ තරම් තමන්ගේ ආත්මය කේන්ද්‍රීය ලෙස ආශා වස්තුව සමඟ සමීප කරගන තියෙන්නේ බටහිර ආත්මය (වලේ වැටෙනවා කියල එකක් නෑ. එහෙම හිතෙන්නේ චන්දෙන් පැරදුණ මහින්ද රාජපක්ෂ, තව සල්ලි හොයන්න හදපු බැසිල් වගේ අයට). බටහිර ආත්මය දන්න රහස තමයි අහිමිවීම තුලින් ම තමයි ආත්මය නිර්මාණය (කොගිටෝව) වෙන්නේ කියන එක. ඒ කියන්නේ විෂය ය අනෙකා සමඟ සම්භන්ද කරන ‘උත්කෘෂ්ට විකාර සහගත වස්තුව’ (a) සඳහා අර්ථයක් විෂය ය විසින් සපයනවා කියන එක. ඒ නිසා ඇය අහිමි වීම කියන්නෙම අර්ථයක්. මොකද තමා එම අර්ථය තුළ තවමත් ජිවත් වෙන නිසා. හුගක් අය යම්කිසි කෙනෙක් ගෙන් දුරස් වුණා කියන්නෙ ම  අදාළ තැනැත්තා එම අනෙකා ගෙන් වෙන් වුණා කියන එක මිසක් සාර්වත්‍රික අර්ථයකින් අදාළ අනෙකා ගියා ද නැත්ද කියන එක නොවෙයි.   

Other-

අන්තර් පුදගලභාවය ගොඩනැගෙන්නාවූ අර්ථකතනය කළ නොහැකි ‘විකාර සහගත දෙය’ නම් වූ (a) වස්තුව

 

 

කොගිටෝමය සන්දර්භයක් ඇතුලේ ‘අහිමිවීම’ විසින් ආශාව සඳහා අලංකාරිකයක් සපයනවා. ඒ කියන්නේ ආශාවේ දිග් ගැස්සවීම මඟින් අප තවතවත් ආශා කිරීම සඳහා සහ ආශාව තුලම රඳවා ගැනීම ‘අහිමිවීම’ නම් තත්වයට කළ හැකි එක් වැදගත් ක්‍රියාවක්. උදාහරණයක් හැටියට අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය තුළ නිරූපණය කරන යොවුන් ස්ත්‍රිය හමු නොවීම තුල ම ඇයට ආශා කිරීමේ යාන්ත්‍රණය දිගින් දිගටම පවත්වා ගෙන යා හැකියි.  මෙය අලංකාරික තත්වයක් වුනාට දිග්ගැස්සීම විසින් අපට එම හමුවීම තුලින් ම ඇතිවිය හැකි ක්ෂිතිමය මුණගැසීම මඟහරිනු ලබනවා. එම මඟ හැරීම නැත්නම්, යථ සමඟ පවත්වන දුරස්ථ බව සින්තෝමයක්, ඒ කියන්නේ ‘තමා තුල නැති දෙය’ අනෙකා තුල සෙවීමෙන් මිනිසාට අන්තර්-පුද්ගලභාවය (අන්තර්-විෂයමුලිකත්වය) ස්ථාපිත කර ගන්න පුළුවන්.  ඒක මඟහැරල අපි තුලම අපගේ නැති වු දෙය සෙවීමෙන් වෙන්නේ රෝගී ලෙස අප අප තුලට ම ගමන් කිරීමක් පමණයි.  උදාහරණ ලෙස කයිසර්ගේ ගීතයේ ‘ඇයට’ අවශ්‍ය කුමක් ද? යනුවෙන් අප පෙළන විරුද්ධාභාෂී කුකුස සහ ඇය තුල නැති දෙය පුරවා දැමීමට පිරිමියා කරන උත්සාහ ය තුලම පමණි අන්තර්-පුද්ගල සම්බන්දතාවයක් පැවතිය හැක්කේ. එසේ නැතිව ඉන් පිටත සැරිසැරීමෙන් අලංකාරිකයක් (metonymy) ජනිත කරගත හැකි වුවත් සම්බන්දතා කලාපයක් ජනිත කරගත නොහැකියි.  ඉතින් අරවින්ද නම් චරිතයෙන් උගත හැකි පාඩම තමයි  ‘මඟ හැරීම’ (escape) කියන්නෙ ම නාසිස්මික අපගමනයක් කියන එක. ගීතයේ කතාන්දරයක් නැතිවීමට එක හේතුවක් තමයි ඇය විසින් අසමතුලිත කරන ලෝකය සංකේතීය පිළිවෙල ඔස්සේ නැවත ලබා ගැනීමට පිරිමියා උත්සාහ නොකර සිදු වු දේ ආතල් එකක් බවට රූපාන්තරණය කර ගැනීම (දුරස්ත බවේ සමකාලීන ලාංකික රෝග ලක්ෂණය). 

හරියට ම කීවොත් ඇයගේ ක්ෂිතිමය හමුවීම සහ පෙළඹවීම විසින් පිරිමියාගේ එකතැන පල්වෙන ආත්මය සොලවා පොළොවේ ගසනවා. එසේ සෙලවුණ ලෝකය විසින් ඔහුව අසමතුලිත කරනවා.  ඊට පස්සේ එම අසමතුලිත බව විසින් වඩවඩාත් ශක්තිමත් අයුරකින් සංකේතීය පිළිවෙල තුලට පිරිමියා ඇතුලත් වෙනවා සහ ලෝකය වෙනස් කිරීමට උත්සුක වෙනවා යන්න මෙහිදී අර්ථවත් වෙනවා. එහෙම නැතුව ගැන්ග්නම් නැටුවාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආපසු අතීතයට ගියාට වැඩකුත් නැහැ.  මේ මොහොතේ ක්ෂිතියෙන් මිදෙන්න ජාතිවාදයට ගියාට වැඩකුත් නැහැ. විගලිතභාවය ඇතිවෙන්නේ ම ආත්මය අනෙකා සමඟ ගොඩනඟා ගන්නා වු ‘විකාරයක්’ (nonsense) විසින්. ඒ කියන්නේ හිස්බව පුරවා දමන්නේ අප ‘අර්ථවත් යැයි සිතනු ලබන එහෙත් ඇත්තටම අර්ථයක් නොමැති දෙයක්’ (a වස්තුව) විසින්. ඒක නිසා ගැහැණිය කියනවා ඇත්තමට මම රැවටුවේ නැහැ කියල.  එතකොට පිරිමියා කියනව ‘මගේ ජිවිතේ අර්ථය අවසන්’ කියල.  ඇය ඉන්නේම පිරිමියාගේ හිස්බව පවතින තුරු විතරයි.  ඊට පස්සේ ඇයට පැවැත්මක් නැහැ. සත්‍ය වශයෙන්ම අභියෝගය නම් මේ දෙදෙනාටම එකඟ විය හැකි හැඟවුම්කාරකයක් මේ උභතකෝටිකය මතින් සොයා ගැනීම.  ඒ නිසා තමයි අර්ථකතනය සඳහා මෙපමණ ඉඩක් විවර වෙලා තියෙන්නේ. අර්ථයක් නැති කතන්දරයක් අර්ථවත් කරන එක තමයි අර්ථකතන වේදියාගේ කාර්යභාරය.
Mahesh
Note:

විකාර වස්තුව (a) සඳහා උදාහරණ වශයෙන් අප පනිට්ටුවක් අරන් දිය නෑමට යන අයෙක්ගෙන් ‘නාන්නද යන්නේ’ යනුවෙන් අසන අතාර්කික අවස්තාව සිහියට නගන්න. අතාර්කික මෙම නිමේෂය මඟින් තාර්කික කතාබහක් සඳහා අවශ්‍ය පසුබිම සකසයි. 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...