මනසට බාහිරින් පවතින ‘යථාර්ථය’ (Reality) පිළිබඳ වාදයන් තුනක් ලංකාවේ දේශපාලන විවාදය ඇතුළත නව පොබ්ලමැතිකයක් නිපදවා ඇත. මෙම පැටලැවිල්ලේ දිග පළල කෙතරම් ද යත් ජර්මනියේ ඇකඩමික බුද්ධිමතකුගේ ජනප්‍රියතම චින්තකයා වීමට ෙහෙඩගර්ට ඉඩක් නැත. නමුත් ලංකාවේ දී NR පමණක් නොව තවත් ඊනියා ඇකඩමික් බුද්ධිමතුන් විශාල ගණනකගේ රුචි කරන බුද්ධිමතෙකු බවට නලීන් ද සිල්වා පත් වී ඇත. මෙසේ වීමට ‘යථාර්ථය’ පිළිබඳ වාදයන් 3ක් එකට වෙලී පැවතීම තීරණාත්මක සාධකයක් වී ඇත.

 

(1) සත්වාදය – Realism – මනසට පිටින් ලෝකයක් ඇත. මෙය විද්‍යාවට ඉතා සමීප ඥාන විභාගයයි.

(2) විඥානවාදය – Idealism – මෙහි දී ද මනසට පිටින් ලෝකයක් ඇත. නමුත් එම ලෝකය තැනී ඇත්තේ සංකල්ප (Concepts) වලිනි. ලංකාවේ දී විඥානවාදය සමඟ වැරදියට භෞතිකවාදය තුල්‍ය වන මුත් විඥානවාදය පැටලී ඇත්තේ සත්වාදය සමඟය. විශේෂයෙන් කලා විචාරය (අධිකතර ලෙස සිනමා විචාරය) ‘යථාර්ථය’ ලෙස ගන්නේ මනසට පිටතින් පවතින වෙනස් නොවන සාරයයි

(3) භෞතිකවාදය – Materialism – භෞතිකවාදය සහ විඥානවාදය අතර ඇත්තේ සමීප සම්බන්ධයකි. මෙම වාද දෙකටම පොදු ලක්ෂණය වන්නේ මනසට බාහිරින් ස්වාධීන සත්තාවක් ඇති බව පිළිගැනීමයි. මේ වාද දෙක අතර වෙනස වන්නේ විඥානවාදය මනසට බාහිරින් පවතින සත්තාව අදහස් ලෙස ගැනීමත් (මේවා පුද්ගලයකුගේ අදහස් නොව වාස්තවික අදහස්) ඊට පරස්පරව භෞතිකවාදය බාහිර සත්තාව පූර්ණ ලෙස අදහස්වලට අවශෝෂණය කළ නොහැකි බව පිළිගැනීමත්ය. උදාහරණයක් ලෙස ලැකාන්ගේ මනෝවිශ්ලේෂණය භෞතිකවාදයක් වන්නේ ‘සත්තාව’ පරිපූර්ණ ලෙස වචනය තුළට ග‍්‍රහණය කර ගත හැකි යැයි විශ්වාස නොකරන නිසාය. වචනය ඉක්මවා යන්නක් ලෙසින් (නමුත් වචනයේ සීමාව නිසාම) ලැකානියානු විශ්ලේෂණය ‘විනෝදය’ ප‍්‍රවර්ගගත කරන නිසා එය භෞතිකවාදය තහවුරු කරයි. ජාතිවාදය විඥානවාදයක් ලෙසින් මනෝවිශ්ලේෂණ දේශපාලනය තහවුරු කරන්නේ මේ නිසාය. පන්ති දේශපාලනයට ‘සිංහල ජාතිවාදය’ ප්‍රවාදගත කළ නොහැකි මුත් මනෝවිශ්ලේෂණ දේශපාලනයට එය කළ හැකි වූයේ මේ අප ජීවත් වන යුගයේ භෞතිකවාදය මනෝවිශ්ලේෂණය නිසාය. ජාතිය යනු විනෝදයකි.

ශ්‍රි ලංකාව තුළ යථාර්ථය පිළිබඳ වාදයන් තුනක් ගොඩනැගී තිබෙන අතර ඒවායේ සාරයන් තුන ද පහත පරිදි වටහාගත හැක.

(1) සත්වාදය – Realism   (2) විඥානවාදය –  Idealism        (3) භෞතිකවාදය – Materialism

 

ලංකාව වැනි රටක දී මිනිසකු සිතන විට ඉහත අප සාකච්ඡා කළ ‘යථාර්ථය’ පිළිබඳ ප‍්‍රවාදයන් තුන එකට පැටලෙයි. මොරටුව ප්‍රදේශයේ පිහිටා තිබූ තාක්ෂණික විදුහලකින් පටන් ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා බොහෝ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ජාතිවාදීන් බවට පත්වීම (නූතනකරණය සහ තාක්ෂණය ඉදිරියේ බමුණන් බවට පරිවර්තනය වීමේ විශේෂ කුසලතාවයක් එහි ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ගම්‍ය කරයි. ලිංගිකකරණය පිළිබඳ ළදරුවන් වන ඔවුන්ට ලිංගිකකරණය වන්නේ භාෂාවෙන් මිස ද්‍රව්‍යමය ශරීරයෙන්[matter] නොවන බව ඥානනය කළ නොහැක. ‘ස්ත්‍රිය’ යන වචනය මොරටුව විශ්වවිද්‍යාලයට ප්‍රහේලිකාවකි) අහම්බයක් නොවේ. සිංහල ජාතිවාදයේ මුඛ්‍ය ප්‍රකාශකයන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් බිහි වීම ගැන පර්යේෂණයක් එහි ගුරුවරුන් තවමත් නොකරන්නේ මන්ද? ඒ ගැන ලැජ්ජාවක් ඔවුන්ට නැත්තේ මන්ද?

ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් කැඞී ගිය විවිධ කණ්ඩායම් තුළ පොදු ලක්ෂණයක් ඇත. ඔවුන් ‘ජනතාව’ යන වචනයෙන් ගොඩනඟන ජනප‍්‍රියවාදී සංකල්පය තුළ පවතින අන්තර්ගතය කුමක්ද? 70 දශකයේ දී කීර්ති බාලසූරිය මේ ‘ජනතාව’ යන පදයෙන් අදහස් කරන අන්තර්ගතය මෙසේ විග‍්‍රහ කරන ලදී.

 

”මන්දපෝෂණයෙන් හා ජීවන බරින් පෙළෙන ‘ලක් මවගේ දරුවන්’, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් හා රැුකියා නැති තරුණයන් ආදී සිංහල කුඩා දේපළ හිමි පන්තියේ දුක් වේදනා සත්තකින්ම ජවිපෙ සහ එහි විවිධ ශාඛා තුළ වෙයි.”

 

ඉහත තත්ත්වය ගැන ලියා දැනට දශක හතරක් පමණ ගෙවී ඇතත් තවමත් ‘තත්ත්වය’ වෙනස් වී නැත. ඊට අලූතින් එකතු වී ඇත්තේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දුක්ගැනවිලි පමණි. සමාජයක් සහමුලින් ධනාත්මක ගොඩනැංවීමක් බවට ඌනනය කළ නොහැක. කීර්ති බාලසූරිය විඥානවාදයක් කරා ගමන් කරන්නේ මාක්ස්වාදය පරමාදර්ශයක්  (Ideal) කිරීම සඳහා සුළු ධනපති පන්තියේ දුක් වේදනා, මන්දපෝෂණය පරිපූර්ණ වශයෙන් අදහස් (සංකල්ප) වලට ඌනනය කිරීමට යාම නිසාය. මේ හේතුව නිසා ඔහුට පන්ති දේශපාලනයේ සැබෑ මානය මඟහැරී යයි. ඔහු අතින් මේ නිසා සුළු ධනපති පන්තියේ ‘ආත්මමූලිකත්වය’ නොහොත් ශ‍්‍රී ලංකාවේ පන්ති දේශපාලනයේ ආකෘතිය (ලංකාවේ සුළු දේපොළ හිමි පහළ මැද පන්තිය දේශපාලනයෙන් අශ්ලීල විනෝදයක් ලබන ආකෘතිය – මෙම ආකෘතිය 70 දශකය මුල දී වටහා ගැනීමට නොහැකි වීම ගැන අප ඔහුට සමාව දිය යුතුය) නොහොත් Form එක වටහා නොගනියි. ආකෘතිය යනු එක අතකින් අන්තර්ගතයටම කිව හැකි නමකි. සුළු ධනේශ්වර සිංහල දේශපාලනයේ ආකෘතිය යන්නම අන්තර්ගතයකි. තමන් ඉපදෙන ගම තුළ ප‍්‍රාග්ධනය හිඟ නිසා ග‍්‍රාමීය දුගියාට රැකියාවක් (ශ‍්‍රමය විකිණීම) සොයා ගැනීමටත්, සමාජ ඉණිමෙඟ් ඉහළට නැගීමටත් ඇති එකම විකල්පය උසස් අධ්‍යාපනය පමණි. ජනතා විමුක්ති පෙරමුණ තුළ ක‍්‍රියාත්මක වන අන්තර්ගතයන් කෙතරම් වුවත් ඔවුන්ගේ ක‍්‍රියාකාරී දේශපාලනයේ ආකෘතිය ශිෂ්‍ය දේශපාලනයයි. උන්නතිකාමය එහි කාමයයි. එහි විනෝදය අතාර්කික විඳවීමයි.

NR ගේ ආත්මමූලිකත්වය වටහා ගැනීම සඳහා ඉහත පහදන ලද වටවංගු සහිත දීර්ඝ පා ගමන වැළැක්විය නොහැකිය. 90 දශකයේ දී ජවිපෙන් පිටත හට ගත් ස්ත‍්‍රීවාදය, සාමය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස යන තේමා පාඨ සහිත අනන්‍යතා දේශපාලනය ජවිපෙන් ඛණ්ඩනය වී ඉන් පිටත විකාශය වූයේ එකම එක හේතුවක් නිසාය. ජවිපෙ දේශපාලනය තුළ ඒකරාශී වූයේ දුගීන්ගේ අඳෝනාවන් නම් ඉන් ඛණ්ඩනය වූ අනන්‍යතා දේශපාලනයේ අන්තර්ගතය වූයේ සීමාවිරහිත නිදහසයි. පව්කාරයන් විසින් පුනරීක්ෂණය කරන ලද මෙම නිදහස යනු පංච ශීලය බිඳීමයි. ජවිපෙට අනුව පංච ශීලය රැුකීම පක්ෂ දේශපාලනයේ හරයයි. මේ හේතුව නිසා අනන්‍යතාවාදීන්ට පක්ෂ දේශපාලනය හිසරදයක් විය. පක්ෂ දේශපාලනයෙන් විනිර්මුක්ත නිදහස් දේශපාලනය (දේශපාලනය රහිත දේශපාලනය) අනන්‍යතාවාදීන්ගේ ආගම විය. 90 දශකයෙන් ආරම්භ වූ මේ අනන්‍යතා දේශපාලනය 2009 වර්ෂයේ ජාතිවාදීන්ගේ ජයග‍්‍රහණය සමඟ අවසන් විය. අනන්‍යතාවාදීන්ට සටන් කරන්නට නැතහොත් තම දුක් අඳෝනාවන් ප‍්‍රකාශයට පත් කිරීමට යම් ආකෘතියක් අවශ්‍ය විය. සකර්බග් විසින් නිර්මාණය කෙරුණු Facebook යනු ‘භූමිය’ අහිමි වූ අනන්‍යතාවාදීන්ගේ අලූත් සංග‍්‍රාම භූමිය විය. දේශපාලනයේ දී අපට සම්මුඛ වන සැබෑව (Real) මඟහැර යාමට මුහුණුපොත්වාදීන්ට හැකි වීම නිසා ඔවුන් ‘සත්වාදය’ ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන ඇත. මේ හේතුව නිසා මුහුණුපොත්වාදීන් බටහිර දී ‘සමපේක්ෂණ සත්වාදීන්’ වූ පරිදි ලංකාවේ දී ඊට පරස්පරව විඥානවාදීන් බවට පෙරළී ඇත. මුහුණුපොත්වාදීන් විඥානවාදීන් වන්නේ පන්ති දේශපාලනයේ දී හමුවන සැබෑව නොහොත් සත්තාව අදහස්වලට පූර්ණ වශයෙන් යටත් කරන නිසාය. ඒ අර්ථයෙන් ඔවුන් වාගීශ්වර – හිස්ටරිකයන්ය. ඔවුහු සියලූදෙනාව ප‍්‍රශ්න කරමින් සිටිති. දෘෂ්ටිවාදයන්ගේ ආමන්ත‍්‍රණයන්ට යටත් වන්නේ නැත. නමුත් ජාතිවාදීන්ට තවමත් (2009 ට පසුව) සත්වාදීන් ලෙස පැවතීමට සිදු වී ඇත. ඔවුන්ට අනුව බාහිර සතුරා වන දෙමළා දත් විළිස්සාගෙන සිංහල සමාජයේ සාපේක්ෂ සංගතභාවය සොරකම් කිරීමට මඟ රැකගෙන සිටියි. ධනවාදයේ වෙළෙඳපොළ ඉදිරිපත් කරන කම්පන රැලි නිසා දිනෙන් දින සංගතභාවය අහිමි කර ගන්නා සිංහල ඡුන්දදායකයාට තවමත් ජීවමාන දේශපාලනය වන්නේ ජාතිවාදී දේශපාලනයයි. එතැන දී මුහුණුපොත්වාදීහු ක‍්‍රියාවෙන් තොර උදාසීන සංකල්ප විකල්ප ලෙස යෝජනා කරති. සෝභිතගේ පරමාදර්ශය වෙනුවෙන් මෛත‍්‍රීපාලගේ සත්තාව තලන්නේ මේ නිසාය.

90 දශකයේ අනන්‍යතා දේශපාලනය 2009 වර්ෂයේ දී අහවර වූ පසු එක ප‍්‍රවණතාවයක් මුහුණුපොත්වාදීන් ලෙසින් සංවිධානය විය. යහපාලනය කරළියට රැගෙන ආවේ මේ අයයි. නමුත් මේ අයට අවශෝෂණය කළ නොහැකි ‘සැබෑව’ උතුරු නැෙඟනහිර දී ‘දෙමළා’ වශයෙන් ද දකුණේ දී ‘ෆැන්ටසි දෙමළා’ ලෙස ද ප‍්‍රවාදගත විය. ගාමිණී වියන්ගොඩ, ජනරංජන, සරත් විජේසූරිය ‘ෆැන්ටසි දෙමළා’ ගැන පොත් ලියන්නේ නැත. ගැටලූව වන්නේ 2009 වර්ෂයේ ජාතිවාදයේ ජයග‍්‍රහණය සමඟ උත්කර්ෂයට නැඟගෙන එන නව-පන්ති දේශපාලනයක් ද උත්පාද වීමයි.

කුමක්ද මේ නව-පන්ති දේශපාලනය?

වෝල්ටර් බෙන්ජමින්ගේ ෆැසිස්ට්වාදය පිළිබඳ ප‍්‍රවාදය මුහුණු පොතට ආරෝපණය කරන්නේ නම් තත්ත්වය මෙසේය. සමකාලීන ධනවාදය සමන්විත වන්නේ ප‍්‍රාදේශීය, ජාති, ලිංගික, කුල, පන්ති ගැටුම්වලිනි. කෙටියෙන් කිවහොත් ධනවාදී නූතනත්වය යනු පසමිතුරුභාවයන්ගෙන් සමන්විත කෝෂයකි. මුහුණුපොත වැනි වෙබ් අඩවි කරන්නේ මෙම ප‍්‍රතිවිරෝධයන් සමනය කර සියලූ දෙනාව ‘ජනගහණයන්’ බවට ඌනනය කිරීමයි. එය මියගිය අතීතය ප‍්‍රතිඋත්කර්ෂවත් කිරීමකි. බෙන්ජමින්ගේ වචනවලින්ම ප‍්‍රකාශ කරන්නේ නම් තත්ත්වය මෙසේය.

”වත්මන් මිනිසා එන්ට එන්ටම නිර්ධනීකරණය (සංස්කෘතික වශයෙන් පවා) වීමත් එන්ට එන්ටම මහජනතාවන් බහුල වීමත් යන මේවා එකම සන්තතියේ අංශ දෙකකි. ෆැසිස්ට්වාදය මහජනතාවන් අහෝසි කිරීමට ප‍්‍රයත්න දරන දේපොළ ව්‍යුහයට කිසිදු බලපෑමක් නොකොට අලුතින් බිහිවී සිටින සංස්කෘතික නිර්ධනයන් සංවිධානය කිරීමට තැත් කරයි. ෆැසිස්ට්වාදය හෝ මුහුණුපොත විමුක්තිය යෝජනා කරන්නේ මේ මහජනයාට ඔවුන්ගේ උරුමය දීමෙහි නොව ඒ වෙනුවට ඔවුන්ට ආත්මරාගී ලෙස ප‍්‍රකාශ වීමට අවස්ථාවක් ලබා දීමෙහිය.”

යාන්ත‍්‍රික ප‍්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය – (පරිවර්තනය නවීකාරක කර ඇත)

 

මේ දක්වා අප සාකච්ඡුා කළ දේශපාලන පසුබිම සාරාංශගත කරන්නේ නම් එය පහත පරිදිය.

 

(A) ජාතිවාදී දේශපාලනය – සීසර් පෙළපත මෙන් ආදේශ වී රාජපක්ෂලා මෙම දේශපාලනය ඉදිරියට ගෙන යයි.

(B) මුහුණුපොත්වාදී අනන්‍යතා දේශපාලනය – සත්තාව මඟහරිමින් මහජනතාවත් නිෂ්පාදනය කිරීම. අශ්ලීලත්වයට ඉඩ දීම.

(C) යළිත් පන්ති දේශපාලනය කරමින් පන්ති අරගලය මත පදනම් වී අරගලය සංවිධානය කිරීම.

(D) මනෝවිශ්ලේෂණ දේශපාලනය – පන්ති අරගලය ව්‍යාකූල කරන ආත්මමූලික සාධක මතු කරන දේශපාලනය. නැතහොත් දෘෂ්ටිවාදය විචාරය කරන දේශපාලනය තහවුරු කිරීම. මාක්ස්ගේ දෘෂ්ටියෙන් හේගල් කියවීම වෙනුවට හේගල්ගේ දෘෂ්ටියෙන් මාක්ස් කියවීම. (අන්තර්ගතයක් රහිත ආකෘතිය)

 

මුහුණුපොත්වාදීන් තමන්ගේ අරගලය ලංකාවේ මේ මොහොතේ දේශපාලන සිතියම මත ක‍්‍රීඩා කරවන්නේ ජාතිවාදීන් සමඟ පමණි. ඒ අනුව NR  තම මතවාදී අරගලය සඳහා ජාතිවාදීන්ව පටලවා ගැනීම අහම්බයක් නොවේ. නමුත් මේ අයගේ දේශපාලන ආකෘතිය අභ්‍යන්තරිකව වෙනස්ය. කොට්ඨාස දෙකම තම තමන්ගේ ෆැන්ටාස්මැතිකය අවධාරණය කරයි. මුහුණුපොත්වාදීන්ගේ නිලය ඇත්තේ, එනම් ඔවුන්ගේ විනෝදය සංවිධානය වන්නේ අභ්‍යන්තරිකවය. එය ආත්මමූලිකය. මේ හේතුව නිසා ඔවුන් හැසිරෙන්නේ තමන්ට ආවේණික රහසක් නැතිය කියාය. නමුත් ජාතිවාදීන් භ‍්‍රමණය වන්නේ දෙමළාගේ ෆැන්ටාස්මැතිකය වටාය. ඔවුන් මේ හේතුව නිසා තම ආත්මමූලිකත්වය බහිශ්කරණය වී ඇති බව (පිටතට විසරණය වී ඇති බව) පිළිගනියි. දේශපාලනිකව ගත් විට ‘විනෝදය’ (විනෝදය+වේදනාව) යන දේශපාලන සාධකය ‘පිටුවහල් කිරීමේ’ භාවිතාවන් සමඟ සම්බන්ධිතය. යම් කෙනෙකු දුර්වල හෝ අවදානම් තැනකට වැටී ඇත්නම් ඒ තැනැත්තා එහි හේතුව බාහිර අනෙකෙකුට ප්‍රක්ෂේපණය කිරීම තාර්කිකය. එය දෙමළකු, මුසල්මානුවකු විය හැක. එහි සරල අදහස වන්නේ මගේ අඩුව මූර්තිමත් කරන නිශේධනාත්මක කැඩපත වන්නේ අනෙකාය යන්නය. මේ අර්ථයෙන් ගත් විට සිංහල බහුතර ජනයාගේ අනෙකා බවට පන්ති දේශපාලනය කරන අය හෝ මනෝවිශ්ලේෂණ දේශපාලනය කරන අය ඇතුල් වී නැත. මූලික හෙජමොනික සටන ඇත්තේ මුහුණුපොත්වාදීන් සහ ජාතිවාදීන් අතරය. කාටත් වටහා ගැනීමට දුෂ්කර වී ඇත්තේ පන්ති දේශපාලනය කරන අය සහ මනෝවිශ්ලේෂණය කරන අය අතර පවතින පසමිතුරුභාවයයි.     

DKG

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හොඳ ලිපියක් .
    // මූලික හෙජමොනික සටන ඇත්තේ මුහුණුපොත්වාදීන් සහ ජාතිවාදීන් අතරය.// මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි
    //කාටත් වටහා ගැනීමට දුෂ්කර වී ඇත්තේ පන්ති දේශපාලනය කරන අය සහ මනෝවිශ්ලේෂණය කරන අය අතර පවතින පසමිතුරුභාවයයි. // මේකනම් ඇත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here