2015 ජනවාරි මාසයේ පිහිටුවන ලද සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයෙන් ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා දීම ක්‍රම ක්‍රමයෙන් අවනිශ්චය වෙමින් පවතියි. 1983 වසරේ කලු ජූලියෙන් පසු උතුරේ ගැටළුව ලංකාවේ දේශපාලනයේ අධිනිශ්චය විය. ශ්‍රමය සහ ප්රාග්ධනය අතර පරස්පරය පසෙකට තල්ලු කරමින් (පන්ති අරගලය) ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටළුව මතු මහලේ අධිනිශ්චය විය. මෙම පසුබිම මත දකුණේ දේශපාලනය තුළ ද ජාතික දේශපාලනය නමින් ප්රපංචයක් බිහි විය. මෙම අලුත් ප්රපංචයේ හැඩය ගැන ඇති අනවබෝධය නිසා බොහෝ දෙනෙකු වල පල්ලට ගිය අතර 2009 වර්ෂයේදී ජාතික අනන්‍යතා දේශපාලනයද වල පල්ලට ගියේය.
දැන් නැවත පන්ති අරගලය මතු මහලට පැමිණෙමින් අනන්‍යතා දේශපාලනය පසුබිමට තල්ලු වෙමින් යයි. නමුත් අමතක නොකළ යුතු කාරණයක් ඇත. යම්කිසි පාලන තන්ත්රයක් යනු ගතික ව්යවසායක්ද? සමාජ ආර්ථික න්‍යාය පිළිබඳ දැනුමක් ඇති ඕනෑම අයෙකු ‘ව්‍යවසායකයා’ යන්නෙන් න්‍යායාත්මකව අදහස් ‘තනි පුද්ගලයෙකු’ මිස සමාගමක් හෝ රජයක් හෝ නොවන බව දනී. මෙම තත්ත්වය මැක්ස් වෙබර් විසින් ධනවාදය සහ ප්‍රොතෙස්තන්ත ආචාර විද්‍යාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද ප්රකාශනයේ හරයයි. ‘ධනපතියා’ පිළිබඳව වාමාංශිකයන් සිතන තරම් ඔහු ආත්මාර්ථකාමී පුද්ගලයෙක්ද? ව්‍යවහාරය තුළදී සිදු වන්නේ පුද්ගලික ව්‍යවසායකයා තම සුඛෝපභෝගී බව අතහරිමින් කැපවීමෙන් බර වැඩ කරන නිසා ඔහු/ඇය ප්රාග්ධනය සමුච්ඡනය කිරීමයි. එබැවින් රාජ්‍යය තනි තනි ව්‍යවසායකයන්ට වඩා වෙනස්ය. රජයක පවතින දේශපාලන අවශ්‍යතාවය සහ පුද්ගලයකුගේ පවතින ආර්ථික අවශ්‍යතාවය අතර වෙනස්කම් පැහැදිලිව සංජානනය කිරීමට සිරිසේන සහ වික්‍රමසිංහ මේ දක්වා අසමත් වී ඇත.
රාජ්‍යය සහ එහි පන්තිමය ස්වභාවය අතර ගැටුම ගැන අවධානය යොමු කරන්නේ නම් වර්තමාන මුදල් ඇමතිවරයා උතුරේ රැකියා නියුක්තියට වඩා මිනිස්සුන්ගේ බදු අය කර ගැනීමට තම අවබෝධය යොමු කරයි. පැරණි අර්ථයෙන් එය රාජ්‍යයේ අවශ්‍යතාවයක් නොව සිවිල් සමාජයේ අවශ්‍යතාවයකි. දැනට පෙනෙන ලෙස රාජපක්ෂ රෙජීමය පෙරළීමට වඩා වෙනසක් බටහිර දේශපාලනයට අවශ්‍යද යන ගැටළුව යළි සූත්රගත කළ යුතුය. රාජ්‍යය සහ සිවිල් සමාජය අතර පවතින ගැලපීම් සහ නොගැලපීම් මොනවාද යන ප්රශ්නය යළි වර නැඟිය යුතුය. දේශපාලනය කරන්නට ‘අලුත් පරපුරක්’ අවශ්‍ය බව කාටත් පැහැදිලිය. නමුත් ගැටළුව වන්නේ අලුත් පරපුරට කැඩපතක් තිබේද යන්නය. තමන්ගේ ප්‍රතිරූපය මාධ්‍ය හරහා නිපදවා ගන්නන්ට දීර්ඝ අනාගතයක් නැත. හදිසි සිදුවීමක් සියල්ල අවුල් කරන බව පුරෝකතනයක් ලෙස කිව හැකිය. ■