නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල – 2

පළමුවැනි  ලිපියට මෙතරම් ප්‍රතිචාරයක් ලැබේ යැයි මා සිතුවේ නැත.  ලැබූ ප්‍රතිචාර අතුරින් කෙන්කියුෂාගේ  සහ තවත් අයගේ නිර්නාමික ප්‍රතිචාර කිහිපයක් ඉතා වැදගත්
බව හඟිමි. මා  සිත් ගත් එක ප්‍රතිචාරයක්  වුයේ මොස්කව්  හි අධ්‍යාපනය ලද ෆිලික්ස් ප්‍රනාන්දු ගේ “නිදහස් අධ්‍යාපනය නොව අධ්‍යාපනයේ නිදහස සැමට උරුම විය යුතුය” යන අදහසය.

අසූ ගණන් වල මැද භාගයේ මා  සෝවියට් දේශයට ඉගෙනීමට  යන විට යාපනයේ සිට පැමිණි සිසුවකුද එම යානයේම ගමන් කළේය.  මුලදී ඔහු මා සමග කතා කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. ලෙහෙසියෙන් පසු බසින්නකු  නොවූ  මම කෙසේ හෝ ඔහු සමග  යාපනයේ චිස්තර කතා කිරීමට පටන් ගතිමි.  ඒ අපේ නිවෙසේ  කලක් නතර වී සිටි යාපනයේ කාන්තාවක් කියා දුන් විස්තර කතා කිරීමෙන් මේ සිසුවාගේ දැඩි සිත තරමක් මෙළෙක්  කිරීමෙනි.

මා දැනගත් පරිදි ඔහු යාපනයේ ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුගේ පුතෙකි.  ඔව්, ඒ දිනවල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෝ යාපනයේ සිටියහ.  ඔහුට ශිවා කියමු. මේ ශිවා යන්නේ පැට්‍රිස් ලුමුම්බා විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය උපාධියටයි.   මා යන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයතනයක ඉංජිනේරු උපාධියටය. මද වෙලාවක් කතා කිරීමෙන් සිංහලයන්ට ඔහුගේ ඇති අකැමැත්ත මට පසක් විය. කළු ජුලිය සිඳුවී  අවුරුද්දක් පමණ නිසා එනිසා යයි සිතූ මම ඒ ගැන ඔහුගෙන් සමාව ඉල්ලා සිටියේ දෙමළ සටන්කාමීන්ද  හමුදා භටයන් 13 මරා දැමු බව කියමිනි. ඔහු පැවසුවේ දෙමළ සටන්කාමීන් ගේ ක්‍රියා ඔහු අනුමත නොකරන බවයි. නමුත් ඔහුට සෝවියට් දේශයට යාමට සිදුවී ඇත්තේ සිංහලයන් ගේ ජාතිවාදී දිස්ත්‍රික් ක්වෝටා ක්‍රමය නිසා බවයි.

මෙහිදී මා ඔහු සමග තර්ක කරමින් පැවසුවේ අපටද එසේ සිදුවූ බවයි. කොළඹ  සහ නුවර බහුතර සිංහල සිසුන් විශාල ප්‍රමාණයකට  මේ දිස්ත්‍රික් ක්වෝටා ක්‍රමය නිසා විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වෙන බව පැවසුවෙමි.  මා අපොස උසස් පෙළ කළේ එක වරකි. මට ඉංජිනේරුවකු වීමට ලකුණු මදි වුනත් ගම්පහින් හෝ ගාල්ලෙන් එම ලකුණු ප්‍රමාණයටම ඉංජිනේරු පීඨයට යාමට හැකි බවත් පැවසුවෙමි. ඒ බොහොමයක් සිසුන් කොළඹට පෞද්ගලිකව අමතර අධ්‍යාපනය ලැබීම සඳහා (ටියුෂන්) පැමිණෙන බවත් පැවසුවෙමි.  කොළඹ විශ්ව විද්‍යාලයට යාමට ලිපිය  පැමිණුනත් නොසිතු ලෙස සෝවියට් දේශයට යාමට ශිෂ්‍යත්වය ලැබුණු නිසා එසේ යාමට තීරණය කල බවත් පැවසුවෙමි. .

එනිසා එය ජාතිවාදී නොවන බවත් පියා  කොමියුනිස්ට් පක්ෂයක වන ඔහු එවැනි අඩු පහසුකම්  සහිත  වන්නි, මුලතිව් ප්‍රදේශ වල සිසුන්ට ඉඩ දීම වරදක් ලෙස නොසිතිය යුතු බවත් පැවසුවෙමි.  එවර ඔහු මගෙන් පැනයක් ඇසුවේය. කීදෙනෙක් දිස්ත්‍රික් ක්‍රමයට වන්නි, මුලතිව් ආදී දුෂ්කර දිස්ත්‍රික්ක වලින් විශ්ව විද්‍යාලයට ගියේද යන්නයි. මා  දන්නේ නැති බව පැවසුවෙමි.
“අජිත් එක ළමයෙක් වත් නැහැ. ඔයා දන්නවද යාපනයේ විශ්ව විද්‍යාලය ලකුණු කිහිපයකින් මිස් වෙච්ච  සිය ගණනකට වඩා කට්ටිය ඉන්නවා කියල.”
(පහත මුලාශ්‍රය බලන්න.)

ඉන්පසු අපි ඒ ගැන වැඩිපුර කතා නොකෙරුවෙමු.

මා ඉහත මුල් ලිපිය පල කල පසු එක වාමාංශික මහතකු පැවසුවේ  පහසුකම් අඩු දිස්ත්‍රික් වල සිසුන්ට විශ්ව විද්‍යාල දොර විවෘත කිරීම  අගය කළ යුතු බවත්  ඉන්දියාවේ දලිත් වැනි කුලහීනයන්ට රැකියා හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය දීමේදී එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත්ය. එනම් ක්වොටා ක්‍රමයට එය දෙන බවයි.  බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ ඇතැම් ශාරීරික ක්‍රියා සාමාන්‍ය  ලෙස කල නොහැකි ජනතාව සඳහා රැකියා දීමේදී එවැනි ක්වෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

නමුත් මෙහි වන්නේ එය නොවේ. එක අසාධාරණයක් ඉවත් කිරීම සඳහා තවත්  අසාධාරණයක් කිරීමයි. ඉන්දියාවේ කුලවතුන් කුලහීනයන් මඩිති. සවි බල ඇත්තන් බොහෝ විට ශාරීරිකව තමන් සේ නොවන අයව නින්දා,  පරිභව හා වෙනස්කම්  කරති. එනිසා එහිදී ක්වොටා  ක්‍රමය සාධාරණය.

ප්‍රාදේශීය මට්ටමට වඩා ලකුණු වැඩි එහෙත් කොළඹ, යාපනය, නුවර සීමාවට අයත් නොවන සිසුන් දැන දැන ප්‍රාදේශීය සිසුන් ට අහිතක් නොකරති. බොහෝ අය ශිෂ්‍යත්වය වැනි විභාග සමත්ව අග නගර වලට එති. ඉන් පසු එම රජයම ඔවුන් අතරමන් කර දමති.  නගර වල පහසුකම් වැඩි පාසැල් තිබීම ඔවුන් ගේ වරදක් නොවේ. එය සමාජ ක්‍රමයේ වරදකි.  එක් ඇනෝ වරයෙකු කිවේ ඔහේට විශ්ව විද්‍යාල යන්න බැරි වුනාට අපි පලිද, එසේ නැත්නම් හැමෝටම වෛද්‍යවරු වෙන්නට බැරිය වැනි අති උද්දච්ඡ කතාය.

මගේ සොයුරියද ශිෂ්‍යත්වයෙන් ලුණුගල සිට කොළඹ විශාඛාවේ අධ්‍යාපනයට පැමිණියාය. ඇයද සෝවියට් ශිෂ්‍යත්වයට අයැදුම් කාලය. ඒ ඇගේ උසස් පෙළ දෙවන
වර ප්‍රතිඵල වලිනි. ඇයද සම්මුඛ  පරික්ෂණයට ගියාය.  පරීක්ෂණයේ සිටි නිලධාරියා කෙසේ හෝ නමින් අප දෙදෙනා එක පවුලේ කියා දැන ඇගෙන් ඒ පිළිබඳ විමසා තිබේ. ඉන්පසු ඇයට දෝෂාරෝපණය කරමින් පවුලේ ඔක්කොම යන්නද හදන්නේ. අනිත් ළමයින්ට අවස්‌ථාව දෙන්නේ නැත්ද කියා ඇගෙන් විමසා තිබේ. ඇය නිවසට පැමිණි පසු මේ සිදුවීම අපට කිවේ කඳුළු පිරි දෙනෙතිනි.  මේ කියූ නිලධාරියාගේ පුතා ඉන් වසර දෙකකට පසු සෝවියට් දේශයේ ඉගෙනීමට පැමිණියේය. බොහෝ දේශපාලනික පවුල්වල සහෝදර සහෝදරියන් පමණක් නොව මාමලා බාප්පලාද සෝවියට් දේශයේ ඉගෙනීමට පැමිණෙන බව පසුව දැන ගතිමි. මට නම් එය ප්‍රශ්නයක් නොවේ.  ප්‍රශ්නය මෙයින් සමහරක් අද නිදහස් අධ්‍යාපනයේ මුර දේවතාවුන් වී සිටීමය. තව කෙනෙකුට ඉගෙනීමට ඉඩ දෙන්නේ නැත්ද මහත්වරුනි?

ඖෂධවේදිනියක් වන මගේ සොයුරිය සැමියා සමග  බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන්නීය. හැමෝටම දොස්තරවරුන් විය නොහැකිය. නමුත් හැකි සැමට අවස්ථාව  ලබා දීම හොඳ දෙයකි.

සමහර ගුරුවර ගුරුවරියන්ගේ, විදුහල්පති වරුන්ගේ මෙන්ම අධ්‍යාපන නිලධාරීන් ගේ ළමයි කොළඹ  ඉගෙන අවසන් වසරේ ගමේ විදුහලක ලියා පදිංචි වී අපොස උසස් පෙළ කර ක්වෝටා ක්‍රමයට විශ්ව විද්‍යාල වලට ගියහ. බොහෝ අය ටියුෂන් ද යති. ඒ අර නගරවල තාවකාලික නවාතැන් වල නැවතිලාය .

අර කියන අන්දමේ අති දුෂ්කර පළාත්වල ළමයි ද විශ්ව විද්‍යාල වලට ක්වෝටා ක්‍රමය නිසා විශ්ව විද්‍යාල වලට තේරුණි. ඒ වැඩිපුරම කලා විෂයන් වලටය.

දැන් ශ්‍රී ලංකාවේ තත්වය වඩා හොඳය. විශ්ව විද්‍යාල 15 පමණද වෛද්‍ය පීඨ 6 පමණද  තිබේ. ඒත් මදිය. ලංකාවේ ජනතාව අධ්‍යාපනය ඉහලින් අගය කරති. දිස්ත්‍රික් ක්වෝටා ක්‍රමයද වඩා සාධාරණ ලෙස  සංශෝධනය  කර තිබෙන බවට ප්‍රතිචාරයක් ලැබුණි.

එහෙත් දරුවන් ටියුෂන් යවා හෝ අමාරුවෙන් උගන්වන දෙමාපියන්  ලංකාවේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඔවුන්ට නොලැබුන හොත්  අන්තිමේදී වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට වලට මුදල් ගෙවා හෝ යවති.  ලංකාවේ විශ්ව විද්‍යාල වලම මුදල් ගෙවා හෝ ණය ක්‍රමයක් ක්‍රියාත්මක කර ඒ සිසුන්ටත් අධ්‍යාපනය දීම වරදක්ද? සයිටම් නමැති ආයතනය අමතක කරමු. එහි වැරදි ඇත්නම් ආණ්ඩුව පරීක්ෂණයක් කර අය කරන  මුදල අඩු කර බොහෝ පිරිසකට යා හැකි ලෙස වෙනස්කිරීම  වරදක්ද?

අසූවේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන උඩු දුව දුව තිබුණු අතරවාරයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගිලිහුණු  බොහෝ යාපන සිසුන් කැරලිකාර කණ්ඩායම් වලට
බැඳුණහ. ශිෂ්‍ය අරගල හා සටන් උතුරේ හා දකුණේ එක විට දියත් වුනි. ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට එව්වේ බලෙන්ය. වඩමාරච්චි ක්‍රියාන්විතය බලෙන් නැවැත්වීමෙන් පසුවය. වඩමාරච්චි ක්‍රියාන්විතය දිගටම සිදු වුනානම් 2009ක් එන්නේ නැත.  එය එසේ වුවද ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දීය හමුදා ගෙන්වීම ගැන චෝදනා කළේ එවකට පැවති  රජයටය.

 ඉන්දිරා  ගාන්ධි හා රජීව් ගාන්ධි ඉන්දියාවේ සෝවියට් හිතවාදී ප්‍රතිපත්තියක් හා මිශ්‍ර ආර්ථිකයක් ගෙන ගිය අතර බටහිරට හිතැති යුඑන්පී  රජයේ විවෘත ආර්ථිකය ඉන්දියාවේ සිත් ගත්තේ නැත.  යාපනේ බෙදුම්වාදී කැරලි කණ්ඩායම් වලට  ඉන්දීය සහය ලැබීමේ මුලික හේතුව තිබුනේ එතනය. නමුත් ශ්‍රී ලංකාව  බෙදා වෙන් කිරීමට  හෝ ප්‍රභාකරන්ට බලය ලබා දීමට ඉන්දීය අදහසක් තිබුනේ නැත. ඔවුන්ට අවශ්‍යව තිබුනේ ශ්‍රී ලංකා රජය නම්මා ගැනීමට පමණි.

උතුරු කොළඹ  වෛද්‍ය විද්‍යාලයෙන් පටන් ගත්  ශිෂ්‍ය අරගලය සාර්ථක ලෙස ඉන්දීය විරෝධි  අරගලයක් දක්වා ගෙන යන්නට විජේවීර ප්‍රමුඛ ජවිපෙත් ශ්‍රීලනිප හා තවත් පක්ෂ කිහිපයකින් සමන්විත ජවිපෙ මෙහෙයවූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් සමත් විනි.

වසර 1985 දෙසැම්බර් 15 බොල්ගොඩ වැව අසලදී දයා පතිරණ මරා දැමුණි.  වසර 1987 ජුලි මස  මා ග්‍රීෂ්ම නිවාඩුවට ශ්‍රී ලංකාවේය. මගේ සෙනිත් කැමරාවද සහිතව පිටකොටුවේ ඉන්දීය හමුදාවට විරුද්ධ උද්ඝෝෂණය බලමින් සිටියෙමි. බස් කිහිපයක්ද ගිනි තැබුණි. ඔවුන් ඉන්දියානුන් නම් කලේ ඉන්දීය වඳුරු හමුදාව ලෙසය.

 ඒ දිනවල හමුවූ කිහිප දෙනෙකුට විරුද්ධවාදීන් මැරීමෙන් හා පුද්ගලික විශ්ව විද්‍යාල ගැන කතා කිරීමෙන් මේ අරගල වෙනතක යා හැකි බවත් විශ්ව විද්‍යාල රජයට ගැනීම හෝ වසා දැමීම රජයට කල හැකි බවත් ඉන්දීය හමුදා ආවේ බලෙන් බවත් පැවසුවෙමි. දේශපාලන හා සමාජ විද්‍යාවන් නොදත් සුළු ධනේෂ්වර තක්කඩියෙකු ලෙස මාව බෞතිස්ම කරන ලදී.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කැඳවුම්කරු ත්‍රිමා  විතාන සොයුරා 1988 ඔක්තෝබරයේ මරා දැමුණි. (දිවයින  පුවත බලන්න) මා වෙනුවෙන් මගේ සොයුරිය  හා තවත් යහළු යෙහෙලියන් බොහෝ දෙනෙකු මරණයට අවසන් ගෞරව දැක්වීමට නොබියව ගියහ. වෙනුර එදිරිසිංහ හා තවත්  බොහෝ අයද නොඑන ගමන් ගියහ.  (මේ බ්ලොග් සටහන බලන්න).   වෙනුර සිර කළ  තැන බිත්තියේ ලෙයින් ලියුවා යයි  සමහරුන්ගේ හැම සමරු රැස්විමකම  කියවේ.

එදා පුද්ගලික වෛද්‍ය විද්‍යාල සටන නිමවූයේ ජනාධිපති ප්‍රේමදාස මහතා  විසින් එය රජයට පවරා  ගැනීමෙනි.   ඉන්දීය විරෝධය නිම වුයේ ප්‍රේමදාස මහතා ද්‍රවිඩ ඊලම් විමුක්ති කොටි සංවිධානය ලවා ඉන්දියානුන්ට පහර දීමෙනි. ඉන්දියානුවන් ආපසු ගියහ. ජවිපෙ “දැවෙන ප්‍රශ්න ” දෙක විසඳූ ප්‍රේමදාස රජය ජවිපෙ දෙසට හැරුණේය. ඉතිරිය ඉතිහාසයට අයත්ය.

එදා වගේම  අදද පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස  සයිටම් එකක් හා එයට විරෝධයක් තිබේ. ගිය ආණ්ඩුව කාලේ වැඩිය කෑ ගහන්නට නොහැකිව තිබුනේ කොටි පැරදවූ දේශප්‍රේමී රජයක ආශීර්වාදය හිමිව තිබු නිසා විය යුතුය.  ඒ මදිවට ඒ ආණ්ඩුවේ අර ත්‍රිමා ගේ ඝාතනයට චෝදනා එල්ලවූ අයද ඇමතිකම් දැරූහ. විහිලුව නම් ඒ ආණ්ඩුව ගෙන ඒමට සහය දුන්නේ ත්‍රිමා ගේ කට්ටියම වීමය.)

ත්‍රීමලා දැන් හිටියා  නම් පුද්ගලික සේවාවක් ගෙන හෝ නවලෝකේ චැනල් කරමින් සිටීද?

ඔවුන් එසේ කරන්නට ඉඩ නැති බවත් එසේ නොකරන දහසක් දොස්තරවරුන් ලංකාවේ සිටින බවත් මම ඔහුට කීවෙමි.

මේ ආණ්ඩුව යටතේ එවැනි ප්‍රශ්නයක් තවම නැත. ඇරත් ප්‍රේමදාස රජයේ හිටි තරුණ ඇමති දැන් අගමැතිය. ඔහුට විරුද්ධව ද පරණ බටලන්ද චෝදනාවක් තිබේ. ඉන්දීය විරෝධයක්ද තිබේ. ඒ එට්කා නම් ගිවිසුමෙන්  දොස්තරවරු හා අනිකුත් වෘත්තිකයන් පැමිණ රැකියා සොරා ගැනීමට ඉඩ ඇති නිසා යයි කියති.  සියල්ල ගානට සෙට්ය.

1. සයිටම්
2. එට්කා (ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තිය 5)
3. දේශපාලන විරෝධතාවන්  මර්දනය කිරීමට එරෙහි වීම  (කුමාර් ගුණරත්නම් මහතාගේ සිර දඬුවම, සිසු විරෝධ වලට කඳුළු ගෑස් )

අංක 3 ට එකඟ විය හැකිය.

අනුර කුමාර දිසානායක මහතා හා ඔහුගේ පක්ෂය,  කුමාර් ගුණරත්නම් මහතා නොමැතිව ඔහුගේ පක්ෂය හා නිර්මාල් දේවසිරි වැනි මහත්වරුද නිදහස් අධ්‍යාපනය රැක  ගැනීමේ වේදිකාවේ පෙනේ. දීප්ති කුමාර ගුණරත්න මහතා හා අනිකුත් වාමාංශික දේශපාලන ක්‍රියාධරයන්ද  මේ පැත්තටම හෙමින් ඇදෙති.

අර ඇනෝවරයෙක් මුල් ලිපියේ  කියා ඇත්තේ මා සමාජ විද්‍යාවන් නොදන්නා බවය. ඉතින් මේ දේශපාලන විද්‍යාවන් දන්නේ නැති, සමාජ විද්‍යාවන් හදාරා නැති සුළු ධනේශ්වර තක්කඩියා නැවතත් කණගාටුවෙන් යුතුව කියන්නේ මෙසේය.

මහත්වරුනි සයිටම් යනු රෝග ලක්ෂණයකි. රෝගය නොවේ.

ත්‍රිමා විතාන ලා , වෙනුරලා දිවි දුන්නේ පාදෙනියලාට, එස් බි ලාට , රාජිතලා ට වේදිකා හදන්නය.

මගෙන් ඊයේ පෙරේදා යහළුවෙක් මෙසේ ඇසුවේය.

ඔහොම යංය.   කවද හරි දවසක ඔය මොකක් හරි බිහි වෙන්නේ නැතෑ.

Ajith Dharmakeerthi

මුලාශ්‍ර: 1983 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලකුණු :

Ethnic Unrest in Modern Sri Lanka: An Account of Tamil-Sinhalese Race Relations

By Haraprasad Chattopadhyaya
මගෝඩියා 
ත්‍රිමා විතාන නඩුව 
ඉන්දියානු සාම සාධක හමුදාව 
දයා පතිරණ 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හදිසියේ මතුවෙන වීරයන්ට ගෙදර වැඩ ලෙස පැරනි රසාන්ග කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
    1. විශ්ව විද්යාල අතාර්කික වීම මාතොට 1997 සැප්
    2.නිදහස් අද්යාපනය හා වෙලද පොල තර්කනය.මාතොට 1999 අප්රියෙල්
    3.වැඩවසම් ගුරු ඔලු සහ ඩිජිටල් ඉගෙනුම.මාතොට 1999 ජුනි
    4.ජීවිතය විකිනීම හා ලාන්කීය හීනමානය.මාතොට1999 සැප්
    5.අද්යාපන ආශාවේ දිශානතිය.AK47 2006 සැප් 3 සහ අදාල සම්මුක සාකච්චා
    පිටරට සිට ලන්කාවේ පත්තර වලට ලියන අයට මාර්ගෝපදේශ.-අමෙරිකාවේ සිට ලියමි.මාතොට1999 දෙසැම්බර්27 -36 පිටු

Comments are closed.