ගෝරාන් තර්බෝන් නම් ස්වීඩන් ජාතික සමාජ විශ්ලේෂකයා ගෝලීය සමාජ සැකසුම තුළ පශ්චාත්-කෝවිඩ් සමාජීය ගතිකයන් ගැන රචනාවක් කලකට ඉහත පළ කරන ලදී. ඔහු තම රචනාව මගින් වැදගත් ගැටලුවක් මතු කරන ලදී: කෝවිඩ් වලට පසුව ගෝලීය ධනවාදී සමාජය තුළ ආර්ථික අර්බුදය අවසන් වන්නේ හෝ යථා තත්ත්වයට පත් විය හැක්කේ කෙසේද?

 

            ඔහු මූලිකව උපකල්පනය කරන්නේ, පශ්චාත්-කෝවිඩ් සමාජ පර්යාය තුළ ජාතිය ගොඩනැංවීම, සමාජ විප්ලව වැනි දෑට ඉඩක් නැති බවයි.

            ‘සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ප්‍රතිපත්ති’ මිනිසාව වහල්භාවයට රැගෙන යාවි යන ”වොන් හයෙක්ගේ” ආත්මය විවේචනය කරමින් තර්බෝන් කියන්නේ පශ්චාත්-කෝවිඩ් සමාජය තුළ පරහිතකාමයට වැඩි තැනක් ලැබෙනු ඇත යන්නයි. උදාහරණයක් ලෙස, යම් මට්ටමක සුභසාධන වැඩසටහනක් ඉදිරිපත් වීම ඒ අනුව අනිවාර්ය වේ. ඒ සඳහා, යම් මට්ටමක ‘සරදියෙල් ආර්ථිකයකට’ නැතහොත් උරුමක්කාර දේපළවලට සහ ධනපතියන්ගේ රාගීගත වූ ධනයට බදු අය කිරීමට සිදු විය හැකිය. ජනප්‍රිය ලෙස කිවහොත්, ධනය යළි බෙදා දීමට සිදු වනු ඇත.

            පශ්චාත්-කෝවිඩ් සමාජ සබඳතා ලෝකයකට යාමේදී ‘තර්බෝන්’ විසින් අපට හමු වීමට නියමිත දේශපාලන විකල්ප දෙකක් විග්‍රහ කරයි.

 

1. සමාජ අසාධාරණය, සමාජ අසහනය, නිදන්ගත ග්‍රාමීය දරිද්‍රතාවය [Chronic Poverty]නිසා හට ගන්නා සමාජ වියරුව සහ අතාර්කික හිංසනය නිසා සමාජයට එක්කෝ බර්ලින් හෝ ටෝකියෝ විකල්පය තෝරා ගත හැකිය. මෙම මාවත අවසන් වන්නේ, ස්ටැලින්වාදයෙන් හෝ නාසිවාදයෙනි. නැතහොත්, සමාජ අසාධාරණයට විකල්ප ලෙස පවතින ලිබරල් බර රටාව වෙනුවට සර්වාධිකාරයක් [totalitarian]තෝරාගත හැකිය. ලංකාව තුළ පවතින ඉතිහාසවේදයට[Historicism] අනුව මෙහි දී ඉඩක් ඇත්තේ, ස්ටැලින්වාදී අන්තයකට ය. එනම්, ඉතිහාසයේ යකඩ නීති ගැන හරියටම දන්නා වෘත්තීය විප්ලවවාදීන් පිරිසක් සමාජය යහපත් අන්තයකට තල්ලු කිරීමේ න්‍යායයි. මෙම ප්‍රවණතාවය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක්කේ, ‘අරගලය’ මෙහෙයවන අය ඉතිහාසයේ ගාමක නීති-රීති කලින්ම දන්නා නිසාය. ඒ අර්ථයෙන්, ඔවුන් අනෙකාගේ යහපතේ උපකරණයක් වෙයි. මෙහි ආත්මීය ව්‍යුහය මේ නිසා විපරීතය.[pervert]

ඉහත ප්‍රවණතාවයට විකල්ප වශයෙන් ලතින් ඇමරිකාවේ දී බිහි වූයේ, මිලිටරි සර්වාධිකාරයන්ය. එය, බ්‍රිතාන්‍යයේ දී සහ ප්‍රංශයේ දී නව වැඩවසම්වාදය සමඟ මුහු වූ අතීතයට ආදරය කිරීම දෙසට දිශානත විය. මෙය, සංරක්ෂණවාදී අදහසකි. [conservatism] එමගින්, පැරණි පර්යාය රැකීමට යත්න දරන ලදී.

 

2. අනෙක් විකල්පය වූයේ, නවසිය විසි ගණන්වල සිට ආරම්භ වූ ඇමරිකානු ආර්ථික අවපාතය යි. [The Great Depression was a severe worldwide economic depression between 1929 and 1939 that began after a major fall in stock prices in the United States.]එමගින් උත්පාදනය වූයේ, ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයකි. එය, සංවාද තලයන් තුනකට ඌනනය විය.

1. වේගවත්ව යථා තත්ත්වයක ට පත් වීම.

2. හිමිහිට යථා තත්ත්වයකට පත් වීම.

3. දීර්ඝකාලීන උද්ධමනය.

 

ශ්‍රී ලංකාවට ද ඉදිරියට ඇත්තේ, ඉහත විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමටය. එහි දී, අපට මුහුණ දීමට සිදු වන භූ-දේශපාලනික [Geopolitical] යථාර්ථයක් ඇත.

 

        බටහිර සහ ඉන්දියාව ‘ලංකාව’ ඉන්දු-පැසිපික් කලාපයේ මූල්‍ය නගරයක් වීමට රුචි නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය යනු, ලංකාවේ පාලකයෙකු කළ දෙයක් නොව ඉහත භූදේශපාලනික අංශයේ බටහිර පැත්තේ නියෝජනයකි.  භූදේශපාලනයට මානව අයිතිවාසිකම් සහ මිනිස් සාරධර්ම අදාල නැත.

  චීනය ලංකාවට මැදිහත් වන්නේ, එහි විදේශ අමාත්‍යංශය හරහා ය.[The Belt and Road Initiative, formerly known as One Belt One Road or OBOR for short, is a global infrastructure development strategy adopted by the Chinese government in 2013 to invest in nearly 70 countries and international organizations.]

ඇමෙරිකාව සමඟ යුද්ධයකට යාමට චීනය අරුචිය. එංගලන්තයෙන් ‘ධනවාදයේ හෙජමොනිය’ ඇමරිකාවට විස්ථාපනය වූයේ, දෙවන ලෝක යුද්ධයට පසුව ය. 80 දශකයේ දී, ‘ධනවාදයේ හෙජමොනිය’ ජපානයට මාරු වීමට ඉඩක් පැවතිමුත් එය වැළකී ගියේ ය. නමුත්, චීන කොමියුනිස්ට් පක්ෂය ලෝක බලවතා වීමට උත්සාහ කරන්නේ, ආර්ථිකය හරහා පමණි. මේ නිසා, ලෝකය පාලනය කිරීමේ දී චීනය වෙනත් රටක ගැටලු වලට විදේශ ප්‍රතිපත්තියට එහාට ගමන් කරන්නේ නැත.

        නමුත්, ඉන්දියාවේ හැසිරීම වෙනස් ය. ඔවුන්ගේ මැදිහත් වීම සිදු වන්නේ, විදේශ අමාත්‍යංශයට අමතරව ‘රෝ ඔත්තු සේවය’ හරහා ය. TNA සහ කඳුරට දෙමළ දේශපාලනයේ තීන්දු තීරණවලට සෘජු ලෙස ඉන්දියාව මැදිහත් විය. මීට අමතරව, ඇමරිකාව වැනි බලවතෙකු ජාතික ‘රාජ්‍ය ගොඩනැගීම’ (Nation Building) වැනි ව්‍යාපෘතිවලට තවදුරටත් අත ගසන්නේ නැත. ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේ දී තලේබාන් සංවිධානයට රාජ්‍ය බලය ගැනීමට ඉඩ දුන්නේ මේ නිසා ය.

Boris.

         ලංකාවේ පසුගිය කාලය තුළ සිදු වූ සමාජ අරගලයේ දී අප නිශ්ශබ්ද වූයේ මන්ද? ඒ ගැන විවිධ අය අසන නිසා ඒ සඳහා කෙටි පිළිතුරක් අපි විසින් මෙලෙස සම්පාදනය කරමු.

        පළමුවෙන්ම කිව යුත්තේ, ලංකාවේ වමේ බලවේග සහ සිවිල් සංවිධාන ක්‍රියා කරන්නේ අත්දැකීම් මත පදනම් වෙමින් මිස න්‍යායක් මත පදනම්ව නොවන බවයි. අප සෑම විටම කියන්නේ, න්‍යායික ඉදිරි දර්ශනයක් නොමැතිව සමාජයේ ඊළඟ පියවරට යාමට නොහැකි බවයි. වමේ අරගලකරුවන් සිතන්නේ, මාධ්‍යවල කරන අසංවිධිත සංවාදවලින් යම් වෙනසක් කළ හැකි බවයි. මාධ්‍ය හරහා දේශපාලනය කිරීම අනන්‍යතා දේශපාලනයේ දී තීරණාත්මක වූවත්, පන්ති ව්‍යුහය වෙනස් කිරීම වැනි බැරෑරුම් වැඩකට එය සුදුසු නැත. අනෙක් අතට, ලංකාවේ දැනට පවතින දේශපාලන විවාදය ‘පන්තිය’ නම් අදහස අතහැර ඒ සඳහා ‘ජනතාව’ නම් අදහස ආදේශ කර ඇත. එය, ඉන්පසු ‘භූමියේ ජනතා මතය’ සහ ‘පාර්ලිමේන්තුවේ ජනතා මතය’ ලෙස දේශපාලනිකව භේද වී ඇත.

        ලංකාවේ දැනට පවතින ‘ආර්ථික අර්බුදය’ අනිවාර්යයෙන් හට ගත යුතුව තිබූ දෙයක් නොව ආපතික [contingent] එකකි. ගැටලුව ‘අනිවාර්යතාවයෙන්’ ආපතිකත්වයට මාරු වූයේ, පද්ධතිය තුළ හටගත් ස්වභාවික විපතක් නිසා ය. එනම්, කෝවිඩ් වෛරසය නිසා ය. ලංකාවට රාජ්‍ය මූල්‍ය විනයක් හෝ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් නැත. එම නිසා, ලංකාවේ ජාතික ආර්ථිකය ද අයත් වන්නේ, අවිධිමත් ආර්ථිකයකට ය. ආදායම් විෂමතාවය ඉතා පුළුල් එකක් ලෙස නිල සංඛ්‍යා ලේඛන වල සඳහන් වූවත්, සැබෑ ආර්ථිකය තුළ ආදායම් විෂමතාවය පිළිබඳ සංඛ්‍යා ලේඛන නැත.

        අපි දැන්, දත්තවලට යමු. ලංකාවේ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව නිල වශයෙන් මිලියන 8ක් පමණ වේ. ඉන්, මිලියන 1.4 ක් පමණ රජයේ සේවකයන් ය. ඉතිරි ලක්ෂ 6 ක ශ්‍රමිකයන් පුද්ගලික අංශයේ සේවකයන් ය. මිලියන 6 ක පමණ ශ්‍රමිකයන් සිටින්නේ, අවිධිමත් ආර්ථිකයක් තුළ ය. ඒ අයට, ස්ථිර මාසික ආදායම් නැති අතර ඔවුන්ගේ මාසික ආදායම ගතිකය. ඊට අමතරව, ඔවුන්ගේ පවුල් සඳහා පොදු සමාජ ආරක්ෂණ දැලක් නැත.

        ලංකාවේ ප්‍රධාන වාම දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන්, අනේක නම් වලින් හැඳින්වෙන විවිධ වෘත්තිය සමිති සහ සමගි ජන බලවේගය පවා ‘ජනතාව’ ‘ජනතා බලය’ ලෙස බලමුළු ගන්වන්නේ, මිලියන 2 ක මාසික වැටුප් ලබන ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් ය. අප මේ සියලු දෙනාට කියන්නේ, ඔබගේ කතිකාවෙන් පිටතට යන ජනගහණය මිලියන 6 ක් යන්න ය. ‘අරගලයට’ ගම්බද ජනයා සම්බන්ධ නොවන්නේ මේ නිසා ය.

            අරගල භූමියේ ඇසෙන සටන් පාඨ වලට ‘රාජ්‍යයේ වියදම් අඩු කිරීම’ සහ ‘රාජ්‍යයේ ආදායම් වැඩි කිරීම’ වැනි කාරණා ඇතුළත් නො වීම අහම්බයක් නොවේ. ඉන් අදහස් වන්නේ, අරගලයේ ‘නායක පරාසය’ ඉල්ලා සිටින ”සමාජ ඉල්ලීම්”[Social Demands] මධ්‍යම-පන්තික සහ වෘත්තිය කේන්ද්‍රීය ඒවා වන බවයි. ලෙනින් කීවේ, වෘත්තිය සමිති විඥාණය ‘ජාතික විඥාණය’ දක්වා එසවීම විප්ලවවාදී පක්ෂ ආකෘතියේ ප්‍රධාන කර්තවය බවයි. අරගලයට අප එකතු වීමට නම්, පහත සඳහන් කොන්දේසිය එකතු විය යුතුය.

        පරහිතකාමී ජාතික ආර්ථික ව්‍යුහයක් තැනීමට අවශ්‍ය නම්, උපරි-ව්‍යුහයේ ඉල්ලීම් වෙනුවට (ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල සිට මහජන සභාව දක්වා) අප දැනට පවතින රෝග ලක්ෂණාත්මක පුද්ගලවාදය මත පදනම් වූ ‘ආර්ථික ව්‍යුහය’ වෙනස් කළ යුතුය. ඉතාම සරලව කිවහොත්, ‘ආර්ථිකය’ රාජ්‍යයෙන් ‘පුද්ගලික අංශයට’ විතැන් කළ යුතුය. [dialectical reversal of capitalism]අද දවසේ රැඩිකල් වාම දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ, ආර්ථිකය සද්භවය [Being] ලෙස ගැනීමයි. අන් අය කරන්නේ, ආර්ථිකය යනු ද ජාතිය, ජන්මය, අනන්‍යතාවය, ලිංගිකත්වය, ස්ත්‍රිය, ආදරය යන භවයන්ගේ [beings] තලයට ඌනනය කිරීමයි. ‘සද්භවය’ වෙනුවෙන් සටන් කිරීම සහ භවයන් වෙනුවෙන් කරන සටන අතර ගුණාත්මක වෙනසක් ඇත. උදාහරණයක් ලෙස, අද පවතින අරගලයට ආශිර්වාද කරන්නේ 2009 යුද්ධයේ දී එයට ආවඩන ලද ආධිපත්‍යයික ව්‍යුහයන් ය. උදා:- කාදිනල්, ඇමරිකන් තානාපති.

        අපට ලංකාව වෙනස් කිරීමට ආර්ථික-විද්‍යා අදහසක් ඇත. ඊට අනුව, ලංකාවේ සමාජ අසාධාරණය නැති කිරීම ව්‍යවස්ථාවට අදාළ කාරණයක් නොවේ. එය යොමු වන්නේ, පාඩු ලබන, අකාර්යක්ෂම නිලධාරී තන්ත්‍රයක් සහිත ආයතන දෙසට මිස සනත් නිශාන්ත දෙසට නොවේ. ඒ අනුව, රාජ්‍යය තමන්ට බාහිරින් සිටින කුමන මූල්‍ය ආයතනයකින් ණයක් ඉල්ලුවත් ඔවුන් කියන්නේ, රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන්න කියා මිස ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන්න කියා නොවේ. අසනීපය ඇති තැනට ප්‍රතිකාර කරනවා මිස ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන තැනකට ප්‍රතිකාර කිරීම දෘෂ්ටිවාදයකි. ග්‍රීසියේ මුලින් පැවති සෘජු ප්‍රජාතන්ත්‍රවාදය [DIRECT DEMOCRACY] ‘ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක්’ ලෙස යුරෝපයේ තහවුරු වූයේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය[Formal democracy] ලෙසිනි. ධනේශ්වර නූතන ආර්ථිකයේ [Capitalist Modernity] ප්‍රතිවිරෝධතා විසඳීමට සමුපකාර ආර්ථිකයට පල්ලම් බැසීම යල් පැන ගිය චින්තන විධි ක්‍රමයකි. ඒවා, කිරි බෙදන්නට හොඳ වුවත් භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයට සුදුසු නැත. එපරිදිම, පාර්ලිමේන්තුව වෙනුවට ‘මහජන සභා’ යෝජනා කිරීම චන්ඩින් විසින් සෘජුව පාලනය කරන පෙරටුගාමී වැනි පක්ෂ යාන්ත්‍රණයකට සුදුසු වුවත්, ප්‍රජාතන්ත්‍රයකට ගැලපෙන්නේ නැත. එය, ඓතිහාසික විශ්ලේෂණයක් කළ විට දී වැටහෙයි. (අවශ්‍ය නම්, විවාද කිරීමට අප සූදානම් ය.) ඇමරිකාවේ Tea Party යනු ද ‘මහජන සභාවකි’. ඇමරිකානු පරිභෝජනවාදී ෆැසිස්ට්වාදයේ තෘණ මූල ආකෘතිය ඇත්තේ එතැන ය.

        අප ඉහත තත්වය තව උදාහරණයකින් මෙලෙස පැහැදිලි කරමු. සමහර කොමියුනිස්ට්වාදීන් තර්ක කරන්නේ, සමාජ වර්ධනයේ නිෂ්ටාව වූ කොමියුනිස්ට්වාදය තුළ ‘මුදල්’ අහෝසි විය යුතු බවයි. නමුත්, අප අමතක නොකළ යුත්තේ, මුදල් නම් සංසරණ මාධ්‍යය සමාජ සබඳතා වලින් ඉවත් කළ විගස අපට හමු වන්නේ, පුරාණ ආර්ථික හුවමාරුව වන ‘බාටා ක්‍රමය’ බවයි. මින් අදහස් වන්නේ, ‘මුදල්’ සමාජ භාවිතාවෙන් ඉවත් කළ විගස අප එකිනෙකාගේ වහලුන් වන බවය. ඉතාම අතාර්කික ලෙස කුමාර්ගේ ‘මහජන සභා ක්‍රමයට’ අනන්‍ය වන්නන් යනු, පුබුදු ජයගොඩ වර්ගයේ අධ්‍යයනය නොකරන කාණ්ඩය බවයි. 

        සංවිධානයක් ලෙස, අපට ඉදිරි දර්ශනයක් තිබෙන බැවින් පාරේ ගමන් කරන කඨින පෙරහැරවලට මල් බයිසිකල් දමන්නේ නැත. අනුරට, සජිත්ට, කුමාර්ට සිදු වී ඇත්තේ, තමන් නොදන්නා ආපතික සිදුවීමක් නිසා පාරට බසින ලද මහජනතාවක් සමඟ අනන්‍ය වීමයි. මේ මහජනතාව යනු, ‘මුහුණපොත’ නම් ඩිජිටල් අවකාශය තුළ ආත්ම ප්‍රකාශයන් මිස දේපළ අයිතිය වෙනස් කිරීමට පාරට බසින ලද භෞතික මිනිසුන් නොවේ. මධ්‍යම පන්තියට පාරට බැස සැණකෙළියක් පවත්වා පාලකයන් ඉවත් කිරීමට අවශ්‍ය නම්, අප ඊට ඉඩ දිය යුතුය.

           වසර 25ක් පමණ ලංකාවේ විපක්ෂ මතවාදය යනු, ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍ය මඟින් සහ ඡන්ද ක්‍රියාවලිය මගින් ප්‍රකාශයට පත් කරන ‘දූෂණ විරෝධය සහ පාලකයාගේ විනෝදය පිලිකුල් කිරීමයි’. මෙම මතවාදයට ඉදිරියට පැවැත්මක් නැත. අඩුම වශයෙන්, අරගලය අවසානයේ ආරාධිතයෙකු නොවන කෙනෙක් පාලකයා වීම පවා ඔවුන්ට වැටහෙන්නේ නැත.

        අරගලයේ න්‍යායාචාර්යවරුන් අතර කිසිවෙක් හේගල් කිය වූ නැති නිසා ඔවුහු සියලු දෙනා එක්වරම විජේවීරවාදීන් බවට පත් විය. විජේවීරවාදය යනු, ලංකාවේ ධනවාදය සමතික්‍රමණය කිරීමට තනන ලද රැඩිකල් ගම්බද තරුණයන්ගේ දෘෂ්ටිවාදයකි. මේ දෘෂ්ටිවාදයේ උන්මුල තර්කනය වන්නේ, ගම්බදින් නගරය වට කිරීමයි. මෙය අවසන් වන්නේ, කේමරෑජ් විලවවාදීන්ගේ ‘කාලය බිංදුව’ කිරීමෙනි. මෙම තර්කයට අනුව, ගම නගරයෙන් දූෂ්‍ය වී ඇති නිසා නාගරිකයන්ගේ ඇස් කණ්ණාඩි ගලවා යළි ගමට දක්කා ඔවුන්ට ප්‍රති අධ්‍යාපනය සැපයිය යුතුය. ඉතිහාසයේ වාස්තවික තර්කනය විජේවීරවාදීන් දන්නා නිසා, ඔවුනට බාහිරින් කිසිවෙකුට ඔවුනට අධ්‍යාපනයක් ලබා දිය නොහැකි ය. ඔවුන් ඉතිහාසයේ අභ්‍යන්තර තර්කනය සහ ප්‍රගතියේ දිශාව නිවැරදිව දන්නා ඉතිහාසය නියෝජනය කරන්නවුන් ය. විප්ලවය සිදුවන තුරු, විජේවීරවාදීන් මැද පන්තිය රවට්ටන අතර විප්ලවය ජයගත් වහාම ඔවුන්ගේ හිසට සිලි සිලි බෑගයක් දමා කට ගැට ගැසීමට හැකිය. ඔවුන් කියන සමාජ සතුරන් සමග මහජනයා අනන්‍ය විය යුතු අතර ඒ අය විනාශ කර ඒ අයගේ දේපොළ යළි අත්පත් කර ගැනීමෙන් රටේ ආර්ථිකය දියුණු කළ හැකිය. පසුගිය කාලයේ විවිධ දෙසින් අපට ඇසුණු විජේවීරවාදයේ මූලික ලක්ෂණ ඉහත පරිදිය.

        එක් පසෙකින්, විජේවීරවාදීන් දූෂණ-විරෝධී මතවාදය පුළුල් කරමින් සමාජ මතවාදය මෙහෙයවන විට දී ඔවුන්ට යථාර්ථය පිළිබඳ සමපේක්ෂණ මතවාදය [speculative logic] අමතක විය. උදාහරණයක් ලෙස, යුක්රේනියානු ජනයා ඇමරිකානු පරිභෝජනවාදය වැළඳ ගනිමින් ඒ කෙරෙහි නාභිගත වෙමින් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන විට දී, ඔවුන්ට රුසියාව සහ පූටීන් සාධකය අමතක විය. එවිට සිදු වූයේ, ඇමරිකානු පරිභෝජනවාදය වෙනුවට රුසියානු යුද්ධ ටැංකි රට තුලට ඇතුල් වීමයි.

        ඉහත පරිදිම, අරගල න්‍යායාචාර්යවරුන් සහ එහි මාධ්‍ය ප්‍රකාශකයන් ගෝඨාභය එළවීම ඉලක්කගත කරන විට දී, ඔවුන්ට ඉන්දියාව සහ ඇමරිකාව කරන සමපේක්ෂණය අමතක විය. ඔවුන්ට ලංකාව පෙනෙන්නේ, අරගලකරුවන්ට පෙනෙන අයුරින් නොවේ. ඒ අනුව, ඇමරි-ඉන්දියානු දෘෂ්ටිකෝණයෙන් ලංකාව පෙනෙන ආකාරය සහ අරගලයේ මෙහෙයුම්කරුවන්ගේ දෘෂ්ටිකෝණය අතර පරතරයක් බිහි විය.[parallax gap] රනිල් වික්‍රමසිංහ එක්වරම අරගලකරුවන්ගේ ක්ෂිතිජය කඩාගෙන යථාර්ථයට ඇතුළු වූයේ, මෙම ‘පරතරය’ කලින් අරගලකරුවන්ට නිවැරදිව සමපේක්ෂණය කර ගැනීමට නොහැකි වූ නිසා ය. ආර්ථිකයට ද භෞතික පැත්තක් සේම ආත්මීය මානයක් ඇති බවත්, දේශපාලනයටත් මෙම තත්ත්වය වලංගු බවත් (එනම්, දේශපාලනයට ආත්මීය මානයක් ඇති බව එනම්, සමපේක්ෂණ තර්කනයක් ඇති බව) දැන සිටි අරගලකරුවෙකු ලංකාවේ සිටියේ නැත. 

Deepthi Kumara Gunarathne

 

 

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. // අරගලයේ න්‍යායාචාර්යවරුන් අතර කිසිවෙක් හේගල් කිය වූ නැති නිසා ඔවුහු සියලු දෙනා එක්වරම විජේවීරවාදීන් බවට පත් විය. විජේවීරවාදය යනු, ලංකාවේ ධනවාදය සමතික්‍රමණය කිරීමට තනන ලද රැඩිකල් ගම්බද තරුණයන්ගේ දෘෂ්ටිවාදයකි. මේ දෘෂ්ටිවාදයේ උන්මුල තර්කනය වන්නේ, ගම්බදින් නගරය වට කිරීමයි. මෙය අවසන් වන්නේ, කේමරෑජ් විලවවාදීන්ගේ ‘කාලය බිංදුව’ කිරීමෙනි.// මේ අදහසට මම එකඟය. මම කාම්බෝජය ගැන මේ දිනවල ලිපි ලියන්නේද මේ නිසාය.

      • හේගල් සර්ව සාධාරණ කියන එක නෙමේ කියන්නේ. අරගලය පොල්පොට් වාදයෙන් කෙළවර විය හැකිය කියන එක්. නිවැරදිව කියන දෙය වටහා ගැනීම වැදගත්. අන්තිමට ලියන එකාටත් මැරෙන්න වෙන්නේ.

  2. දේපළ අයිතිය වෙනස් කිරීමට පාරට බසින ලද භෞතික මිනිසුන් නොවේ. – මට දේපල අයිතිය අහෝසි කිරීමට අවශ්‍ය නැත්නම්

  3. ඔයාලගෙ මාර තියරිනෙ තියෙන්නෙ දීප්ති මේ ගෝත්‍රික සමාජ සම්බන්ධකම් සහ ධනවාදය නොවන මේ “ධනවාදය” ට ඇවන්ගාර්ඩ් සිකියුරිටි එකක් දෙන්න. ඇත්තටම මචං දීප්ති මේ අපි පෙට්‍රල් ලීටර් 3 ක් ගන්න, ගෑස් එකක් ගන්න දවස් 3ක්4 ක් පෝලිම්වල රෑ දවල් තෙමෙනඑක, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල 300% කින් විතර ඉහල යාම අපි කොරපු කරුමයක් කියල හේගල්ව පොඩ්ඩක් එහෙට,මෙහෙට හොලවලා උගෙන් අහල කියහංකො!:

Comments are closed.