1.

අරගලය ආරම්භ වී එය යම් තත්වයකට මෝරා යන විට දී, අරගලයේ ගතිකය විසින් සමාජයේ බලය පිහිටි ස්ථානය ද්විත්ව ආකාරයකට ධ්‍රෑවීයකරණය කරන ලදී. එමඟින්, එකිනෙකට සමාන්තරව යන ආණ්ඩු දෙකක් පිළිබඳ අදහස ‘පෙරටුගාමී පක්ෂය’ විසින් මතු කරන ලදී. එනම්,  ‘ද්විත්ව බලය’ (Dual Power) පිළිබඳ ලෙනින්ගේ සංකල්පය යි. ඊට අනුව, සිවිල් නිල පාර්ලිමේන්තුවාදී ආණ්ඩුවට පිටතින් මහජන බලය විසින් සංවිධානය කළ බහුත්වවාදී සමාජ කණ්ඩායම් මගින් තාවකාලික සහ සටන් කරන අවිධිමත් ආණ්ඩුවක් බිහි වී ඇත. ලංකාවේ මේ මොහොතේ දේශපාලන මංසන්ධිය වටහා ගැනීමට ලෙනින් ගැන නැවත සිතීම, ලෙනින්ව නැවත කියවීම ඉතාමත් බුද්ධිමය කටයුත්තකි.

     නමුත්, ලෙනින් මෙන් වැඩ කිරීමට පෙර ලෙනින් මෙන් සිතීමට අප පුහුණු විය යුතුය. බොහෝ විට, ‘කළ යුත්තේ කුමක්ද’ යන කෘතිය කටපාඩමින් දැන සිටි පිරිස ‘නො කළ යුත්ත’ දිගටම කරමින් සිටිය දී, ඔවුන්ට යථාර්ථය වටහා ගැනීමට හදිසියේම ‘අප්‍රේල් ප්‍රවාද’ අවශ්‍ය විය. ඊජිප්තුවේ සිට ලිබියාව දක්වා විහිදී ගිය ජනතා නැගිටීම්වල දී, එම රටවල ලෞකික වම විනාශ කර තිබූ නිසාදෝ එම රටවල අරගලකරුවන්ට ‘අප්‍රේල් තිසීස’ හමු වූයේ නැත.

      ලංකාවේ දී දැනට සිදුවෙමින් යන්නේ, එක පැත්තකින්, ‘අප්‍රේල් ප්‍රවාද’ රොමෑන්තිකකරණය කිරීමයි. අනෙක් පසින්, ‘අප්‍රේල් ප්‍රවාද’ අභිරහස්කරණය කරනු ලැබේ. ‘අප්‍රේල් ප්‍රවාද’ රොමෑන්තිකකරණය කරන අය ‘ලෙනින්ගේ මොහොත’ කවි සංකල්පනාවක් බවට ඌණනය කරයි. ‘විප්ලවීය මොහොත’ යනු, ලෙනින් අසළ සිටි විවිධ අය ඔහුට කියන ලද විවිධ දෑ කාව්‍යකරණය කිරීම නොවේ. ලෙනින්ගේ බිරිඳ කෲප්ස්කයා ලෙනින් විප්ලවයේ මොහොත උදා වී ඇතැයි කී විට, ඇය ‘මේ මනුස්සයාට පිස්සු යැයි කීවාලු!’. මෙම අදහස ලියා ඇත්තේ, ‘අප්‍රේල් ප්‍රවාද’ වලට නූතන අර්ථකතනයක් සපයන ජිජැක් විසිනි. ඒ අනුව, කිසියම් චින්තකයෙකු ලියන දෙයක් සිංහලෙන් පුනරාවර්තනය කිරීම, ‘අප්‍රේල් ප්‍රවාද’ දෙසට ගමන් කිරීමක් නොව තමන්ගේ ඊගෝව දෙසට ගමන් කිරීමකි.

          අනෙක් අතට, ‘සෝවියට් සභා’ පිළිබඳ අදහස එහි චින්තන මූලයන්ගෙන් ගලවා ගත් විට දී, එය මාධ්‍ය තුළ මැද පන්තිකයන්ගේ හිස් කුහර තුළ ගුප්තකරණය වනවාට වඩා දෙයක් සිදු නොවේ. ඒ අනුව, ‘අප්‍රේල් ප්‍රවාද’ රොමෑන්තිකරණය කිරීම සහ එය අභිරහස්කරණය කිරීම යන වැඩ දෙකම විඥාණවාදයකි. පළමුවෙන්ම කිව යුත්තේ, ලෙනින්ගේ ‘අප්‍රේල් ප්‍රවාද’ පිළිබඳ දේශපාලන විශ්ලේෂණය සිංහලෙන් පළ වී ඇති බවයි. එය, ලෙනින්ගේ තෝරාගත් කෘති 12 ක් අතරින් 5 වන වෙළුමේ ඇත. එය, අරගලයේ සිටින සියලු දෙනාට කියවීමට, අධ්‍යනය කිරීමට අපි ආරාධනා කරන්නෙමු. (පිටු 295)

2.

         වැස්ස, ආදරය, යුද්ධය, පන්තිය, ගැටුම ආදී සංකල්ප වටහා ගැනීමට විද්‍යාවක් ඇති සේම විප්ලවය හෝ අරගලය වටහා ගැනීමට ද විද්‍යාවක් ඇත. ‘විප්ලවය’ පිළිබඳව වඩා ක්‍රමවත් අධ්‍යයනයක් කර ඇත්තේ, ලෙනින් ය. එම නිසා, විප්ලවයක් සංවිධානය කරන අය ලෙනින්ව කියවිය යුතු ය. නැතිනම් වන්නේ, ගෝඨාභය එළවා දැමූ විට රනිල් හමු වීමයි. විප්ලවය පිළිබඳ ලෙනින්ගේ කෙටි අදහසක් මෙලෙස සටහන් කළ හැකි ය.

     ‘ විප්ලවය යනු, ඉතාමත් තියුණු පන්ති ප්‍රතිවිරෝධතාවයන් උපරිම මට්ටමෙන් උග්‍ර වීම වන හෙයින් ඕනෑම විප්ලවයක් සාමකාමී ලෙස සංවර්ධනය වීම ඉතාමත් දුර්ලභ සහ දුෂ්කර දෙයක් වන්නේය.’

මේ දක්වා සිදු වූ අරගලයේ සිදුවීම් විශ්ලේෂණය කළ විට දී, ඉහත අදහස සත්‍ය බව වැටහෙයි. ඕනෑම විප්ලවයක් සිදු කරගෙන යන විට දී, එහි ප්‍රතිලෝමය හමුවීම විප්ලව වලටම ආවේණික තත්වයකි. උදාහරණයක් ලෙස, ලංකාවේ අරගලය කරන විට දී අවශ්‍ය වූයේ, ගෝඨාභය විස්ථාපනය කොට එතැනට අරගලකරුවන් ආදේශ වීමට ය. නමුත්, ඒ වෙනුවට නොසිතූ දෙයක් සිදු විය. එතැනට, ‘අරගලකරුවන්’ ආදේශ වීම වෙනුවට ඒ තැන ගත්තේ, ‘රනිල් වික්‍රමසිංහ’ ය. මෙවැන්නක් සිදු වූයේ කෙසේද යන්න පැහැදිලි කරන විට ඒ සඳහා අපට ලැබෙන උත්තරය සරලමතිකය. රනිල් යනු, සූක්ෂම කපටියෙකි. ඔහු රාජපක්ෂලාගේ රහස් ඒජන්තයා ය. ඔහු බටහිර ගැත්තෙකි. ඔහු බලයට කෑදර තිරිසනෙකි. ජනාධිපති වීමට ඕනෑම පාවා දීමක් කිරීමට සූදානම් අවස්ථාවාදියෙකි. ඔහු රට දෙකඩ කිරීමට රහසින් දෙමළ ඩයස්පෝරාවට පොරොන්දු වී සිටින ෆෙඩරල්වාදියෙකි. මේ රනිල් පිළිබඳ චෝදනා පත්‍රයෙන් කොටසක් පමණි.

3.

       අපගේ අදහස එනම්, ‘සමබිම’ පක්ෂයේ දේශපාලන මෙහෙයුම් අක්ෂය විදාරණය කිරීමේ දී අපට ඍජු ලෙස ‘අප්‍රේල් ප්‍රවාද’ ලංකාවට ගැළපිය නොහැකි ය. එය කළ හැක්කේ, යම් යම් සංශෝධනයන්ට ලක් කරමිනි. එසේ කිරීමට හේතු වන න්‍යායික සාධක පහත පරිදි අපි සාරාංශ ගත කරන්නේමු.

        ලංකාවේ ‘අරගලය’ නමින් අධිනිශ්චය වී ඇති සමාජ ප්‍රපංචය වනාහී ව්‍යාපාරික මට්ටමේ අර්බුදයකි. සිවිල් ආර්ථික විශ්ලේෂකයන් අතින් මෙම අර්බුදය ‘ආර්ථික අර්බුදයක්’ ලෙසින් නිර්වචනය වීම අහම්බයක් නොවේ. ඔවුන්ට අනුව, අර්බුදය ඇත්තේ ඩොලර් හිඟභාවය මත ය. නමුත්, ඒ අය අපට විග්‍රහ කර නොපෙන්වන්නේ, දැනට ඇති ‘විශාල ණය’ ප්‍රමාණය ඊට වඩා විශාල ණයක් ගෙන ගෙවා දැමිය නොහැක්කේ මන්ද යන්නයි. අර්බුදය හට ගත් අවස්ථාවේදී, ධම්මික පෙරේරා මතු කළේ ද මෙම ප්‍රශ්නය යි. අවශ්‍ය නම්, ‘කලු සල්ලි’ අරගෙන රට දුවන්නට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ‘කලු සංචිත’ වලින් ලබාගත හැකි ය. ලංකාවේ කිසිදු ආර්ථික විශ්ලේෂකයෙකු විග්‍රහ කිරීමට අකමැති වන්නේ මෙම සාධකය යි. ‘කලු සල්ලි’ ගෙන අපේ ණය වලින් කොටසක් ගෙවා (අවම තරමින් ඩොලර් බිලියන 3 ක්) ඉන්ධන මිලට ගෙන රට ගෙන යාම, අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහට කළ හැකි ය. නමුත්, එය සිදු කිරීම ඉතා දුෂ්කර වන්නේ, ‘ඇමරිකානු ෆෙඩරල් බැංකුව’ සහ ‘CIA’ සංවිධානය නිසා ය. ඔවුන්ගේ අවසරය නැතිව ”කලු- සල්ලි -සංචිත -ආයෝජකයන්” වැඩි පොළියට හෝ අපට මුදල් දෙන්නේ නැත. පසුගිය දිනෙක, පාර්ලිමේන්තුවේ සිදු වූ බල පෙරළියට අදාල මූල්‍ය ප්‍රාග්ධනය සැපයූ ඉෂාර නානායක්කාරට අවශ්‍ය නම් ලංකාව තරමක් ගොඩ දැමිය හැකිය. නමුත්, එසේ කළ නො හැක්කේ ද ඉහත ආයතන දෙක නිසා ය.

        අපි පළමුවෙන්ම, ධම්මික පෙරේරාට වැරදුණු තැන ගැන පිළිබඳව සලකා බලමු. ලංකාවේ සිංහල-බෞද්ධ ග්‍රාම්ස්චිවාදීන් පරිදිම, ධම්මික පෙරේරා ද සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා ධනේශ්වර නොවන මාවතක් ඊනියා අතරමැදි පන්තිවල අවශ්‍යතා හරහා ගොඩ නැඟිය හැකි යැයි විශ්වාස කරන ලදී. බණ්ඩාරනායකවාදයේ සිට ජාතික චින්තනය දක්වා වූ අඩවි පරාසයේ කතිකාවන්වල දක්නට ලැබුණේ, ලංකාවේ දේශපාලනය කුමන හෝ උරුමයක් නිසා අතරමැදි පන්ති වලට අදාළ බවයි. සරලව කිවහොත්, ලංකාව පාලනය කළ යුත්තේ සඟ, වෙද, ගුරු, කම්කරු යන අතරමැදි පාර්ශව විසින් බවයි. උදාහරණයක් ලෙස, ලංකාවේ ‘නිදහස් අධ්‍යාපනය’ පිළිබඳ කුමාර් ගුණරත්නම්ගේ ප්‍රවාදය ද නැගී එන්නේ, මේ අතරමැදි පන්ති න්‍යායෙනි. ඊට අනුව, සියලු දෙනාටම අධ්‍යාපනය නිදහස් ය. නමුත්, යථාර්ථය වන්නේ, පන්ති සමාජයක දී මැද පන්තිය පමණක් අ.පො.ස උසස් පෙළ කඩඉම් විභාගය සමත් වීමයි. එවිට, සැමට අධ්‍යාපනය යන ආකෘතික සත්‍යය [Formal Truth] පන්ති සමාජයක දී මැද පන්තියට පමණක් සීමා වෙයි. විභාගය කාටත් පොදු ය. දක්ෂතා මත විභාගයේ ලකුණු තීන්දු වෙයි. නමුත්, ඉහළ ලකුණු සඳහා වියදම් කිරීමට මුදල් ඇත්තේ මැද පන්තියට පමණි.

      ධම්මික පෙරේරා නොදැන සිටියේ, රාජ්‍යය සහ පුද්ගලික ව්‍යවසායකයා අතර වෙනසක් ඇති බවයි. මැක්ස් වෙබර්ට අනුව, යුරෝපයේ නැඟ ගෙන ආ ධනවාදය සහ පල්ලි කේන්ද්‍රීය ක්‍රිස්තියානිය අතර ද්විඝටනයක් බිහි විය. පුද්ගලයා තම ව්‍යාපාරික කටයුතුවල දී තම සුඛෝපභෝගී ජීවිතය අතහරිමින් කැපවීමක් හරහා ‘බර වැඩ’ කරන නිසා, ප්‍රාග්ධනය සමුච්චනය වෙයි. නමුත්, රාජ්‍යයේ ස්වභාවය එය නොවේ. එම නිසා, රාජ්‍යයක දේශපාලන අවශ්‍යතාවය සහ පුද්ගලයෙකුගේ ආර්ථික අවශ්‍යතාවය අතර පැහැදිලි වෙනසක් ඇත. 

       අපි දැන්, තීරණාත්මක ගැටළුවක් පිළිබඳව සලකා බලමු.

         රටේ අර්බුදයට ගොස් ඇත්තේ, රාජ්‍යය සහ සිවිල් සමාජය ද? නැත්නම්, ආර්ථිකය ද? අපට අනුව, අද තියුණු ලෙස අර්බුදයට ගොස් ඇත්තේ රාජ්‍යය සහ සිවිල් සමාජය යි.

         ප්‍රංශ විප්ලවය අරබයා මාක්ස් විසින් න්‍යායගත කරන ලද 18 වැනි බෲමරය වැනි න්‍යායික රචනයක දී ඔහු වඩා අවධාරණය කරන්නේ අතරමැදි තත්ත්වයන් හෝ දෘෂ්ටිවාදය පිළිබඳව නොව ‘රාජ්‍යය සහ සිවිල් සමාජය’ අතර තිබෙන ගතිකත්වය යි. ලංකාවේ ද ‘සමාජ ව්‍යුහය’ සකස් වී ඇත්තේ, ‘කුඩා දේපළ හිමියන්ගෙන්’ සහ ගම්බද ගොවියන්ගෙනි. මාක්ස් විසින් මෙම තත්වයට අදාළ වන දේශපාලන ක්‍රියාවලිය ගැඹුරු ආකාරයෙන් විග්‍රහ කරන අතර මතවාදයේ ස්වාධීනත්වය ආරක්ෂා කරයි. නමුත්, ඔහු ඉතාම දක්ෂ ලෙස ආර්ථික සහ දේශපාලන මට්ටම්වල පවතින ද්විඝටනය සහ අන්තර් සබඳතාවය හා, සිවිල් සමාජය (පුද්ගල අභිලාශ) සහ රාජ්‍යය අතර පවතින රැඩිකල් සම්බන්ධය ද විග්‍රහ කරන ලදී.

      ග්‍රාම්ස්චිවාදයේ ගැටලුව වන්නේ, පන්තියෙන් ස්වාධීන අදහස් පිළිබඳ ඔහුගේ සිවිල් න්‍යාය සහ රාජ්‍යයේ පන්ති ව්‍යුහය පිළිබඳ ගැටලුව අතර ඇති පසමිතුරුභාවය යි. මතවාදී ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය පිළිබඳව පමණක් අවධාරණය කිරීමෙන් රාජ්‍යය බලය වටහාගත නොහැකිය. උදාහරණයක් වශයෙන්, ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ‘ඡන්දය’ ගැන ඩලස් අලහප්පෙරුම විසින් මතු කරන බොළඳ තර්ක රාජ්‍යයට අදාළ නැත. සරලව කිවහොත්, මේ රටේ ජනාධිපති වීමට ඉෂාර නානායක්කාර මුදල් වියදම් කිරීමට ලෑස්ති වන්නේ, රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාසට පමණි. ලෙනින්ට අනුව, මෙය රාජ්‍යයේ සහ සිවිල් සමාජයේ පන්ති ව්‍යුහය යි.

         තවත් උදාහරණයක් ගතහොත්, ජී.ඇල් පීරිස්ට සහ පාක්‍යසෝති, සුමන්දිරන් වැනි අයට ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය ලැබුණු මුත් රනිල්ව පරාජය කිරීමට ඔවුන්ට නොහැකි විය. මන්දයත්, ඉහත කී අයට ඉන්දියාවේ මෝදිට හෝ ෂී ජින් පින්ට සබඳතා තිබුණේ නැති නිසා ය. ඉන් අදහස් වන්නේ, කොළඹ සිවිල් සමාජයේ පන්ති ව්‍යුහය පමණක් පසුගිය ජනාධිපති තරඟයට අදාළ නැති බවයි. එනම්, ‘පාලන තන්ත්‍රය’ සහ රාජ්‍යය අතර වෙනසක් පවතින බවයි. එපරිදිම, ‘රාජ්‍යය සහ සිවිල් සමාජය’ අතර ද වෙනසක් ඇත. එනම්, ජී. ඇල් හෝ පාක්‍යසෝතිට වඩා රනිල්ට හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වන සුරේෂ් සලේ වැදගත් බවයි. මෙතැන දී මතු කළ යුතු ගැටලුව වන්නේ, රටක් ඌණ සංවර්ධනයට ලක් වූ පමණින් එම රටේ ධනපතියන් තමන්ව පාලනය කිරීමට අතරමැදි පන්ති වලට ඉඩ දේවි ද යන්න ය.

4.

       අපි පළමුවෙන්ම ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද 10, එනම් බලය ලබා ගැනීමේ උපක්‍රම 10 මෙලෙස සටහන් කරන්නෙමු. (මෙය ලංකාවට අනුව සන්දර්භගත කොට ඇත)

1.යුද්ධය නතර කිරීම සහ සාමය තහවුරු කිරීම. (මෙය, දැන් අපට සෘජුව අදාළ නැත. නමුත්, භූ දේශපාලනික අර්ථයෙන් යුද්ධය නතර කිරීමට අදාළ ය.)

 

2. රටේ වැඩකරන ජනගහණයෙන් 20% ක ප්‍රමාණය විසින් 60% ක ප්‍රමාණයට හිමි විය යුතු ආර්ථිකය පාලනය කරයි. දේශපාලනිකව කළ යුත්තේ, මෙම ව්‍යුහය වෙනස් කර සියලු දෙනාට සරිලන ආර්ථිකයක් සකස් කිරීමයි. අරගලයේ ප්‍රථම අදියර තුළ දී සිදු වූයේ, රජයේ සේවකයන් මිලියන 1.4 ක ගේ බලය එනම්, රාජපක්ෂවාදය පලවා හැරීමයි. දෙවන පියවර සම්පූර්ණ වී නැත. ඉතාම දුෂ්කර පියවර වන්නේ, මෙම දෙවන පියවරයි.

 

3. තාවකාලික ආණ්ඩුවේ රහස් සහ දූෂණ හෙළිදරව් කළ යුතුය. එය, දත් මදිනවා වැනි පුරුද්දක් බවට පෙරළා ගත යුතු අතර ඔවුන්ව බාහිර සතුරන් ලෙස නොසැලකිය යුතුය.

 

4.මහජනයාව හැකිතාක් ‘මහජන’ අර්ථයෙන් ‘පන්තිය’ යන අර්ථය දක්වා තල්ලු කළ යුතුය. ‘මහජන සභා’ යනු, මෙම විනයගත ආකෘතීන් ය. මෙම පියවරෙන් කුටුම්භයේ ආදායම වැඩි කර වියදම අඩු කළ හැකිය.

 

5.පාර්ලිමේන්තුවෙන් පිටත බලය සංවිධානය කළ යුතුය. එය, අරාජක නොකළ යුතුය. ‘ඕනෑම කෙනෙක්’ යන්න වෙනුවට ‘දේශපාලන දැනුම’ යන්න එතැනට ආදේශ කළ යුතුය.

 

6. ගම්බද ඉඩම් විගණනය කළ යුතුය. ඒවා, ආයෝජනය සහ වගාව ලෙස දෙකොටසකට බෙදිය යුතුය. ගම්බද ජනාවාස උස් ගොඩනැගිලි වලට ගෙන ‘ඉඩම්’ ආයෝජනය සඳහා ඉතිරි කළ යුතුය. එවිට, අලුතින් කැලෑ වැවිය හැකි අතර වන ජීවීන්ගේ ගැටලුව ද විසදෙනු ඇත.

 

7. රටේ සංකෝචනය වී ඇති මූල්‍ය ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා රජයේ සහ වාණිජ බැංකු එක්සත් කළ යුතුය. එවිට, නාගරික ගොඩනැගිලි ඝනත්වය සංකෝචනය කළ හැකිය. නාගරික ඉඩම් මිල සහ නිවාස මිල මෙමගින් අඩු කළ හැකිය.

 

8. සමාජ නිෂ්පාදනය සහ බෙදා හැරීම දත්ත පද්ධතියක් බවට පත් කර එය, ප්‍රතිව්‍යුහගත කළ යුතුය. (ඛනිජ තෙල් මෙන්)

 

9. අපට සතුරු අනෙකුත් වාම සංවිධානවල ඉතා සුළු වැරැද්ද පවා විචාරය කර, අපගේ න්‍යායික ශක්තිය ප්‍රතිජීවනය කළ යුතුය.

 

10. නව ජාත්‍යන්තරය – සමාජවාදය වෙනුවට 21 වැනි සියවසේ කොමියුනිස්ට්වාදය නිර්වචනය කිරීම.[Beyond Capitalism And Socialism] සමාජයේ පොදු ප්‍රශ්න එකට එකතු කරන වේදිකාවක් ලෙස කොමියුනිස්ට්වාදය ස්ථානගත කිරීම. මෙම නූතන නිර්වචනය උදෙසා ගෝලීය බුද්ධිමතුන්ගේ හැකිතාක් පවතින ප්‍රවාද උකහා ගත යුතුය. එහි දී, ‘පැරිස් කොමියුනයේ’ සිට ‘බොල්ෂෙවික්වාදය’ දක්වා වූ ප්‍රගතිය සහ මානව සංවර්ධනය පිළිබඳ අදහස් අතහැර දැමීම. නූතන කොමියුනිස්ට්වාදය තුළ දී ‘අතිරික්ත ශ්‍රමය’ මෙන්ම ‘අතිරික්ත විනෝදය’ ද අහිමි වෙයි. එවිට, සමාජය එක තැන පල් වෙයි. එම නිසා, පරාරෝපණය කළමනාකරණය කිරීම පිළිබඳ විද්‍යාවන් දියුණු කළ යුතුය.

 

       ඉහත ප්‍රවාද 10 ශක්තිමත් කිරීමට අතුරු කතා කිහිපයක් පහත පළ වෙයි.

 

1. අපගේ ව්‍යාපාරයේ සදාචාර දර්ශනය විසින් ෆෙයර්බාක් පිළිබඳ දහ වන ප්‍රවාදය අනුගමනය කළ යුතුය.

           “ පැරණි ලෝකයේ දෘෂ්ටිය සහ දැක්ම ‘සිවිල්’ සමාජය යි. නව ලෝකයේ දෘෂ්ටිය මිනිස් සමාජය යි. නැතහොත්, සමාජීය අදහස් වැළඳගත් මිනිස් වර්ගයා යි.”

 

     අප සටන් කරන්නේ, සිවිල් පොරවල් වලට එරෙහිව ය. ඒ අයට අදහස් වලින් පහර දීමේ දී, අප අනුකම්පා විරහිත ය. අප සමඟ වැඩ කළ සමහරුන් අපව පාවා දී සිවිල් සමාජයේ පොරවල් පැත්තට මාරු වී, ‘අපි නොවේ ඔබට පහර දුන්නේ දීප්ති තමයි එය කළේ’ යැයි කියා ලිපි පවා ලියා ඇත. මෑතක දී ඒ පිළිබඳ උදාහරණය වන්නේ, ‘දර්ශනය’ පිළිබඳ සිවිල් පොරක් වීමට තටමන සමන් පුෂ්පකුමාරය. අප ඒ සියලු දෙනාට කියන්නේ, ඔබලාගේ මඟ සහ අපගේ මඟ අතර මිනිස් වෙනසක් ඇති බවයි. අපව ලැජ්ජා විරහිතව පාවා දීමට හැකි වුවත්, ඔබට අපව පරාජය කිරීමට නොහැකිය. ඔබ ගස උඩට නැග ගත් විට වලසා අපට කීවේ මෙවැන්නකි: “එකට කා බී සිටි අය ඒ ගැන වගේ වගක් නැතිව පාවා දුන්නා මම දැක්කා. ඔය වගේ නරුම මිතුරන් නැවත ඇසුරු කරන්න එපා!” ලෙනින් කීවේ, රාජ්‍ය යන්ත්‍රය පාලනය කිරීම කුස්සි අම්මා කෙනෙකුට වුවද කළ හැකි බවයි. නමුත්, රාජ්‍යය පාලනය කිරීමට විශේෂඥයන් ගැළපෙන්නේ නැති බව ද කිව යුතු ය.

 

2)  පක්ෂය එහි සාමාජික-සාමාජිකාවන්ගේ ‘මහා අනෙකා’ නොවිය යුතු ය. අනෙක් අතට, ඉතිහාසයේ යකඩ නීති වෙනුවෙන් අප පෙනී නොසිටිය යුතු ය. අපගේ ඉලක්කයන් වැරදී යා හැකි ය. ප්‍රංශ විප්ලවය බුර්ෂුවා නිෂ්ටාවකින් ඉවර විය. බොල්ෂෙවික්වාදය පිරිසිදු මිනිසෙකු (දුර්වලතා නැති) තැනීමට යාම නිසා ස්ටාලින්වාදයෙන් අවසන් විය. නිදහස් වෙළඳපොල පිළිබඳ ලිබරල්වාදය ෆැසිස්ට්වාදයෙන් සහ ජනප්‍රියවාද වලින් කෙළවර විය. එම නිසා, කොමියුනිස්ට් සිහිනයට ද පාවා දීම සහ ඊර්ෂ්‍යාව අදාළ ය. X කණ්ඩායමේ නිෂ්ටාව වූයේ, මිනිස් සමාජයකි. නමුත්, එය කෙළවර වූයේ, සියල්ල දත් මහාචාර්යවරුන්ගෙනි. ධනවාදයට වඩා නරක ජීවිතයක් සමාජවාදී රටවල දී මිනිසුන්ට හිමි වූයේ, අහම්බයකින් නොවේ. කොමියුනිස්ට් අනාගතය මේ අර්ථයෙන් ස්ථිර නැත. එය, ආපතික ය. එනම්, අවිනිශ්චිත ය. එය, දෙවියන් වෙනුවට යක්ෂයන් ද නිර්මාණය කරයි.

 

3) අපගේ සංවිධාන ඉතා කුඩා ය. අපගේ දේශපාලන සතුරන් කියනවාටත් වඩා අප කුඩා ය. එම නිසා, අපට අනෙක් දේශපාලන සංවිධාන පිළිබඳව කල්පනාකාරී ඉතා සියුම් විචාරයක් කිරීමට හැකි ය. ‘සිවිල් සමාජයෙන්’ මිනිස් සමාජයට බලය පවරා ගැනීම (ලෙනින්ගේ අර්ථයෙන්, බුර්ෂුවා ආණ්ඩුවෙන් සෝවියට් සභාවලට බලය ගැනීම) සඳහා මේ න්‍යායික හැදෑරීම කුස්සි අම්මා කෙනෙකුටත් තේරෙන ලෙස සරල කළ යුතු ය. (දැනට සිටින කුස්සි අම්මාව දැනුවත් ස්ත්‍රියක් බවට පරිවර්තනය කිරීම.)

 

4) කොමියුනිස්ට්වාදය තුළ සිදු වන ඕනෑම දෝෂයක් අපගේ බව අප පිළිගත යුතු ය. X හී ගරුත්වය සේම එහි අපර්යාය ද අප සතු ය. සරලව කිවහොත්, ඒ යක්ෂාවේශය අපගේම නිර්මාණයක් බව අප පිළිගත යුතු ය. ඉතිහාසය අපගේ පැත්තෙන් ඉවතට ගමන් කළ හැකි ය. එය, විවෘත ය. 

 

5) අපගේ න්‍යායික සොයා ගැනීමේ සුවිශේෂත්වය පිළිබඳව යමක් සටහන් කළ යුතු ය. මෙතෙක් කල් වම/දකුණ භේද නොතකා න්‍යාය යන්න යොදා ගත්තේ, වාස්තවිකව (Objectivity) ය. නැතහොත්, මිනිස් චින්තනයෙන් ස්වායත්ත යථාර්ථය වටහා ගැනීමට ය. එබැවින්, න්‍යාය වර්ධනය වූයේ වාස්තවිකත්වය ඔස්සේ ය. 

   නමුත්, ඊට පරස්පර ලෙස, අපගේ න්‍යාය භාවිතයට ගැනුණේ මිනිසාගේ චින්තනය විශ්ලේෂණය කිරීමට ය. නැතහොත්, මිනිසාගේ ආත්ම මූලිකත්වය නැතහොත් ආත්මීයත්වය (Subjectivity) විශ්ලේෂණය කිරීමට ය. ලෝක ඥාණ ශ්‍රම විභජනයට අනුව, මිනිසාගේ අවිඥාණය විශ්ලේෂණය කරන මනෝවිශ්ලේෂණය වැනි විෂයක් අයත් වන්නේ, යුරෝපයේ සිග්මන් ෆ්‍රොයිඩ්, එමෑනුවෙල් කාන්ට්, මාටින් හෛඩගර් වැනි චින්තකයන්ට ය. එවැනි න්‍යායන් දකුණු ආසියාවේ දුප්පත් රටක නිපදවීම විකාරයකි. 2005 වැනි යුගයක දී, නිර්මාල් වැනි කෙනෙක් X කණ්ඩායම තුළ ආධුනික මට්ටමින් ‘සායනය’ හඳුන්වා දීම අපහාසයට ලක් කළේ ගොඩ වෙදකමක් ලෙසින් බව මට මතක ය. ඔහුට අනුව, බටහිර සිග්මන් ෆ්‍රොයිඩ්ගේ දැනුම ලංකාවට එන විට දී යමක් හැලී යයි. එම නිසා, ලංකාවේ මනෝවිශ්ලේෂණ දැනුම සතුව යම් අඩුවක් ඇත.[Lack] එනම්, යටත් විජිත ස්වාමියාගේ දැනුම පරිවාරයට එන විට දී හීනනය වෙයි. ජිජැක්ගේ දැනුම දීප්ති කතා කරන විට දී, අඩුවක් බිහි වෙයි. Original අදහස ඇත්තේ, ජිජැක් ළඟ ය. මේ වනාහි, යටත්විජිතවාදයේ ම දිගුවකි. ජර්මානු විඥාණවාදය යනුම ‘තර්කයේ අතිරික්තය’ [Excess of Reason] පිළිබඳව හදාරන දර්ශනයකි. මෙය, ඉතාම මෑතක දී හේගල් පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ලංකාවට පැමිණි සමන් පුෂ්පකුමාර පවා මේ ගොඩ වෙදකමට තවත් අලුත් ප්‍රවාද එකතු කරන ලදී. 90 දශකයේ දී, ඩෙරීඩා, ලියෝතා, ජෙම්සන් වැනි දාර්ශනිකයන් සිංහලෙන් ඉගැන්වීම පිළිබඳව අර්ජුන පරාක්‍රම සහ උයන්ගොඩ අපහාසයෙන් කතා කරන ලදී. නමුත්, මේ වන විට දී මින්නේරියෙන් කොළඹ ආ ගැමියන් ජිජැක්ගේ පොත් පවා සිංහලට පරිවර්තනය කර ඇත. ශීෂැක් පිළිබඳව අත බලා සාස්තර කියන අය මුහුණු පොතේ ඕනෑ තරම් ඇත.

     සමාජ-ආර්ථික ගැටලු විසඳීමට වාස්තවික න්‍යායන් ඕනෑ තරම් ඇති සන්දර්භයක අප සංවිධානය ‘ආත්ම මූලිකත්වය’ පිළිබඳව විද්‍යාවක් ලංකාවේ බිහි කර ඇත. යුරෝපා-කේන්ද්‍රීයත්වයෙන් පිටත සිංහල වෙදකමට සමීප ලැකානියානු මනෝවිශ්ලේෂණයක් අප මේ රටේ නිපදවා ඇත. ලංකාවේ අත්දැකීම් සහ භාෂාව අප මේ සඳහා පාදක කොට ගෙන ඇත. එම නිසා, ‘මනෝවිශ්ලේෂණය’ යනු, ලංකාවේ මෙතෙක් ඥාණ තටාකයේ නොතිබුණු අලුත් දැනුමකි.

 

අපගේ අලුත් දැනුම පිළිබඳ නිර්වචන මෙසේ ය:

“ ලංකාවේ මෙතෙක් පැවතියේ, සාරයන් නිපදවීමට අදාළ පූර්ව අගතීන් ය. මනෝවිශ්ලේෂණය අනුදත් දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීමේ නව දැනුම මගින් ආත්මය ගන්නා තීන්දුවලට අදාළ පූර්ව අගතීන් ද විශ්ලේෂණය කළ හැකි ය. එමගින්, යථාර්ථයට හිමි පරම ඥාණය අවලෝකනය කළ හැකි ය. ”

Deepthi Kumara Gunarathne

    

ඔබේ අදහස කියන්න...