පසුගිය දිනෙක රාගම පෙරලන්ද ප්‍රදේශයේ පදිංචි සුරංගගේ පියා සහ රෝෂිණීගේ මාමණ්ඩියගේ අවමඟුල පැවති අතර ඊට සහභාගි වීම නිසා, වසර 20 කට පමණ පෙර මගේ දේශපාලන සගයෙකුව සිටි ප්‍රසාද් ෆොන්සේකා හමු විය. අප දෙදෙනා වසර 20 කින් හමු වී තිබුණේ නැත.

                   ඔහු කතාව පටන් ගත්තේ, X සංවිධානයේ මූල බීජය හට ගත් 93 වර්ෂයේ පන්තිය පිලිබඳව ය. ප්‍රසාද්ට අනුව, ඔහු X එකෙන් උගත් එකම දෙය ආදරය යි. ආදරය යනු, ස්වභාවික අවශ්‍යතාවයක් නොව මිනිසෙකු තවත් මිනිසෙකුගෙන් ඉගෙන ගන්නා අසාර්ථක සන්නිවේදන නිමේෂයකි.

                      ප්‍රසාද් අපගෙන් වෙන් වූයේ, ප්‍රේම සබඳතාවයක් හට ගත් පසු ඇති වූ විරුද්ධාභාසයක් නිසා ය. ඔහුගේ පෙම්වතිය සහ මම ඔහුට තර්ජනය කරන ලද්දේ, දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස ය. ඔහු තමන්ගේ පෙම්වතිය තෝරාගෙන සංවිධානය අතහැර දමන ලදී. අප අලුතින් හමු වූ විගස ඔහු මගෙන් ඇසුවේ, තවමත් අරක කරනවාද යන්න ය. එනම්, ආදරය මත පදනම් වූ සමාජ ව්‍යාපාරයක් විශ්වාස කරනවාද යන්න ය. ඔහුට මා පැවසුවේ, “ඒ මෝඩ වැඩය තවම කරනවා” යන්න ය. ඉන්පසු, ඔහු මෙලෙසින් පුරුදු ප්‍රශ්නයක් ඇසුවේය: ‘ඇයි එහෙම නම් එක එක්කෙනාට මඩ ගහන්නේ? ’ දේශපාලන ක්ෂේත්‍රය පුරා වසංගත රෝගයක් මෙන් නරුමවාදය පැතිර යන සමයක ඉහත ගැටලුවට පිළිතුරු දීම අභියෝගයකි.

                   ප්‍රසාද්ට අනුව, පසුගිය වසර 20 ක කාලය තුළ X එක පිළිබඳ මතකය මැකී යමින් පැවතී ඇත. ඔහු මට කීවේ, මා හමු නොවුනා නම් ඒ ගැන මතක් නොවන තරම් X මතකය අමතක වී ඇති බවයි. මා හමු වූ ගමන් ඔහුට සියලු දේ නැවත මතක් විය. තමන්ගේ දෛනික ජීවිතයේ ආතතිය සහ හතිය නිසා X පිළිබඳ මතකය වියැකී යාම ගැන ප්‍රසාද් බොහෝ දේ කියන ලදි. නමුත්, අප එකිනෙකා වසර 20 කට පසු හමු වූ වහාම ‘ආදරයේ නිමේෂය’ නැතහොත්, ‘ආදරයේ විභව ශක්තිය’ වහා උත්පාද විය.

                  අප ‘ආදරය’ යනුවෙන් හඳුන්වන්නේ, ජෝඩුවක් අතර ඇති වන ‘රොමැන්තික ආදරය’ හෝ ලිංගිකත්වය අත්හිට වූ ‘ප්ලේටෝනික ආදරය’ නොවේ. ඉතාම සරලව කිවහොත්, ස්ත්‍රියක් හෝ පිරිමියෙක් අතර ඇති වන කුටුම්භයෙන් නිෂ්ටාවට පත් වන ‘ආදරය’ සහ අප දේශපාලනිකව කතා කරන ආදරය අතර වෙනසක් ඇත.

                  එපමණක් නොව, රොහාන් පෙරේරා 85-95 යුගයේ දී සංවාද භාෂාවට ගෙන ආ ‘ආදරයේ යථාර්ථය’ සහ සංසර්ගයෙන් විනිර්මුක්ත ‘ස්ත්‍රී ආදරය’ [Anti-sex Love] සහ අප කතා කරන ‘ආදරය’ අතර ද වෙනසක් ඇත. අප කතා කරන ‘ආදරය’ ස්ත්‍රීවාදයට හෝ ලිංගික වශයෙන් සුළුතර වන විවිධ ප්‍රජාවන්ට (සමලිංගික) සම්බන්ධ දෙයක් නොවේ. අප ආදරය යැයි නිර්වචනය කරන්නේ, පසු ධනවාදී සමාජ පර්යාය නිසා හුදෙකලා වන මිනිස් වර්ගයා ‘සැක කිරීමෙන්’ නැවත ‘භක්තිය’ කරා ගමන් කරන මාවතටයි.

                  ඉහත අර්ථයට අනුව, අප ආදරය කියා කියන්නේ පරිකල්පනීය ආදරයකට (තමන්ගේ නාසිස්මයට ගැළපෙන පුද්ගලයෙකු ග්‍රහණයට ලක් කිරීම) හෝ සංකේතීය ආදරයකට (සංකේතීය හෝ සිවිල් උවමනාවකට අනුව තම උන්නතිකාමයට පුද්ගලයෙකු තෝරා ගැනීම- කරදර අඩු විවාහ ජීවිතයක් හෝ සමාජ අවධානය දිනා ගැනීමට පුද්ගලයෙකු තෝරා ගැනීම) නොවේ. අප ආදරය කියා කියන්නේ, සැබෑ ආදරයට (Real Love) යි. මෙම සැබෑ ආදරයේ දී අපට අත් වන්නේ, ප්‍රගතිය, happiness නොව විනාශය යි. එම නිසා, ‘සැබෑ ආදරය’ ඥාණය හා සම්බන්ධ ගැටලුවක් නොව පැවැත්ම හා සම්බන්ධ ගැටලුවකි. [ontology] සිතීමේ ලෝකය නිසා හට ගන්නා ගැටලුවක් ලෙස ‘ආදරය’ ගැන පරික්ෂා කිරීම ”ආදරවේදය” (Lovology – ලවෝලොජි) යි.

                  සමාජවාදය (ජවිපෙ සිට සියලු වම), ලිබරල්වාදය, ජාතිකවාදය යන මේ දේශපාලන දෘෂ්ටීන් තුනටම අදාළ ආත්ම මූලිකත්වය වන්නේ නරුමවාදය යි.[cynicism] නරුමවාදය යනු, නූතන ධනවාදී සමාජයේ පාලන දෘෂ්ටිවාදය යි. තම තමන්ගේ දෘෂ්ටිවාදය සමඟ උපයෝගීතා පරතරයක් පවත්වාගෙන යන සහ සිමියුලේක්‍රමික සමාජයක දී යුක්තිය පිළිබඳ අදහස පවා වේෂ නිරූපණ යන්ත්‍ර මගින් චලනය වන වසඟකාරී ප්‍රපංචයකි. නූතන ධනවාදය තුළ දී ඉහත දේශපාලන දෘෂ්ටිවාද තුනම සැරි සරන්නේ, සිවිල් සංවාද තලයක් තුළ පමණි.

                 ඒ අනුව, අප කතා කරන ‘ආදරය’ යන සංකල්පය බුර්ෂුවා සංකල්පයක් (බුර්ෂුවා යනුම විරුද්ධාභාසයකින් තොර සිතුවිලි යන්න ය) නොවේ. එය, පිරිමි දේශපාලනය විසින් විප්ලවවාදී ප්‍රායෝගිකත්වයෙන් අත්හිටු වන, ව්‍යතිරේකයකි. කොටින්ම, ලංකාවේ පිරිමි දේශපාලකයන් බහුතරයක් X දේශපාලනය ප්‍රායෝගික නොවන ඉතාම බොළඳ ප්‍රපංචයක් ලෙසින් ගැරහීම පුදුමයක් නොවේ. ඒ අර්ථයෙන්, යුක්තිය, සමානාත්මතාවය යනුම බුර්ෂුවා ආකල්පයන් ය. උදාහරණයක් ලෙස, ‘නිදහස් අධ්‍යාපනය’ යුක්තියක් ලෙස සලකන සිංහල වාමාංශිකයා සැමට අධ්‍යාපනය යන්න ‘ඇති-හැකි අයට’ අධ්‍යාපනය යන්නට ඌනනය කරයි. ජනතාවට යුක්තිය ඉටු කිරීම යනු ම, ජනතාව ගසා කෑමේ ප්‍රවේශය යි.

                  උදාහරණයක් ලෙස, ප්‍රසාද් සහෝදරයා X නම් කුඩා කොමියුනයේ ‘ආදරය’ ගැන කතා කිරීමේ දී ඔහු විමර්ශකය ලෙස ගන්නේ, ‘ශුද්ධ ප්‍රජාවක්’ (Holy Spirit- පුද්ගලයෙකු තම හුදෙකලාව මකා ගැනීමේ දී තම විනෝදය, වේදනාව අනෙකාට සම්බන්ධ දෙයක් බව වටහා ගන්නා මොහොතේ දී ඇති වන ප්‍රජා අදහස. මෙය, පසුව ‘සමාජය’ බවට පරිවර්තනය වෙයි) පිළිබඳ දළ අදහසකි. එනම්, ආත්මය සහ වස්තුව අතර බිහි වන සහසම්බන්ධය හට ගන්නා බාහිර ශුද්ධ යථාර්ථය මායාවක් බව වටහාගෙන එම ප්‍රපංච දෙක සංකල්පීයව මුහු වීමට ඉඩ හැරීමයි.

                  ධනවාදී නූතනත්වය නිසා හට ගන්නා හුවමාරු වටිනාකම් ලෝකය තුළ තහවුරු වන්නේ, ‘සමාජ සබඳතා’ සහ ‘ලිංගික සබඳතා’ යනුවෙන් දේවල් සැබෑවට පැවතිය නොහැකි බවයි. ඒවාට පැවතිය හැක්කේ, ෆැන්ටසි හැටියට පමණි.

                  පශ්චාත්-නූතනත්වය යනු, කුමන ආචරණයක් ද? පශ්චාත්-නූතන යුගයක දී සිදු වන්නේ, ඓතිහාසික මතකය [historical memory] මැකී යාමයි. ෆෙඩ්රික් ජෙම්සන් මෙම තත්ත්වය 90 දශකය තුළ දී මෙසේ පහදා දෙන ලදී. පශ්චාත්-නූතන යුගයේ දී කිසිදු සලකුණක් ඉතිරි නොකොට අපගේ අතීත මතකයන්, පුළුල් ලෙස මුළු මතකයම, දේශපාලන සිදුවීම්, අතීත පුද්ගල සබඳතා සහ සොඳුරු නිමේෂ යන මේ සියල්ල රැඩිකල් ලෙස අපගේ පොදු මතකයෙන් වාෂ්ප වී යයි. සළකුණක් හෝ ඉතුරු නොවන අමතක වූ දෙය අමතක වූ බවත් අමතක වෙයි. පශ්චාත්-නූතනත්වය තුළ දී අතීතය යන්න සදහටම මැකී යයි. (Post-Modernism or cultural logic of late capitalism- පිටුව- 309) මෙම ‍ප්‍රතිඵලය නිසා, අපූර්ව ආත්මයක් සමාජ සබඳතා තුළ දී පහළ වෙයි. අතීතයෙන් සදහටම ගැල වී යාම ආත්මය දකින්නේ, පරිපූර්ණ නිදහසක් ලෙසිනි. මෙවැන්නෙකුට අතීත සම්ප්‍රදායන්ගේ බරක් දැනෙන්නේ නැත. 18 වන බෲමරයේ මාක්ස් සඳහන් කළ ‘ජීවමාන මිනිසුන්ගේ මොළ තුළ මිය ගිය පරම්පරාවන්ගේ දවල් හීනවල බර තවදුරටත් අදාළ නැත’. සැබෑ පශ්චාත්-නූතන ආත්මයක් යනු, මතකය මකා දමන මැෂිමකින් තම අතීත මතකයන් මකා දමන ලද පුද්ගලයෙකි.[Zombie Games on Facebook] නමුත්, එවැන්නෙකු මුහුණ දෙන භයානක සංසිද්ධිය වන්නේ මිනිස් ආශාව -desire- අතීතයෙන් ගැල වූ විට හමු වන වංකගිරිය යි. එවන් ආත්මයකට වගකීම පිළිබඳ මානයක් නැත.

                X කණ්ඩායමේ අතීතයේ සිටි පුද්ගලයන් තමන් සතු පුද්ගලික ඡායාරූප, මතකයන්, ගැටුම්,  පසමිතුරුභාවයන් පොදු අවකාශවල ලියන විට දී ඉහත වංකගිරියට ඇතුළු වීමට සිදු වෙයි. X කණ්ඩායමේ නොසිටි පුද්ගලයන් පවා එහි සාමාජිකයන් බවට පත් වෙයි. X හී සිටි අය එහි නොසිටි පුද්ගලයන් වෙයි. මුල් පිටපත සහ අනු පිටපත වෙන් කරගත නොහැකි වසඟකාරී සමාජයක අප ජීවත් වන නිසා, වේශ නිරූපණ ප්‍රයෝග හැර සත්‍යය සොයා ගත නො හැකිය.

                    නමුත්, මෙතැන දී අපූර්ව දෙයක් සිදු වෙයි. සාමාන්‍යයෙන්, ජේවීපීකාරයන් තමන්ගේ පක්ෂ මතකය ආත්මමූලික දෘෂ්ටිකෝණයකින් ලියන්නේ නැත. මන්ද, ජවිපෙ හෝ වෙනත් පක්ෂවල එවැන්නක් ඉතුරු නොවන නිසා ය. විමල් වීරවංශ විසින් ටිල්වින් සිල්වාගේ පෙම්වතිය පිළිබඳව කිසිවක් නො ලියන්නේ එම නිසා ය. ‘දයා පතිරණ’ පිළිබඳ වාර්ෂික මතක වස්ත්‍ර පුෂ්පෝහාර වල දී, කිසිවෙකු ඔහුගේ ලිංගික ජීවිතය – යටිබඩ – ගැන කතා කරන්නේ නැත. ඇත්තටම, එහෙම ඒවා පිරිමි දේශපාලනය තුළ නැත. ලියන්නේ, ඇත්ත බලයට සම්බන්ධ කාරණා පමණි.[power relations] සරලව කිවහොත්, වාස්තවික ලෝකය හැර ලංකාවේ මහා සම්මත දේශපාලනය තුළ වෙන යමක් නැත.

                  නමුත්, X ට පැමිණි ජේවීපීකාරයන් ඉන් ඉවත් වූවාට පසුව ආදර කතා ලියන්නේ මන්ද? තමන් ගැන ‘කතා’ තමන් විසින්ම ගොතන්නේ මන්ද?[ Storytelling – Storytelling is the social and cultural activity of sharing stories, sometimes with improvisation, theatrics or embellishment.]

                    අප කලින් කතා කළ ප්‍රසාද් ෆොන්සේකා සහෝදරයාට වසර 20 කට පසුව එකවරම X හී ආදරය මතක් වූයේ මන්ද? ඒ වන විට, ඔහු වසර 20 ක විවාහ ජීවිතයක් ගත කළ අතර වෙනත් රැකියාවක් කළ අයෙකි. ඒ කාලය පුරාම ඔහු X අමතක කර ඇත. අප හමු වූ වහාම X තැනින් ඔහු කතාව පටන් ගත්තේ මන්ද?

                      ප්‍රසාද්ට අනුව, X යනු, සිවිල් නොවූ කුඩා මිනිස් ප්‍රජාවකි. ඒ තුළ අප එකට නිදා ගත් අතර, එකට උයාගෙන කෑ බීවේය. සමහරු සාලයේ අඳුර කපාගෙන රමණයේ යෙදුනහ. පින්ක් ෆ්ලොයිඩ් සිට රැප් සංගීතය දක්වා සින්දු ඇසුවෝය. කිසලොව්ස්කිගේ සිට තාකෝව්ස්කි දක්වා සිනමාකරුවන්ගේ කෘති නරඹා ඒවා පිළිබඳව සංවාද කළෝ ය. මේ කිසිවක් සඳහා අනාගත ඉලක්ක නොපැවතියේ ය. නමුත්, ප්‍රසාද් මතු කළ ගැටලුව වූයේ, ඒ සා සමීපව සිටි ප්‍රජාවක් එකිනෙකාට මඩ ගසා ගෙන සමාජ පිළිගැනීම උදෙසා සියල්ල පාවා දුන්නේ මන්ද? යන්න යි.

                    අපගේ අර්ථයෙන්, ‘ආදරය’ කරන මිනිසුන් පොදු වැඩ පාවා දෙන්නේ නැත. එසේ කරන්නේ, ආදරය වෙනුවට ‘සමාජ බලය’ ඉදිරියට දමා ගත් පුද්ගලයන් ය. නූතන ධනවාදී ලෝකය තුළ මිනිසුන් මිල මුදල්, පහසුව, කීර්තිය, උපයෝගීතාවය වෙනුවෙන් විවාහ වන අතර ආදරය ද කරයි. අපේ මාතෘකාව එය නොවේ. 

Eternal Sunshine of the Spotless Mind shows us that memories aren’t files to be deleted. They are more than simple thoughts stored in the mind, as they shape the core of the self. People need both the good and the bad to learn and grow.

                    අපි දැන්, මයිකල් ගොන්ඩ්‍රි අධ්‍යක්ෂණය කළ ‘Eternal Sunshine’ (2004) චිත්‍රපටයේ ආඛ්‍යානයට යොමු වෙමු. හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට රොමෑන්තික ආලයක පැටලෙන ජෝඩුවක් අපට පෙන්වන්නේ, එක්තරා දෘෂ්ටිවාදයක් – ideology-පදනම් කරගෙන ය. සමාජයේ පවතින ස්ත්‍රී-පුරුෂ වෙනස අප සෑම දෙනාටම පසමිතුරුභාවයකි. එය, හුදු ප්‍රතිවිරෝධයක් පමණක් නොවේ. බොහෝ හොලිවුඩ් ප්‍රේම කතන්දරවල දී සිදු වන්නේ, ජෝඩුව අතර පවතින පසමිතුරුභාවය නැතහොත්, සමනය කළ නොහැකි ගැටුම පෙන්වා ඉන්පසුව චිත්‍රපටය අවසානයේ සතුටින් එකතු වනවා පෙන්වීමයි. හොලිවුඩ් සහ බොලිවුඩ් ආඛ්‍යාන අවසන් වන්නේ, ජෝඩුවක් නිෂ්පාදනය වීමෙන් යන ප්‍රවාදය ඒ අනුව අහම්බයක් නොවේ. රොමෑන්තික ඒකාබද්ධතාවයක් නිපදවීම හරහා චිත්‍රපට ආඛ්‍යානය අපට සහතික කරන පූර්වාදර්ශයක් ඇත. එනම්, පසමිතුරුභාවය අනුභූතික තලයක පවතින්නක් මිස එය මිනිස් ආත්මයේ පැවැත්මට අදාළ කොටසක් නොවන බවයි. එම නිසාම, ජෝඩුවක් අතර පවතින පසමිතුරුභාවය අපට ජය ගත හැකිය යන මුලාව හොලිවුඩ් සිනමාව අපට යෝජනා කරයි. නමුත්, ‘Eternal Sunshine’ චිත්‍රපටයේ කතා නායක ජෝඩුව වන ජොඑල් සහ ක්ලෙමන්ටීන් අතර සම්බන්ධය ලෙස අප මුලින්ම දකින්නේ, ඔවුන්ගේ වෙන් වීමයි. වෙනත් ආදර කතාවල අපට පෙන්වන්නේ, එකිනෙකා අතර පරස්පරයන් ජය ගන්නා ආකාරය යි. නමුත්, මේ චිත්‍රපටයේ අප දකින්නේ, පරස්පරයන් කිසිදා සමනය කළ නොහැකි තත්ත්වයක් බවයි. ජොඑල් සහ ක්ලෙමන්ටීන් අතර එකඟතාවය වන්නේ, නොඑකඟතාවය යි. ඔවුන්ට කිසිදා එක්විය හැකි කොන්දේසියක් ඔවුන් අතර නැත. එම නිසාම, ඔවුන්ගේ ප්‍රේම කතාව සතුව ඇත්තේ අතීත ස්මරණ වදයකි. දෙදෙනා විසින්ම ඒවා මකා දැමීම සිදු කරයි. මේ නිසා, එක් නිමේෂයකට පසුව ඔවුන් දෙදෙනා ඔවුන්ව හඳුනන්නේ නැත. ඒ අර්ථයෙන්, අතීතය මැකීම නිදහසට අදාළ කාරණයකි.

                  යම්කිසි මිනිසෙකුගේ අතීතයට සම්බන්ධ කාරණා මඟින් විද්‍යාමාන වන්නේ, නො නිදහසයි. මන්ද, අතීතය පිළිබඳ පාලනයක් අපට නැති නිසා ය. එම නිසාම, කෙනෙකුගේ අතීතය සහ එය අනෙක් මිනිසුන් දකින ආකාරය මගින් ඒ කෙනාගේ වර්තමානය ව්‍යුහගත වෙයි. ගමෙන් නගරයට එන මිනිසුන් තම අතීතය මකා දමන්නේ, විවෘත අනාගතයක් උදෙසා ය. එම නිසා, කෙනෙකු තම අතීතය සාර්ථකව මකා දැමුවහොත්, ඒ කෙනා තම වර්තමානය සහ අනාගතය තම අනිවාර්යය අතීත සාරයෙන් නිදහස් කර ගනියි. ‘කාලය’ සතු දෘෂ්ටිවාදී මානය අපට දැන් හෙළිදරව් වෙයි. කාලය අපට උගන්වන්නේ, අතීතයට සහ වර්තමානයට වඩා අනාගතය ප්‍රගතිය කරා යනු ඇති බවයි. නමුත්, ‘අතීතය’ මැකූ වහාම අපගේ වර්තමානය සහ අනාගතය නිදහස් අඩවියකි. විමුක්තිය යනු, අතීතයේ බරින් හිස නිදහස් කර ගැනීමයි. එය, අකාලික විමුක්තියකි.

                  ආදරයට අකාලික මානයක් සවි කළ විට දී, අපට ප්‍රගතියක් සහ සතුටක් නැති විඳවීමක් පමණක් ඇති ආදරයක් හමු වෙයි. ජොඑල් සහ ක්ලෙමන්ටයින්ගේ ආදරයට කාල මානයක් නැත. මේ අකාලිකත්වය ඔවුන්ට සම්මුඛ වන්නේ, ඔවුන් අතර පවතින ‘නො පෑහීම’ ඔවුන් පිළිගන්නා නිසා ය. ඔවුන්ට තමන්ගේ මතකය මැකිය හැකි වුවත්, ඔවුන්ට මැකිය නො හැකි දෙයක් ඉතුරු වෙයි. ඒ, ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හමුව නිසා හටගත් අවිඥාණය යි. සවිඥාණක තලයේ දී ඔවුන් දෙදෙනාට ඔවුන්ව අමතක කළ හැකි මුත්, අවිඥාණක තලය විසින් ඔවුන්ට ඔවුන් දෙදෙනාවම මතක් කරවයි. ඒ අනුව, මතකය මැකීම අවරෝධනයට [repression] සම්බන්ධ ය. මෙම අවරෝධනය සවිඥාණය සුද්ද කරන මුත්, අපගේ ක්‍රියාවන්වල දී එම අදහස්වල බලය සුනුවිසුණු කිරීමට අවරෝධනය නැතහොත්, මර්දනයට කළ නොහැකි රාජකාරියකි. මානසික අවරෝධනය සහ සමාජීය මර්දනය සම්පාත වන්නේ, මෙතැනදී ය. කෙනෙකුගේ අදහස්වල බලපෑම තම ක්‍රියාවලට සම්බන්ධ බව දැනගත් වහාම ඒ තැනැත්තා මනෝවිශ්ලේෂණය වෙතට එන බව ෆ්‍රොයිඩ් කියන්නේ මේ නිසා ය. එම නිසා, අදහස් අවිඥාණයට බද්ධ වූ විට දී ඒවා අපේ සැබෑ ක්‍රියාවන් බවට පරිවර්තනය වෙයි. එම ක්‍රියා පුනරාවර්තනය වන්නේ ද එම නිසා ය. මතකය මකා ඇති නිසා ජොඑල් සහ ක්ලෙමන්ටයින්ට ඔවුන්ගේ සමීප බැඳියාව ගැන කිසිවක් මතක නැත. නමුත්, පුනරාවර්තනය නම් ක්‍රියාව හරහා ඔවුන් තම සබඳතාවය තහවුරු කරයි. අතීතයේ බරෙන් නිදහස් වී එනමුත් අවිඥාණකව ‘අතීතය’ පුනරාවර්තනය කිරීම අතීත වේදනාවක් නොව අතීතාස්වාදයකි. මෙම අතීතාස්වාදය බුර්ෂුවා කුටුම්භය තුළ පවතින සහයෝගීතාවය හෝ එකිනෙකා සැක කර ගැනීම නොවේ. අනාගතයක් නැති, අතීතයෙන් නිදහස් වන ආදරයක් යොමු වන්නේ, කොමියුනිස්ට් උපන්‍යාසයක් වෙතට ය.

                   දැන් අපට, ප්‍රසාද්ගේ උත්කර්ෂවත් මොහොතට ප්‍රවේශ විය හැකි ය. මීට වසර 25 කට පමණ පෙර මා හමු වීම නිසා ඔහුට අවිඥාණයක් හමු වී ඇත. එපමණක් නොව, එය ආදරය බව ද ඔහු හඳුනාගෙන ඇත. නමුත්, ඔහු ස්ත්‍රී-පුරුෂ ආදරය නම් පුද්ගලික ආලයක (දෘෂ්ටිවාදයක) පැටලුණු නිසා X ආදරය ගැන මෙසේ සමපේක්ෂණය කර ඇත. ‘X ආදරය මට ක්ෂතියක්. ඒ නයින් අවිඥාණයක් බිහි කරපු බව ඇත්ත. නමුත්, මට ඊට වඩා වටින පෙම්වතියක් හමු වුණා. ඒ නිසා, මම X ආදරයෙන් සමු ගන්නවා.’ 

                 කෙනෙකුගේ පුද්ගලික ආදරයෙන් ප්‍රජාව වෙතට යොමු වන ජාතිකවාදී නොවන ආදරය වෙතට යොමු වීම යනු, ආදරය ‘ආශාවෙන්’ හඹා යාම -drive- වෙතට දිශානත වීමයි. සරලව කිවහොත්, ‘X ආදරය’ යනු, අනෙකාගේ විනෝදය වෙනුවට තමාගේ විනෝදය අතහැර දැමීමයි. මෙවැනි තත්ත්වයක් මනෝවිශ්ලේෂණයේ සායනික අවස්ථාවේ අවසානය මගින් සලකුණු වෙයි.

                    විශ්ලේෂණයේ අවසාන අවස්ථාවට ළඟා වනවා යන්නෙන් අදහස් වන්නේ, විශ්ලේෂණ ක්‍රියාවලිය තුළ දී විශ්ලේෂිතයා එතෙක් තමාගේ ආශාවේ ප්‍රහේලිකාව යොමු කළ දිශාව වෙනස් කිරීමයි. එනම්, විශ්ලේෂිතයා අවසන් මොහොත වනතුරුත් තමන්ගේ විඳවීමේ හේතුව විශ්ලේෂකයා දන්නවා ඇති යනුවෙන් සිතයි. නමුත්, තමන්ගේ විඳවීමේ හේතුව විශ්ලේෂකයා නොදන්නවා යන මොහොතට පසුව තමන් සිතන ආකාරයේ අනෙකෙකු බාහිරින් නොපවතින බව අවබෝධ වෙයි. නැතහොත්, කලින් තිබූ අවබෝධයක වැරැද්ද අවබෝධ වීමයි. තමන්ට බාහිරින් සිටින අනෙකා ද තමන් මෙන්ම ප්‍රහේලිකාවක් බව විශ්ලේෂිතයාට අවබෝධ වෙයි. විශ්ලේෂිතයා මේ මොහොතට පසුව තමන්ගේ ආශාවට බාහිර පදනමක් (යථාර්ථය) නැති බව දැන ගනියි. ඒ අනුව, තමන්ගේ ආශාවට අදාළ පදනම තිබෙන්නේ, තමන් තුළම මිස බාහිර උපස්තරයක නොවේ යනුවෙන් විශ්ලේෂිතයාට වැටහෙයි. මනෝවිශ්ලේෂණය තුළ දී මෙයට කියන්නේ, කෙනෙකුගේ අවිඥාණක නීතිය කියා ය. පොදු අදහසක් ලෙස සාරාංශගත කළහොත්, අපගේ ආශාවේ නීතිය ගිලී තිබෙන්නේ අප තුළම මිස බාහිර අනෙකෙකු තුළ නොවේ. මින් අදහස් වන්නේ, සායනික ක්‍රියාවේ අවසානය සනිටුහන් වන්නේ, අප ආශාවෙන් ඉවත් වී ඒ වෙනුවට පුනරාවර්තනයට, එකම දේ යළි යළිත් සිදු වීමට ඉඩ හැරීමෙනි. විශ්ලේෂිතයා අවසන් මොහොතේ දී වටහා ගන්නා සත්‍යය කුමක්ද? තමන්ගේ ආශාවේ ප්‍රහේලිකාව නොහොත් තමන්ගේ කුණු ගොඩ තමන්ට සවන් දුන් අනෙකා දිගටම දරා සිටින්නේ, අනෙකා නැති බව ඔප්පු කිරීමට බවයි. මෙම සවන් දීම සඳහා මිලක් නියම කරන්නේ, මෙම ක්‍රියාව හරහා විශ්ලේෂිතයාගේ ප්‍රහේලිකාවට ඇතුල් වීම වැළැක්වීමට ය.[ terminating libidinal bond]

                විශ්ලේෂණ ක්‍රියාවේ දී සිදුවන දේ ඉතා සරලව අපි දැන් වටහා ගනිමු. කෙනෙක් තමන්ට අතීතයේ සිදු වූ සිදුවීමක් වර්තමානයේ එය අසා සිටින කෙනෙකුට යොමු කරනවා. මෙහි දී, තම අතීත සිදුවීම කතාවක් මෙන් කියන්නා විශ්ලේෂිතයා ය. එයට බාධා නොකර අසා සිටින්නා විශ්ලේෂකයා ය. X දේශපාලනය නිවැරදිව කරනවා යනු, සංවිධානයට අලුතින් එකතු වන්නා තමන්ගේ කතාව සංවිධානයේ පැරණි සාමාජිකයෙකුට පැවසීමයි. එම කතාව බාධා නො කර පැරණි සාමාජිකයා අසා සිටිය යුතු ය. මේ කියන කතා අසා සිටින්නා යථාර්ථයේ සැබැවින් වූ සිදුවීම් සමග පටලා නොගත යුතු ය. මේවා, බොහෝවිට ප්‍රබන්ධ ය.

                 අපි වෙනත් සංවිධානවල දී සිදුවන දේ සමඟ ඉහත තත්ත්වය තුලනය කරමු. ජවිපෙ සිට UNP දක්වා විශාල පරාසයක දේශපාලන පක්ෂ වල දී අසා සිටින්නට කෙනෙක් නැත. ඒ නිසාම ඒවා විමුක්ති දේශපාලනයට සම්බන්ධ නැත. බොහෝ විට, මෙම පක්ෂවල නායක මට්ටමේ අය තම සාමාජිකයන්ව සැක කරයි. එම නිසා සිදු වන්නේ, අදාළ ‘වැඩය’ කරවා ගැනීමකි. ඒ වෙනුවට, පෙරළා යම්කිසි ප්‍රතිලාභයක් ලබා දෙයි. මේ පක්ෂ වල දී සිදු වන්නේ, එක්කෝ දරිද්‍රතාවෙන් අත් මිදීමට හොරකමට පුරුදු වීමයි නැතහොත්, තමන්ට කරන්නට බාර දෙන වැඩයට ඇබ්බැහි වීමයි. මෙම පක්ෂ වල දී ‘ආදරය’ සහ ‘වැඩය’ අතර වෙනස සලකුණු කර ඇත. බොහෝ විට, නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් තමන්ගේ විපරිත ආශාවන් ඉෂ්ට කර ගැනීමට තම පක්ෂ සාමාජිකයා පොළඹවා ගැනීමට එහා දේශපාලනයක් මෙරට නැත.

                   ‘ආදරය’ දෙසට යොමු වන කොමියුනයක් පිළිබඳ සංකල්පයක් ගොඩ නගන්නේ කෙසේද? උදාහරණයක් ලෙස, අපි දැන් ඓතිහාසික සිදුවීමක් විශ්ලේෂණය කරමු.

                   ජේසුතුමා යනු, සාමාන්‍ය මිනිසෙකි. එතුමා, එක් මොහොතකට පසුව දෙවියෙක් බවට සංක්‍රමණය විය. සාමාන්‍ය මිනිසෙකු දෙවියකු වූයේ කෙසේද? ජේසුතුමා තමන් දෙවියන්ගේ නියෝජිතයා යැයි හැඟෙන ලෙස ධර්මය දේශනා කරන ලදී. පාලන තන්ත්‍රය විසින් එතුමාව කුරුසියේ තබා ඇණ ගසන ලදී. එතුමාත්, එතුමාගේ ශ්‍රාවකයනුත් එකම ප්‍රශ්නය තම තමන්ගෙන් අසා ගන්නා ලදී. ‘දෙවියනි ඔබ කොහිද?’ ක්‍රිස්තියානි ධර්මය, දැනුමේ පදනමින් භක්තිය නම් හේතුවේ අතිරික්තයට මාරු වූයේ මේ මොහොතට පසුව ය. දෙවියන් සිටින බව ප්‍රකාශ කළ සාමාන්‍ය මිනිසා මිය ගොස් දෙවියන් නැති බව ශ්‍රාවකයාට ඔප්පු කර ලදී. එවිට, ශ්‍රාවකයා කළේ කුමක්ද? ජේසුතුමාව දෙවියන් ලෙස භක්තිමත්ව ඇදහීමයි. ක්‍රිස්තියානි ආගම අදහන්නන්ගේ ප්‍රජාවක් වූයේ එවිට ය.

                   ‘ආදරයට’ දේශපාලන මානයක් එන්නත් වූයේ, එතැනිනි. මිථ්‍යාදෘෂ්ටියෙන් සම්‍යක්දෘෂ්ටියට ගමන් කළ පථය නිර්මාණය වූයේ, එම නිමේෂයට පසුව ය. නියට්ෂේ දෙවියන් මරා දැමීමට පෙර අදහන්නන්ගේ සමාජය එම ක්‍රියාව ඉටු කොට තිබුණි. ආදරය යනු, තව කෙනෙකුගෙන් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් කරන ක්‍රීඩාවක් නොවේ. එය කළ යුත්තේ, අනෙකා තමා වෙනුවෙන් නො පවතී යන විශ්වාසයේ එල්බ ගෙන ය. ධනවාදය අපට උගන්වන්නේ, මිනිසෙකු රවටා වැඩ ගෙන තමන්ගේ අභිමානය රැක ගැනීමට ය. අද ලංකාවේ වාම පක්ෂවල නායකයන් කරන්නේ, මෙම ආත්ම වංචනික ක්‍රීඩාවයි.

                 ප්‍රසාද් X කණ්ඩායමට බැඳෙන නිමේෂයේ ඔහු දුටු ගිනි දැල්ල නිසා ඔහුට අවිඥාණයක් බිහි විය. මා ඔහුව දේශපාලනය මගේ අර්ථයකින් කිරීමට රැවටුවේ නැත. මම මගේ වැඩක් කර ගැනීමට මාක්ස් හෝ ලෙනින් හෝ තව කවුරුන් හෝ උදාර මිනිසෙකු ගණිකා වෘත්තීයේ යෙදවූයේ නැත. ‘හයායෝ මියසාකි’ නම් සිනමාකරුවා ආදරය පිළිබඳව ගොඩනඟන න්‍යාය අපූරුය. අප අනෙකාට ආදරය කළ යුත්තේ, ඔහු/ ඇය අප නොවන නිසා ය. අප අනෙකුව රැඩිකල් ලෙස විනිවිදන විට අනෙකා ලෙස අපට පෙනෙන්නේ, අපගේ සාරයන්ට සහ විශ්වාසයන්ට වෙනස් ධර්මයක් තිබෙන පුද්ගලයෙක් ලෙසිනි. අපට වඩා වෙනස් අගතීන් හී පැටලී දගලන මෙම අනේකත්ව ජීවියා අපට වඩා සාරාත්මකව සහමුලින්ම වෙනස් බව අත්විඳින විටදීත්, අපට ඒ අනෙකා පිළිබඳව සුගන්ධයක් ඇත්නම් ඒ ආදරය යි. එය, දර කෝටුවක් දැල් වූ පසු ඉන් පිට පනින ගිනි පුළිඟුවක් සේ මොහොතක් පෙනී සිට මොහොතකින් මැකී යයි. එය කිසිදු ආකාරයකින් රොමෑන්තික ද්විපුද්ගල නාසිස්මික ආදරයක් නොවේ. වසර 25 ක් තිස්සේ දිගින් දිගටම මාව පාවා දෙන අනෙකා තුළ ඒ අයව නොව මා දකින්නේ, අර කී අහසට යොමු වී පොළොවට ඇද වැටෙන ආදරය යි. එය, ආදරය නිසා සිදුවන ඇද වැටීමක් නොවේ. ඇද වැටීම පවා ලංකාවේ දී පාවා දී ඇත. මට ආදරය නොකරන කෙනෙකුට මම ආදරය කරනවා යැයි සිතීම ම සමාජයට දිශාණත වන අක්ෂයකි. එය, ඇද වැටීමක් නොව අතීතයෙන් මිදෙන අනාගත ප්‍රාර්ථනාවකි. කොමියුනිස්ට් දැල්ල යනු, එක පහනක ගින්න තව පහනක තිරයට යා කිරීමයි.

                විවාදයකින් තොරව ලංකාවේ ඕනෑම පිරිමි දේශපාලනයක නිරත චණ්ඩියෙක් ඉදිරිපිට මා පරාද ය. යම් දවසක අතීතයේ බර සැහැල්ලු වූ යුගයක මිනිසුන් ප්‍රජාවක් ලෙස ධනවාදය සමතික්‍රමණය කරනු ඇත. එය, වාස්තවික ලොවක සිදු වන විප්ලවයක් නොව ආත්මය තුළ දී සිදු වන බුද්ධිමය විප්ලවයකි. [self- revolution] මා මෙන්ම මගේ සමීපතම අරගලකරුවා කොමියුනිස්ට්වාදියෙකු යැයි මා පළ කළ උදාන වාක්‍යයන් වරක් දෙවරක් නොව දහස් වරක් වැරදී ඇත. නමුත්, යම් දිනෙක ආදරය මිස වෙනත් කිසිදු කුසලතාවයකින් තොර මිනිසෙකු නිසා ලෝකයක් වෙනස් වනු ඇතැයි යනුවෙන් බොළඳ ප්‍රාර්ථනාවක් මට ඇත. 

Deepthi Kumara Gunarathne

Zizekian Gaze.

පසු සටහන – 

ආදරය දේශපාලනීකරණය කිරීමේ ඉහත දැක් වූ ව්‍යාපෘතිය ගැන විවේචනයක් ආ හැකි දිශාණතියක් පිළිබඳව සටහනක් තැබිය යුතු ය.

ඉහත දී සිදුවීමට යන්නේ, දේශපාලනය ක්‍රිස්තියානිකරණය කිරීම යැයි විචාරකයෙකුට ප්‍රකාශ කළ හැකි ය. බටහිර ශිෂ්ටාචාරයේ උන්මුල පාරභෞතික ගැටලුව වන්නේ, පාරභෞතික සමතික්‍රමණය කිරීමයි. මේ සඳහා, බටහිර දී යෝජනා වී ඇති විකල්පය දේව ධර්මය (Theology) යි. දේව ධර්මය යනු, භක්තිය පිළිබඳ ගැටලුවට නැතහොත් බටහිර පාරභෞතික සඳහා උත්තරය යි. නමුත්, හේගල්ගේ දර්ශනය හරහා ‘දේවධර්මය’ තර්ක බුද්ධියට යටත් කර ඇත. එය, ආගමික බුද්ධිය තර්කකරණය කිරීම නොහොත්, මූලධර්මය නොවේ. දෙවියන් සතු අඩුව පෙන්වීමෙන් හේගල් දෙවියන් සහ මිනිසා අතර ආදරයේ පාලම තනා ඇත. අනෙක් අතට, ලංකාව බටහිර යටත් විජිතයක්ව පැවැති රටකි. එම නිසා, ලංකාවේ සංකේතනය යනු, බටහිර ප්‍රබන්ධයකි. මේ ප්‍රබන්ධය මත ‘හිලක්’, පැල්මක් නිර්මාණය කළ හැක්කේ ‘ආදරය’ හරහා පමණි යන්න අපගේ නිගමනය යි. පශ්චාත්-යටත් විජිත රැඩිකල් දර්ශනයක් (නලින් ද සිල්වා සමතික්‍රමණය කළ) නිර්මාණය කිරීම යනු, බටහිරයන් ලංකාවට පැමිණීමට පෙර ‘සිංහල සාරය’ සෙවීම නොවේ. එය, සිවිල් චින්තනයක් සහ බටහිර පසු ආවර්තනයේම ෆැන්ටසි යථාර්ථයකි. ‘බටහිර සාරය’ හරහා ගොඩනඟන යථාර්ථයේ [substance] ආත්මය [subject] වන්නේ, X ආදරය යි’ .

PPPPPPPPPP[[[[[[[]]]]]]]]]]]]]]]]]

What is Metaphysics?

What is worse, the central concept of ontology, existence or being, continues to be o en used without being well defined or characterized at all. In particular, the central conceptual relationship between the all-encompassing domain—“the world,” or “reality”—and existence is most o en overlooked, although the tradition, in particular Kant, has offered significant contributions towards a clarification of the relation between “existence” and “the world.” Many authors confuse metaphysics and ontology and seem to believe that ontology should always be practiced in light of the aim “to uncover the ultimate structure of reality.”

I distinguish ontology from metaphysics. In my view, metaphysics is the attempt to determine what the world is, where “the world” refers to the all-encompassing domain. This domain has been described with many different words both throughout the history of philosophy and in contemporary natural languages, ranging from “being,” “totality,” “the One,” “the absolute,” “reality,” or “the universe,” to“nature” or “cosmos.” In the following, when I use the expression, “the world,” I always intend to refer to the all-encompassing domain independently of how one might want to fill in the formal concept of the all-encompassing domain. “The world” is a formal concept in the sense that one can defend the necessity of this concept for our understanding of specific objects or events without thereby specifying a material concept of the world, for instance, a concept of the world as nature or as the totality of facts.

Markus Gabriel.

දේශපාලනයේ නිෂ්ටාව ආදරය කියා සිතීම අනතුරුදායක වේ!

අප සිතනා ආකාරයට මෙය 90 දශකයේ රොහානියානු සහ X දේශපාලන කතිකාවේ හානිකර උරුමයකි. ‘ආදරය’ මිනිසාගේ පැවැත්ම සම්බන්ධයෙන් අතිශයින් කේන්ද්‍රීය ප්‍රපංචයක් කියා පිළිගැනීමේ කිසිදු අපහසුවක් නොමැති වුවත් එය දේශපාලනය සම්බන්ධයෙන් අදාළ වන ප්‍රවර්ගයක් නොවේ. එහිදී, සැකයකින් තොරවම, කේන්ද්‍රීය වන්නේ ‘යුක්තිය’ යන ප්‍රවර්ගයයි.

අපට අවශ්‍ය වන්නේ හැමෝටම ආදරය කරන ලෝකයක් නොවේ. සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ සෑම කෙනෙකුටම ආදරය කරනවා යනු විකාර සහගත අදහසකි. අප අසල සිටිනා මුස්ලිම් මිනිසාට අප ‘ආදරය’ කළ යුතු නැත. අවශ්‍ය වන්නේ ඔහුට ‘තම්බියා’, ‘මරක්කලයා’ කියා අපහාස නොකරමින්, ඔහුට සමානයෙක් සේ ජීවත් විය හැකි අවකාශයක් නිර්මාණය කිරීමයි. ඔහු සමග ගෞරවනීය දුරස්ථ බවක් තබා ගත හැකි අවකාශයක් නිර්මාණය කිරීමයි.

සත්‍ය වශයෙන්ම දේශපාලනයට ආදරය බාධාවක් ද විය හැක. මිනිසුන් ආදරය නිසා රටවල්, විප්ලව, දේශපාලන සංවිධාන පාවා දිය හැක. ආදරය පිළිබඳව රෝහානියානු-X කතිකාව පසුකාලීනව කරගසාගෙන ගිය චින්තන ධර්මදාස වැනි අයගේ දේශපාලන දැක්ම දැන් හොඳින් හෙළිදරව් වී තිබෙනා නිසා මෙය දැන් අනුභූතිකව ද පරාජය වී ඇති සටන් පාඨයකි. රනිල් වික්‍රමසිංහ වැනි රාජ්‍ය යන්ත්‍රණයේ දිග පළල ගැන මනා අවබෝධයක් ඇති ප්‍රතිවාදියෙක් සමග සටන් කරන විට මේ දේශපාලන ලොලිපොප් කාරයන් දේශපාලනය දන්නවා කියා විශ්වාස කිරීම අතිශය භයානක විය හැකිය.

Bava web

 
 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.