මේ අරගලය කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින් දෙයක්. ඒකෙ ප්‍රතිවිරුද්ධ අන්තයේ රැදීම තමයි වැඩියෙන්ම වටින්නෙ. බහුතරයක් පෙනී ඉන්න අරගලයක ඒ සමූහය විසින් රංචුව විසින් අර තනි තනි පුද්ගලයන් මෙතෙක් දරා සිටි වටිනාකම් මොහොතින් අහෝසි කරනවා. මෙච්චර කාලයක් යුධ විරෝදී පෙරමුනුවල හිටපු අය එකපාරට ගෙවල් ගිනිතැබීම් සාධාරනීකරණය කරනවා. පහරදීම්වලට හුරේ දානවා.

අරගලයෙන් සිද්ද වෙන ආන්ඩු මාරුවලට වඩා මට වැදගත් වෙන්නෙ මං අරගලය ඇතුලෙ යාලුවන්ගෙ දැකපු මූනු මාරුවීම්. මං කිසි දවසක විශ්වාස නොකරපු තරමෙ භයානක මිනිස්සු මෙතෙක් කල් ප්‍රගතිශීලී සංස්කෘතික කතිකාවල ඉදිරියෙන් වැජඹුනු උන්ම වග දැක්කා.[?]

මේ අරගලය ඇතුලෙ මතුවෙන සමහර කාරණා සාකච්ඡාවට ගැනීම වටිනවා. රනිල්ගෙ ගේ ගිනිගත්තම ගොඩක් මොළයක් ඇතැයි කියල හිතන අය පවා, ඇයි අර පාර‍ෙ මැරෙන මිනිස්සු මිනිස්සු නෙමෙයිද? ඒ අයගෙ පොත්වලට වටිනකමක් නැද්ද? වගේ ඉතාම පිටිසර කතා කියන්න ගත්තා.

රනිල්ගෙ ගෙදරට ගිනි තැබීමයි මගේ ගෙදරට ගිනි තැබීමයි කියන්නෙ දෙකක්. මාව මරලා දාන එකයි ප්‍රභාකරන් මරලා ‍දාන එකයි කියන්නෙ දෙකක්. රටේ දේශපාලන ඉතිහාසය ඇතුලෙ රනිල් වික්‍රමසිංහ කියන්නෙ මිනිහෙක් විතරක් නෙමෙයි ප්‍රතිරූපයක්. ලංකාවෙ ලිබරල් දේශපාලන කඳවුරේ අවසානය තමයි ඒ මනුස්ස ශරීරය විසින් දරන්නෙ. රනිල් කියන්නෙ ලංකාවෙ සංකේතීය උරුමයක්. මගේ දතක් වගේ නෙමෙයි බුදුන්ගෙ දතක් කියන්නෙ. ඒක ක්‍රිස්තියානිකාරයෙකුට වුනත් සංකේතීය වටිනකමක් තියෙන දතක්.

ඒක රනිල්ට විතරක් නෙමෙයි, සජිත්ට පාඨලීට අනුරට වුනත් පොදුයි. ඒ මිනිස්සු සාමූහික දේශපාලන අදහසක, සංකල්පයක නියෝජන. ඒ අය පුද්ගලයො විදිහට අපිට වැඩක් නෑ. මේ සංසන්දන පිටිපස්සෙ තියෙන්නෙ ගෝත්‍රවාදය විසින් අහිමි කරපු වටිනාකම්. සංකල්පීය සිතීම එහෙම්පිටින්ම අහෝසියි.

තව පෝස්ට් එකක් ලියලා තිබුන රනිල්ගෙ පොත් ඔච්චර වටිනවා නම් තනියම තියන් ඉන්නෙ නැතුව ජනසතු කරන්න තිබුන කියල. ‍මට අදහාගන්න බෑ මේ පිරිහීම. කලෙක්ෂන් එකක තියෙන වටිනාකම තේ‍රුම්ගන්න බැරි අයද දේශපාලනය කරන්නෙ? රනිල්ට විතරක් නෙමෙයි ලෙනින්ටත් තිබුන පුද්ගලික පුස්තකාලයක්. ඒ පොත්වල වටිනාකම තියෙන්නෙ ඒ මනුස්සයා එක්ක බැඳිලා. එයාගෙ රසය, එයාගෙ සංකල්ප එක්කයි එයාගෙ පුස්තකාලය නිර්මාණය වෙන්නෙ.

ඒ මනුස්සයා මැරුන දවසක ඒ පුස්තකාලය පැවරීමේ වැදගත්කම අපිට ඒ මනස ඇතුලෙ චාරිකාවක් යන්න අවශ්‍ය දැනුම එතන තියෙන හින්ද. හැම කෙහෙල්මලක්ම ජනසතු කරන මනස තමයි අරගලයේ දුප්පත්කම. සියලු ‍සෞන්දර්යාත්මක, සංකල්පීය වටිනාකම් විනාශ කරන බලවේගයක් බවට ඒක පත්වෙනවා.

Iconoclastic – a person who attacks settled beliefs or institutions. 2 : a person who destroys religious images or opposes their veneration.

ජනාධිපති මන්දිරේ අපි දකින්නෙ ඒකයි. ඒ තැනට තියෙන සංකල්පීය අගයයි මේ විනාශ කරන්නෙ. ඒක පිලිස්තීනු වැඩක්. ඕනෑම ගොඩනැගුනු සංකල්පීය අගයක් කියන්නෙ සාමූහිකත්වයක්, ඓතිහාසිකත්වයක්. ඒවා ගරු කරමින් තමයි අලුත් සංකල්පයන් ගොඩනැගෙන්න ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ මුලු රටේම සංස්කෘතික වටිනාකම් ග්‍රාම්‍යත්වයට ඇද දැමීමේ ක්‍රියාවලියක්.

Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.