අප ජීවත්වන සමකාලීන සමාජයේ ආධිපත්‍ය පිළිබඳ විශාල ආකල්පමය වෙනසක් සිදුවී ඇත . වීශේෂයෙන් දේශපාලන ආධිපත්‍යය ගැන විශාල පැමිණිලි සාගරයක් බිහිවී ඇත.[Hysterical questions- “marked by uncontrollable, extreme emotion.”] අතීතයේදී ආධිපත්‍යය සලකා බලන ලද්දේ ශික්ෂණය සහ පිළිවෙළ සකස් කරන යහපත් අංගයක් ලෙසය. නමුත් සමකාලීන පසු – නූතන ධනවාදී සමාජය තුළ කොයි පැත්තෙන් ගත්තත් ආධිපත්‍ය සලකා බැලෙන්නේ නිශේධනාත්මක දෙයක් ලෙසිනි. පවුලේ පියාගේ සිට දේශපාලන පක්ෂයක නායකයකු දක්වා පරාසයක පවතින ආධිපත්‍යයේ විවිධ ස්වරූපයන් දෙස ප්‍රබුද්ධ විචාරයෙන් පවා සලකා බලන්නේ යල්පැනගිය අංගයක් ලෙසිනි.
එක්තරා යුගයකදී ආධිපත්‍ය යහපත් සහ සමාජයට අවශ්‍ය අංගයක් ලෙස සලකා බැලූ නමුත් සමකාලීන ධනවාදය තුළ ආධිපත්‍යයන් සලකා බැලෙන්නේ අතීතයට අයිති ප්‍රපංචයක් ලෙසිනි.පිරිමින් සහ සමව සමාජ අවකාශය තුළ සමානාත්මතා පදනම මත ස්ත්‍රිය වැඩකරන තත්ත්වය තුළ ආධිපත්‍ය කලින් පැවති අවකාශය අලුත් වටයකින් අභියෝගයට ලක්වී ඇත. සමලිංගික සබඳතා සහ සමලිංගික විවාහයන්ට යුරෝපයේදී නීතිය ඉදිරිපිට තිබූ බාධාවන් ඉවත් වී ඇති නිසා ලිංගික ක්ෂේත්‍රයේ දී ද ආධිපත්‍ය විකරණය වී ඇත.
ආධිපත්‍යය එහි ප්‍රතිවිරුද්ධ පැත්තවූ හීලෑ කිරීම වෙනුවට වෙනත් භූමිකාවක් රඟපෑමට පටන්ගෙන ඇත. විසිවන සියවසේදී ධනවාදී නිදහස් වෙළඳ පොළ නිසා ලිබරල් මැද-පන්තිකයෙකු බිහිවිය. මෙවැනි සමාජයක ජීවත් වන ලිබරල් මනුෂ්‍යයකු මුඛ්‍ය ප්‍රතිවිරෝධයක හිරවෙයි.එක පැත්තකින් සමාජමය ඉල්ලීම් නිසා ඔහු/ ඇය ඒවාට යටත් විය යුතුය. අනෙක් පැත්තෙන් ඔහු / ඇය මෙම සමාජයීය මර්ධනය නිසා අවිඥානය යනුවෙන් රහසිගත ආවේග ජාලයන් සමූහයක් නිපදවා ගනී. පුද්ගලයාව දෙපසට අදින මෙම ප්‍රතිවිරුද්ධ බලවේග නිසා ව්‍යාකූලත්වයට පත් වන මිනිසා ගැටලුවෙන් ගැලවීමට මේ අන්ත දෙක ඒකාබද්ධ කරන මනෝ විද්‍යාත්මක සත්වයෙක් බිහි කර ගනී. ෆ්‍රොයිඩ් මෙම මනෝවිද්‍යාත්මක කොටස නිරූපණය කිරීමට අහම- ego යන පදය යොදා ගත්තේය. ඒ අනුව අහමේ කාර්යය වන්නේ එක පැත්තකින් සමාජයට අවශ්‍ය පරිදි පුද්ගලයව හීලැකිරීම ය. අනෙක් කාරණය වන්නේ සමාජය සහ පුද්ගලයා අතර රේඛාවක් නිර්මාණය කරමින් සමාජීයකරනය කළ නොහැකි පුද්ගල ආවේගයන් යටපත්කර අවිඥානය නිපදවීමයි. කාර්මික ධනවාදයට අවශ්‍ය වූයේ ඉහත ආකාරයේ දෙබිඩි සත්වයෙකි.
ප්‍රොයිඩ්ට අනුව මනසේ තුන්වෙනි කොටස වූ සුපිරිඅහම[super ego] විසින් කරන කාර්යය වූයේ අශ්ලීල විනෝදයන් විචාරය කරමින් ඒවා සංස්කෘතික තලයක උත්කර්ෂයට නැංවීමයි.
නමුත් විසිඑක්වෙනි සියවසේ දී ඇමෙරිකාවේ සහ යුරෝපයේ පැවති කර්මාන්තශාලා ලාභ රේට්ටුව වැඩිකර ගැනීම සඳහා චීනයට පටවන ලදී.එවිට ඇමරිකාවේ සහ යුරෝපයේ ඉතුරු වූයේ සේවා ආර්ථිකයකි.මෙම සේවා ආර්ථිකය පශ්චාත් – ලිබරල් සමාජයකි. මෙවැනි සමාජයකට එක පසෙකින් සමාජ ඉල්ලීම් වලට යටත් කරන මනෝ විද්‍යාත්මක අන්තර්ගතයක් සහිත පුද්ගලයෙකු අවශ්‍ය කරන්නේ නැත. මේ හේතුව නිසා පුද්ගලයාට තම රහසිගත ආවේගයන් තැන්පත් කරන ජලාශයක් වූ අවිඥාණයක් සහ සමාජ මර්ධනය අතර තාප්පයක් අවශ්‍යවන්නේ නැත. එවිට සිදුවන්නේ බාහිර සමාජ සබඳතා මනෝවිද්‍යාත්මක අහමකින් මැදිහත් වීම වෙනුවට සෘජු ලෙස අවිඥාණය කරා ළඟා වීමයි. මින් අදහස් වන ක්‍රියාවලිය සරලව මෙසේ පැහැදිය හැක. නූතන ආධිපත්‍යයට මිනිසා යටත්කර හීලෑ කිරීමට අවශ්‍ය නැත. එසේ වන්නේ සුපිරි- අහමේ ක්‍රියාකාරීත්වය පශ්චාත්- ලිබරල් සමාජයකදී රැඩිකල් ලෙස වෙනස් භූමිකාවක් රඟ දක්වන්නට පටන් ගන්නා නිසාය. ලිබරල් සමාජයක දී සුපිරි-අහම හොඳ/ නරක පිළිබඳ විමර්ශනය කරන ලද්දේ නම් ලිබරල්වාදය අවසන් වූ මේ යුගයේදී සුපිරි-අහම තම කර්තව්‍ය ‘විනෝද වන්න’! යන තේමාව මිනිසාට හඳුන්වාදෙයි. එවිට මිනිසාට ආධිපත්‍යය වැටහෙන්නේ හිලෑ වීමට , විනය ගතවීමකට ඇති දෙයට වඩා විනෝදවීමට දෙන නියෝගයක් ලෙසිනි. තවත් සරලව කිවහොත් ලිබරල්වාදය අවසන් වූ යුගයකදී අවිඥානය ලෙසින් අප වටහා ගත් දෙය වහා සමාජීයකරණය වී වාෂ්ප වී යයි.උදාහරණයක් ලෙස නිල් සිනමාව පැමිණීමට පෙර ස්ත්‍රී ශරීරය යනු මර්දනය කළ තහනම් කලාපයකි. නමුත් නිල් සිනමාව සාමාන්‍ය දෙයක් බවට පත් වූ අද වැනි යුගයක ස්ත්‍රී ශරීරය නිසා නිපදවා තිබූ අවිඥානය වාෂ්ප වී ගොස් ඇත. මේ හේතුව නිසා ස්ත්‍රී ශරීරය ආශාවක් නොව අනවරත ලෙස විනෝද වීමට ඇති ආවේශයකි.
ෆ්‍රාන්ස් කෆ්කා නම් චෙක් ජාතික සාහිත්‍යකරුවාගේ “පියාට ලියූ ලියුම්” හරහා ජනිත කරන ලද්දේ පිය ආධිපත්‍ය යනු යටත් වීමට ඇති නියෝගයක් නොව රහසින් විනෝද වීමට ඇති අවකාශයක් බවයි. අපි ඔහුගේ ලිපියක කොටසක් කියවමු.
“ආදරණීය තාත්තේ,
ඔබ ළඟදී දිනෙක මගෙන් ඇසුවා මම ඔබට බියද යන කාරණය. එම පැනයට පිළිතුරක් සිතාගත නොහැක. ඇත්තෙන්ම මට ඇත්තේ ඔබ ගැන බියකි. මේ බියට හේතුවක් නැත. ලිවීමෙන් පවා මෙම බිය පහවන්නේ නැත. අප දෙදෙනා සසදා බලන්න!මම බෙහෙවින්ම බයාදු පුද්ගලයෙකි.ඔබ ඉදිරියේ මම අසූචි බෙට්ටකි. එහෙත් ඔබ මනා ශක්තියෙන්, සෞඛ්‍යයෙන් , උස් කටහඬින්, මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් හා කාර්යයක් මනාව ඉටු කිරීමට හැකි නියම කෆ්කා කෙනෙකි. නමුත් මම බෙහෙවින් අසාර්ථක කෆ්කා කෙනෙකි.”
කෆ්කා ඉහතදී ලියන්නේ තමන්ට තමාගේ පියාගේ ආධිපත්‍ය සලකුණු වන ආකාරයයි. ඔහු ලියන්නේ මනෝවිද්‍යාව නොවේ. ඒ වෙනුවට ඔහු ලියන්නේ තම පියා කෙතරම් සතුටින් ජීවත් වනවාද යන්නය. ඇත්තටම ජීවත් වූ කෆ්කා ගේ පියා ඔහු මේ කියන ආකාරයේ කෙනෙක් නොවෙයි. ඔහු ඉතා කරුණාවන්ත පියෙකි. එසේනම් කෆ්කා මේ කියන්නේ තමාගේ පියා ගැන තමා විසින්ම ගෙතුණු කතාවකි.[fantasy] තමන්ට බාහිරින් පවතින ආධිපත්‍යන් තවදුරටත් ඒවාට යටත් වන මිනිසුන් කියවන්නේ මර්දිතයන් ලෙසින් නොව විනෝද වීමට ඇති ආකෘතින් ලෙසින්ය. පසුගිය සියවසේදී මර්දනයෙන් නිදහස් වීමට සිදු කරන ලද අරගල කෙළවර වූයේ මර්දනය අලුත් වටයකින් සුජාතකරණය කරමින්නි. වෙනදා විඥානය පැවතුනේ සැඟවුණු අදුරක යයි අනුමාන කළේ නම් අද දවසේ අපගේ අවිඥානයේ ඇත්තේ අපට පිටතින් පවතින අතාර්කික ආධිපත්‍ය තුලය. මනෝවිද්‍යාවක් නිපදවන්නේ නැතුව නූතන ආධිපත්‍යයන් විසින් ඍජු ලෙස අවීඥානය නිපදවයි.මේ හේතුව නිසා මිනිසා ආධිපත්‍යයට කීකරු වීම වෙනුවට ඒවා උල්ලංඝනය කරයි. තමන්ගේ පියා සතු ආධිපත්‍ය විනෝදයකට පෙරළා ගත් අපූරු මිනිසෙක් වූ කෆ්කාගේ ලියුමේ තවත් කොටසක් කියවමු.
“අප දෙදෙනා ස්නානය කිරීමට නාන තටාකයට ගිය අවස්ථාවල අප දෙදෙනා කොතරම් වාරයක් ඇඳුම් උනා ඇද්ද ? එහිදී මම ඉතා කෘෂ පුද්ගලයෙකු වූ අතර ඔබ ශක්තිවන්ත දේහධාරීයෙක් විය. එතැනදී මට මා පෙනුනේ දුක්ඛිත කාලකන්නියෙකු සේය. සමහර විට ලෝකය මනින මිම්ම එය වී ඇත. මගේ පියා වන ඔබ මගේ ලෝකයේ මනින අඩි කෝදුවයි.”