අමල් අල්විස්ගේ කෙටි ටෙලි වෘතාන්තයක් වන ”Coffee and Wine” මඟින් සාකච්ඡා වන්නේ, ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල යුවළක් ගැන ය. මේ සම්බන්ධයේ සුවිශේෂය වන්නේ, තමන් පැමිණි රටේ සංස්කෘතියෙන් පූර්ණ වශයෙන් ඉවත් වී ධනවාදී ශිශ්ටාචාරයේ හුදෙකලාව ඔවුන් තෝරා ගැනීමයි. මේ චරිත දෙකට නම් නැත. ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු තම තමන්ගේ අතීතය හෝ ඉතිහාසය අනෙකාට කියන්නේ නැත. එසේ අසන්නේ ද නැත. ඔවුන් තම තමන්ගේ මව් රටේ සංස්කෘතිය හරණය කොට ඇති අතර නිදහස යනු සාරයකින් තොරව ජීවත් වීම ලෙස තෝරාගෙන ඇත. දෙදෙනාගේම යතුරු නැති වී ඇති අතර මේ නිසාම තමන් පදිංචි ස්ථානයට (නිවසට?) පවා ළඟා වීමට නොහැකි වී ඇත. සැමුවෙල් බෙකට්ගේ නාට්‍යවල ‘චරිත’ නැති අතර ඇත්තේ ‘කටහඬවල්’ පමණි. ‘කෝපි සහ වයින්’ නාට්‍යයේ චරිත දෙක ද කටහඬවල් පමණි. ඉන් අදහස් වන්නේ, ඔවුන්ට ආකෘතියක් මිස අන්තර්ගතයක් නැති බවයි.
‘කෝපි සහ වයින්’ ටෙලිනාට්‍යයේ ආකෘතිය මහේෂ් හපුගොඩ සහෝදරයා මතු කරන ‘ජාත්‍යන්තරීයකරණය යනු තවත් සංස්කෘතියකි’ යන ප්‍රවාදය අභියෝගයට ලක් කරයි. එනම්, මේ චරිත දෙක ඔස්ට්‍රේලියාවට සීනි සම්බල්, කරවල, දහම්පාසල්, පෝරුව, භික්ෂූන්, ත්‍රිපිටකය, කිරිබත්, ලුණුමිරිස්, පරිප්පු, සරම, ඔසරිය ලංකාවෙන් ගෙන ගොස් නැත. ටෙලිනාට්‍යයේ චරිත දෙක තම මව් රට වන ශ්‍රී ලංකාව ගැන මෙලන්කෝලියාවකින් නො පෙලෙන අතර ඒ ගැන වැලපෙන්නේ ද නැත. මේ චරිත දෙක තම තමන්ගේ ප්‍රථම සම්මුඛ වීම සලකන්නේ මෙලෙස ය. නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා.
යථාර්ථයට දැඩි අනුරාගයක් ඇති මිනිසුන් සොයන්නේ සුපුරුදු මිනිසුන්ය. නමුත් ධනවාදී නූතනත්වය තුළ අපව පොළඹවන්නේ නුපුරුදු අය කරා ගමන් කිරීමට ය. කෙනෙකුගේ ‘මුහුණ’ බොරුවක් බව දන්නා සමාජයක දී අහක බලාගෙන කතා කිරීම පුරුද්දකි. ‘මුහුණ’ තවදුරටත් හදවතේ රහස් කියන දර්පණයක් නොවේ. හපුගොඩ කියන්නේ අප වැනි යටත්විජිත රටවලින් ධනවාදීව දියුණු රටවලට සංක්‍රමණය වන අය විවිධ හේතු නිසා එසේ කරති යන්න ය. 70 දශකයට පසුව ලංකාවෙන් විදේශගත වන කෙනෙකු එසේ යන්නේ ඉහළ ආදායම් ඉපයීමට ය. මෙය 70 දශකයේ රටේ ආර්ථික ව්‍යුහයේ එකතැන පල්වීමේ ඵලයකි. ඒ නිසා, ඉගෙන ගන්නට යන අය සහ මැදපෙරදිග යන්නන් අතර සංස්කෘතික වෙනසක් නැත.
හපුගොඩ මෙසේ කියයි. “කෙනෙකු තමන් ගමන් කරන අලුත් භූමිය පූර්ණ අත්දැකීමක් බවට සංස්ලේෂණය කරගත යුතු ය. ලංකාවෙන් පිට වන කෙනා ශරීරය පමණක් නොව තමන්ගේ මනස ද විගාමික කළ යුතු ය. කසාද බැඳීමට ලංකාවට යළිත් නො පැමිණිය යුතු අතර සුදු ජාතිකයෙකු සමඟ විවාහ වී සහමුලින්ම ලංකාව අමතක කළ යුතු ය. සත්‍ය ගමනක් බිහි වන්නේ එවිට ය. මයිකල් ජැක්සන් හෝ මැල්කම් X සහමුලින්ම අප්‍රිකාව අමතක කර ඇමරිකාව බවට පත් විය”.
ලංකාවේ දී ‘X දේශපාලනය’ ඊට පෙර පැවති සියළුම වර්ගයේ දේශපාලනයන්ගෙන් ඛණ්ඩනය වන මධ්‍ය ලක්ෂය මහේෂ් අමතක කර ඇත. සෝෂියර්ගේ මුල් පාඩම මතක් කරමු. ඔහු කීවේ, ‘දෙය’ (Thing) අප කරා එන්නේ විකල්ප මාර්ගයකින් ‘සංඥාව’ (Sign) ලෙස ය යන්න ය. මෙය, අපි දන්නා ආකාරයකින් මෙසේ කියමු. යටත්විජිත ලංකාවෙන් බටහිර රටකට යන ඕනෑම පුද්ගලයෙකුට මුලින්ම හමු වන්නේ, භාෂාවයි. ඒ, ඕනෑම පුද්ගලයෙකු තම අත්දැකීම් ප්‍රකාශයට පත් කරන්නේ භාෂාව ප්‍රාථමික කොටගෙන ය. ඉතාම වියුක්ත ලෙස කියන්නේ නම්, අපේ මනස අත්දැකීමට පෙර භාෂාව මඟින් මෙහෙයවෙන බව වැඩියෙන්ම නො දන්නේ X දේශපාලනයට සම්බන්ධ වූ අය යි.
අපි දැන් උදාහරණයකට යමු.
Last Tango
ඉතාලි ජාතික බර්නාඩා බර්තොලුචී නම් ඉතාලි සිනමාකරුවා මිය ගිය මොහොතේ දී ඔහුගේ නිර්මාණ ඇගයීම වෙනුවෙන් බොහෝ දෙනා මතක සටහන් ලියන ලදි. ඒ අතර, කෝළම් රචකයෙකු වන ‘ඩේවිඩ් එඩල්ස්ටීන්’ අමුතුම ආකාරයේ සටහනක් තම මුහුණු පොතේ ලිවීය. හාස්‍ය රසය මතු කරමින් ඔහු මෙලෙස තම සටහන ලිවීය. “ Even grief is better with butter” (බටර් සමඟ වේදනාව පවා ප්‍රණීතයි). මින්, බොහෝ දෙනෙක් කෝපයට පත් වූ අතර ඩේවිඩ්ගේ රැකියාව පවා තාවකාලිකව නැති වී ගියේ ය. ඊට හේතුව වූයේ, ඩේවිඩ්ගේ අසභ්‍ය විහිලුව 1972 වර්ෂයේ බර්තොලුචී විසින් නිර්මාණය කළ ”Last Tango in Paris” (පැරිසියේ අවසන් නැටුම) චිත්‍රපටයේ දූෂණ ජවනිකාවකට සම්බන්ධ වීමයි. එම ජවනිකාවේ දී මාලන් බ්‍රැන්ඩෝ විසින් මාරියා ෂනයිඩර් නම් තරුණ නිළිය සමඟ කුස්සියේ බටර් පාවිච්චි කර ගුද රමණය කරයි. එම දර්ශනයේ දී සැබැවින්ම සිදු වන ස්ත්‍රී දූෂණයක් නොමැති අතර එය පිටපතේ පවා තිබු එකක් බව මාරියා පිළිගනියි. ගැටලුව වන්නේ, බටර් (Butter) යන පදය යි. දර්ශනයේ දී අවසන් මොහොතේ දී තමයි මාරියා දැනගන්නේ දූෂණ ජවනිකාවකට බටර් යොදා ගන්නවා කියලා. එමඟින්, ඇයගේ ජීවිතය සංකීර්ණ ක්ෂතිමය තත්වයකට පත් වන අතර ඇගේ රංගන ජීවිතය ද එතැනින් කෙළවර වෙයි.
‘බටර්’ වැනි පදයක් කෙනෙකුට මෙතරම් බලපෑම් සහගත ලැජ්ජාවක් ඇති කරන්නේ මන්ද? ඩේවිඩ් මේ පදයට මනෝවිශ්ලේෂණ අදහසක් එකතු කරයි. එනම්, ‘වේදනාව’ යනු, බටර් සමඟ ගත්විට විනෝදයක් වන බවයි. එමගින්, වසර 40කට පසුව මාධ්‍යකරුවෙකුගේ රැකියාව අවසන් වන අතර බර්තොලුචී ගැන අලුත් ස්ත්‍රීවාදී අදහසක් බිහි වෙයි. ඉවසීම (Tolerance) සහ වෛරී භාෂාව (Hate Speech) වැනි දේශපාලනික නිවැරදි භාෂාව මගින් මිනිසාගේ සාර්වත්‍රික ගුණයක් පිළිබඳ කතාබහ සදාචාර ගැටලුවක් දක්වා ඌණනය කරන ලදී. මාරියා ඇතුළුව ඊට ප්‍රතිචාර දැක්වූ සියලුදෙනා ව්‍යුහගත වූයේ, ඇත්ත අත්දැකීමක් මත නොව ‘බටර්’ නම් වචනය වටාය. ශබ්ද කෝෂය තුළ ඒ දක්වා බටර් පාවිච්චි වූයේ, ආහාරයක් ලෙස ය. නමුත් ‘බටර්’ රමණයට සම්බන්ධ කළ විට එහි අත්දැකීමට පෙර ‘වචනය’ විසින් ආත්මය ව්‍යුහගත කරන ලදී. ගුද රමණයෙන් විඳින වේදනාව ‘බටර්’ නම් හැඟවුම්කාරකයකට බද්ධ වූ විට, සිදුවීමකින් ඒ නයින් අත්දැකීමකින් තොරවම ගුද රමණයේ අධිකතර වේදනාව සතුටින් ලෙසින් මනස කියවයි.
‘මාරියා ෂනයිඩර්’ නම් නිළියගෙන් අප කෙළවරක් නැතිව සමාව අයදීමෙන් ගැටලුව විසඳෙන්නේ නැත. මන්ද, මෙය සංස්කෘතික ප්‍රශ්නයක් නොවන නිසා ය. ගැටලුව වන්නේ, ශිෂ්ටාචාරගත ගැටලුවකි. ශිෂ්ටාචාරය අපට සෑමවිටම පොරොන්දු වන්නේ, “වේදනාවකින් ඔබව සතුටු කරවන බවයි”. ජීවිතයේ මුල් වරට සිගරැට්ටුවක් අත්විඳින කෙනෙකු එය කරන්නේ බලහත්කාරී භාෂාවක් අනෙකාගෙන් එල්ල වූවාට පසුව ය.
එසේ නම්, යටත්විජිත රාජ්‍යයක සිට (ලංකාව, ඉන්දියාව, පකිස්තානය) කේන්ද්‍රික ධනවාදී රටකට (එංගලන්තය, ඇමරිකාව) ගමන් කරන ස්වදේශිකයාට පළමුව හමු වන්නේ භාෂාව ද නැතහොත් එහි ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම ද? මෙහි එක පැත්තක් ප්‍රාථමික කිරීමෙන් අප ගමන් කරන්නේ මායාවක් දෙසට ය. ජාතිවාදීන් තර්ක කරන්නේ අත්දැකීම ප්‍රාථමික බවත් භාෂාව යනු එහි ව්‍යුත්පන්නයක් බවත් ය. ‘වෛරී භාෂාව’ පිළිකුල් කරන්නන් යනු, හදවතේ භාෂාව තුළ ඊට වඩා ‘වෛරී භාෂාවක්’ උපකල්පනය කරන්නන් ය.
හපුගොඩගේ ප්‍රවාදයට අප නැවත අවතීර්ණ වුවහොත් අමල් අල්විස්ගේ ‘කෝපි සහ වයින්’ යනු, ඩයස්පොරාවේ ශේෂ පත්‍රය අලුතින් කියවීමකි. කෙනෙක් ලංකාවෙන් එංගලන්තයට, ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට, ජර්මනියට තම ළමා කාලය ලංකාවේ ගතකර විගාමික වන්නේ නම්, ඔවුන් බටහිර දී ඇතුළු වන්නේ සංස්කෘතියකට නොව ශිෂ්ටාචාරයකට ය. ධනවාදය යනු, උන්මුල වශයෙන් ගත් කළ ශිෂ්ටත්වය පිළිබඳ දුප්පතාගේ සිහිනය යි. මෙම කෙටි චිත්‍රපටයේ චරිත දෙකින් එක් අයෙක් ගමන් කරන්නේ බෙන්ස් මෝටර් රථයක ය. නමුත් ඔහුගේ ‘ආත්මමූලිකත්වයේ සාරය’ කම්කරුවෙකුට වඩා වාෂ්ප වී ඇත. ඔහු තම අනෙකාගෙන් ‘නම’ වත් අසන්නේ නැත. මේ නව අනෙකා සමඟ පැරණි මතකයන් ඔහු අවුස්සන්නේ ද නැත.
‘රොබර්ට් බ්‍රැන්ඩන්’ නම් ඇමරිකානු හේගලියානු දාර්ශනිකයා මිනිසාගේ ආධ්‍යාත්මික ජීවිතයේ ගමන් මඟ ‘The Spirit of Trust’ (2019) නම් කෘතියේ දී මෙලෙස සම්පිණ්ඩනය කරයි. මිනිසාගේ හැඟීම්බර ආත්මීය ලෝකය මේ දක්වා පරිණාමය වී ඇත්තේ අවධි තුනක දිගට ය.
එහි පළමුවැන්න, සාම්ප්‍රදායික සමාජය යි. අපට අනුව නම්, සිංහල-බෞද්ධ සමාජය යි. මෙවැනි සමාජයක පරිපූර්ණ ඒ නිසාම ස්වභාවික වූ සදාචාර රිතීන් මණ්ඩි බැස ඇත. එකිනෙකා හොඳින් හඳුනන මේ කුඩා සමාජයේ සියලුදෙනා පොදු සදාචාර මූලධර්මයක් මගින් පාලනය වෙයි. ඒ නිසාම, ස්වකීය ආත්මමූලිකත්වය කියා දෙයක් මෙවන් සමාජවල හඳුනාගත නො හැකි ය. ඊළඟට ඇත්තේ, නූතන සමාජ-ක්‍රමය යි. එහි දී ආත්මීයත්වයට සාපේක්ෂ නිදහසක් හිමිවන නමුත් බාහිර සමාජ නීතීන් පවතින නිසා පරාරෝපිත හැඟීමක් ඇති වීම වැළැක්වීමට නො හැකි ය. අවසන් වශයෙන්, අපට ආත්මීයත්වයේ නිදහස සමඟ තුලනය වන සමාජ නීතීන් සහිත නව සමාජ-ක්‍රමයක් හමු වනු ඇත. නමුත් මෙවැනි සමාජ-ක්‍රමයක දී ආත්මීයත්වය සහ බාහිර සදාචාර නීතින් යන දෙකම අතුරුදහන් වීමට නියමිත බව බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. එය, අප වැනි රටවලින් බටහිරට ගිය ඊළඟ පරම්පරාවේ අය මුහුණ දෙන යථාර්ථය යි.
නමුත්, එවැනි ‘ප්‍රගතියක්’ මිනිසාගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් අදාළ ද? අපට එවැනි අනාගතවාදී සමාජයකට පසුතැවීමකින් තොරව පැනිය හැකි ද? ‘කෝපි සහ වයින්’ නම් ටෙලි වෘත්තාන්තයේ තේමාව වන්නේ මේ උභතෝකෝටිකය නොවේ ද?
හපුගොඩ සහෝදරයාගේ යෝජනාව වන්නේ, ‘ආත්මීය නිදහස’ සහ බාහිර සමාජ මර්ධනය අතර ආතතිය හෝ පරතරය ශුන්‍ය වූ සමාජයක් ප්‍රගතියේ කෙළවර බව ද? බැද්දෙන් සිදාදියට යන බොහෝදෙනා යළි බැද්ද කරා ආපසු ගමන් කරයි. ඒ, ‘නිදහස’ සහ ‘ආත්මය’ වෙනුවෙනි. මින් අදහස් වන්නේ, යම් කිසි සමාජයක විශ්වාසය නොව අවිශ්වාසය රජ (Spirit of Distrust) කරන්නේ නැතිනම් එම සමාජය මිය යන බවයි.
අප සමඟ ජීවිත කාලයක් ජීවත් වන්නට හෝ දේශපාලනය කරන්නට එන විශ්වාසදායක සගයා අපගේ අවිශ්වාසයට යොමු වන ක්‍රියාවක් කළ විට අපගේ නිදහස සහ ආත්මීයත්වය යළිත් අපට උරුම වෙයි. මේ දරාගත නො හැකි සහනය අපට උරුම වන්නේ අවිශ්වාසයේ පොදු බව තුළ ය. අපගේ පිරිසිදු ආධ්‍යාත්මය ගොම බිංදුවකින් අපවිත්‍ර කරන අනෙකා අපගේ නිදහසේ ඊළඟ පරිච්ඡේදය විය නො හැකිද? එබැවින්, අප උත්සාහ කළ යුත්තේ අපගේ ‘ආත්මීය නිදහස’ සහ බාහිර මර්ධනය අතර පරතරය සමතික්‍රමණය කරන්නට නොව එය සහතික කිරීමට ය. ඒ අර්ථයෙන් ගත් විට, බැද්දෙන් සිදාදියට යන අය යළි බැද්ද සොයා එම අතීත වේදනාවක් ද? නැත්නම්, නිදහස නව ආකෘතියක් තුළ වටහා ගැනීමක් ද? සුසංවාදී සමාජයක් තැනීමට උත්සාහ කිරීම කොමියුනිස්ට් යුතෝපියාවේ පරස්පරය නොවේ ද? අමල් අල්විස්ගේ නිර්මාණයේ චරිත දෙක ශිෂ්ටාචාරය පොරොන්දු වන ප්‍රීගතිය වෙනුවට ආතතිය තෝරාගෙන ඇත. අනාගත ප්‍රේමයේ සප්ත ස්වරය ‘ආතතිය’ විය නොහැකි ද?
Deepthi kumara Gunarathne
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
https://forms.gle/tC36JnAV3s6wBAND6
a film by Amal Alvis
starring | Rukmal Nirosh Keshi Fernando
editor | Rukmal Nirosh
music composer | Tharupathi Munasinghe
camera | Prasad Wijayabandu
November Production presents
in association with Roopa Creations
කතාවේ පොඩි ගතියක් තියනවා. කොෆී ඇන්ඩ් වයින් එකේ. හැබැයි ඉතින් මගේ දුවෙක් නම් ගලක් අරගෙන කාරෙකේ වීදුරුව කඩල යතුරයි මොබයිල් එකයි අරගෙන මට කෝල් එකක් දෙයි “ඩැඩි කාරෙකේ විදුරුව් කඩන්න් වුනා ” කියල. මට ඉතින් ගිහිල්ල කාරෙක අරේගන් ගරාජ් එකකකට ගිහිල්ල දාන්න ඕනේ. නැත්නම් විදුරු fix කරන කෙනෙකුට කතා කරන්න ඕනේ. ඔච්චර දුර වැඩේ ගෙනියන්න් ඕනේ නැහැ.
අනික අපි ගෙවල් වලින් එලියට යනකොට කුණු දාන්න , ලොක් අක ලොක් කරලා යන්නේ. එහෙම ගැජට් එකක් දැන් ඕනෙම door lock එකක් තියනව. හේ හේ
//ලංකාවෙන් පිට වන කෙනා ශරීරය පමණක් නොව තමන්ගේ මනස ද විගාමික කළ යුතු ය. කසාද බැඳීමට ලංකාවට යළිත් නො පැමිණිය යුතු අතර සුදු ජාතිකයෙකු සමඟ විවාහ වී සහමුලින්ම ලංකාව අමතක කළ යුතු ය. සත්‍ය ගමනක් බිහි වන්නේ එවිට ය. මයිකල් ජැක්සන් හෝ මැල්කම් X සහමුලින්ම අප්‍රිකාව අමතක කර ඇමරිකාව බවට පත් විය”.// හපුගොඩ සහෝදරයා ලිවූ එක ගැන කියනවනම් කවුරුත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපට මෙතෙන්ට ඇවිත් ත්‍රිමාණ කියවන්න අවශ්‍යයත් නැහැ. එංගලන්තෙට වෙලා සොමියේ ඉන්න පුළුවන්. අපේ ඉංග්‍රීසි පොත් ටික කියවගෙන. . නමුත් ලංකාවේ දෙමාපිය සහෝදරයෝ ඉන්න කොට ඒක කරන්න බැහැ. දර්ශනවාදයට කියන්න නම් හොඳයි. රටවල් දෙක තුනක සංස්කෘතීන් එකක් මිශ්‍ර වෙලා ඉන්න ඉගෙන ගන්න එකත් කලාවක්. අපි කරන්නේ සංස්කෘතීන් දෙක තුනක් අතික්‍රමණය කරන එක. රුසියානු (සෝවියට්) , ජර්මන්, ඉංග්‍රීසි සහ සිංහල සංස්කෘතීන් හම එකක්ම දැන ගත්තම ජිවිතේ හුඟක් පොහොසත් වෙනවා. හැබැයි හපුගොඩ සහෝදරයට හිතෙන හිතෙන විධිහට ඒක කරන්න බැහැ. අනික හපුගොඩ සහෝදරයත් තමන් ගමෙන් ආවයි කියන එක අමතක කරන්න බැරුවනේ ඉන්නේ.
Comments are closed.