වසර 400 ක් පමණ වූ ධනවාදී සමාජයේ ඉතිහාසය තුළ එය සමතික්‍රමණය කළ හැක්කේ අපරිමිත විනෝදය සහ සතුට හරහා යන මතය තහවුරු වූයේ 60 දශකයේ බටහිර ශිෂ්‍ය දේශපාලනය මඟිනි. මෙම ශිෂ්‍ය දේශපාලනය මඟින් යෝජනා කරන ලද්දේ, ඕනෑම විමුක්ති ව්‍යාපාරයක් සතුට සහා විනෝදය සමඟ අනවරත ලෙස බද්ධ වී ඇති බවයි. එබැවින්, 60 දශකයට පසු වමේ ව්‍යාපාරය මිනිසුන්ට අනවරත විනෝදයක් සහ සතුටක් පොරොන්දු වෙයි. විමුක්ති ව්‍යාපාර සෑමවිටම රහසින් ලිංගික විප්ලවයක් ප්‍රාර්ථනා කිරීම මේ අනුව ව්‍යුහාත්මක ගැටලුවකි.

Mask

            විචාර න්‍යාය, සමාජීය ස්ත්‍රී-පුරුෂභාවය, දර්ශනය යනාදී මේ සෑම ක්ෂේත්‍රයක්ම විමුක්තිය සමඟ බාධාවන්ගෙන් තොර විනෝදය සපථ කරන අතර එහි විරුද්ධාභාසය නැතහොත් සතුරා ලෙස සලකන්නේ රාජ්‍යය යි. මෙම පරස්පරය නිසා ‘පොදු යහපත’ (Common Good) යන අදහසේ ‘පොදු’ සහ ‘යහපත’ යන්න යළි නිර්වචනය විය යුතු ය. මෙහිදී, ‘යහපත’ යන්න බොහෝවිට විග්‍රහ කරන්නේ ආධිපත්‍යයික හෝ රාජ්‍ය විඥාණය යි. සෑම රාජ්‍යයක්ම යහපත වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අනෙක් පසින්, ‘පොදු’ යන්නට එරෙහි දෙයක් ලෙසින් ආධිපත්‍යය සැලකෙයි. වඩ වඩා මෙම ආධිපත්‍යයන්ගෙන් නිදහස් වීම ‘පොදු බවේ’ සාරය ලෙසින් නිර්වචනය වෙයි. ආධිපත්‍යයන්ගෙන් සහ රාජ්‍ය බලපෑමෙන් නිදහස් වීම යනු, මේ යුගයේ ‘පොදු යහපතයි’.

            විනෝදයට ඇති මිනිසුන්ගේ සම්බන්ධය රැඩිකල් ලෙස ”පසු- ධනවාදය” නැතහොත් ‘පශ්චාත්-නූතන ධනවාදය’ වෙනස් කර ඇති නිසා බොහෝ විට තමන්ට ‘අතිරික්ත-විනෝදයක්’[surplus enjoyment] ලැබේ යැයි අනුමාන කරන තැන්වල ‘පොදු බව’, ‘පොදු යහපත’ ඇතැයි මිනිසුන් උපකල්පනය කරති. මෙම උපන්‍යාසය දේශපාලන න්‍යායට දිගු කළ විට අපට ලැබෙන චිත්‍රය අප හිතනවාට වඩා බිහිසුණු ය. ඉන් අදහස් වන්නේ, පොදු යහපත යනු ‘පොදු විනෝදයක්’ (Collective Enjoyment) ලෙසින් ගැනීමයි. ලංකාවේ මාසික වැටුප් ලබන මිනිසුන් රට වසා මිනිසුන් ආරක්ෂා කරන්න යනුවෙන් බෙරිහන් දෙන විට, ඉන් ඔවුන් අදහස් කරන්නේ ‘පොදු යහපත’ යනු වැටුප් ලබන මිනිසුන් පමණක් විඳින ‘සාමූහික විනෝදය’ පොදු දෙයක් බවයි. නමුත් වැඩ කරන ජනයාගෙන් 65% කට මෙම පොදු බව පුද්ගලික අදහසකි. රජය කළ යුතු වන්නේ, මේ අයගේ වැටුපෙන් අඩක් අඩු කොට ඊළඟ මස සිට ගෙවා ඉන් ඉතිරි කර ගන්නා මුදලින් දුප්පතුන්ට රු.5000 හෝ දීමනාව ගෙවීමයි. මාසික වැටුප්ලාභීන් එසේ නො ලබන අයට වඩා ‘අතිරික්ත-විනෝදයක්’ විඳින අතර එම අතිරික්ත විනෝදය මඟින් සමාජය සංවිධානය වීම තහවුරු කළ යුතු යැයි ඔවුහු ප්‍රකාශ කරති. නමුත් අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ ‘දේශපාලන-ආර්ථිකය’ විසින් අපට පෙන්වා දෙන්නේ රටට මුදල් සොයා දෙන අයගෙන් මෙම මාසික වැටුප්ලාභීන් යැපෙන බව ය. ඒ අර්ථයෙන්, ඔවුහු පරපුට්ටන් ය. නමුත්, අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන අය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන සංවිධානයක් නැති නිසා ඒ අය නිහඬ ය. ඒ නිහඬ  බවේ විරෝධාකල්පය අප මඟින් නිරූපණය වෙයි.

            මනෝවිශ්ලේෂණය නම් විෂය අප භාවිතා කරන්නේ, ඉහත වරප්‍රසාදිත මාසික වැටුප් ලබන පරපුට්ටන් පන්තිමය වශයෙන් පහළ පන්තීන් සූරා කා ලබන ‘අතිරික්ත විනෝදය’ විචාරය කරන්නට මිස මිනිස් ස්වභාවය යනු අර්ථය ඇති තැනම විනෝදයත් ඇති ය යන දෘෂ්ටිවාදය තහවුරු කිරීමට නොවේ. මිනිස් ස්වභාවය ස්වභාවික කිරීම මනෝවිශ්ලේෂණ කාර්යයක් නොවේ. එයට ඇත්තේ, විශ්ලේෂී කාර්යයකි. හැමෝම කුමන හෝ විනෝදයක් විඳිනවා යනුවෙන් ගොඩනඟන ප්‍රවාද යනු, අන්ත තක්කඩි සංස්ලේෂණ වාදයකි. මනෝ සංස්ලේෂණය යනු, මාසික වැටුප්ලාභියාගේ ගර්හිත විද්‍යාවයි. ලැකාන් හෝ ජිජැක් හෝ කුමන ආකාරයක සුදු ජාතිකයෙක් හෝ මනෝ විශ්ලේෂණය හරහා ‘අතිරික්ත-විනෝදය’ උත්තම නො කරන අතර එය තදින් විශ්ලේෂණය කර විචාරය කර නිශේධනය කරයි. අපගේ යුගයේ විලාසිතාවක් වන්නේ, මර්ධිතයා තම මර්ධනය මර්ධකයාගේ කතිකාව හරහා නිදහසක් හෝ විමුක්තියක් ලෙස දැකීමයි. අපගේ යුගයේ දී වාම චින්තනයට ඇති රැඩිකල් අභියෝගය වන්නේ, පීඩිතයා තම මර්ධකයාව විමුක්තිකාමියෙක් ලෙස දැකීමයි. එනම්, අනන්‍යතා දේශපාලනයේ විපරිත අවකාශය යි.

            ඉහත න්‍යායික ප්‍රවේශය මඟින් අපට ලංකාවේ මිනිසුන් කොවිඩ් වෛරසයට දක්වන ආත්මීය ස්ථාවර දෙකක් පෙන්වා දිය හැකි ය. එකක්, ‘වෛරසය’ හරහා සමාජයේ සිදු වෙමින් යන ධ්‍රෑවීයකරණය හිස්ටෙරිකකරණය කිරීමයි. මේ තත්වය ලංකාවේ වෘත්තිකයන්- සෞඛ්‍ය සේවකයන්, මාධ්‍යවේදීන්, තාක්ෂණවේදීන්, විපක්ෂ දේශපාලකයන් මඟින් නිරූපණය වෙයි.

            මේ අය විසින් මාධ්‍ය හරහා ‘වෛරසය’ පිළිබඳ තදබල භීතියක් ප්‍රචාරය කරයි. මින්, සාමාන්‍ය මිනිසා අඥාන ලෙස වෛරසය ගැන භීතියට පත් වන අතර එය ප්‍රජාව තුළ පැතිර යන්නේ පාපී මිනිසුන්ට වැළඳෙන රෝගයක් ලෙසිනි. වෘත්තිකයන් සාමාන්‍ය මිනිසාව රෝගයෙන් ආරක්ෂා කිරීමට භීතියට පත් කරන අතර එම පණිවිඩයේ කණපිට පැත්ත ඔවුන්ට සම්ප්‍රේෂණය වෙයි. සාමාන්‍ය ජනයා බුද්ධිමතාගේ ඛේතය විඛේතනය කරන්නේ වෛරසය පව්කාරයන්ට වැළඳෙන රෝගයක් ලෙසිනි. ඒ නිසා, වෛරසය වැළඳුණු කිසිවෙක් එය තම අසල්වැසියාට හෝ අනෙකාට නො කියා සිටීමෙන් අතිරික්ත විනෝදයක් ලබයි. එවිට, සිදු වන්නේ වෛරසය ආසාදනය වී බොහෝ කාලයක් යනතෙක් එය වාර්තා නො කර සිටීමට සාමාන්‍ය මිනිසා පෙළඹීමයි. මරණ අනුපාතිකය ඉහළ යාමට එක හේතුවක් වන්නේ, මහජනයාගේ ගැලවුම්කාරයන්ගේ කතිකාව විසින්ම ගොඩ නඟන අතිරික්ත විනෝදය යි. ‘රජය’ මාධ්‍ය යම්කිසි නියාමනයකට ලක් නො කිරීම නිසා වෘත්තිකයන්ගේ අසාමාන්‍ය භීතිය හරහා මහජනයා වැඩි වැඩියෙන් වෛරසය නිසා මිය යයි.

            සාමාන්‍යයෙන්, කොවිඩ් මරණ ගැන සිවිල් මතය වන්නේ මරණ ප්‍රමාණය වැඩි වීමට රාජ්‍ය යාන්ත්‍රණය සහ ආණ්ඩුවේ තීන්දු ගැනීම අතර සෘජු සම්බන්ධයක් ඇති බවයි. අපගේ අනුභූතික නිරීක්ෂණ අනුව මෙම සිවිල් මතය සැබෑ ජීවිතයේ දී තීරණාත්මක ලෙස පරස්පර අදහසක් ජනිත කරයි. මේ සඳහා, අප සංවිධානයේ සාමාජිකයෙකුගේ පුද්ගලික අත්දැකීමක් ඇති පහත ඇමුණුම කියවීමෙන් ඔබට අවබෝධ කරගත හැකි ය.

            රෝගය නිසා මිය යන පිරිස වඩ වඩා වැඩි වීම සෘජු ලෙස සම්බන්ධ වන්නේ, රෝගීන්ට රෝහල් තුළ ප්‍රතිකාර කරන කළමනාකරණය කිරීමේ දුර්වලතා බව අපගේ හැඟීමයි. මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල දී මෙම කටුක ඇත්ත ප්‍රකාශයට පත්වන්නේ නැත. රෝගයේ සමාජ ව්‍යාප්තිය සහ මාධ්‍ය ප්‍රචාරණය අතර පරස්පරතා දකින්නට ලැබෙන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

 

1.නිවසේ දී රෝගීන් කළමනාකරණය කිරීමේ දී මාධ්‍ය මඟින් කරන අධිකතර බිය කිරීම් නිසා රෝගීන් වඩ වඩා බියට පත් වෙයි. කොවිඩ් රෝගයේ එක්තරා මොහොතක දී විෂාදය හට ගන්නා අතර එවැනි තත්වයක දී මේ මාරාන්තික බිය වැද්දීම නිසා ජීවිතය වෙනුවෙන් සටන් කිරීමේ ශක්තිය රෝගීන්ට අහිමි වෙයි. මෙහිදී, මාධ්‍ය සඳහා වාරණයක් සහ නියාමනයක් සහ ප්‍රවෘත්ති බලධාරියෙක් අවශ්‍ය ය. නමුත් මහජන සෞඛ්‍ය සේවකයාගේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා වූ පිරිස පිළිබඳ ආණ්ඩුවේ ආකල්පය උදාසීන ය. නිවසේ සිට රෝග කළමනාකරණය කිරීමේ දී ‘භාෂාව’ තීරණාත්මක තැනක් ගනී. ලංකාවේ දී සිදු වන්නේ, භාෂාව හසුරුවන ආකාරය අනුව රෝග ලක්ෂණ සහ රෝගය පටලවා ගැනීමයි. රෝගය නිවස තුළ සිට කළමනාකරණය කිරීමේ දී පහත සාධක කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.

 

[a]රෝගය වැළදී ඇත්නම් රුධිර පරීක්ෂණයක් හරහා CRP අගය හඳුනා ගන්න. අවස්ථා දෙකක දී CRP අගය අධිකතර ලෙස වැඩි වන්නේ නම් රෝහලකට යා යුතු ය. සෙම සෙම කියා කෙඳිරි ගාන්නේ නැතිව පපුවේ X ඡායාරූපයක් ගන්න. එවිට, පෙණහල්ල ආසාදනය වී ඇතිදැයි සොයා ගත හැකි ය. 

 

[b] නිවස තුළ රෝගය කළමනාකරණය කිරීමේ දී රෝගියා සහ වෛද්‍යවරයා අතර පැහැදිලි භාෂා සම්බන්ධයක් ගොඩනඟා ගත යුතු ය. වෛද්‍යවරයෙකුගේ සහාය මුල් අවස්ථාවේ දී රෝගියා ලබා ගන්නේ නම් රෝගය උත්සන්න වන්නේ නැත. ‘භාෂාව’ නිවැරැදිව හසුරවන්නේ නම්, වෛද්‍යවරයා සහ රෝගියා අතර ජංගම දුරකතනයක් තිබීම සෑහේ.

 

[c] අපගේ යෝජනාව වන්නේ, රෝගය උත්සන්න වීමක් (නිදන්ගත රෝග සාධක නිසා) නැතිනම් රජයේ රෝහලකට යෑමෙන් වාසියක් අත්වන්නේ නැත යන්න ය. මන්දයත්, මෙවැනි රෝහල් තුළ රෝගියාට කරන ප්‍රතිකාරවල ගුණාත්මක තත්වය වෙනස් නො වන නිසා ය. (ඇමුණුම බලන්න) රෝගියාට කරන ප්‍රතිකාරවල ගුණාත්මක තත්වය උසස් වන්නේ, ඔබ පුද්ගලික රෝහලකට ඇතුල් වුවහොත් ය. මෙතැනදී, දුප්පතුන් සහ පොහොසත් අය අතර වෙනස විද්‍යාමාණ වෙයි. රජයේ රෝහල් තුළ රෝගියාට ප්‍රතිකාර කරන්නේ රෝගියාගේම උපස්ථායකයන්  විසිනි.

 

[d] මාධ්‍ය මඟින් රෝගීන් මිය යාම පිළිබඳව කතා කරන පණ්ඩිතයන් නො දන්නා සාධකයක් ඇත. රෝගීන් වැඩියෙන් මිය යන්නේ රාජ්‍යය විසින් තම යුතුකම් ඉටු නො කරන නිසා නොව රෝගය රෝහල තුළ රෝහල් අධ්‍යක්ෂවරයා සහ විශේෂඥ වෛද්‍යවරයා කළමනාකරණය නො කරන නිසා ය. රජයේ රෝහල් තුළ ‘රෝගය’ නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් රෝගී මරණ සංඛ්‍යාව අඩු වීමට නියමිත ය.

 

[e] යුද්ධයක දී සොල්දාදුවන් මෙන් වසංගත තත්වයක දී වෛද්‍යවරුන් සහ සහායකයන් තම ජීවිතය නො සලකා ක්‍රියා කළ යුතු ය. එය, ඔවුන්ගේ රාජකාරිය යි. ලංකාවේ සිදුවී ඇත්තේ, සමාජ ඉණිමඟේ ආර්ථිකව සහ සමාජීයව ඉහළ යන්නන් පිරිසක් පසුගිය දශක දෙක තුළ වෛද්‍යවරුන් බවට ආදේශ වීමයි. ඔවුන් මෙම වසංගත රෝගය උත්සන්න වන මොහොතේ ඉන් පලා යමින් සිටින අතර රෝගී මරණ වැඩි වන්නේ මෙම මුඛ්‍ය සාධකය නිසා ය.

 

[f] රෝගය සුව කිරීම පදනම් වන්නේ, වෛරසය ඉලක්ක කොටගෙන නොව ඉන් ඇති කරන සංකූලතාවයන් පාලනය කිරීම තුළ ය. බොහෝ දෙනා හිතන්නේ, ‘වෛරසය’ නිසා රෝගීන් මිය යන බව ය. නමුත්, එසේ මිය යන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය එයටම එරෙහිව යාම නිසා හට ගන්නා සංකූලතාවයන් නිසා ය. එම නිසා, වෛද්‍ය විද්‍යාව මේ වන විට මේ සඳහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන ඇති අතර ඒ සඳහා දැනුවත් විය යුත්තේ විශේෂඥවරුන් මිස PHI ලා නොවේ. ඔවුන් කරන්නේ, රෝගීන් බියවද්දා රෝගීන්ගේ මානසික සෞඛ්‍යය පහළට දැමීමයි.

 

[g] රට ලොක්ඩවුන් කිරීමෙන් මිය යන සංඛ්‍යාව අඩු කළ නො හැකිය. වෛරසය සැබෑවකි. තවම, ඒ සඳහා සංකේත ලෝකය තුළ විසඳුමක් (පරිපූර්ණ එන්නතක්) නො මැත. ඒ නිසා, රෝගයට නිරාවරණය වීම හැර ජනගහණයට වෙන විකල්ප නො මැත. ලබාදෙන එන්නත් සංඛ්‍යාව සහ එය ලබා නොගත් ප්‍රතිශතය අතර පරතරය අඩු කිරීමෙන් හැර මිය යාමට වෙන විකල්ප නැත. ලොක්ඩවුන් කර නැවත විවෘත කළ පසු නැවත වටයකින් යළිත් රෝගීන් ගණන වැඩි වීම හැර වෙන විකල්පයක් අපට හමුවන්නේ නැත.

 

[h] වෛරසය නිසා ‘සිවිල් සමාජය’ ඒ පිළිබඳව තම තමන්ගේ මත හරහා මාස්ටර්වරයාව (ජනාධිපතිවරයා) අනවරත ප්‍රශ්න කිරීමකට ලක් කරමින් සිටිති. එය, කෝවිඩ් රෝගය රට තුළ හිස්ටීරියානුකරණය කිරීමකි. අනෙක් පැත්තෙන්, සාමාන්‍ය මහජනයාට වෛරසය ගැන දැනුමක් නැති නිසා ඔවුන් ඒ ගැන තමාටම ආවේණික පුද්ගලික අර්ථ තනාගෙන ඇත. එමඟින්, රට තුළ කෝවිඩ් වෛරසය සයිකෝසිකකරණයට ලක් වී ඇත. තත්කාලීන බුද්ධිමතෙකුට සිදුවී ඇත්තේ, තම විශ්ලේෂී පිහිටුම ඉහත කතිකා දෙක මැද පවත්වාගෙන යාම පමණි. කෝවිඩ් වලට පෙර පැවති තත්වය යනුවෙන් කිසිවක් යළි අපට මුණ නො ගැසෙනු ඇත.

 

2. කෝවිඩ් රෝගයේ වසංගත ස්වරූපය විසින් උගන්වන වැදගත් පාඩමක් ඇත. එනම්, වෛද්‍ය අධ්‍යාපනය සඳහා තේරෙන පුද්ගලයන්ගේ පන්ති ස්වභාවය යි. වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය මුඛ්‍ය සාධකය වන්නේ, මධ්‍යම පන්තික පවුල් පසුබිමයි. වෘත්තියේ කරුණාව, සහකම්පනය එන්නේ පන්තියෙන් මිස හැඟීමෙන් නොවේ. අ.පො.ස උසස් පෙළ විභාගයේ වාස්තවික ස්වභාවය නිසා ඉන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා තේරෙන බහුතරය (විශේෂයෙන්, පසුගිය දශකය තුළ) එන්නේ ගම්බද සහ නගරබද පීඩිත පවුල් වලිනි. ඒ අය, උන්නතිකාමීන් මිස වෛද්‍යවරුන් නොවේ. මේ නිසා, රටේ උසස් අධ්‍යාපනය මධ්‍යම පන්තියට සීමා විරහිතව විවෘත කළ යුතු ය. ලංකාවේ පන්ති සටන ඇති වන්නේ එවිට ය. වසංගත රෝගය නිසා රෝගීන් වැඩිපුර මිය යන්නේ වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථායකයන්ගේ නො සැලකිල්ල නිසා ය. මුරුත්තේටුවේ ආනන්ද වැනි භික්ෂූන්ට මේ සාධක ගැන කිසිදු ඥාණයක් නැත.

 

3. උසස් වෛද්‍ය අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය යනු නොමිලේ සපයන දෙයක් නොවේ. ඒ සඳහා ආයෝජනය කරන්නේ, මහජන බදු මුදල් ය. ඉස්සර, මේ මුදල් උත්පාදනය කළේ වතු දෙමළ ජනයා ය. දැන්, එය කරන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සහ දේශීය ව්‍යාපාරිකයන් ය. ජනතා විමුක්ති පෙරමුණ මේ බදු ගෙවන්නන්ගේ ආයෝජන වල ගුණාත්මකභාවය වෙනුවෙන් පෙනී සිටින්නන් නොවේ. ඔවුන් යල්පැන ගිය සමාජ සාරධර්මවල කවන්ධයකි. 

Deepthi kumara Gunarathne

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++=

ඇමුණුම අංක 01

 

            මගේ මව 2021.08.18 දින Covid-19 වෛරසය ආසාදනය වී මිය ගියා ය. ඇයට වෛරසය ආසාදනය වුණු 2021.08.01 වන දින සිට ඇගේ ආදාහන කටයුතු සිදු වුණු 2021.08.17 දින දක්වාම මම සෞඛ්‍ය සේවය සමඟ ද, ඊට බද්ධව පවතින රාජ්‍ය සේවයේ වෙනත් අංශ සමඟ ද මිත්‍ර වුණෙමි, ගැටුණෙමි. මෙම යුගයේ දී අපි හැර වෙනත් කිසිවෙකු කතා නො කරන රාජ්‍ය සේවයේ යහපත්/ අයහපත් පැති දෙකම මම වින්දෙමි. අම්මා මිය යාමට ආසන්නව පදිංචි වී සිටියේ හොරණ නගරයට ආසන්නව පදිංචි වී සිටි මගේ සොයුරියගේ නිවසේ ය. ඇයට හිසේ කැක්කුම, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව යන රෝග ලක්ෂණ තිබුණු නිසා 2021.08.01 වන දින මම හොරණ Medi-help පුද්ගලික වෛද්‍ය ආයතනයෙන් ඇයට රැපිඩ්-ඇන්ටිජන් පරීක්ෂණයක්  සිදු කළෙමි. එහි දී, ඇය covid-19 වෛරසයේ ආසාදිතයෙකු බව හදුනා ගැනීම නිසා ඇයව හොරණ මූලික රෝහල වෙත යොමු කරන ලදී. එතනින්, ඇයව රෝහලේ වාට්ටු අංක 16 වෙතට ඇතුලත් කරන ලදී. 16 වාට්ටුවට ඇතුලත් කරන ලද කිසිදු රෝගියෙකුගේ ආහාර මෙන්ම වෙනත් කිසිදු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් හොරණ රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් ගෙන යාමට අවසර නැත. බැලූ බැල්මට පෙනෙන්නේ මෙය හොඳ තීරණයක් ලෙසිනි. නමුත් මෙම රෝගීන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන යාමට අවසර දී තිබුණේ හොරණ රෝහලේ මෝචරිය (මිනී කාමරය) අසළ ගේට්ටුවෙනි. මම අම්මාට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ගිය හැම අවස්ථාවකදීම මෝචරිය පරිශ්‍රය තුළ කොහේ හෝ පශ්චාත් මරණ පරීක්ෂණයකි; හඬා වැටෙන මිනිසුන් හා ගැහැණුන් ය. මම එම ගේට්ටුවෙන් ඇතුල් වූයේ ම බිඳුනු සිතකිනි; කඩා වැටුණු මානසිකත්වයෙනි. 16 වාට්ටුව පොලිතීන් යොදා ආවරණය කර තිබුණු සෑම ඇඳකම ගානේ රෝගීන් දෙදෙනා බැගින් ද, බිම ද, පුටුවල ද රෝගීන්ගෙන් පිරී තිබූ වාට්ටුවකි.

            රැගෙන යන බඩු භාණ්ඩ ලබා ගැනීමට හෝ ඒවා අදාළ රෝගියා වෙත ළඟා වූවා දැයි දැන ගැනීමට ක්‍රමයක් නැත. අසාධ්‍ය තත්වයෙන් පසු නො වූ තරුණියක් මගින් මම අම්මාගේ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ඇය වෙත යැවීමි. 16 වාට්ටුවේ දින තුන ප්‍රතිකාරවලින් පසු ඔවුන් අම්මාව හොරණ ශ්‍රී-පාලි මණ්ඩපයේ පිහිටුවා ඇති අතරමැදි රෝහල වෙත යවා තිබුණි. එහි බාහිර ආරක්ෂාව සැලසුවේ යුධ හමුදාව විසිනි. ප්‍රධාන දොරටුවට එළියෙන් මේසයක් තබා ආහාර හා අනෙකුත් ද්‍රව්‍යයන් තැබීමට එහි පහසුකම් සලසා තිබුණි. අම්මා දින තුනක් එහි සිටියා ය. තෙවන දින, එනම් 6 වැනිදා ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවය මත නැවත හොරණ රෝහලේ 16 වාට්ටුවට ඇතුළත් කර තිබුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී, ඇයට හටගත් රෝගී තත්වය උත්සන්න වූ බැවින් 9 වැනි දා 17 වාට්ටුව වෙත ඇතුළත් කර තිබුණි. 17 වාට්ටුව පිහිටා තිබුණේ, 16 වාට්ටුව අයත් ගොඩනැගිල්ලේ ම උඩු මහලේ ය. 9 වෙනිදාට අම්මා ළඟ නැවතීමට කෙනෙකු එවන මෙන් රෝහලෙන් අක්කාට දැනුම් දී තිබුණි. ඒ අනුව, 9 වෙනිදා මගේ සහෝදරිය අම්මා ළඟ නැවතීමට එහි ගියා ය. ඒ අතර කාලය තුළ ද මම දියර වර්ග මෙන්ම බෙහෙත්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම නො කඩවා සිදු කළෙමි. එකදිගටම අම්මා ළඟ රැඳී සිටීමට ඇති අපහසුව නිසා මම 13 වැනි දින අම්මා ළඟ නැවතීමට ගියෙමි. නිදිවරාගෙන සිටි නිසාත්, හිටගෙන හා පුටුවල වාඩි වී සිටීමෙන් කකුල් එල්ලාගෙන සිටීමට සිදු වූ නිසාත්, අක්කාගේ කකුල් දෙකම ඉදිමී තිබුණි. 17 වාට්ටුව සම්පූර්ණයෙන්ම මුද්‍රා තබන ලද වාට්ටුවකි. එවිට, ඇතුල්වීමට දොරවල් දෙකක් පසු කළ යුතු ය. පළමු දොර ඇරගෙන ඇතුළු වූ පසු මුහුණට මුහුණ හමු වන දොරෙන් පිවිසිය හැකි කාමරය වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත වෙන් කර ඇත. ඉන්, වම්පසට හැරී මද දුරක් ගමන් කළ විට හමුවන දොරෙන් වාට්ටුවට ඇතුල් විය හැකි ය. 

                13 වැනි දින මම මගේ මව ළඟට යන විට වාට්ටුවේ ඇති ඇඳන් 20 ම රෝගීන්ගෙන් පිරී තිබුණි. ඉන්, සියලුම දෙනා වයස අවුරුදු 50 ට නම් වැඩි රෝගීන්ය. මම වාට්ටුවට ගොස් ඇවිත් යාමට මත්තෙන් ඉන් රෝගීන් තිදෙනකු මිය ගියේය. මෙම මළ සිරුරු රැගෙන ඒමට පැමිණියේ (පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් ඇඳ) එක් රෝහල් සේවකයෙකු පමණි. (ඇය තරුණියක් බව මම පසුව දැන ගතිමි) ඇඳේ සිටින මියගිය තැනැත්තා හෝ තැනැත්තියව ට්‍රොලිය මත අතුරා ඇති පොලිතීන් කවරයට දමා ගැනීම ඉතාම අපහසු ය. එක් රෝහල් සේවකයෙකු මෙය කරන්නේ කෙසේ ද යන්න පුදුමයක් වූවත් වැඩිවෙලා එම පුදුමය මා තුළ තිබුණේ නැත. ඇය මෙම මළ සිරුරු පොලිතින් කවර වලට බහාලීමට අපෙන් උදව් ඉල්ලා සිටියා ය. රෝගීන් බලා ගැනීමට සිටි අය කිහිපදෙනෙකු විටින් විට මෙම මළ සිරුරු පොලිතීන් මළු තුළ බහාලීමටත්, පිටතට ප්‍රවාහනය කිරීමටත් ඇයට උදව් කරන ලදී. 17 වාට්ටුවේ කෙළවරට වන්නට පොදු නාන කාමරය විය. එහි covid වැසිකිළියක් ද, කොමඩ් වැසිකිළියක් ද , නාන කාමර 2ක් ද විය. රෝගීන් සහ අපි සියලුමදෙනා පොදුවේ භාවිතා කළේ, මෙම නාන කාමරය යි. මුත්‍රා බට දමන ලද රෝගීන්ගේ මුත්‍රා මෙම වැසිකිලි දෙකට දමයි. මුත්‍රා බට නො දැමූ රෝගීන්ගේ ඔක්සිජන් බට ගලවා, ඒවා ඔක්සිජන් සිලින්ඩර වෙත සවිකර සේලයින් බෝතල් ද එලාගෙන, රෝගියාව රෝද පුටුවල තබාගෙන නාන කාමරය වෙත රැගෙන ගියේ ද අපිම ය. සාත්තු සේවක/ සේවිකාවන් තොග වශයෙන් බඳවා ගැනීම් කළ ද කිසිදු සාත්තු සේවක/ සේවිකාවක් මෙම කිසිදු කාර්යයක් සඳහා වාට්ටුව වෙත පැමිණියේ නැත.

               වෛද්‍යවරුන් සහ හෙදියන් පූර්ණ වශයෙන් මුද්‍රා තබන ලද වීදුරු කාමරයක් තුළට වී සිටි අතර අපිට ඔවුන් හා සම්බන්ධ වීමට ඉඩ ලැබුණේ මයික්‍රෆෝනයක් මඟිනි. වාට්ටුව බාර විශේෂඥ වෛද්‍යවරයා, මම අම්මා ළඟ සිටි දින 5 තුළ තෙවතාවක් පැමිණි අතර කිසිදු අවස්ථාවක රෝගීන් පරීක්ෂා කර බැලීමට වාට්ටුව තුළට පැමිණියේ නැත. මම 18 වාට්ටුවේ සිටි දින 5 තුළ වාට්ටුවට වෛද්‍යවරුන් ඇතුළු වුණේ (පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් ද හැඳ) තුන් වතාවක් පමණි. අවශ්‍ය බෙහෙත් වර්ග ලබා දීමට පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් හැඳ හෙදියන් දෙදෙනෙකු සෑම දිනයකම උදේ ද සවස ද වාට්ටුවට ඇතුල් වෙයි. මවට ලබා දී තිබු සේලයින් බෝතල් මාරු කිරීම, මුත්‍රා මැනීම, දියර වර්ග මැන ලබා දීම, ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීම, ධුමායනය කිරීම ආදී සියලුම දේ කරන්නට වූයේ අපටම ය. දිනක් රාත්‍රියේ මගේ මවගේත්, මවට එහා පැත්තේ ඇඳේ උන් මවගේත් සේලයින් සපයන යන්ත්‍ර දෙකම අක්‍රීය විය. ඒ පිළිබඳව මම පාන්දර 2 ට පමණ රාත්‍රී රාජකාරි හෙදියන් දැනුවත් කළෙමි. නමුත් ඔවුන් උත්සාහ කළේ, අප ලවාම එම යන්ත්‍ර නැවත පණ ගැන්වීමට ය. එය අසාර්ථක වූ පසු ඔවුන් පැවසූයේ උදේ ඒ පිළිබඳව ක්‍රියා කළ හැකි බව ය. ඒ අනුව, සේලයින් යන්ත්‍ර නැවත පණගැන්වූයේ උදේ 7ට පමණ බෙහෙත් ලබා දීමට පැමිණි හෙදියන් විසිනි. එහෙත්, කිසිදු වෛද්‍ය කාර්යමණ්ඩලයේ කෙනෙකු වාට්ටුවට ඇතුළු වූයේ නැත. වාට්ටුව පිරිසිදු කිරීම හා එහි එකතු වෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට සිදු වූයේ ද අපට ය. එය අපේම කාර්යයක් විය. වෙන වෙනම දමා ඇති සේලයින් හිස් බෝතල්, ඉන්ජෙක්ෂන්, පුලුන්, පොලිතීන්, ආහාර (ඉඳුල්) කළුපාට පොලිතින් බෑග්වල බහා ඒවායේ කටවල් ගැටගසා දොරෙන් එළියේ තැබිය යුතු ය. වාට්ටුව පිරිසිදු කිරීමට කිසිදු රෝහල් සේවකයෙකු වාට්ටුව තුළට පැමිණියේ නැත. දින 2ක් පමණ අපි වාට්ටුවේ ගත කරන විට, අපි ද යම් යම් දේ ඉගෙන ගත්තෙමු.

                    අවසන් වූ සේලයින් බෝතලය ගලවා ඉවත් කොට අලුත් සේලයින් බෝතලයක් සවි කිරීමේ දී ඇතැම් විට වායු බුබුලක් සේලයින් නළය තුළ රැඳෙයි. එවිට, යන්ත්‍රය අමුතු හඬක් පිට කරයි; අක්‍රීය වෙයි. එවිට, රෝගියාගේ අතට සවිකර ඇති කැනීටරයෙන් සේලයින් නළය ගලවා, නළය බිමට හරවා සේලයින් ගලා යෑමට සැලැස්වීමෙන් මෙම වායු බුබුල ඉවත්කර ගත හැකි බව අපි දැන ගත්තෙමු. යන්ත්‍රය වෙත සවිකර ඇති කොළ පාට සංඥා විදුලි එළියක් නිකුත් කරන සංවේදකය සවිකළ යුත්තේ, සේලයින් බින්දුව බින්දුව රූටා පහළට වැටෙන ස්ථානයේ බව ද දැන ගත්තෙමු. යන්ත්‍රය ක්‍රියා කරන්නේ එවිට ය. ධුමායනය කිරීමේ දී ඔක්සිජන් ලබා දී ඇති ටෑන්ක් එක ගලවා ධුමායනය කරන එන්කි එක රෝගියාට පැළඳිය යුතු ය. මෙහිදී, ඔක්සිජන් නොමැති බැවින් රෝගියා හුස්ම ගැනීමේ අපහසුතාවට ලක් වෙයි. තම බිරිඳව බලාගෙන  අම්මාට එහා ඇඳේ සිටි මල්ලි කෙනෙකු ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් එම ඔක්සිජන් නළය එම එන්කි එකෙන් ගලවා ධුමායනය කරන එන්කි එකේ සිදුරක් තුළින් ඇතුල් කිරීම ආරම්භ කර තිබුණි. අපි ද එය අනුගමනය කළේමු. මෙය කිසිවෙකු විසින්  අධීක්ෂණය කළේ නැත. 15 වන දින අම්මාගේ සීනි මට්ටම 450 ඉක්මවා තිබුණි. අම්මාට දියවැඩියාව තිබුණේ නැත. දියර වර්ග පමණක් ලබා දීමට දී තිබූ වෛද්‍ය නිර්දේශය නිසා ඇයට දිගින් දිගටම අපි පලතුරු ජූස් වර්ග දී තිබුණි. එයින් අපි වලකින ලද්දේ ස්වේච්ඡාවෙනි. සීනි මට්ටම වැඩි වූ විට ලබා දිය යුතු ආහාර හෝ දියරමය ආහාර වට්ටෝරුවක් හෝ ඒ පිළිබඳ කිසිදු උපදෙසක් අපිට ලැබුණේ ද නැත. ඒ පිළිබඳව වාට්ටුව තුළට පැමිණි හෙදියකගෙන් විමසූ විට ලැබුණු පිළිතුර වූයේ, උරහිස් අකුලා පෙන්වීම පමණි. 

                 17 වැනි දින වන විට, මගේ කකුල් බිම තැබීමටවත් නො හැකි ලෙස ඉදිමී තිබුණි. මම අක්කාට පැමිණෙන්න යැයි දුරකථනයෙන් දැනුම් දුන්නෙමි. 17 වැනි දින සවස 4.30 ට පමණ අම්මාගේ ඔක්සිජන් මට්ටම 90 සිට 80 දක්වා අඩු විය. ඇය වේගයෙන් ගැහෙන්නට විය. හුස්ම ගැනීමට නො හැකිව මහත් වේදනාවක් විඳිනු මම දුටුවෙමි. විනාඩි කිහිපයකින් යථා තත්ත්වයට පත් වුව ද, සවස 5 වන විට තෙවතාවක්ම මෙම තත්වයට ඇය මුහුණ පෑවාය. මම මයික්‍රොෆෝනය හරහා මේ පිළිබඳව එහි සිටි වෛද්‍යවරයා දැනුවත් කළෙමි. ඔහුගේ පිළිතුර වූයේ, කිරීමට කළ හැකි උපරිම දේ කළ ඇති බවත් හිත හදාගන්නත් ලෙසින් ය. මගේ පැමිණිල්ලෙන් පසුව ද කිසිදු වෛද්‍යවරයෙකු මව පරික්ෂා කළේ නැත. අක්කා සවස 6.30 ට පමණ පැමිණි පසු මම මෙම තත්වය පිළිබඳව ඇයව දැනුවත් කළෙමි. රෝහලෙන් මම පැමිණියේ මගේ නිවසට ය. ඒ වන විට, පූර්ණ දින 5ක් මාස්ක් එකක් පමණක් පැළඳ සිටි මම වෛරසය වෙත නිරාවරණය වී තිබුණි. කිසිදු නිරෝධායන හෝ වෙනත් කිසිදු ක්‍රියාවලියකට මා භාජනය කළේ නැත. මම මගේ නිවසේ වෙනම කාමරයක් වෙන්කර ගෙන එහි උළුවස්ස ඝන ඉටි රෙදි යොදා ආවරණය කර ගතිමි. මම නිවසින් පිට තිබූ අතහැර දමන ලද වැසිකිලිය සෝදා පිරිසිදු කොට එය පරිහරණය සඳහා වෙන්කරවා ගත්තෙමි. මට මටත් වඩා බය තිබුණේ මගේ නිවසේ අනෙකුත් සාමාජිකයින් පිලිබඳව ය. එදිනම, රාත්‍රී 10:30 ට පමණ අක්කා මට දුරකතනයෙන් කතා කොට අම්මාට නැවත අමාරු වූ බව දැනුම් දුන්නාය. 

                ඉන්පසු රාත්‍රී 11.30 ට පමණ නැවත මට ඇමතූ සහෝදරිය අම්මා මිය ගිය බව දැනුම් දුන්නාය. ඉන්පසු දින, රෝහල් පොලිසියෙන් අදාළ පොලිස් ස්ථානයට දැනුම් දී තිබූ අතර පොලිසියත් සමග අපි නැවත රෝහල වෙත ගියෙමු. පළමුව, අධිකරණ වෛද්‍යවරයාගෙන් වාර්තාවක් ලියා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා, අපි හමුවීමට වෛද්‍යවරයාට අවශ්‍ය වූ අතර අම්මාගේ ලිපි ගොනුව පරික්ෂා කිරීමේ දී මුලින් ලබාගත් රැපිඩ්-ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව අස්ථානගත වී තිබුණි. නැවත වරක්, මම මෙඩි හෙල්ප් ආයතනය වෙත ගොස් එම වාර්තාවේ පිටපතක් ලබා ගතිමි. නැවත ලේඛන පරීක්ෂා කිරීමේ දී ඇතුළත් කිරීමේ වාර්තාවේ අම්මාගේ නම එළියට ලියා තිබූ ලෙසින් එය නිවැරදි කිරීමට OPD එකටත්, එතනින් නැවතත් වාට්ටුවටත් යාමට මට සිදුවිය. මහත් පරිශ්‍රමයකින් මෙම අධිකරණ වෛද්‍ය වාර්තාව ලබා ගැනීමෙන් පසු එය ද රැගෙන කොරනල්වරයා (හදිසි මරණ පරීක්ෂක) හමු වීමට මට ඔහුව සොයා යෑමට සිදු විය. කොරනල්වරයා ඉතාම යුහුසුලුව අපගේ කාර්යය සිදු කරන ලදී. එය ද රැගෙන නැවත මම මෝචරිය වෙත පැමිණියෙමි. ආසන්නතම මල් ශාලාවකින් මිනී පෙට්ටියක් ඇනවුම් කළෙමි. මෝචරිය අසළ දී මෙම මළ සිරුර සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අත්සන සහිත වාර්තාවක් අවශ්‍ය විය. MOH කාර්යාලයට ගොස් මම ඒ බව දැනුම් දුන්නෙමි. PHI ආවේ පැය 2කට පමණ පසුව ය. ඉන්පසු, මම පොලිතින් උරයක බහා සිටි මගේ මවගේ මළ සිරුර ලෑලි පෙට්ටියක බහා හොරණ ආදාහනාගාරයට ගොසින් ආදාහනය කළෙමි. ඇයට සමු දුන්නෙමි. 

X

සටහන

 

        ඉහත ලිපියේ අඩංගු වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් ‘වෛද්‍ය චන්දන රණසිංහ’ මහතාට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි. ඊට අමතරව, ඔහු මම මැයි මාසයේ කොවිඩ් රෝගයෙන් පීඩා විඳින විට මගේ රෝගය සම්බන්ධයෙන් පූර්ණ කළමනාකරණය කරන ලදී. රෝහලකට නො ගොස් ජීවිතය බේරා ගත්තේ ද ඔහු නිසා ය. ඒ ගැන ද මම ඔහුට කෘතඥ වෙමි. 

            මැයි මාසයට වඩා කොවිඩ් සඳහා කරන ප්‍රතිකාර ක්‍රම දියුණු වී ඇති අතර එම සමහර ප්‍රතිකාර මුදල් නැති අයට ලබාගත නො හැකි ය.  උදාහරණයක් ලෙස, කොවිඩ් නිව්මෝනියාවේ අවසන් අවස්ථාවක දී යොදා ගන්නා ඖෂධයක් මේ වන විට WHO විසින් නාමගත කර ඇත. Tocilizumab (Booster Drug- Roche සමාගමේ ඖෂධය- Actemra; Sanofi සමාගමේ Ke vzara). සමහරවිට, අප පක්ෂයේ ඇමුණුම තුළ සඳහන් සහෝදරයාගේ මවගේ ජීවිතය මෙවැනි ඖෂධයක් ලබා දුන්නේ නම් බේරාගැනීමේ සම්භාවිතාවයක් තිබෙන්නට හැකි ය. ඒ අනුව, රෝගය කළමනාකරණය කිරීමට තිබෙන දෝෂ වලට අමතරව මුදල් ඇති අයට පමණක් ගැලවීමේ මාර්ගයක් ද ඇත. අපේ රටේ රාජ්‍යයට මුදල් නැති වීම තුළ PCR පරීක්ෂණ හෝ කළ නොහැකි මට්ටමකට රට ඇද වැටී ඇත. PHI ලා දන්නා ‘දේශපාලන-ආර්ථිකයක්’ නැති නිසා ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන්ද ඇති ඵලක් නැත. අනාගතයේ දී කළ යුතු වන්නේ, ‘සෞඛ්‍ය අංශය’ වඩා කාර්යක්ෂමව පාලනය කිරීමට ‘නියාමන අධිකාරියක්’ පිහිටු වීමයි. පුද්ගලික සහ රාජ්‍යය යන අංශ දෙකම මෙම නියාමන අධිකාරිය යටතට පත්කළ යුතු ය. එවිට, නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවය සඳහා මහජනයා ගෙවන බදු මුදල් වලට සාධනීය ප්‍රතිලාභ අත්වනු ඇත.

            අවසන් වශයෙන්, කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා මා අසනීප අවස්ථාවේ දී ලබාදුන් සහයෝගයට ද මම කෘතඥ වෙමි.

Deepthi

 

ඔබේ අදහස කියන්න...