- පුංචි පෙරවදන – ලංකාවේ දේශපාලනය කරන අය දිහා බැලුවම හොඳට පේන්න තියෙන දෙයක් තමයි ‘බලය’ (Power) කියන සංකල්පය ගැන ඒ අයට තියෙන අසංවේදීකම. ‘බලය’ කියන්නේ, බලහත්කාරය, තර්ජනය, බලපෑම, ආධිපත්‍යය වගේ අදහසක් (Idea) නොවේ. ‘බලය’ නිෂ්පාදනීය (Productive) දෙයකි. එය යටත් කර ගැනීම, පාලනය වගේ නිශේධනීය දෙයකුත් නොවේ. ‘බලය’ මගින් ප්‍රකාශ වන්නේ, යම්කිසි නිශ්චිත සම්බන්ධයකි (Relation). බලයට පදනමක් නැහැ. නමුත් බලය හාත්පස පැතිර යන දෙයකි. බලය ‘දෙයක්’ ද (Thing) නොවේ. එය පුද්ගලයන් අතර ඇති සබඳතාවයකි. එමඟින්, කෙනකුගේ හැසිරීම තීරණය වීමට ද හැකි ය. මිනිස්සු මේ බලය හරහා නිශ්චිත අරමුණු වලට ගමන් කරයි. ‘බලය’ කියන්නේ පුළුල් අර්ථයෙන්, නූතන සමාජයක් ඇතුලේ මිනිස්සු ආණ්ඩු-මට්ටු වෙන විදිහකි. ඒ අර්ථයෙන්, බලය නිෂ්පාදනීය යි.
බලහත්කාරය, දේශපාලන-ආර්ථිකය, දේශපාලනිකය, අධිපති මතවාදය, සමාජ සාධාරණත්වය, මර්දනය වගේ සාධක ගත්තම දේශපාලනය කරන අය වම/ දකුණ, ලිබරල්/ ජාතිවාදී, පිරිමි/ ගැහැණු වශයෙන් බෙදෙන්න පුළුවන්. නමුත් ‘බලය’ කියන සංකල්පය යටතේ මිනිස්සු වර්ගීකරණය කරන කොට එය හැම දෙනාටම පොදු ගුණාකාරයකි. සිංහල ජාතිවාදියා සහ සිංහල වාමාංශිකයා පොදු වෙන්නේ, බලය ඉදිරියේ දී ය. දෙන්නගෙම ‘පොදු සාධකය’ බලය යි. ඔවුන් එතැනදී අසමාන නැහැ.
මේ මෑතකදී, මං දැක්කා සිරිමල් කියලා කෙනෙක් දිගට හරහට ජවිපෙ විවේචනය කරනවා. එහෙම කරලා, එයා අන්තිමට වෙන කෙනෙක්ගේ මුහුණු පොතට ගිහිල්ලා බිත්තියේ මෙහෙම ලියනවා. “හරිනි දන්න දේශපාලනයක් නැත”.
මේ බිත්තියේ පුද්ගලික අයිතිකාරයා (ලක්ෂ 4ක වැටුපක් සිංහල රාජ්‍යයෙන් මාසිකව ලබා ගන්න පුද්ගලයෙකි) සිරිමල්ගේ සටහනට මෙහෙම උත්තරයක් දානවා.
“දේශපාලනය දන්නේ සිරිමල් පමණි. අනිත් අය දේශපාලනය දන්නවා ද නැද්ද යන්න සිරිමල්ගෙන් අසා දැන ගත යුතු ය. අවාසනාවකට අප අවට සිරිමල් හැර තවත් සිරිමල්ලා සිටිති”.
මේ පිළිතුර හමුවේ, සිරිමල් ලොල් වන අතර ඔහු මේ දෙය කී පුද්ගලයාව උගතෙක් නොව බුද්ධිමතෙකු ලෙස ද සටහන් කරයි.
සිරිමල් යනු, මාසික ගෙවල් කුලිය ගෙවා ගැනීමට ද නොහැකි තරම් ආදායමක් නැති කෙනෙකි. ඔහුට පාන් කියා ගැනීමට නොහැකි උත්තරයක් දෙන්නේ, ලක්ෂ 4ක පඩියක් මාසිකව ලබා ගන්නා කෙනෙකි. 70 දශකයේ දී නම්, ලක්ෂයක වැටුපක් ලබන අයෙකු වැටෙන්නේ ධනපති පන්තියට ය. දැන්, එවන් අය ද ”අපේ එකෙක්” කියා බාර ගනී. මුහුණු පොත එතරම් දේශපාලන විරෝධී ය. දේශපාලන-ආර්ථික විද්‍යාව ගැන ටක්කෙටම ලියන අයගේ පවා ලක්ෂ හතරේ පඩිකාරයා මිත්‍රයෙකි. ඒ අර්ථයෙන්, සියලු දෙනා දැන් ජීවත් වන්නේ අධිපති කතිකාව තුළ ය.
අපි ලක්ෂ හතරේ පඩිකාරයාගේ වාක්‍යය විශ්ලේෂණය කරමු. ඔහු මෙසේ කිය යි.
“දේශපාලනය දන්නේ සිරිමල් පමණි. අන් අය දේශපාලනය දන්නවා ද නැද්ද යන්න ඔහුගෙන් අසා දැන ගත යුතු ය. ඔහු හැර තවත් ඔහු වැනි අය ද මේ ලෝකයේ සිටිති. ( මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද? )”
අපි ඉහත වාක්‍යය කියන විශ්ලේෂිතයාගේ වාක්‍ය රටාව විශ්ලේෂණය කරමු. ඔහුට අනුව, (ලක්ෂ හතරේ පඩිකාරයා; එක වේලකට, අවශ්‍ය නම් චීස්, බටර් සමඟ පාන් පෙත්තක් කා ඌරු මස් ග්‍රෑම් 200ක් ආහාරයට ගත හැකි පුද්ගලයා-other’s enjoyment) ඔහු කියන්නේ සත්‍යයකි. නමුත්, ඕනෑම මිනිසෙකු භාෂාව උපයුක්ත කොට තම අදහස් ප්‍රකාශ කිරීමේ දී ඕනෑම අවස්ථාවක තම අවිඥාණික පැවැත්මට සම්බන්ධ සත්‍යයක් (Truth) ප්‍රකාශ කරයි. මෙහිදී, කෙනෙක් මතුපිටින් කියන දෙයට (‘දේශපාලනය දන්නේ සිරිමල් පමණි’ වැනි වාක්‍යයන්) කතා කරන හෝ ලියන භාෂාවේ පාලනය කළ නොහැකි යටිපෙළ (එවැන්නක් විශ්වාස කරන්නේ නම්) තුළ තවත් අර්ථයක් සඟවා ප්‍රකාශ කරයි. එහිදී, මතුපිටින් ප්‍රකාශ වන දෙය ‘ප්‍රකාශිතය’ නැතහොත් ‘කිව්ව දෙය’ ලෙස ද යටිපෙළ තුළ සඟවා කියන දෙය ‘ප්‍රකාශනය’ නැතහොත් ‘කියමින් සිටීම’ ලෙස ද හැඳින්වෙයි.
‘හරිනි දේශපාලනය ගැන දන්නේ නැහැ’ යනුවෙන් කියන විට එහි යටිපෙළ යනු, ජවිපෙ දේශපාලනය දන්නේ නැත යන්නයි. සිරිමල් වැනි පුරුෂවාදියෙකුට අනුව හරිනි යනු, පිරිමියෙකි. ( ලාල්කාන්තට අනුව දිල්හානි ඒකනායක නම් ස්ත්‍රියකි. එයට ප්‍රභා මනුරත්න සාක්ෂියකි.) මේ පිරිමින්ගේ කතිකාවට අනුව මිනිස් ශරීරය කැපෙන විදිහයි. රහස හෙළිදරව් වන තැනයි.
දැන් ගැටලුව වන්නේ, ලක්ෂ හතරේ පඩිකාරයා දේශපාලනය ගැන කියන නිරපේක්ෂ සත්‍යය කුමක්ද යන්න යි. (ඔහුගේ සත්‍යය) වචනය පිටුපස ‘දෙයක්’ (Thing) නැත. දේශපාලනය යනු, මෙම ව්‍යුහවාදී තේරුමට අනුව හැඟවුම්කාරක දාමයක් පමණි. මෙම දාමයට නිශ්චිත හැඩයක් දෙන්නේ, එයට ගල් ගැස්වීමක් යෝජනා කරන්නේ මාස්ටර් හැඟවුම්කාරකය යි. සිරිමල්ට අනුව, දේශපාලනය මේ මොහොතේ අවසාන වශයෙන් කරකවන්නේ JVP එක නොවේ. ලක්ෂ හතරේ පඩිකාරයා ද ඒ අර්ථයෙන්, තම ආත්මයේ සත්‍යයක් ප්‍රකාශ කරයි. කෙනෙක් ‘කියන දෙය’ සහ ‘කියමින් ඉන්නේ’ කුමක්ද?’ අතර පරතරය (Gap) තුළ දෝලනය වෙයි. සිරිමල් යනු, ‘කියන දෙය’ නොවේ. ඔහු කියමින් යන්නේ වෙනත් දෙයකි. එය යටි පෙළකි. එය ප්‍රසිද්ධියේ කිව නොහැකිය. භාෂාව මිනිස් ආත්මය දෙකට පලයි. මේ බෙදීම අප සැමට වලංගුය.[De-center] ලක්ෂ හතරේ පඩිකාරයා යමක් කියන විට ද, එහි ‘කී දේ’ සහ ‘කියමින් සිටින්න’ අතර පෑස්සිය නොහැකි පරතරයක් ඇත. මේ පරතරය ඔහුගේ ආත්මය-subject- යි. මේ ආත්මයට විනෝද වන නිශ්චිත හැඩයක් ඇත. එම සන්දර්භයෙන්, ලක්ෂ හතරේ පඩිකාරයා ජවිපෙ හිතවාදියෙකු වන අතර සිරිමල් ජවිපෙ විරෝධීයෙකු වෙයි. තමන්ගේ ‘විනෝදය’ සඟවා අනුන්ගේ විනෝදය හෙළිදරව් කිරීම, අධිපති මතවාදයේ මුඛ්‍ය ලක්ෂණයකි.[Dominant Discourse]
අධිපති මතවාදය තුළ සිරිමල් සහ ලක්ෂ හතරේ පඩිකාරයා දේශපාලනිකව සමානයන් දෙදෙනෙකි. නමුත් දෙදෙනාම කාට හෝ පාක්ෂික ය. නමුත් තම තමන්ගේ පාක්ෂිකභාවයන් ගැන දෙදෙනාටම ඇත්තේ අසමාන දැනුමකි. ඒ අර්ථයෙන්, ඔවුන් Partial සහ Partisan ලා ය. කෙනෙකුට වාස්තවික වීමට පාක්ෂික සහ පාර්ශවීය වීම අනිවාර්ය වේ. දේශපාලනයට එහි ස්වභාවය එන්නේ පසමිතුරුභාවයෙනි. ඒ අර්ථයෙන්, දේශපාලනිකය ආත්මීය යි. නමුත් සමාජ වාස්තවිකත්වය තුළ කතිකාවේ බලය සිරිමල්ට නැත. J.R ගේ යුගයේ ‘බලය කියන්නේ පුදුම දෙයක් පුතා’ කියා කියවුනේ අහම්බයෙන් නොවේ.
මෙම සංසිද්ධිය තුළින් පැහැදිලි වන්නේ, දෘෂ්ටිවාදය විසින් ආර්ථිකව අසමානයන් දෙදෙනෙක්ව මතවාදීමය සන්දර්භය තුළ සමානයන් දෙදෙනෙකු බවට විස්ථාපනය කරන බවයි. එය සිදු වන්නේ, බලහත්කාරයෙන් නොව කැමැත්තෙනි. ”ලක්ෂ 4ක පඩි ගත්තම අපිට මොකෝ” වැනි ප්‍රශ්න අහන්නේ මේ ආශාව හරහා ය. ලක්ෂ හතර හරහා මොහු සූරා කන්නේ, අපේ පන්තියේ කාන්තාවන්ගේ ශ්‍රමය නේද කියා (මේවා බැසිල් උපයන ඩොලර් නොවේ) අසන්නට කෙනෙක් මේ පරසක්වළ තුළ නැත. දේශපාලනයේ නියම ස්වරූපය ගැන කිසිවෙකුට කතා කළ නොහැකි ය. කතා කළ හැක්කේ, එහි පවත්නා ස්වරූපය (එහි ආකෘති-Forms) ගැන පමණි. ඒ අර්ථයෙන්, සිරිමල් සහ ලක්ෂ හතරේ පඩිකාරයා දේශපාලන ආකෘති දෙකක් පමණි. එක් අයෙකු දෘෂ්‍යමානය පෙන්වන අතර අනෙකා සාරාත්මක දෙයක් ප්‍රකාශ කරන්නේ නැත.
Ramesha Siriwardana