ශිෂ්ටත්වයේ සිහිනය...|Sunday, September 24, 2017
You are here: Home » News » යථාර්ථයේ ත‍්‍රස්තවාදය 1

යථාර්ථයේ ත‍්‍රස්තවාදය 1 

Missile-

 

යථාර්ථයේ ත‍්‍රස්තවාදය ට්‍රොට්ස්කිවාදය ලෙස සුමිත් චාමින්දගේ අවතාරය යළි හිස එසවීම.

2005 වර්ෂයේ විවිධ ස්ථානවල පළ වූ සුමිත් චාමින්දගේ විවිධ ලිපි ලේඛනවලින් ඔහු උත්සාහ කළේ ස්ලාවොජ් ජිජැක් නම් ස්ලෝවේනියානු දාර්ශනිකයා පිළිබඳව ඒ දක්වා මා මතු කළ විවිධ අදහස් වැරැදි බව සමාජයට තහවුරු කිරීමටය.

ගැටලූව වන්නේ සමකාලීන යුගයේ දී එම ක‍්‍රියාවෙන් සුමිත් ඉවත් වීමත් ඒ වෙනුවට එතැනට විවිධ අය ආදේශ වීමත්ය. මේ විවිධ අය අතරින් උමතු වූවන් සහ සමාජ පිළිගැනීමක් වෙනුවෙන් සටන් කරන අය අතහැර දැමුවහොත් ඉතුරු වන්නේ කවුද?

අප අද දවසේ මේ ගත කරන මොහොත ඓතිහාසික වශයෙන් ගතහොත් එය ‘යළිත්’ 80 දශකය තුළ සොයාගත හැකිය. උදාහරණයක් වශයෙන් 1986 වසරේ දී සුචරිත ගම්ලත් සහ කීර්ති බාලසූරිය රචනා කළ ‘කල්පනාලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය’ යනු අද දවසේ සමහර වාමවාදීන් (දළ වශයෙන් වසර 30 කට පසු) ඉල්ලා සිටින දේශපාලන ස්ථාවරය මතු කළ පළමු මොහොතයි. ලංකාවේ පොදුවේ කලාවේත් සුවිශේෂව සංස්කෘතියේත් මතු වන, මතු කරන ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්නය වන්නේ ‘යථාර්ථය’ (Reality) පිළිබඳ ගැටලූවයි. එනම් ඕනෑම කලාත්මක හෝ සංස්කෘතික අත්දැකීමකට දේශපාලන මානයක් නොමැතිද යන්නය. යථාර්ථය ලෙස අත්විඳින සෑම අත්වි`දීමක් තුළම දෘෂ්ටිවාදී අඩංගුවක් නොමැතිද?

විශේෂයෙන් මෑතක දී පළ වූ සමන් වික‍්‍රමාරච්චිගේ ‘අසන්ධිමිත්තා’ කෘතිය අරබයා පැරණි දේශපාලන ප‍්‍රශ්නයක් යළි මතු මහලට පැමිණ තිබේ. කෘතියට අදාළව මතුව ඇති අභියෝගය හමුවේ යම් යම් නිශ්චිත වාම චින්තනයක් නියෝජනය කරන උපායවේදීන් ගමන් කිරීමට උත්සාහ කරන්නේ 80 දශකයේ මහාචාර්ය ගම්ලත් සිටි තැනටය. එනම් ‘යථාර්ථය’ පිළිබඳ ට්‍රොට්ස්කිවාදී ආස්ථානයටය. ට්‍රොට්ස්කිවාදය (විශේෂයෙන් එහි ලාංකේය ප‍්‍රවර්ගය – wsws වෙබ් අඩවිය) යනු යථාර්ථය ආකෘතිගත (Formalized) කරන මාක්ස්වාදී චින්තන විධික‍්‍රමයකි. අප ජීවත් වන මේ මොහොතේ දී ‘යථාර්ථය’ ට්‍රොට්ස්කිමය ආකෘතියකින් ජනප‍්‍රිය කරමින් සිටින්නේ එරික් ඉලයප්ආරච්චි නම් විචාරකයා විසිනි. 2015-12-13 දින ‘රාවය’ පුවත්පතේ පළ වූ සිය දීර්ඝ විචාරයේ දී (ජනතාවාදය, මැජිකල්වාදය සහ අමරකීර්තිවාදය, පිටුව 21) එරික් තම විචාරයට ප‍්‍රස්තුත කරගන්නේ ලියනගේ අමරකීර්තිගේ ‘අහම්බකාරක’ නම් නවකතාවයි. කෘතිය පිළිබඳ එරික්ගේ පර්යාවලෝකනය පහත පරිදි පෙළ ගැස්විය හැකිය.

(A) අදාළ නවකතාවේ විෂය ක්ෂේත‍්‍රය වූ ගෝලීය ධනවාදයේ ප‍්‍රාන්තීය මුහුණුවර අහඹු සිද්ධි රැසක් ලෙස දැකීමෙන් යථාර්ථවාදී ලෝක දැක්ම තුළ බරපතළ දෘෂ්ටිමය දුර්වලතාවක් කතුවරයා පෙන්නුම් කරයි.

(B) ‘අහම්බකාරක’ නවකතාවේ බන්දුල බලගල්ල කතා කරන්නේ සාම්ප‍්‍රදායික ධන හිමියකු ලෙසද, සුපර්මාර්කට් හිමි නව කෝටිපතියකු ලෙසද, ශාස්ත‍්‍රඥයකු ලෙසද, ලිබරල් – ධනේශ්වර දෘෂ්ටිවාදියකු ලෙසද, විරාගයේ අරවින්ද වැනි චරිතයක් ලෙසද යන බව කිසිවකුට වටහාගත නොහැකිය.

(C) අමරකීර්තිට අනුව බන්දුල බලගල්ල යනු ‘නිකං’ (Empty) මිනිසෙකි. එසේ නම් බන්දුල බලගල්ල වූ කලී කතුවරයාගේ ලේඛනයේ අඛණ්ඩතාව වෙනුවෙන් හිතෙන හිතෙන දේ පවසන්නෙකි. බන්දුල බලගල්ල ලේඛකයාගේ නියෝගාත්මක හඬේ (සුපිරි අහම?) දෝංකාර නංවන හිස් බැරලයකි.

(D) බන්දුල බලගල්ල ලවා අනේකවිධ දේවල් ප‍්‍රකාශ කරවන කතුවරයා එම ව්‍යාකූලත්වය ආවරණයට කරගන්නේ ඔහු නිකං මිනිසකු බව පවසමිනි.

(E) බන්දුල බලගල්ල යට කී පරිදි සාම්ප‍්‍රදායික ප‍්‍රභූ ධනපතියකු, සුපර්මාර්කට් හිමියකු, ගෝල්ෆ් ක‍්‍රීඩකයකු වීමට අතිරේකව යුරෝපයේ අසාම්ප‍්‍රදායික
පෙරටුගාමී බොහීමියානු ජීවිතයකට ද හිමිකම් කියයි. ඔහු වෘත්තාන්තය තුළ සමකථකයාගේ වගකීම ද භාරගෙන ඇත. ඔහුගේ ගොල්ෆ් පිටිය විටෙක ස්ත‍්‍රීවාදයේ අරගල බිමක් බවට පත් වේ. වළව්ව මිනිසුන් ශිෂ්ටයන් කිරීමේ පාසලක් සහ කායික කුසලතාවන්ගේ අඩුපාඩු සපුරාලන විද්‍යාගාරයක් බවට පත් වේ. පන්ති විශේලේෂණය පමණක් නොව මනෝ විශ්ලේෂණය ද කතිකාවට ඇදී එයි. සිය අදහස්, චරිත බවට සහ සිදුවීම් බවට පත් කිරීමට උත්සාහ කිරීමේ දී සමස්ත වියමන ප‍්‍රහසනයක් (විකට නාට්‍යයක්) බවට පත් වේ.

එරික් තමාගෙන්ම ඇසිය යුතුව තිබුණේ අමරකීර්තිගේ ආඛ්‍යානයේ මාස්ටර් හැඟවුම්කාරය දීප්ති නේද යන අවිඥානික ප‍්‍රශ්නයයි. අවිඥානය යනු රහසක් නොව මහ දවල් එළිපිට පවතින්නකි. එසේ නම් එරික් මේ නිහඬව විරුද්ධ වන්නේ දීප්තිවාදී වාම දේශපාලනයටද?

අමරකීර්තිගේ නවකතාව තුළින් ගම්‍ය වන්නේ සමකාලීන ගෝලීය ධනවාදයේ දෘෂ්ටිවාදී වෙස් මුහුණ නොවේද? එය ඇකඩමික තලයේ නම් කරන්නේ බහුසංස්කෘතික කතිකාව ලෙසිනි. (Multicuturalism) බන්දුල බලගල්ල එරික්ට අනුව අභව්‍ය නම් අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, අනෝමා රාජකරුණා, රනිල් වික‍්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරණතුංග, සරත් විජේසූරිය, නිර්මාල් රංජිත් දේවසිරි, ජැක්සන් ඇන්තනී, ඩිලාන් පෙරේරා, ජගත් වීරසිංහ ආදී බහුතරයක් මිනිස් චරිතවල ගම්‍යතාව බන්දුල බලගල්ල හරහා පරාවර්තනය නොවේද? ඉහත ඕනෑම චරිතයකට කිට්ටු වී තරමක් පරීක්ෂාවෙන් නරඹන්න. එවිට ඔබට එම සෑම චරිතයක් හරහාම අලූත් ‘අහම්බකාරක’ නවකතාවක් ලිවිය හැකිය. ඒ කිසිවක් අභව්‍ය නොවන්නේ ඔවුන් තමන්ගේ ජීවිතය සත්‍යයක් ලෙස අදහන නිසාය. අප සිතනවාට වඩා ගැඹුරු ලෙස දෘශ්‍යමානය යනු සංකේත ප‍්‍රබන්ධයකි. එය පරිකල්පනීය සිමියුලේක‍්‍රමයක් නොවේ.

ජීවිතය යනු යථාර්ථයක්ද? ප‍්‍රබන්ධයක්ද? ඔබ සැමගේ ප‍්‍රශ්නය එයයි. ඔබව බිය දනවන අඩවියක් කරා රැගෙන යාමට මට අවසර! ඩෙස්කාට්ස් නම් සුප‍්‍රසිද්ධ ප‍්‍රංශ දාර්ශනිකයාගේ ප‍්‍රසිද්ධ කියමන මෙතැන දී උපුටා දක්වමු. I Think, Therefore I am – ‘‘මම සිතමි, එබැවින් මම ස්ථිරව පවතිමි’’ මෙම අදහස නිසා ලෝකය ‘සිතන-දෙය’ සහ සිතන්නා ලෙස දෙකට පැළී ගියේය. ලයනල් බලගල්ල තමා ලෙස කෝටිපතියකු, බොහීමියානුවකු, ස්තී‍්‍රවාදියකු, ලිබරල්වාදියකු, කලාහිතකාමියකු, බුද්ධිමතකු, අරවින්ද ජයසේන යනුවෙන් සිතන විට ‘සිතන-දෙය’ ඇත්තේ පිටතය. දෙවනුව එම පිටත හිස් දෙයකි. එහෙත් ඒ හිස් දේ ගැන සිතීම ‘මාව’ පිරෙනවා යැයි මම අනුමාන කරමි. එනම් එළියේ පවතින මෙම හිස් අවකාශයන් හරහා මාව පරිපූර්ණ වෙමින් යනවා, යමක් මා තුළට එන්නේ යැයි මම සමපේක්ෂණය කරමි. නමුත් සැබැවින්ම සිදු වන්නේ එළියේ හිස් බව මඟින් ඇතුළේ ‘මට’ සාරයක් හිමි යැයි මටම සිතී යාමයි. ඒ අනුව ‘යථාර්ථය’ යනු මෙම බහුවිධ චරිත ලෙස සලකන්නේ නම් ඒවා සැබැවින්ම හිස්ය. එම හිස් බව චලනය වනවා යනු විටෙක පිරී ගිය දෙයක් පසුව හිස් වීමයි. කෝටිපතියකු වීමෙන් පරිපූර්ණ වේ යැයි සමපේක්ෂණය කරන්නකු එසේ වූ විගස කෝටිපතියකු යනු හිස් බවක් ලෙසින් වටහා ගනියි.

ඉන්පසු ඔහු ස්ත‍්‍රීවාදියෙක් වන්නේ කෝටිපතියකු වීම හිස් බවක් බව වටහා ගන්නා නිසාය. බලගල්ලගේ සැබෑ ස්වරූපය ‘හිස්’ ලෙසින් කතුවරයා මඟින් ප‍්‍රකාශ වීම දාර්ශනිකව සත්‍යය. හිස් පුද්ගලයා විටින් විට විවිධ කතන්දර මඟින් (දේශපාලනය, ක‍්‍රීඩා, කලාව, ආගම….) තමාගේ සාරය මේ මේ යැයි සමපේක්ෂණය කරයි. නමුත් එම සෑම කතාවක්ම අවසාන විග‍්‍රහයක දී හිස්ය. එබැවින් වඩා රැඩිකල් ලෙස කල්පනා කළ යුතු වන්නේ කෙනකු තමා ගැනම ගොතන විවිධ කතන්දර නොව එම කතා මඟින් පුරවා දැමීමට උත්සාහ කරන හිස් බවය. අප ‘ආත්මය’ කියා කියන්නේ මෙම රැඩිකල් හිස් බවටය. ගැටලූව වන්නේ පුද්ගලයා විසින් තමා යැයි විටින් විට තමාටම කියා ගන්නා විවිධ කතන්දර තමන්ගේ සාරය ලෙස වරදවා වටහා ගැනීමයි. විටින් විට පුද්ගලයා විසින් ‘යථාර්ථය’ ලෙස වටහා ගන්නේ කෙනකු ‘තමා කවුදැයි’ අසන නිසි උත්තරයක් නැති ප‍්‍රශ්නයට දෙන ෆැන්ටසි උත්තරයයි. එබැවින් ‘යථාර්ථය’ යනු සත්‍යය අවබෝධ කරගැනීමක් නොව පලා යාමකි. (තමන්ගෙන්ම – සැබෑ මමෙන්)

ට්‍රොට්ස්කිවාදියකු විසින් ධනවාදය හෝ ධනපතියා ලෙසින් බාහිරින් ප‍්‍රපංචයක් හඳුනා ගන්නා විට එය සිතන-හිස්-දෙයකි. මෙම තත්ත්වය පුද්ගල විඥානය අත්විඳින්නේ භ‍්‍රාන්තියක් ලෙසිනි. මෙම භ‍්‍රාන්තියෙන් ගැලවීමට ඇති පහසුම මාර්ගය වන්නේ අපගේ සංගතභාවය විනාශ කරන බාහිර සතුරකු පෙන්වා දීමෙන්ය. මාක්ස්වාදය විසින් යෝජනා කරන ශුද්ධ ආකෘතිය (Pure Form) නිර්වචනය කළ හැක්කේ කෙසේද?

Killer stinct-

අප දැන් සංයුක්ත උදාහරණයකට යමු. බොහෝ ලිබරල්වාදීන්ට අනුව කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය අතර ඇත්තේ සාම්‍යයකි. මෙම මාදිලි දෙක තුළම රහස් පොලීසිය, රඳවා ගැනීමේ කඳවුරු, මහා ජන ඝාතන තිබේ. නමුත් මාක්ස්වාදය සහ ෆැසිස්ට්වාදය අතර පැහැදිලි බෙදීමක් ‘ආකෘතිය’ හරහා අපට යෝජනා කළ හැකිය. බැලූ බැල්මට අපට පෙනෙන්නේ නාසිවාදය නිශේධනය කරන යුදෙව්වා හෝ දෙමළා වෙනුවට කොමියුනිස්ට්වාදය නිශේධනය කරන පන්ති සතුරාය. නාසිවාදය යනු කොමියුනිස්ට්වාදයට එරෙහිව ආ ජර්මානු ජාතික ප‍්‍රතික‍්‍රියාවකි. එමඟින් කොමියුනිස්ට්වාදය යෝජනා කරන පන්ති සතුරා යන අදහස නාසිවාදය මඟින් යුදෙව්වා / දෙමළා තැනට ප‍්‍රතිස්ථාපනය (Displace) කරයි. මෙය අහිංසක විස්ථාපනයක් නොවේ. ඒ අනුව නාසිවාදය ‘පන්ති අරගලය’ දෙමළා දක්වා විස්ථාපනය කරයි. එයට වාර්ගික ගැටුමක ස්වරූපය නාසිවාදය ආලේපනය කරයි.

ප‍්‍රශ්නයේ සැබෑ හේතුව සැඟවීමක් ලෙසින් මෙම තත්ත්වය හඳුනාගත හැකිය. ඒ අනුව කොමියුනිස්ට්වාදය යමකු නාසිවාදය බවට පරිවර්තනය කරන විට එසේ කරන්නේ අන්තර්ගතයේ තලයෙන් නොව ආකෘතියේ තලයෙනි. ‘නාසිවාදය’ කොමියුනිස්ට්වාදයේ ආකෘතිය වෙනස් කිරීම හරහා කරන දෘෂ්ටිවාදී අබිරහස්කරණ එහි හිතවතුන්ට ලබා දෙයි. එමඟින් නාසිවාදය හෝ ජාතිවාදය දේශපාලන අරගලය වාර්ගික
ගැටුමක් දක්වා ස්වාභාවික කරවයි. සමාජ දේහයේ කේන්ද්‍රය හිස් බවක් යන්න අකා මකා දමා ජාතිවාදියා විසින් එම හිස් බව යනු අපගේ වාර්ගික අනෙකා අපෙන් යමක් කොල්ල කෑ නිසා ඇති වූ වාස්තවික තත්ත්වයක් ලෙසින් (පන්ති අරගලය) යළිත් නිර්වචනය කරයි. සරලව කිවහොත් සිංහල සමාජයේ සංගත බව බිඳින්නේ ඉන් බාහිරව ජීවත් වන වාර්ගික දෙමළාය. මෙම අදහස නිසා දෙමළා සිංහල දෘෂ්ටිවාදයේ ෆැන්ටසි වස්තුවක් බවට ඌනනය වෙයි. අපගේ විනෝදයේ අසම්පූර්ණ බවට හේතුව වන්නේ දෙමළාගේ දේශපාලන ක‍්‍රියාය. එබැවින් ඕනෑම ජාතිවාදී දෘෂ්ටිවාදයක් අවසානයේ සාමූහික විනෝදයක් සහතික කරයි.

ඉහත අධ්‍යයනය යථාර්ථය සහ සැබෑව (Real) අතරට යොදමු. ට්‍රොට්ස්කිවාදියා සෑමවිටම උත්සාහ කරන්නේ තම ජීවිතයේ ‘සැබෑව’ මඟහරින ෆැන්ටසියකි. ඔහු යථාර්ථය යනු පලා යෑමක් බවට වටහා ගන්නේ නැත. ඒ වෙනුවට ඔහු පන්ති අරගලය බාහිර වාම ලෝකයේ සිටින අනෙකුට (සතුරකු ලෙස ආදේශ කර) පවරයි. මෙය නූතන ගෝලීයකරණ ධනවාදය තුළ පන්ති අරගලය දෘෂ්ටිවාදී අබිරහසක් බවට පත් කිරීමකි. ට්‍රොට්ස්කිවාදියා තමාටම ආවේණික බාහිර වාම-බුර්ෂුවා-ප‍්‍රතිවිප්ලවවාදී වාර්ගික අනෙකෙකු පිළිබඳ මතිභ‍්‍රමවාදී ෆැන්ටසියක් ජප කරයි. බොහෝ ට්‍රොට්ස්කිවාදීන් යථාර්ථය සමඟ ගනුදෙනු කිරීමේ දී හැසිරෙන්නේ තමන්ට අවිඥානයක් නැති යැයි සිතාගෙනය. එබැවින් ඔවුන්ව විශ්ලේෂණය කිරීම විරුද්ධාභාසයකට මුල පිරීමකි.

Deepthi Kumara Gunatatne

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...