ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » News » රූපාන්තරණය The Metamorphosis – ෆ්‍රාන්ස් කෆ්කා

රූපාන්තරණය The Metamorphosis – ෆ්‍රාන්ස් කෆ්කා 

Kafka-1

ෆ්‍රාන්ක් කෆ්කා ගේ Metamorphosis නමැති කෙටි නවකතාව කේ.ජී. කරුණාතිලක 1997 දී රූප විපර්යාසය යනුවෙන් මුල්වරට සිංහලට පරිවර්තනය කළේය. ටෙනිසන් පෙ‍රේරා රූපාන්තරණය ලෙස එය දෙවන වරටත් සිංහලයට පෙරළයි. එමතුදු නොව කෆ්කා දැන් සිංහල සිනමාවට ද නැගී ඇත. එරික් ඉලයප්ආරච්චි තිර පිටපත ලියා ධර්මසේන පතිරාජගේ අලුත්ම සිනමා නිර්මාණය ලෙස එළි දකින ස්වරූප චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දිනෙක ජර්මන් ගතේ මධ්‍යස්ථානයේදී එළි දැක්විනි. සමාවන්න, පොතක් පිළිබඳ ලියැවෙන සාහිත්‍ය විචාර තීරු ලිපියක සිනමා පටයක් ගැන ලියන බවක් කීවේ කව්ද?

කෆ්කා ගේ මෙම කෙටි නවකතාව ආරම්භ වන්නේ එහි එන ග්‍රෙහරි සම්සා නමැති චරිතය එක්තරා උදෑසනක අවදිවන විට නිදි ඇඳ මතම කිසියම් රූපාන්තරණයකට ලක්ව සිටින බව දැන ගනිමිනි. කේ.ජී. කරුණාතිලක එක්වරක් පරිවර්තනය කර තිබූ මෙම කතාව දෙවන වරටත් සිංහලයට නගන්නට ටෙනිසන් පෙරේරාට සිත් දෙන්නේ හම්සා කවර සතකු බවට පත් වූයේද යන ගැටලුවයි. කරුණාතිලක හම්සාගේ රූපාන්තරණය කැරපොත්තකු ලෙස දැකීම නිවැරැදි නොවන බව පැවසීමට ටෙනිසන් සරණ යන්නේ ඔහු භාවිතා කළ ඉංග්‍රිසි පරිවර්තනයේ එම සත්වයා a Monstrous Vermin යනුවෙන් දක්වා තිබීමය. මේ නිසා ටෙනිසන්ට අනුව හම්සා අපරූපී සතෙකු බවට රූපාන්තරණය වී ඇත!

එහෙත් 2002 දී මෙය ඉංග්‍රිසියට නගන රිචඩ් ස්ටෝක්ස් (Richard Stokes) සාම්සා මුහුණ දෙන එම බියකරු අත්දැකීම ඉංග්‍රිසියට නගා තිබුණේ පහත සඳහන් පරිදි ය.

“When Gregor Samsa woke one morning from uneasy dreams he found himself transformed in his bed into a monstrous insect.” (අවධාරණය මවිසිනි.)

මෙහි insect යනු කෘමියෙකි. ටෙනිසන්ට ලැබුණ ඉංග්‍රිසි පරිවර්තනයේ vermin යනු පණුවකු විය හැක. ප්‍රශ්නය නම් සම්සා රූපාන්තරණය වූයේ කෘමියකු, පණුවකු හෝ කැරපොත්තකු ආදී කොට ගත් කවර වූ සත්වයකු ලෙසට ද යන්න නොවේ. ග්‍රෙගරි සම්සා ට උදෑසන තමාගේ රැකියාව ඇතුළු එදිනෙදා කටයුතුවලට පිටත්ව යා නොහැකි ලෙස බාධාවක් නිර්මාණය වී තිබුණ බව මෙහි වැදගත් කරුණයි. කෆ්කා මින් නිරූපණය කළේ නූතනවාදී යුගයේ මිනිසාගේ පැවැත්මේ ගැටලුවයි. බාධාව වූ කලී ඔහුගේ ම නිර්මාණයකි.

මිලාන් කුන්දේරා පරසක්වල ගසන කරුණක් නම් කෆ්කා ගේ නවකතා සහ කෙටිකතාවල එන චරිත හුදෙකලාව අගය කළ බවයි. බොහෝ දෙනෙකු සිතුවේ කෆ්කා ලියුවේ හුදකලාවේ සාපය ගැන බවය. එහෙත් ඇත්තටම නම් කෆ්කා ග්‍රස්තිමය ලෙස (obsessional) පීඩාවට පත් කළ එකම කරුණ හුදකලාව හිංසාවට ලක්ව තිබීමය. අන්තිමේදී මිලාන් කුන්දේරා ඉතා අසාධාරණ ලෙස කෆ්කා අදේශපාලනික චරිතයක් ලෙස හංවඩු ගසන්නේ ද මිනිස් පැවැත්ම විස්තර කිරීමේදී අනු දත් මෙම කෆ්කානු ශෛලිය වරදවා කියවීමෙනි.

සැබවින් ම කෆ්කාගේ (අ) දේශපාලනය ස්ථානගත වන්නේ නූතනවාදය (Modernism) තුළය; ඔහු ගේ නවකතාවල වීරයින් බොහෝ විට බුද්ධිමතාගේ ප්‍රක්ෂේපණයක් විය. එහෙත් Metamorphosis හි (රූපාන්තරණය) එන ග්‍රෙගරි සම්සා ඊට වෙනස් චරිතයකි. උදෑසන අවදිවන විට කුරුමිණියකු පණුවකු කැරපොත්තකු හෝ වෙන මොන විදියේ අපරූපී සතකු බවට පත්ව සිටි සම්සාට වැදගත් වූයේ එකම දෙයක් පමණකි. එනම් මේ අලුත් ස්වභාවයෙන් කාර්යාලයට යන්නේ කෙසේ ද? යන්නය. සම්සා යනු තම වෘත්තිය විසින් පුරුදු පුහුණු කරනු ලැබූ කීකරුකම සහ විනය හිස් මුදුනින් ගත් සේවකයෙකි.

නූතනවාදී කාර්යාල සේවකයා එකම මිනිස් වික්‍රමය (adventure) ‍ලෙස ගන්නේ කාර්යාලයෙන් කාර්යාලයට මාරුවී යාම පමණකි. ඔහුගේ කාර්යාල ජීවිතය ඒකාකාරිය. මාරුවීමක් නොලැබෙන කාර්යාල කාර්ය සහයකයකු ගේ මැසිවිල්ලක් හෙන්රි ජයසේනගේ ජනේලය නාට්‍යයේ මෙසේ කියවේ.

“මේක තමයි කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව
මෙතැන තමයි කයිවාරුව
මට විතරක් නැති මාරුව”

ඉන් පෙන්නුම් කරන්නේ කාර්යාල ජීවිතයේ එකම වික්‍රමය වන්නේ ස්ථාන මාරුවීම් බවයි. කීකරුකම, යාන්ත්‍රික සේ ම වියුක්ත වූ මෙම ලෝකය තුළ නවකතාවක් ස්ථාන ගත කිරීම බැලූ බැල්මට වීර කාව්‍යයේ (epie) හරහට එරෙහිව යන්නකි. එබඳු මළානික ප්‍රතිකාව්‍යාත්මක දේවල් සිත් බඳින නවකතා බවට පත් කිරීමට කෆ්කාට හැකි වුණේ කෙසේ ද?

කෆ්කා ලියන්නේ නූතනවාදී කාර්යාල ජීවිතය ගැනය. රාජකාරියටම බැඳුන සම්සා ඒකාකාරි වූ රැකියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සඳහා බාධාවක් තමාම නිර්මාණය කරයි. හෙන්රි ගේ කාර්යාල කාර්ය සහයකයා මෙන් ඉරණම ඒ ආකාරයෙන් බාර ගැනීමට ඔහු සූදානම් නැත. කෙසේ වෙතත් ඔහු ගැටෙන්නේ නූතනවාදී සමාජය තුළ පැවති විනය ගත දෛනික පැවැත්ම සමඟය.

එහෙත් පසු – ධනවාදී සංස්කෘතික සන්දර්භය තුළ කාර්යාල සේවකයා වෙත එම විනය ගත බව දක්නට නැත. පශ්චාත් – නූතන කාර්යාල ‍සේවකයා තම රාජකාරිය දේව කාරියක් කර ගත්තෙක් නොවේ. හැකි නම් ඔහු කාර්යාලයක් කිසිවකුට විකුණා ගනු ඇත. ෆ්‍රාන්කා කෆ්කා යනු නූතනවාදී සමාජ දැක්මේ දරුවකු ලෙස අප හඳුනා ගත්තේ එපරිදිය. කෆ්කානු ලෝකය තුළ කාර්යාලය යනු අරුමැසි විෂය ප්‍රදේශයකි.

අපට පෙනී යන පරිදි මිලාන් කුන්දේරා කෆ්කානු යන්න ගන්නේ නිලධාරිවාදයේ නිර්දය විවේචනයක් ලෙසය. එය කුන්දේරාගේ පුද්ගලික අමිහිරි අත්දැකීම් සමඟ සමපාවත වන අතර ඔහුගේ අතිශය පුද්ගලවාදය තුළ කෆ්කා කොටු කරයි. කෆ්කානු යන්නෙහි අරුත නම් සමාජ යථාර්ථය ෆැන්ටසිමය ස්වරූපයෙන් ක්‍රියාත්මක වීම පෙන්වා සිටීමත් ලෙස දැකීමට කුන්දේරා අසමත් වේ.

කෙසේ වෙතත් කෆ්කානු බව යන්න පුද්ගලික හෝ පොදු විෂය පථ එකකට සීමා වී නැති බව පිළිගැනීමට අන්තිමේදි කුන්දේරාට සිදුවේ. පොදු (Public) වනාහී පුද්ගලික (Private) බවෙහි කැඩපත වන විට පුද්ගලික බව තුළම පොදු බව ප්‍රතිබිම්බනය වේ. එබැවින් කෆ්කා අදේශපාලනික යයි පවසන කුන්දේරියානු මතය අසරණය. කෆ්කාගේ Metamorphosis (රූපාන්තරණය) යනු ග්‍රෙගරි සම්සා ගේ ආත්මීය ප්‍රකාශනයක් පමණක් නොවේය. එම අර්ථයෙන් එය වූ කලී නූතනවාදී සමාජය පිළිබඳ අතිශය දේශපාලනික කියවීමක් බවට පත්වේ.

(ටෙනිසන් පෙරේරා ගේ පරිවර්තනයට කෆ්කා පිළිබඳ මා ලියූ පෙරවදන ඇසුරු කොට ගැනිනි. මෙය එහි සම්පූර්ණ පෙළ නොවන බව සලකන්න.)

සමන් වික්‍රමාරච්චි

Silumina

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...