වියමනට පිටින් කිසිත් නැත (There is nothing out side of the text) යන ඩෙරිඩියානු සොයාගැනීම අද අවභාවිතයට ලක්වෙමින් තිබේ. ඩෙරිඩාගේ ඉහත සඳහන් කියමන වැරදි කොනින් අල්ලා ගැනීම නිසා සිදුවී ඇති විකාරය නම් සාහිත්‍ය කෘතියක් විචාරයට ලක්කිරීම සඳහා වූ මිනුම් දඬු එම කෘතිය තුළින්ම සපයා ගත යුතුය යන අජිත් තිලකසේන මීට දශක හතරකට පමණ පෙර ප්‍රකාශ කළ අදහසක් යළි කරළියට නැංවීමයි.

ඇත්තටම සිදුවූ දේ නම් තමාගේ කෙටිකතා කියවීම දුෂ්කර වූ පාඨකයින්ට තිලකසේන මහතා විසින්ම ප්‍රතිකර්මයක් යෝජනා කිරීමය. දුෂ්කරතාවය වූයේ පවතින සම්ප්‍රදායික විචාරයට අජිත් තිලකසේනගේ කෙටිකතා කියවීමේ නොහැකියාවය. මේ නිසා ඔහු යෝජනා කරන්නේ තම කෙටි කතා කියවීම සඳහා අලුත් මිනුම් දඬු (න්‍යායන්) සොයාගත යුතු බවයි. දීප්ති කුමාර ගුණරත්න ඇසිඩ් වැස්ස ලියමින් මෙම අදහස වඩාත් පිරිපහදු කර වරනඟන්නේ (177 පිටුවේ) මෙසේය.

“අජිත් තිලකසේන ගේ කෙටිකතා මඟින්ද ප්‍රකට වන්නේ සර්වාධිකාරි සමාජයක බිහිවන කටහඬ (voice) නම් චරිතයයි. ඔහුගේ ලාංකීය පාඨකයින්ට ඔහුව කියවීම දුෂ්කර වී ඇත්තේ ලාංකීය සාහිත්‍ය විචාරය තවම සුපිරි අහම න්‍යාය ගත කර නැති නිසාය.”

ඇසිඩ් වැස්ස පිළිබඳ මගේ කියවීම නම් එය කිසිවකුට ස්වායත්ත පැවැත්මක් නැති බවත් ඔහු අනෙකාගේ නිර්මාණයක් බවත් තහවුරු කරන වියමනක් වන බවය. එයට කෘතියක් හෝ පොතක් (work or book) යයි නොකියා වියමනක් (Text) යයි සඳහන් කරන්නේ මක්නිසාද යන්නට පිළිතුරක් දිය හැකි නම් එය මේ පිළිබඳ කරනා කදිම විචාරයක් වනු ඇත. අප විසින් කළ යුතුව ඇත්තේ මෙහි එන විවිධ වූ න්‍යායික වර නැඟීම් පිහිටුවා ඇති සන්දර්භය (context) හඳුනාගැනීමයි.

මෙම ලිවීම ආරම්භයේ දී සඳහන් කළ ඩෙරිඩියානු ප්‍රවාදය පිළිබඳ තවදුරටත් විමසීම ඊට පිටිවහලක් වෙතැයි මම කල්පනා කරමි. බොහෝ විචාරකයින්ගේ මතය අනුව එය ඩෙරිඩා ප්‍රංශ බසින් ලියූ දේ වැරදියට පරිවර්තනය වීමකි. එහි නිවැරැදි පරිවර්තනය නම් there is no outside – text යයි ඔවුහු යෝජනා කරති. ඩෙරිඩාගේ of Grammatology ඉංග්‍රිසි බසට නඟන ගයාත්‍රි ස්පිවැක් එම පරිවර්තන දෙකම කරයි. සමහර විට ඇය ඩෙරිඩා, හයිඩෙගර් අනුව යමින් යෝජනා කරන මකනයට යටත් කර ලිවීම (under erasure) නම් උපක්‍රමය භාවිතා කළා විය හැක. ගයාත්‍රී එය මෙසේ ලියයි.

“There is nothing out side of the text (there is no out side – text; il n’y a pas de hors – texte) ප්‍රශ්නය නම් ඩෙරිඩා මින් අදහස් කළේ කුමක්ද? යන්නය. අප විසඳාගත යුතුව ඇත්තේ වියමන සහ කෘතිය හෝ පොත අතර ඇති වෙනසයි. රොලන්ඩ් බාත් ඔහුගේ Rustle of the Language හි වියමන සහ කෘතිය අතර වෙනස සලකුණු කරයි. ඒ අනුව වියමන (text) යනු ලියන ලද කිසිවක් (පඨිතයක්) පමණක් ‍ෙනාවේ. දේශපාලන රැලියක් පවා වියමනක් විය හැකි අයුරු එකී බාතියානු සොයාගැනීම තුළ වර නැඟේ.

එකී බාතියානු සීමාවන් අතික්‍රමණය කරමින් ඩෙරිඩා වියමනට බැහැරින් කිසිත් නැත යයි කියන විට අදහස් කරන්නේ සියල්ලම වියමනක් වන බවය. එනම් මුළු ලෝකයම වියමනක් බවය. ඉන් අදහස් වන්නේ සියල්ලම සුවිශාල වූ ග්‍රන්ථයක් වන බවක් වත් අප සුවිශාල වූ ග්‍රන්ථයක් (Book) තුළ දවසරින බවක් වත් නොවේ. යමක් අත්විඳීමට නම් හැමදේම නිර්වචනය කළ යුතු බව එහි අරුතය. එනම් අපගේ අත්දැකීම් වූ කලී හැමවිටම කිසියම් හෝ නිර්වචනයකි. එබැවින් ලෝකය යනු අන් කිසිවක් නොව නිර්වචනයක් (interpretation) ඉල්ලා සිටින වියමනකි. ඒ අනුව වියමනට බැහැරින් කිසිත් නැත (there is nothing out side of text) යන ඩෙරිඩියානු ආප්තය අප පරිවර්තනය කළ යුත්තේ “හැමදේම නිර්වචනයකි” යනුවෙනි.

මෙහිදී අපගේ අවධානයට ලක්විය යුත්තේ යම් දෙයක් අත්දකින විට සිදුවන්නේ කුමක්ද? යන්නයි. එහිදී එම දෙය මුනගැසෙන සන්දර්භය (context) අපට මඟහැර යා නොහැක. එනම් මගේම ඉතිහාසය, මගේ පසුතලය, එම අත්දැකීම ලබද්දී මා තුළ වූ පූර්වා‍ෙප්ක්ෂනයන් (presuppositions) ආදී වූ දේය. මෙම කොන්දේසි මත පිහිටමින් මා අත්දකින්නා වූ දේවල් නිර්වචනයට යටත් වේ. ඒ අයුරින් ගත් කළ ඒවා විවිධ නිර්වචනයන්ට යටත්ය.

දීප්ති කුමාර ගුණරත්න ලියන ඇසිඩ් වැස්ස කෘතියක් පමණක් නොවී වියමනක් වන සැටිත් වටහා ගැනීම සඳහා වූ විද්‍යාව ඉන් සම්ප්‍රදානය වේ. එහිදී සිදුවන්නේ සැමදේම නිර්වචනයකි යන්නෙන් ඇති විසංයෝජනීය හඳුනාගැනීම තුළ සියල්ල ප්‍රශ්න කිරීම සඳහා වූ අවකාශයක විවෘත වීමය. එකී අවකාශය තුළ සියලු අධිකාරිවාදී පිළිගත් නිර්වචන ද (dominant interpretations) ප්‍රශ්න කෙරේ. මේ නිර්වචනීය ප්‍රශ්න කිරීම වාස්තවික වූ සත්‍යයක් පිළිබඳ අදහන්නවුන් කැලඹීමට පත් කරන සුළුය. ඒ අනුව දීප්ති සාරයක් සේ (essence) ගත හැකි කිසිවක් නැති බව මෙම ලිවීම තුළ සහතික කරයි.

ඇසිඩ් වැස්ස ලිවීමේ නිමිත්ත වන්නේ ධනංජය කරුණාරත්නගේ ඇසිඩ් වැස්ස නාට්‍යය බව ඇත්තය. එහෙත් දීප්ති ගේ ලිවීම තුළ ඇසිඩ් වැස්ස වේදිකා රංගනයක් පමණක් නොවී වියමනක් බවට පත්වේ. එය එසේ වන්නේ නාට්‍යය නැරඹීමට එන ප්‍රේක්ෂකයින් සේම ඔවුන් එකිනෙකා අතර සබඳතා ද නාට්‍යයේ මුඛ්‍ය තේමාව සමඟ ගැටෙන සැටි ඉන් කියවෙන බැවිනි. ලිංගික වෙනස නම් වූ කාරණය පිළිබඳ මෙහි ලා කරන විස්තරය තුළ ලිංගිකත්වය පිළිබඳ අධිපති පිළිගැනීම විසංයෝජනය වන්නේ මෙසේය.

“සමාජයේ ලිංග දෙකක් නිර්මාණය වන්නේ කෙසේද? යන්නට සාර්ථකම පිළිතුර සම්පාදනය කර ඇත්තේ ජූඩිත් බට්ලර් නම් දාර්ශනික ස්ත්‍රියයි. ඇගේ විග්‍රහයට අනුව ලිංග භේදය සොබා දහමේ නිර්මාණයක් නොව සමාජ සංස්කෘතික ‍ගොඩනැංවීමක්. එබැවින් ලිංගභේදය යනු දේශපාලන අඩවියකි. මේ තර්කය නිසා සොබාදහම ද සංස්කෘතික තර්කනයක් වේ. කිසිවක් පූර්වයෙන් නොපවතින අතර සියල්ල කතිකාමය අඩංගුවකි. සරලව කිවහොත් බට්ලර්ට පසු සංස්කෘතිය සහ සොබාදහම අතර දයලෙක්තිකය සංස්කෘතියේම අභ්‍යන්තරික දයලෙක්තියක් බවට පරිවර්තනය විය. මෙම නව දයලෙක්තියට අනුව සංස්කෘතිය විසින් සොබාව නිපදවන අතර සොබාව පාලනය කරයි. මෙම තර්කනයට අනුව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙනවා යනු ප්‍රකාශන වාදයකි. ප්‍රසාංගිකත්වයකි.”

මෙම කියවීම් මඟින් අපට යළි යළිත් ස්ඵුට කරන්නේ විමල් දිසානායක වැනි මහතුන් කරනා ව්‍යාජ රංගනයයි. ඩෙරිඩා හමුවී කෝපි බිව් බවත් මුරකාමි සමඟ සකෙ පානය කළ බවත් කියමින් මැජික් පෙන්වනවා හැර ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද? ඇත්ත නම් දීප්තිගේ මෙම ලිවීම මඟින් අනෙකුත් සියලු ලිවීම් අත්හිටුවන බවය. එය වූ කලී කියවන්නියට ඉතා විශාල ගෙදර වැඩ සමූහයක් පවරන ව්‍යාපෘතියකි. කිසිවකුට එය කියවීම සඳහා අත්වැල් සැපයිය නොහැක.

සමන් වික්‍රමාරච්චි

 

Note –

රාවයේ යා යුතු විචාරයක් වැරදිමකින් Silumine පල වී ඇත.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. සිළුමිණ පුවත්පතේ පලවන සැම දෙයක්ම එහිම පලවන් ආණ්ඩු පක්ෂයේ හා ලේක්හවුස් මාධ්‍යවේදීන්ගේ ප්‍රචාරණ ලේකන ඇසුරෙන් නිර්වචනය කල හැකිද? සිළුමිණේ සමන් වික්ර්මරච්චිගේ විග්‍රහ වලට පිටතින් යමක් නැත්ද? කොටින්ම There is nothing out side of the text from Saman’s writing.

Comments are closed.