දළ වශයෙන්, ගතවූ මාස දෙකක කාලය තුල ශ්‍රී ලංකාවේ මිනිසුන් ජීවත් වූයේ අන්‍යයන්ගෙන්  වෙන් වීමෙනි. මින් බහුතර දෙනා පවසන්නේ, තමන්ට මේ පාලුව සහ හුදකලාව දරාගත නොහැකි බවයි. ඉතාලි ජාතික දාර්ශනිකයෙකු සහ ජනසංහාර පිළිබඳ විශ්ලේෂකයෙකු වන ජියෝජියෝ අගම්බෙන් හට ද කට වැරැදීමක් විය. ඔහු මෙසේ කීවේය.

         “ Uniting is good, separating is bad”

 මේ මොහොතේ බහුතරයේ ෆැන්ටසිය වී ඇත්තේ, (විශේෂයෙන් කැලිෆෝනියානුවන්) එකිනෙකාට යළිත් තුරුළු වීමයි. යළිත් මිනිස්සුන්ට රංචු ගැසීම පිළිබඳ ප්‍රතිරූපයක් හෝ සංඥාවක් අවශ්‍ය වී ඇත. ඒ නිසාම දාර්ශනිකයන්ට මේ මොහොතේ වැඩි දෙයක් කිරීමට නොහැකිය. කලාකරුවන්ට ද එය වලංගුය. වැඩිදෙනෙක් යළිත් සමාජය යනු මවගේ තන පුඩුව ලෙස බාරගෙන ඇත.

                   නමුත් මනෝ විශ්ලේෂණයට මෙතැනදී කීමට ඇත්තේ කුමක්ද? මිනිසාව මේ මොහොතේදී වෙළඳපොළෙන් වයිරසයක් ගලවා ඉවත් කර ඇත. දැන් අපට ‘පශ්චාත්’ (Post) යන වචනය යෙදීමට නොහැකි තරම් එය අශීලාචාරය. උද: පශ්චාත්-යුද සමය, පශ්චාත් වික්‍රමසිංහ-සිරිසේන යුගය, පශ්චාත්-පාස්කු ප්‍රහාරය, පශ්චාත් 88-89 යුගය. දැනට අප දන්නා පරිදි ”පශ්චාත්-කෝරෝනා” යුගයක් නැත.

                   මේ හේතුව නිසා වෙළදපොල මඟින් නොසන්සුන් වූ සිත හෝ කය සංවර කිරීමට භාවනාව හෝ ජිම් එක වලංගු නැත. ඊනියා පෙර සූදානමක් ලෙස ‘සමාජ පරතරය’ තබා ගැනීම හැර වෙන විකල්පයක් නැත. මෙම ‘සමාජ පරතර’ න්‍යාය වාමාංශිකයන් පවා විසඳුමක් ලෙස බාරගෙන ඇත. එය දිලිත් ජයවීරගේ දක්ෂතාවයකි.

                ජාතික චින්තන නඩේ විසින් දශක හතරක පමණ කාලයක් තිස්සේ සිංහල පොදුජන මනසට කාවද්දන ලද ‘බටහිර විද්‍යාවේ මිත්‍යාව’ නම් ප්‍රවාදයට කොවිඩ් වෛරසය නිසා මරු පහරක් එල්ල වී ඇත. වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ‘ජීව විද්‍යා මහා ආඛ්‍යානය’ පිළිගැනීමට හුදු ජනයාට කැඳ කෝප්ප අතරේම බලකෙරී ඇත. බටහිර රටවලට විද්‍යාව සහ තාක්ෂණය දෘෂ්ටිවාදයක් ලෙස අවබෝධ වූවත් ජාතිවාදයේ කොටසක් ලෙස අපට එය දශක ගණනාවක් හුරු පුරුදුය. කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාව පැත්තෙන් ඒ තලයේදී ධනාත්මකය. 

              දේශපාලන වශයෙන් ටික දෙනෙක් අසන ප්‍රශ්නයක් ද ඇත. එය නම්, කොවිඩ් වෛරසය නිසා හටගත් තත්වය තුළ අපට ධනවාදය සමතික්‍රමණය කළ හැකිද?

                කොවිඩ් වෛරසය ගැන ලෝක මට්ටමින් මත දෙකක් ඇත.

  1.  මෙම වෛරසය ‘වෛරස’ පිළිබඳ පර්යේෂණ වැඩි දියුණු කිරීමට ගොස් සිදු වූ අහඹු අනතුරක ඵලයක්ද?[vaccine-A vaccine is a biological preparation that provides active acquired immunity to a particular infectious disease.]
  2. වෛරසය පිළිබඳව පළමුව අනුමාන කළ ව්‍යාධිවේදීමය (Pathological) නිරීක්ෂණ ඉතාලියේ සිදු කළ මරණ පරීක්ෂණ නිසා වෙනස් කිරීමට සිදු වූවා ද?

               

                අපි පළමු ගැටලුව පළමුව සලකා බලමු. මේ සම්බන්ධයෙන් ඇමරිකානු පර්යේෂකයන්ගේ ප්‍රථම පන්නයේ නිරීක්ෂණය වූයේ, චීනයට ‘වෛරස පර්යේෂණාගාරයක්’ නඩත්තු කිරීම සඳහා සංස්කෘතික විභවයක් නැති බවයි. ඉන් අදහස් කරන ලද්දේ, වඩා ජීවමාන සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් වැඩි ශාරීරික සහ අධ්‍යාත්මික ශක්තිය ලැබේය යන ආසියානු ගුප්ත මතයයි. ‘යුරෝපය’ විසින් මීට සියවස් ගණනාවකට පෙර ‘විද්‍යාවට’ සංස්කෘතියක් නැති බවත් (සුවිශේෂයක්) එය සාර්වත්‍රිකයක් බවත් ඔප්පු කළේය. අනෙක් පසින්, යුරෝපය කැලෑවෙන් ඈත් වූ පසු යළිත් කැලෑවට ආපසු ගමන් නොයන නිසා ඔවුන්ගේ මාංශ භක්ෂණය ශීලාචාර ය. මින් අදහස් වන්නේ, ආසියාවට මාංශ පරාසයේ (වාණිජ තලයේ) සීමාවක් නැත යන්නයි. ඒ අනුව, විද්‍යාඥයන් හැරුණු විට යුරෝපීය මිනිසා වවුලන්, කැබැල්ලෑවන්, ඔටුවන් වැනි සතුන්ගෙන් ඈතට වී ජීවත් වෙයි. විද්‍යාව දියුණු වී ඇති නූතන මට්ටමට අනුව මස් බීකර තුළ වගා කළ හැකි අතර ඔවුන් ඝාතනය කිරීමක් අනාගතයේදී අවශ්‍ය වන්නේ නැත. 

                ඊළඟ කාරණය වන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ‘කොවිඩ් වෛරසය’ චීනය දැනුවත්ව ලෝකයට බෝ කරා යන මතයයි. ලංකාවේ මේ කාලයේ ‘පාස්කු ප්‍රහාරය’ ඡන්දය සඳහා පාවිච්චි වන ආකාරයත්, ට්‍රම්ප්ගේ ‘චීන වෛරස’ කතාවත් එකම ආකෘතියේ කතාය. ඡන්දය සඳහා සිද්ධි හිමිකම පවරා ගැනීමට වඩා එතැන අන් දෙයක් නැත.

              දැන් අපි දෙවන ගැටලුව වෙතට ගමන් කරමු. වසංගතවාදය පිළිබඳ න්‍යායට අනුව ඉතාම විශාල මට්ටමේ පර්යේෂණාගාර නැතිනම් ‘මරණ පරීක්ෂණ’ නොකළ යුතුය. ඒ අනුව, දුප්පත් රටවලට තමන්ගේම කියා ‘පශ්චාත්-මරණ’ පරීක්ෂණ නැත. අනුන් කියන දෙය කරනවා මිස වෙන කරන්නට දෙයක් නැත. ඉතාලියේ සහ චීනයේ කළ මරණ පරීක්ෂණ වාර්තා අනුව රෝගය අවසන් වන්නේ ඔක්සිජන් මද භාවය නිසා හටගන්නා ව්‍යාකූලතාවයන් රෝගියා මරණය කරා ගෙන යාම තුළිනි. පළමු මොහොතේ දී වෙන්ටිලේටර්ස් සහ ICU ඇඳන් ගැන කතා කළේ ඒ නිසාය. ඒ අනුව, ශ්‍රී ලංකාවට ආවේණික රෝග නිවාරණ ක්‍රම නැත. එය තීන්දු වන්නේ යුරෝපයෙනි. පසුව ඔවුන් මරණ පරීක්ෂණ වැඩියෙන් කළ පසු මරණයට හේතුව ලේ කැටි ගැසීම බවත්, ඒ නිසා ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ යුතු බවටත් තීරණය කරන ලදී. ඒ අනුව, වෙන්ටිලේටර්ස් සහ ICU ඇඳන් කතාව දෙවැනි තැනකට ගිය අතර නැවත ප්‍රතිජීවක සහ ඔක්සිජන් විදීම ප්‍රතිකාර ලැයිස්තුවට එකතු විය. 

                   යුරෝපයේ දැනට වෛරසය ගැන ඇති දැනීම -දැනුම- මත කලින්ට වඩා ඔවුන්ට උත්තර ඇත. ඒවා දැනටමත් ලංකාවේ ව්‍යාධිවේදීන්[Pathologists], වෛරසවේදීන් බෙදා හදාගෙන ඇත. රෝගී මරණ අඩු වූයේ මේ අලුත් දැනුම නිසාය. මේ ගැන හොඳ විස්තරයක් වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතාගේ මුහුණුපොතට යාමෙන් ඔබට ලබා ගත හැකිය. ශ්‍රී ලංකාවේ ලොක්ඩවුන් න්‍යාය තරමක් වෙනස් වූයේ, වෛරසය සමඟ සටන් කරන ආකාරය තරමක් විද්‍යාඥයන් අවබෝධ කරගත් නිසාය.

                  නමුත් සාමාන්‍ය මහජනයාගේ පැත්තෙන් ගත්විට වෛරසය සම්බන්ධයෙන් ‘විද්‍යාව සහ දේශපාලකයන්’ යන කණ්ඩායම් දෙකම අසමත්ය. ඒ නිසා ඔවුන්ට වෛරසය සම්බන්ධයෙන් ඇත්තේ ‘සයිකෝසීය’-psychotic- තත්වයකි. ඊට අමතරව, ‘කොරෝනා වෛරසය’ සම්බන්ධයෙන් ලංකාවේ වාමාංශිකයන් ද අසමත්ය.  ඔවුන් කියන්නේ ද ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ කතාය. අනෙකා අසමත් වන ස්ථානයේදී ආත්මයට තම හිස්කම පුරවා ගැනීමට කුමන හෝ කතාවක් අවශ්‍ය ය. ඒ සඳහා හොඳින්ම ගැළපෙන්නේ විවිධ කුමන්ත්‍රණ කතාය.

                 අපගේ අවිඥාණය යනු, අර්ථය පැත්තෙන් කිසිදු තේරුමක් නැති සැබෑවකි (Real). එය අපගේ විඥාණයේ විරුද්ධ පැත්තයි. විඥාණය සෑම තැනම සොයන්නේ අර්ථයයි. අවිඥාණය කිසිදා අර්ථයක් ගවේෂණය කරන්නේ නැත. කොවිඩ් වෛරසය යනු, සාමාන්‍ය මිනිසාට කිසිදු අර්ථයක් සපයන්නේ නැති සැබෑවකි. එබැවින්, ඔවුන්ට කොවිඩ් යනු psychotic යථාර්ථයකි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.