කුඹීයෝ

එපිසෝඩ් ම 39කට පස්සේ මුකුත් ලිව්වේ නැත්නම් හිතට මදිකමක් වගේ. වමේ පැත්තෙන් හොඳ විචාරයක් කියෙව්වා ළඟදී . ඒක  ලියල තිබ්බේ අක්ෂය බ්ලොග් අඩවියට නජිත් ඉන්දික විසින්. මෙතනින් යන්න පුළුවන්. ඔහු කියන විධිහට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩත් කුඹියෝ ගැන කතා කරලා තියනවා. ඒකනම් දැක්කේ නැහැ. නජිත් ඉන්දිකගේ විචාරය හුඟක්ම නිවැරදියි  වම පැත්තෙන් ගත්තොත්.  ඒ කියන්නේ ජෙහාන් සහ ප්‍රියන්තගේ ග්‍රාමීය මූලයන් ගැන , සහ එම තරුණයන් ගෙන් සමහරක් රැඩිකල් වුනේ කොහොමද සහ වර්තමාන ලිබරල්වාදී සමාජය තුල වමේ පක්ෂ වල දියාරු වීමක් ඇත්තේ ඇයිද යන්න ගැන.
“ජෙහාන් සහ ප්‍රියන්ත දෙපොලම ග්‍රාමීය මූලයක් සහිත තරුණ චරිත. පලමුවැන්නා නාගරික ජීවිතයේ ඇතැම් සූක්ෂමතා අවශෝෂණය කරගැනීම නිසා ‘ස්මාට්’ තත්වයට පත්වූ අයෙක් වන අතර දෙවැන්නා සතුව එම සූක්ෂමතා නැහැ. ජෙහාන් ගතකරන ජීවිතය නරුමයි. තමුන් ගේම්කාරයෙක් බව ඔහු දන්නවා. ඒ ගැන ඔහු ආඩම්බරයි. සතුටුයි. “ (උපුටා ගැනීම අවසන්)

හැබැයි ඔහුත් හීනියට වගේ පොඩි චෝදනාවක්  කරනවා වෘත්තීය සමිති ගැන නිර්මාණකරු දක්වන අපහාසාත්මක නැමියාව සහ ශාක්‍යා නම් ව්‍යාපාරිකයා  උත්කර්ෂයට නැංවීම ගැන. මෙන්න මෙතන.
“කූඹියෝ නාටකය තුල ශාක්‍යා හෝල්ඩිංස් මෝඩ විධිහට උත්කර්ෂයට නංවා තිබෙන හැටි, වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කිරීම කලු පාටින් පින්තාරු කරලා තිබෙන හැටි සහ ඒවා නරුමවාදී වෙලද දෘෂ්ටිවාදය සමග සම්බන්ධ විධිහ ආදී දේවල් මේ සටහන තුල සාකච්ඡා කලේ නැහැ.” (උපුටා ගැනීම අවසන්)

මම ෆේස්බුක් එක දැක්ක තවත් වමේ කෙනෙක් ප්‍රබල ලෙස විවේචනයක් ඉදිරිපත් කරල තියනවා. වමේ පක්ෂයක් අල්ලාගෙන මඩ ගැහීමක් හැටියට තමා ඔහු මේ රූපවාහිනී නාටකය දැකල තියෙන්නේ. ඒ අතරේම ඔහු කියනව කුඹියෝ නිර්මාණකරු, නිර්මාණකරණය ගැන  විතරක් නෙමේ  ලෝකය ගැනවත්  හරියට නොදන්නා දුබලයෙක් කියල. මම පිළිතුරක් ලියන්න හදන්නේ අන්න ඒකට.

මුලින්ම පටන් ගමු අර රෝහින්ගියා ගේම් එකෙන්. (සවුදි අත දැමීම සහ මගේ ලිපිය ) . හැමෝම දන්නවා බුරුම හමුදාව සහ බුරුම අන්තවාදීන් පොඩි හරි හේතුවක් දුන්නොත් රෝහින්ගියා වරුන්ට ගහනවා  මරනවා කියල. ඒක අනිවාර්යයෙන්ම වැරදියි. උන්ව හෙළා දකින්න ඕනේ. ඒකෙ දෙකක් නැහැ. හැබැයි ඒ ක්‍රියාවලියම වෙන ගේම් කාරයෙක් (මෙතනදී සවුදිය) භාවිතා කරනවා තමන්ගේ දේශපාලන සර්වයිවල් එකට. එතැනදී රෝහින්ගියාවේ අහිංසක මිනිස්සු මැරෙන එක උන්ට ප්‍රශ්නයක් නෙමේ. රෝහින්ගියා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් බුරුමයට පීඩනය එල්ල කරලා. රෝහින්ගියා වරුන්ට ඒ ප්‍රදේශවල පාලනයට බලතල බෙදා දීල. මොකදබුරුමයේ අවුන් සුකී පත් කලේ එහෙම කරලා නෙමෙයිද?

දැන් ඉරානේ වෙන්නේ මොකක්ද? අවංකවම කියනවා නම් ඉරානය කියන්නේ මම කැමතිම රටක් නෙමේ. ඒ රටේ මිනිස්සු හුඟක් නිදහසට කැමති, ඉතා  දීර්ඝ ඉතිහාසයක් ඇති, විද්‍යාව, කලාව සංස්කෘතිය ආදියෙන් ඉතාමත්  ඉදිරියෙන් හිටි ජාතියක්. දැඩි ඒක පාක්ෂික ආගමික රාජ්‍ය ක්‍රමයක් නිසා ඔවුන් පීඩාවට පත්වෙලා කියලත් කිව්ව හැකියි.
  ස්වීඩනයේ ඉපදුනු, මගේ බිරිඳගේ යෙහෙලියක් (ඉරාන දෙමාපියන්) ඉරාන පරිගණක ඉංජිනේරුවෙක් බැඳලා ලන්ඩනයේ  හිටිය. ඔවුන් ඉරානයට ගිය වෙලාවේ ඔහුගේ අත අල්ලාගෙන පාරේ යද්දී අත් අඩංගුවට පත්වෙලා. ඊට පස්සේ ඔලුව වහගෙන හිටියේ නැහැ කියලත් චෝදනා කරලා අවුරුදු ගාණකට හිරේ යන්න ඉඳිද්දී බොහොම අමාරුවෙන් බේරිලා ඇවිත්. ඔවුන් අපට කිව්වේ, අමුත්තෙක් නිවසට එනවා නම්, නිවස තුලදී  පවා සැමියා හා අනිත් පිරිමින් වෙනමත් ඇය, ඔහුගේ  මව හා අනිත් ගැහැනුන් සමග වෙනමත්  සිටිය යුතුයි ලු.ඔවුන්  දැන් නෙදර්ලන්තයේ සතුටින් ජිවත් වෙනවා.

ඉතින් ඒ වගේ  රජයක්, පාලනයක් පෙරලන්න පෙළපාලි ඇතිවෙනවා තමයි. නමුත් ඒවා නිකන් ඇති වෙන්නේ නැහැ. ජෙහාන්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා ඕව අවුස්සන්න. උදව්ව එන්නේ  ඊශ්‍රායලයෙන් හෝ  අමෙරිකාවෙන් බවත් රහසක් නෙමෙයි. ඉතින් ඒ  වගේ උද්ඝෝෂණ වලදී මිනිස්සු මැරෙනවා. සමහර වෙලාවට වැඩේ පත්තු කරන ජෙහාන්ල  එහෙම අපේක්ෂා කරන්නේ නැති වුනත්. ඔතන තව කට්ටිය ඉන්නවා මිනියක් දෙකක් බාවන්න බලාගෙන. ඕකයි  ඇත්ත.

මයිඩන් චතුරශ්‍රයේ උද්ඝෝෂණ 

දැන් උක්රයිනයේ කීව් නගරයේ පුටින් ට පක්ෂ යනුකෝවිච් කියන චන්දයෙන් පත් වෙච්ච අගමැති එලවන්න  මයිඩන් කියන චතුරශ්‍රයේ  2014 දී ඇතිවුන  කලබල මතකද? ජෙහාන් ල දෙතුන් දෙනෙක්ම ක්‍රියාත්මක වුනානේ. ඉන් යුරෝපියන්  ජෙහාන්ලට ඕන වුනේ දිගටම උද්ඝෝෂණ ගෙනියන්න. නමුත් ජර්මන්, ඇමෙරිකන් ජෙහාන්ලා කට්ටියක් ඉන් එහා ගියා. අවට තට්ටු නිවෙස්  වල ඉඳන් කවුරු හරි උද්ඝෝෂකයන්ට වෙඩි  තිබ්බ. යනුකොවිච් ගේ පොලිසිය අනිත් පැත්තට වෙඩි තිබ්බා . උද්ඝෝෂකයෝ 100 විතර මැරිලා යනුකොවිච් ට යන්න  වුනා. නමුත් අද දන්නවා  අර 100 ට වෙඩි තිබ්බේ  යනුකෝවිච් අණ   කරලා,  පොලිසිය හෝ හමුදාව නෙමේ කියල.  නමුත් වැඩේ වුනානේ.

ඔහොම බැලුවොත් එක්තරා දූපතක  රජ්ජුරුවන් වහන්සේ ට හාල්පාරු ඇමති මණ්ඩලේ කුත් රටේ ප්‍රදේශ පාලනය කරන ගොබ්බයො රැසකුත් හිටිය මතකද. වංචාව දූෂණය පිරිච්ච තට්ටුවක්. ඕනෑම ජෙහාන් කෙනකුට අල්ලගන්න පුළුවන් කට්ටියක්. ඒ ජෙහාන් ලත් දැනන් හිටිය අර ෆැසිස්ට් බුරුම හමුදාව වගේම පොඩි තල්ලුවක් දුන්නොත් මිනිහෙක් මරන්න, වෙන ජාතියකට සබ්බුව දෙන්න, ගෙවල් කඩන්න හැකි පිරිසක්  මේ අතර ඉන්නවා කියල. ජෙහාන් ල වැඩේ හොඳට කළා. රජ්ජුරුවෝ ගෙදර ගියා. රජ්ජුරුවෝ කියලත් සර්ව සාධාරණව හිටියේ නැහැ නොවැ. ජෙහාන්ලට බනින්නත් බැහැ.

ඊළඟට බලමුකෝ ප්‍රධාන වමේ පක්ෂයක් ගැන. ඒක දෙකට කැඩිච්ච වෙලාවේ, දෙකට තුනට  කඩන්නයි, ඊටත් පස්සේ කැඩිච්ච  කට්ටිය සම්මේලන තියන කොට ප්‍රධාන නළුවෝ, නිළියෝ උස්සන්නයි, උස්සල හංගන්නයි  ජෙහන්ලා අතර මැදි  වුනාද නැත්ද කියල කවුද දන්නේ?

ඊටත් පස්සේ ඒ ප්‍රධාන නළුවා ජිවිතේ බේරාගෙන ගිහින් ආපහු  මැතිවරණයක් ලංවෙන කොට ආයේ තමන් ගේ  රටට එන්නත් අර ජෙහාන් කෙනෙක් ම උදව්  කළාද නැත්ද කවුද දන්නේ?

එංගලන්තයේ පෙන්නුවා ඇමෙරිකන් TV සීරීස් එකක්. හොලිවුඩ් එකේ ලිංගික හිංසා කරන, ගැහැණු මරණ , අපචාර කරන අය  බේරා ගෙන ශේප් කරන්න ගේම් දෙන අයිරිෂ් පවුලක ජෙහාන් කෙනෙක් ගැන. රේ ඩොනවන්. අන්තිමට  තමන් ගැනම කළකිරෙන  රේ ඩොනවන් සිය දිවී හානි කර ගන්නව. දැන් කවුරු හරි කියනවනම් ඒක සම්පුර්ණයෙන්ම  ප්‍රබන්ධයක් කියල හාවේ වෙන්ෂ්ටයින් ගැන පොඩ්ඩක්  කියවන්න. ඔය ජෙහාන් ල තමන් ගැනම කළකිරෙන වෙලාවලුත් තියනවා. එතකොට ළඟම ඉන්න අයත් ඇදගෙන තමයි ප්‍රපාතයට වැටෙන්නේ.

ඉතින් අර වමේ මල්ලි,  කුඹියෝ රුපවාහිනී නාට්‍යයේ නිර්මාණකරු ලෝකය ගැන දන්නේ නැහැ කියන කොට මට හිතෙනව කවුද මෙතන  ඇත්තට ම ලෝකය ගැන දන්නේ නැත්තේ කියල. අනික ඔය ගේම් ගහන්නේ වමේ පක්ෂ කියල පෙන්නුම් කරගෙන ඉන්න පක්ෂ විතරක් නෙමෙයි නේ. හැමෝම  ගහන ඒවනෙ. අනික ශාක්‍යා එකේ ෆැන්ටස්ටික් බුම්බස්ටික් අයිතිකාරයන්ට  වුනත් ගේම් දෙක තුනක් ගහගන්නේ  නැතිව ඔතනට  එන්නේ නැහැ. එන්නත් බැහැ.

නජිත්  ඉන්දිකට මතකද දන්නේ නැහැ 1980 වැඩ වර්ජනය. ඒ කාලේ ප්‍රගතිශීලිම විප්ලවකාරිම පක්ෂයේ නායකයා උපදෙස් දුන්න කියනවනේ කම්හල්, වැඩපල, ඔෆිස් වල තම පක්ෂයේ කියල අනික් අය දන්නවා නම් විතරක් ස්ට්‍රයික් කරන්න. නැත්නම් රස්සාව බේරාගෙන ඉන්න කියල. මොකද අරගොල්ලෝ එලියට දැම්ම ගමන්  අලුතින් එන ප්‍රියන්ත මහ උල්පතගම ආදී නවකයන්ට   මග පෙන්වල වෘත්තීය සමිති හදන්න වෙන්නේ රැකියා බේරාගෙන ඉතිරි වෙන තමන්ගේ කට්ටිය නිසා. ඒක එහෙමම  වුනානේ. නැත්ද මම අහන්නේ? කී  දෙනෙකුට රස්සා නැති වුනාද?

අනික ඉන්දික මහතා අපි දැක්කේ අන්තරේ දේශපාලන රැලි වලදිනේ. අන්තරේ වුනත් එතුමාට ඕනෑ විධිහට මෙහෙයවන්න බැහැනේ.මුලික කමිටුව ඇරුනහම  ඒ කාලේ ඉඳන්ම පක්ෂයක් දෙකක් සහ ජෙහාන් ල කිහිප දෙනෙක්  අතරමැදිව හිටියනේ. නැත්ද? ඒවා එහෙම තමයි හැම තැනම.

දැන් දියුණුයි කියන රටක් වන බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය හෙම වෘත්තීය සමිති වලට සහයෝගය දෙනවා සාමාන්‍යයෙන්. මේ ලඟදී  ටියුබ් රියදුරන් වර්ජනයක් කලා. හේතුව අස් කරනව කියල නෝටිස් එකක් රියදුරෙකුට දුන් නිසා. රියැදුර කලින් දවසේ හොඳටම බීල වැඩට ඇවිත් වැඩ කරන තැන නිදාගෙන. කම්කරු පක්ෂයට වුනත් පුලුවන්ද ඔය වගේ වර්ජනයකට උදව් කරන්න. නමුත් ඒ ගොල්ල කට පියාගෙන හිටියේ. වෘත්තීය සමිති වල බලය ඒ වගේ. අවශ්‍ය දේටයි එපා දේටයි  ඔක්කොටම වර්ජනය යොදා ගත්තම ඒවත් මිනිස්සු අතරේ අප්‍රසාදයට පත්වෙනවා නේද?  ඔය වගේ දේවල් පෙන්වා දෙන එක ඒ අරගල වලට විරුද්ධ වීමම නෙමෙයි. මිනිසුන්ව දැනුවත් කිරීමක්.

හරි දේට කෑ ගහපන්. බොරු දේට තමන්ගේ පැත්තේ වුනත් විරුද්ධ  වෙයන්. මං හිතන්නේ ඒක  තමයි පණිවිඩය.

කුඹියෝ නිර්මාණයත්  එය ඉදිරිපත් කරන නළු නිළියනුත් ඉතාමත්ම දක්ෂයි. රඟපෑම් විශිෂ්ඨයි. සෑහෙන කාලෙකට පස්සේ සිංහල භාෂාවෙන්  නාට්‍යයක් බලන්න පිටරට අපටත් අවස්ථාවක් දුන්නට ඇත්තටම ස්තුතියි.

“කුඹියෝ”, “සහෝදරයා” සහ “පැරිසියට යන පාර” රස විඳින ගමන්.

ප.ලි.- කූඹීයෝ ගැන තවත් සටහනක් : කුඹී කෑම , සහෝදර පෙම සහ අනිත් එක

Ajith Dharmakeerthi

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

පුබුදු ජයගොඩ ගේ කතාව මං ඇහැව්වා. ඒ සම්මන්ත්‍රණය තිබුණේ දෙසැඟ්බර් 20 දා ජාතික චිත්‍රපට සංස්ථාවේ කුඩා කාමරයකයි. පොරගේ කතා විලාශය සහ අදහස් මා සිත් ගත්තා.
පොර කී මගේ මතකයේ රුඳුණු මූලික කාරණය තමයි, වාමාංශික ව්‍යාපාරය ජෙහාන්ලා හයර් කරලා වෘත්තීය සමිති හදන්නේ නැති බව. නමුත්, නිර්මාණයක් ලෙස එලෙස පෙන්නීමේ ලොකු වරදක් ඔහු දකින බවක් කීවේ නෑ.

පුබුදු ජයගොඩ හෙවත් ලසිත මහත්තය දන්නා තරම වෙන්න ඇති. හැත්තෑ ගණන් වල අග භාගයේ වෙන්න ඕනේ. රත්මලානේ තිබ්බ හෙන්ට්ලි ගාමන්ට් කියල කොම්පැනියක්. ඔය කටුනායක ඇඳුම මහන ගාමන්ට් කොම්පැණි එන්න හුඟකට කලින්. දැන් තියෙනවද දන්නේ නැහැ. ඒකෙ ස්ට්‍රයික් එකක් කලා. පිටින් ගේමක් දීල කෙල්ලෝ ටික එලියට ඇද්දේ. පක්ෂය සමසමාජ සහ කොමියුන්ස්ට් පක්ෂ ඒකාබද්ධ කල එක්සත් වංශික පෙරමුණ වගේ නමක් තියෙන එකක්. වාසුදේව නායක්කාර, තව කාන්තා ලීඩර් කෙනක් (විවියන් වෙන්න ඕනේ) , වික්‍රමබාහු තමා හිටියේ ස්ටර්යික් එක ඉස්සරහ

මම පොඩි කොල්ලා ඒ කාලේ. නමුත් ගේම් එක ගැන දන්නවා.. ස්ට්‍රයික් කළ කෙනෙක් පවුලේ හිටි නිසා.
හෙන්ට්ලි එක අයිති වෙලා තිබ්බේ යුඑන්පි එකට සම්බන්ධ චොක්සි ලට සහ හෙන්ට්ලි ජෝසප් කියල කෙනෙකුට. රුසියාවට, ස්වීඩනයට ඇමෙරිකාවට ඇඳුම් යවපු කම්පැනි එකක්. මම දන්නා විධිහට ටොයිලට් යන්න වෙලාව තිබ්බ. දවල්ට කෑම එක දුන්න. ඔන්න ඔහොම.
ඊට පස්සේ ආපු කටුනායක ගාමන්ට් වල ඊට අන්ත විධිහට සේවකයන්ට සැලකුවේ.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “කූඹියෝ නාටකය තුල ශාක්‍යා හෝල්ඩිංස් මෝඩ විධිහට උත්කර්ෂයට නංවා තිබෙන හැටි, වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කිරීම කලු පාටින් පින්තාරු කරලා තිබෙන හැටි”

    මෙන්න මේක නම් හොන්දින් දෑන ගන්න පුලුවන් ටිකක් අත මිට සරු(වෑඩ් වෑටුපක් ලබන) ලන්කාවේ ජීවත් වන වෑටුප් ශ්‍රමිකයෙක් එක්ක කතා කලා නම්, පිස්සු වෑට්ල ඉන්නෙ .

    Ajith Dharmakeerthi ගොඩක් දේවල් දන්න කෙනෙක් වගේ නෙ, එන්නකෝ ලන්කාවට, ආස නෑද්ද ලනකාව ලස්සන, යහපත් රටක් කරන්න.

Comments are closed.