අප විසින් න්‍යායගත කරන ලද ‘අන්තිම ධනවාදය’ පිළිබඳ සාකච්ඡාවේ දී ජනප්‍රිය සංවාදය වූයේ, පශ්චාත්-නූතනවාදය යි. 21 වැනි සියවසේ පළමු දශකය මැද භාගයේ සිට ආරම්භ වූ ජවිපෙ අනුදත් ‘රාජපක්ෂවාදය’ 2009 වසරේ දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරය පරාජය වීමෙන් පසුව සලකා බලන ලද්දේ නව-යුතෝපියාවක් ලෙසිනි. මින් අදහස් වන්නේ, අවම වශයෙන් සිංහල-බෞද්ධ බහුතරයට තම අනාගතය පිළිබඳ සිහිනයක් දකින්නට වරයක් උදා වූ බවයි.

              90 දශකය මැද වන විට, සාහිත්‍යයේ සිට දේශපාලනය දක්වා වූ විවිධ ප්‍රපංචයන් තුළ ‘යථාර්ථවාදය’ (Realism) ක්‍රම ක්‍රමයෙන් වියැකී ගියේ ය. අනෙක් පසින්, ආගමේ සිට ගෘහ නිර්මාණය හරහා පවුල දක්වා අඩවිවල පැවති ‘නූතනත්වය’ (Modernity) වියැකී යාම  20 වන සියවස අග දී සම්පූර්ණ විය.

              අපි පළමුවෙන් ‘යථාර්ථවාදය’ සහ ‘නූතනවාදය’ අතර වෙනස නැවත 2020 දී කියවමු.

යථාර්ථවාදය යනු, ධනවාදී සමාජ සබඳතා තහවුරු වෙමින් යද්දී ‘සංස්කෘතියට’ ඊට එරෙහිව යාමට ප්‍රතිශක්තියක් සහ විරෝධාකල්පයක් වීමට හැකි විභවතාවය පිළිගැනීමයි. ‘නූතනවාදය’ යනු, සංස්කෘතිය සතු විවේචක සහ සටන් කිරීමේ හැකියාව වියැකී යාම පිළිගැනීමයි. නමුත් නූතනත්වය යනු, සංස්කෘතිය භාණ්ඩකරණය වී යන අතරදීම ආගම, කලාව සහ දර්ශනයට කිසියම් හෝ පූජනීයත්වයක් ඉතුරු වේ යැයි විශ්වාස කිරීමයි. ‘නූතනවාදය’ යනු, එම අර්ථයෙන් සංස්කෘතිය සතුව කිසියම් හෝ නිශේධන බලයක් සතු යැයි හිතා ගැනීමයි.”

                  නමුත් පශ්චාත්-නූතනවාදය ධනවාදයේ අවසන් කාර්තුවට පැමිණි විගස නූතනත්වය තුළ අවසන් ප්‍රාර්ථනාව වූ කිසියම් තැනක හෝ පූජනීයත්වයක් ඉතුරු වේ යැයි යන අදහස ද අභියෝගයට ලක් වෙයි. උදාහරණයක් ලෙස, ”මාර්ෂල් ඩූෂාම්” පිස් පෝච්චියක් කලාගාරයේ තැන්පත් කළ වහාම යමක කේන්ද්‍රයේ වූ හිස් බව පවා ලෞකිකකරණය විය. එවිට, කලාත්මක නිෂ්පාදන වලට හිමි පූජනීයත්වය එයට අහිමි විය. අවශ්‍ය නම්, කලාව ‘අර්ථයෙන්’ ‘ආවේදනයන්’ (Affects) කරා විතැන් වූ බව පෙන්වා දීමට හැකිය. මේ හේතුව නිසා, කලාකරුවා ‘සමාජ-අර්ථ’ සොයනවාට වඩා එහි විරුද්ධ පැත්ත ‘නිරර්ථකය’ (Non-sense) දෙසට මාරු විය. කලා කෘතියකින් ප්‍රඥාව ලබනවාට වඩා විනෝද වීම තහවුරු වීම සලකුණු වූයේ, මෙම මංසන්ධියට පසුව ය.

                  නමුත් අපගේ අලුත් ගැටලුව ඉහත ඉතිහාස කතාව නොවේ.

අභියෝගාත්මක ලෙස ඔවුන් අසන අලුත් ප්‍රශ්නය කුමක්ද? ලංකාවේ දී 2005ට පසුව පශ්චාත්-නූතන තත්ත්වය අවසන් වී රාජපක්ෂවාදය යථාර්ථවාදයක් (Realism) වී නැත්ද? 

              අපගේ චින්තනය සරල රේඛීය නම් සහ පඩි පෙළක් දිගේ ඉහළ නගින සුළු ඥාන-විභාගයක් නම්, 90 දශකයේ සිට වර්තමානය දක්වා වූ කාලය මෙලෙස යුගවලට වෙන් කළ හැකිය. නිදහසට පසු සිට යථාර්ථවාදය සහ නූතනවාදය කලා නිර්මාණ තුළත්, සමාජ ජීවිත තුළත් සාම්ප්‍රදායික දෛනික ජීවිතයට එරෙහිව සටන් වැදුණේය. 90 දශකය මැද වන විට 77ට පසුව ඇති වූ ආර්ථික නිර්බාධකරණය නිසා යථාර්ථවාදය සහ නූතනවාදය දශකයක පමණ කෙටි කාලයකට පශ්චාත්-නූතනවාදය මගින් ආදේශ විය. එහිදී ‘යථාර්ථවාදය’ විවිධ න්‍යාය විරෝධයන්ට ලක් වෙමින් පැවති අතර ‘නූතනවාදය’ බටහිර යටත් විජිත හිමියාට එරෙහිව ආඛ්‍යානගත (පශ්චාත් යටත්විජිත කතිකාව ලෙස) විය. මේ නිසා, අපට සංස්කෘතියේ සංයුජතාවයට මෙලෙස කාලානුරූපයක් සකස් කළ හැකිය.                              

යථාර්ථවාදය—-> නූතනවාදය—-> පශ්චාත්-නූතනවාදය.

ඉහත සඳහන් වන්නේ, කාලානුරූපයක් මිස අර්ථය වර්ධනය වන දිශානතියක් නොවේ.

                ලාංකීය මෑත දශක දෙකක පමණ කාලය තුළ දී ඉහත කාලානුරූපයට අලුත් සංඝටකයක් එකතු විය. ඒ රාජපක්ෂවාදය යි. මෙතැනදී, බහුතරයට මෙය විරුද්ධාභාසයක් වීම වැළැක්විය නොහැකිය. මන්දයත්, අපගේ නව කලානුරූපය පහත පරිදි වන නිසාය.

එනම්, යථාර්ථවාදය—> නූතනවාදය—>පශ්චාත් නූතනවාදය (ධනවාදයේ සංස්කෘතික අවධිය) රාජපක්ෂවාදය. (එනම්, සාම්ප්‍රදාය සහ නූතනත්වය රැඩිකල් ලෙස අනු-සන්ධානගත වීමයි- ජාතිකත්වය

                  ඒ අනුව, යම් පුද්ගලයෙකුට ‘පශ්චාත්-නූතනවාදයට’ පසුව රාජපක්ෂවාදය පැමිණිහම ප්‍රහේලිකාවක් ජනනය කිරීමට හැකි ය. ‘ස්ත්‍රියට අවශ්‍ය කුමක් දැයි මම නොදනිමි’ යන ෆ්‍රොයිඩියානු ආප්තය ලංකාවේ දී වාමාංශිකයන්ට මෙම මංසන්ධියේ දී අදාළ කළ හැකිය. පැහැදිලි ලෙසම, ඔවුන්ට ‘රාජපක්ෂවාදය’ න්‍යායගත කිරීමට නොහැකි ය. මේ සමහර අය කලින් පශ්චාත්-නූතනවාදය ධනවාදය තුළ සංස්කෘතිය පාරිභෝගික භාණ්ඩකරණයට ඇතුල් වූ බව පිළිගත් නිසාම ගැටලුව වඩා දුෂ්කර වී ඇත. අනෙක් පසින්, පැරණි වම (වාසු, බාහු, සිරිතුංග) සහ ඊනියා තරුණ වම යන පටු සමාජ තීරය පවා අප විසින් ඉදිරිපත් කළ පශ්චාත්-නූතන ප්‍රවාදය අවසානයි යන තර්කයට පැමිණියේය. තාර්කික ලෙස මෙවන් අවසානයන්ට එළඹීම නරක නැත.

               නමුත් එය එසේ වන්නේ, අපගේ පැත්තෙන් ‘රාජපක්ෂවාදය’ අපට න්‍යායගත කිරීමට නොහැකි නම් ය. අපගේ අනුකාරකයන් පවා දේශීය, පෙරදිග ආදී වශයෙන් දෝලනය වන්නේ අහම්බයකින් නොව ‘රාජපක්ෂවාදය’ න්‍යායගත කිරීමට නොහැකි නිසා ය.

                ‘රාජපක්ෂවාදයට’ තුඩු දුන් ඓතිහාසික පසුබිම ඉතාම කෙටියෙන් සලකා බලමු. 77ට පසුව සිදු කළ ආර්ථික නිර්බාධීකරණය නිසා එක පැත්තකින් ඒ දක්වා ආර්ථික ක්‍රියාකාරීත්වයට ඇතුල් කර නොගත් විශාල පිරිසක් ඊට ඇතුල් කර ගත් අතර අනෙක් පසින්, ධනය උපයන නීති විරෝධී ආකල්ප වලින් යුතු පිරිසක් ද බිහි විය.

               තවත් සරලව කිවහොත්, 77 දක්වා පැවති නිල ආර්ථිකය ඒ තුළම නිල හා නිල නො වන ලෙස බෙදී ගියේ ය. ඊට හොඳම උදාහරණය මහවැලි ව්‍යාපෘතිය යි. ලංකාවේ නිල නොවන ආර්ථිකයේ පළමු ඒජන්තයා ගාමිණී දිසානායක මහතා ය. මින් සන්දර්භගත වන්නේ, අපරාධ (Crime) යනු ද ව්‍යාපාරික අවස්ථාවක් බවයි. මෙම අදහස 77ට පෙර පැවති අදහසක් නොවේ. උදාහරණයක් වශයෙන් ගතහොත්, ‘මත්ද්‍රව්‍ය’ යනු 77ට පසුව අපරාධයක් නොවේ. එය ව්‍යාපාරයකි. (Drug trade is a business.) එයට ඇත්තේ, නීත්‍යානුකූල ව්‍යාපාරයකට හිමි ව්‍යුහාත්මක ලක්ෂණයන් ය. මේ ගැන අවබෝධයක් නැති නීති සුරකින ආයතන ‘මත්ද්‍රව්‍ය’ ගැන නිවැරදි ප්‍රශ්ණ අසන්නට දන්නේ නැත. ( උදා:-  පොලිසිය, අධිකරණය, පූජ්‍ය පක්ෂය, NGO, සදාචාරවාදීන්.)  මෙන්න මේ හේතුව නිසා, එනම් නීති විරෝධී ව්‍යාපාර නිවැරදිව ධනවාදයේම අතිරික්ත බව වටහා නොගන්නා නිසා “අලුත් සමාජ අවකාශයක්” බිහි වෙයි. ධනවාදය පිළිබඳ අවිද්‍යාව නිසා හට ගන්නා මෙම අලුත් අවකාශය අලුත් ‘යථාර්ථවාදයක්’ සඳහා ඉඩ විවර කරයි. රාජපක්ෂවාදය බිහි වන්නේ, 77ට පසු බිහි වන ‘දේශපාලන-ආර්ථිකය’ වටහා ගන්නට යටත්විජිත සමාජ ආයතන- ප්‍රාදේශීය ලේකම්,  මූලස්ථාන පොලිස් පරීක්ෂක, සුරා බදු නිලධාරියා- අසමත් වන ලක්ෂයේ දී බිහි වන ද්විත්ව බලය (Dual power) නිසා ය. මේ ද්විත්ව බලය වන්නේ, නිල ලත් ආර්ථික ජීවිතය සහ අපරාධ ලෝකය යනුවෙන් සමාජ ජීවිතය ද්විගුණ වීම නිසා ය.

                 ‘රාජපක්ෂවාදය’ යථාර්ථයක් වූයේ, 77ට පසුව පශ්චාත්-රාජ්‍ය ව්‍යුහයේ විකරණය සන්දර්භ කොටගෙනය. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කිරීමට හැකිය. පසුගිය දිනෙක, මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවියට අටුවාවක් ලියන කුසල් පෙරේරා සහ උපුල් ජෝසප් ප්‍රනාන්දු යන මහත්වරුන් අවධාරණය කරන්නේ මව් පෙරමුණ, මහජන සිත් බඳිනා පෞරුෂය, මානව හිමිකම් සටන වැනි ඒවා ය. මා සිතන්නේ, එය ඔවුන්ගේ සිවිල් දෘෂ්ටිය කියා ය. මගේ දේශපාලන අවබෝධයට අනුව, මහින්ද ඉදිරියට එන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති නිල සහ නිල නොවන ආර්ථික ගැටුම තුළ හටගත් සූරියවැව ප්‍රදේශයේ පාතාල දේශපාලනය හරහා ය. ද්විත්ව බලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔහුගේ පුහුණු පාසල සූරියවැව ප්‍රදේශය යි. වාමාංශිකයන්ට තණමල්විල ගරිල්ලා මුල කඳවුරක් වූ විට මහින්දට අලුත් දේවල් සටහන් වූයේ, සූරියවැව හටගත් දිව්ත්ව බලය හැසිරවීමේ කලාවෙනි.

                      පුදුමාකාර අහම්බයකට මෙන් LTTEය ද තමන්ගේ ඇචිලස් විලුඹ තෝරා ගෙන තිබුණේ, ද්විත්ව බලය තුළිනි. ඔවුන් තම සන්නද්ධ බලය භූගත කර තිබුණේ ආකාර තුනකිනි. උතුරට ඔවුන් සාම්ප්‍රදායික සන්නද්ධ බලය යෙදවීය. නැගෙනහිරට ඔවුන් යෙදවූයේ පහර දී සැඟවීමයි. දකුණු ප්‍රදේශයට ඔවුන් යෙදවූයේ ත්‍රස්තවාදය යි. නමුත් ඔවුන්ගේ මූලෝපායික සටන් ශෛලිය වූයේ, ද්විත්ව බලයේ පාතාල කොටසයි. එනම්, තීරණාත්මක ඝාතන ඔවුන් එල්ල කරනු ලැබුවේ කුලී මිනීමරුවන්ගේ සේවය හරහා ය. තීරණාත්මක මොහොතේ දී සිදු වූයේ පාතාල තර්ක දෙකක් එකට සම්මුඛ වීම පමණි. 

               LTTE පරාජයත් සමඟ දකුණු පළාතේ බහුතර සිංහල ජනයාට යුතෝපියාවක් තනා ගන්නට අවශ්‍ය තරම් රාජපක්ෂලා යථාර්ථවාදීන් විය.  මෙතැන දී ඔවුන් යථාර්ථවාදීන් යැයි අප සලකන්නේ, සාහිත්‍ය සම්බන්ධයෙන් නොව ”ආර්ථිකය” සම්බන්ධයෙනි. තැචර්වාදී අලංකාරිකයකින් කියන්නේ නම්, මහන්සි වෙලා වැඩ කළොත් දහදිය නිවාගන්න ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලට ගොඩවෙච්ච කෙනෙකුට ඒක ඊට දශක දෙකකට පස්සේ මිලට ගන්න පුළුවන් වෙනවා.

                     ලංකාවේ නිල ආර්ථිකයට (මහ බැංකු වාර්තාවට අනුව) කන්න බොන්න දෙන්න පුළුවන් වැඩ කරන ජනතාවගෙන් මිලියන දෙකකට විතර පමණයි. ඉතුරු මිලියන 6 ක පමණ ජනතාවට මොනවා හරි කරලා තමයි ජීවත් වෙන්න තියෙන්නේ. රාජපක්ෂවාදය යථාර්ථයක් වෙන්නේ මෙන්න මේ මිලියන හයට. ඔවුන්ට කරන්න ඉතුරු වෙලා තියෙන බහුතරයක් වැඩ නීති විරෝධී වැඩ. රාජපක්ෂවාදය විසින් ඉටුකරේ ලංකාවේ පාතාල ආර්ථික ක්‍රියාකාරකම් වලට (කොටස් වෙළෙඳපොළ විකෘති කිරීමේ සිට නිල කප්පම් ලබා ගැනීම දක්වා) ව්‍යුහාත්මක ගැලපීමක් හඳුන්වා දීමයි. මිනිස්සු රාජපක්ෂලා යථාර්ථවාදීන් කියන්නේ මෙන්න මේ හේතුව නිසාය.

                පවතින ‘දේශපාලන-ආර්ථිකය’ නිසා මිනිසුන්ට ආර්ථික ජීවිත දෙකක් අතර වැනෙන්නට සිදු වෙයි. මෙයින් නිල ආර්ථික ජීවිතය තුළ ජීවත්වන්නන්ට (රජයේ සේවකයන් සහ පුද්ගලික අංශයේ ස්ථිර රැකියා කරන්නන්) ආර්ථික සුරක්ෂිතභාවයක් තිබෙන අතර නිල නොවන මොකක් හෝ කර ජීවත් වන පිරිසට තම ආර්ථික ක්‍රියාවලිය තුළ කුමන හෝ නීති විරෝධී කටයුත්තකට සහභාගී වීමට සිදුවීම අනිවාර්යතාවයකි. මින් පළමු කොටසට ධනවාදය ස්වාභාවික වී ඇති අතර දෙවැනි කොටසට ධනවාදය යථාර්ථයක් (පරමාදර්ශයක්) කිරීමට සාපේක්ෂ වශයෙන් අපරාධකරුවෙක් වීමට සිදු වෙයි. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදියෙකු ලෙස සියල්ල දෙස නරඹන්නේ මෙම දෙවන කොටසයි.

                      ඊළඟ ගැටලුව වන්නේ, නිල වශයෙන් ආර්ථිකයක් නඩත්තු කරන සහ ඊට පරස්පරව පාතාල ආර්ථිකයක් ද නඩත්තු කරන තත්ත්වයක් තුළ මේ තල දෙක අතර පෑස්සිය නොහැකි පරතරය කලාත්මක කෘති මගින් නියෝජනය කරන්නේ කෙසේ ද යන්නයි. උදාහරණයක් ලෙස, කලා විචාරකයන් ලෙස සැලකෙන අය ජීවත් වන්නේ නිල ආර්ථික ලෝකය තුළය. එහි සංස්කෘතික තලය පශ්චාත්-නූතනවාදී ය. අනෙක් පසින්, කලාකෘති නිෂ්පාදකයන් ජීවත් වන්නේ නීති-විරෝධී ආර්ථිකය තුළ ය. ඔවුන් යථාර්ථවාදීන්ය. නමුත්, මේ තල දෙකටම පොදු යථාර්ථය වන්නේ ධනවාදය යි. නමුත් එක පාර්ශවයක් ධනවාදය දෘෂ්ටිවාදයක් ලෙස සලකන අතර අනෙක් පාර්ශවය ධනවාදය දියුණු වීමට ඇති විකල්පයක් ලෙස අත්විඳියි. මේ විරුද්ධාභාසය නිසා ඇති වී ඇත්තේ හාස්‍යයකි.

  – දීප්ති කුමාර ගුණරත්න- 

             -ඉතිරිය ඊළඟ ලිපියෙන්-

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[==========

 නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...