දාස බවට යන පාරේ ගමන් කරන ලාංකිකයන් බහුතරය, තමන් පත්කරගත්ත මංකොල්ලාකාරයා පළවා හැර තම පාලනය සඳහා හොයන්නේ ඊටත් වඩා දැඩි ලෙසින් මංකොල්ලය උත්කර්ෂවත් කරන්නෙක් යැයි නොදකිති. මංකොල්ලය කුමක්දැයි වටහාගෙන එය ප්‍රසිද්ධියේ හෙළා දකින්නෙක් ලංකාවේ තවමත් නැතිකම ඛේදයකි!!!!

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය!!! ඒ නම පමණක් ප්‍රමාණවත් මංකොල්ලය කුමක්දැයි දන්නා අයට ඊට සහයෝගය නොදෙන්නට!!!

සමාජයක වාසය කරන එක එක පුද්ගලයා සාධාරණය ඉෂ්ට වෙන්නේ කෙසේදැයි වටහා ගනිද්දී පමණක් සාධාරණය ක්‍රියාවට නැංවෙයි. එසේ වටහා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව යම් සමාජයක වැඩි වෙන්නේ ද පුද්ගලයන් අතර සාධාරණ ලෙස කටයුතු කිරීම වැඩිවෙන අතර, ඒ පුද්ගලයන් සංඛ්‍යාව යම් සමාජයක අඩු වී යයි ද පුද්ගලයන් අතර අසාධාරණ බැවින් වැඩියෙන් කටයුතු කිරීම ද දකින්නට පුළුවන්.

වත්මන් ජනාධිපති පරදවන්නට පොදු අපේක්ෂකයෙක් පත්කරගෙන එකම එක කාර්යයක් ඉටු කරගන්නට, එනම් විධායක ජනාධිපති ධූරය අහෝසියට මාස හයක දී සමත් වී, ඉන්පසුව නැවත මැතිවරණයක් ගෙනෙන්නට අදහසක් ඔය කියන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ඉදිරිපත් වී ඇත.

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක වැන්නෙක් විධායක ජනාධිපති ධූරය හෙබවූයේ නම් තනතුර අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කරු ජයසූරිය මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා ඇත. ඩඩ්ලි සේනානායක කොච්චර සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වූ අයෙක් දැයි පෙන්වන්නට කරු ජයසූරිය දක්වන උදාහරණය කියෙව්වාම ලංකාවේ බහුතරය මංකොල්ලය කුමක්දැයි නොදන්නකම හොඳටම පැහැදිලියි.

“ඩඩ්ලි සේනානායක අගමැති ධූරය හෙබැවූ සමයේ පුද්ගලික අංශයේ සේවකයන් තම පඩි වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ විට හාම්පුතුන් එම යෝජනාවට විරෝධය පළ කළ නමුත් අගමැතිවරයා හදිසි නීතිය ප්‍රයෝජනයට ගනිමින් සේවකයන්ගේ යෝජනා අනුමත කිරීමට සහයෝගය ලබාදුන්…” ඉතින් වේතන නොහොත් ශ්‍රමයේ වටිනාකම වෙළඳපොල තීරණය කරන්නක් මිසෙක හාම්පුතුන්ට හෝ දේශපාලකයන්ට තීරණය කළ හැකි වූවක් නෙමෙයි යන්න නොදන්නා ඩඩ්ලි වගේ අයෙක්, විධායක ජනාධිපති වුනත්, හදිසි නීතියකින් පඩි වැඩි කරන්න අනුමැතිය දුන්නත්, එයා ඒකාධිපති පාලකයෙක් විදියට නෙවෙයිලු වැඩ කළේ?!!!! 😀

විධායක ජනාධිපති ධූරයට පෙර දේශපාලනයට කෝඩුකාරියක් වූ ලොව පළමු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරණායක පාලනයේ දී ද සාධාරණ සමාජයක් උදෙසා ගෙන ගිය රටේ සැලසුම් තීරණය වූයේ ද මංකොල්ලය උත්කර්ෂවත් කරමිනි. අක්කර පනහට වැඩි ඉඩම් රජයට ගැනීම. පුරවැසියෙක් පරිභෝජනය කළ යුත්තේ මෙච්චරක් පාන් සහ මෙච්චරක් පිටි යැයි රජය තීරණය කිරීම!!!

ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයක් තුලින් ධර්මිෂ්ඨ සමාජය උදෙසා රටේ දියත් වූ සැලසුම් දියත් වූයේ ද සැලසුම්ගත ආර්ථිකයක මංකොල්ලය උත්කර්ෂවත් කරමිනි. මහවැලිය සහ අපනයන සැකසුම් කලාපය යනු රටේ ආර්ථිකය විවෘත කිරීම හෝ මහජනතාවට පැටවෙන ණය සහ බදු බර අඩු කිරීමක් නොවේ.

2011 දී ඔය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භයේ දී “ජීවිතයට යුක්තිය” නමින් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී “අපි හැමෝම එකතුවෙලා කටයුතු කරන්න දැන් කාලය ඇවිල්ලා,” කියපු දයාසිරි ජයසේකර දැන් කවුරු එක්ක එකතුවෙලා කටයුතු කරන්නෙ හැබෑටම කවුරුන් වෙනුවෙන් ද දන්නෑ?!!!

කැමැත්තෙන් නොදෙන දෙයක් බලහත්කාරයෙන් ගැනීම මංකොල්ලයකි. ආණ්ඩුව ලවා නීතියක් පනවන ලද නිසා මංකොල්ලය සාධාරණ ක්‍රියාවක් වනුයේ නැත. අනුන්ගේ වැයෙන් තම මල්ල පුරවාගන්නේ මංකොල්ලකාරයායි.

ඔබට මෙතෙක් ලැබුනේ ද, අනාගතයේ ලැබෙන්නේ ද ඔබ ඉල්ලන දැයමයි!!!!

දයාබර පාඨකයෙනි, ඔබට අවශ්‍ය මංකොල්ලය උත්කර්ෂවත් කරන්නෙක් ද?!!!

අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබේ අදහස කියන්න...