ලංකාවේ නිදහසින් පසු පැවැති සියලුම පාලන තන්ත්‍ර පදනම් වූයේ, කටකතා, කේළාම්, ව්‍යාජ තොරතුරු මත ය. එය, ජේ. ආර් ගේ සිට සිරිමාවෝ හරහා චන්ද්‍රිකා දක්වා ද, ප්‍රේමදාසගේ සිට ලලිත්-ගාමිණී හරහා රනිල් වික්‍රමසිංහ දක්වා ද සත්‍යය. මේ සියලු දෙනා කටකතා සහ කේළාම් විශ්වාස කරන අයවලුන් ය. මෙය, ලංකාවේ දැනට පවතින විජේවීරවාදයට ද අදාළ ය. ඔවුන්ගෙන් බහුතරය කේළාම් කියන අය වන අතර කටකතා නිෂ්පාදකයන් ය. කටකතා නිෂ්පාදනය හරහා විවිධ යථාර්ථයන් මැවීමට කුමාර් ගුණරත්නම් රුසියෙකි. ඔහුගේ කටකතාවල විශේෂත්වය වන්නේ, ඔහු හදන කටකතාවලට අවසානයේ ඔහු ද රැවටීමයි. මීට අමතරව, ලංකාවේ ආගමික සංස්ථාපිතයන්ගේ නායකයන් ද කටකතා නිපදවීමට සහ බෙදා හැරීමට රුසියන් ය. කෙනෙකු කටකතා ඕනෑවට වඩා විශ්වාස කිරීම කෙතරම් භයානක ද යන්නට හොඳම උදාහරණය වන්නේ, මැල්කම් රංජිත් කාදිනල්වරයා ය. ඔත්තු සේවාවන් විසින් සමහර සංවිධාන සහ පුද්ගලයන් මෙහෙය වීමට නිෂ්පාදනය කරන කටකතා රාජ්‍ය නායකයන්ව පවා විනාශ කරවන මට්ටමට ළඟා වූ රටක් ඇත්නම්, ඒ ශ්‍රී ලංකාව පමණි.

         කටකතා සහ දූෂමාණ ආරංචි පිළිබඳව ශ්‍රී ලංකාවේ විධිමත් සහ දාර්ශනික ප්‍රවේශයක් සහිතව තවම අධ්‍යයනයක් කොට නැත. බොහෝ විට සිදු වී ඇත්තේ, ලංකාවේ ඇකඩමියාවම කටකතා සහ ඕපාදූපවලින් ව්‍යුහගත වීමයි. පළමුව අප වටහාගත යුත්තේ, කටකතා සහ ඕපාදූප හට ගන්නේ කුමන ආකාරයේ සමාජ අර්බුදයක් පවතින විටදී ද යන්න ය. දෙවනුව, සමාජ මාධ්‍ය ප්‍රචලිත වූ යුගයක සත්‍යයට සිදු වන්නේ කුමක් ද යන්න විභාග කළ යුතු ය.

         සමාජ මාධ්‍ය යනු, වෙනත් සාම්ප්‍රදායික මාධ්‍ය වලට විකල්පව හැකි තරම් මිනිසුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන මාධ්‍යයකි. මෙම සීමා විරහිත සහභාගීත්ව අපේක්ෂාව නිසාම එය, විපරිත මාධ්‍යයකි. ඒවා තුළ බහුතර ලෙස සැරිසරන්නන් ටික කාලයක් ගත වන විට අනෙකාගේ අවශ්‍යතා රඟ දක්වන විපරිත රංගනයකට පුරුදු වෙයි. එවිට, මේ තුළ රඟන්නන් අවතාරීය හැඩයක් ගනී. 

      අපි දැන්, මේ මෑතකදී, කාන්තා ‘අත්දැකීම්වාදයක'[Empiricism] සාරයට වශී වූ විපරිත පිරිමින් තිදෙනෙකුගේ පොත් මංගල්‍යයක දී සිදු වූ සිදුවීම් පෙළ පරික්ෂා කරමු. මෙම මූලාසනයේ වාඩි වූ පිරිමින් තිදෙනාටම ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා ඇත. එම චෝදනා කටකතා සහ දූෂමාණ චෝදනා යැයි ඔවුහුම කියති. එපමණක් නොව, සේපාලගේ සිද්ධියේ දී මෙන් ගාණක් දෙනවා යැයි කිවහොත් තමන්ට එරෙහිව සිදු කළ ලිංගික හිංසනයක් ප්‍රබන්ධ බව කීමට තරම් මේ ස්ත්‍රීන් එඩිතර ය. පශ්චාත්-ස්ත්‍රීවාදී යුගයක දී, බාහිරින් සිටින දූෂකයාට වඩා අභ්‍යන්තර දූෂකයා ප්‍රබල ය. උදාහරණයක් ලෙස, එම පොත් විවාහ මංගල්‍යයේ වාඩි වී සිටි අමා විජේසේකර සලකා බලමු. ඇගේ ප්‍රථම විවාහය යනු, සිංහල-බෞද්ධ පිරිමියාගේ සාරය යි. නමුත්, ඇය ඉදිරිපිට මූලාසනයේ වාඩිගෙන සිටින පිරිමින් තිදෙනාගේ ඉතිහාස කතා තුන ඇසීමට තරම් ඇය විචක්ෂණ නැත. ලංකාවට ප්‍රථම මුද්‍රාව හඳුන්වාදුන් කැටපේ සහෝදරයා ද කොළඹින් ඡන්දය ඉල්ලීමට සිටින නිසා ස්ත්‍රී විරෝධීන්ට එරෙහි වීම පරණ පන්නයේ වැඩක් යැයි සිතනවා විය හැකි ය. කොළඹ මරදාන නගරයේ චණ්ඩියෙකු වූ චොප්පේ සහෝදරයා නැඟිට කීවේ, තමන් X කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි බවයි. ඔහු X කණ්ඩායමේ අහල ගම් හතකවත් නො සිටි බව කියන්නට තරම් එඩිතර හදවතක් එතැන තිබුණේ නැත. සරලව කිවහොත්, ස්ත්‍රී විරෝධය දැන් පිළිගත් සමාජ-ආකල්පයක් වී ඇත. එය, දැන් ප්‍රමිතියකි (Norm).

        ලංකාවේ දේශපාලනය අභ්‍යන්තරයෙන් සංවිධානය වන න්‍යෂ්ටිය වන්නේ, කටකතා සහ ඕපාදූපයන් ය. X කණ්ඩායම පිළිබඳව ගෙතී ඇති ප්‍රවාදයන් විශාල සංඛ්‍යාවක් පදනම් වී ඇත්තේ, කටකතා සහ ඕපාදූප විශ්වාස කිරීම මත ය.[paranoia on X Group-the unwarranted or delusional belief that one is being persecuted, harassed, or betrayed by others, – Refer Prof Samatha Bandara’s Articles] කලින් කී චොප්පේ සහෝදරයා තමා X යැයි කියන්නේ, සාධක දෙකක් නිසා ය. එකක්, තමාට ඉහළ ලන්සුවක් තැබීමට ය.[Talented Ripley Logic] දෙවනුව, දීප්තිට පහර දෙන්නේ චොප්පෙලා මිස වැදගත් මිනිසුන් නොවන බව පෙන්වීමට ය.[නිර්ප්‍රභුන් පිළිබඳ නිහාල් පෙරේරාගේ නිවැරිදි මතය – Authorized by Prof Devasiri.]

       පොදුවේ, කටකතා සහ ඕපාදූප නිසා විනාශ වී යන්නේ ලංකාවේ සමකාලීන තරුණ පරම්පරාව ය. සොක්‍රටීස්ට සහ ප්‍රාන්ස් කෆ්කාගේ නවකතාවක ප්‍රධාන චරිතය වන ජෝසෆ් K ට වඩා කටකතා සහ දූෂමාණ ආරංචිවල ගොදුරක් බවට අප පත් විය හැකි ය. එසේ නම්, අප කළ යුත්තේ කුමක් ද?

ආගමික අර්ථයෙන් ගතහොත්, ලංකාවේ සිටින අති බහුතර දේශපාලන අනුගාමිකයන් මිථ්‍යාදෘෂ්ටිකයන් ය. ඔවුහු ගස්, ගල් වන්දනා කරන ඕපාදූප විශ්වාස කරන්නන් ය. ධර්මය දෙසට හැරෙනවා යනු, ත්‍රිපිටකයට, බයිබලයට, ශුද්ධ කුරාණයට යළි හැරීමයි. ස්ත්‍රීවාදීව කිවහොත්, ‘ස්ත්‍රීන් ඉපදෙන්නේ නැත, ඔවුන්ව මේ සමාජය විසින් නිෂ්පාදනය කරයි’. ඒ සිමොන් දි බුවාර්, සුනිලා අබේසේකර වැනි සටන්කාමීන්ගේ මුල් අර්ථය යි. එසේ නැතිව, මිථ්‍යා දෘෂ්ටික පිරිමින්ගේ සාරාත්මක අත්දැකීම්වාදයක හිර වීම නොවේ. කාදිනල් කතා කරන්නේ, ජාතිවාදය පිළිබඳව මිස ක්‍රිස්තුස්ගේ ආදරයේ පණිවිඩය පිළිබඳව නො වන බව අපි සියලු දෙනා දන්නෙමු. අමා විජේසේකරට , නදී කම්මැල්ලවීරට සහ නදී වාසලමුදලිට අපි කියන්නේ, දීප්තිව විවේචනය කරන්න අවශ්‍ය නම් පළමුව දමිතගෙන්, කසුන්ගෙන් සහ දමින්දගෙන් පටන් ගන්න කියා ය. එය, ඔබව අභ්‍යන්තරයෙන් ඉරා දමන අධ්‍යාත්මික ක්‍රියාවලියකි.[Love relies on truth, hate relies on reality, ignorance relies on Semblances – Dharmapala ]

දීප්ති කුමාර ගුණරත්න – 

  • ******************************************************
  • In a major turn of events, Jacqueline Fernandez made some changes in her name’s spelling according to numerology.

    මහ අනෙකාගේ අඳුරු පැත්ත හෙවත් කටකතා-

    කටකතා ගෙතීම සහ ඒ වටා සමාජය සංවිධානය වීම පෙරට වඩා වේගවත් වී ඇත. මේ නිසා සමාජය සංවිධානය කිරීමට එන ඕනෑම අයෙකුට මුහුණ දීමට සිදුවන යථාර්තය වන්නේ කටකතා වල බලයට යටත් වීමයි. මෙයට වැඩි වශයෙන් මුහුණ දීමට සිදු වන්නේ විප්ලවීය ලෙස සමාජය වෙනස් කිරීම අරමුණූ කරගත් දේශපාලන සංවිධානයන්ට ය. පවතින සමාජය ඒ ආකරයටම පවත්වාගෙන යාමට උත්සහ කරන විජේවීර වාදීන් ට කටකතා වලින් තොරව පැවැත්මක් නැත. කටකතා වලට මුහුණ දීමට එය විධිමත්ව අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක වටපිටාව සැපයීම අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසා ය. මේ සම්බන්ධයෙන් න්‍යායත්මක පැහැදිලි කිරීමක් සිදු කර ඇත්තේ Mladon  Dolar විසින් ය. ඔහු European Graduate School හි සිදු කරන ලද දේශනයක දී මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන ලදී .

  •  

    Mladon Dolar

    ග්‍රීක සමාජය තුළ ඉස්මතු වූ මූලික අදහස් පද්ධති දෙකක් දැක්විය හැකිය. එනම් ඩොක්සාව(Doxa) සහ ඥාණ-යුගය(Ephisteme) යි.

    ඩොක්සා යනු මතයන්ගේ ආධිපත්‍ය වේ. යමක් පිළිබඳව දරන පෞද්ගලික මතය හෙවත් පෞද්ගලික අර්ථයයි (Private meaning). මෙය ජහමන වාදය ලෙසද නම් කල හැකිය. එනම් සාමාන්‍ය මිනිසුන් පිළීගන්නා පෞද්ගලික අදහස් ය. තමන්ගේ මතය පෞද්ගලික දෘෂ්ටියක් වන බැවින් තවත් අයෙකුගේ මතයක් සමඟ සංසන්දනය කිරීමට හෝ ගැලපීමට නොහැකිය. මතයන් යනු අන් කිසිවක් නොව සත්‍ය අසත්‍යතාවය නිශ්චය නොකල අදහස් ය. ඩොක්සාව කිසිඳු විටෙක ආත්මීයත්වයෙන් (subjectivity) නිදහස් නැත. මත ඉදිරිපත් කරන්නාගේ ආත්මීයත්වය මතයන් හරහා ඉදිරිපත් වේ.

    ග්‍රීක යුගයේ සිටි විතණ්ඩවාදියෙක් වන ගොර්ගියාස් ගේ තර්කය ඩොක්සාව වටහා ගැනීමට උපකාරී වේ.. ගොර්ගියාස් ට අනුව ,

    “ඔබේ ලෝකය ඔබට සත්‍ය වේ. මගේ ලෝකය මට සත්‍යයයි. ඔබේ ලෝකය මගේ ලෝකයවත්, මගේ ලෝකය ඔබේ ලෝකයවත් නොවිය යුතුය.”

    ඩොක්සාව යනු එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික ලෝකයන් ය. එම ලෝකයන්ගේ සිට ඉදිරිපත් කරන අදහස් අර්ථවත් වන්නේ එම පෞද්ගලික ලෝක වලට අනුව මිසක වාස්තවික(objective) කරුණු මත නොවේ. එවා සීමා වන්නේ තමන්ට පමණකි. අන් අයට එම මතය අදාළ වන්නේ හෝ පිළිගනු ලබන්න යයි බල කිරීමට හෝ නොහැක.

    ඥාන යුගය යනු දැණුම වන අතර එය පදනම් ව ඇත්තේ ඥානවිභාගය (ඥානය ලබා ගන්නා ආකාරය) මතයි. එහිදී මෙම දැණුමට පෞද්ගලික රුචි අරුචිභාවය හෙවත් ආත්මීය කරුණු කිසිඳු ලෙසකින් හෝ අදාළ වන්නේ නැත. මේ නිසා ලෝකය පිළිබඳව නව ඥානයක් ලබා ගැනීමට මේ ඔස්සේ හැකිය. ඥාන යුගයේ අරමුණ වන්නේ සත්‍ය(Truth) ගවේෂනය වේ. එනම් එහි එහිම වූ ස්වරූපය(thing itself) ග්‍රහනය කර ගැනීමයි. එබැවින් අපක්ෂපාතී වාස්තවික(impartial objectivity) සාක්ෂි මත සිට නිගමනයන්ට එළඹෙයි. ඥාන යුගය අවසානයේදී පදනම් වන්නේ වාගීශ්වරය (Logos) තුළයි. එමගින් සාමන්‍ය දැණූමට සුජාත භාවයක් සපයනු ලබයි. වාගීශ්වරත්වය යනු දැනුම ඉලක්ක කර ගැනීමේදී සියලු දෙනාම උපකල්පනය කළ යුතු කිසියම් අධිකාරියක් වේ. මෙහිදී අධිකාරිය යයි සඳහන් කරන්නේ යම් කිසි සමස්තයකි(Totality). වාගීශ්වරත්වය පිළිගනු ලබන්නා සත්‍ය යනු කේන්‍ද්‍රයක, ප්‍රකෘතියක, පරමත්වයක හඬක්, වචනයක් හෝ ප්‍රකාශනයක් ලෙස ගනු ලබයි. එනම් වචන දිව්‍යත්වයට පත්කිරීමයි.

    ඥාන යුගය මිනිස් සමාජයට විස්වාසය ලෝකයක් නිර්මාණය කර දෙයි. එබැවින් වර්ෂ 2500කට පසුව පැමිණි චින්තකයෙකු වන ලැකාන් විසින් ඥාන යුගය මහ අනෙකා(Big Other) ලෙස හඳුන්වා ඇත. ලැකාන් මහා අනෙකා ලෙස ඥාන යුගය ගනු ලබන්නේ සර්වාත්‍රිකය(Universal) සහ බන්ධන ස්භවය අනුව දැණුම සහතික කිරීමේ අර්ථයෙන් වේ. මෙම අදහස තව දුරටත් විශ්ලේෂණය කල විට පැහැදිලි වන්නේ ලැකාන් විසින් මහ අනෙකා වශයෙන් ගන්නේ වාගීශ්වරය වන බවයි. යමක් පිළිබඳව කතා කිරීමේදී ඒ දෙයට අදාළව සමස්ථයක් උපකල්පනය කිරීමට සිදු වේ. එම සමස්ථය හඳුන්වනු ලබන්නේ මහ අනෙකා ලෙසයි.

     මෙහිදී පෙනී යන වැදහත් කරුණක් නම් ඩොක්සාව(Doxa) සහ ඥාන යුගය(Ephisteme) – මතයන් සහ දැණූම [Investigating Knowledge and Opinion.]- අතර පැහැදිලි වෙනසක් පවතින බවයි. තමාගේ සිතට නැගෙන සිතුවිලි යනු දැණූම නොවේ.

    දර්ශනය අවධාරනය කරන්නේ දැණුම මිසක ප්‍රවාද හෙවත් පෞද්ගලික අදහස් නොවේ. සොක්‍රටීස් ගේ ජීවිතය යනු සත්‍ය අරමුණු කරගත්තකි. මේ අවදියේ සාමාජය මහ අනෙකාගේ පැවැත්මක් පිළිගත් බව වර්තමානයේ දැණූම මගින් පසුආවර්ථිතව ප්‍රකාශ කල හැකිය. එහෙයින් එකල මුල්තැන හිමි වූවේ දැණූමට වන අතර ප්‍රවාද පිළීගැනීම ප්‍රතික්ශේප විය. ප්‍රවාද වලට එරෙහි වූවෝ දාර්ශනිකයෝ ය. මේ අතරින් කටකතාවන් අයත් වන්නේ ඩොක්සාව ගණයට ය. ඥානයට කටකතා අදාළ වන්නේ නැත.

    කටකතා ගොඩනැගෙන්නේ නිර්නාමිකව ය, ඒවා ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැත. කටකතාවක ආරම්භකයා සෙවීමට යාම පවා ඉතා දුෂ්කර කාරණාවක් වේ. ඊට හේතුව කර්තෘ අඥාත  වීමයි. එහෙත් කටකතාවලට පැවැත්මක් සහ පැතිරීමක් ඇත. යමෙක් තමන් ඇසූ කටකතාවක් තවත් අයෙකුට කියයි. එය ඒ ආකාරයෙන් තව තව මිනිස්සුන්ට කියමින් සමාජය තුළ වසංගතයක් ආකාරයෙන් පතුරුවා හරිනු ලබයි. අවසානයේදී සමාජයේ සියලු දෙනාම කටකතාවේ පංගුකාරයන් වේ. කටකතාවේ ඇති සුවිශේෂත්වය වන්නේ ඒ තුළින් මිනිසුන් එකට ඒකාබද්ධ කිරීමයි.

    කටකථා ගොඩනැගෙන විට ඒවාට අදාළ සාක්ෂි හෝ සාධක අත්‍යාවශ්‍යම නොවේ. බොහෝවිට සිදුවන්නේ කටකතාව නිර්මාණය කොට පසුව සාක්ෂි ඉදිරිපත් කිරීමයි. ඇතැම් විට එලෙස ඉදිරිපත් වන සාක්ෂි වල ගැලපීමක් ද නැති විය හැක. කටකතාවේ වගකීම කිසිවකු කිසිදු විටක භාරගන්නේ නැත. එසේ වුවද කටකතාව තුළින් ඇතිවන ප්‍රතිඵල යේ භයානකකම කිසිදු විටෙක අඩු වන්නේ නැත. කතෘ කෙනෙකු නොමැතිව ගොඩනැගෙන කටකතාවන් අවසානයේ දී මිනිසා රැගෙන යන්නේ පතුලක් නොමැති ආගාධයක් වෙතටයි. ඒ කටකතාව තුළ තිබෙන අධිකාරීත්වය හේතුවෙනි. කටකතාවක් කිසිවෙකුට පාලනය කිරීමට හැකියාවක් නොමැත. මේ නිසා කට කතාවක් ක්‍රියාත්මක වන්නේ ස්වයං මුරණ්ඩු අධිකාරිත්වයක් අත්පත් කර ගෙන ය.

    “සෑම කෙනකුම දන්නවා” යනුවෙන් ආරම්භ වන වාක්‍ය ඛණ්ඩ බොහෝමයක් කට කතාවන්ය. උදාහරණ වශයෙන් දක්වන්නේ නම් “සෑම කෙනෙකුම දන්නවා ප්‍රභාකරන් ඉතා සුවපහසු ජීවිතයක් ගත කළා කියලා” මෙවැනි කටකථා  සියල්ලක්ම රැඳී පවතින්නේ ඉදිරිපත් කරනු ලබන වාක්‍ය තුළ පමණි. එය ව්‍යුහවාදය  ට අනුව කියන්නේ නම්, සම්බන්ධ කරනු ලබන හැඟවුම්කාරකයන් ගේ සම්බන්ධය තුළ වේ. කටකතාවේ හැගවුම්කාරක වලට යම්කිසි සාරයක් ඇතැයි මිනිසුන් සිතුවත් එහි අර්ථය ගොඩ නැගෙන්නේ අනෙක් හැගවුම්කාරක වල ඉඩ සහ පරතරය මගිනි.

    කටකතා මගින් ඉදිරිපත් කරනු ලබන කරුණු යථාර්ථයේ එයාකාරයෙන්ම සිදුවීම අත්‍යවශ්‍ය වන්නේ නැත. භාෂාව තුළින් ගොඩනගන ව්‍යුහයක් ලෙස මේ අනුව කටකතා දැක්විය හැක. සමාජය තුළ පවතින කටකතාවන් නතර කිරීමට හෝ වැලැක්වීමට කිසිවෙකුට හැකියාවක් නැත.

    මේ සම්බන්ධයෙන් Octave Mannoni ඉදිරිපත් කර ඇති සූත්‍රයක් ඇත. “මම හොඳින් දන්නවා, නමුත් ඒ කෙසේ වෙතත්…”

    (i know very well, but nonetheless…..) යන සූත්‍රය ද කටකතා වලට යෙදිය හැක. ඒ අනුව කටකතා ඉදිරිපත් වන්නේ මෙවැන්නකි. ” මම හොඳින් දන්නවා මේක හුදු කට කටකතාවක් කියලා. ඒ කෙසේ වෙතත්…..” (I know very well mere rumors, but nonetheless….)

    Lady Chatterley’s Lover – 2022 – Emma Corrin.

     

    මේ අනුව කටකතා වලට ද ඇත්තේ නරුමවාදී භාවිතයකි. මිනිසුන් දන්නවා  තමන් විස්වාස කරන්නේ කටකතාවක් බව, නමුත් ඔවුන් එයම කරමින් සිටී. මේ නිසා කටකතා මිනිසුන් නොදැන පතුරුවන ඒවා නොව දැන දැනම පතුරුවන ඒවා වේ. එහෙත් කටකතා පතුරුවන පුද්ගලයන් කියන්නේ එම කටකතාව තමන් විස්වාස කරන්නේ නැති බවයි. “මේක මට ඇහුණ කතාවක්” යනුවෙන් පවසන විට එම කටකතාවට තමන්ගේ දායකත්වයක් නැති බව හඟවයි. කටකතා අඥාත වේ. මෙහෙයින් කටකතා විස්වාස කරන්නාට විස්වාස කරලීමට සිදු වන්නේ අයිතිකරුවෙකු නැති විස්වාසයකි. මේ බව Robert Pfaller සූත්‍ර ගත කර ඇත (Belief without owner) ලෙසයි. කටකතා සම්පූර්ණයෙන් විස්වාස කරන්නෙකු නොමැති වුවද එම කටකතා වලට අලුතින් කොටස් එක් කරයි. කටකතා වලට යම් කිසි විස්වාසයක් වේ. Pfaller ප්‍රකාශ කරන පරිදි මෙවන් විස්වාසයන් අවසානයේ දී සමාජ සම්බන්ධතාවන් සහ මහා සංස්කෘතියේ සංස්ථාපිතයක් බවට පත් වේ.

    කටකතාවන් මහා අනෙකාගේ(Big other) තවත් ස්වරූපයක් ලෙස ද සැලකිය හැක. මහ අනෙකා යනු විස්වාසයකි. ඒ අනුව මහ අනෙකාගේ මුහුණුවරයන් 2ක් ඇත. ( two face of Big other).

    1. නිවැරදි ඥානයේ ඥානවිභාගය මත පදනම් වූ කොටස (Logos මත පදනම් වන සත්‍ය අරමුණු කරගත් ස්වරූපය)

    2. කිසිවක් මත පදනම් නොවන ප්‍රවාද (ඉතා වේගයෙන් පැතිරෙන අවතාරීමය සෙවණලි ස්වරූපය)

    මෙහි දෙවන ස්වරූපය කටකතා අයත් වේ. කටකතා  ඉකමනින් පැතිරෙන, ඇලුණු තැන කැලැල් ද ඇති කරයි. එය සදාතනික වේ. එම කැලැළ මැකිය නොහැකි ය. මෙ නිසා සාමාන්‍යයෙන් අපට පෙනෙන මහ අනෙකාගේ ස්වරූපයට වෙනස් ස්වරූපයක් ද ඇත. එයට Janus ට මෙන් මුහුණු දෙකක් ඇත.( Janus යනු සීමාවේ සහ සංක්‍රාන්තියේ දෙවියන් ය.).

    මහ අනෙකාගේ ස්වරූපය වටහා ගැනීමට Dolar උදාහරණ දෙකක් යොදා ගනී. ඉන් එකක් වන්නේ සොක්‍රටීස් සම්බන්ධ උදාහරණයක් වන අතර අනෙක් උදාහරණය වන්නේ කෆ්කාගේ “නඩු විභාගය” නවකතාවයි.

    සොක්‍රටීස් උත්සහ ගත්තේ සත්‍ය ගවේෂණය කිරීමටයි. ඔහු පෞද්ගලික මතයන් (Private meaning) විවේචනය කලේ ය. සොක්‍රටීස් සත්‍ය ලඟා කර ගැනීමේ මාර්ගය ගවේෂණයට උත්සහ ගත්තේ ය. මහ අනෙකාගේ පළමු ස්වරූපය මෙහිදී සොක්‍රටීස් සම්බන්ධයෙන් බලපෑවේ ය. සත්‍ය යනු මිනිස් සමාජයටම බලපාන පරම සත්‍ය වේ. නමුත් සත්‍ය ගවේෂණය කිරීමට ගිය සොක්‍රටීස් ට නතර වීමට සිදු වූවේ ඇතෑන්ස් අධිකරණයේ ය. සොක්‍රටීස් ව ඇතෑන්ස් අධිකරණය වෙත යොමු කරන්නේ ඔහු පිළිබඳව දීර්ඝ කාලයක් පුරාවට ගොඩ නැගී තිබූ විවිධ කටකතා හේතුවෙන් ය. (ඇනිටස් සහ ඔහුගේ යහළුවන් විසින් ගොඩනගන ලද කටකතා. තරුණ මනස දූෂණය කිරීම, අලුත් දෙවිකෙනෙකු හඳුන්වා දීම,..)

    සොක්‍රටීස් බිය වූවේ මෙම කටකතා වලටය. ඔහු දැන සිටියේ කටකතා ඉතා සීග්‍රයෙන් පැතිරෙන බව සහ ඒවා මහා බලවේගයක් ලෙස නැගී සිටින බවයි. ඒවා සුළගේ ගසාගෙන යයි.

    කටකතා සමඟ සටන් කිරීම සෙවනැල්ලක් හා සටන් කිරීම හා සමානය. සොක්‍රටීස් කෙතරම් ඥානවන්ත වුවද, සොක්‍රටීස් ඥානය ලබා ගැනීමට උත්සහ කළද අවසානයේ දී සොක්‍රටීස් ට සිදු වූවේ කටකතා ඉදිරියේ දණ නැමීමට ය. මේ සම්බන්ධයෙන් සොක්‍රටීස් මත බලපෑවේ මහ අනෙකාගේ සෙවනැලි අවතාරමය ස්වරූපය යි. එනම් මහා අනෙකාගේ අනෙක් ස්වරූපය වේ. මහ අනෙකා ගේ ඥානමය ස්වරූපය සොක්‍රටීස්  ව සත්‍ය සෙවීම වෙත යොමු කල අතරම සෙවනැලි අවතාරමය ස්වරූපය සොක්‍රටීස් ව කටකතා ඉදිරියේ දුර්වලයෙකු, බෙලහීන අයෙකු බවට පත් කලේ ය. සොක්‍රටීස් සටන් කලේ පෙනෙන (Visible) සතුරන්ට එරෙහිව මිස නොපෙනෙන කටකතා වලට එරෙහිව නොවේ.

    සොක්‍රටීස් ගේ උදාහරණය ඔස්සේ මහ අනෙකාගේ ඇති  දයලෙක්තික ස්භාවය වටහා ගත හැකිය. එනම් මහ අනෙකා විස්වාසයක් වුවත් ඒ තුළම එහි ප්‍රතිවිරුද්ධ ස්භාවය වන අවිස්වාසය ඇති බවය. එනම් මහ අනෙකා ඥානමය ස්වරූපයක් සපයනවාක් මෙන්ම අනෙක් අතින් අවතාරමය ප්‍රවාද හෙවත් කටකතාමය ස්වරූපයක් ද සමාජයට මුදා හරී. මෙය මහ අනෙකාට බාහිරින් එන්නක් නොව මහ අනෙකා තුළ ම පවතින ස්භාවයකි. සෙවනැලි අවතාරමය ස්වරූපය බලවත් වී ඥානමය ස්වරූපය ගිල ගනී. එහිදී ඥානය කටකතා වලට යටත් වේ. මේ නිසා කටකතා වලට වාගීශ්වරය යටවේ. එය ඇතෑන්ස් හී ඩෙල්ෆි අනාගත වක්තෘ (Delphic Oracle) මෙන්ම සොක්‍රටීස් ව කටකතා වල ග්‍රහනයට ලක් වේ.

    මේ සම්බන්දයෙන් වැදගත් වන ලතින් ආප්තයක් ඇත. එනම් “නිර්භීතව මඩ ගසන්න එයින් කුමක් හෝ ඇලෙනු ඇත.” එම ආප්තය කටකතා වලට අදාළව පහත පරිදි වෙනස් කළ හැක. “සෑම විටම නිර්භීතව කටකතා පතුරුවන්න. ඒවායෙන් කුමක් වුවත් සෑම විටම වේගයෙන් පැතිරෙයි.” මෙම අවස්ථාවෙන් පැහැදිලි වන්නේ කටකතා කෙතරම් අසත්‍ය වුවද ඒවායෙන් ඇති කරනු ලබන කැළල කිසිදු විටෙක නැතිකල නොහැකි බවයි. එම කැළල දෙස නරුමවාදී ආකාරයෙන් බැලිය හැක. මිනිසුන් කටකතා සත්‍යය නොවන බව දැන දැනත් ඒවා නිර්මාණය කරමින් පතුරුවා හරිමින් සිටී. එම කටකතාවලින් ඇතිවන ප්‍රතිඵල වලට වඩා වැදගත් වන්නේ එම කටකතාවන් අදාළ පුද්ගලයා ගේ ශරීරයේ සහ ආත්මය තුළ නොගැලවෙන සේ ඇලී තිබීමයි. ඕනෑම කෙනෙකු කටකතා ඉදිරියේ බල රහිත පුද්ගලයකු බවට පත් වේ. මේ නිසා ඕනෑම පුද්ගලයකුට කටකතා අවියක් ලෙස භාවිතා කොට ඕනෑම බලසම්පන්න පුද්ගලයකු බල රහිත පුද්ගලයකු බවට පත් කළ හැක. ඕනෑම අයෙකු කටකතාවල ගොදුරක් බවට පත්විය හැක. සිදු කළ හැකි එකම කාර්යය වන්නේ කටකතා වලින් ආරක්ෂා වීමට හැකි ස්ථානයක් සකස් කර ගැනීමයි. එය පහසු කාර්යයක් නොවන බව ප්‍රායෝගික ජීවිතයේදී මනාව පසක් වනු ඇත. කටකතා පතුරවන්නන් සත්‍ය දැන සිටිය ද ඔවුන් රහසින් විශ්වාස කරන්නේ කටකතාව සත්‍ය බවයි. මේ නිසා කටකතා වලට එරෙහිව සටන් කිරීම ඉතා අසීරු තත්ත්වයකට පත් කරයි.

    කටකතාවක් යනු හැඟවුම් කාරක දාමයකි. කටකතාවකට මේ අනුව ඊටම වෙන් වූ ව්‍යුහයක් ඇත. එම ව්‍යුහය විවිධ අන්තර්ගත වලින් ඕනෑම අයෙකුට පුරවා ගත හැක. සොක්‍රටීස් සම්බන්ධයෙන් ගත් කල කටකතාවේ ව්‍යුහය පිරවූයේ තරුණ මනස් මනස දූෂණය කිරීම, අලුතින් දෙවිවරුන් හඳුන්වාදීම වැනි වූ අන්තර්ගතයෙන් වලිනි. මේ නිසා සොක්‍රටීස් හැම්ලොක් පානය බී මිය යාමේදී ඔහු තමා වරදකරුවෙකු වීමට බලපෑ කටකතාවන් සහ තමන්ගේ නඩු විභාගය පිළිබඳව දැන සිටියේය.

  •  

    “I am a cage, in search of a bird.”

    Franz Kafka

    කෆ්කාගේ “නඩු විභාගය” තුළදී ජෝසප්ගේ K. ට අදාලව කටකථා ආකෘතිය ඉදිරිපත් කර තිබුණද එම ආකෘතියේ අන්තර්ගතයක් පැහැදිලිව දක්වා නොතිබේ. “එය මෙසේ වූයේ ඔහු පිළිබඳ කිසිවකු බොරු ආරංචි පැතිර වූ නිසා විය හැකිය.” යනුවෙන් දක්වා තිබුණ ද නිශ්චිත කටකතාවක් පැතිර වූ බවක් එයින් සනාථ කර නොතිබේ. එය හුදු උපකල්පනයක් හෝ අනුමානයක් විය හැක. මේ අනුව ජෝසප් K. ට අදාලව කටකතාවල ව්‍යුහය යනු පාර කටකතා (Para-Rumors) ව්‍යුහය යි.

    ඊට හේතුව කටකතාවක් ඉදිරිපත් කර තිබූ බව පැවසුව ද එය නිශ්චිත නොවීමත්, එම කටකතාවේ අන්තර්ගතය කුමක් දැයි නොදක්වා තිබීමත් හේතුවෙනි. මේ නිසා ජෝසෆ් K. ට අදාලව කටකතාව යනු අන්තර්ගතයක් නොමැති ආකෘතියක් පමණි. මේ නිසා ජෝසප් K. සොක්‍රටීස්ට වඩා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දෙන ලදී. ඔහු මියයන්නේ තමා මිය යාමට හේතුව පවා නොදැනයි. ජෝසප් K. ට අදාලව මහ අනෙකා වශයෙන් ඉදිරිපත් වන්නේ අවතාරමය සෙවනැලි මහ අනෙකා වේ. මේ නිසා ඔහුට තමාගේ නිර්දෝෂත්වය ඔප්පු කිරීමට හෝ ඉඩ පහසුවක් ලැබෙන්නේ නැත.

    කටකතාව වල ශුද්ධ ආකෘතියක් කෆ්කාගේ නඩු විභාගය නැමැති නවකතාවෙන් මනාව පෙන්නුම් කරයි. එසේ ම මහ අනෙකාගේ අඳුරුතම පැතිකඩ ද එමගින් නිරූපිතය. මහ අනෙකාගේ අවතාරමය සෙවනැලි ස්වරූපය ක්‍රියාවට නැංවීමට අන්තර්ගතයක් අවශ්‍ය නොවන අතර ආකෘතියක් පමණක් ප්‍රමාණවත් වේ. එය ක්‍රියාත්මක වන්නේ පෙළඹවීමේ උත්තේජකයක් ලෙස පමණි. ක්‍රියාවලිය ආරම්භ වූ විට නැවත නැවැත්වීමට හැකියාවක් නොමැත. මහ අනෙකාගේ මෙම අඳුරු සෙවණැලි මෙය කොටස ක්‍රියාත්මක වන විට එයින් දැනුම මත පදනම් වන  මහ අනෙකා ගේ අනෙක් ස්වරූපය ක්‍රමක් ක්‍රමයෙන් සැඟවී යන්නට පටන් ගනී.

    කෆ්කාගේ නවකතාවේ ජෝසප් K. සම්බන්ධයෙන් ගොඩනගනු ලබන කටකතාව නිර්මාණය කරන්නේ  කතුවරයා මිසක වෙනත් අයකු නොවේ. කතුවරයා විසින් ජෝසප් K. ට මුලින්ම ගල ගසයි. ඉන්පසු කතුවරයා අතුරුදහන් වේ. නවකතාව කියවන්නියට නවකතාව ඉදිරියට කියවාගෙන යාමේදී එය කියවීමට සිදුවන්නේ ජෝසප් K. ගේ දෘෂ්ටිකෝණයෙනි. මෙම පළමු ගල් පහර ජෝසප් මරණය කරා රැගෙන යයි.

    ලැකානියානු මනෝ විශ්ලේෂණයට අනුව වර්තමානයේ දී මහා අනෙකාට පැවැත්මක් නැත. එනම් මහ අනෙකා මිය ගොස් ඇත. මෙලෙස මහ අනෙකාට පැවැත්මක් නැතැයි ප්‍රකාශ කරන්නේ මහ අනෙකාගේ වාගීෂ්වරත්වය මත පදනම් වූ අංශයයි. එම අංශය යටපත්කොට අඳුරු සෙවණැලිමය කොටස ඉස්මතු වී ඇත. මේ නිසා විවිධ ප්‍රවාද හෙවත් කටකතාවන් නිර්මාණය කිරීමට සහ ඒවා ව්‍යාප්ත කිරීමට ඉතා පහසු වී ඇත. වාගීශ්වරත්වය රජයන ලෝකයේ දී විශ්වාසය පැවතියද අඳුරු අවතාර සෙවණැලිම රජයන ලෝකයේ විශ්වාසය සහ මුලින්ම අතුරුදහන් වී ඇත. එබැවින් මහ අනෙකාගේ මෙම අඳුරු සෙවණැලි ස්වරූපය තුළින් සමාජය තුළ කටකතා ඔස්සේ විනෝදය ජනිත කරයි. ඕනෑම දෙයක් කළ හැකි සමාජයක් නිර්මාණය වී ඇතැයි සිතිය හැකි වූවද එය එසේ නොවේ.  ඊට හේතුව අඳුරු මහා අනෙකා විසින් පුද්ගල නිදහස බවට පත්කර ඇත්තේ නොනිදහස (Un-freedom) වන බැවිනි. කුමන හෝ වෙලාවක තමාට කටකතාවක්, ඕපාදූපයක් හෝ තමාගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් කුමන හෝ දෙයක් සමාජයට එළිදරව් වීමට හැකි බැවින් සියලු දෙනා පෙරට වඩා පරිස්සම් වීමට කටයුතු කරයි. මෙය අලුත් තත්වයකි.

    වාගීශ්වරත්වය අධිකාරිය හෙවත් මහා අනෙකා නිර්මාණය වී තිබූ අවධියේ දී විනයවත් පීතෘමූලික පරමාධිපත්‍යය සහිත සමාජයක් ගොඩනැඟී තිබුණි. එහි තහනම සහ නියම කිරීම පැවතුණි. එනම් නීතිය හා පර්යාය ක්‍රියාත්මක විය. නමුත් මහ අනෙකාගේ මෙම ස්වරූපය මියයාමත් සමඟ සිදු වූයේ නීතිය හා සදාචාර ප්‍රතිපත්ති ආදිය සාකච්ඡා කර වෙනස් කරගත හැකි දෙයක් බවට පත් වීමයි. එනම් විකල්ප ඉදිරිපත් වීමයි. අනුභූති උත්තර සහතිකය ක්‍රම ක්‍රමයෙන් දියවී යාමට පටන් ගැනීමයි. එම දියවී යාම ඉතා ශීඝ්‍ර වර්ධනයකට පත් වන්නට වූයේ නූතන මාධ්‍යයේ වර්ධනයත් සමගය. නූතන මාධ්‍ය ප්‍රබුද්ධත්වයේ ප්‍රබලතම මෙවලම බවට සහතික වූවත් පසුකාලීනව එය එම සහතිකය බිඳ දමා සිය නියම ස්වරූපය අත් කරගෙන ඇත. මේ නිසා දැනුමේ සහ ප්‍රවාදයන් ගේ එකතුවෙන් නිර්මාණය වන කටකතාවක් වලට වේගයෙන් ව්‍යාප්ත වී යාමට මාධ්‍යයක් ලැබුණි.

    කටකතාවන් පැතිරී තිබෙන අතර දවස ගෙවන්නේ එම කටකතාවන් වලිනි. මේ නිසා පොදු සහ පෞද්ගලික යන වෙනස ද ක්‍රමයෙන් දියවී යන්නට පටන් ගෙන ඇත. වර්තමානයේ දී අන්තර්ජාලයේ විසින් පොදු සහ පෞද්ගලික තොරතුරු වල මූලාශ්‍රය ලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව වර්තමානයේ දී පොදු සහ පෞද්ගලික යනුවෙන් දෙකොටසක් නොපවතින අතර පවතින්නේ පොදු සහ පෞද්ගලික අංශයන්ගේ සම්මිශ්‍රණයක් වේ.

    විසිවන සියවස අවසානය වන විට මාධ්‍ය පොදු සහ පෞද්ගලික වෙනස සඳහා සිය ක්‍රියාවලිය විශාල කරගනිමින් මැදිහත්විය හැකි සියලුම ආකාරයෙන් මැදිහත් වෙමින් සිටී. විසිඑක්වන සියවසේ දී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට වූයේ සමාජ මාධ්‍යයන්ගෙන් නිර්මාණය වීමත් සමඟයි. ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප්, Instagram, ටුවිටර්  ආදි වූ නොයෙක් සමාජ මාධ්‍ය බිහි වී ඇත. රොබෝ තාක්ෂණය මඟින් මගින් ඉලක්කගත ප්‍රජාවකට කටකතා පැතිර වීමට හැකිවී තිබීම නිසා ඒ සඳහා තවදුරටත් මනුෂ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය නොවන තැනකට පත්වී තිබේ. අන්තර්ජාල තොරතුරු වලට වේගයෙන් ප්‍රවේශ වීමේ හැකියාවක් ඉතා කෙටි කාලයක් තුළදී අක්කර ගෙන තිබීම ද සුවිශේෂී වේ.

    සමාජ මාධ්‍ය සහ සහ අන්තර්ජාල ඉහළ අවධියකට යාමෙන් කටකතාවේ සහ තොරතුරු වල මුහුණු දෙක සමග ජානුස් ගේ අවතාර 2 විද්‍යාමාන වේ. මේ නිසා පොදු-පෞද්ගලික, නළුවන්-ප්‍රේක්ෂකයන්, නිශ්පාදකයා-පාරිභෝගිකයා, තොරතුරු සහ කටකතා යනුවෙන් වෙන් කර තිබූ රේඛාවන් ද ක්‍රමයෙන් මැකී යන්නට පටන් ගෙන ඇත. මේ සඳහා අනෙකාගේ සලකුණ අත්‍යවශ්‍ය නොවේ. සමාජයේ දැන් සිටින්නේ කුඩා අනෙකුන් ය.

    First time in Sri Lanka.

     

    මහා අනෙකා නැත’ යනුවෙන් 2004 හිස්ටීරියාව සම්මන්ත්‍රණේ පළමුව ප්‍රකාශ කලේ මහාචාර්ය ප්‍රභා මනුරත්න විසිනි.[Professor Prabha Manuratne first stated at the ‘2004 Hysteria Conference’ that there is no Big other.]

    “මහා අනෙකා නැත”, “මහ අනෙකා හිස් ය”. යන්න මේ යුගය ආදර්ශ පාඨ බවට පත්වී ඇත.

    මේ නිසා එක බොරුවක්, බොරු දහසක් ඔස්සේ පවත්වාගෙන යාමට මිනිසාට හැකියාව ලැබී ඇත. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් යනු ලැකානියානු වාදියෙකු වශයෙන් දැක්විය හැක්කේ ඔහු ඕනෑම දෙයකට විකල්ප කරුණු ඉදිරිපත් කරන බැවිනි. එසේම ට්‍රම්ප් යනු හෙගලියානු වාදියෙකි. ඊට හේතුව ඔහු සාක්ෂි කරුණුවලට වඩා නරක වන බව දන්නා බැවිනි. මේ තත්වය දාර්ශනික කාන්තාවක් වන ඇලෙන් සුපැන්ජික් දක්වන පරිදි

    “අප ගනුදෙනු කරමින් සිටින්නේ මහා අනෙකා අකර්මණ්‍ය වූ යුගයකයි. මේ යුගයේදී සංකේත පිළිවෙල අවශ්‍ය ලෙස වෙනස් කිරීමට සහ එම වෙනස්කම් සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ලබා දී ඇත. මේ යුගයේ පවතින සමාජ ආර්ථික ව්‍යුහයේ පරාමිතීන් සම්බන්ධයෙන් සියල්ල බල රහිත වී ඇත්තේ මේ නිසාය.”

    මහා අනෙකා සම්පූර්ණයෙන්ම නැතිව ගොස් නැත. සිදුව ඇත්තේ මහ අනෙකාගේ අවතාර සෙවනැලි අඳුරු පාර්ශවය ආලෝකය වසාගනිමින් හාත්පසම පැතිරී යාමයි. එම නිසා කිසිවෙකුට කිසිවෙක්  විශ්වාසය තැබිය නොහැකියි සමාජයක් නිර්මාණය වී ඇත.  එබැවින් ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කිසිදු වරදකාරිත්වයකින් තොරව කිරීමට සහ කට කතාවක් වුවද පැතිරවීමට හැකියාව ලැබේ. පෙර යුගයේදී ප්‍රතිඵල පිළිබඳව සිතීමට සිදුවූයේ නම් මේ යුගයේදී ප්‍රතිඵල යනු ශූන්‍ය දෙයක් බවට පත් වී ඇත. වර්තමානය අතිශය දරුණු අත්දැකීම් විඳීමට සිදුවන නිමා නොවන කාලයක් බවට පත්වී ඇත්තේ මේ නිසාය. මෙයින් යමෙක් මිදීමට උත්සාහ කරන්නේ නම් එයද ප්‍රයෝජන රහිත දෙයකි. මහා අනෙකා වෙනුවට කුඩා අනෙකුන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් සංකේත නීතිය පවා අර්ථවත් වන්නේ පොදු සමාජය තුළ තබා නොව පෞද්ගලික අර්ථයන් තුළ තබා ගනිමින් ය. මීට වසර දෙදහස් පන්සියයකට පමණ පෙරදී සොක්‍රටීස්ට අත්වූ ඉරණමට වඩා, ජෝෂප් K. ට අත්වූ ඉරණමට වඩා වඩාත් හානිදායක ඉරණමක් විඳීමට සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටිය යුතුය.

    අනුවර්තනය – බුද්ධික සිරාන්.

ඔබේ අදහස කියන්න...