වත්මන් ලාංකේය දේශපාලනය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සඳහා මූලික ව බලපෑ සාධකයක් ලෙස හැඳින්විය හැක්කේ මෙම වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය යි. එහි දී බොහෝ විට ප්‍රකාශ වූයේ එම මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය අනපේක්ෂිත ජයග්‍රහණයක් බව යි.

දේශපාලනය තුළ අප දන්නා දැනුමක් ප්‍රතික්ෂේප කිරීම මඟින් අපි එම ජයග්‍රහණය අනපේක්ෂිත ජයග්‍රහණයක් බවට අර්ථකථනය කර ගෙන සිටින්නෙමු. අප දන්නා දැනුම ප්‍රතික්ෂේප කිරීම සඳහා ප්‍රබල උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළේ මාධ්‍යය ය. අප දන්නා එහෙත් ප්‍රතික්ෂේප කළ දැනුම කුමක් ද? අප වටහා  ගත යුත්තේ 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවැති ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට පසුබිම් වූයේ දේශපාලන පක්ෂයකට, දේශපාලන ප්‍රතිපත්තියකට වඩා තනි පුද්ගල ප්‍රතිරූපයක් බව ය. වර්ෂ 2010 ජනාධිපතිවරණ කාල වකවානුවේ දී ද විපක්ෂ කණ්ඩායම් වල උභතෝකෝටික ගැටළුව වූයේ මහින්ද රාජපක්ෂ නමැති පුද්ගල ප්‍රතිරූපයට අභියෝග කළ හැකි දේශපාලන ප්‍රතිරූපය කුමක් ද යන්න ය. ඒ සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ආදේශ කළ ද යුද ජයග්‍රහණයේ උණුසුම අභියස ඔහු පරාජයට පත් විය. නමුත් වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට එරෙහිව පොදු අපේක්ෂක ප්‍රතිරූපය “මෛත්‍රී“ නමැති සන්නාමයක් බවට පත් කරමින් (සුභාෂ් පින්නපොළ ඇතුළු කණ්ඩායම) ගොඩ නැඟුවේ ය. ගොවි, ග්‍රාමීය, මහා කළු සිංහල ප්‍රතිරූපයට එරෙහිව නාගරික, සියලු ජාතීන්ට  එකඟ විය හැකි යහපාලනය නමැති විශ්වීය සංකල්පය එහි දී මූලික විය. 2018 පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගලයා වටා කේන්ද්‍ර වූ පොදු ජන පෙරමුණ නැමති පක්ෂයේ ජයග්‍රහණයට පසුබිම සැකසුණේ ද ඒ අයුරින්ම ය. එහිදී ද ජයග්‍රහණය කළේ තනි පුද්ගලයෙකු මිස පක්ෂයක් හෝ වැඩපිළිවෙළක් නොවේ. මේ වන විට පොදු ජන පෙරමුණ තුළ විවිධ මතභේද හට ගෙන ඇති බව වාර්තා පළ වේ. එම මතභේදවලට සම්බන්ධ වී සිටින කුඩා දේශපාලන පක්ෂ නායකයන් අවශේෂ සාධක බවට පත් කරමින් ප්‍රබල පුද්ගල ප්‍රතිරූප පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙමින් පවතින්නේ ද ඉහත සාධකය නිසා ය.

ඉහත තත්ත්ව මඟින් තහවුරු වූයේ පුද්ගලයා මූලික වූ, දේශපාලන පක්ෂ ද්විතියික වූ අනන්‍යතා දේශපාලන අවකාශයකි. එහෙත්, 2015 ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් කෙටි කලකට පසු යහපාලනය නමැති විශ්වීය අදහස වෙනුවට එතෙක් මර්දනය කර තිබුණු පක්ෂ කේන්ද්‍රීය දේශපාලන පසමිතුරුතාවය මතු පිටට පැමිණෙන්නට විය. ඒ සඳහා මූලික වූයේ සාම්ප්‍රදායික දේශපාලන පසමිතුරුතාවය නොව 2015 ජනාධිපතිවරණය සඳහා බලපෑ අනන්‍යතා දේශපාලනයම වීම විශේෂත්වයකි. මෙම අනන්‍යතා දේශපාලනය ලෝක මට්ටමින් ද දැක ගත හැකි ය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරීත්වය දෙස බලන විට ඔහු පක්ෂයක් හෝ පොදු වැඩපිළිවෙළක් නියෝජනය කරන්නෙක් ලෙස නොව පුද්ගලවාදී දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන ආකාරයක් පෙනෙන්නේ ද මෙම අනන්‍යතා දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස ය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද ඓතිහාසික චරිතයක් බවට පත් වී ඇත. දේශපාලන පක්ෂයක් නියෝජනය නො කළ ද පුටින් ට 2018 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි වූයේ මෙම අනන්‍යතා දේශපාලනය නිසා ය. පරිපූර්ණ රුසියන් ජාතිය නියෝජනය කරනු ලබන මිථ්‍යාමය ප්‍රතිමූර්තියක් බවට ඔහු පත් වී ඇත. පුටින් පවතින තාක් කල් රුසියාව ද පවතී ය යන අදහස මේ වන විට ජනිත වී ඇත. කිසිවෙකු මෙවැනි ඓතිහාසික තැනැත්තන්ගෙන් අනාගතය පිළිබඳ අභිවෘද්ධියක් අපේක්ෂා නො කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි.

වත්මන් ලෝක දේශපාලනය තුළ චීනයේ ක්‍රියාකාරීත්වය වටහා ගැනීම මඟින් රුසියාවේ  ක්‍රියාකාරීත්වය වටහා ගැනීම පහසු වනු ඇත. චීනය විසින් ක්‍රියාත්මක කරන විසි එක් වන සියවසේ නව සේද මාවත හා “Belt and Road Initiative” යනු චීනය බටහිර මත පරායත්ත යුගය අවසානය කරා ළඟා වෙමින් පවතින බවට වන සලකුණු ය. එනම්, දැනුම, තාක්ෂණය, විද්‍යාව හා කෘත්‍රිම බුද්ධිය පාදක කර ගනිමින් චීනය බටහිර සමඟ කරට කර තරඟ කිරීමට සූදානම් වී ඇත. චීනය එසේ බටහිරට සැබෑ අභියෝගකරුවකු වන විට පුටින් රුසියාව ගොඩනගනු ලබන්නේ බටහිරට අභියෝගකරුවෙක් ලෙස නොව පසමිතුරෙක් ලෙස ය. ආර්ථිකය දුර්වල රටක නායකයෙකුට සැබෑ අභියෝගකරුවකු වීම දුෂ්කර වන විට පසමිතුරුතා ගොඩනැගීම හැර කරන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. එමඟින් පුරවැසියන්ට ද රට වෙනුවෙන් සැබෑ කැප කිරීමක් සිදු නො කර ම රට පිළිබඳ අභිමානයක් ජනිත කර ගනිමින් තමන් ලෝක බලවතෙක් යැයි පරිකල්පනය කළ හැකි ය. මෙවැනි දේශපාලනඥයින්ගේ ප්‍රතිඥා සම්බන්ධ වන්නේ අතීතයට ය. ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කරන බවට ට්‍රම්ප් ප්‍රකාශ කරන විට පුටින් ප්‍රකාශ කරන්නේ රුසියාව නැවතත් ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කර ඇති බව ය. ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂට ද මේ වන විට කියන්නට ඇත්තේ ශ්‍රී ලංකාව නැවතත් ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කරන බව පමණි. මෙවැනි නායකයන්ගේ පාලනය තුළ සිදු වන්නේ මාධ්‍ය, ව්‍යාපාරික ප්‍රජාව හා විපක්ෂ දේශපාලනඥයින් තමන්ගේ පාලනය යටතේ තබා ගැනීම ය. එමඟින් ඔවුන්ට සැබෑ ස්ථායීතාවය නොමැතිව ස්ථායිතාව නැමැති මුහුණුවර (appearance) පහසුවෙන් පවත්වා ගෙන යා හැකි ය.

නමුත් ඡන්දදායකයාගේ පැත්තෙන් ගත් විට ඉහතින් සඳහන් කළ මැතිවරණ ජයග්‍රහණ යනු කුමක් ද? ඒවායේ සැඟවුණු පණිවිඩය නම් තවදුරටත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එහි පැරණි අර්ථයෙන් වලංගු නො වන බව ය. තමන්ට අවශ්‍ය කුමක්දැයි තමන් පත් කර ගන්නා නියෝජිතයා මඟින් ඡන්දදායකයින් තහවුරු නො කර ගන්නා අතර නියෝජනය නැමැති ක්‍රියාව මඟින් තමන්ට අවශ්‍ය කුමක්දැයි ඡන්දදායකයෝ වටහා ගනිති. එනම්, ඡන්දදායකයාගේ ආශාව මඟින් නියෝජිතය තවදුරටත් තීරණය නො වන අතර නියෝජිතයින් මඟින් ඡන්ද ඡන්දදායකයාගේ ආශාව නිරූපනය වේ. සවිඥානක තලයේ දී භීෂණයට, දූෂණයට විරුද්ධ ඡන්දදායකයා ඡන්දය දිනයේ දී භීෂකයින් හා දූෂකයින් තෝරා පත් කර ගන්නා යථාර්ථය එය යි. මෙහි දී අප වටහා ගත යුතු කරුණ වන්නේ අපගේ ආශාව තෘප්ත වී ද නැති ද යන්න නොව අප ආශා කරන්නේ කුමකටදැයි අප දේශපාලනය මඟින් දැන ගන්නා බව ය. මේ නිසා ඡන්දය යනු හවුලේ භුක්ති විඳින යාතුකර්ම චාරිත්‍රයක් (ritual) බවට අද පත් වී තිබේ. නමුත් ඒ තුළින් සැබැවින්ම මතුවන්නේ සර්වාධිකාරී බවකි. පොදු ජන පෙරමුණට සම්බන්ධ න්‍යායාචාර්යවරුන් ද මේ වන විට ජනරජය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර ඇත. එය ඉහත තත්ත්වයේම විදග්ධ මුහුණුවරයි. ජනරජයේ අවසන් මුහුණුවර යනු රාජාණ්ඩුවකි. නොවාලිස් පෙන්වා දී ඇති පරිදි කිසිඳු රජෙකුට ජනරජයකින් තොරව හා කිසිඳු ජනරජයකට රජෙකුගෙන් තොරව පැවතීමක් නො මැත.

මහින්ද රාජපක්ෂ හැරුණු විට ඉහතින් සඳහන් කළ සමාජ, දේශපාලන කතිකාවෙන් බැහැර කරන ලද  ප්‍රජාව විෂය කර ගන්නා තවත් පිරිසක් වෙයි. ඒ අශ්ලීලත්වය තිරගත කරන නාගරික හා අර්ධ නාගරික සිනමාකරුවන් හා එම අශ්ලීලත්වය මඟින් විනෝද වන නාගරික ප්‍රේක්ෂකයන් ය. මෙවර “දෙරණ“ සිනමා සම්මාන උළෙලේදී ද නාගරිකයාගේ මෙම ෆැන්ටසියට සම්මාන හිමි විය. අප වටහා ගත යුත්තේ මෙම ගැමියා නාගරිකයාගේ අශ්ලීල ෆැන්ටසි භූමිකාවට පණ පොවන අතරම දේශපාලනයේ දී තීරණාත්මක සාධකයක් බවට ද පත් වී ඇති බව ය. එහෙත්, මේ කිසි‍වෙකුට ඔවුන් ශිෂ්ටත්වයට පත් කිරීමේ දේශපාලනයක් හෝ නූතනවාදී කලා ව්‍යාපෘතියක් සඳහා වුවමනාවක් පෙනෙන්නට නො තිබේ.  සිනමාව තුළින් ගැමියාගේ අශ්ලීලත්වය නරඹන ලිබරල් නාගරිකයන්ට ඡන්දය දිනයේදී ගැමියා සාක්ෂාත් කර වන්නේ එම නාගරිකයාගේම ෆැන්ටසිය යි. එබැවින් කොළඹ පැමිණ පහන් කණු වල නඟින ගැමියා නිර්මාණය කරන්නේ ඔවුන්ම ය. එම ගැමියා ශරීරය සපයන්නේ ඔවුන්ගේ විනෝදයට ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ නූතනත්වය කේන්ද්‍ර කර ගත් දේශපාලනයක් ග්‍රාමීය ශිෂ්‍යයාට හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු වෙනුවට තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ නවක වදය පාදක කර ගත් ව්‍යාපෘතියකි. ලාංකේය දේශපාලනය වලව්වෙන් ගැමියා අතට පත් වන විට ඊට එරෙහිව නූතනවාදී දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් පෙනී සිටීමට වම අසමත් වී ඇත. ඒ අනුව වර්තමාන දේශපාලනය යොමු වී ඇත්තේ විපරීත දිශානතියක් වෙත ය.

අශ්ලීලත්වය සමඟ සම්බන්ධ විපරීතභාවය දක්ෂිණාංශික දේශපාලනය බවටත් උදාසීන පාරිශුද්ධ සදාචාරවාදය වාමාංශික දේශපාලනය බවටත් අද වන විට පත්ව ඇත. නමුත් එම දේශපාලන නිවැරදිභාවී සදාචාරවාදය යනු ජාතිවාදය නමැති අභිලාෂය මතුපිට තලයෙන් පහතට තෙරපා ඇති තත්ත්වයකි. එහි විශේෂත්වය වන්නේ එම තත්ත්වය තුළ පවා ජාතිවාදය සක්‍රීය ව පැවතීමයි. ජ.වි.පෙ. හා පෙ.ස.පෙ. ක්‍රියාකාරීත්වය අප වටහා ගත යුත්තේ එම පසුබිම තුළ ය. 2015 වසරේ ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසු ඇතැමුන් අපේක්ෂා කළේ රට තුළ සුවිශේෂී වෙනසක් සිදු නො වන නිසා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන අවකාශය තුළ වැඩි බලයක් හිමි කර ගැනීමට මාර්ගය උදා වන බව ය. එහෙත් ජ.වි.පෙ. අසමත් දේශපාලනය තුළ පාර කැපුණේ ජාතිවාදීන්ට හෙවත් ඒකාබද්ධ විපක්ෂයට ය.

එමෙන්ම පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඇතැම් නිරීක්ෂකයින් ගණන් බලා තිබුණේ පොදු ජන පෙරමුණ නමැති පක්ෂයේ ආගමනය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දෙකට බෙදී යන බව ය.  නමුත් ඡන්ද ප්‍රතිඵලය ඊට හාත්පසින්ම වෙනස් විය. එමඟින් අපව අලුත් යථාර්ථයකට අවදි කරවී ය. එනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ පසමිතුරුතා දේශපාලනය තවදුරටත් තීරණාත්මක නො වන බව ය. නිදහස ලැබූ දා සිට පැවැති දක්ෂිණාංශික හා වාමවාදී පසමිතුරුතා දේශපාලනය වෙනුවට වර්ෂ 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිධූරයට පත් වද්දී ජාතිකවාදී හා ජාතිකවාදී නොවන දේශපාලනය ආදේශ විය. වර්ෂ 2010 වන විට එය ජාතිවාදී හා ජාතිද්‍රෝහී දේශපාලනයක් බවට පත් විය. ලෝක මට්ටමින් ගත්ත ද පැරණි අර්ථයෙන් දක්ෂිණාංශික හා වාමවාදී දේශපාලනය මේ වන විට අවසන් වී ඇත. එබැවින් මීළඟ මැතිවරණ වලදී තීරණාත්මක සාධකය වීමට නියමිතව ඇත්තේ ජාතිවාදී හා ජාතිද්‍රෝහී සාධකය මිස ශ්‍රී.ල.නි.ප., එ.ජා.ප., ජ.වි.පෙ. දේශපාලනය නොවේ. යහපාලනයට එහි වලංගුභාවය අහිමි වන්නට බලපෑ තවත් සාධකයක් වන්නේ ක්‍රියාකාරිත්වය මඟින් ලබාගන්නා සුජාතභාවය (legitimacy through performance) ඔවුන් වෙතින් ගිලිහීයාම නිසා ය. යහපාලකයින් සිවිල් සමාජයේ බලාපොරොත්තු කඩ කළ බවට චෝදනා නැඟන්නේ එබැවිනි. නමුත් මෙහි පවතින විශේෂත්වය වන්නේ අධිකාරිවාදී පාලනය ද සිය බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරනු ලබන්නේ ද ඉහත ක්‍රමවේදය මඟින් වීම ය. වර්තමානයේ රාජපක්ෂ රෙජීමය පිළිබඳ සිහිපත් කිරීමේ දී “යුද්ධය තිබුණාට පාරවල් හැදුවා, සංවර්ධනය කෙරුවා“ වැනි ප්‍රකාශ ඇසෙන්නේ ඒ හේතුවෙනි.

ඇතැමුන් විසින් 2018 පළාත් පාලන මැතිවරණයේ දී පොදු ජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයින් මෙන්ම පසුගිය දා පැවති “ජන බලය කොළඹට“ නැමැති දේශපාලන විරෝධතාවය සඳහා සහභාගීවූවන් හඳුන්වනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ වහලුන් ලෙස ය. එහෙත් එයට පටහැනිව අප වටහා ගත යුත්තේ මේ මොහොතේ මහින්ද රාජපක්ෂ ලබා දෙන්නේ අපගේ අභිලාෂයන් පැහැදිලි කරවන වාර්ගික අනන්‍යතාවය බව ය; ඔහුට අනුගාමිකයින් බැඳෙන්නේ ස්වාමි වහල් සම්බන්ධයක් නිසා නො වන බව ය. අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන, නිෂ්පාදන ආර්ථිකයෙන් බැහැර කරන ලද ප්‍රජාව සමාජ දේහයට එක් කිරීමේ ක්‍රියාවලිය බවට ජාතිවාදය පදනම් කර ගත් ඡන්ද ව්‍යාපාරය පත්ව තිබේ. සාම්ප්‍රදායික මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ තමන්වම ප්‍රේක්ෂාවක් බවට පත් කර ගත් මිනිසුන් අතරට දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ස්ථරයට තමන්වම ප්‍රේක්ෂාවක් බවට පත් කර ගන්නට හා තමන්ව  ප්‍රකාශමාන වීමට ඉඩ හැරීමට ඡන්දය හා බලය පමණක් පාදක කර ගත් පොහොට්ටුවාදී දේශපාලනය ඉඩ සලසා දී තිබේ. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය නළුවන් රැසක් මහජනතාව වෙනුවෙන් කරනු ලබන රංගනයක් නම් මහින්ද රාජපක්ෂගේ දේශපාලනය මහජනතාව නළුවන් බවට පත් කරවන දේශපාලනයකි.

ජනමාධ්‍ය ද අද වන විට සෘජු පුවත් වාර්තාකරණයෙන් ප්‍රබන්ධ වාර්තාකරණයක් දක්වා පරිවර්තනය වී ඇත. එමෙන්ම වර්තමානයේ පොදු විපක්ෂය මෙන් ම ජනමාධ්‍යයේ ක්‍රියාකාරීත්වය විමසා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඔවුන් පවතින තත්ත්ව මිනිසුන්ට පැහැදිලි කර දීම වෙනුවට සිදු කරමින් සිටින්නේ පවතින තත්ත්ව තව තවත් අපැහැදිලි කිරීම බව ය. අනාරක්ෂිතභාවයෙන් පෙළෙන, අනාගතය පිළිබඳ බියකින් පසු වන බහුතර මිනිසුන් පිරිසක් සිටින බව ඔවුහු දනිති. ඔවුන් කරනු ලබන්නේ මිනිසුන්ගේ එම බිය වර්ධනය කිරීම හා ස්ථාවරභාවය පිළිබඳ සහතිකකරුවන් ලෙස ඔවුන්ම පෙනී සිටීම ය. නමුත් ඔවුන් යනු තමන් පෙනී සිටින දෘෂ්ටිවාදය තමන්ම විශ්වාස නො කරන බලය පිළිබඳ උපාය දක්ෂයන් පිරිසක් පමණි. ජනමාධ්‍යයේ මෙම නව ක්‍රියාකාරීත්වය (පවතින තත්ත්ව තව තවත් අපැහැදිලි කිරීම) ජනමාධ්‍යවේදය හදාරන විද්‍යාර්ථීන්ට ද පර්යේෂණ සිදු කිරීම සඳහා අදාළ කර ගත හැකි විෂය ක්ෂේත්‍රයකි.

මහින්ද රාජපක්ෂ යනු දේශපාලනය ප්‍රබන්ධ මානයකට රැගෙන එන ප්‍රමුඛයා ය. ඔහු දුටු සැනින් මාධ්‍ය කැමරා සහ මයික්‍රෆෝන ඔහු වෙත යොමු වන්නේ එබැවිනි. තවත් අතකින් වර්තමාන තථ්‍යසමාන මාධ්‍ය අවකාශයේ විපරීත මානය සැබැවින්ම අප වෙත පෙන්වා දෙන දේශපාලනඥයා ඔහු ය. ඔහු වටා කේන්ද්‍ර වී සිටින අනෙකුත් දේශපාලනඥයන් ද දේශපාලනයේ විපරිත මානය පිළිබඳ සාක්ෂි සපයයි. “සිදු කළ නො හැකි කිසිවක් නො මැත, ඔබ වෙනුවෙන් අපි කැප වී සිටින්නෙමු“ වැනි විපරීත ප්‍රකාශ නිකුත් වන්නේ ද එබැවිනි. “යුද්දේ ඉවර කරපු අපට බදු මොකක්දැයි“ රාජපක්ෂ කඳවුරෙන් ප්‍රකාශ වන්නේ ද එනිසා ය. පසුගිය දිනවල අත්අඩංගුවට පත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාප විමසා බැලීම වටින්නේ ද එම පසුබිම තුළ ය. ආශාව මත පදනම් වූ දේශපාලනය අවසන් වී සහජාශය එතැනට ආදේශ වී ඇත. කොළඹ කොටුවේ ප්‍රධාන වීදියක ඇති පහන් කණුවකට නඟින්නට අපට නො හැකි ය. මහ දවාලේ කොළඹ කොටුවේ පදික වේදිකාවක් මත බීමතින් වැටී නිදා ගැනීමට අපට නො හැකි ය. එහෙත් “ජන බලය කොළඹට“ විරෝධතාවය අතරතුර සිදු වූ එම ක්‍රියා නිසා වත්මන් දේශපාලනයේ  විපරීත මානය සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂාවක් බවට පත් විය. එම ක්‍රියා ප්‍රේක්ෂාවක් බවට පත් වූයේ ඇයි? පෙර ද සඳහන් කළ පරිදි අපගේ අශ්ලීල ආශාවන් ඔවුන් අප වෙනුවෙන් ඉටු කළ බැවිනි. ඔවුන් ගොදුරු බවට නාමකරණය කිරීම මඟින් අපගේ අශ්ලීල ෆැන්ටසි ඔවුන් වෙතට ප්‍රක්ෂේපණය කර අපට වැදගත් මහත්වරුන් විය හැකි ය. මෙම අශ්ලීල ෆැන්ටසිය සහ සමාජ යථාර්ථය අතර පරතරය නඩත්තු කරමින් තමා වැදගත් දේශපාලන සත්වයකු බවට පත් කර ගැනීම පහසු ය. මෙහි දී අප අමතක කරන්නේ යහපත් පුරවැසියෙක් වීමට ඔවුන්ට මහින්ද රාජපක්ෂ මෙන්ම මෙම ගැමියා ද අවශ්‍ය වී ඇති බව ය. නමුත් රට වෙනස් වීමට නම් ඔවුන් නිසා අප රහසින් විඳි විනෝදය ද විචාරයට ලක් විය යුතු ය. එසේ නොමැති නම් ඉදිරි මැතිවරණ වල දී ද අපට පෙර පරිදිම අපම වැපිරූ අස්වැන්න නෙළා ගන්නවා හැර වෙනත් කරන්නට දෙයක් නො මැති වනු ඇත. මෙහිදී අප අමතක කරන සත්‍යය නම් අප සමාජ ක්‍රමයට බැඳී සිටින්නේ සිතන තැන දී නොව අප ක්‍රියා කරන තැන දී බව ය.

 “ජන බලය කොළඹට“ විරෝධතාවය විවේචනයට ලක් කළ තවත් ආකාරයක් නම් එයට සහභාගී වූ අවම මානව අවශ්‍යතා පවා සම්පූර්ණ නො වූ පිරිසක් ශෝකාන්ත නාටකයක චරිත බවට පත් කිරීම ය. පසුගිය දශකයක පමණ කාලයක් පිළිබඳ අප සියලු දෙනා දන්නා භයංකාරත්වය නමැති සාධකය අඩු වැදගත්කමක් ලෙස සැලකීම ඒ තුළ පවතියි. 2018 පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව පැවති විවේචන තුළ වූයේ ද මෙවැනිම විගඩම්කාරී තත්ත්වයකි. මෙහි දී අප වටහා ගත යුත්තේ අපට සංකේතනය කළ නො හැකි යම් අත්දැකීමක් අප බෙදා හදා ගනු ලබන්නේ විගඩමක් බවට පත් කරමින් බව ය. එමෙන්ම එම විවේචනය යථාර්ථය තථ්‍යසමාන විෂය පථයකට ඌනනය කිරීමක් ද වේ. ඒ තුළ පවතින්නේ ද විපරීතභාවය පිළිබඳ ලක්ෂණ ය. අනෙක් කරුණ නම් ඔවුන් විසින් නිදහස නැමැති සාධකය ආත්මය ගොදූරුමය නිශ්ක්‍රීයත්වයක් තුළ දැක්වීම යි. ඒ තුළ පවතින්නේ ද විපරීතභාවය පිළිබඳ ලක්ෂණ ය. අප වටහා ගත යුත්තේ අවසන් ධනවාදී බාධා නොමැති සුඛපරමවාදී කතිකාව ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට බව ය. එහෙත් බීමතින් වැටී සිටි මිනිසුන් අපට හඟවන්නේ දේශපාලනය නැමැති ක්‍රියාවේ පවතින අසීරු බව නො වේ ද? අද වන විට මිනිසුන් පුබුදුවාලන දේශපාලනයක් නො මැති විට මිනිසුන් පුබුදුවාලන්නේ මත්ද්‍රව්‍ය ය. මත්ද්‍රව්‍ය බාහිර සිදුවීම් කෙරෙහි අප අසංවේදී කර ඒ වෙනුවට කෘත්‍රිම උද්දීපනයක් ලබා දෙයි. දේශපාලන මඟ පෙන්වීම් සහිත පොදු සාමූහික ආවේගය වෙනුවට පෞද්ගලික ආවේගයක් එමඟින් ලබා දෙයි.

වර්තමානයේ දේශපාලනය ඉතා අසීරු වී ඇත්තේ අද වන විට දෘෂ්ටිවාදය ධනාත්මක දැක්මක් සහිත අනාගතයක් පිළිබඳ යමක් ලෙස නොව යහපත් අනාගතයක් වෙනුවෙන් ලෝකය වෙනස් කිරීමට යාමේදී බියකරු ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වනු ඇති ය යන අදහස් ඉදිරිපත් කරමින් මිනිසුන් බියට පත් කිරීම නිස යි. මෙහිදී සිදු වන්නේ යහපත් අනාගතයට එරෙහි සැබෑ ප්‍රතිරෝධය මර්දනය කිරීමට ඉදිරිපත් වීම වෙනුවට යහපත් අනාගතය පිළිබඳ බලාපොරොත්තුව මර්දනය කිරීම ය. ෂාක් ලැකාන් ධනවාදය විපරීතභාවය හා සයිකෝසියාව සමඟ සම්බන්ධ කළ ද ස්ලේවෝ ජිජැක් පවසන්නේ ලුබ්ධිමය  දෘෂ්ටිකෝණයෙන් වත්මන් ධනවාදය විපරීතභාවය සමඟ සමපාත වන බව ය. එයට හේතුව වශයෙන් ඔහු දක්වන්නේ එය කප්පාදුව ප්‍රතික්ෂේප කරන බැවිනි. එය කප්පාදුව බැහැර කිරීම හෝ අත්හිටුවීම සිදු නො කරන අතර කප්පාදුව ප්‍රතික්ෂේප කිරීම පමණක් සිදු කරයි. ඇතැමුන් “ජන බලය කොළඹට“ විරෝධතාවයේ දී විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගැනීම සහ පහරකෑම ආදිය පිළිබඳ අපේක්ෂා දැල් වූයේ බලයේ මතුපිට මුහුණුවර වන්නේ කප්පාදුව ප්‍රතික්ෂේප කරන විපරීතභාවය නිසා ය. බලය රඳා පැවතීමට නම් බලය තුළම බලය උල්ලංඝනය කරන විපරීතභාවයක් අවශ්‍ය ය. ඒ අනුව විපරිතයා මර්දනය කරන ලද්ද යථාර්ථය තුළ පුබුදුවාලයි. විපරිතයා මූලිකව අර්ථ දැක්වෙන්නේ ඔහු කරනු ලබන ක්‍රියා මඟින් නොව ඔහු සත්‍යයට හා කථනයට දක්වන සම්බන්ධය තුළ ය. ඔහු ඓතිහාසික හෝ දේවත්වයට හෝ අදාළ රූපයකට සෘජුව සම්බන්ධ බව පෙන්නුම් කරන අතරම භාෂාවේ තිබෙන උභයාර්ථතාව පළවා හරියි. ඒ අනුව ඔහු මහා අනෙකාගේ කැමැත්ත සෘජුව නියෝජනය කරන  බව පෙන්නුම් කරයි.

මෙහි දී අපට වර්තමාන ධනවාදී ආත්මය පිළිබඳ අන්ත දෙකක් ද හමු වෙයි. ඉන් එකක් වන්නේ ආලෝකමත් සුඛපරමවාදය යි. ඒ තුළ සිටින්නෙකු  තම ප්‍රමෝදය නිසා තමන් පීඩාවට පත් නො කර ගැනීමට වග බලා ගනියි. අනෙක් අන්තයේ සිටින්නේ පරම විනෝදකාමීන් ය. ඔවුන් තම පැවැත්ම මරණීය අතිරික්ත විනෝදය තුළ ගිල්වා දමයි. එනම්, එක් පසෙකින් සෞඛ්‍ය ගැටලුවලින් තොරව හා හිංසනය මඟ හරිමින් ප්‍රවේශම්කාරී ලෙස තම ප්‍රමෝදය ගණන් බලා කටයුතු කරන පරිභෝජනවාදියෙකු සිටින අතර අනෙක් පස සිටින්නේ ස්වයං විනාශකාරී පුද්ගලයෙකි. ඒ අනුව පරිභෝජනය පරම වූ සමාජයක අප සියලු දෙනා විනෝද වෙමින් සිටින්නේ ය යන ප්‍රකාශය මුළාවක් බවට පත් වේ. එවැනි සමාජයක පරිභෝජනය කරන්නේ කැෆේන් නොමැති කෝපි හා කොලොස්ට්‍රෝල් නොමැති චීස් වැනි දේ ය. ධනවාදය කප්පාදුව ප්‍රතික්ෂේප කරන නිසා ආත්මය බිඳුණු හා විකේන්ද්‍රික තත්ත්වයෙන් සංස්ථාපනය කරන සංකේතීය ක්‍රියාවලිය නවතා දමන බැවින් තත්කාලීන ධනවාදය පශ්චාත් දේශපාලන ව්‍යූහයක් ද ගනියි. එමෙන්ම ක්‍රමය තව දුරටත් ලිබරල් නො වන නමුත් එය බොහෝ දෙනා පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී  නො වන එකක් වන්නේ ද නැත. මන්ද යත් මැතිවරණ පැවැත්වීම, බහුතර ඡන්ද ලබා ගන්නා අය බලය පිහිටුවීම ආදී  ප්‍රජාතන්ත්‍රවාදී  මූලධර්ම ඉටු වන නමුත් සුළු ජාතීන්ගේ අයිතීන් සීමාසහිත වී ඇති අතර බලය බෙදා හැරීම ද දුර්වල වී ඇත.

වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් මෙය වාර්ගිකත්වය පවා පරමාණුකරණය කළ යුගයකි. මෙහි දී ජනවර්ග පමණක් නොව ආගමික, ලිංගික, ස්ත්‍රීවාදී හා පාරිසරික ආදී විවිධ අනන්‍යතා සහිත දේශපාලන ව්‍යාපාර බිහි වන්නට පටන් ගැනිණ. ඒවා එක් අතකින් නව ලිබරල් අවකාශයක සලකුණු බඳු වේ. මෙලෙස පරමාණුකරණයට ලක් වන අනන්‍යතා දේශපාලනය සැබෑ දේශපාලන පද්ධතිය අකර්මණ්‍ය කරන අතරම අධිකාරිවාදී බලාපොරොත්තු ද දල්වයි. තව දුරටත් වම-දකුණ භේදය වලංගු නො වන නිසා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මිය යන්නට පටන් ගෙන ඇත. එම පසුබිම තුළ වාර්ගිකත්වය කේන්ද්‍ර කර ගත් පක්ෂ බලපෑම් කළ හැකි මට්ටමේ ආසන ප්‍රමාණයක් දිනා ගනිමින් සිටියි. ඉන් පසු බලය පිහිටුවීම දේශපාලන විශ්ලේෂකයන්ගේ ගණිත ගැටලු විසදීමක් බවට පත් වේ. ඒ අනුව ජනප්‍රියවාදය නිසි විසඳුම් සෙවීමට උත්සුක නො වන අතර එය වළක්වාලිය නො හැකි බිඳවැටීමකට මඟ පාදන බව යුරෝපීය මෑතක කාලීන දේශපාලන සිදුවීම් අපට කියා දෙන පාඩම යි.

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. කෘතිම බුද්ධිය කියන එක වැරදි, එය බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව විය යුතුයි

Comments are closed.