98 වර්ෂයේ සිට 2004 දක්වා අප සංවිධානයේ අප්‍රකට සාමාජිකයෙක් ලෙස ‘නිශාන්ත’ වැඩ කරන ලදී. ඉහත කාල වකවානුව තුළ එක් වරක් ඔහු සංවිධානයෙන් ඉවත් වූ අතර පසුව යළි පැමිණ 2004 දෙසැම්බරය දක්වා සංවිධානය තුළ රැඳුනේය. ඔහු සංවිධානය තුළ රැඳුණු කාලය තුළ ක්‍රියාත්මක වූයේ, උදාසීන පිරිමියෙකු ලෙසින්ය. නමුත් සංවිධානයෙන් පිටතට ගිය විට, ඔහු අධික්‍රියාකාරී පුද්ගලයෙකු විය. මේ ‘වෙනස’ කියවීම මෙම ලිවීමේ පරමාර්ථය යි.

           නිශාන්ත සංවිධානය තුළ සිටිය දී මනෝවිශ්ලේෂණය පිළිබඳව විධිමත් අධ්‍යනයක් නො කළ අතර දේශපාලන න්‍යායන් ගැන ද දැඩි උනන්දුවක් දැක්වූයේ නැත. කෙසේ නමුත්, ඔහු සංවිධානයෙන් එළියට ගිය විට එහි න්‍යායික මදය විනාශ කිරීමට ඉතාම ක්‍රියාකාරීව කටයුතු කරන ලදී. එසේ කරන ලද්දේ ඇයි දැයි ඔහුගෙන් ඇසුවහොත්, ඔහු කියන්නේ X යනු භයානක ඒකාධිපති සංවිධානයක් බවයි. එවැන්නක් තුළින් ඔබ වැනි ප්‍රජාතන්ත්‍රවාදීව හිතන අය බිහි වූයේ කෙසේ දැයි ඇසූ විට නිහඬ වීම හැර අන් මඟක් ඔහුට ද නැත.

             නිශාන්ත මනෝ විශ්ලේෂණයට අදාළ පොත් දෙකක් සිංහලට පරිවර්තනය කරන ලදී. එකක්, ‘ඩේරියන් ලීඩර්’ විසින් රචනා කළ ‘තැපැල් කරනවාට වඩා හසුන්පත් ස්ත්‍රීන් ලියන්නේ ඇයි?’ යන කෘතිය යි. අනෙක වන්නේ, රෙනාටා සෙලෙස්තේ විසින් රචිත ‘ආදරයේ සහ වෛරයේ ස්වරූප’ යන කෘතිය යි.[‘perversions’ is missing]

 මෙම කෘති දෙක සංවිධානයේ එවකට සිටි සාමාජික-සාමාජිකයන්ගේ මූලික මනෝවිශ්ලේෂණ අවබෝධය දියුණු කිරීමට මා විසින් ඇනවුම් කර රැගෙන ආ පොත් වේ. සංවිධානයේ ඛන්ඩනය සමඟ මෙම මූලික කෘති පිටතට ගමන් කළ අතර ඒවා බාහිර පුද්ගලයන්ට අධිනිශ්චය විය. අධිනිශ්චය යන අදහසට දිය හැකි සමාන පදයක් වන්නේ, අවිඥාණය යි. කෙසේ හෝ ඉහත කෘති දෙක 2008 වර්ෂයේ දී සහ 2011 වර්ෂයේ දී නිශාන්ත අතින් පරිවර්තනය විය. මෙම පොත් දෙකෙහි ම සිංහල පරිවර්තනය තුළ දෝෂයක් ඇත. එනම්, කෘති දෙක සිංහලට පරිවර්තනය වෙද්දි ඒවාට පදනම් වූ මනෝවිශ්ලේෂණ න්‍යාය සිංහලට පරිවර්තනය නොවීමයි. වසර 11කට පසුව නිශාන්ත ද එම කරුණ දැන ගනු ඇත්තේ මේ ලිවීම හරහා ය.

               මනෝවිශ්ලේෂණ න්‍යාය ගැන ගැඹුරු අවබෝධයකට යනවිට, ‘දැනුම’ යනුවෙන් අදහස් වන්නේ ‘බාහිර ලෝකය’ මනස මත පරාවර්තනය වීම ධනාත්මක කාරණයක් නොවේ යන්න ය. කොටින්ම, මනෝවිශ්ලේෂණය තුළ ‘දැනුම’ යනු අවිද්‍යාවෙන් විද්‍යාවට පාර පෙන්වන ආලෝකයක් නොවේ. මීට පරස්පරව, දැනුම යනුවෙන් මනෝවිශ්ලේෂණය තුළ හඳුනා ගන්නේ ”අවිද්‍යාවට ඇති අනුරාගය” යි.[passion for the ignorance] නැතහොත්, දැනුම යනු තර්කයට එපිටින් ඇති අතාර්කික දෙයට ඇති අනුරාගය යි. සරලව කිවහොත්, ‘දැනුම’ යනු මනෝවිශ්ලේෂණයට අනුව දන්නා බව නොදැන සිටීමයි. ඒ අනුව, දැනුම යනු මනෝවිශ්ලේෂණයට අනුව විනෝදය ගැන ඇති දැනුමක් -pleasure in pain- මිස බාහිර වාස්තවික ලෝකය ගැන ඇති දැනුමක් නොවේ. නමුත්, නිශාන්තගේ පොත් ප්‍රකාශක මෙසේ කියයි.

             “දැනුම බලය යැයි සැලකෙන ජනප්‍රිය කියමන අභියෝගයට ලක් කිරීමට අපට අවශ්‍යය. දැනුම බලය වන්නේ, අතළොස්සක් දෙනා සිය පුද්ගලික අයිතියක් ලෙසත්, අනුන් පෙළන අවියක් ලෙසත් තබා ගන්නා තෙක් පමණි. දැනුම ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමටත්, භාෂා සීමා නිසා සිංහල පාඨකයන්ට අහිමි වී යන දැනුම් සම්භාරයෙන් බිඳක් හෝ ඔවුන් වෙත ලබා දීමටත් අපි අදහස් කරමු.”

 

                  ඉහත ප්‍රකාශකයාට අනුව, මනෝවිශ්ලේෂණයට අදාළ ‘දැනුම’ අනුභූතික දැනුමට වෙනස් නැත. එම දැනුම සිංහලෙන් ලියූ විට, බහුතරය ඉන් මනෝවිශ්ලේෂණය ගැන ඉගෙන ගනු ඇත. නමුත්, ඇත්තටම සිදු වූයේ මෙහි විලෝමය යි. මේ පොත් දෙකෙන්ම කිසිවෙකු ඉගෙන ගත්තේ නැත. කොටින්ම, 2008 වර්ෂයේ පළ වූ ‘තැපැල් කරනවාට වඩා’ කෘතියේ අක්ෂර සංයෝජනය කළ නිශාන්තගේ ප්‍රථම බිරිඳටවත් කිසිවක් සම්ප්‍රේෂණය වූයේ නැත. තමන්ගේ අත්පිටපත කියව කියවා එය ටයිප් කළ කෙනාටවත් ‘දැනුම’ සම්ප්‍රේෂණය නො වුනේ නම් කවර කතා ද? ඒ, මේ පොත් පරිවර්තකයාට සහ ඔහුගේ ප්‍රකාශකයාට මනෝවිශ්ලේෂණයේ දැනුම ගැන ඇති බුද්ධි මහිමය යි. නමුත්, ඔවුන් එතැනින් නතර නොවී තව පම්පෝරියක් ද මෙසේ කිය යි. 

              “මේ පොත සම්බන්ධ මගේ ඉතිහාසය තරමක් ඈතට දිව යයි. මුල් වතාවට මට මේ පොත කියවීමට ලැබුණේ, එවකට X කණ්ඩායමේ මනෝවිශ්ලේෂණ පන්ති වලට මා සහභාගී වෙමින් සිටියදී ය. පොත තුළ කරුණු ඉදිරිපත් වී තිබුණු ශෛලිය මගේ සිත් ගත්තේය. මුල දී, මූලික ෆ්‍රොයිඩියානු අදහස් සාකච්ඡා කරමින් ඇරඹුණු පැරණි X මනෝවිශ්ලේෂණ ව්‍යාපෘතිය අවසානයේ දී නතර වූයේ සියලු දේශපාලන සතුරන් රෝගීන් ලෙස නම් කරමින් ඔවුන්ට පහර දිය හැකි ආයුධයක් බවට මනෝවිශ්ලේෂණය පත්කර ගනිමිනි. ස්ත්‍රී-පුරුෂ වෙනස හිස්ටීරියාව ලෙස නම් කිරීමත්, සමාජ අර්බුදයට හේතුව පිරිමියාට ස්ත්‍රිය ශික්ෂණය කළ නොහැකි වීම බව පැවසීමත්, ශිෂ්ටත්වයේ අච්චුවට මිනිසුන් සකස් කරන්නට යාමත් එහි කූටප්‍රාප්තිය විය. මනෝවිශ්ලේෂණය යනු, තමා සමීපයේ සිටින පුද්ගලයා රෝගියෙකු ලෙස හඳුනා ගෙන ඔහුව ඈත් කිරීමේ අවියක් නොව ඔහුව/ඇයව ”මනුෂ්‍යයෙකු” ලෙස හඳුනා ගැනීමට ආධාර කරන උපකරණයක් වනු ඇත්තේ කෙසේද යන්න ගැන අදහසක් මේ කෘතිය හරහා ලබා ගත හැකි වනු ඇත.”

  -පරිවර්තක සටහන මහාචාර්ය නිශාන්ත-

 

                    ගරු නිශාන්ත මහතා ඉහත කතා කරන මනෝවිශ්ලේෂණය අප දන්නා මනෝවිශ්ලේෂණය නම් නොවේ. මන්දයත්, ඔහු මනෝවිශ්ලේෂණය සමඟ ”මනෝසංස්ලේෂණය” පටලවාගෙන ඇති බැවිනි. පිරිමින් සහ ස්ත්‍රීන් අතර සම්බන්ධය ද මොහු මනෝවිශ්ලේෂණයේ නාමයෙන් සංස්ලේෂණය කරයි. ඔහුට අනුව, මනෝවිශ්ලේෂණය යනු ‘මනුෂ්‍යයා’ පිළිබඳව ඇති ගැටලුවකි. තමන් සමීපයේ සිටින අනෙකාව බදා වැළද ගන්නා අවස්ථාවෙන් මනෝවිශ්ලේෂණය අවසන් වෙයි. අඩුම වශයෙන්, තමන් සමීපයේ සිටි තම ප්‍රථම බිරිඳ තමන්ගෙන් ඉවතට ගියේ මන්ද යන්න ගැන හාංකවිසියක් මොහුට නැත. මොහු ඒ තරම්, බරසාර මනෝවිශ්ලේෂකයෙකි. ඔහුට එසේ වූයේ මන්ද?

                     ගැහැණුන් සහ පිරිමින් අතර පවතින ලිංගික සබඳකම් සහ ආදර සබඳකම් ගැන ලංකාවේ බහුතර දෙනාට ඇත්තේ, සන්නස්ගලගේ ආදර කතාවලින් ඇහිඳගත් අදහසකි. සන්නස්ගලට අනුව, ආදර කතාවක් යනු දෙදෙනෙකු අත්වැල් අල්ලා ගත් දර්ශනයකින් කෙළවර වන දර්ශනයකි. උදාහරණයක් වශයෙන්, ‘වස්සාන සිහිනය’ කෙටි නවකතාවේ සන්දර්භය වන්නේ, කසුන්-චාපා ආදර කතාවයි. ඔවුන්ගේ ආදරයේ බාහිර බාධාව වන්නේ, රොහාන් නම් සතුරා ය. මෙම බාධාව වියැකී යන මොහොතේ දී, කසුන්-චාපා දෑත් පටලවාගෙන අනන්තය කරා එකට වාසය කරයි. නමුත්, ඇත්ත ලෝකයේ හමුවන ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය හෝ ලිංගික සබඳතා සන්නස්ගල චින්තනය සේ සුරම්‍ය වනයකින් කෙළවර වන්නේ නම්, මනෝවිශ්ලේෂණය කුමකටද? ඇත්ත තත්වය වන්නේ, මෙහි විලෝමය යි. දෘශ්‍යමාණය තුළ අප අත්විඳින ස්ත්‍රී-පුරුෂ සබඳතා අතර යටින් දිවෙන සැබෑව කුමක්ද?

Desire.

                     අපි නිශාන්ත වෙතටම නැවතත් හැරෙමු. ඔහු තම ප්‍රථම බිරිඳ වෙතට අත දිගු කරන ලද්දේ ම ලිබරල් ආවේගයකිනි. ඔහුගේ ලිබරල් දර්ශනයට අනුව ප්‍රේමය සහ විවාහය යනු, නිදැල්ලේ හැසිර යන හසරැල්ලකි. එහි දී, තම සහකරුට හෝ සහකාරියට සීමා ලකුණු කිරීමක් නැත. ඒ නිසාම, ජෝඩුවේ දෙදෙනාම ඔරලෝසු අවලම්බය මෙන් දෙපැත්තට පැද්දෙයි. නමුත්, අපට අවිඥාණයක් ඇති බව මේ ලිබරල් දෘෂ්ටිවාදීන්ට අමතක වෙයි. නිශාන්ත තම ප්‍රථම බිරිඳට ලිබරල් විදිහට සලකන්නේ, සවිඥාණක දැනුමක් නිසා යැයි ඔහු සිතන අතර ඔහුගේ බිරිඳ සිතන්නේ එලෙසින් නොවේ. ඇයට අනුව, පිරිමියෙකු තම විවාහය තුළ තම සහකාරිය ආරක්ෂා (ඇය තම අවිඥාණක නිදහස සපථ කර ගන්නේ අනෙකාගේ සීමාව තුළදී ය.) කළ යුතු ය. දෘශ්‍යමානයට අනුව, කුමක් කීවත් සංවාදයට වඩා පසමිතුරුභාවය ජෝඩුවක් තුළ තීරණාත්මක වන නිසා නිශාන්තගේ ප්‍රථම බිරිඳට ඔහුව පෙනෙන්නේ, ඔහුගේ ෆැන්ටසි සහකාරිය විකේන්ද්‍රීය බවයි. දෙදෙනාම දෙදෙනාව වටහා ගන්නේ, තර්කයේ හෝ සිහියේ අඩවියේ සිටයි. එනම්, සන්නස්ගලගේ සීමාවට යටත්ව ය. නමුත්, ආදර සහ ලිංගික සබඳතාවල දී අප කෙනෙකුට කිට්ටු වන්නේ, ඒ කෙනාගේ මනුෂ්‍යත්වයට නොව ඔහු/ඇය තුළ වන නිර්මිනිස්භාවය- inhuman factor- නිසා ය. එනම්, අනෙකා තුළ වූ අතිරික්ත හිංසනයට ය. උදාහරණයක් ලෙස, නිශාන්තගේ සහකාරිය ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ, පාවෙන සැමියෙකු නොව තමන්ගේ සීමාව සලකුණු කර දෙන තිරිසනෙකි. [Animal-Human]මෙම තිරිසනා තමාව බාහිරින් සිට කොටුකර තබන්නේ නැතිනම්, එවිට එම ස්ත්‍රිය ඒ සහකරුගෙන් ඉවතට ගමන් කරයි. මනෝවිශ්ලේෂණය තුළ ‘විශ්ලේෂණය’ වන්නේ, ජෝඩු තුළ ඉන්නා ‘තිරිසනා’ මිස පාරේ අත්වැල් අල්ලාගෙන යන ප්‍රේමණීය ලිබරල් ජෝඩු නොවේ. සරලව කිවහොත්, සන්නස්ගල සිට රෝහාන් පෙරේරා දක්වා වූ පිරිමින්ගේ ‘ආදර න්‍යායන්ගේ’ ගැටලුව වන්නේ, ඔවුන් කතා කරන්නේ යථාර්ථයේ ජීවත්වන ගීතවත් ආදරවන්තයන් ගැන වීමයි. නමුත් මේ ආදරවන්තයන්ගේ ‘සැබෑව’ ඇත්තේ, ඔවුන්ගේ අවිඥාණක ජීවිතය තුළ ය. අවශ්‍ය නම්, තත්වය අපට මෙසේ විග්‍රහ කිරීමට හැකි ය. අප මෙතෙක් කතා කර ඇත්තේ, ‘ආදරය’ පිළිබඳ ජනප්‍රිය සංකල්පයකි. අවශ්‍ය වන්නේ, ‘ආදරය’ පිළිබඳ අවිඥාණක න්‍යායක් නිර්මාණය කිරීමටයි. මෙම තත්වය ‘ලිංගික සබඳතා’ කරා ගෙන යන්නේ නම්, තත්වය තවත් නොමිනිස් වනු ඇත. මන්දයත්, ‘ලිංගික සබඳතා’ පිළිබඳව අපට ඇත්තේ ජනප්‍රිය සංකල්පයක් වන නිසා ය. නමුත් සතුන්ට වෙනස්ව, මිනිසුන්ගේ ලිංගික සබඳතා සොම්නසින් නොව කෲරත්වයෙන් අවසන් වන්නකි.

                    මනෝවිශ්ලේෂණය කරන්නේ, ලිංගිකත්වය පිළිබඳව ඇති ‘ජනප්‍රිය සංකල්පය’ – Honeymoon pleasure – විඛාදනය කිරීමයි. නිශාන්ත විසින් කතා කරන ‘හිස්ටීරියාවේ’ ආරම්භක තත්ත්වය අපි සලකා බලමු. මනෝවිශ්ලේෂණය ආරම්භ වූයේ, කතා කරන මැදපාන්තික ස්ත්‍රින් නිසා ය. උදාහරණයක් ලෙස ගතහොත්, ‘ඇනා ඕ’ නම් ස්ත්‍රිය මනෝවිශ්ලේෂණයට අදාළ ප්‍රථම න්‍යාය හඳුන්වා දෙන ලදී. එනම්, ‘කතා කිරීමේ’ ප්‍රතිකාරය යි. ඇය දිගින් දිගටම කතා කිරීම තුළින් සුවතාවයක් අත් දකින ලදී. මේ කතා කිරීම හරහා ඇයගේ ශාරීරික විඳවීම් බොහොමයක් අතුරුදහන් වන බව ඇයගේ විශ්ලේෂකයා දුටුවේය. යථාර්ථයේ සිටින ‘ඇනා ඕ’ සහ ‘කතා කරන ඇනා ඕ’ යනු පුද්ගලයන් දෙදෙනෙකි. නිශාන්ත වැනි පුද්ගලයෙකු තම බිරිඳ තුළ දැක්කේ, මනස නම් කලාපය පමණි. නමුත්, ඔහුගේ බිරිඳට අවිඥාණයක් ඇති බව ඔහු නො දුටුවේය. ඇය ‘තමන්’ සමාජ අවකාශයේ දී හැසිරෙන විට එය අනතුරුදායක බව දුටුවත්, එය නිශාන්ත නම් මනෝවිශ්ලේෂකයා නො දුටුවේය. පුද්ගලයෙක් විරහිත මෙම දැනුම අවිඥාණය යි. යමෙකු තමන් අනාරක්ෂිත යැයි අවිඥාණකව විශ්වාස කරයි. එය, දෘශ්‍යමානයට විද්‍යාමාන නොවේ. ග්‍රස්ථික නියුරෝසික පිරිමියෙකු තම සහකාරිය වෙනත් පිරිමියෙකුට පූජා කරන්නට අවිඥාණකව ආශා කරයි. එබැවින්, යථාර්ථයේ දී ක්‍රියාත්මක වන හේතුව, තර්කය, බුද්ධිය, දැනුම සබඳතාවයේ අඳුරට යන විට, ‘ආශාව’ නම් අඩවියට මාරු වෙයි. අවිඥාණක ආශාව ‘තර්කය’  පරාජය කරයි. ග්‍රස්ථික පිරිමියා සිහියෙන් කුමක් සිතුවත් ඔහුගේ අවිඥාණික ආශාව වන්නේ, සහකාරිය පරිත්‍යාග කිරීමයි. ඔහු මෙය සවිඥාණයට ගනිද්දී, වෙස් පෙරළියකට භාජනය කරයි. එනම්, තමන් සබඳතාවයේදී ලිබරල් නිසා තම සහකාරියට උපරිම නිදහස දී ඇතැයි කල්පනා කරයි. නමුත්, ග්‍රස්ථිකයා එසේ කරන්නේ ඔහුවත් නො දන්නා අවිඥාණක ආශාවක් නිසා මිස ලිබරල් තර්කයක් නිසා නොවේ.

                      ග්‍රස්ථිකයාගේ ජීවිතය දෙකට පැලී ඔහුගේ යථාර්ථය නීරස ඒකාකාරීත්වයක් බවට එක පැත්තකින් පත්වන අතර අනෙක් පසින්, තම සහකාරිය වෙනත් පිරිමියෙකුට පරිත්‍යාග කරයි. මෙමගින්, අපට ග්‍රස්ථිකයා වේදනාවෙන් සතුටු වන ආකෘතිය ද සටහන් කිරීමට හැකි ය. තම සහකාරිය වෙන පිරිමියෙකුට අවිඥාණකව පරිත්‍යාග කිරීම හරහා සංකේත නීතියක් උල්ලංඝනය වන නිසා ග්‍රස්ථිකයාට එය වේදනාවකි. අනෙක් පසින්, ග්‍රස්ථිකයා තම දෛනික ජීවිතය තුළ ලිංගික රමණය හරහා සතුටු වීම වෙනුවට සිතීමේ ක්‍රියාවෙන් ලිංගිකව සතුටු වෙයි. ග්‍රස්ථිකයෙකුගේ ‘සිතීම’ යනු ද ලිංගික සතුටකි. මෙමගින් බිහි වන්නේ, කෲර ලෙස අත්හැර දමන ලද සහකාරියක් සහ සිතින් අතේ ගසා විනෝද වන පිරිමියෙකි. මෙවැනි අය අන්‍යයන්ගේ විවාහ උත්සව වලට සහභාගී වන්නේ, බදා වැළඳගෙන ය. ඔවුන්ගේ ඡායාරූප ඇල්බම පිරී ඇත්තේ, මුළු හදින් වැළඳගත් දෙදෙනකුගෙන් ය. ඔවුහු යථාර්ථයේ දී ආදරවන්තයන් ය. නමුත්, ‘සැබෑ ලෝකය’ තුළ දී ඔවුන් එකිනෙකාව සපා ගන්නා තිරිසන් ආත්මයන් වේ. සන්නස්ගල සහ රොහාන්ගේ ආදර න්‍යායන්ට නො එන්නේ, මිනිසාගේ මෙම අවිඥාණක විශ්වාසයන් ය. මනෝවිශ්ලේෂණය ‘විශ්ලේෂණය’ කරන්නේ, ඉහත ආකාරයේ නො මිනිස් අතිරික්තය යි. එසේ නම්, ස්ත්‍රීන් හිස්ටෙරික වන්නේ හෝ පිරිමින් ග්‍රස්ථික වන්නේ මන්ද?

                    අපි දැන්, මූලික සරල උදාහරණයකට යමු. ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයේ කුඩා දරුවා කුඩා කාලයේ දී මැදියම් රාත්‍රියේ අවදි වන්නේ, අහසේ ගොරවන ශබ්දයකිනි. ඉන්පසු, ඔහු තම මව-පියා නිදා ගන්නා කාමරයට ගමන් කරයි. එහි දී ඔහුට දකින්නට ලැබෙන්නේ, මව්පියන්ගේ සංසර්ග ජවනිකාවකි. එය, ඔහුගේ කුඩා මනසට වැටහෙන්නේ නැත. ඔහු එය පරිකල්පනය කරන්නේ, පියා විසින් මවට හිරිහැර කරන්නා සේය. මෙම සිදුවීමෙන් පසුව යථාර්ථයේ කිසිවක් සිදු වන්නේ නැත.

                       ගැටලුව පටන් ගන්නේ, දරුවා වැඩිහිටි වී තමාට කුඩා කල වටහාගත නො හැකි වූ ‘දර්ශනය’ සමාජ චින්තනය හරහා අවබෝධ කර ගැනීමට යාමේදී ය. මෙහිදී, රැඩිකල් දයලෙක්තික පරිවර්තන දෙකක් සිදු වෙයි. එකක් වන්නේ, තමා කුඩා කල දුටුවේ ලිංගික දර්ශනයක් යන සමාජීය අදහසයි. අප කුඩා කල දුටු වැඩිහිටි ලිංගික ජවනිකාවක් වැඩිහිටි වියේ දී අප වටහා ගන්නේ, සතුටක් ලෙසිනි. එය, සාමාන්‍ය තත්වයකි. නමුත්, අපගේ උදාහරණයේ දී තවත් සුවිශේෂී දෙයක් සිදු වෙයි. එනම්, ලිංගික දර්ශනයට අමතරව වැඩිහිටියෙකු දරුවාට පහර දීමක් සිදු කර ඇත. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ‘ලිංගිකකරණය’ රැඩිකල් අදහසක් ජනනය කරන්නේ මෙතැනදී ය.

                මනෝවිශ්ලේෂණයට අනුව, අප ලිංගිකකරණය වන්නේ සංසර්ගය හෝ විරුද්ධ ලිංගිකයා හෝ අපට ලිංගික ඉන්ද්‍රියයන් තිබෙන නිසා නොවේ. මිනිසා ලිංගිකකරණය වන්නේ, භාෂාව නිසා ය. අප ඉහත විස්තර කළ දරුවා අත්දැකීමක් ලෙස ලිංගික සංසර්ගය දකින්නේ, කුඩා කල ය. නමුත්, ඔහු එම සිදුවීම අර්ථකථනය කරන්නේ ප්‍රමාද වී පසු ආවර්තිතව ය. එබැවින්, මිනිසා ලිංගිකකරණය වන්නේ සහජාශයන්ගෙන් නොව භාෂාත්මක තෝරා ගැනීමක් හරහා කරන පසු ආවර්තනයක් හරහා ය. එවිට, අත්දැකීමට වඩා භාෂාව සහ එහි සංකේතීය ස්වභාවය ප්‍රාථමික ය.

                     කුඩා දරුවා තමන් දකින මවගේ සහ පියාගේ ලිංගික ජවනිකාව අර්ථකතනය කරන්නේ, පසු ආවර්තිතව බව අපි කලින් දුටුවෙමු. එවිට, ෆ්‍රොයිඩියානු ලිංගිකත්වය පසු ආවර්තිත එකකි. කුඩා කල සිදුවීමකට වැඩිහිටි වියේ දී කරන අර්ථකතනයකි. නමුත්, මෙහිදී අමතර දෙයක් සිදු වී ඇත. එනම්, දරුවා පියා මඟින් පහර කෑමකට ලක් වෙයි. වේදනාවෙන් සතුටු වීම ෆ්‍රොයිඩියානු ලිංගිකත්වය යි. ‘දරුවා පහර කෑමකට ලක් වීම’ දරුවාගේ වැඩිහිටි අවධිය තුළ අප සන්දර්භගත කරන්නේ කෙසේ ද?

                       මෙම සිද්ධිය දුටුවේ, පිරිමි ළමයෙක් නිසා අර්ථකතනය පහසු වෙයි. ළමයා ඉහත සිදුවීම එනම්, මවගේ සහ පියාගේ වියරු සංසර්ගය කියවන්නේ ‘සතුටක්’ ලෙසින් නොව වේදනාවක් ලෙසිනි. එනම්, ඔහුට අනුව සංසර්ගයේ ප්‍රිතිය යනු, රමණය නොව ‘පහර දීම’ බවට ආශාවක් බවට උත්පාද කරයි. මෙම ආශාව එය දුටු පිරිමි ළමයාට ‘ලිංගික වෙනස’ එනම්, ස්ත්‍රී-පුරුෂ වෙනස ලෙස අවධාරණය කරයි. එවිට, ඉහත දර්ශනය දුටු ළමයාව එම ළමයා වැඩිහිටි වීමෙන් පසු පිරිමියා දකින්නේ, ලිංගික සහ ප්‍රේම ජවනිකාවල දී වේදනාත්මක භූමිකාවක් රඟ දක්වන්නෙකු ලෙසිනි. චිත්‍රපටයේ පර්සි වැඩිහිටි වූ පසු ලිංගික සබඳතා සඳහා තම බිරිඳ වෙතට නො යන්නේ, එය ඔහුට හිංසන අඩවියක් වූ නිසා ය. අනෙක, ඔහු මධ්‍යම පන්තිකයෙකි. 

                     නමුත් සමකාලීන පශ්චාත්-නූතන ධනවාදය තුළ ආත්මමූලිකත්වය වැඩ කරන්නේ, පරමාදර්ශ විසංයෝජනය කරමින්ය. එවිට, සිදුවිය හැක්කේ කුමක්ද?

                      පියාගෙන් පහර කෑමට ලක්වීම දරුවා වැඩිහිටි වූ විට ද්විගුණ වෙයි. එනම්, පශ්චාත්-නූතන පර්සිට අනුව ගුටි කන්නේ ඔහු පමණක් නොව තම මව ද පියාගෙන් ගුටි කයි. මන්ද, කුඩා මනසට ලිංගික සංසර්ගය සංකේතකරණය කරගත නො හැකි නිසා එය පියා විසින් මවට හිංසා කිරීමක් ලෙසින් වටහා ගැනීමයි. පර්සි වැඩිහිටි වූ පසු දයලෙක්තික විපර්යාස දෙකක් සිදු වෙයි. එකක් වන්නේ, පහර කෑමට ලක් වූ දරුවෙකුගේ භූමිකාවට වැඩිහිටි වූ පසු විස්ථාපනය වීමයි. අනෙක වන්නේ, පහර කෑමට ලක් වූ මව වෙනුවට වැඩිහිටි වූ පසු සහකාරිය එතැනට ආදේශ වීමයි. අවිඥාණක ආශාව යනු, ඒ අනුව මෙතැන දී එකවර ස්වපීඩා සහ පරපීඩාකාරී ය.

                      අප නිශාන්තගේ ග්‍රස්ථික අවිඥාණයට එන්නේ නම්, ඔහුගේ පැත්තෙන් තම සහකාරිය වෙනත් පිරිමියෙකුගෙන් පහර කෑමකට හෝ වේදනාවකට ලක්වීම ෆැන්ටසියේ එක පැත්තකි. එය, පරපීඩාවෙන් විනෝද වීමයි. අනෙක් පසින්, තමන්ගේ ‘ආශාව’ ඇය අනෙකෙක් වෙතට පරිත්‍යාග කිරීමෙන් ලබන නින්දාවයි. මෙය, කිසිදා ඇහැරෙන්නේ නැති නින්දකට ග්‍රස්ථිකයාව තල්ලු කරයි. මින් අදහස් වන්නේ, කාල්පනික පිරිමියෙකු මගින් ප්‍රහාරයට සහ නින්දාවට ලක් වීමට ඇති අවිඥාණක ආශාවයි.

                      කුඩා කාලයේ දී කෙනෙකු අතිසාර්ථක වන්නේ නම්, වැඩිහිටි වියේ දී ඒ කෙනා නො සතුටින් ජීවත් වීමට නියමිත ය. එසේ වන්නේ, පර්සිට මෙන් අප සෑම දෙනාටම ක්ෂතිමය සිදුවීමකට කුඩා කාලයේ මුහුණ දීමට සිදුවන නිසා ය. බොහෝ විට, කුඩා කල සිදු වන මෙවැනි සිදුවීම් වැඩිහිටි වන විට අපට අමතක වෙයි. නමුත්, යම් කෙනෙක් අධ්‍යාපනයෙන් හෝ වෘත්තියෙන් යම් සංස්කෘතියක් තුළ සාර්ථක වන විට, ආශාවේ ප්‍රවාදය මිය යයි. එනම්, මිනිස් ආශාව තෘප්තිමත් වූ විගස මිය යන නිසා ය. අප සමාජය තුළ ඉණිමඟේ ඉහළට නගින විට, එය සාර්ථකත්වයෙන් අවසන් නොවී නො සතුට කරා ඇදී යන්නේ ‘ආශාව’ මිය යෑමට ඉඩ නොදී ”ආත්මීය අවිඥාණය” අපගේ කුඩා කල සිදුවීමකට ආශාව පසුබස්සවන නිසා ය. ‘හිස්ටීරියාව’ කියා කියන්නේ, මිනිසාගේ මෙම පසු ආවර්තන ගමනෙහි ආකෘතිය යි. වැඩිහිටි වියේ දී අසාර්ථක වූ ‘මට’ වැඩිහිටි වියේ ඉංජිනේරුවෙක් වූ නිශාන්තගේ විශ්ලේෂකයා විය හැකි වූයේ, ඒ නිසා ය. මනෝවිශ්ලේෂණය ඇත්තේ, කෝම්පිට්ටු සෑදීමට නොවේ. එය විශ්ලේෂණය කරන්නේ, යථාර්ථය නොව ඔබගේ අවිඥාණක ආශාවයි. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

                         

              

ඔබේ අදහස කියන්න...