දාර්ශනික වශයෙන් ගත්කල ප්‍රබුද්ධත්වයේ යුග‍ය වශයෙන් සලකන්නෙ නුතන යුගයයි. එනම් 15 වන සියවසෙන් පසු යුගයයි. මෙම යුගයේ දී ප්‍රධාන උත්සහය වුවේ මධ්‍යතනික ආධ්‍යානග්‍රාහිත්වයෙන් ඉවත්ව යථාර්තය පිළිබඳ ඥානය ලබා ගැනීමයි. එහෙත් අප ජිවත් වන මේ යුගය වන විට ප්‍රබුද්ධත්වය සක්ෂාත් කර ගැනීමේ උත්සහය ක්‍රමයෙන් හීන වී ගොස් ඇති සෙයක් දිස් වෙයි. තව දුරටත් කිසිවෙක් ප්‍රබුද්ධත්වය ලබා ගැනීමේ මාර්ගය ගවේශනය හෝ නොකරන අතර ඒ වෙනුවට සියල්ලන්ටම නිදහස(?) ලැබී ඇත. මේ යුගයේ කිසිවෙක් කිසිවෙක්ට යටත් නොවේ. (තමාගේ boss තමාම වීම)

වෙළඳපොළ ධනවාදය දියුණු විමත් සමඟ මිනිසාට ජීවත් විමේදී තමන්ගේ ජීවිතය තව දුරටත් තමන් වෙනුවෙන් නොව වෙනත් කෙනෙකු වෙනුවෙන් පරිපුර්ණ වශයෙන් යොදවා ඇත. එනම් තමාට තමා වීමට පවා අමතක වන තරමට මිනිසුන් අනෙකා බවට පත්ව ඇත. ඔහු ජීවත් වන්නේ තමන් වෙනුවෙන් නොව අනෙකා වෙනුවෙනි. අනෙකාගෙන් තොරව ජීවත් වීමට හෝ සිතීමට ද හැකියාවක් නොමැති තරම් මෙම තත්වය වර්ධනය වී ඇත. උදාහරණයක් වශයෙන් ගත්කල තමන් රැකියාව කරන ස්ථානයේ ඉහළ නිලධාරියාගේ සිත ගැනීම සඳහා ඔහුට උවමනා පුද්ගලයා බවට පත්වීමට උත්සහ දැරීම වැනි තත්වයක් සඳහන් කල හැකිය. ඔහු තම ජීවිතයම යොඳවන්නේ ඔහුගේ රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ සිත ගැනීමට නිසා තමන් තව දුරටත් තමන් වෙනුවෙන් ජීවත් වීමට නොහැකි වෙනත් කෙනෙකු බවට පරිවර්තනය වේ. අවසානයේ දී ජීවත් නොවී ජීවත් වී මරණයට පත්වේ.(Living Death) මේ තත්වය වර්තමනයේ ධනවාදයේ යුගය තුළ බහුතරයක ගේ ඉරණම බවට පත්ව ඇත. බොහෝ දෙනෙකු විසින් මෙම තත්වය නිදහසක් ලෙස සිතුව ද එය සලකන්නේ නොනිදහසකි. චිත්‍රපට නලුවෙකු තමන්ට ලැබෙන චිත්‍රපටයේ චරිතය බවට පත්වන්නේ සුලු කාලයකට වුවද සාමාන්‍ය මිනිසා තමන්ගේ ජීවිතය අනෙකෙකුගේ ජීවිත‍ය තුළ චරිතයක් රඟ දැක්වීමට සිදු වන්නේ ජිවිත කාලය පුරාම වේ. මේ නිසා මේ තත්වය වේශ නිරූපණයකට වඩා තත්වයකි. කොන්දේසි විරහිතව තමන්ගේ ජීවිතය අනෙකා වෙනුවන් ලබා දීම. මේ නිසා මිනිසාට අහිමි වී ඇත්තේ තමන්ගේම ස්වීයත්වය යි.

මිචෙල් ෆුකෝ විසින් රචනා කරන ලද Truth of Politics නැමති ග්‍රන්ථය තුළ කාන්ට් ගේ what is Enlightenment? නැමති ලිපිය උපුටා දක්වා ඇත්තේ ප්‍රබුද්ධත්වය පිළිබඳ සාකච්ඡාවේ ඇති වැදගත්කම සලකා බලමිනි. (කාන්ට් විසින් මෙම ලියවිල්ල සම්පාදනය කරන්නේ 18 වන සියවසේ දී වන අතර එය මිචෙල් ෆූකෝ විසින් 20වන සියවස තුළ ද වැදගත් කර සලකයි. අප මෙම ලිපිය කාන්ට් ගේ සන්දර්භය තුළ සිට අධ්‍යනය කරන්නෙමු. එමගින් කාන්ට් විසින් ප්‍රබුද්ධත්වය වශයෙන් අදහස් කර ඇත්තේ කුමක්ද යන්න වටහා ගැනීමට හැකිය. පසුව අද අප ජීවත් වන සන්දර්භය තුළ වටහා ගැනීමට උත්සහ දරන්නෙමු)

බුද්ධත්වය යනු තමන් විසින්ම ඇතිකර ගත් ගුරුහරුකම් වලින් ගැලවී නිදහස්ව තම අවබෝධය භාවිතයට ගැනීමයි. තවත් ලෙසකට ප්‍රකාශ කරන්නේ නම් අනෙකාගේ මඟ පෙන්වීන්මකින් තොරව තම අවබෝධය බාවිතයට ගැනීමයි (without direction of another). කාන්ට් ප්‍රකාශ කරන්නෙ මිනිසුන් බොහෝ දෙනෙකු තමන් විසින්ම ගොඩනගා ගත් තමන්ගේම ගුරුහරුකම් වලට යටත් වී සිටී. “Have courage of use your own reason” මෙය ප්‍රබුද්ධත්වයේ ආදර්ශ පාඨය වේ.

බියසුළු කම සහ කම්මැලිකම හේතුවෙන් මිනිසා තමන්ගේ ගුරුහරුකම් වලට යටත්වීම මානව වර්ගයාගේ කොටසක් වේ. මේ නිසා මිනිසාට නිදහසේ සිතීමට හෝ ඒ අනුව ක්‍රියා කිරීමට හෝ නොහැකි වී ඇත. ස්භාවධර්මය මිනිසාව බාහිර දිශාවෙන් නිදහස් කර තිබුනද මිනිසා දිගින් දිගටම මෙම ස්වයං ගුරුහරුකම් වලට යටත්ව ජීවත් වේ. එබැවින් මිනිසා තමන්ගේ භාරකරුවන් වශයෙන් අන් අයව නම් කිරීමට පැකිලෙන්නේ නැත. එනම් තමන් යටත් වන්නේ අනෙකාගේ කීමට බව ඔහු සඳහන් කරයි. යමක් තමන් විසින් සිතා තමාම කලා යයි යන්න ඔහු පිළිගැනීමට ඔහු යොමු නොවෙයි. කාන්ට් දක්වන පරිදි එය වයසට යාමෙන් මිදීමට ඉතා පහසු කරවයි.

“If I have a book which understand for me, a pastor who has a conscience for me, a physician who decides my diet, and so forth, I need not trouble myself”

සෑම දෙයක්ම මා වෙනුවෙන් වෙනත් අයෙක් කරන්නේ නම් මම ඒ වෙනුවෙන් කරදර වීමට අවශ්‍ය නැත. එසේ එහෙයින් මා හට අක්‍රීයව (passive) සිටිය හැක. මම යටත් වන්නේ මාගේ තර්ක බුද්ධි‍යට නොව අනෙකා විසින් මා වෙත ලබා දෙන ගුරුහරු කම් වලටය. භෞත චිකිත්සක වරයා මා සඳහා මාගේ ආහාර වට්ටෝරුව ලබා දෙන්නේ නම්, මාගේ හෘද සාක්ෂිය පූජකයා තුළ පවතී නම් තමන් විසින් නැවත නැවත ක්‍රියාකාරී වී මහන්සි ගත යුතු නැත. මෙය ජීවිතය පහසු කරන යම් ආකාරයක චින්තනමය වහල් බාවයකි.

මේ ආකරයට බාහිරව දෙනු ලබන ගුරුහරුකම් මිනිසා අභ්‍යන්තරීකරනය කරගෙන ඒ අනුව ක්‍රියා කරන්නේ එය තමන්ගේම ත‍ර්ක බුද්ධිය වශයෙන් ගනිමින් ය. එලෙස අභ්‍යන්තරීකරනය කරගත් බාහිර ගුරුහරුකම් තමන්ගේ මෙන් වටහා ගැනීමෙන් තොරව කටයුතු කිරීමට, එනම් තමන් විසින්ම මෙම සියලු ගුරුහරුකම් තාර්කිකව විමසා බැලීමකින් තොරව ක්‍රියාවට නන්වන්නේ මන්දැයි යන්න පිළිබඳවද කාන්ට් පැහැදිලි කරයි. එහිදී ඔහු උපමාවක් වශයෙන් ගන්නේ කරත්තයට බඳින ගවයන් පිළිබඳ උදාහරනයක් වේ.

කරත්තය සඳහා ගවයන් හීලෑ කරගන්නේ රථාචාරියා ගවයන් ව තමන්ගේ අණට කීකරු කර ගැනීමෙනි. හීලෑ වූ ගවයා කිසිදු විටක කරත්තයේ රැහැන් නොමැතිව එක් පියවරක් හෝ ඉදිරියට තබන්නේ නැත. එසේ ඉදිරියට තබන පය නිසා ගවයන්ට විඳින්නට වන විපාකයන් ද අති මහත් ය. යමෙක් මින් මතුවට එලෙස නිදහසේ යාමට ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට පෙර ලබන ලද විපාකයන් මතක් කර දීමට ඔවුන්ගේ භාරකරුවන් ඉදිරිපත් වේ. එහෙත් ඉතා අතලොස්සක් මෙම විපාකයන්ට මුහුණ දී ඒවායෙන් ගැලවී ජීවත් වීමට ඉගෙන ගනී. ඔවුන් නිදහස ලබයි.

නමුත් මිනිස් සමාජය ට මෙම උදාහරණය ආදේශ කිරීමේ දී තත්වය ඉතා බැරෑරුම් ය. මිනිසුන්ට ගුරුහරුකම් ලබා දෙන ඔවුන්ගේ භාරකරුවන් විසින් මෙම ගුරුහරුකම් වලට විරුද්ධව තමන්ගේ තර්ක බුද්ධිය භාවිතා කිරීමෙන් විය හැකි ප්‍රතිවිපාකයන් කල් ඇතිව දැණුම් දෙයි. මේ නිසා එක් අවස්ථාවක හෝ ඔහුට නිදහසේ ක්‍රියා කිරීමට යොමු වීම කෙරෙහි අත් හදා බැලීමට පවා මිනිසාගේ ස්භාවය ඉතා අපහසු කරවනවා. එය යම් ආකාරයක මානසික වශයෙන් හිලෑ කරලීමකි. මේ ආකාරයට මිනිසාට ඔහුගේ ම වූ තර්ක බුද්ධිය භාවිතා කිරීමට ඉඩ නොදුන් බැවින් මිනිසාට තමන්ගේ තර්ක බුද්ධිය භාවිතා කිරීමට අපහසු වේ. මේ නිසා ගුරුහරුකම් වලින් ගැලවීමට ඉතා දුෂ්කර වේ.

ප්‍රඥප්තීන් සහ නීතීන් ආදිය ඉගැන්වීම තුළින් මිනිසා ඒවා තමන්ගේ විලංගු බවට (ස්භාවික විලංගු) බවට පත්කර ගනී. මේ නිසා යම් අවස්තාවකදී මිනිසාට නිදහස් වීමට අවකාශය යමෙකු විසින් සැලැස්සුව ද මිනිසාට එම නිදහස හුරු නොමැති දෙයක් බැවින් ඔහු එම නිදහස භුක්ති විඳීමට සූදානම් නැත. නමුත් මිනිසාගේ භාරකරුවන් අතර සිටින ඇතැම් චින්තකයන් විසින් මිනිසාට ගුරුහරුකම් නැමති වියගහ පානවා වෙනුවට නිදහස ලබා දීමට කටයුතු කරයි. එහෙත් කාන්ට් සිය ලිපියේ පෙන්වා දෙන පරිදි මෙලෙස නිදහස ලබා දී සිය තර්ක බුද්ධිය භාවිතා කිරීමට පෙළඹුවද එම සෑම අවස්තාවකදීම මිනිසාට මතක් කරන්නේ තමන්ගේ භාරකරුවන් ට යටත් වන ලෙසයි. මෙය ගුරුහරුකම් යටතේ සිටීමට වඩා භයානක බව කාන්ට් සඳහන් කරයි. මෙය එක්තරා ලෙසකට නව අගතීන් පැල කිරීමක් වේ.

එසේනම් කාන්ට් පෙන්වා දෙන පරිදි ප්‍රබුද්ධත්වය ලබා ගත හැක්කේ ඉතා සෙමෙන් ය. එය යම්කිසි භාරකරුවෙකු වෙතින් ලැබෙන්නක් නොව තමා විසින්ම අත්පත් කර ගත යුත්තක් වේ. එය ඇතැම් විට විප්ලවයක් මගින් හෝ ඉටු කල හැකිය. එහෙත් එය මිනිසාගේ සිතීමේ මාර්ගයන් තුළ සිදුවන සැබෑ ප්‍රතිසංස්කරණයක් නොවේ.

උදාහරණයක් වශයෙන් රුසියානු විප්ලවය ඔස්සේ සාර් පාලනය බිඳ දැමුව ද නව පාලනය ඔස්සේ එක් දිනක දී මිනිසුන්ගේ සිතීමේ චින්තනය වෙනස් වූවේ නැත. සෝවියට් රුසියාවේ නව මිනිසා බිහිවීමට මිනිසාට තමන් සමඟම අභ්‍යන්තරික අරගලයක් සිදු කිරීමට වූ අතර පැරණි අගතීන් වලින් මිදුණු ස්වාධීන මනුෂ්‍යා බිහිවූවේ කාලයක් ගත වීමෙන් පසුව ය. (එහෙත් එය විප්ලවය පැතූ සර්ව සම්පූර්ණ මිනිසාද යන්න සැක සහිතය)

කාන්ට් සිය ලිපිය තුළ පැහැදිලි කරන පරිදි ප්‍රබුද්ධත්වය සඳහා අවශ්‍ය වන්නේ නිදහස පමණකි. නිදහස යනුවෙන් ඔහු අදහස් කරන්නේ සිය තර්කය ප්‍රසිද්ධියේ සෑම තැනකම භාවිතා කිරීමට ඇති හැකියාවයි. එහෙත් කාන්ට් ම ප්‍රකාශ කරන පරිදි නිදහස සෑම තැනකදීම සීමා වේ. එය ඔහු ප්‍රකාශ කරන්නේ බදු එකතු කරන්නා කියන්නේ “තර්ක කරන්න එපා බදු ගෙවන්න”, පූජකයා ප්‍රකාශ කරන්නේ ” තර්ක කරන්න එපා නමුත් විස්වාස කරන්න” ලෙසය. නමුත් එක් කුමාරයෙක් පමණක් කියනවා “ඔබට ඇති තරම් රිසි සේ තර්ක කරන්න නමුත් කීකරු වන්න.” යනුවෙන් ප්‍රකාශ කරනා බැවින් නිදහස සීමා වී ඇත.

මෙම ස්ථානයේදී කුමාරයා ඉතා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් පෙනී යා හැක. මන්ද ඔහු තර්ක කිරීමට ඇති නිදහස අවහිර නොකරන බැවිනි. එහෙත් “ඔබට ඇති තරම් රිසි සේ තර්ක කරන්න නමුත් කීකරු වන්න.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළ ම තිබෙනවා යම් කිසි සීමා කිරීමක්. එනම් ඔබට ඇති තරම් කැමති විදිහට තර්ක කරන්න පුළුවන් නමුත් ඔබ මට කීකරු විය යුතුයි. එසේ නම් තර්ක කිරීම අවසානය වන්නේ නැවත පවතින බාහිර කුමාරයෙකුට කීකරු වීමයි.

ෆූකෝ විස්තර කරන අකාරයට ප්‍රංශ විප්ලවය ඔස්සේ රජතුමාගේ හිස ගසා දැමීමත් සමඟම රජතුමා සතුව තිබූ බලය ජනතාව අතට පත් විය. එනම් තව බාහිර පාලකයෙකුට යටත් වීම අවසන් වී බලය ජනතාව අතට පත්වීමයි. එය තව දුරටත් විස්තර කරන්නේ නම් රජතුමා විසින් සියල්ලම පාලනය කරන ලද අතර යටත් වැසියන් මෙන්ම භූමියද අයත් වුවේ රජතුමාට ය. රජු පත් කලේ දෙවියන් වහන්සේ ය. මේ නිසා රජු සතුව පැවති බලය යනු උත්තරීතර බලයකි. ඊට සියල්ලන්ම යටත් විය යුතු ය. මේ අවදියේ දී පුද්ගලයාගේ බාහිරින් බාධාවක් ලෙස රජතුමා ක්‍රියත්මක විය. පුද්ගලයාට තර්ක බුද්ධිය ඔස්සේ කටයුතු කිරීමට නොහැකි විය. මන්ද රජු සත් වශයෙන් පවතින බැවිනි.

රජු සතුව පැවති බලය ක්‍රියාවට නන්වන ලද්දේ බලකිරීම(force) හරහා ය. එයට අවනත නොවන්නන් හට රජතුමා විසින් කෘර දණ්ඩුවම් පමුණුවන ලදී. එබැවින් රජතුමා යටතේ සිටින යටත් වැසියන්ට කිසිඳු ලෙසකින් ප්‍රබුද්ධත්වය ලබා ගැනීමට නොහැකි විය. එහෙත් රජුගේ හිස ගසා දැමීමත් සමඟ බාහිර බාධාව අවසන් වූ අතර මිනිසා සත්‍ය ලෙසම නිදහස් විය. එනම් රජු විසින් බල කිරීම හරහා සිය බලයට මිනිසුන් යටත්කර ගත්ත ද රජු ගේ හිස ගසා දැමීමත් සමඟ සිදු වූවේ බලයට යටත් වීම තව දුරටත් බාහිර තර්කනයක් මත නොව අභ්‍යන්තර තර්කනයක් හේතුවෙන් සිදු වීමයි. ඒ මිනිසා බලයට යටත් වන්නේ බලකිරීම නිසා නොව ස්ව කැමැත්තෙන් වීමයි. ෆුකෝගේ අදහස් මේ ආකාරයට සරළව ඉදිරිපත් කල හැකිය.

ෆුකෝගේ මෙම බල පෙරළිය සමඟ කාන්ටියානු ප්‍රබුද්ධත්වය යන්න ප්‍රයෝගික දෙයක් බවට පත්වූ බව කිව හැකිය. කිසිවෙකුට යටත් නොවී තර්ක බුද්ධියට අනුව කටයුතු කිරීමට මිනිසාට අවස්තාව උදා වූවේ මෙම අවදියේ ය. ප්‍රංශ විප්ලවය තුළින් ලබා දුන් මෙම නිදහස හේතුවෙන් යුරෝපය පුරාම මිනිසාට සිය තර්ක බුද්ධියට අනුව කටයුතු කිරීමට හැකිවන ලෙස මිනිස් චින්තනය සකස් වන්නට විය. එයට කාන්ට්ගේ අර්ථයෙන් ම කියන්නේ නම් පැරණි අගතීන්ගෙන් මිදුණු නූතන මිනිසා නිර්මාණය වන්නට වූවේ කාලයත් සමඟ ය. එබැවින් හේගල් ප්‍රකාශ කරන පරිදි යුරෝපයේ සියල්ලන්ම නිදහස් යන්න මේ අනුව ගම්‍ය කරගත හැක.

 ධනවාදයේ වර්ධනයත් සමඟම තව තවත් මිනිසාට නිදහස හිමි වූ අතර කේවල ආත්මයන්ට නිදහසේ ප්‍රකාශ විය හැකි ආකාරයට වෙනම වේදිකාවක් ද නිර්මාණය වන්නට විය. ඒ සමාජ මාධ්‍යයන්ගේ ගොඩ නැගීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ නිදහස මිනිසාට ඕක්කාරයට යන තරමට වර නගන්නට විය. එය ආත්මීය නිදහසක් ලෙස සාමාන්‍ය මිනිසා ගත්තද සැබෑවටම සිදු වන්නේ සකර්බර්ගේ පෞද්ගලික ආයතනයේ සිය කැමැත්තෙන්ම වැඩකරන වහලුන් පිරිසක් බවට පත්වීමයි. මේ නිසා කිසිවෙක් සමාජ මාධ්‍ය බාවිතා කරන්නේ බාහිර බලකිරීමක් නිසා නොව අභ්‍යන්තර පෙළඹවීමක් හේතුවෙනි. ස්වෙච්ඡාවෙන් ය.

රජතුමාගේ බෙල්ල කපා දැමූ විට මිනිසාට නිදහස ලැබුණු බැවින් ඒ නිසා මිනිසාට තමන්ට තමන්ගේ අගතීන් වලින් මිදීමට හැකියාව ලැබුණි. එහෙත් සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ නිදහස යනුවෙන් අර්ථවත් වූවේ පැරණි අගතීන් වලින් ගැලවීම නොව සිය ආත්මයට රිසි සේ ප්‍රකාශ වීමට ඉඩ දීම වශයෙනි. තමන් පැරණි අගතීන් වල සිර වී සිටිය ද උදෑසන සිට සමාජ මාධ්‍යයෙහි සිය ඡායාරූපය අලුත් කොට තමන් යාවත්කාලීන (update) අයෙකු බවට පත්ව ඇතැයි කිව හැක. මෙහී පණිවුඩය ලබන්නෙකු නොමැති බැවින් තමන් විසින් යොමු කරන පණිවුඩ අවසානයේ තමන්ටම එවන්නාවූ පණිවුඩ ලෙස ගත හැක. (ලබන්නෙකු අතුරුදහන් වූ පණිවුඩය)

බාහිර නීතියක් නොමැති බැවින් පුද්ගලයා යටත් වන්නේ අභ්‍යන්තරික නීතිය හෙවත් අවිඥානයේ තර්කනයට වේ. එහෙයින් හොඳ නරක තීරණය කිරීමේ ආකෘතිය අවිඥාණික වේ. එවිට අවිඥාණික නීතිය වලංගු වන්නේ තමන්ට පමණක් වේ. මෙය තවත් ආකාරයකට විතණ්ඩවාදීව ප්‍රකාශ කල හැකිය. මගේ ලෝකය මට සත්‍යය කි. එබැවින් මිනිසා තම තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරයි. එහෙත් එය සිය තාර්කික බුද්ධිය ට අනුව කටයුතු කිරීමක් නොව සිය අවිඥාණික ආශාවන් වලට අනුව පුද්ගලයා හැසිර වීමකි. මේ නිසා මෙය නොනිදහස කි. නමුත් සමකාලීන මිනිසා මෙය වටහා ගන්නේ නිදහසක් ලෙසය. නොනිදහස නිදහසක් ලෙස ගැනීම නිසාම ඔහුගෙන් ප්‍රබුද්ධත්වය ඉවත් ව ඇත. වර්තමානයේ දී ප්‍රබුද්ධත්වයට අවසන් වන්නේ මේ නිසාය.

ප්‍රබුද්ධත්වය නැමැති සාකච්ඡාව ලාංකීය සන්දර්භය තුළ තවත් ඉදිරියට ගෙන යා හැකිය. පසුගිය අරගල සමයේ මූලිකම සටන් පාඨය බවට පත්ව තිබුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා ගෙදර යැවීමයි. එහිදී මෙරට අරගල කරුවන් තමන් ගෝඨාභය පත්කලේ වැරදීමකින් බව ප්‍රකාශ කල අතර එම වැරදීම වන්නේ ජාතිවාදය, උතුරේ අරගලය නිමා කිරීම, සහරාන් ආදී ප්‍රපංචයන් ය. එබැවින් අරගලයට සහභාගී වූවන් කියා සිටියේ තමන් නිදහස් බවයි. එනම් තමන්ට තමන්ගේ තර්ක බුද්ධිය ට අනුව ක්‍රියා කල හැකි බව සඳහන් කලේ ය. එහෙත් ඔවුන් එලෙස තම තර්ක බුද්ධියට අනුව ක්‍රියා කරන බව සිතුවද නැවත ඔවුන් සකර්බර්ක් ගේ මුහුණු පොතේ ප්‍රකාශමාන වීම් ලෙස දැක්විය හැකිය. සිය හුරු පුරුදු වලට නැවත ගමන් කිරීමයි. ජාතිවාදී නොවන බව රැඩිකල් ලෙස කියූ සියල්ලන්ම උතුරට බලය බෙදීම මාතාකාවේ දී නැවත සිංහල ජාතිවාදයට යන්නේ මේ නිසා ය.

කාන්ට් ට අනුව තම තර්ක බුද්ධිය ට අනුව ක්‍රියා කිරීමට නම් නිදහස හිමිවිය යුතුය. නිදහස නොමැති නම් ඔහු කිසිඳු ලෙසක නිදහස් වන්නේ නැත. දැන් අපට උදා වී ඇතැයි සිතන නිදහස යනු නව ආකාරයක නොනිදහසක් වන්නේ මේ නිසා ය. මුහුණු පොත හරහා අපට නිදහස ලබා දී ඇතැයි සිතුවද සත්‍ය ලෙසටම සිදු වී ඇත්තේ අපව පවතින හුරු පුරුදු වලටම යොමු කිරීමයි. වෙනස් වී ඇත්තේ දෘ‍ශ්‍යමානය පමණ කි. නමුත් අප වටහා ගත යුත්තේ කාන්ට් ගේ අවදියේ දී මෙන් මේ යුගයේ දී පුද්ගලයා කිසිඳු ලෙසක බලහත්කාරයෙන් යටත්කර නොගන්නා බවයි. එම යටත් වීම සිදුවන්නේ පුද්ගලයාගේ කැමැත්තෙන් ම ය.

එහෙයින් අප ජීවත් වන පශ්චාත් නූතන සමාජය යනු තව දුරටත් ප්‍රබුද්ධත්වය වැනි මාතෘකාවන් වලංගු වන්නේ නැත. මන්ද මේ යුගයේ මිනිසා කාන්ටියානු ආකාරයට නිදහස සාක්ෂාත් කරණය කරගත්තද තමන්ගේ හුරු පුරුදු ආදිය වෙනස් කරගෙන සිය තර්ක බුද්ධියට අනුව ක්‍රියා කිරීමෙන් ප්‍රබුද්ධත්වය ශාක්සාත් කරණය කිරීමට යොමු නොවේ. ඒ වෙනුවට නොනිදහස නිදහසක් ලෙස සලකමින් තව දුරටත් සිය හුරු පුරුදු ජීවිතය ඒ අකාරයටම පවත්වාගෙන යාමට උත්සහ දරණයි. එම හුරුපුරුදු වෙනස් වීමකට හෝ තරජනයට ලක්වන විට දී පමණක් මේ යුගයේ මිනිසා අවදි වේ. ඒ නිදහස සඳහා නොව නොනිදහස යටතේ සිය හුරුපුරුදු කිසිඳු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා වේ.

එසේ නම් මේ යුගයේ විප්ලව වාදී දේශපාලන පක්ෂයක් යනු පුද්ගලයාව නොනිදහසෙන් නිදහස වෙතටත්, හුරු පුරුදු වෙනුවට තර්ක බුද්ධිය වෙතටත් යොමු කරන, නැතහොත් පුද්ගලයාගේ ජීවිතය විප්ලවීය වශයෙන් වෙනස් කරන දේශපාලන පක්ෂයක් වේ. එය චින්තනමය විප්ලවයකි. එසේ නොකර හුරුපුරුදු කඩ කරන්නන් හෙවත් පුද්ගලයාගේ හුරුපුරුදු වලට බාධා කරන බාධාවන් ඉවත් කරන ඊනියා දේශපාලන පක්ෂයන් සිදු කරන්නේ ප්‍රබුද්ධත්වය අවහිර කිරීමකි.

බුද්ධික.

ඔබේ අදහස කියන්න...