මාලින්ද සෙනෙවිරත්න නම් මාධ්‍යවේදියා සේවය කළ The Nation පුවත්පත අද සිට වසා දැමීමට එහි කළමනාකරණ කමිටුව තීන්දු කර ඇත. ඒ අනුව මාලින්දට අදින් පසුව රස්සාව නැති වනු ඇත. මාලින්ද යනු ජාතික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එතැනදී අප ඔහු සමග නැත. ඔහු වැපුරූ දේවල් ඔහුටම නපා ගැනීමට සිදු වී ඇත. නමුත් මාලින්දට සිදු වූ දෙය ගැන ලිබරල් නොවන විග්‍රහයක් අවශ්‍යය.
සාමාන්‍යයෙන් මාලින්ද සෙනෙවිරත්න යනු බොහිමියානු දිවිපෙවෙතක් සහිත කාන්ටියානු ස්වායක්ත ආත්මයකි. වසරකට කිහිප විටක් ඔහු විවිධ සාධාරණ හේතූන් මත ඉල්ලා අස්වීමේ ලිපිය පාලකයන්ට යොමු කරන්නෙකි. මෙවරද සුපුරුදු පරිදි පසුගිය ජූලි 20 වැනි දා සිය ඉල්ලා අස් වීමේ ලිපියක් බාර දී ඇත. සාමාන්‍යයෙන් සිදුවන්නේ එවැනි ලිපි පාලකයන්ගේ ලාච්චු වලට යාම පමණකි. නමුත් මෙවර එම ලිපිය පාලකයන් ඇත්තටම බාරගෙන ඇත.
ඔහුට සිදු වූයේ සමාජය තුළ පවතින විනීතභාවය පිළිබද සම්මතය බිද වැටීමේ ආනිශංසයකි. උදාහරණයකින් අපි මෙම තත්ත්වය පහදා දෙන්නෙමු.
ඔබට ඔබේ හොද මිතුරෙකුගෙන් රාත්‍රි කෑම වේලකට මිල අධික අවන්හලකට එන්න යැයි ආරාධනාවක් ලැබුණා යැයි සිතන්න. ආහාර වේලෙන් පසු ඔබ ඔබේ විනීතභාවය ප්‍රකාශ කරනු වස් මෙසේ කීවා යැයි සිතන්න. ‘‘ බිල මම ගෙවන්න ද ? ‘‘ එවිට ඔබේ මිතුරාගෙන් අපේක්ෂා කරන්නේ මෙවැනි ආකාරයේ විනීත ප්‍රතිචාරයකි. ‘‘ එපා… එපා .. ඔයා ගෙවන්න එපා. මම ගෙවන්නම්, අනික මමනේ ඔයාට ආරාධනා කළේ…‘‘ මොහොතකට මෙසේ සිතන්න. ඔබේ මිතුරාගේ ප්‍රතිචාරය මෙහෙම වුණොත් … ‘‘ හොදයි, ඔබ ගෙවන්න.‘‘
බොහෝ විට එවිට ඔබ ත්‍රස්ත වීම හැර වෙන ප්‍රතිචාරයක් නැත. මාලින්දට සිදු වී ඇත්තේ ද සමාජය තුළ මෙතෙක් සාමූහිකව පිළිගත් ‘විනීතභාවය‘ වෙනස්වීම පිළිබද ගැටලුවකි. අපට නොදැනී, අපට හොරෙන් සමාජයේ පොදු අවකාශය තුළ පැවති සාමූහික සදාචාරයේ සාරාත්මක වටිනාකම් (Ethical Substance Of Our Society) අපගේ අනෙකා විසින් අතහැර දමමින් සිටියි. මාලින්ද දැඩි ලෙස උත්සහ කරනු ලැබුවේ ධනවාදී සමාජයක වියැකී යන සිංහල-බෞද්ධ සදාචාර හරය බේරාගැනීමටය. නමුත් සමාජ වටිනාකම් වල ‘මදය‘ වියැකෙමින් යන්නේ දෙමළ අරගලය නිසා නොව ‘ ප්‍රාග්ධනය‘ සමාජ ආධිපත්‍යය වන නිසාය. මෙවැනි අවස්ථාවකට කෙනෙක් මුහුණ දුන් විට එවැන්නෙකුට හුදෙකලා වනවා හැර වෙන ගැලවුමක් නැත. පාංශු ඛාදනය සේ දැන් ක්‍රමක්‍රමයෙන් ‘මුදල්‘ නිසා ‘පොදු-හර-පද්ධතිය‘ ඛාදනය වෙමින් පවතියි. අනෙකාව සැක කිරීම හැර මෙයට දැනට විකල්පයක් නැත.
මෙම තත්ත්වය වාමාංශික දේශපාලන ව්‍යාපාර වලට අද්භූත ආකාරයකට බලපා ඇත. මෙවැනි සංවිධාන වල යම්කිසි භාර ධූර රාජකාරියක් බාර දුන් කෙනෙකුට ඉන් ඉවත් වී වෙනත් වැඩක් කරන්නට යෝජනා කළ විට ද ඉහත අප කී සදාචාර ඛාදනයට මුහුණ දීමට සිදුවෙයි. බොහෝ වාමාංශිකයන් සිතන්නේ තමන් මේ පයිසෙකට ගණන් නොගන්නා ‘‘ සදාචාර ඛාදනය‘ මධ්‍යම පන්තික එකක් බවයි. නමුත් එය මාක්ස් වෙනත් තැනක General Intellect කියා කියූ දෙයමය. පොදුවේ අප මේ කරමින් සිටින්නේ සියලු දෙනා මෙතෙක් බෙදා හදා ගත් ‘‘ හැදියාව‘‘ පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් ඛාදනය කිරීමයි.
වාමාංශික පක්ෂයකට එකතු වන ‘‘පොදු මුදල්‘‘ කළමනාකරණය කිරීමට පත් කළ පක්ෂ නිලධාරියකු මෙසේ අපට කීවා යැයි සිතන්න. ‘‘ මේ මුදල් ඔක්කොම එකතු කළේ මගේ මහන්සියෙන්. ඒ නිසා මේ මුදල් වියදම් කරන්නේ මම හරියි කියන වැඩ වලට විතරයි‘‘.
මෙවැනි වාක්‍යයන් සාමූහික වැඩක දී ඔබට ඇසුනේ නම් ගත හැකි ක්‍රියාමාර්ග 2 ක් ඇත.
1. ඔලුවට වෙඩි තැබීම (L.T.T.E)
2. බකංනිලාගෙන සිටීම (J.V.P)
මිනිසුන්ට දේවල් (Things) සමග ඇති සම්බන්ධයට අප කියන්නේ ‘දැනුම‘ කියාය. මිනිසුන්ට තම අනෙකුන් ගැන ඇති සම්බන්ධයට අප කියන්නේ ‘බලය‘ (Power) කියාය. ලෝකය තුළ ඇත්තේ දැනුම/බලය අතර සම්බන්ධයක් පමණක් නොවේ. ඒ සදහා ස්වායක්ත ආත්මයක් ද (Subject) ක්‍රියාත්මක වෙයි. අපට මෙම තුන්වැනි මානය ගැන අවබෝධය එන්නේ කාන්ට් හරහාය. මිනිසුන් තම සමාජ ජීවිතය තුළ ක්‍රියා කිරීමේ දී එකතු කරන්නේ දැනුම සහ බලය පමණක් නොවේ. එහිදී තමන් සහ අනුන් කරන ක්‍රියාවන්ට සදාචාර විනිශ්චයක් දිය හැකි ස්වායක්ත ආත්මයක් ද අපට හිමිය. අද අප ජීවත් වන යුගයේ දී වාමාංශික පක්ෂවල මිනිසුන් සංවිධානය කිරීමේ න්‍යාය එන්නේ මාක්ස්වාදී පුස්කොළ පොත්වලින් නොව මෙම ආත්මයෙනි. මෙම ආත්මය තමන් කරන ක්‍රියාව විශ්ව-සාධාරණ යැයි සිතීම අහම්බයක් නොවේ. ගැටලුව වන්නේ සියලු දෙනාම සියලු දෙනාට එරෙහිව මෙම ආත්මීය ක්‍රියාව රග දැක්වීමට උත්සහ කළහොත් ‘සමාජයක්‘ ලෙස අප සියලු දෙනාට අත්වන ඉරණමයි. දැනට සිනහ වන අයට ඇඩෙන්නට පටන් ගන්නා කාලය ඉතා ලගය. මෙම ඉරණම වාමාංශික ඇමීබාකරණයකට ඌණනය කළ හැකි ද ?

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. වාමාංශික ඇමීබාකරණය කියා මම කලින් ලිපියක දැමූ කොමෙන්ටුව අදාල වන්නේ වාමාංශික පක්ෂ කදී වෙනත් ඒවා බිහි වන්නේ නම් පමණි. එසේ නොවී පක්ෂය රැක ගත හැකිනම් ඇමිබාකරණයෙන් පක්ෂය මුදා ගත හැකිය. හොඳ මිනිසුන්ට කතා කර ප්‍රශ්නයක් විසඳ ගත හැකි විය යුතුවය. බොහොඅ වාමාංශික පක්ෂවල සිටින්නේ හොඳ මිනිසුන්ය.
    කහිනලින්ද කැහ කැහ නේෂන් එක අවසන් ගමනට ගෙන ගියේය. ඔහු ඉත අහංකාර පරවශ පුද්ගලයෙකි. ඔහුගේ ජාතිවාදය ඔහුත් සමග වැළලී යන්නේ නම් එය ලංකාවට හොඳක් ය. .

  2. පහුගිය අවුරුදු 4 තුල ‘ඉල්ලා අස්වීමක්’ කලේ එකම වතාවක් පමණයි. ඒ ලිපිය (ඒ-මේල්) යොමු කලේ ජුලි 20 දා වුවත් ‘සැප්තැම්බර් මස 23 වැනිදා බලාත්මක වන පරිදි’ යන කොටසක් ද එකතු කලෙමි.

    “ඒ අනුව මාලින්දට අදින් පසුව රස්සාව නැති වනු ඇත.” මෙය ගැන දැනට කිව හැක්කේ මෙපමණයි: ‘මම මේ සටහන් ලියන්නේ ‘රිවිර’ ආයතනයේ මගේ කාර්යාලයේ සිටයි.’ වැඩි විස්තර අවශ්‍යනම් අමතන්න (0777-807556).

    මා සම්බන්ධ ඉතිරි කියවීම් ලිපිකරුගේ අවබෝධයේ, රුචිකත්වයේ, මතවාදීමය ඇබ්බැහිවීම් යනාදියේ උත්පාදනයන්. ඒ පිලිබඳ අමනාපයක් නැත. මාගේ ‘ඉල්ලා අස්වීම’ නිමිති කොට ගෙන දිග හැර ඇති සමාජ-දේශපාලන විවරණය ‘ඉන්ටරස්ටින්’ බව ද කිව යුතුයි.

Comments are closed.