අප කර මතට ඇද වැටී ඇති සමාජ-දේශපාලන අර්බුදය තුල අපගේ දේශපාලන ආස්ථානය වාමාංශිකව තෝරා බේරා ගන්නේ කෙසේද යන්න ව්‍යාකූල ය.
මීට පෙර බොහෝ අවස්ථාවලදී වාමාංශික දේශපාලන ආස්ථානය කුමක් විය යුතුද යන්න පහසුවෙන් තෝරා ගත හැකි විය. සරලව පැවසුවහොත් ජනප්‍රිය සංකේතමය දැනුමින් කෙරුනු දේශපාලනික තෝරා ගැනීම සහ භාවිතාව වාමාංශික න්‍යායන් සමග ගැලපුණි. එහිදී වාමාංශික දේශපාලනික තෝරා ගැනිමේදී න්‍යාය යන්න ද්වීතියික නැතහොත් එතරම් නොවැදගත් කාරනාවක් බවට පත් විය. කොටින්ම කියතොත් ජහමනයාගේ තෝරා ගැනීම වාමාංශික තෝරාගැනීම සමග සමපාත විය.
ඊනියා වාමාංශික පක්ශ විසින් දේශපාලන අවකාශය තුල කරනු ලැබූ විගඩම් සහගත ක්‍රියාවන් හරහා ජනතා ක්‍රියා කාරීත්වය අභ්‍යාස කිරීම යන්නට විකෘති සහගත අර්ථයක් ලැබුනු අතර ජනතා ක්‍රියාකාරීත්වය යනු ‘ජහමනයාගේ කැමැත්ත’ යන්නට පටු විය. විජේවීර වාදීන් ‘න්‍යාය’ කන්නටදැයි අසන්නේත්, ඇගට දැනෙන උද්ඝෝෂණ වාදී දේශපාලනය ප්‍රමුකව සලකන්නේත් මෙම පදනමෙනි.
ගෝත්‍රවාදී රාජපක්ෂලා විසින් ගොඩනගන ලද දක්ෂිණාංශික කදවුර දශක දෙකක් පමන කාලය තුල අවභාවිතා කලේ ‘ජහමනයාගේ කැමැත්ත’ නිවැරැදිය යන්න මතය.
එම බල අභ්‍යාසය හරහා රාජපක්ෂලා ලොකු වේදනාත්මක සතුටක් විදි අතර මේ වනවිට අනුර කුමාරගේ ආශාව බවට පත්වී ඇත්තේද මෙම ජහමනයාගේ කැමැත්ත තුලින් රාජපක්ෂලා විනෝද වූ වේදනාත්මක දේශපාලන භාවිතාවයි. ලංකාවේ සැබෑ සමාජ දේශපාලන අර්බුදය සහ ඉන් මිදීමට අවශ්‍ය මාවත සහ මෙම විනෝද මානය අතර කිසිදු සම්බන්ධයක්නැත. එබැවින් අනුර කුමාර ගේ විනෝදය අවසාන වීමට නියමිත වන්නේ ගෝඨාභය තමන්ගේ බල ව්‍යාපෘතිය අවසන් කල ආකාරයට බොහෝ දුරට සමාන ආකාරයකටය.

* ජහමනයාගේ දේශපාලනයේ හිස් බව …
නිදහසින් පසු ලංකාවේ දේශපාලනය සම්පූර්නයෙන්ම චලනය වූයේ ආර්ථිකමය පදනමක නොව ”දෘෂ්ටිවාදීමය කාරනා” පදනම්වය. ජාතිය, කුලය, නාගරිකත්වය,ග්‍රාමීයත්වය, ව්‍යාජ සදාරාත්මක වටිනාකම්, දූශනය වැලැක්වීම, හොරු ඇල්ලීම, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී ජහමනයාගේ ‘විනෝදයට’ ගැට ගැසුනු ජනප්‍රිය දෘෂ්ටිවාදයන් මත පදනම්වය.


එහෙත් අදවන විට මෙම දේශපාලන යථාර්ථය ඓතිහාසිකව සුවිශේෂී අන්තයකට දයලෙක්තිකව පැමින ආර්ථික අර්බුදය නැමති යථ මය කාරනය ඉස්මතු වී ඇත.


මෙම යථ හමුවේ අපගේ මැදිහත්වීම සිදුවන්නේ අක්ෂයන් දෙකක් තුල පමණි.


එක් අක්ශයක් වැටී ඇත්තේ මෙම යථ පිලිගනිමින් එයට සංකේත යථාර්ථය තුල පවත්නා විසදුම් ලගා කර ගැනීමේ මාවතයි.( ආර්ථිකමය විසදුම් ලගා කර ගැනීම )


අනෙක වන්නේ එම යථෙන් පලා යාමයි.


එනම් අපගේ ආර්ථික අර්බුදයට තමන්ගේ කිසිදු දායකත්වයක් නැති බව ප්‍රකාශ කරමින් එම අර්බුදයට වගකිවයුත්තේ අවුරුදු 77ක් පුරාවට මාරුවෙන් මාරුවට බලයේ සිටි පාලකයන් බව ප්‍රකාශ කරමින් සමස්ත ආර්ථික අර්බුදයේ වගකීම බාහිර සතුරෙකුට පවරා තමන් ශුද්ධ වන්තයන් බවට පත් වීමේ සැනසිලිදායක තෝරාගැනීමයි.
මනෝවිශ්ලේශනාත්මකව විග්‍රහ කල විට ඕනෑම ආතතිගත තත්වයක් තුල අපගේ අවිංඥානය අපව තල්ලු කරන්නේ ආතතිගත තත්වයෙන් අපව මුදවාගෙන අපට සහනයක් උදාකරදීමටය.එවිට අපට විශාල සැනසිල්ලක් දැනේ.


පරිභෝජනයට ඇති අපගේ අසීමාන්තික ආශාව සහ පරිබෝජනය, වංචනික බාවය, සොරුන්ට,සහ වංචනියකයන්ට ඇති අවිංඥානක බැදීම, අපගේ ශ්‍රමයේ ඇති අසංවිදිත බව මේ ආර්ථික ආගාදයට වග කිවයුතු වුවත් එය අපට වසන් කර ඒ සියලු දෙයින් අපව නිදොස් කොට නිදහස් කර ඒ සියලු දුර්ගුනයන්ට වගකිවයුතු අපෙන් පරිබාහිර සතුරෙක් ඉදිරිපත් කරන්නේ නම් අපිට කෙතරම් සතුටක් සහ සහනයක් ලැබෙන්නේද ?
මේ මොහොතේ අනුර කුමාර ප්‍රමුක විජේවීර වාදීනුත්, සජිත් ප්‍රමුක විපක්ශයත් කරමින් සිටින්නේ ජහමනයා අමන්දානන්දයට පත්කරවන මෙම දේශපාලන මැදිහත්වීමයි.
රාජපක්ෂ වරු අත් හදා බලා ‍රට පමනක් නොව තමන්වමද විනාශ කරගත් භයානක දේශපාලන ක්‍රීඩාව අනුර සහ සජිත් තෝරාගැනීම කොතරම් භයානක ද යන්න තීරනය වනු ඇත්තේ අනාගතයේ දීය.
ලංකාවේ සමාජ දේශපාලන අර්බුදයන් හමුවේ දේශපාලන බලය නැමති යෂ්ඨිය එකිනෙකා අතර හුවමාරුවන අතර පසුගිය අවුරුදු 77පුරාම සිදුවී ඇත්තේ මෙම බල හුවමාරුව පමනි. ඉහත සදහන් කල මානසික ක්‍රියාකාරීත්වය මුල් කරගනිමින් සිදුවූ මෙම ක්‍රියා දාමය හරහා කිසිදු යහපත් සමාජය පරිවර්තනයක් ඉටු වී නැත. කෙසේ වෙතත් ඇබ්බැහියක් ලෙස නැවත නැවතත් මෙම දේශපාලන ක්‍රීඩාව සිදුවෙමින් යයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඊනියා වාමාංශිකයන් කලබලවන්නේ හෝ අවධානය යොමු කරන්නේ නැත. ඔවුන් පාරභෞතිකව විශ්වාස කරන්නේ ඔවුන් බලය ගත් පසු මෙම තත්ත්වය අහෝසි වන බවයි.
යථාර්ථය තුල පෙනෙන අර්බුදයන්ට විසදුම් ලෙස සැබෑ සම්බන්ධයක් නැති විසදුම් ගෙන ඒමත් (හොරුන්,වංචනිකයන් නැති කිරීම ) එවැනිම වූ සබුද්දික සහ තාර්කික බව පෙනෙන විකල්ප යෝජනා කිරීමත් (දේශීය ආර්ථිකය ,අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී) කිසිසේත්ම පවතින සෑබෑ අර්බුදයට විසදුම් ලබා දෙන්නේ නැත. අවුරුදු කීපයකට පසු ඇස් ඇර බැලූවිට පෙනෙනුයේ අප තවම සිටින්නේ කලින් සිටි තැනම බවය.

මෙම තත්ත්වය වටහා ගැනීමට කිසලෝව්ස්කිගේ Blue චිත්‍රපටය හරහා උත්සාහ කරමු.

* කිසලොව්ස්කිගේ Blue චිත්‍රපටය හරහා
චිත්‍රපටයේ ප්‍රධාන කතා නායිකාව ඇයගේ සැමියා හදිසි රිය අනතුර කින් මිය යාම නිසා දැඩි කම්පනය කට පත්වෙයි. තම සැමියා සමග ජීවත් වූ එම අතීත ජීවිතයෙන් ගැලවීමට ඇයට ඉතා අපහසු වෙයි.
මේ අතර තුර ඇයට හමු වන ගැබ්බර කාන්තාව හරහා ඇයට දැන ගැනීමට ලැබෙන්නේ ඇයගේ කුස තුල සිටින්නේ තම සැමියාගේ දරුවකු බවයි.
මේ හරහා ඇයගේ අන්ධකාර ආත්මයට නව ආලෝකය ක් ලැබේ.


ඇය ආශා කරන තම සැමියා සමග ගත කරන ලද අතීත ජිවිතය යනු තමන් විසින්ම ෆැන්ටසි ගත කරන ලද්දක් මිස සැබෑවක් නොවන බවයි. තමා වැලපෙමින් ඇලුම් කරන්නේ හිමිව තිබූ දෙයකට නොව අහිමිව තිබූ දෙයකට බව වැටහී යයි. (අහිමි වීමේ අහිමිවීම -Negation of the negation ).


ජීවිතයට සැබෑ විමුක්තිය ලැබෙනුයේ මතුපිටින් කටුකයැයි පෙනෙන දේවලට බාහිර විකල්ප යෝජනා කිරීමෙන් නොව,එම කටුකත්වය අභ්‍යන්තරයටම ගමන් කිරීමෙන් පමනි.


Rose in the cross of the present යන හේගලියානු අදහසේ සැබෑ අර්ථයද මෙයමය.
වර්ථමානය තුල අප අත්දකින අසමත් පීඩාකාරී සමාජ වටපිටාව යන්න කුරුසයේ රූපකයයි. ඒ මත ඇති රෝස මල යනු පීඩාකාරී අසමත් සමාජයට ඇති බාහිර විකල්පයන් නොව එම පීඩාකාරී සමාජය තුලම ඇති එම තත්ත්වය ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට දායක වූ අපගේ පංගු කාරීත්වය යි.

Blue.

Blue චිත්‍රපටයේ කතා නායිකාව විසින් තමාගේ සැමියා සම්බන්ධයෙන් ගොඩනගා ගත් ෆැන්ටාස්මතික අතීතය නැමති කුරුසය ඇයගේ සැමියා තනිව ගොඩනැගූවක් නොව ඇය විසින් ගොඩනගන ලද්දකි.එය ඇයට හිමිව තිබූවක් නොව ඇයගේ ෆැන්ටසිය විසින් ගොඩ නැගූවකි.රෝස මල වන්නේ එම ආතතිගත ෆැන්ටාස්මතික අතීතය නැමති කුරුසය ගොඩ නැගීමට අප විසින් දෙන ලද දායකත්වයයි.


එබැවින් අපිට විමුක්තියක් උදාකරගත් හැක්කේ එම පීඩාකාරී ආතතිගත තත්වය තුලම ජීවත් වෙමින් එහි අභ්‍යන්තරයට තව තවත් ගමන් කිරීම ඔස්සේ මතුවන සත්‍යයට අනන්‍යවීමෙන් පමනි.එසේ නැතිව අපට මතුපිටින් යථාර්ථය ලෙස පෙනෙන ව්‍යාජයට (225 විසින් විනාශ කරන ලද සමාජආර්ථික අර්බුදය, කතා නායිකාවගේ සැමියා මිය යාම නිසා ඇතිවූ පීඩාකාරී තත්වය) තාර්කික යැයි හැගෙන විකල්ප ඉදිරිපත් කිරීමෙන් නොවේ.


මෙය පිලිගැනීමෙන් මිස අපිට සැබෑ නිදහසක් හෝ විමුක්තියක් නොලැබෙන අතර එසේ තාර්කික විකල්පයන් ඉදිරිපත් කිරීම දෘෂ්ටිවාදාත්මකය. ඉන් සැබෑ සමාජ දේශපාලන වෙනස් කම් සිදුවන්නේ නැත. සංඛ්‍යා රටාවක මෙන් රටේ පාලකයන්ගේ ඔලු ගෙඩි මාරුවීම පමනක් සිදුවේ.


වර්තමාන සමාජ අර්බුදය සම්බන්ධයෙන් විකල්පයන් ලෙස පෙනී සිටින විපක්ශ දේශපාලන දාරාවේ සියලුම කොටස් ඊනියා වමාංශිකයන්ද ඇතුලුව පෙනී සිටින්නේ සබුද්ධික සැබෑ දේශපාලන කියවීමක නොවේ, ජහමනයාට මතුපිටින් පෙනෙන යථාර්ථය සත්‍යයැයි විශ්වාස කරමින් බහුතරය ඉන්නේ කොතනද සත්‍ය එය යැයි පිලිගන්නා මුලාවේ මාවතය. මතු පිටින් පෙනෙන දෙය සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නැතැයි ලෙනින් පැවසුවේය. සැබෑ ලෙනින් වාදී වාමාංශිකත්වය යනු ජහමනයා කියන දෙය ක්‍රියාත්මක කිරීම නොව සැබෑ සමාජ දේශපාලන සත්‍ය වෙනුවෙන් ජනතාව මෙහෙය වීමයි. එසේ නැතිව රාජපක්ෂලා මෙන් ජහමනයාට නාස් ලනුවක් දමා ඔවුන් විනාශය දිසාවට තල්ලු කර දැමීම නොවේ.


මෙම සත්‍ය වෙනුවෙන් සැබෑ වාමාංශිකයන් ලෙස පශ්චාත්-මාක්ස්වාදී ආස්ථානයක සිටිමින් මාක්ස් ලෙනින් සම්ප්‍රදායේ මූලික ආස්ථානයන් සැබවින්ම අභ්‍යාස කරන්නේ ”සමබිම පක්ශයේ” අප පමණි.

චන්දන රණසිංහ.

ඔබේ අදහස කියන්න...