දශක අටක පමණ කාලයක් ලංකාවේ සමාජවාදය පිළිබඳ පරමාදර්ශය වෙනුවෙන් සටන් කරන මිනිසුන් බිහි විය. ජනතා විමුක්ති පෙරමුණ, සමානතා පක්ෂය, නව සමසමාජය, සමසමාජ පක්ෂය ඇතුළු විශාල වාමාංශික පක්ෂ සමූහයක් තවමත්  “සමාජවාදය”  නම් පරමාදර්ශය සාක්ෂාත් කර ගත හැකි විකල්පයක් ලෙස සලකති. මෙම ලිපියට පාදක වන්නේ ලංකාවේ සමාජවාදය සඳහා අවකාශයක් තිබේද යන්නයි.


ගැටළුවට ආරම්භක ප්‍රවේශයක්


සැබැවින්ම පැවති සමාජවාදය යටතේ ක්‍රියාත්මක වූයේ රාජ්‍ය-ධනවාදයක් යන්න බොහෝ මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. මේ මතය එතරම් ලංකාවේ මහජනයාට කාන්දු වී නොමැත. ඊළඟට ලංකාවේ වඩා නිවැරැදි සමාජවාදය පිලිබඳ විවාදය ඇති වී ඇත්තේ ස්ටැලින්වාදීන් (කොමියුනිස්ට් පක්ෂය) සහ ට්‍රොට්ස්කිවාදීන් (සමසමාජ සිට සමානතා පක්ෂය දක්වා) අතර මිස ධනවාදයේ ප්‍රකාශකයන් අතර නොවේ. මීට අමතරව ලංකාව වැනි පශ්චාත්-යටත්විජිත රාජ්‍යයක  සමාජවාදය නම් අදහස සමඟ සිංහල හෝ දෙමළ ජාතිකවාදය පැටලී යාමක් සිදු වෙයි. උගත් ප්‍රභූ පන්තියේ ප්‍රකාශකයන් ධනවාදයට විරුද්ධ වීමේ දී  පශ්චාත්-යටත්විජිත රාජ්‍යය පිළිබඳ අදහස් ඉදිරියට රැගෙන එන අතර ග්‍රාමීය ප්‍රභවයක් සහිත සිංහලෙන් උගත් විශ්වවිද්‍යාල ප්‍රජාවන් ධනවාදය සහ යුරෝකේන්ද්‍රීය අදහස්වල වලංගුභාවය සංවාද කරයි. මූලික වශයෙන් අවධාරණය කිරීමට ඇත්තේ “ධනවාදය” පිළිබඳ සාර්වත්‍රික (universal) සංකල්පයක් ලංකාවට නැති බවයි.

ධනවාදය යන සංකල්පය හා බැඳී ගිය අතුරු සංකල්ප විශාල ගණනක් තිබේ. අසාධාරණය, අසමානතාවය, ගම-නගරය අතර විෂමතාවය, සූරාකෑම, පරාරෝපණය, ස්ත්‍රී ශ්‍රමයට මිලක් නොගෙවීම, යටත්විජිතවාදය, අධිරාජ්‍යවාදය, පරිසරය සූරා කෑම යනාදිය මේ අතුරු සංකල්පවලින් කිහිපයක් පමණි. පන්තිය මත පදනම් වී ඇතැයි විශ්වාස කළ මර්දනය, සූරාකෑම වැනි ආර්ථික සංඝටක මේ වන විට අනන්‍යතාව, ජාතිය මත පදනම් වන සංඝටක බවට පරිවර්තනය වී ඇත. ඊළඟට නිෂ්පාදනය, බෙදා හැරීම, පුද්ගලික දේපොළ වැනි සංකල්ප මත පදනම්ව වටහා ගත් ධනවාදය මේ වන විට වෙළඳපොළ නම් සංකල්පයට ඌනනය වී ඇත. ඉහත කී වර්ගීකරණයන්ගේ අධි සංකීර්ණත්වය සමඟ මාක්ස්වාදයට මාධ්‍යවල සහ විචාරක සාහිත්‍යය තුළ පැවති උත්කර්ෂවත් ස්වභාවය අහිමි වී ගොස් ඇත. කෙටියෙන් කිවහොත් ලංකාව වැනි රටක මහජන සංවාදයෙන් මාක්ස් හෝ ලෙනින් වැනි වදන් ඉවත් වී ඇත. මහජනයාට මාක්ස්ගේ නම මතක නැත.

          90 දශකය මුල දී සෝවියට් දේශයේ බිඳ වැටීමත්, චීනයේ සිදු වී ඇති රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණත්, කියුබාවේ ආර්ථිකය එකතැන පල් වීමත් සමාජවාදය ව්‍යවහාරික අදහසක් හැටියට ගත් තත්ත්වය යල් පැන ගොස් ඇති අතර න්‍යායික වශයෙන් මාක්ස්වාදය බහු ජන සංස්කෘතියෙන් වියැකී ගොස් ඇත. ඊට ආදේශක ලෙස බහුසංස්කෘතිකවාදය සහ විසංයෝජනය අදාල වී ඇත. මහා ආඛ්‍යාන සතු විමුක්තිය පිළිබඳ කතන්දර මේ නව න්‍යායික භාෂාව හරහා විසංයෝජනය වෙමින් පවතියි. මෙම තත්වය සමාජ සහ මානුෂික විද්‍යාවන්ගේ ක්ෂේත්‍රය විසින් සූත්‍රගත කර ඇත්තේ සංස්කෘතික හැරවුම (Cultural turn) වශයෙනි. බොහෝ රටවල කාර්මික අංශයේ රැකියා ඝණත්වය අඩු වෙමින් යන අතර මේ නිසා අධික රැකියා විරහිතභාවයක් ව්‍යුත්පන්න වී ඇති අතර අනෙක් පැත්තෙන් ජාතික ප්‍රාග්ධනයන්හි තාර්කිකභාවය අභාවයට ගමන් කර ඇත. මෙම ද්විත්ව ක්‍රියාවලියේ ඵලයක් ලෙස සමාජ ජීවිතය මූල්‍යකරණය වෙමින් පවතියි.

මාක්ස්වාදය 20 වැනි සියවස පුරා කිය වූ ආකාරය මඟින් ජනිත වන එක්තරා දෘෂ්ටිවාදී අදහසක් පිළිබදව තරමක සංකීර්ණ න්‍යායික සංවාදයක් තත්කාලීන භාවිතාව විසින් ඉල්ලා සිටියි. බොහෝ විට ජාතිකවාදීන් සහ පශ්චාත්-යටත්විජිතවාදීන් විසින් අධිනිශ්චය කරන ගැටළුව වෙතට අපි නාභිගත වෙමු. සාම්ප්‍රදායික මාක්ස්වාදය විසින් තහවුරු කරන ආර්ථික නියතිවාදය නම් අදහසට නින්දා කරන්නෝ බොහෝ වෙති. ලංකාව වැනි රටක මාක්ස්ගේ මූලික චින්තන ප්‍රවර්ග-ශ්‍රමය, ප්‍රාග්ධනය, අතිරික්ත වටිනාකම, උපරි-ව්‍යුහය/ අධෝව්‍යුහය අතර ගැටුම, ශ්‍රම ශක්තිය සුරාකෑම, විරැකියාව, වැටුප් යනාදිය – සලකා බැලෙන්නේ ආර්ථික විද්‍යාවේ දෘෂ්ටිකෝණයෙනි. කෙටියෙන් කිවහොත් මාක්සියානු චින්තන ප්‍රවර්ග වගුගත කරන්නේ ආර්ථික විද්‍යා සන්දර්භයක් තුළ ය.

             වසර 2012 වැනි මෑත යුගයක පළ වූ “ප්‍රාග්ධනයට අත්වැලක්” නම් කෘතියේ කතුවරුන් වන සුමනසිරි ලියනගේ සහ කුමාර් ඩේවිඩ් පවා මාක්ස්ගේ “ප්‍රාග්ධනය” කෘතිය ස්ථානගත කරන්නේ වර්තමාන ආර්ථික අර්බුදය නම් අදහසෙහි ය. මෙම අපගමනයට තුඩු දෙන දාර්ශනික මූලයන් සංකීර්ණ ය. මාක්ස්වාදයේ එක මූලාශ්‍රයක් වන්නේ හේගල් සතු දාර්ශනික ආධිපත්‍යයයි. 20 වැනි සියවස පුරාම ලාංකේය වාමාංශිකයන් හේගල් පිළිබඳ විධිමත් කියවීමක් කර නැත. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ බොහෝ ලේඛන මගින් කර ඇත්තේ ද හේගල් කියවීම දුර්මුඛ කිරීමයි. හේගල් කියවීම දුර්වල වන්නට වන්නට සිදුවන ඊලඟ ආචරණය වන්නේ “මාක්ස්ව” ආර්ථික විද්‍යාව තුළ සන්දර්භගත කිරීමේ අන්ධභාවයයි.

          මාක්ස් ඉතා පැහැදිලි ලෙස ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථයෙක් නොවේ. සුමනසිරි ලියනගේ මාක්ස්ගේ ප්‍රාග්ධනයට පෙරවදනක් සපයමින් මෙසේ ප්‍රකාශ කරයි.

           “ඉන්ද්‍රජාලය පිළිබඳ සංකල්පය මාක්ස්ගේ දේශපාලන ආර්ථික විද්‍යාවට මූලික වන්නේ යැයි ඩේවිඩ් හාවි පවසයි. මාක්ස් තම විග්‍රහය කරන්නේ අදියර දෙකකිනි. පළවෙනුව හේ ඉන්ද්‍රජාලය යනු කුමක් ද? එය පැනනගින්නේ කෙසේ ද? යන්න පෙන්වා දී එය දේශපාලන ආර්ථික විද්‍යාවට වැදගත් වන ආකාරය විවරණය කළේය. දෙවනුව ධනේශ්වර චින්තනය තුළ එය සාවද්‍ය ලෙස දක්වා ඇති අයුරු හේ සාකච්ඡා කළේය.”

          නමුත් කෘතියේ කිසි තැනක සුමනසිරි ලියනගේ මාක්ස්ගේ චින්තන ප්‍රවර්ග ආර්ථික විද්‍යාව සමතික්‍රමණය කරන බව පෙන්වා දෙන්නේ නැත. මේ සඳහා අවශ්‍ය අමතර ශක්තිය අප ලබා ගත යුත්තේ කොතැනින් ද? කාල් මාක්ස්ගේ “ප්‍රාග්ධනය” බුර්ෂුවා ආර්ථික විද්‍යාවට ආදේශකයක් නොව සමතික්‍රමණය කරන්නකි. ධනේශ්වර සමාජය විචාරය කරන්නකු සඳහා මාක්ස්ගේ අදාලත්වය ඇත්තේ “දෘෂ්ටිවාදය” (Ideology) නම් සංකල්පය හරහාය. ඇත්තටම ප්‍රාග්ධනය කෘතියේ ගැඹුරු අදහස “දෘෂ්ටිවාදය විචාරය” කිරීමයි. පළමුවෙන් කිව යුත්තේ දෘෂ්ටිවාදය යන්න දැනුමට සම්බන්ධ දෙයක් නොවේ ය යන්නය. දෘෂ්ටිවාදය නම් අදහසට ලබා දිය හැකි සාම්ප්‍රදායික විරෝධය අපට මෙලෙස සූත්‍රගත කළ හැක. “අප සත්‍යය දන්නවා” අවශ්‍ය නම් අපට එලෙස ප්‍රකාශ කළ හැක. නමුත් අවාසනාවකට මෙන් අප මේ ජීවත් වන සමකාලීන යුගයේදී තවත් කෙනෙකුට මෙසේ පැවසිය හැක. “ඔබේ සත්‍යය ඔබට සාපේක්ෂයි. එය අපට අනුව වැරදිය.” මේ වනාහි සමකාලීන ජාතිවාදියාගේ ඉදිරිපෙළ සටන් පාඨයයි. ඒ අනුව සෑම කෙනෙකුටම තමන්ට ආවේණික සත්‍යයක් තිබේ. සෑම පන්තියකට, සෑම ජනවර්ගයකට, සෑම සංස්කෘතියකටම, සෑම ආගමකටම ආවේණික සත්‍යයක් ඇත. එබැවින් කිසිවෙකුට ආධිපත්‍යයික අදහස් දැක්වීමේ අයිතියක් නොමැත. සෑමදෙනාම අනෙකාව ඉවසිය යුතුය. එසේ නම් අප ජීවත් වන්නේ පශ්චාත්-දෘෂ්ටිවාදී සමාජයක ද?

ලුචී අල්තූෂර් නම් මාක්ස්වාදී චින්තකයාට අනුව දෘෂ්ටිවාදය යනු බොරුවක් නොවේ. එය වරදක් කොට සැලකිය යුතුද නැත. එය මුලාවක් හෝ රැවටීමක් ද නොවේ. එය අධිපති සමාජ පන්තිවල වාසියට සාදා ගත් අදහස් පන්තියක් ද නොවේ. දෘෂ්ටිවාදය අපගේ ආත්මීය අවශ්‍යතාවයකි. කැමැත්තකි.

          දෘෂ්ටිවාදය මගින් ඉටුකරන කාර්යය දැනුම විසින් ඉටුකරන කාර්යයට සපුරා වෙනස්ය. මිනිසකු යම් දෘෂ්ටිවාදයක් විශ්වාස කරන්නේ එමඟින් යම් දැනුමක් ඔහුට/ඇයට අත්පත් වන නිසා නොවේ. මහින්ද රාජපක්ෂව විශ්වාස කරන පුද්ගලයකු එසේ විශ්වාස කරන්නේ මහින්ද ඒ තැනැත්තාට “යාථාර්ථය” ගැන අලුත් දැනුමක් ලබා දෙන නිසා නොවේ. ඔහු මහින්දව විශ්වාස කරන්නේ එය ඔහුට ආත්මීය තෘප්තියක් නිසාය. මහින්දව විශ්වාස කරන කෙනෙකු ඉන් ඉවත් කිරීමට දැනුම අදාල කරගත නොහැක්කේ මේ නිසාය.

            ඉහත අර්ථයෙන් ගත් විට දෘෂ්ටිවාදයේ ව්‍යුහය මායාවකි. (illusion) එබැවින් දෘෂ්ටිවාදය යම් කැමැත්තක ප්‍රතිඵලයකි. බූර්ෂුවා ස්‍ත්‍රියක් වූ මෙගාන් මර්කල් රාජ කුමාරයකු වන හැරී සමග විවාහ වීම ගැන සිතීම ඇගේ ආශාවක ඵලයකි. එම අදහස යථාර්ථයේ සැබෑවක් වුවත් එය කැමැත්තක ඵලයක් වනතාක් දුරට එය මායාවකි. මායාවක් පතන වස්තුව සහ ඥානය ගවේෂණය කරන වස්තුව අතර වෙනසක් ඇත. බූර්ෂුවා තරුණියගේ අදහසේ වස්තුව ඇයගේ සැබෑ අනාගතයට සම්බන්ධ නැත. එය ඇයගේ සැබෑ ආශාවයි. බාහිර ලෝකයට සාපේක්ෂව ගත් කල ඇය කතා කරන්නේ බාහිර වාස්තවික ලෝකය ගැන නොව ඇගේ ආත්මීයත්වය හෝ අතිපුද්ගලික හැඟීම් ගැනය. විට්ගන්ස්ටයින්ගේ අදහසක් මෙහිදී අදාල කර ගත හැක. කෙනෙකු සිහිනයෙන් වැස්සක් වසිනවා දුටුවා යැයි මෙනෙහි කරන්න! පසුව ඔහු සිහිනයෙන් ඇහැරී ජනේලයෙන් එළිය බලන විට ඇත්තටම වහිනවා දකියි. නමුත් විට්ගන්ස්ටයින් ප්‍රකාශ කරන්නේ ඇත්තටම එළියේ වසිනවා දුටුවා වුවත් සිහින දකින්නා දුටු දෙය මායාවක් බවයි. මින් අදහස් වන්නේ දෘෂ්ටිවාදය යනු තම ආත්මීය ලෝකයේ සම්මුඛ වන මර උගුලකින් ගැලවෙන්නට තනා ගන්නා බාහිර ප්‍රබන්ධයක් බවයි. ඒ අනුව සමාජ යථාර්ථය යනු ප්‍රබන්ධයක් වන අතර එමගින් ගැලවීමක් සහතික නොවේ. සැබෑ තත්වය වන්නේ සමාජ යථාර්ථය යන්නම පළා යාමක් ලෙසින් වටහා ගැනීමය.

කාල් මාක්ස්ගේ දර්ශනයට අනුව පාරිභෝගික අර්චන කාමය නැතහොත් පාරිභෝගික භාණ්ඩ තර්කයකින් තොරව ඇදහීම අයත් වන්නේ ආර්ථිකයෙන් ඔබ්බෙහි කලාපයක ය. නැතහොත් දෘෂ්ටිවාදය රජ කරන කලාපයකය. නමුත් පාරිභෝගික භාණ්ඩ වටහා ගැනීමට අප හුරු පුරුදු වී සිටින්නේම ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයකය. එබැවින් පාරිභෝගික අර්චනය නොහොත් අප වෙනුවෙන් වස්තූන් හිතීම අවලෝකනය කළ හැකි උදාහරණ මොනවාද?

1) බෝධි පූජා පැවැත්වීම –

  යම් කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීම සඳහා බෝධිය ජලයෙන් දොවා යම් ප්‍රාර්ථනාවක් කරයි. අප වෙනුවෙන් එම කටයුත්ත බෝධිය ඉෂ්ට කරයි.

2) සිත් තැවුලකට පිරිත් ඇසීම –

අධික සිත් තැවුලකින් සිටින කෙනෙකු ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරවා පිරිත් ඇසීමට පටන් ගනියි. ටික වෙලාවක් යන විට ඔබේ දුක් කරදර නිවී යන අතර දිගටම බාහිරින් නො නවත්වා පිරිත් හඬ වාදනය වේ.

3) ඔබ වෙනුවෙන් පටිගත කරන ලද සිනහවක් ධාවනය වෙයි –

 සමහර රූපවාහිනී වැඩසටහන්වල විහිලු වැඩසටහන් ධාවනය වන අතර ඒවායේ විහිලුවලට අප වෙනුවෙන් හිනා වීම ද පටිගත කර ඇත. අපට තිබෙන්නේ නිකන් ඉදීමටය.

4) ඔබේ රහස කුකුළා දන්නවාද? –

තමන් ඉරිඟු කරලක් යැයි සිතන මිනිසකු දීර්ඝ කාලයක් මනෝ ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සුවපත් වී ආරෝග්‍යශාලාවෙන් ගෙදර යවයි. ටික වෙලාවකට පසු නැවත රෝහල වෙත දුවගෙන එන රෝගියා වෛද්‍යවරයා හට මෙසේ පවසයි. “ඩොක්ටර් මම දන්නව  මම ඉරිඟු කරලක් නෙවෙයි කියල, ඒත් අර පාරෙ ඉන්න කුකුළ දන්නවද ඒක?”

 ඉහත කී උදාහරණය කිසිවක් මඟින් සෘජු ලෙස මාක්ස් විසින් පහදන පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය වටහා ගත නොහැක. නමුත් බෝධි පූජා උදාහරණය හරහා ක්‍රියාත්මක වන්නේ ද  ආර්ථික ලෝකය තුළ තහවුරු වූ අදහසකි. එනම් දේවල්වලට අප වෙනුවෙන් විශ්වාස කළ හැකි බවයි. අනෙක් අතට බෝධි පූජාව පවත්වන මොහොතේ දී එම කාර්යයට සහභාගී වී වෙනත් දේවල් ගැන සිතීමට ඔබට බාධාවක්ද නොමැත. තුලනාත්මක සංස්කෘතික අධ්‍යයනවල දී වියැකී යන සත්‍යය වන්නේ දේශීය වැසියන් මෙම වතාවත්වල යෙදෙන අතරතුර වෙනත් අශ්ලීල දේවල් වලට සිත යොමු කිරීමේ විභවතාවයයි.

                            ඊළඟට සිත් තැවුලකට පත් වූවකු පිරිත් ඇසීම සැලකූ විට ගම්‍ය වන්නේ මිනිසාගේ අභ්‍යන්තරික හැඟීම් බහිශ්කරණය විය හැකි ධාරිතාවයි. පුද්ගලයකු සතු අභ්‍යන්තර විශ්වාසයන්, අසංගතතාවයන්, වික්ෂෝපයන් තමන්ගෙන් බාහිර තැනකට විස්ථාපනය කළ හැකිය. පුද්ගලයාගේ චිත්ත අසංගතතාවයන් ඊට බාහිරින් පවතින ගුවන්විදුලිය වෙත යළි සම්ප්‍රේෂණය කළ හැකි අතර ගුවන්විදුලිය එතැනදී තම දුක්ඛදෝමනස්සයන් වෙනුවෙන් පෙනී සිටින බාහිර දූතයෙකි. මින් අදහස් වන්නේ පුද්ගල අසංගතතාවයන්හි නිෂ්ටාවට පිළිතුරක් ලෙස ඊට බාහිරින් දැවැන්ත පෞරුෂයන් හමු වීමයි. රූපවාහිනී වැඩසටහන් මඟින් ප්‍රචාරය වන විහිලු වැඩසටහන් තුළ අප වෙනුවෙන් හිනා වෙන මිනිසුන්ගේ හිනා හඩ කලින්ම පටිගත කොට ඇති නිසා අපට තිබෙන්නේ වැඩසටහන දෙස ඔහේ බලාසිටීම පමණි. බෝධි පූජාවකදී වතාවත් වලට ඉඩ දී අප ඉන් බැහැරව හිතන පරිදි, මෙවැනි රූපවාහිනී වැඩසටහන් වලදී ද අප කරන්නේ අප සිනා නොවී අප වෙනුවෙන් සිනහා වෙන අයට ඉඩ දීමයි. ඊළඟට ඊළඟට කුකුළා සහ ඉරිඟු කරල උදාහරණය හරහා අපගේ විශ්වාසයන් වෙනත් අය වෙතට විස්ථාපනය කළ විට සද්භාවාත්මක ලෙස ඒ අය අත්පත් කරගන්නා නෛසර්ගික බලය මොනවට විද්‍යාමාන වෙයි. එනම් කෙනෙකු තමන්ගේ විශ්වාසයන් බාහිරට තල්ලු කර, ඉන් නිදහස් වීමට තටමන විට අපගේ විශ්වාසයන් වාස්තවික ලෙස පරාර්ථකයන් හරහා බලවත් වෙයි. ඒවා කෙතරම් බලවත් වනවාද යත් ඉන් අපගේ වාස්තවිකත්වය ද තීරණය වෙයි.

            දෘෂ්ටිවාදය සතු අභිරහස් මායාමය ගුණය බාහිර වාස්තවික බලවේගයක් කරා පරිවර්තනය වන ආකාරය ඉහත උදාහරණ හරහා අපට අවබෝධ කර ගත හැක. අපට බාහිර ලෝකය පිළිබදව ඇති ප්‍රබුද්ධ විඥාණය ක්‍රමිකව ආත්මීය වියුක්තනයක් බවට පත් වන රහස් ආකෘතිය ඉහතින් විද්‍යාමාන විය. එවිට යථාර්ථය ලෙස අපට සම්මුඛ වන්නේ එහි ස්වරූපයයි. මෙවැනි මායාවන්ගෙන් මුක්ත වීමේ කදිම තාක්ෂණය වන්නේ සැබෑ ලෝකය සහ බහිශ්කරණය වී වාස්තවික වූ විශ්වාසයන් අතර පවතින පරතරය හාස්‍යය මඟින් ප්‍රශ්න කිරීමයි. දෘෂ්ටිවාදය විචාරය කිරීමේදී හාස්‍යයට  වැදගත් ස්ථානයක් ලබා දිය යුතු වන්නේ හාස්‍යය විසින් නරුමවාදී පරතරය විචාරය කරන නිසාය. මාක්ස්ගේ “ප්‍රාග්ධනය” කෘතිය තුළ මතු කරන වියුක්ත චින්තන ප්‍රවර්ග ජීවය ලබන්නේ ඒවා දෘෂ්ටිවාදය විචාරය කිරීමේ සංඝඨක ලෙස සලකා බලන්නේ නම් පමණි. ඒවා ආර්ථික විද්‍යාවට ඌනනය කරන විට ඒවා සතු ජීව බලය වියැකී යයි.

             ධනවාදය විචාරය කිරීමේ මාක්ස්මය සංකල්ප ලෙස ශ්‍රමය, ප්‍රාග්ධනය, අතිරික්ත වටිනාකම, වැටුප් ශ්‍රමය වැනි සම්ප්‍රදායික මාක්ස්වාදය සහ මාක්ස්වාදීන් වහරණ ලද්දේ දේශපාලන – ආර්ථිකයේ වැඩබිම තුළිනි. කෙටියෙන් කිවහොත් ඉහත මාක්ස්මය සංකල්පවලට පැවතියේ ආර්ථික හරයකි. අනෙක් අතට මෙම ආර්ථික සංකල්ප වහරමින් සමාජ සබඳතා විග්‍රහ කරනු ලැබුවේ පංති සබඳතා, පන්ති ආධිපත්‍යය, පන්තිමය සූරාකෑම වැනි ආධිපත්‍යය මඟින් විග්‍රහ වන සංකල්ප මඟිනි.

             නමුත් 70 දශකය මැද වනවිට කාර්මික ප්‍රාග්ධනයේ ආධිපත්‍යය යුරෝපයේ සහ ඇමරිකාවේ බිඳ වැටෙන විට (මෙම තත්වය රාජ්‍ය ධනවාදය තහවුරු වූ සමාජවාදී රටවලට ද අදාල විය) ප්‍රගතිශීලී බුද්ධිමතුන්, ශිෂ්‍යයන් සහ කම්කරුවන්ට න්‍යායිකව කෙසේ වෙතත් ප්‍රායෝගිකව ලෝකය වෙනස් වෙමින් යන වග දැනෙන්නට විය.

               ඉහත හේතු මත සමාජ – ප්‍රජාතන්ත්‍රවාදයට සහ කොමියුනිස්ට්වාදයට ඒ දක්වා පැවති මහජන සහයෝගය දියාරු වෙන්නට පටන් ගත් අතර නව-සමාජ ජීවිතයක් පරිකල්පනය කිරීමට හැකි විය. පශ්චාත් – නූතනවාදය යන ශෛලියෙන් ආරම්භ වූ මෙම පරිකල්පනය පරිසමාප්ත වූයේ පශ්චාත් – ධනවාදය පිළිබඳ අදහස් වලිනි. ඉතිහාසය සහ ශ්‍රමය පිළිබඳ සංකල්පවල සංක්‍රාන්ති ඓතිහාසිකත්වය ගැටළු සහගත විය. ඒ දක්වා ඉතිහාසය සහ ශ්‍රමය සලකා බැලුවේ සෑම යුගයකටම පොදු දෙයක් ලෙසිනි. නමුත් මාක්ස්ගේ ඉගැන්වීම් මඟින් මතු කරන්නේ ශ්‍රමය සහ ඉතිහාසය යන ප්‍රපංචයන් තුළ පවා ඇත්තේ ආපතිකතාවයකි.(පුරෝකතනය කළ නොහැකි අවිනිශ්චිතභාවයකි) මෙම ලිපිය තුළ අප තර්ක කළ ආකාරයට ශ්‍රමය, පාරිභෝගික භාණ්ඩ, අතිරික්ත – වටිනාකම වැනි චින්තන ප්‍රවර්ගයන්ට මාක්ස්වාදය තුළ (සුවිශේෂ ලෙස ප්‍රාග්ධනය කෘතියේ පළමු පරිච්ඡේදය තුළ) ඇත්තේ හුදු ආර්ථික විද්‍යා වටිනාකම් නොවේ. ඊට අමතරව දැන් අප දන්නා පරිදි එම චින්තන ප්‍රවර්ගවලට දාර්ශණික අරුත් ද පවතියි. ධනවාදයේ හරය විචාරය කිරීමේ දී බොහෝ විට විචාර අක්ෂය ලෙස සලකා බැලෙන්නේ ශ්‍රමයේ ගතිකත්වයයි. වෙළඳපොළ බලවේග විසින් ඉහත යථාර්ථය අවහිර කරනු ඇත යන්න සම්ප්‍රදායික මාක්ස්වාදයේ මූලික ආස්ථානකි. ශ්‍රමය විසින්ම තම වර්ධක ව්‍යුහය ගොඩනඟන බවට විවාදයක් නැත.

ශ්‍රමය සඳහා ඓතිහාසික අර්ථ දෙකක් මාක්ස්වාදය යෝජනා කරයි.

1) ඉතිහාසය දිගේ සෑම යුගයකටම පොදු ක්‍රියාකාරකමක් ලෙස එන ශ්‍රමය පිළිබඳ සංක්‍රාන්ති අදහස.

2) භාණ්ඩයක් නිශ්චිත ලාභයක් ලැබීම සඳහා නිශ්පාදනය කිරීමට අවශ්‍ය වියුක්ත කාලයක් තුළ මනස්ගතවන ශ්‍රමය පිළිබඳ අදහස. ධනේශ්වර සමාජ සබඳතා සුවිශේෂ ගුණයක් වෙනත් යුගවලට සාපේක්ෂව අත් කර ගන්නේ මෙම ගුණය නිසාය. අන් සියල්ල පමණක් නොව ශ්‍රමය ද විකිණිය හැකි, මිළට ගත හැකි පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වෙයි.

             ශ්‍රමයේ අතිරික්ත වටිනාකම් මඟින් නිපදවෙන සමෘද්ධිය (wealth) යන ඉංග්‍රීසි වචනයට සිංහල තේරුම් කිහිපයක් ඇත – වස්තුව, ධනය, සම්පත, සමෘද්ධිය, සශ්‍රීක) හෝ ධනය යනු මාක්වාදී අර්ථයෙන් පුද්ගලික දේපොළයි. මෙම “ධනය” මත පදනම් වන සමාජ සබඳතා, පුද්ගල සබඳතා, ඥාති සබඳතා වැනි පූර්ව-ධනවාදී සබඳතාවලට වඩා ගුණාත්මක වශයෙන් වෙනස්ය. එබැවින් ධනේශ්වර සමාජයක ධනේශ්වර සහ ධනේශ්වර නොවන ආදී වශයෙන් සබඳතා වර්ග දෙකක් උත්පාදනය වෙයි. මින් මාක්ස් තහවුරු කරන්නේ ශ්‍රමයේ වටිනාකම් මත පදනම් වන “වස්තුව” ගැනය. නමුත් ධනේශ්වරය නම් මට්ටමකට වර්ධනය වන විට මේ වටිනාකම් (value) මත පදනම් වන සමාජ-ක්‍රමය අර්බුදයකට ලක්වේයි. එනම් “වටිනාකම” නම් ප්‍රවර්ගය යල් පැන ගිය තත්වයකට (Anachronism) පත් වෙයි. සරලව කිවහොත් ශ්‍රම-කාලය මත පදනම්ව සමාජීය නිශ්පාදනයක් සිදු කිරීම ලෝකයේ කොතැනත් යල් පැන ගිය තත්වයක් උදා වෙයි. “පශ්චාත් – ධනවාදය”  (Post- Capitalism) යන අදහස මතු වන්නේ මෙතැනිනි. ධනවාදයට ප්‍රජාතන්ත්‍රවාදය සමඟ එකට යා නොහැකිය යන ප්‍රවාදය මතු වන්නේද මෙතැනිනි. ප්‍රාග්ධනයේ සීමාව එයමැයි මාක්ස් පවසන්නේ මේ නිසාය.

            ගෝලීයකරණය වැනි පදවලින් ධනවාදය අවකාශීය ප්‍රපංචයක් ලෙසින් හඳුනා ගැනේ. එනම් ධනවාදය යනු අවකාශය හා සම්බන්ධ දෙයක් ලෙසිනි. නමුත් “ප්‍රාග්ධනය” කෘතිය සමීපව හදාරණ විට වැටහෙන්නේ ධනවාදය යනු කාලය මගින් මිනිසුන් ආධිපත්‍යයට ගැට ගැසීමයි. ධනවාදී ව්‍යුහයේ නියම අර්ථය ලෝකයේ ඕනෑම තැනකට සාපේක්ෂව වඩාත්ම ලාභ උපදවන භාණ්ඩ නිෂ්පාදනයට අදාල ශ්‍රම – කාලයයි. මෙය වියුක්ත කාලයයි. මෙම වියුක්ත කාලය පිළිබඳ ගණන් තැබීමෙන් තොරව කරන නිශ්පාදන ධනවාදී ආර්ථිකයක් පෝෂණය නොකරයි. එබැවින් මෙම කාලය යම් සමාජයකට සුවිශේෂීය. එය 80 දශකයේ ජපානයයි. 90 දශකය තුළ එය දකුණු කොරියාවයි. 21 වැනි සියවසේ දෙවැනි දශකය වන විට එය චීනය බවට පත් වී ඇත. ඒ අනුව මාක්ස් විසින් පැහැදිලි කරන සමාජ ආධිපත්‍යය අදාල වන්නේ මිචෙල් ෆූකෝ සාකච්ඡා කළ පරිදි අවකාශීය (සිරගෙවල්, මානසික රෝහල්, පාසල්, ෆැක්ටේරිය) යථාර්ථයන්ට නොව, සරල රේඛීය නොවන ඓතිහාසික ගතික-කාල-රාමූන්ට ය. මෙම තත්වය පරිගණක මත පදනම් වන සමාගම්වලට-ඇමසොන්, ෆේස්බුක්, වින්ඩෝස්, ගූගල්- අතිශය සමීප යථාර්ථයකි. ඔවුන් දැඩි අවධානය යොමු කරන්නේ අවකාශයට නොව කාලයටයි. ප්‍රාග්ධනයේ මූලය ඇත්තේ අවකාශය තුළ නොව අවකාශ-කාලය තුළ බව ඔවුන් හොඳින් දනී. ෆේස්බුක්හී පැය 8 ක් පමණ සැරිසරන පුද්ගලයකු තමා ගැනත් අන්‍යයන් ගැනත් නොමිලේ සමාගමට ලබා දෙන තොරතුරු ප්‍රමාණය මිල කරන්නේ කෙසේද?. ස්වරූප රාගය හරහා ප්‍රාග්ධනයට දැන් සමුච්ජනය වීමේ ධාරිතාවක් ලැබී ඇත ”ලුබිය – ආර්ථිකය” විඥානය නම් වක්‍ර මාර්ගය අතහැර අවිඥාණය හරහා ප්‍රාග්ධනයට සෘජු ලෙස plug වී ඇත. විෂ්ණු, ලක්ෂ්මී, කතරගම වැනි පැරණි මහා අනෙකුන්ට ෆේස්බුක්, ට්විටර්, ඇපල් ආදේශ වී ඇත.

          70 දශකයට පසු අතිරික්ත -වටිනාකම් මත පදනම් වන ධනය ඉපැද්දීම අර්බුදයට ගමන් කරයි. වැඩියෙන්ම ලාභ ලැබිය හැකි ෆෝඩ් ආකෘතිය ද ක්‍රමිකව අභාවයට යන අතර වටිනාකම මත ධනය ඉපිදවීම සමාජීය වශයෙන් අර්බුදයට යයි. යුරෝපය යනු ධනවාදයේ මූලය හටගත් අවකාශයයි. ධනවාදයේ මූලික අර්බුදය පළමුව සටහන් වන්නේ ද යුරෝපා සහ ඇමරිකානු ආර්ථිකයන් තුලය. ප්‍රාග්ධනය යනු ස්වයං-වර්ධනයට ලක්වන සාරයකි. ඊට චරිත, රටවල්, නිෂ්පාදන ව්‍යුහ අවශ්‍ය වන්නේ නැත. ලාභය සහ වටිනාකම් නිපදවීම සඳහා ප්‍රාග්ධනය ඕනෑම තැනකට සහ ඕනෑම පුද්ගලයකු වෙතට ගමන් කරයි. නමුත් ශ්‍රමයෙන් ප්‍රතිලාභ ලැබීම අර්බුදයට ලක්වන විට ප්‍රාග්ධනය හැරෙන්නේ කුමන දිශාවකටද?.

             එකතැන පල්වෙන පවුලක් සහ රටක් තමන්ට ඉතුරු කළ දෙයක් නොමැති නම් ඊළඟට හැරෙන්නේ ණය ලබාගැනීම දෙසට ය. ඉන් අදහස් කරන්නේ ප්‍රාග්ධනය මූල්‍ය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වීමත්, සමාජ සබඳතා මූල්‍යකරණය වීමත් ය. අතිරික්ත වටිනාකම් මත ප්‍රාග්ධනය එක්රැස් වීම වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය මිනිසුන්ට ණය ලෙස (කල්බදු ක්‍රමය හරහා දේපොළ ලබා ගැනීම- මින් අදහස් වන්නේ අනාගතයේදී අත්පත් කරගත හැකි යැයි සමපේක්ෂණය කර දේපොළ ණයට ගැනීමයි) ලබා දී එමගින් ලාබ ලැබීමට උත්සාහ කිරීම ධනවාදයට විකල්ප සමාජ සබඳතා නිර්මාණය කිරීමකට සමානය.  පසුගියදා ශ්‍රී ලංකාවේ මහා බැංකුව හරහා සිදුවූ පොරොන්දු පත්‍ර ගණුදෙනුව යනු ද සමාජය මූල්‍යකරණය වීමේ විපාකයකි. මා මේ පිළිබදව ඉදිරිපත් කරන්නේ හොඳ- නරක පිළිබඳ සදාචාර මතයක් නොව ලාභය මත පදනම්ව නිෂ්පාදනය කිරීම යල්පැන ගිය දෙයක් වී ඇති බව පෙන්වීමටය. නිෂ්පාදනය එකතැන පල්වන විට සමාජය මූල්‍ය ප්‍රාග්ධනය හරහා ලාබ සමපේක්ෂණය කිරීම කිසිවකුට වැලැක්විය නො හැකිය. මූල්‍යකරණය යනු ලාභය සඳහා ඕනෑම මූලාශ්‍රයක් යෙදවීමයි. එය ජීවිතයේ සිට මුහුදේ වැලි දක්වා ප්‍රසාරණය වෙයි.

          මූල්‍යකරණය තුළින් වටිනාකම් නිපදවීම හරහා (එතෙක් කල් පැවති හර පද්ධතිය) අහෝසි වන්නේ ධනේශ්වර සබඳතාය. ධනේශ්වර ක්‍රමය තුළ ධනේශ්වර සහ ධනේශ්වර විරෝධී යනුවෙන් සබඳතා වර්ග 2 ක් ජනනය වෙයි. ශ්‍රමය මගින් ගොඩ ගැසෙන ධනය තවත් පැත්තකින් මූල්‍යකරණය හරහා ස්වයං භක්ෂණය  වෙයි. (Auto-immune) නිෂ්පාදනය සහ ප්‍රතිනිෂ්පාදනය යන දයලෙක්තිකයක් තුළට සමාජ සබඳතා ගාල් වන අතර එමඟින් නව සමාජ ප්‍රතිවිරෝධයක් හට ගනී. මෙම ධනපති විරෝධය ධනවාදය විසින්ම උපද්දන අතර එය විසින්ම අවශෝෂණය කරයි. එම ද්විත්ව ආචරණය හඳුනාගත් දේශපාලන ව්‍යාපාර ලොව තවම ගොඩ නැඟී නැත. මෙම හේතුව නිසා එකපැත්තකින් පරිසරය විනාශ වෙමින් පවතින අතර අනෙක් පසින් වැඩ කිරීම (working ) යන්නද අර්බුදයට ලක්වී ඇත.

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.