මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කලු ජූලිය සිද්ධ වුණේ අපේ ඇස් ඉස්සරහ.

 

ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ අත්දැකීමක්.

ජූලි කළබල දවස් මැද්දේ මට දුරකථන පණිවිඩයක් ආවා කොටුව තරුණ ක්‍රිස්ත්‍රියානි සංගමයේ කාර්යාලයේ තිබුණූ ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරයේ කුඩා කාර්යාලයේ හිටපු කාගෙන් හරි. ඒ දවස්වල මං ජීවත්වුණේ බත්තරමුල්ලෙ. ඔවුන් කිව්වා ‘ඉක්මණට එන්න, ඇවිත් කෙනෙක් අරං යන්න තියෙනවා’ කියල. මං ඒ වෙලේ ම බස් එකකට නැඟල කොටුවට ගියා. මං ඒ ළමයා ගැන දැනන් හිටියෙ නැහැ. පේරාදෙණිය සරසවියේ ශිෂ‍්‍යයෙක්. සරමකුයි ෂර්ට් එකකුයි ඇදගෙන තමයි උන්නෙ. මං කිව්වා ‘‘ හරි යමු’’ කියලා. ඔහු අරගෙන ගිහින් බස් එකකට නග්ග ගත්තා. මං හරියට බයවෙලා හිටියේ. මොකද කළබල අස්සේ කොටුවේ ඉඳල බත්තරමුල්ලට යන එක ලේසි නැති නිසා.

තැන් ගණනාවක දී ම කළහකාරී පිරිස් බස් එක නැවැත්තුවා. ප්‍රශ්න ඇහුවා. උත්තර දුන්නේ මං. ඔහු කටවත් ඇරියෙ නැහැ. ඇත්තට ම නම් ඔහු හිටියේ මටත් වැඩියෙ හොඳට ම තිගැස්මෙන්. මං බයෙන් උන්නේ තදබල තිගැස්ම නිසා ඔහු වැඩි දුර හිතන් නැතුව මොනව හරි දෙයක් කරාවි ද කියල. කොහොම හරි මං කරදරයක් නොවී ඔහු අපේ ගෙදරට එක්ක ගියා. පස්සේ ඔහු වඩා ආරක්ෂක ස්ථානයකට යවන්න අපට පුලුවන් වුණා. ඒ තමයි පසු කාලෙක ජනමාධ්‍යවේදියකු ලෙස ප්‍රසිද්ධ වූ සිවරාම්.

එදා ඒ විදියට ජිවිතය බේර ගත්ත ඔහු 2004 අප්‍රේල් මාසෙ රාජ්‍ය ඝාතකයන්ට බිලිවුණා.

83 ඇති කළ කම්පනය 1971ටත් වඩා සැර එකක් වුණේ එ් විසින් අපේ සමාජයේ තිබෙන බෙදීම ඉස්මත්තට ගෙන ආපු නිසයි. ඒ කියන්නේ දෙමළ සහ සිංහල මිනිස්සු අතර තියෙන බෙදීම. මං හිතන්නේ එම බෙදීම වසර 31කට පස්සෙත් (මෙම පිළිසඳර ඇතිවූයේ 2014 ප්‍රථම භාගයේදී ය) තවම අපට ජයගන්න බැරිවෙලා තියෙනව.

දෙමළ මිනිස්සු නැව්වලට පටවලා යාපනයට යැව්වා. කෝච්චිවලට පටවලා වවුනියාවට, මඩකළපුවට යැවුවා. කොයිතරම් මැද පන්තික දෙමළ ජනයාට අයත්ව තිබූ නිවාස විනාශ කරා ද? ගිනි තිබ්බ ද? මං දැනන් හිටපු අයගෙන් නිවාස ගිනිබත් කළ, නැවෙන් පටවල යාපනයට යවපු දුක් කතා දිගටම හුඟාක් අහන්න ලැබුණ. ඊට පස්සේ ඔවුන් කැනඩාවට හරි වෙනත් රටකට හරි ගියා. ඔවුන් ආපහු ආවේ නැහැ.

එක අතට 1971 සමාජ සාධාරණත්වය පිලිබඳ මා තුළ ඇති කළ පෙළඹවීම හා සමානව 1983, ජනවාර්ගික යුක්තිය පිළිබඳ පෙළඹවීමකට තුඩු දුන්නා යැයි කියන්න පුළුවන්. ඇත්ත වශයෙන් ම නම් දෙමළ සහ සුළුතර අයිතීන් මානව හිමිකම් කතිකාවතෙහි කොටසක් බවට පත් වුණේ 1983න් පස්සේ.

ස්ත්‍රී අයිතිවාසිකම් උනන්දුව

මං හිතන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ මගේ මුල් උනන්දුව ඇතිවුණේ 1970 ගණන් මුල් කාලයේ කියල යි. එක්සත් ජාතින්ගේ සංවිධානය ‘කාන්තා වර්ෂය’ දියත් කරල තිබුණා. සිරිමාවෝ බණ්ඩරනායක තමයි එතකොට අගමැතිනිය වුණේ. ඇය ලෝකයේ මුල්ම අගමැතිනිය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා. ‘කාන්තා වර්ෂය’ වෙනුවෙන් විශාල සම්මන්ත්‍රණයක් මෙක්සිකෝවේ පවත්වන්න වැඩකටයුතු සංවිධානය වෙමින් තිබුණා. ඒ සඳහා ලංකාවේ තොරතුරු දෙපාර්තමේන්තුව ‘ශ්‍රී ලංකාවේ කාන්තාවෝ’ නමින් ප්‍රකාශනයක් සුදානම් කරමින් තිබුණා. ඒ සඳහා ‘කාන්තාව සහ මාධ්‍ය’ නමින් පිටු දෙකක් ලියා දෙන්නැ යි මට ඇරයුමක් ලැබුණා. මා ළග ඒ ප්‍රකාශනයේ පිටපතක් නැහැ. සමහරවිට කුමාරි ජයවර්ධනගේ පුස්තකාලයේ තියෙන්න පුලුවන්. මා ලියූ ලිපියත් තිබූ එම පොත ආණ්ඩුවේ අය මෙක්සිකෝවට අරගෙන ගියා. ඒ සිදුවීම හරහා තමයි මං කුමාරි ජයවර්ධන හඳුනා ගත්තේ.

ඉන් පස්සේ 1975 වර්ෂයේ දි කුමාරි ජයවර්ධන කිව්වා මැයි දිනය වෙනුවෙන් පත්‍රිකාවක් ලියමුයි කියලා. අප එය ලිව්වේ ‘කාන්තා හඬ’ නමින්. එතකොට මාලා දසනායකත්, කුමාරි එක්ක වැඩ කරමින් උන්නෙ. අපි ඒ පත්‍රිකාව මුද්‍රණය කරල වමේ මැයි දින රැස්වීම්වල බෙදුවා. එතනින් තමයි ‘කාන්තා හඩ’ සංවිධානයක් විදිහට ආරම්භ වුණේ. පසුව ක්‍රමවත් සංවිධානයක් විදිහට එය පිහිටුවා ගත්තා. පසුව එය සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රිසියෙන් ‘කාන්තා හඬ’ නමින් සඟරාවක් ප්‍රකාශයට පත් කරා.

මේ කාලයේ ස්ත්‍රී අයිතිවාසිකම් ගැන රටේ පොඩි දේශපාලන උන්නදුවක් ඇතිවේගෙන ආව.1977 න් පස්සේ නිදහස් වෙළඳ කලාපය ආරම්භ වුණා. ස්ත්‍රී ශ්‍රමිකයින් දහස් ගණනාවක් එහි රැකියාවන්ට ආව. ඔවුන්ගේ වැඩ තත්වය සහ සමාජීය ප්‍රශ්න ගැන උනන්දුවක් ඇති වුණා. මේ වෙන කොට අග්නි දිග ආසියාවෙ අනෙක් රටවලත් නිදහස් වෙළද කලාප ස්ත්‍රී ශ්‍රමිකයින් පිළිබඳ පුලුල් සාකච්ඡාවක් ඇතිවෙලයි තිබුණෙ.

තායිලන්තය වැනි රටවල ස්ත්‍රී ශ්‍රමිකයින් ගැන කළ සමීක්ෂණ අපටත් අදාළ වෙන්න ගත්ත. එක්සත් රාජධානියෙහි වූ ‘සංවර්ධනය පිලිබඳ පිලිපීන ආයතනය’ ලංකාවෙත් එවැනි සමික්ෂණයක් පැවැත්වූවා. කුමාරිත් ඊට දායක වුණා. ආචාර්ය කේ. තියාන් ශ්‍රී ලංකාවේ එවැනි පුළුල් සමීක්ෂණයක් කරා. මට මතක හැටියට සේපාලි කොට්ටේගොඩත් ශ්‍රීන් සමරසූරියත් ඊට සම්බන්ධ වුණා. ඉන් පස්සේ 1981 දි කොළඹ පුළුල් අන්තර් ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. මලයාසියාව, පිලිපීනය සහ තවත් අග්නිදිග ආසියාතික රටවලින් සෑහෙන නියෝජිත පිරිස් ඊට සහභාගි වූණා. එයට ලංකාවෙන් සහභාගි වුණේ කුමුදුනී රෝසා. නිදහස් වෙළඳ කලාප ස්ත්‍රී කම්කරුවන්ගේ තත්වය සහ ඉදිරිය ගැන එහිදි කතා බහක් ගොඩ නැඟුණා.

පොලිටෙක්ස් වර්ජනය සහ ස්ත්‍රී සහයෝගිතාවය

මට මතක හැටියට ඒ අනුසාරයෙන් කුමුදුනී රෝසා සහ කුමුදුනී සැමුවෙල් එකතුවෙලා නිදහස් වෙළඳ කලාප ස්ත්‍රීන් සංවිධානය කිරීමට සහ ඔවුන්ට සහය වීමට ‘ස්ත්‍රී මධ්‍යස්ථානය’ පිහිටුවේවා. ඔන්න එතකොට සුප්‍රසිද්ධ පොලිටෙක්ස් ගාර්මන්ට් වැඩ වර්ජනය පැන නැගුණා.

මේ වැඩවර්ජනය අතරතුර කුඩා ස්ත්‍රී කණ්ඩායම් සහයෝගිතාවය දෙන්න ඉදිරිපත් වුණා. ඇනීටා ප්‍රනාන්දු සමඟ මාලඹේ ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, නිමල්කා ප්‍රනාන්දු සමඟ මීගමු කාන්තා කමිටුව සහ සමස්ත ලංකා ගොවි සම්මේලනයට සම්බන්ධව ගොඩ නඟා තිබූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ යනාදී කණ්ඩායම්. මේ වෙන කොට ස්ත්‍රී ප්‍රශ්න ඇසුරින් එවැනි කුඩා ස්ත්‍රී නායකත්වයෙන් යුතු කණ්ඩායම් ගණනාවක්ම බිහිවී තිබුණා.

මේ තත්වය යටතේ තමයි අප 1983 දී කාන්තා දිනයක් පැවැත්වීමට තීරණය කළේ. තිස්ස බාලසුරිය පියතුමා පවත්වාගෙන ගිය මරදානේ සමාජ සහ සමායික කේන්ද්‍රයේ තමයි අප හමුවුණේ. ස්ත්‍රී අයිතිවාසිකම් අරගලයට හුඟාක් සහාය දුන් බර්නඩීන් සිල්වාත් ඒ වෙන කොට එහි සේවය කළා. ඒ රැස්වීමට කුමුදුනී රෝසත් ආව. ප්‍රගතිශීලී කාන්තා පෙරමුණෙන් ආ බණ්ඩාර මැණිකේ ස්කාප් එකක් පැළඳ සිටියා මට මතකයි. අප හුඟ දෙනෙක් එකට හමුවුණේ ඒ අවස්ථාවෙදි. මගේ අම්මෝ, ‘මෙන්න ගැමි කාන්තාවන් නියෝජනය කරන්න ස්ටයිල්කාර එක්කෙනෙක් ඇවිල්ල’යි අපි කතා වුණා. අපි විහිලුත් කරා. ඒත් කාලෙකට පස්සේ දැන ගන්න ලැබුණා සෙරොව්වක් ළඟ නාද්දි වතුර මැෂිමකට අහුවෙලා ඇගේ හිස කෙස් කඩාගෙන ගිහින් තිබුණ කියල. ස්කාප් එකක් බැඳන් හිටියෙ ඒ නිසා. ඒ රැස්වීමට ඇනීටා ප්‍රනාන්දුත් ආව‍.

එම රැස්වීමෙදි අප තීරණය කරා එක්තරා විදිහක කුඩා ජාලයක් හදා ගන්න කාන්තා ක්‍රියාකාරී කමිටුව කියලා. පුල්සරා ලියනගේත් මුල ඉද‍‍‍ල ම කමිටුවෙ හිටිය. පසසේ ඇයට කාලයක්ම අත් අඩංඟුවේ ඉන්න සිද්ධ වුණා නිර්මලා
නිත්‍යනන්දන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්.

ඒ කමිටුව හරහා අප බොහෝ ක්‍රියාකාරිත්වයන්හි යෙදුණා. මුල ඉඳලම අපට පැහැදිලි අදහසක් තිබුණා යාපනයේ ස්ත්‍රී කණ්ඩායම් එක්ක සබඳතා පිහිටුවා ගන්න අවශ්‍ය බවට. ඒ වන විට යාපන ස්ත්‍රී අධ්‍යයන කවය පිහිටුවා තිබුණා. චිත්‍රලේඛා මවුනගුරු එහි ක්‍රියාකාරී කොටසක් රඟපෑව‍. ඇය ඊට කලිනුත් අප එක්ක වැඩ කරල යි තිබුණේ. ඔවුන් ‘නිර්මලා නිත්‍යනන්දන් නිදහස් කරනු!’කියන සටන් පාඨය ඉස්සරහට දාල තිබුණ. මොකද ඒ වන විට නිර්මලා සහ තවත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට අරන් තිබුණ නිසා. නිර්මලා කියන්නේ රාජිනී තිරාණගමගේ වැඩිමහල් සහෝදරිය.

1983 මාර්තු 08 වෙනිද අප විරෝධතාවයකුයි නව නගර ශාලාවේ රැස්වීමකුයි පැවැත්තුව. අපේ විරෝධතාවයට ඉඩ නොදුන් පොලීසිය නව නගර ශාලාවේ තාප්පය ඉස්සරහ ස්ත්‍රීන් කිහිප දෙනෙකුට සටන් පුවරු ඔසවාගෙන ඉන්න දුන්න. මේ රැස්වීමට යාපනයෙන් ආ පත්මිනී සිදම්බරනාදන් පසුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බවට පත් වුණා.

පංති දේශපාලනය සහ සුළුතර දේශපාලනය

මේ රැස්වීමෙන් පස්සේ අපේ ක්‍රියාකාරී කමිටු ජාලය සෑහෙන ශක්තිමත් විදිහට ඉස්සරහට ගියා. මේ ක්‍රියාකාරිත්වය මගේ පැත්තෙන් හුඟාක් වැදගත් දේශපාලන අවස්ථාවක්. ඇයිද කියනවා නම් ‘කාන්තා ක්‍රියාකාරී කමිටුව’, පංති සවිඥානික දේශපාලනය සහ ශ්‍රී ලංකාවෙහි සුලුතර අයිතිවාසිකම් සමඟ ස්ත්‍රීවාදී දේශපාලනය සම්බන්ධ කළ නිසා.

මං හිතන්නේ නූතන ශ්‍රී ලංකාවේ පංති දේශපාලනය සහ සුලුතර දේශපාලනය එක් කිරීමට උත්සාහ ගත් ප්‍රථම ප්‍රගතිශීලි පෙරමුණ තමයි මේ ‘කාන්තා ක්‍රියාකාරී කමිටුව’.

ඒ කාලයේ මේ සංවිධාන ප්‍රසිද්ධ කළ පත්‍රිකා සහ ප්‍රකාශන දෙස බැලුවහම පෙනෙයි එය දේශපාලන සවිඥානිකත්වයකින් යුතු පෙරමුණක් බව‍. ඒ වාගේ ම ස්ත්‍රී මූලිකත්වයෙන් යුතු විවිධාකාර සංවිධාන සෑහෙන ගණනක් ඒ කාලයේ බිහිවුණා. කාන්තා ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම ඉතා වැදගත් දේශපාලන සන්ධිස්ථානයක්. එහි එක් එකඟතාවයක් වුණේ ස්වයං තීරණයට දෙමළ ජනයාට ඇති අයිතිය පිළිගැනීම. එමෙන්ම මර්දනකාරී අණපනත් අහෝසි කිරීමත් ඒ අතර තිබුණා.

මේ අතරවාරයේ 1983 කලු ජූලිය ඇතිවුණා. ඒ නිසා බොහෝ දේ සහ අවස්ථා වෙනස් වුණා. කාන්තා ක්‍රියාකාරී කමිටුවට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී අයිතින් උදෙසා කරන්නට ඉඩ තිබූ සහ කළ හැකි දේත් සීමාවුණා. නමුත් 1984 දීත් සෑහෙන ස්ත්‍රී සහභාගිත්වයක් සහිත පා ගමනක් යාමට සහ රැස්වීමක් පවත්වන්න අපට පුළුවන් වුණා. ඒකටත් පොලීසියෙන් ගැහුව. 1987 වන තුරු වසර කිහිපයක්ම එම කාන්තා දින රැස්වීම සාර්ථකව පැවැත්වීමට කාන්තා ක්‍රියාකාරී කමිටුව සමත් වුණා.

භීෂණය ඇති කළ නිහඬතාවය

කාන්තා ක්‍රියාකාරී කමිටුවට පිටින් ‘සාමය සඳහා කාන්තාවෝ’ කියන කුඩා එකතුව ආරම්භ වුණේ 1984 වර්ෂයේ දි. මා ඒ ක්‍රියාකාරිත්වයටත් දායක වුණා. එය ආරම්භ වුණේ 1983 කලු ජූලියට ඍජු ප්‍රතිචාරයක් විදිහට. ‘සාමය සඳහා කාන්තාවෝ’ කුඩා විරෝධතා ව්‍යාපාර සහ හොඳ මහජන ප්‍රචාරක වැඩ ටිකක් දියත් කළා. කොළඹ කේන්ද්‍රීය කුඩා ලිබරල්වාදී එකතුවක් වූ එය මර්ජ් ව්‍යාපාරය සමඟ ඉතා ළඟින් කටයුතු කරා. නමුත් මං හිතන්නේ කුඩා ස්වේච්‍‍‍‍‍‍චක එකතුවක් වූ නිසා එයට දිගට ම වැඩ කරගෙන යන්න බැරි වුණා. 1986 වර්ෂය විතර වන විට එය නැතිව ගියා.

එවැනි මූලිකත්වයන් ගණනාවක්ම ජාතිකවාදී දේශපාලනය විසින් යටපත් කර දැම්මා කියලයි මට හිතෙන්නේ.

දේශපාලනයේ වාර්ගික පැතිකඩ ඉතා ශක්තිමත් වෙන්න පටන් ගත්තා, අනෙක් පිරිස් පසුබස්සන තරමට.දාහරණයක් විදිහට ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ වැඩකළ සමහර ගම්බද පෙදෙස්වල ඔවුන්ට සුලුතර අයිතීන් ගැන කතා කරන්න බැරුව ගියා. උතුරේ සිදුවූ මර්දනකාරී යුද දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට විරුද්ධව කතා කරන එක දුෂ්කර වෙන්න ගත්ත. ඒක අපට හුගාක් අමාරු කාලයක් වුණා. යුද්ධය තීව්ර වෙන කොට උතුරේ සංවිධාන සමඟ සබඳතා පැවැත්වීම දුර්වල වෙන්න ගත්ත. මේ සියල්ල වුණේ ඉතා කෙටි කාලයක් ඇතුළෙ.

1988 වෙන කොට මහා පරිමාණ ඝාතන ආරම්භ වුණානෙ. එතකොට බිය ජනක තත්වයක් ඇති වුණා, හැමෝම පසු බස්සන තරමට. ඇතිවුණේ නිශ්ශබ්දතාවයක්.

එවැනි තත්වයක් අවසානයේ තමයි 1990 වර්ෂය මුලදි ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ අත්සන් විශාල ප්‍රමාණයක් එක්ක යුද විරෝධී කාව්‍යයක් පුවත්පත් දැන්වීමක් විදියට පළ කළේ. එය ආරම්භ වුණේ දකුණෙන් සහ උතුරෙන් එන අපට අපේ දරුවන්ට වෙන දේ දැන ගන්න ඕනෑ කියලයි.

ඔය විදිහට 1980 දශකයේ මුල් අවුරුදුවල පටන් ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාර ගණනාවක් සහ කාන්තා ක්‍රියාකාරි කමිටුව තිබුණා. ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ 1990 මුලදි ආරම්භ වුණා.එය උත්සාහ කළේ ස්ත්‍රීවාදය සමඟ යුද්ධයෙන් බැටකන මානව හිමිකම් ඒකාබද්ධ කරන්නයි. මගේ ස්ත්‍රීවාදී දේශපාලනය මේ සිදුවීම් හරහා තමයි ගමන් කළේ.

සුනන්ද දේශප්‍රිය

Lankanewsweb

ඔබේ අදහස කියන්න...