ලංකාවේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ට සහ ගැහැණුන්ට රහසේ සුනිලා අබේසේකර සැප්තැම්බර් 11 වනදා මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය. ඇය සාමාන්‍ය මිනිසුන්ට රහසේ නික්ම ගියායැයි මා කියන්නේ ඔළු දෙකේ හරකෙකු ඉපදීම හෝ දෙබෙදුණු පොල් ගසක් ඇතිවීම වැනි ආන්තික කරුණු පවා මහත් අභිරුචියෙන් ප්‍රවෘත්ති සේ පළකරන ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලට ඇගේ මරණය ප්‍රවෘත්තියක් නොවීම නිසා සාමාන්‍ය මිනිසුන්ට ඒ ගැන තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කරන ලද බැවිනි.

මහරගමට ඇද හැලුණු මහවැසි නොතකා ලංකාවේ මානුෂීය සමාජයට අයත් මිනිස්සු සහ ගැහැණු විශාල සංඛ්‍යාවක් සුනිලාට සමුදීමට පැමිණියහ. ඇගේ පවුලේ ඥාති හිතවතුන් හැරුණු විට සුසාන භූමිය පිරී ඉතිරී ගියේ විටෙක එකඟ වෙමින්ද, තවත් විටෙක මාරාන්තික ලෙස විරුද්ධ වෙමින්ද සමාජ, දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ඇය හා උරෙ‛නුර ගැටී සටන් කළ සටන් සගයින්ගෙන්ය.

ශිෂ්ට සමාජයක ප්‍රමිතිය වන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව හිමිකම් කඩකිරීම පිළිබඳව ඇයගේ කොන්දේසි විරහිත, නිර්දය විවේචනයට ලක්වූ ආණ්ඩුවේ දේශපාලනඥයකුගේ හෝ නිලධාරියෙකුගේ පා පහසින් එම අවමංගල්‍ය උත්සවය නොකැළැල් වීම සමහර විට එහි වැදගත්ම ලක්ෂණය වූවා විය හැකිය. ජාතිවාදය මත පදනම්ව තම ආධිපත්‍යය තහවුරු කරගෙන, බහුතරයේ කැමැත්තද සහිතව සුළුතරයේ මානව හිමිකම් උල්ලංඝනය කරන පාලක රෙජීමය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් මානව හිමිකම් ක්‍රියාධරිනියක ලෙස සුනිලා විසින් කරන ලද කොන්දේසි විරහිත විවේචනය හමුවේ එම අවමඟුලට සහභාගි වීමෙන් තම ගුරුත්ව කේන්ද්‍රය අහිමි වනු ඇතැයි පාලකයන් නිවැරැදිව කල්පනා කළා විය හැකිය. ආණ්ඩුව විසින් මල් වඩම් එවනු ලැබූ මහාචාර්ය ගම්ලත්ගේ හෝ ලසන්ත වික්‍රමතුංගගේ මරණයට මෙන්ම ආණ්ඩුව විසින් සංවිධානය කිරීම පවා භාරගත් දොස්තර ජයලත් ජයවර්ධනගේ අවමඟුලට වඩා සුනිලාගේ අවමඟුල දේශපාලනික වන්නේ එබැවිනි. තානාපති කාර්යාලවල සාද කවවලදී හෝ ජිනීවා සහ නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ සභා තුළදී සුනිලාට අතට අත දී ඇය තමාගේ මිතුරියකයැයි කියන ආණ්ඩුවේ දේශපාලකයින් හා නිලධාරීන්ට පවා ඇයගේ අවමගුල් උත්සවය අකැප භූමියක් විය.

සමාජය තුළ සමාජ පන්ති පවතින බවත්, ආධිපත්‍යය හිමි සමාජ පන්තිය විසින් අනෙක් සමාජ පන්තීන් පෑගීමට ලක් කරන බවත් සුනිලා පිළිගත්තාය. මැද පන්තියේ උපත ලබා එහි සමාජ සංස්කෘතික සම්ප්‍රදායන් උරුම කරගත් ඇය පහළ පන්තිය සමඟ එක්ව දේශපාලනයට පිවිසෙන්නේ එබැවිනි. එමෙන්ම සමාජය තුළ ජාතික පීඩනයක් පවතින බවටත්, සුළු ජාතීන්ට දේශපාලන අයිතිවාසිකම් ලබා නොදී ඔවුන් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකීමට ලක් කරන බවද ඇය පිළිගත්තාය. එකී ජාතික පීඩනය මගින් බහුතර ජාතියේ කැමැත්ත ලබාගන්නා ආධිපත්‍යය දරණ පන්තිය පීඩිත පන්තීන් විසින් එයට විරුද්ධව මතු කරන්නට නියමිත අභියෝගය මොට කරන බව අත්දැකීමෙන්ම දැන සිටි ඇය එහෙයින් පන්ති පීඩනයට මෙන්ම ජාතික පීඩනයටද විරුද්ධව එකවර සටන් කළ යුතු බව පිළිගත්තාය. බොහෝ දෙනෙකුට අමතක වුවද ඇය ඒ සඳහා දේශපාලන පක්ෂයකට බැඳී, එහි විනයට යටත්වී සටන් කළ අතර ඇය තෝරාගත් දේශපාලන පක්ෂය වූයේ ‛ජනතා විමුක්ති පෙරමුණ’ යි.

පන්ති දේශපාලනය ජාතික පීඩනය ඉවසමින් පීඩකයා සමඟ සන්ධානගත වන විට සහ ජාතික පීඩනයට එරෙහිව සටන් කරන බලවේග පන්ති දේශපාලනය පිළිබඳ විශ්වාසය අත හරින විට ඇය යොමු වූයේ අනන්‍යතා දේශපාලනය කෙරෙහිය. ඒ අනුව පළමුව ස්ත්‍රීන්ට එරෙහිව සියළු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කොට ස්ත්‍රී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සහ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ දේශපාලනය වෙතද, දෙවනුව විවිධ ලිංගික වරණයන් සහිත පුද්ගලයන්ට එම අනන්‍යතා රැකගනිමින් මනුෂ්‍යයකු වශයෙන් සමාන ගරුත්වය ඇතිව ජීවත්වීමට ඇති අයිතිවාසිකම රැකගැනීමේ දේශපාලනය වෙතද ඇය ප්‍රවිෂ්ට වූවාය. එහෙත් පන්ති පීඩනය සහ ජාතික පීඩනයට එරෙහිව සටන් කිරීම පිළිබඳ මූලික ප්‍රවේශය කිසිදින ඇයගෙන් බැහැර නොවීය.

‛මම සරණාගතයෙකු සේ රටින් රට පළා යමින් මා පසුපස හඹා එන මාරයාගෙන් ගැලවීමට උත්සාහ දැරුවෙමි, එහෙත් අන්තිමේදී මගේ මාරයා සිටියේ මගේ සිරුර තුළම සැඟවීගෙන’ යැයි වරක් සුනිලා දුරු රට සිට මා අමතා ප්‍රකාශ කළාය. ඈ එසේ පැවසුවේ තම සිරුර තුළ පිළිකා රෝග සෛල වර්ධනය වී තමා එහි ගොදුරක් බවට පත්ව ඇති බව දැනගත් අවස්ථාවේය. තම සිරුර තුළ වැඩෙන මාරයාට එරෙහිව කළ දීර්ඝ වෙහෙසකර සටනකට පසු ඈ සැප්තැම්බර් 9 වන සඳුදා සන්ධ්‍යාවේදී සදාකාලික නින්දට පිවිසුණාය.

සුනිලා අබේසේකර වනාහි ලංකාවේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරිනියයි. ජාත්‍යන්තර පිළිගැනීම අනුව ගත් කළ ඇය ඉන්දියාවද ඇතුළත් මුළු මහත් දකුණු ආසියාවේම ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාධරිනිය වෙයි. ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය සහ බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය සූත්‍රගත කිරීමට ජාත්‍යන්තර මට්ටමෙන් ඇය කළ මෙහෙය අමිළය. මානව අයිතිවාසිකම් උදෙසා ඇය කළ මැදිහත්වීම හේතුකොටගෙන 1998 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකශනයට අඩ සියවසක් පිරීම වෙනුවෙන් ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන් පස් දෙනෙකු වෙත එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ව සිටි කොෆී අන්නන් විසින් පිරිනමන ලද මානව හිමිකම් සම්මානයෙන් ඈ පිදුම් ලැබුවාය. 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නමැති නව ආයතන විවෘත කළ අවස්ථවේදී ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් පවත්වන ලද තුන්වන කථාව පිළිගැන්වුණේ සුනිලාටය. 2007 වසරේදී ඇයට හියුමන් රයිට්ස් වොච් සංවිධානය පිරිනමන මානව හිමිකම් සම්මානය හිමිවිය.
මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස ඇය සතුව තිබූ ජනකාන්ත නායකත්වය මෙන්ම උපායමාර්ගික සැලසුම් කිරීමේ හැකියාව විසින් ඇය සමාන කළ හැක්කේ සුගතපාල ද සිල්වා සිංහලට පරිවර්තනය කළ ඊ. එල්. වොයිනිච්ගේ ‛ද ගෑඩ්ෆ්ලයි’ හෙවත් ‛ඇට මැස්සා’ හි එන ජෙම්මා නොහොත් සිංඤෝරා බොල්ලා නමැති වෘත්තීය කුමන්ත්‍රණකාරියටය. ජාතික සහ ජාත්‍යන්තර තලයේ තම සමකාලීන මානව හිමිකම් ක්‍රියාකාරීන් අභිබවා උපාය මාර්ගික ලෙස සිතන්නට ඇයට ඉවහල් වූයේ නිසැකවම රාජ්‍යයේ පන්ති ස්වභාවය සහ එහි ඇති වාර්ගික සහ ලිංග පක්ෂපාතීත්වයන් පිළිබඳව පන්ති දේශපාලනය වෙතින් ඇයට උරුම වූ පරිචය හේතුවෙනි. ජීවිතය බේරාගෙන අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ස්වයං පිටුවහල්වීමකට ලක්වීමට ඇය දෙවරක් නොසිතා තීරණය කරන ලද්දේද එනිසාම විය හැකිය.

අන්තිමේදී සුනිලා ජීවිතයෙන් සමුගත්තාය. ස්ත්‍රීවාදිනියක, දේශපාලන ක්‍රියාධරිනියක, නිළියක, ගායිකාවක වශයෙන් පමණක් නොව තමා වැදු දරුවන් දෙදෙනා ඇතුළුව දරුවන් සය දෙනෙකු තනිව හදා වඩා ගත් මවක ලෙසද වූ ඇගේ විචිත්‍ර භූමිකාවට ඈ නැවතීමේ සලකුණ තැබුවාය.

සුනිලාගේ අවමඟුල පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්වීම ඇගේ පවුලේ අයගේ සහ විශේෂයෙන්ම ඇයගේ දරුවන්ගේ අභිප්‍රාය විය. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා ජාත්‍යන්තර පිළිගැනීමටද, ඒ හා සමානව හෝ නැත්නම් එය පරදවන ආකාරයේ ජාතික හෙළාදැකීමකටද ලක්වූ ඇය වෙනුවෙන් ලංකාවේ පවත්වනු ලබන අවමඟුල පෞද්ගලික එකක් ලෙස පැවැත්වීම වනාහි ඇයට රාජ්‍ය මාධ්‍ය යොදාගෙන අශිෂ්ට ලෙස පහර ගසන විට එයට එරෙහිව පෙනී සිටීමට ධෛර්යයක් නොතිබූ බහුතර ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද නිහඬ දෝෂාභියෝගයක් ලෙසද සැලකිය හැකිය.

සුනිලා වෙනුවෙන් පැවැත්වූ කෙටි අවමඟුල් උත්සවයේදී ඇගේ දියණිය වන සුභා විජේසිරිවර්ධන තම මව පිළිබඳව තම මතකය අවදි කරමින් සියළුදෙනාගේම සිත් ඇද බැඳ ගත් ගුණකථනයක් ඉංග්‍රීසි බසින් කළාය. විය යුතු පරිද්දෙන්ම එය වනාහි අහිමි වූ මව පිළිබඳ වැළැපිල්ලක් නොව ජීවිතය තමන් රිසි ලෙස උත්සවාකාරයෙන් සම්පූර්ණ කරන ලද ගැහැණියකගේ ජීවිතය පිළිබඳ ඇගේ මරණය අවස්ථාවේ කරන සැමරුමක් විය.

අවමඟුල් උත්සවය අවසානයේ එහි සිටි මහාචාර්ය අර්ජුන පරාක්‍රම මා හා දැක්වූ අදහසකින් මේ ලිපිය හමාර කිරීම උචිත යැයි සිතමි. සුභාගේ කථාව පිළිබඳ ප්‍රසාදයෙන් කථා කළ ඔහු ප්‍රකාශ කළේ සුනිලාගේ දියණිය සුභා සුනිලාගේ ජීවිතයෙන් හතරෙන් තුනක්ම උකහාගෙන ඇති බවය. එහෙත් ඇයට මග හැරී ඇති ඉතිරි හතරෙන් එක වන්නේ පන්තිය පිළිබඳ සුනිලාගේ දැක්ම බව ඔහු ප්‍රකාශ කළේය. සුනිලගේ ජීවිතය සහ මරණය ඇසුරෙන් ඉතිරිව සිටින අප හට උගෙනීමට වැදගත් කරුණක් එහි ඇති බව මම සිතමි.

සුනිලාගේ සටන හුදෙක් පීතෘමූලිකත්වයට එරෙහි සටනක් නොවීය. මුල්කාලීන ස්ත්‍රීවාදීන් සියළු දෙනාම මෙන්ම ඇයගේ සටනද ආරම්භ වූයේ ධනවාදයට එරෙහිවය. ප්‍රධාන ඉලක්කය වූයේ ධනවාදය මගින් සිදුකෙරෙන සූරාකෑම අහෝසි කිරීමයි. එහිදී සූරාකෑම අහෝසි කිරීම සඳහා ධනවාදය පමණක් නොව පීතෘමූලිකත්වයද අභියෝග කළ යුතුය යන අවබෝධය පසුව පැමිණීම නිසා අරගලය ධනවාදයට සහ පීතෘමූලිකත්වයට යන් ප්‍රපංචයන් දෙකටම එරෙහි සටනක් ලෙස ව්‍යුහගත විය. එහෙත් සුනිලාගේ දියණිය වන සුභා සහ ඇයගේ පරම්පරාවේ ස්ත්‍රීවාදීන්ගේ කාලය වන විට ඔවුන්ට ධනවාදය ස්වාභාවික වී ඇති බව පෙනෙන අතර ඔවුන්ගේ සටන පීතෘමූලිකත්වයට එරෙහි සටනක් පමණක් බවට සීමා වී ඇත. වෙනත් වචනයකින් කිව්වොත් ධනවාදයට අභියෝග නොකොට ඒ තුළම පීතෘමූලිකත්වය පැරදවිය හැකි බව ඇයගේ පරම්පරාවේ විශ්වාසය බව පෙනේ. ඇයට සුනිලා පෙනෙන්නේ පීතෘමූලිකත්වයට අභියෝග කළ වීරවරියක ලෙස මිස පන්ති පීඩනයට සහ (ජාතික පීඩනයට) එරෙහි වූ වීරවරියක් ලෙස නොවේ. ස්ත්‍රීවාදය, පරිසරවාදය වැනි අනන්‍යතා දේශපාලනය මත ගොඩනැගුණු ‛නව සමාජ ව්‍යාපාරයන්’ යම් දුරකට පසුව ධනවාදය විසින් අවශෝෂණය කරගන්නා අතර එම අරගලයේ ඉදිරි පරම්පරාවන් තම සටන ධනවාදය තුළම ජයග්‍රහණය කළ හැකි ඉලක්කයක් ලෙස දකින්නේ එබැවිනි.

පන්ති දේශපාලනය ප්‍රමුඛ වන බවට සුනිලා සිය දේශපාලනයේ මුල් අවදියේදී ලබා ගත් ආභාසය ඇගේ ජීවිතයේ අවසාන භාගයේදී ප්‍රකාශමාන නොවූවද එම විශ්වාසය ඇය තුළ නොනැසී පැවතිණි. ඇය හැකි සෑම අවස්ථාවකම සාමාන්‍ය මිනිසුන් සමඟ ආශ්‍රය කළේ සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ එබැවිනි. 2006 වසරේ අගෝස්තු මාසයේදී දී අපගේ පන්ති සතුරන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස සමාජ දේශපාලන ක්‍රියාකාරකම්වලින් අප පිටුවහල් කරන ලද අවස්ථාවේදී අප සම්බන්ධයෙන් එල්ල කරන ලද සියළු අවලාද කෙණෙහිලි මැද නොසැලී, අප වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ වැඩකටයුතු නැවත ආරම්භ කරන්නට අපට සෙවන සහ ධෛර්යය දෙන්නට සුනිලා අබේසේකර සහෝදරිය කටයුතු කරන ලද්දේ ඇය තුළ ශේෂව පැවතුණු පන්ති හැඟීම නිසායැයි මම සිතමි. ඇය තුළ ශේෂගතව පැවතුණු ඒ වාමාංශික උරුමය පුනර්ජනනය කිරීම අපගේ වගකීම ලෙස සලකමු. එය ඇය වෙත පුද කළ හැකි ඉහළම උපහාරයද වන්නේය.

සබැදි පුවත්

සමුගන්නට අවසරයි!

හඳුනා ගත්තොත් ඔබ මා..

සුදර්ශන ගුණවර්ධන

ඔබේ අදහස කියන්න...