“පැණි මකුළුවෝ“ (2017) යනු මේ යුගයේ චිත්‍රපට ප්‍රේක්ෂිකාව ඉල්ලා සිටින කතාවක් ප්‍රේක්ෂිකාව ඉල්ලා නොසිටින චිත්‍රපටයක් බවට පත් කිරීමකි. (ඇතැමුන් ට අනුව මෙම චිත්‍රපටය සිනමාශාලාවල තිර ගත කිරීමට වඩා DVD පිටපත් විකිණීම අරමුණු කර ගත් චිත්‍රපටයකි.) (“පැණි මකුළුවෝ“ චිත්‍රපටය සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් බවට පත් වනවා නම් ඒ ජ්‍යෙෂ්ඨ නළු සනත් ගුණතිලක ප්‍රථම වරට පිස් පෝච්චියක වාඩි කරවා රූ ගත කිරීමට තරම් අධ්‍යක්ෂවරු එඩිතර වී ඇති නිසා පමණි.) මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් නිර්මාණය කළ බව චිත්‍රපටයේ ආරම්භයේ ද සඳහන් වේ. නමුත් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් ප්‍රබන්ධයක් ගොඩ නැංවීම වෙනුවට එහි දක්නට ලැබෙන්නේ යථාර්ථයට වශී වූ ස්වභාවයකි. චිත්‍රපටයේ ප්‍රබන්ධය හා යථාර්ථය අතර ඉර බොඳවීම මඟින් පිළිඹිඹු වන්නේ චිත්‍රපටයේ ෆැන්ටසියට ඇති කාර්යභාරය අවම වී ඇති බව ය. ආඛ්‍යානමය ප්‍රබන්ධය තුළ යථාර්ථය ප්‍රතිනිර්මාණය කළ හැකි යැයි විශ්වාස කරන විට සිදු වන්නේ එයයි. සමාජ යථාර්ථය අපහසුවකින් තොරව ගලපා ගැනීමට හැකි බවට වන එවැනි විශ්වාස හා එම සමාජ පිළිවෙළෙහි නිරූපනය වන යථාර්ථය, සැබෑවක් ලෙස වරදවා වටහා ගැනීම නිසා බිහි වන්නේ නීරස චිත්‍රපට ය. ප්‍රේක්ෂිකාවගේ ආශාව කුළු ගන්වන චිත්‍රපටයක් බිහි වන්නේ සමාජ පිළිවෙළට අපහසුවකින් තොරව ආත්මය ගලපා ගැනීමට ඇති නො හැකියාව තුළ ය. චිත්‍රපටයක ජනප්‍රියභාවය යනු අපගේ ආශාවට චිත්‍රපටය මඟින් සිදු කරනු ලබන ආමන්ත්‍රණය පිළිබඳ දර්ශකයක් ලෙස සැලකිය හැක්කේ ද මේ නිසා ය.

මෙම චිත්‍රපටයේ කැමරාව හුදු ශරීර හා අඟ පසඟ පෙන්වීමකට එහා නොයන අතර කැමරාව, පුරුෂයා සහ ප්‍රේක්ෂකයා සිනමාත්මක දැක්ම (cinematic gaze) තුළ රැඳෙන විට කාන්තා චරිතය නැරඹීමට ඇති දෙය මූර්තිමත් කරන්නේ ය යන ලෝරා මුල්විගේ පැරණි ස්ත්‍රීවාදී අදහස එමඟින් සිහිපත් කරයි. ස්ත්‍රී ශරීරයේ ගුප්තභාවය බිඳ හෙලූ රැඩිකල් තථ්‍යසමාන අවකාශයක රැඳී සිටින වර්තමාන ප්‍රේක්ෂිකාවට තව දුරටත් ස්ත්‍රී ශරීරය ගුප්තභාවයට පත් කිරීමෙන් ඵලක් නොමැත. චිත්‍රපටයට කිසිසේත් අදාළ නො වන පාර්ශ්වීය නිරුවත් කාන්තා ඡායාරූප චිත්‍රපටයේ DVD කවරයට පවා ඇතුළත් ව ඇත්තේ මෙම චිත්‍රපට‍යේ දැක්මට (Lacanian gaze) වඩා ස්ත්‍රී ශරීරය (cinematic gaze) අධිනිශ්චය වී ඇති බව සංඥා කරමිනි. එනම්, චිත්‍රපටයේ ප්‍රස්තුතය හා චිත්‍රපට‍යේ නිරූපනය අතර පවතින්නේ පරස්පරයකි. චිත්‍රපටයේ ප්‍රස්තුතය මඟින් දැක්ම ඉල්ලා සිටින විට චිත්‍රපටයේ නිරූපනය මඟින් දැක්ම වෙනුවට ශරීර අධිනිශ්චය කර ඇත. (මෙම ලිපියේ මින් ඉදිරියට දැක්ම යනුවෙන් සඳහන් වන්නේ ලැකානියානු මනෝවිශ්ලේෂණය මඟින් න්‍යාය ගත කර ඇති දැක්මයි.)

ඉසුරු වීරසිංහමුදලි හා චලින් මනුරංග අධ්‍යක්ෂණය කළ “පැණි මකුළුවෝ“ චිත්‍රපටයේ කතා වස්තුව මෙසේ ය.

රණවීර (සනත් ගුණතිලක) මැදි වියේ ව්‍යාපාරිකයෙකි. ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා වයසින් ලාබාල කාන්තාවක් වන නෙලූ (අයිෂාරා අතුකෝරළ) සමඟ ය. දිනක් ඇය රියැදුරු සමඟ වාහනයෙන් ගමන් කරන විට තරුණ යතුරුපැදිකරුවෙකු (දිනෙත් ද සිල්වා) වාහනයේ ගැටෙයි. වාහනයට සිදු වූ අලාභය පියවීමට ඔහු අත මුදල් නොමැතිවීම නිසා පසු දිනෙක මුදල් ගෙනැවිත් දෙන බවට ඔහු නෙලූට පොරොන්දු වෙයි. ඒ වෙනුවට ඔහු සිය හැඳුනුම්පත ඇයට ලබා දෙයි. පසුව තරුණයා මුදල් ගෙනැවිත් දෙන නමුත් රණවීර එය ප්‍රතික්ෂේප කරයි. නමුත් ඔහුට නෙලූ සන්තකයේ තිබෙන හැඳුනුම්පත ලබා ගැනීමට නො හැකි වෙයි. එම සිදු වීමෙන් පසු නෙලූ සහ එම තරුණයා අතර මිත්‍රත්වයක් ඇති වේ. ඔවුහු ජංගම දුරකථන හා අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කර ගනිති. තරුණයාට ඇති වන හදිසි මුදල් අවශ්‍යතාවයක දී ඇය සිය මිතුරියක වන ශශී (ප්‍රිඕතා ෆර්ලින්) අත ඔහුට මුදල් යවයි. තරුණයා නැවතත් ඇගෙන් මුදල් ඉල්ලා සිටින විට ඇය එය ප්‍රතික්ෂේප කරයි. ඇය මුදල් ලබා නො දෙන්නේ නම් ඔහු සතුව තිබෙන ඇගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට ඔහු ඇයට තර්ජනය කරයි. එයින් කලබලයට පත් වන ඇය ඔහුව ඝාතනය කරන්නට ඔහු නැවතී සිටින කාමරයට යද්දී ඒ වන විටත් කිසිවෙකු විසින් ඔහුව ඝාතනය කර ඇති බව වටහා ගනියි. එම ඝාතනය සිදු කර ඇත්තේ ඇය මෙන් ම ඔහු නිසා පීඩාවට පත් ව සිටි ශශී විසින් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වේ. චිත්‍රපටය අවසන් වන්නේ නෙලූ තනිව බස් රථයකින් බැස යන දර්ශනයකිනි.

වර්තමානයේ තිර ගත වූ බොහෝ චිත්‍රපටවල මෙන් මෙම චිත්‍රපටයේ නිරූපනය වන්නේ ද ඕලාරික විවාහ දිවියක් සහ එයට පිළිතුරක් ලෙස ගොඩ නැඟෙන විකල්ප සබඳතාවයකි. නමුත් අප චිත්‍රපට කතාව හැඩ ගස්වන මුඛ්‍ය ගැටළුවට ප්‍රවිෂ්ට විය යුතු ය. එනම්, තරුණයාගේ හැඳුනුම්පත තමන් සන්තකයේ තිබෙන බව නෙලූ තම සැමියාට ප්‍රකාශ නො කරන්නේ මන් ද? එම සිදුවීම ප්‍රේක්ෂිකාවගේ ආශාව කුළු ගන්වන ආචාර ධාර්මික හැරවුමකට චිත්‍රපටය යොමු කරවීමට තරම් බලපෑම් සහගත වුවත් පසුව චිත්‍රපටය ප්‍රේක්ෂිකාවගේ ආශාව මරා දමන රහස් පරීක්ෂක කතාවක් බවට පත් වෙයි. නෙලූ සැමියාගෙන් සඟවන එම රහස හෙවත් ඇය තුළ පවතින අතිරික්තය යනු ප්‍රේක්ෂිකාවට චිත්‍රපටය මඟින් ලබා දෙන විනෝද පිඬුවයි. එමඟින් පශ්චාත් නූතන බිරිඳක් ලෙස ඇය කුටුම්භය සහ විකල්ප සබඳතාවය මැනවින් කළමනාකරණය කරන බවක් නිරූපනය වෙයි. “දුහුළු මලක්“ (1976), “හංස විලක්“ (1980), “සිනහව අතරින්“ (2015) හා “ඇගේ ඇස අග“ (2016) වැනි චිත්‍රපට වලට සාපේක්ෂව කුටුම්භය සහ විකල්ප සබඳතාවය අතර පසමිතුරුතාවයක් මෙහි නිරූපනය නොවේ. නිදසුනකට අසෝක හඳගම නිර්මාණය කළ “ඇගේ ඇස අග“ චිත්‍රපටයේ මහාචාර්යවරයා (ද්‍රිතිමාන් චැටර්ජි) විකල්ප සබඳතාවය සිය බිරිඳට (ස්වර්ණා මල්ලවාරච්චි) හසු වන්නට ඉඩ හරින්නට උත්සාහ කරයි. එම පසමිතුරුතාවය සියුම් හුයක් ලෙස එම චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂිකාව ආඛ්‍යානය ට බැඳ තබයි.

චිත්‍රපටයක එවැනි ආකාරයේ පසමිතුරුතාවයක් ගොඩ නො නැඟෙන විට දැක්ම (Gaze) චිත්‍රපටයෙන් ඉවත් වේ. ඒ වෙනුවට චිත්‍රපටයේ ගොඩ නැඟෙන්නේ කැමරාවට සියල්ල හසු වන රූපයකි. එහි දී චිත්‍රපටයේ සංකේතීය යථාර්ථය පූර්ණ එකක් බවට පත් වේ. ඒ නිසා චිත්‍රපටයේ යථාර්ථය ගොඩ නැඟීම සඳහා ප්‍රේක්ෂිකාවගේ අවිඥානික දායකත්වය නො ලැබී යයි. ආත්මයේ ආයෝජනය මත සංකේතීය ව්‍යුහය රඳා පවතින්නේ සංකේතීය ව්‍යුහය, සංකේතීය ව්‍යුහය මතම රඳා පැවතිය නො හැකි නිසා ය. සිනමාවේ කාර්යභාරය වන්නේ සංකේතීය ව්‍යුහයේ එම නො හැකියාව කෙරෙහි අවධානය යොමු කිරීම ය. එමෙන් ම සියල්ල පෙනෙන ආත්මයකට ඒ දෙස තව දුරටත් බලන්නට ආශාවක් ඇති නො වෙයි. නමුත් සිනමා තිරයකින් ප්‍රේක්ෂිකාවට සංඥා කළ යුත්තේ තමන් සියල්ල නො දකින බව ය. එබැවින් නිරූපනයේ අභ්‍යන්තර සීමාව නිරූපනය තුළ නිරූපනය නමැති ක්‍රියාව (act of representation) මඟින්ම පෙනෙන්නට සැලැස්විය යුතු ය. සිනමා තිරය මඟින් ප්‍රේක්ෂිකාව සියල්ල නො දකින්නේ ය යන හැඟීම ජනිත කරන්නේ නිරූපනයේම පවතින එම අභ්‍යන්තර සීමාවයි.

එමෙන්ම ආත්මයේ බැල්ම මඟින් තමන් සියල්ල දකින්නේ ය යන ව්‍යාජය සහිත ස්වාධීනත්වයක් චිත්‍රපටයකට ඇතුළත් වන්නේ ධනවාදය මඟින් හැඩ ගස්වන පුද්ගලභාවය නිසා ය. තමන් සියල්ල දකින ස්වාධීන ඒකපුද්ගලභාවය යනු ධනවාදී දෘෂ්ටිවාදය මඟින් ආත්මය පොළාපැන්නීමක පිළිඹිඹුවකි. මෙයට පටහැනිව ඇල්ෆ්‍රඩ් හිච්කොක් සිදු කරනු ලබන්නේ ප්‍රේක්ෂිකාව මොහොතකට සර්වඥභාවය තුළ රඳවා තමා සියල්ල දකින්නේ ය යන එම සර්වඥභාවයේ නො හැකියාව පෙන්වා දීමයි. එම අර්ථයෙන් ඇල්ෆ්‍රඩ් හිච්කොක් ධනවාදී විරෝධී ය.

සාමාන්‍ය‍යෙන් ජනප්‍රිය ධාරාවේ සිනමාවේ මූලික දෘෂ්ටිවාදී යාන්ත්‍රණය තුළ සිදු වන්නේ චිත්‍රපටය මුලින් දැක්ම මත රඳා පැවතීමත් පසුව චිත්‍රපටය විසින්ම එම දැක්ම සැඟවීමත් ය. නිදසුනකට සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ “සිනහව අතරින්“ චිත්‍රපට‍යේ පවුල් ජීවිතය සහ විකල්ප සබඳතාවය අතර පසමිතුරුතාවය නිසා දැක්ම මත රඳා පවතින චිත්‍රපටය අවසානයේ දැක්ම සඟවන්නේ සැමියා (ක්‍රිස් හෙන්රි) හා බිරිඳ (සේමිණී ඉද්දමල්ගොඩ) නැවත තමන්ගේ පවුල් ජීවිතය තෝරා ගැනීමත් හා විමල් (සනත් ගුණතිලක) ගේ පසු බැසීමත් මඟින් සංකේත කාර්යක්ෂමතාවය තහවුරු කිරීම නිසා ය. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සිනමා භාවිතාවේ දී චිත්‍රපට අවසානයේ දැක්ම සැඟවීම සිදු නො කරයි.

විකල්ප සබඳතා නිරූපනය වන අනෙකුත් චිත්‍රපටවලට වඩා “පැණි මකුළුවෝ“  චිත්‍රපටයේ වෙනස වන්නේ විකල්ප සබඳතාවය ද ඒකාකාරී වීම ය. චිත්‍රපටයේ නිරූපනය වන විවාහයත්, විකල්ප සබඳතාවයත් ඒකාකාරී බැවින් ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂිකාව ග්‍රහණයට ලක් කරන පසමිතුරුතාවයක් වෙනුවට චිත්‍රපටයේ අවසාන කොටසේ දී විකල්ප සබඳතාවය තුළ ක්ෂුද්‍ර ගැටුමක් නිරූපනය වේ. එම ගැටුම නිර්මාණය වන්නේ නෙලූ සහ තරුණයා අතර මුදල් පිළිබඳ කරුණක් නිසා ය. අප දන්නා පරිදි මිනිස් ආශාව සම්බන්ධව පවතින්නේ බාධාවක් සමඟ ය. නමුත් මෙම යුගයේ මිනිස් ආශාව තෘප්තිමත්වීම වලක්වන බාහිර බාධා නොමැත. එබැවින් චිත්‍රපටයේ ඒකාකාරී විකල්ප සබඳතාවය තුළ ආශාව තෘප්තිමත්වීම වලක්වන බාහිර බාධාවක් වෙනුවට අභ්‍යන්තර තර්කනයක ප්‍රතිඵලයක් ලෙස මුදල් නමැති ගැටලුවක් (බාධාවක්) හට ගනියි. ඒ අනුව චිත්‍රපටයේ වස්තුව (objet a) වන්නේ මුදල් ය. එය අපගේ ආශාව කුළු ගන්වන සාධකයක් වන අතරම නො පැමිණි දෙයක් ලෙස පවතියි. අපගේ ආශාව කුළු ගන්වන වස්තුව යනු අප ආශා කරන වස්තුව නොව එම වස්තුවට ඇති බාධකයයි. මෙම චිත්‍රපටයේ ආශාවේ වස්තුව වන්නේ (object of desire) වන්නේ නෙලූ සහ තරුණයා අතර විකල්ප සබඳතාවයයි. එබැවින් ප්‍රේක්ෂක අපගේ ප්‍රාර්ථනය වන්නේ නෙලූ තරුණයාට මුදල් ලබා දී විකල්ප සබඳතාවයත් කුටුම්භයත් ශූර ලෙස කලමනාකරණය කරනු දැකීමයි. නමුත් චිත්‍රපටය ඉන් පසු විලාප නඟන රහස් පරීක්ෂක නාටකයක් බවට පත් වේ.

පසුගිය කාලයේ තිර ගත වූ චිත්‍රපට ගණනාවක පොදු සාධකය ලෙස කුටුම්භය හා විකල්ප සබඳතාවය අතර තෝරා ගැනීම (choice) පිළිබඳ ගැටලුව පිළිඹිඹු වන්නේ ඇයි? ගෝලීය වශයෙන් ද දක්නට ලැබෙන මෙම තෝරා ගැනීමේ නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් ද? නො එසේ නම් ඉහත බොහෝ චිත්‍රපට අවසාන අපට පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථ විරහිත බව ද? මෙම තෝරා ගැනීමේ නිදහස මඟින් ඉඟි කරනු ලබන්නේ ඔබ නිවැරදි තෝරා ගැනීම සිදු කරන්නේ නම් පමණක් ඔබට අවශ්‍ය පූර්ණ නිදහස ලැබෙන බව ය. වසන්ත ප්‍රේමරත්න සහෝදරයා මතු කර තිබූ ගැටලු වලට පිළිතුරක් ද එමඟින් ගොනු කර ගත හැකි ය. අප වෙබ් අඩවිය මඟින් මතු කරනු ලබන කරුණු තුනක් මෙහි දී නැවතත් සිහිපත් කළ යුතුව ඇත. පළමුවැන්න දේශපාලනයේ පවතින විනෝද සාධකයයි. දෙවැන්න ගෝලීය ධනවාදය මේ වන විට ක්‍රියාත්මක වන ආකාරයයි. තෙවැන්න වාමාංශයට මේ වන විට වැඩ පිළිවෙළක් නොමැති වීමයි. ඒ ඇසුරින් මේ මොහොතේ ගෝලීය වශයෙන් මතිභ්‍රමවාදී, යථමය පියෙකු ෆැන්ටසිකරණය කිරීමේ පොදු සාධකය අප හඳුනා ගැනීමට උත්සාහ කරමු. දේශපාලනයේ පවතින විනෝද සාධකය මෙයට ටික දිනකට පෙර පළ වූ අනුෂ්ක ආරියරත්න සහෝදරයාගේ ලිපියෙන් විග්‍රහ කර ඇති නිසා ඒ පිළිබඳ වැඩි දුර කරුණු නො දක්වමි.

අප වටහා ගත යුත්තේ මේ වන විට අපට අභිමුඛ වී ඇත්තේ විශ්වීය ලෙස පිළිගත් විමුක්ති නියමයන්ට අනුව ක්‍රියාත්මක වන ගෝලීය වෙ‍ළෙඳ‍‍පොළක් නො වන බවයි. අද වන විට ගෝලීය ආර්ථිකය ඉල්ලා සිටිනු ලබන්නේ ගෝලීය වෙළඳපොළට අභ්‍යන්තරීකරණය වූ ඒ සමඟම දෘෂ්ටිවාදීව වාර්ගික කේන්ද්‍රීය රටක් බව ය. ට්‍රම්ප් ජනාධිපති ධූරය දරණ ඇමෙරිකාව එයට නිදසුනකි. ඒ අනුව වත්මන් ධනවාදයට අවශ්‍ය වන්නේ වෙ‍ළෙඳ‍‍පොළ තත්වයන් නියාමනය කළ හැකි වාර්ගික කේන්ද්‍රීය ශක්තිමත් රාජ්‍යයන් ය. එමඟින් ඇති වී තිබෙන්නේ අධිකාරිවාදී විකල්ප නූතනත්වයකි. ආසියානු වටිනාකම් සහිත ධනවාදය ලෙස නම් කරන්නේ ද මෙම තත්වයයි. ස්ලෙවෝ ජිජැක්ට අනුව ගෝලීය ධනවාදය හා දේශීය සම්ප්‍රදායන් තව දුරටත් ප්‍රතිවිරුද්ධ නො වන අතර ඒවා එකම පැත්තක පිහිටයි. එමෙන්ම අද වන විට ගෝලීය ධනවාදයේ අතිරික්තයන් ඇතැම් පැරණි සම්ප්‍රදායන් මඟින් නියාමනය වන විට ගෝලීය ධනවාදය හොඳින් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇත. එසේ නම් පොදු ජන පෙරමුණ සෑම විටම ඉස්මතු කරන බටහිර විරෝධයේ පදනම කුමක් ද? අප වටහා ගත යුත්තේ ගෝලීය ධනවාදයට බටහිර වටිනාකම් අනවශ්‍ය මොහොතක බටහිර විවේචනය කිරීම ජාතික වශයෙන් ඡන්ද ජයග්‍රහණය කිරීමට වැදගත් විය හැකි වුව ද ගෝලීය දේශපාලන මානයෙන් එය ව්‍යාජ විරෝධයක් බව ය. මන්ද යත් වත්මන් ධනවාදයේ විශ්වීයත්වය යනු අධිරාජ්‍ය විරෝධී හා බටහිර විරෝධී ජනප්‍රිය සටන් පාඨ වීම ය. නමුත් අප අමතක නො කළ යුත්තේ එවැනි අධිරාජ්‍ය විරෝධ මඟින් නැවත මුල් කරා යෑම යනුම බටහිර ආකෘතියට අනුගතවීමක් බව ය. මන්ද යත් නිදහස් ජාතික රාජ්‍ය යනුම බටහිර සංකල්පයක් ය. බටහිර ජාතීන් අප හැර යන විට ඔවුන්ගේ සමාජ ආකෘතිය දැනටමත් අප මත පටවා ගොස් හමාර ය. ජාතිකවාදීන් යෝජනා කරන්නේ එම ආකෘතිය මත පාදක වූ බටහිර දැක්මට යටත් ජාතිකවාදී දෘෂ්ටිවාදයක් සහිත ආර්ථිකයක් ය. ගෝලීය ධනවාදයේ අවශ්‍යතාවය ද එයයි. පූර්වජ ලක්ෂණ සහිත ගෝඨාභය රාජපක්ෂට වඩා පශ්චාත් නූතන ලක්ෂණ සහිත බැසිල් රාජපක්ෂ මේ මොහොතේ තීරණාත්මක වී ඇත්තේ ද මේ නිසා ය. නමුත් දීප්ති කුමාර ගුණරත්න හා මහේෂ් හපුගොඩ සහෝදරවරුන් දැනටමත් යෝජනා කර ඇති පරිදි අප තෝරා ගත යුත්තේ බටහිර ස්වාමියාගේ දැක්මට අනුගත නො වන දේශපාලන විභවයකි (ගාන්ධි මෙන්).

අප මෙහි දී අමතක නො කළ යුතු තවත් වැදගත් කරුණක් නම් ධනවාදයට ප්‍රතිරෝධයක් ලෙස (විකල්පයක් ලෙස) වම පාදක කර ගන්නා කොමියුනිස්ට්වාදය ද බටහිර උරුමයක් වන බව ය. නමුත් මේ මොහොතේ වම සිදු කරමින් සිටින්නේ කුමක් ද? බටහිර උරුමයන් වෙනුවෙන් පෙනී සිටින ලිබරල් උගතුන් හා සිවිල් සමාජය සිදු කරමින් සිටින්නේ කුමක් ද? වාමාංශිකයන්ට ගෝලීය වශයෙන් අත්වෙමින් තිබෙන ඉරණම ස්ලේවො ජිජැක් ආකාර තුනකට වෙන් කර දක්වයි. ඒවා නම්, අධිකාරිවාදී භීෂණය ඇති කිරීම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාවාදීම (ක්‍රමයට අනුගත වී එය තරමක් හොඳ ක්‍රමයක් බවට පත් කිරීම) හා දේශපාලනික නිවැරදිභාවය (politically correctness) සහිත සදාචාරකරණය (ගෝලීය වශයෙන් වෙනසක් යෝජනා නොකර, සදාචාරය අධිනිශ්චය කිරීම. නිදසුනකට කෙනෙකුගේ ප්‍රකාශයක් ජාතිවාදී යැයි ප්‍රකාශ කිරීම මඟින් දේශපාලනික නිවැරදිභාවය යෝජනා කිරීම) යි. දේශපාලනය සදාචාරකරණය කිරීම යනු දේශපාලනය වෙනස් කිරීමට කිසිඳු වැඩ පිළිවෙළක් නොමැති බව පිළිබඳ සලකුණකි. සිවිල් සමාජය ද යෝජනා කරමින් සිටින්නේ ඉහත දෙවන හා තුන් වන ආකාරයන් ය.   

මේ මොහොතේ දේශපාලන ගැටලුවක් වන බහුතර මිනිසුන් දිවි රැක ගැනීම (survival) පමණක් අරමුණු කර ගත් අකර්මකතාවයක ගිලී සිටීම හා යම් අභිප්‍රායක් වෙනුවෙන් ඔවුන් එක් රැස් වීමට සූදානම් නො වීමට හේතු හඳුනා ගැනීම සඳහා අප යොමු විය යුත්තේ විනෝදය සාධකය වෙත ය. නමුත් එවැනි ජනතාවක් බුද්ධිමත් යැයි වාමාංශිකයෝ තවමත් ප්‍රකාශ කරමින් සිටිති. (රූපවාහිනී සංවාද වලදී ජනතාව බුද්ධිමත් යැයි වාමාංශිකයින් ප්‍රකාශ කරන්නේ සුළඟින් ඒඩ්ස් බෝ විය හැකි යැයි විශ්වාස කරන, පාසැල් සිසුවියක් වමනය කරන විට ඇය ගැබ් ගෙන ඇතැයි සඳහන් කරන, ආහාර වල වඳ බෙහෙත් ඇතැයි විශ්වාස කරන මිනිසුන් සිටින රටක බව අප අමතක නො කළ යුතුව ඇත.) ජනතාවගේ එම අකර්මකතාවය නිසා වාමාංශිකයින්ට අද වන විට සිදුව ඇත්තේ ක්‍රමය තුළින්ම අර්බුදයක් මතු වන තෙක් ඉවසිලිවන්තව බලා සිටීමට ය. එමඟින් එක් මොහොතකට පමණක් කුඩා කණ්ඩායමක් එක් රැස් කිරීමට ඔවුන් අවස්ථාව සලසා ගනියි. එවැනි ආකාරයට අර්බුදයක් ඇති වන තුරු බලා සිට කුඩා කණ්ඩායම් හැසිරවීම් අප වටහා ගත යුත්තේ ධනවාදයට එරෙහිවීම් ලෙස නොව ධනවාදය මත පරපෝෂිතයන් බවට පත්වීම් ලෙස ය. SAITM අර්බුදය, ගොවි ප්‍රශ්න ඊට නිදසුන් ය. එවැනි හැසිරවීම් වල අතාර්කික බව පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය මඟින් මෙන් ම මහනුවර සිදුවීම් මඟින් ද පෙන්වා දෙයි. එනම්, වැඩ කරන ජනතාව සිටින්නේ එවැනි වාමාංශික සිහින තුළ නොව ජාතිවාදී කඳවුරේ බව ය. අප වටහා ගත යුත්තේ ඉහත කුඩා අරගල මඟින් ගොඩ නඟන බැලූ බැල්මට ධනවාදී විරෝධී ලෙස පෙනෙන දෘෂ්ටිවාදයෙන් ඵල නෙළා ගන්නේ ජාතිවාදීන් බව ය. එමෙන්ම එවැනි ව්‍යාජ වාමාංශික න්‍යාය පත්‍ර ධනවාදයට විශිෂ්ට ජයග්‍රහණ අත් කර දෙන බව ය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් සාම්ප්‍රදායික වමට ජනතාවට ඉදිරිපත් කිරීමට වැඩ පිළිවෙළක් නොමැති විට එම වාමාංශිකයින් ජාතිවාදීන්ගේ අවමාන තර්ජනයට (blackmail) ලක් වන බව ය. එමෙන්ම ජාතිවාදීන්ට එරෙහි වන සිවිල් සමාජය යනු ද ජාතිවාදීන්ගේ අවමාන තර්ජනයට ලක් වන්නන් බව අප වටහා ගත යුතුව ඇත. ඔවුන් තුළ පවතින ජාතිවාදී (රාජපක්ෂ) විරෝධය මඟින් 2015 ජනාධිපතිවරණයේ දී අඩු නපුර තෝරා ගන්නා ලෙස ජනතාවට කරනු ලැබූ ඉල්ලීම අද වන විට පාර කපා ඇත්තේ ජාතිවාදයටම ය. ප්‍රංශයේ මැක්රෝන් පාර කපන්නේ ලා පෙන්ට බව ජිජැක් පෙන්වා දෙන්නේ එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරාබි විප්ලව ද පාර කපා ඇත්තේ මූලධර්මවාදය වෙතට ය.

එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය, පවතින ආණ්ඩුවට එරෙහි විරෝධයක් ලෙස හඳුන්වනවාට වඩා ලාංකේය ආත්මයේ විනෝදයේ මුහුණුවරෙහි ප්‍රකාශනයක් ලෙස හඳුනා ගැනීම ද වැදගත් ය. කිසිඳු දේශපාලන පක්ෂයකට පැහැදිලි ඉදිරි වැඩ පිළිවෙළක් නොමැති අවස්ථාවක පැවැත් වූ මෙම මැතිවරණයේ මූලිකවම අලෙවි වූ සටන් පාඨය වූයේ බිය යි. එබැවින් බිය නමැති සටන් පාඨය හොඳින් අලෙවි කළ දේශපාලන පක්ෂය ජය ලබා ඇත. යහපාලනයට අදාළ පක්ෂ හා ජ.වි.පෙ. රාජපක්ෂ බිය අලෙවි කරන විට පොදු ජන පෙරමුණ දෙමළ, මුස්ලිම්, බැඳුම්කර, ජිනීවා, ඩයස්පෝරා, ඇමෙරිකා, බටහිර ආදී බහුමානී බියක් අලෙවි කළේ ය. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ඔවුන් ජනතාවට පොරොන්දු ලෙස ලබා දුන්නේ සතුට නොව විඳින්නට සිදු විය හැකි යැයි පෙන්නුම් කරන දුක් වේදනා ය. ඔවුන් ජනතාවට ප්‍රකාශ කරනු ලැබුවේ ඔබට විඳින්නට සිදු වන විපාකයේ තරම ඔබට සිතා ගන්නටවත් නොහැකි තරම් ය කියා ය. වේදනාව ජනනය කරන එවැනි සෑම ප්‍රකාශයකටම පොදු ජන පෙරමුණේ වේදිකා අසල සිට ජනතාව ප්‍රතිචාර දැක් වූයේ ප්‍රීතියෙන් අත්පොළොසන් දෙමිනි. නමුත් පොදු ජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කළ එම ඡන්දදායකයින් තවමත් නො දන්නේ තමන් එසේ ඡන්දය ප්‍රකාශ කළේ ඇයි ද යන්න ය. අද වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සබුද්ධික තීරණයකට වඩා විනෝදය මත පදනම් වූ වතාවතක් (ritual) බවට පත් වී ඇති බව CAFFE හා PAFFREL වැනි සංවිධාන ද තවමත් නොදනියි.

නමුත් ජනතාව ට අමතක වූ සැබෑ බිය යනු කුමක් ද? එනම්, කිසිඳු දේශපාලන පක්ෂයකට දේශපාලනය තුළ අඩංගු නියම ආකාරයේ දර්ශනයක් සහිත පාලනයක් ඇති කිරීමට හෝ යෝජනා කිරීම ට අසමත් වීම ය. රජය තුළ ඔඩු දුවමින් තිබෙන අර්බුදය යනු ද එහිම එක් මුහුණුවරකි. රජය තුළ පවතින අකර්මකභාවය බිඳ හෙළීම සඳහා අභ්‍යන්තර තර්කනයක් ලෙස ඒ තුළින්ම අර්බුදයක් උද්ගතව ඇත. පංති අරගලය කෙමෙන් කෙමෙන් දේශපාලන පක්ෂ අතර හා දේශපාලන පක්ෂ තුළම අභ්‍යන්තර අරගල බවට විතැන් වී ඇත. බොහෝ දෙනාට සැබෑ සතුරා වන ගෝලීය ධනවාදය අමතක වී නව ජාතිවාදය සහ පක්ෂ අභ්‍යන්තර සතුරන් අභිමුඛ වී ඇත. ධනවාදයේ සැබෑ මුහුණුවර පෙන්වා දීමට අසමත් වාමාංශිකයින් ට හා බුද්ධිමතුන් ට ද ජාතිවාදය නිසා ගෙවීමට සිදු වන වන්දිය පිළිබඳ කතා කිරීම පහසු වී ඇත. සිවිල් සමාජය පවා නො දන්නේ ඔවුන් පෙනී සිටින ධනවාදයට මේ මොහොතේ ජාතිකවාදය අවශ්‍ය වී ඇති බව ය. ඒ අනුව පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය මඟින් පිළිඹිඹු කරනු ලැබූ විකල්පය තෝරා ගැනීම නමැති ඉඟිය යනු සිවිල් සමාජය කතා කරමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදයේම අර්ථ විරහිත බව පෙන්වා දෙන වත්මන් ධනවාදයේ ජයග්‍රහණයක් මිස එම තෝරා ගැනීම යහපාලනයට විකල්පයක් ලෙස හඳුනා ගැනීම ඌනිත වටහා ගැනීමකි. මීට අදාළව වාමාංශයට ද විකල්පයක් නො පවතියි. මේ මොහොතේ වම යනු අර්බුදය ට පිළිතුරක් නොව අර්බුදය හඳුන්වන තවත් නමක් බවට පත්ව ඇත.

 

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔව් නිරෝෂන් ,
    දේශපාලනය කරන අය හැටියට බැසිල් කියන්නේ අපට සිටින ඉතාම තීක්ෂණ දේශපාලඥයෙක් කියන එක අපි කිසිසේත් අමතක කල යුතු නැහැ (අපට හොද විනිශ්චයක් තියෙන්න ඕනි ඔහු ගැන) එතැනදී ඔහු ජාතිකවාදී කඳවුර සමඟ පවත්වන්නේ පරස්පර සම්බන්දයක්. ඔහු උත්සාහ කරනවා සුළු ජාතීන් දිනාගන්න වසඟය හරහා. ඔහුගේ ප්‍රවේශය රනිල් ගෙන් වෙනස් (නමුත් මම හිතනවා රනිල් මේ වනවිට අවසන් කියල. නමුත් ඔහු රනිල්ගේ වැඩේ වෙනස් විදියකට ‘හයිජැක්’ කරමින් ඉන්නේ). වමේ අර්බුදයත් එක්ක බැසිල්ගේ ගමන් මග පහසු වෙලා තියෙනවා. දැනට ඔහුට මුහුණ දෙන්න පුළුවන් කවුරුත් නැහැ වමේ කඳවුරේ (සංවිදාන කටයුතු වලින්). අනික බැසිල් හොරා හොරා කියන මොට්ට කතා තවදුරටත් මිනිස්සු පිළිගන්නේ නැහැ . යහපාලනය කළ එකම ‘වැදගත්’ දෙය නම් රාජපක්ෂලා ඇත්තටම පිරිසිදු කරලා ‘බෞතිස්ම’ කරපු එක. මගේ ජිවිත කාලේ මේ වගේ මිනිස්සුන්ට එපා වෙච්ච් පාලනයක් මම කවදාවත් දැකලා නැහැ. පසුගිය කලබල වලදී වුනත් මිනිස්සු මෙයාලගේ නියෝග පිළිපැද්දේ නැති තරම් (There is an apparent disconnection between people and symbolic authority=de-legitimization). මෙයාලගේ මුණූ දකින කොටත් මිනිස්සුන්ට අප්පිරියයි (නිකම් මිනිස්සුන්ට කතා කරලා බලන්න මම කියන දේ ගැන).
    අනිත් එක බැසිල් ට අනුව එයාලගෙම වැඩ පිළිවෙලක් තියෙනවා. එලියට පෙන්නන එක නෙවෙයි තියෙන්නේ … එකම දෙය තමයි බැසිල් හොඳ අසන්නෙක් (good listener)කියල කියනව ඔහු ළඟ ඉන්න අය. එයා ළඟ ඉන්න එයාගේ ‘විද්වතුන්’ කියන දේ හොඳට අහල එයාගෙම විනිශ්චයන් දෙන්න පුළුවන් කෙනෙක් (මෙවර ඔහු තරුණ චන්ද 18+ ගැන කියපු දෙයක් හරියටම හරිගියා). වරක් පාවා දුන්න කෙනෙක් ආයේ විශ්වාස කරන්නේ නැහැ (ඒකම ඇති ගොඩ යන්න).
    මේක පළ නොකලත් කමක් නෑ …

Comments are closed.