කවීශා ගැන දාර්ශනික පර්‍යාවලෝකනය

ඩේවිඩ් ලින්චිගේ සිනමා කෘති නරඹා වටහා ගැනීම පහසු නැත.ඔහුගේ සිනමා කෘති නිවැරදිව කියවීමේ ආධාරක මෙවලම් ලෙස ආශාව,ෆැන්ටසිය,යථාර්ථය සහ දෘෂ්ටිවාදය පිළිබඳව ඔබ අධ්‍යයනයක් කල යුතුය .එවිට අනෙකාට නොපෙනෙන වෙනත් මානයක් ලින්චිගේ චිත්‍රපට තුලින් ඔබට දැක ගත හැකිය.

මේ ලින්චිගේ සිනමාව කියවීමක් නොවේ. මේ, පසුගිය දිනක රිය අනතුරකින් මිය ගිය කවීශාගේ මරණය පිළිබඳව බොහෝමයක් දෙනා කතා කල සහ ලියූ දිග පල් හෑලි වලට අවසානයක් තැබීමකි. කවීශාව කියවීමට අපට ලින්චිගේ
” Lost Highway ” සිනමා කෘතිය ආරම්භයක් සපයයි.

  ෆ්‍රෙඩ් මැඩිසන් සැක්සෆෝන් වාදකයෙකි.ඔහුට රූමත් බිරිඳක් සිටියි.ෆ්‍රෙඩ් තම බිරිඳව ලිංගිකව තෘප්තිමත් කිරීමට අපොහොසත් වන අතරම ඒ නිසා තම බිරිඳගේ ආශාව ආගන්තුක හා ප්‍රෙහෙලිකාවක් වේ. ඔවුන්ගේ ජීවිත ඉතා නීරස වන අතර බිරිඳට ලිංගික තෘප්තියක් ලබා දීමට ඇති නොහැකියාව නිසාම ෆ්‍රෙඩ් තම බිරිඳව සැක කරයි. චිත්‍රපටයේ ෆ්‍රෙඩ් ගේ ජීවිතයේ මේ දර්ශන කොටස් ගලා යන්නේ ආලෝකය අවම එනම් අදුරට මූලිකත්වය දෙමිනි. බිරිඳගේ ආශාව ප්‍රෙහෙලිකාවක් වන විට එයින් මිදීමට එසේත් නැත්නම් සමාජ යථාර්ථය දරා ගැනීමට ෆ්‍රෙඩ් ෆැන්ටසියක් නිර්මාණය කරගනී. ඒ ෆැන්ටසියේ ෆ්‍රෙඩ් නැවත පුනරුප්පත්තිය ලබන්නේ කාන්තාවන් වසඟ වන සුලු කඩවසම් බවක් ඇති තරුණයෙක් ලෙසිනි. එම තරුණයා නමින් පීටර් ඩෙටන් වේ. ඔහු වෙනකෙකුගේ අනියම් බිරිඳක් වන ඇලිස් නම් වූ රූමත් සුන්දර ගැහැනිය සමඟ යහලු වේ. ඇයට ලිංගික තෘප්තිය ලබා දේ.

  ඔබට නිවැරදිව වටහා ගැනීමට, මෙහි ඉතා සරලව විස්තර කර ඇති කතා තේමාව ෆැන්ටසි 1  සහ ෆැන්ටසි 2 යනුවෙන් කොටස් දෙකකට අපට බෙදිය හැකිය. ෆ්‍රෙඩ් ගේ නීරස සහ අතෘප්තිකර පවුල් ජීවිතය ෆැන්ටසි 1 එසේත් නැත්නම් සමාජ යථාර්ථය ලෙස ගැනීමට පුලුවන.පීටර් ඩෙටන් බවට පත් වන ෆ්‍රෙඩ් ගේ ෆැන්ටසි 2 අපට ප්‍රමෝදය ලෙසට නම් කල හැකිය. ආශාවේ අත්දැකීම සහ ෆැන්ටසියේ අත්දැකීම අතර පැහැදිලි වෙනසක් ඇති බව ෆ්‍රෙඩ් ගේ ජීවිතයේ සිදුවන සිදුවීම් මාලාවෙන් සැකෙවින් පෙන්වා දෙනු ලබයි.සමාජ යථාර්තයේ සංඝත බව පවත්වාගෙන යාමට නම් ෆැන්ටසි ව්‍යූහය පිළිවෙලට සකස් විය යුතුය.එනම් එය කඩතොලු නොවී පවත්වාගෙන යා යුතුය. 

නමුත් ෆැන්ටසියට යා හැකි දුරක් ඇත. එය සදාකාලික නැත. පුපුරා යාමය නියමිත වූවකි. Lost highway චිත්‍රපටයේ ෆ්‍රෙඩ්ගේ ෆැන්ටසි ලෝකය එසේත් නැත්නම් ප්‍රමෝදය පුපුරා යන්නේ මිස්ටර් එඩීගේ මැදිහත් වීමෙනි. මිස්ටර් එඩී මෙහිදි සංකේතිය පියා වේ. ඔහු පීටර් ඇලිස්ගෙන් ලබා ගන්නා ප්‍රමෝදය තහනම් කරයි. එවිට සමාජ යථාර්ථයේ නීරස බව දරා ගැනීමට ෆ්‍රෙඩ් හදාගන්නා ෆැන්ටසි ලෝකය තුලද මතු වන්නේ ප්‍රශ්නකාරී තත්ත්වයකි. ෆැන්ටසිය තුලින්ම ෆ්‍රෙඩිගේ විනෝදයට සීමාවක් පනවයි. ෆැන්ටසිය සහ සමාජ යථාර්ථයේ දෝලනය වඩාත් හොදින් කියවීම සදහා ඔබ චිත්‍රපටය නැරඹිය යුතුය.

කවීශා අයේශානි කිරිඳිවැල සිට කොලඹ පැමිනෙන්නේ ඇයට අහිමිව ඇතැයි සිතන අනන්‍යතාවය සොයා ගැනීමටය. කිරිඳිවැලෙන් ආරම්භ වුන නුගේගොඩ ජුබිලි කණුවේදී පුපුරා ගිය ඇගේ සමාජ යථාර්ථය හා ප්‍රමෝදය  කුමක්ද?

කවීශා තවත් යෙහෙළියක් සමග පාරට වඩා සමීප මේසයක හිදගෙන සිනාසෙමින් ඉංග්‍රීසි වචන අතරට සිංහල එකතු කරමින් වට පිට සියල්ලන්ම තමන්ව නරඹමින් සිටින බවක් සිතා පොඩි නොරිස්සුමින් ඒත් ආසාවෙන් සිටින දර්ශනයක් අබාන්ස් එකේ සේල්ස් මැනේජර් වරයෙක් දහවල් කෑමට නුගේගොඩ ෆැබ් එකට ගිය විටෙක දකී . ඔහුට එක්වරම පෙනෙන්නේ කුමක්ද?

යාන්තම් කැරළි කල ටින්ට් කොන්ඩය,පාට කල ඇස් ,තොල්,කම්මුල්, ගල් ඇල්ලූ එල්ලා වැටෙන කරාබු,එයටම ගැළපෙන කර මාලය,ඒ මාලය සමග පටලැවී ඇති කැරෝකේ වසන්ත ඇගේ උපන්දින දා තිළින කල රන් මාලය,GFlock එකෙන් මිලිදී ගත් කොට ගවුම,සුදු කකුල්, Hugo Boss විලවුන් සුවඳ….

අබාන්ස් සේල්ස් මැනේජර් ට සිතෙන කවීශාගේ සමාජ යථාර්ථය වන්නේ ඇය සුපිරි පන්තියේ තරුණියක්,සල්ලී නාන්න තියන නිලියක්..කවීශා ඔහු දිහා බලා යාන්තම් සිනහ වෙයි. එවිට සේල්ස් මැනේජර් ගේ සිතුවිලි අතරට “හරි නිහතමානී නිලියක්” යන්නත් එකතු වේ.ඕනෑනම් ඔහුට කවීශාගේ ලගට ගොස් සෙල්ෆියක් ගැසීමේ ඉල්ලීමක්ද කල හැකිය.ඇය ඔහුගේ කම්බුලට තම කම්බුල ගෑවී නොගෑවී තබා සිනහා වී සෙල්ෆියක්ද ගසනු ඇත.එවිට කවීශා අයේශානී අබාන්ස්  සේල්ස් මැනේජර්ගේ ප්‍රධාන රෝගය බවට පත් වන්නටද ඉඩ ඇත. කෙසේ නමුත් අප අබාන්ස් මැනේජර් ගේ ඇසින් දුටුවේ කවීශාගේ යතාර්ථයයි.මසකට වරක් කොලබ සිට කිරිඳිවැල තම පවුලේ සමීපතමයන් බැලීමට යන කවීශාව ඔවුන් කියවන්නේද ලොකු වෙනසකින් නොවේ. ජනප්‍රිය නලුවන් නිලියන් සමග ආශ්‍රය කරන රූපවාහිනියේ විකාශනය වන ටෙලියක වැඩසටහනක මූන පෙන්වන නැගී එන නිලියක් ලෙසින් ඔවුන් කවීශාව දකී.රන්ජන් රාමණායක සමග කවීශා එකට සිටින පින්තූරයක් පුවත්පත් වල දකිනා ඔවුන් ආඩම්බර වෙයි.ආශා කරයි.කවීශාගේ සමාජ යථාර්ථය ඔවුන්ගේ ආශාවයි. එවිට එක් පසෙකින් කවීශා නඩත්තු කරනේ අනෙකාගේ ආශාවයි.සමාජ යථාර්ථය මෙසේ නිර්මාණය වී ඇති විටදී ඇගේ ෆැන්ටසිය එසේත් නැත්නම් අබාන්ස් සේල්ස් මැනේජර්ට නොපෙනෙන කවීශාගේ ප්‍රමෝදය කුමක්ද ?

කැරෝකේ ක්ලබ් එකෙහි රැකියාව කරමින් එහි හිමිකරුගේ තවත් එක් අනියම් ගැහැනියක් වෙමින් මුදල් පසු පස හඹා යමින් තම ශරීරය විකුණමින් තමන්ගේ සමාජ යථාර්ථය නඩත්තු කිරීමට ඇය ෆැන්ටසියක් නිර්මාණය කරගන්නේ එලෙසිනි. එකී ෆැන්ටසිය කොතරම් පීඩා කාරී වුවද ෆැන්ටසියේ ගැඹුර විසින් සංකේතිය සමාජ යථාර්ථයේ හිස් තැන වසා දමයි.එය ඇගේ ආශාවයි. කැරෝකේ හිමිකරුවා විසින් ලංසු තබන්නේ කවීශාට එකී සමාජ යතාර්ථය කොතරම් දුරට වටින්නේද යන කාරණාව මතය.

කවීශා පිලිබඳව පවුලේ සාමාජිකයින් , සමීපතමයන් ,හිතවතුන්ගේ ආශාව වැඩි වන්නට වන්නට කවීශාට තම ෆැන්ටසියේ පත්ලටම කිදා බහින්නට සිදු වේ.ඇගේ දෘෂ්‍යමාන නොවන ප්‍රමෝදයේ සත්‍ය එයයි. එකී ප්‍රමෝදය වඩාත් ස්තිර කර ගැනීමට කවීශාට බ්‍රෑන්ඩඩ් ඇදුම් අදින්නට වෙයි. ආනයනය කරන ලද විලවුන් දමන්නට සිදු වෙයි.සැලෝන් වල පුටු රත් කරන්නට සිදු වෙයි.ෆේස් බුක් පිටුවේ වැඩිපුර සෙල්ෆි දමන්නට සිදුවේ. අබාන්ස් මැනේජර්ට කවීශාගේ මේක් අප් තට්ටුව යට ඇති විරූපී සත්‍ය නොපෙනෙන්නේ ඔහුට දකින්නට හැකියාව ඇත්තේ ඇයගේ මතුපිටින් පෙනෙන සමාජ යථාර්ථය පමණක්ම බැවිනි.එහි යට සගවා ඇති කැරෝකේ හිමිකරුවාගේ අසහනයට තම ශරීරය විකුණමින් මුදල් උපයනා විපරිත ගැහැනියව ඔහුට නොපෙනෙයි.

මෙහීදී මට මතෙකෙට එන්නේ මව්බිම පුවත්පතේ ආරම්බක මුල් අවදියේදී එහි මාකටින් අංශයෙහි සේවය කල කුරුණෑගල සිට පැමිනි චරිතයකි.ඇය කුරුණෑගලදී නයෝමි වුවද මව්බිම පුවත්පතේදී නියෝමි නම් විය.නියෝමී ලස්සනය.ඇඟ හැඩය.කොන්ඩය තඹය.උල් නියපොතු පාට පාටය.දැමූවේ හීන් උස් අඩි ගැසූ පාවහන්ය.ඇන්දේ බ්‍රෑන්ඩඩ් ඇදුම්ය.කාර්යාලයේ කොතැනකට ගියත් නියෝමිගේ සුවද පාරෙන් ඇය සොයා ගත හැකිය.එතරම් සුවදය.සිංහල කතා කරන්නට දන්නේම නැති ගානය.එවකට පුවත්පතේහි සිටි එකම ස්ත්‍රීවාදිනියද නියෝමි ඉදිරියේ ගොලු විය.හුරතල් විය.පිරිමි ගැන කතා කරන්නට දෙයක් නැත.ඒ හිත හොද පිරිමි නියෝමිට අඩුවක් පාඩුවක් වෙන්නට දුන්නේ නැත.නියෝමි අත වේවැලක් තිබූනේ නැති වුනත් ඒ පිරිමි නියෝමිගේ අණ පිලිපැද්දේ ඉතා කීකරූ මී පැටවුන් ලෙසය.නියෝමි පුවත්පතේ වැඩි පඩියක් ලැබූ අතර ඊට අමතරවද මුදල් ඇය වෙත ගලා ආවේය. මේ සියල්ලටම ඇයට කරන්නට තිබුනේ ලොකු වැඩක් නොව.චූට්ටක් කකුල පෙන්වීම පමනි.ඇය හෝටල් කාමර වලට ගියේ නැත.කලේ කකුලක් අතක් පෙන්වා ඕනෑනම් පොඩ්ඩක් පහත් වී පෑනක් කොලයක් ඇහිදීම පමණි.කුරුණෑගල නයෝමි කොලඹදී නියෝමි වූයේ එසේය.ඇය දැන් ලංකාවේ නැත.ඇමරිකාවේ කාය වර්ධන ශිල්පිනියක් ලෙස තරග වලටද සහබාගී වෙයි.එකල පුවත්පතේ බොහෝමයක් දෙනාගේ ආශාව වූයේ නියෝමිය.ඇය අපගේ ආශාව ඉතා සාර්ථකව රඟ දැක්වූවා මතකය.අහෝ නියෝමි…..

නියෝමි තරම් කවීශා වාසනාවන්ත නොවූවේ ඇයි. නියෝමි ඇමරිකාවෙන් නතර වෙන්නටත් කවීශා ජුබිලි කණුවෙන් නතර වෙන්නටත් හේතුව වූයේ එකම දෙයක් පමනී.එදා කකුල පෙන්නා කර ගත් වැඩ අද කරන්නට නම් කකුල පෙන්නා මදිය.කාලයත් සමග මිල වෙනස් වේ. දැන් කෙලින්ම විපරිතයින් සමග හෝටල් කාමරයේ නතර විය යුතුය.එයින් නොනැවතී විපරිතයින්ගේ සිගරට් කොට වලට කකුල් අත පය පිළිස්සෙද්දී ඒ වේදනාවද දරා ගත යුතුය.බිලි වීමකින් තොරව කවීශලාගේ ෆැන්ටසි තැනෙන්නේ නැත.එහෙයින් කවීශාට වඩා නියෝමි වාසනාවන්තය.

වෙළෙඳ කලාපයේ සේවය කරන තරුනියන් කවීශාට වඩා ස්වාධීනය.ඔවුන් මහන ඇදුම් කෑළි වල ප්‍රමාණය අනුව හා වැඩ කරන කාලය අනුව මාසය අවසානයේ පඩිය අතට ගෙන ගෙදර යයි.එතනින් එහාට ගනුදෙනු නැත.කවීශාට එසේ කරන්නට නොහැක.ඇය කැරෝකේ හිමිකරුවාගේ සියලුම විපරිත කම් ඉවසා සිටිය යුතුය.ඇයට ලැබෙන මුදල් ප්‍රමාණය තීරණය වන්නේ ඔහුගේ විපරිතකම කොතෙක්ද හා ඒ වෙනුවෙන් ඇයට කල හැකි දෙයෙහි ශක්‍යතාවය මතය.ලස්සනට නටන්නට නටන්නට ඇයට මුදල් ලැබෙයි.එවිට ඇයට ඇගේ සමාජ තත්වය වඩ වඩා පිලිවෙල කර ගත හැකිය.අවුඩි 6 කාරයේ ගමන් කල හැකි වන්නේ කැරෝකේ හිමිකරුවා තෘප්තිමත් කල විට පමණි.වෙළෙඳ කලාපයේ තරුණියන්ගේ විරෝධය ඍජුවම ධනවාදයට එල්ල වෙද්දී කවීශාගේ විරෝධය එල්ල වන්නේ කැරෝකේ හිමිකරුවාටය.එනම් පිටතට නොව.විරෝධය තමන් දෙසටම එල්ල වෙයි.

දැන් ඔබට මෙය පංති ගැටලුවක්ය යන්න පැහැදිලි වනවා ඇත.

Lost Highway හී එඩී සංකේතිය පියා බවට පත් වී පීටර්ගේ ප්‍රමෝදය තහනම් කරන විට කවීශාගේ ප්‍රමෝදයට තහනම එල්ලවන්නේ යැපෙන පුරුෂයාගෙනි.එවිට ටයිම් බෝම්බයක් සේ ෆැන්ටසිය පුපුරා යාමට නියමිත වේ.කවීශාගේ ප්‍රමෝදය පුපුරා යන්නේ නුගේගොඩ ජුබිලි කණුවේදී පාන්දර යාමයේදීය.

කවීශා ගේ මරණය පිලිබඳ ව බොහෝ දෙනෙකුට සිතා ගත නොහැකි ගැටලු සමූහයක් ඇති විය.නමුත් කිසිවෙකුත් කවීශාගේ සමාජ යථාර්ථය සහ ෆැන්ටසිය අතර තිබූ පරස්පරය කියවීමට උත්සාහයක් ගත්තේ නැත.නොඑසේ නම් එකී ගැටලුව විසඳා ගැනීමට තරම් අවබෝධයක් තිබුනේ නැත.තවමත් කවීශාගේ මරණය පිලිබඳව  ඇයගේ පවුල තුල තිබෙන්නේ විශාල ප්‍රශ්ණාර්තයක් පමනි.ඔවුන්ට කිසි විටකත් මෙම සත්‍ය තත්ත්වය වටහා ගැනීමට හැකි වන්නේ නැත.කවීශාගේ පියා ඉදිරියටත් මාධ්‍යවේදීන් ට මෙසේ කියනු ඇත. ” නෑ මගේ දුව මත් පැන් බොන්නේ නෑ”..

-පක්ෂයේ සාමුහික හැදෑරීමකි-

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. බොහොම හොඳ විග්‍රහයක්. කවිශලට නොතේරෙන සත්‍යය.

Comments are closed.