දැනට අප මේ ජීවත් වන ඉවරයක් නොවන අවසානයක් සහිත ධනවාදී සමාජ ක‍්‍රමය තුළ තහවුරු වූ දේශපාලන ප‍්‍රතිවිරෝධතා දෙකක් ඇත. 
A.  බාහිර ලෝකයේ පවතින කිසිදු ආධිපත්‍යයකට යටත් වීමට අවශ්‍ය නැත. නිදහස යනු මෙම බාහිර ලෝකයේ පවතී යයි අප සිතන බාධාවෙන් ගැලවීමයි. මෙම අර්ථයෙන් ගත් විට අන්තර්ජාලය යනු නිදහසේ ස්වර්ග රාජ්‍යයයි. එය ශාරීරික ලෝකෝත්තරත්වයකි. 
B. අපගේ සිතුම් – පැතුම් නිෂ්පාදනය වන චිත්ත අභ්‍යන්තරයේ මූලධර්මවලට අනුව යම්කිසි ආධිපත්‍යයකින් තොරව ‘නිදහස’ යන්නට අර්ථයක් නැත. ‘අදහසක්’ ආධිපත්‍යයට ආදේශ කිරීම.
ඉහත නිගමන දෙක එකිනෙකට පරස්පරය. එක පැත්තකින් සමකාලීන මිනිසා බාහිර ආධිපත්‍යයන් හරසුන් බව අවබෝධ කරගෙන සිටියි. මේ හේතුව නිසා අඩුම වශයෙන් මේ මොහොතේ උමතුවක් නැත්නම් බැරෑරුම් ලෙස ‘දේශපාලනය’ කරන්නට කිසිවකු එන්නේ නැත. අනෙක් පැත්තෙන් සමකාලීන මිනිසා තමන්ගේ සිත තුළ පවතින ගුප්ත අදහස් සත්‍යවාදී ලෙස පිළිගනියි. මේ නිසා ඔහු/ ඇය අභ්‍යන්තරික වශයෙන් ගත් විට මිථ්‍යාදෘෂ්ටිකය. බාහිරින් සම්‍යක්දෘෂ්ටික වන පුද්ගයා තමන්ගේ අභ්‍යන්තර මානසික ජීවිතය තුළ මිථ්‍යාදෘෂ්ටිකයෙකි. සමාජවාදය පැවති නැෙඟනහිර යුරෝපයේ රටවල මිනිසාට කිසිදු බාහිර නිදහසක් තිබුණේ නැත. මේ හේතුව නිසා එම රටවල ජීවත් වූ මිනිස්සු තම පෞද්ගලික ජීවිතය තුළ අව්‍යාජ මිත‍්‍රකම්, රැුඩිකල් ලිංගික සබඳතා සොයා ගත්තේය. 1989 වර්ෂයේ දී නැෙඟනහිර යුරෝපයේ රටවල සමාජවාදය බිඳ වැටුණු මොහොතේ දී ඉහත අප සාකච්ඡුා කළ බාහිර පීඩන බලවේග පමණක් අහෝසි වූයේ නැත. ඒ සමඟම උණුසුම් පෞද්ගලික මිනිස් සබඳතා ද අහෝසි විය. 
ඉහත තත්ත්වය රාජපක්ෂ රෙජීමය සම්බන්ධයෙන් ද වලංගු නැතිද? ඒ යුගයේ පැවැති බාහිර රාජ්‍ය බලයේ මර්දනය නිසා මිනිස්සු තම තමන්ගේ පෞද්ගලික අඳුරු ගුහාවන් තුළට ඇදී ගියේය. 2015 වර්ෂයේ මුල දී රාජපක්ෂ රෙජීමය අවසන් වූ වහාම 
මිනිසුන්ගේ පෞද්ගලික අඳුරු ගුහාවල පැවැති අව්‍යාජභාවය අහෝසි වී ගියේය. මින් අදහස් වන්නේ කුමක්ද? අප සිතනවාට වඩා ගැඹුරු  මානයක් ‘මර්දනයට’ ඇති බව නොවේද? මර්දනය නොමැති තැන මිනිසාට ‘නිදහස’ හමුවන්නේ නැත. එසේ නම් මර්දනයෙන් ගැලවීම පිළිබඳ නූතන මිනිසාගේ කතාන්දරය බොරුවක්ද?
ලිංගික සබඳතා සහ ස්ත‍්‍රිය සම්බන්ධයෙන් මර්දනය අදාළ වන්නේ කෙසේද? 68 ප‍්‍රංශ ශිෂ්‍ය අරගලය හරහා මතු වූ ප‍්‍රධාන සටන් පාඨය වූයේ බාහිර බාධාවලින් තොර නිදහස් ලිංගික සබඳතා අව්‍යාජ බවය. නමුත් මෙම අලූත් ලිංගික පාඨය අතට ගත් තරුණ පරම්පරාවට අවසානයේ සම්මුඛ වූයේ නිදහස් ලිංගිකත්වයද? නැතහොත් වරදකාරීත්වය පිළිබඳ හැඟීමක්ද? මේ හේතුව නිසා 70 දශකය ආරම්භ වන විට හිපි ජීවිත ගත කරමින් සිටි බොහෝ දෙනා  තම තමන්ගේ සිත් පිරිසිදු කරගැනීමට ඉන්දියාවට පැමිණියේය. ඒ යෝග දර්ශනය හැදෑරීම සඳහාය. X කණ්ඩායම තුළ 98 -2004 දක්වා කාල පරාසයක කි‍්‍රයාකාරිකයෙක් වූ පුද්ගලයකු මේ වන විට යෝග උපදේශකයෙක් වී ඇතැයි මට ආරංචි විය. එනම් සෝර්බා [භෞතිකවාදය] හට බුද්ධ [අධ්‍යාත්මය] හමු වී ඇත. සංඥාව (Sign) පිටුපස කිසිවක් නැත යනුවෙන් උගැන්වූ X කණ්ඩායමේ ප‍්‍රථම පාඩම පවා ඔහුට වැටහී නැත. එක මිථ්‍යාවක් හරණය කිරීමට තව මිථ්‍යාවක් කසාද බැඳගත යුතුය. 

ඔබේ අදහස කියන්න...